
ප්‍රමෝද්‍යා ආනන්තගේ Perburuan කෘතියේ සිංහල පරිවර්තනය- "පලායන්නා", පී.ජී. පුංචිහේවා 2002 වර්ෂයේ අපට හිමි කර දුන් වටිනා ත්‍යාගයක්. මෙය ප්‍රමෝද්‍යා ආනන්තගේ සාහිත්‍ය ජීවිතයේ පළමු නිර්මාණයයි. අධිරාජ්‍යවාදය නිසා යටත්වැසියන් විඳවන අයුරුත්, ඒ අස්සේ වුවද ප්‍රේමය සිය ස්වරූපය වෙනස් නොකර කැපකිරීම් කරන අයුරුත් මේ කෘතියෙන් පිළිබිඹු වෙයි.
හර්දෝ නම් තරුණ සටන්කාමියෙකු වටා ගෙතෙන මෙය එක පසකින් අධිරාජ්‍ය විරෝධී කැරලි කරුවෙකුගේ ජීවිතය ගෙන හැර පායි. තව පැත්තකින් ඔහුගේ හදෙහි තැන්පත්ව සිටි ගැහැණියක පිළිබඳ සෙනහසක ප්‍රබලත්වය පෙන්වයි. මිනිසාට වෙනස් කළ නොහැකි යම් යම් දෛවීය සන්ධිස්ථාන හමුවේ විඳදාරා ගැනීම හෝ බලා සිටීම හෝ හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බවත් පසක් කරයි.
හිඟන්නෙකුගේ වේශයෙන් හැසිරෙන හර්දෝ ජපන් අධිරාජ්‍යයේ යටත් රටක් වූ ඉන්දුනීසියාවේ එවක පැවති අඳුරු යුගයේ වද වේදනාවලින් ගැලවීමට අරගලයක නියුතු වෙයි. ඔහුගේ සහචරයන් හා එකතුව සැඟව සටන් වදියි.
කෘතියේ දෙවන පරිච්ඡේදය වඩාත් ප්‍රබල එකක්. එහිදී හර්දෝ සිය පියා හමුවේ ඔහුගේ රදල මෝඩකම් හා කුහකකම් විවේචනය කරනුත් පියෙක් පුතෙක් වෙනුවෙන් ශෝක වන අයුරුත් නිරූපණය වෙයි.
"කිසිම මිනිහෙක් සියයට සියයක් හරි සිහි බුද්ධියෙන් නැහැ. කවුරුවත් සියයට සියයක් නිදහසුත් නැ. ලෝකෙ කිසිම දෙයක සියයට සියයක් නැහැ. එහෙම හිතනවානම් ඒක මායාවක්."
ඊළඟ පරිච්ඡේදයේදී ආදරය ගැන හර්දෝ කරන කෙටි සටහන අපේ ජීවිතයේ හරස්කඩක් වගේම මේ පොතෙන් එළි දක්වන විස්තර කළ නොහැකි අදහස්වල සාරය ලෙසත් ගත හැකියි.
"මේ අහපන්." හර්දෝ සැරෙන් කීය. "බොළඳ ද නැද්ද කියන එක උඹේ වැඩක්. ඒ වුණාට ජීවතේ වැදගත් දෙයක් ආදරය."
ඇත්තටම ඒක එහෙම තමයි. ජීවිතේ බොළඳ වගේම හරවත්ම දේවල් හැම දේකම සුසංයෝගයක්. ඒ ඒ වෙලාවට දෝලනය වන හැඟීම් භාවාත්මක වගේම භාවාත්මක දේවල් ගැන තාර්කික මේහෙයවීම් වලින් සුසංයෝග වෙලා. හරිම සංකීර්ණයි.
කතාවේ අවසානයේදී ජපන් අධිරාජ්‍යය පරදවලා හර්දෝ දිනුවත් ඔහුගේ ඉදිරිපිටදීම, ඔහුගේ පෙම්වතිය- නින්ග්සිහ් වෙඩිවැදී මියයයි. එය වේදනාකාරී රූප රාමුවක්. කතාව කියවීමේදී ප්‍රේක්ෂකයෙකු ව සිටින පාඨකයා, ඒ ඛේදජනක අක්දැකීම හමුවේ රටක නිදහස ගැන මෙන්ම හදවතක මියැදෙන ආදරයක උණුසුම් සුසුම් සමග එක් වෙයි.
සමන් පෙරමුණ
පොත් බූන්දි | අරගලය සහ ආදරය අතර | ප්‍රමෝද්‍යා ආනන්තගේ "පලායන්නා" - [සමන් පෙරමුණ]

වෙසක් පුන් පෝ දිනට පෙරදා රැයෙහි ලුම්බිණි විසල් උයනේ
උයන්පල්ලා පෙර නොදුටු දසුනකිය සල් තුරු අතර මැවුනේ
"කිමද සියොතුනි රැයෙහි කළබල?" පුදුමයෙනි ඔහු දෙතොල සැලුනේ
එයට පිළිතුරු බඳිනු පිණිසම එක මලිත්තෙක් පෙරට පැමිණේ
"හිමි, සමාවුව මැනවි අප හට, නොදත්තෙමු රැය ආ වගක්
නුහුරු වූ මග ලකුණු සොයමින් පියා සැලුවෙමු බෝ දුරක්
භූමියට නැමි මෙතැන සල් ශාඛාව දෙස බලනුව මදක්
හෙට දිනේ එහි වේදනාවෙන් වෙලෙනු ඇත සියුමැලි අතක්"
"එවිට නොරිදෙනු පිණිස ඒ අත
ගැට සහිත වූ මෙ'රළු මතුපිට
අපේ තුඩඟින් සිනිඳු කරනට
මෙසේ අරගන්නෙමු තැතක්!"
භාතිෂ අකලංක සිල්වා

බංග්ලාදේශයේ ඩකා නුවර ආසන්නයේ ඇඟළුම් කම්හල් ගොඩනැගිල්ලක කඩාවැටීම හේතුවෙන් සිදු වූ දැවැන්ත විනාශයේ ප්‍රතිඵලයන් විදහා දැක්වෙන සේයා රූ දහස් ගණනක් මුදා හැර තිබුණු අතර, ඒ සියළු සේයා රූ අතර වූ එකමෙක සේයාරුවක් සියල්ලන්ගේ හදවත් සසල කරන්නටත් කම්පනයෙන් මුසපත් කරන්නටත් සමත් විය. එය සිය කැමරා කාචයේ සටහන් තැබූයේ තස්ලීමා අක්තර් නම් ඡායාරූප ශිල්පිනිය විසිනි. (තස්ලීමා අක්තර් බංග්ලාදේශයේ ඡායාරූප ශිල්පිණියකි. එමෙන්ම සමාජ ක්‍රියාකාරිනියකි.)
ලේඛකයකු, ඡායාරූපශිල්පියෙකු මෙන්ම දකුණු ආසියානු පත්ශාලා [Pathshala] ඡායාරූප ශිල්පායතනයේ නිර්මාතෘ ද වන සහිදූල් අලාම් මෙම සේයාරුව පිළිබඳ පලකළේ මෙබඳු අදහසක්.
"මේ සේයාරුව සිත් දැඩිව සසල කරන්නක්. ඒවගේම එහි තියෙන්නේ හද සසල කරවන සුළු සුන්දරත්වයක්. මරණීය වැළඳගැනීමක්. එහි මෘදුබව සුන්බුන් අතරින් ඉහළට මතු වෙන්නේත්, අපේ හිත් ස්පර්ශ කරන්නේත් අප පවා බොහෝ සෙයින් අනතුරකට ලක් විය හැකි යයි සිතෙන වටපිටාවකයි. එය හුදු පෞද්ගලිකත්වයේ දසුනක් ලෙස ඉවත දැමීම නොකළ හැක්කක්. මොකද, මේ සේයාරුව අපේ සිහින තුල පවා දෝංකාර දෙමින් සැරිසරණ නිසා. මේ සේයාරුව නිහඬව කියා සිටින්නේ 'කිසිදිනෙක එසේ නොවේවා!' යන්නයි."
ටයිම් සඟරාවේ "ලයිට් බොක්ස්"හි ඩේවිඩ් වොන්ඩ්රේල්ගේ සටහනක් සමග පල වී තිබුණු මේ සේයාරුව ගැන තස්ලීමා අක්තර් මෙසේ ලියුවාය.
"කඩාවැටීමෙ ප්‍රතිපලයක් ලෙස ජීවිත හානි වූ එකිනෙකා වැළඳගත් යුවළගේ සේයාරුව ගැන බොහෝ දෙනෙක් බොහෝ ප්‍රශ්ණ මා වෙත යොමුකළා. ඒ පිළිබඳ කොතරම් වෙහෙස මහන්සි වුනත්, ඔවුන් කවුරුන්දැයි නිශ්චිතව කීමට තරම් හෝඩුවාවක් මෙතෙක් මට හමු වී නැහැ. ඇත්තෙන්ම ඔවුන් කවුරුන්දැයි මා දන්නේ නෑ. ඔවුන් එකිනෙකා අතර තිබුණේ කුමන අයුරක සබඳතාවක් දැයි මා දන්නේ නෑ.
මා මුළු දවසම ගත කළේ ගොඩනැගිල්ල කඩා වැටුණු ස්ථානයේ, සුන්බුන් අතරින් තුවාල ලැබූ ඇඟලුම් සේවක සේවකාවන්ගේ ජීවිත ගලවා ගන්නා අන්දම දකිමින්. මම දුටුවා වේදනාවෙන් හා භීතියෙන් පිරුණු ඔවුන්ගේ ඥාතීන්. එය විසින් මා මානසිකවත් කායිකවත් බොහෝ සෙයින් අඩපණ කරවනු ලැබුවා.
අළුයම 2.00 ට පමණ එකිනෙකා වැලඳගෙන මිය ගිය යුවළක් සුන්බුන් අතර මා දුටුවා. ඔවුන්ගේ සිරුරුවල පහළ කොටස් කොන්ක්‍රීට් තට්ටු අතර සිරවී යට වී තිබුණා. තරුණ මිනිසාගේ ඇස් වලින් රුධිරය වෑහෙමින් තිබුණේ දෑසින් කඳුළු ගලන්නා වාගෙයි. ඔවුන් දුටු පළමු නිශ්චිත මොහොතේ එය මට අදහාගන්නට නොහැකි දසුනක් වුණා. මට දැනුනේ හරියටම මා කලෙක සිට ඔවුන් දන්නා හඳුනන අය බවයි. අසීමිත සමීප බවක් මට දැනෙන්නා වුණා.
එකිනෙකා රැක ගනිමින්, එකිනෙකා ගේ ආදරණීය ජීවිතය බේරා ගන්නට මරණය හා පොරබදමින් සිය අවසන් සුසුම් පොද මුදා හරිමින් සිටි ඔවුන් දෙසා මා මොහොතක් නිසලවා බලාගෙන සිටියා.
මේ සේයාරුව දෙස නැවත හැරී බලන හැම මොහොතකට මා දැඩි අපහසුතාවකට පෙළී පත් වෙනවා. එය මා තුල නැවත නැවත ඉහළ පහළ චලනය වෙමින් දෝංකාර දෙනවා. ඒක හරියටම ඔවුන් මට මෙසේ කියන්නා වාගෙයි. 'අහිමි වුණේ හුදෙක් සංඛ්‍යාත්මක වශයෙන් ජීවිත ගණනක් නෙමෙයි, නොවැදගත් පහත් කම්කරුවන් ද නොවෙයි. පහත් කම්කරු ජීවිත නොවෙයි. අපි ද ඔබ වැනිම මිනිසුන් වෙමු. ඔබේ ජීවිත තරමටම අප ජීවිත වලට ද අගයක් තිබේ. ඔබ තරමටම අපි ද ජීවිතය පිළිබඳ සිහින දකින්නෙමු.'"
නොසැලකිල්ල නිසාවෙන් ඝාතනයට ලක් වූ අහිංසක දුප්පත් මිනිසුන්ගේ කෲර ඉතිහාසයේ ඇසින් දුටු සාක්ෂි කරුවෝ ඔවුහුය. මිය ගිය සංඛ්‍යාව මේ වන විට 750 කි. සිය සහෘද මිනිසුන් සංඛ්‍යාත්මකව පමණක් සලකා බලන්නට තරම් පිළිකුල් සහගත තත්වයකට අප ඇද වැටී ඇත්ද?
මේ අහිංසක නිර්දෝෂි මිනිස් ඝාතන වලට වගකිව යුත්තන්ට ලැබිය යුතු ඉහළ දඬුවම් ලබා දීමට කටයුතු කිරීම සියල්ලන්ගේම යුතුකමයි. එවිට මෙවන් ඛේදවාචකයන් තවදුරටත් අසන්නට නොලැබෙනු ඇත.
මිය ගිය මිනිසුන් අතර ගත වුණු පසුගිය සති දෙකක කාලය තුල මා අතිශය කම්පනයටත් වේදනාව ටත් පත් වුණා. මේ කුරිරු සත්‍යයේ සාක්ෂියක් ලෙස ඒ වේදනාව ඔබ හා බෙදා ගන්නට මා තුල ඇති වූ බලවත් පෙළඹවීම නිසයි මේ සේයාරුව වරක් හෝ ඔබ විසින් දැකිය යුතු යුතු යයි මා සිතුවේ."
( time.com වෙබ් අඩවියේ පළවූ "A Final Embrace: The Most Haunting Photograph from Bangladesh" ලිපියේ පරිවර්තනයකි.)
පරිවර්තනය - නද්යා භාෂිණී අමරනායක
කවි බූන්දි | ෆොන්ටමාරා හන්දියේ උන් බෙරාඩෝ වයලා වෙතයි! - [රත්නසිරි නල්ලපෙරුම]

ෆොන්ටමාරා හන්දියේ උන්
බෙරාඩෝ වයලා වෙතයි
එන්න හැකිනම් අපේ ගමටත්
ඇවිත් යන්නට කාලයයි
මිදි උයන්වතු සිසාරා
රුධිරයෙන් ඉරි ගසාලා
නුඹේ උන් පෙර කළ අමනකම්
මෙහෙත් ගජ රාමෙට කරයි
ගසුත් හිමි නැති
ඵලත් හිමි නැති
ඇස්සෙ පරවේණිය හිමි
මස්සිනාලා විරසකයි
අපේ ගොවි බිම් අපිම වපුරා
අපිම අස්වනු සරි කරන්,
අපේ දුක සැප උහුල ගති නම්
උරුම කරුමට වන ලෙසින්
කුමට අධිරාජයෙක් බිහිකර
ඔහු රකින්න ද දිවි දෙමින් ?
එවන් ලෝකය බිහි කරන්නට
අනේ වයලෝ මෙහෙ වරෙන් ..
රත්නසිරි නල්ලපෙරුම

කිසිවිටෙක
නොඉවසති බොරු
කා දමයි
කාලයක් පුරා රැස්කළ
මිටි ගණන්
පත්තර
[කොවුල් හඩ මගේ හඬ | 1999]
ප්‍රින්ස් සේනාධීර

මේ පාළු වෙරළ දිග
සංග්‍රාම භූමියකැයි නම් ලද
මුල්වලින් උදුරා දමන ලද
ගණන් නැති ජීවිත
බියපත්ව වෙවුලමින්
ඇඟිලිකරු අතර තුර
මඩ කොහොල් චිරි චිරිය
රුහිරු කැටි වේදනා
උහුලමින් දිව ගිය..
කන්‍යාවන්ගේ තිසර පට ද
නොදරුවන්ගේ අතුණු බහන් ද
බොහෝ කලකට පෙර අඩක් සිඳලූ
මිනිස් පා කැබලි ද
භීතිය කඳුළින් පිස කෑ
වළං කටු කැබලි ද
තැනින් තැන විසිර ගිය
වරක් මහ ජනගඟක්
ඉකි හඬක් නොනඟාම
එකම සළකුණක්වත් නොතබාම
මහ රැයක කළපුවක
ගොළු බිහිරි කඳවුරක
සැඟව යනු පිණිස
නිහඬවම ඇවිද ගිය
මේ පාළු වෙරළ දිග....
සංග්‍රාම භූමියකැයි නම් ලද
එකම මිහිමව් කිරෙන් පණ ලැබුව
එක වණින් ලේ හලා
එකම ලෙය පරදවා ධජ නැගුව
මේ පාළු වෙරළ දිග....
‘විජයග්‍රහණය‘යි නම් ලද
එතැන් සිට ......
පොහොයෙන් පොහොය
සඳ නැගෙයි
වෙසක් පොහොය ම
සතරක් ගෙවෙයි
දහසක් මහා දිග රැයවල් කෙළවර
සදහටම මැකී ගිය
ලේ උනන මතකයේ
ගොහොරු කළු වෙරළ මත
සිනිඳු සුදු වැලි මැදෙයි
ඒ මතින් නෑඹූල්ව වියන ලද
ඉතිහාසයක් ඇඳෙයි
ඒ නැවුම් වෙරළ මත
නැවුම් මතකයක සළකුණු ඇඳෙයි
ඒත් ඒ පා ලකුණු නම් නොවෙයි
බරැති කළු බූට් අඩි
පැරණි කළු මතකයට
කිසිදාක නොගැළවෙන ශෛල මුද්‍රා තබයි
හුදෙකලා තල් මුලක හදවතක් පළාගෙන
සිහ නදින් ගිගුම් දී
කටු කම්බි කණු බසියි
තව වරක්...
එකම එක කටහඬක්
පණැති එක හදවතක්
පාදවා ගනු පිණීස
නියපතින් සූරමින්...
සනුහරේ කා හටත් මඟහැරුණු
මිනිස් හදවත් දෙක තුනක්
වැළපෙමින් ඇවිද යයි
ඉතිං...
අපට ද අපේ දරුවන්ට ද
ගැළවීම වනු පිණිස
ඇඳිවතද ඉරා දමනු ලැබ
අපගේ ම වෛරයේ තිත්ත කාඩිය බොමින්
මාංශය ද රුධිරය ද බෙදා දුන්
උතුරු දිග මනුෂ්‍ය පුත්‍රයිනි දූවරුනි,
උර තබා පාපයේ කුරුසිය
දකුණු දිග කල්වාරිය
නගිනෙමි
වෛරයට කමටහන් දෙනු පිණිස
සසර මග ඇදි ඇදී
අතරමග නවතින
කෙසර පිරි බැතිමතුන්
අතර මැද
ඇද වැටෙමි... ඇද වැටෙමි...
එතැන ...
මාංශය ද රුධිරය ද යළි යළිත් පිදෙන
අලුත් අල්තාරයකි..
ඒ මත
සිංහල ද දෙමළ දැයි නොදන්නා කඳුළකි.
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

නොදුන්නද ඇඹුල් වෙරළු
අත මිටට
හා පුරා ආ දාක
උසස් පෙළ පංතියට
ගැටවරකමේ හිතුවක්කාරකම
සොයා දුන්...
දමා හර-බැර කාලයට
සමකොට ශේෂ පත‍්‍රයට
පෝරුවෙදි මගේ අත ගත්
පෙම්වතිය නුඹ...
බිරිඳක්ව බැතිබර
දරුමල්ලන්ගෙ කරදර
හෙට දකින මනහර
හීන ගැනම දොඩවා-
රෑ යහනෙ එහෙම්මම
නින්ද ගිය...
තරහකර නොගෙන
ආනන්දය
ප‍්‍රඥාවෙ තැන
ආලින්දය
දකින අඩු පාඩු ගැන
නොරිස්සුම් පිළිවදන් දුන්නාට
දුක සිතුනදැ’යි
හොරැ’හින් බලන
මගේ පෙම්වතිය
නුඹ....
තැනින් තැන සුදුපාට
වියමන..
වියපත
ගෙදර ආ ඉක්මන
දරුවන්ගෙ දරුවන්ට
ආත්තම්මා උනත්
මගේ පෙම්වතිය-
නුඹට හිමි තැන
සඳ අහසෙ
මළානික දම්පාට
තොටුපොළට
ඔරු නොඒවිද රෑට
රැළි වැටුනු වියපතේ කොළපත
අඩ අඳුරු නෙත සොයයි
ඔය අත..
හැරයටිය අතැ’ර
ගෙන මගෙ අත
සංසාරෙ එහා තොටුපළ
ළඟදි හමුවෙන්න
මටත් රහසින් පැතුව...
උසස් පෙළ පංතියෙදි
ඉඟි කෙරුව
තවම මගෙ පෙම්වතිය
නුඹ..
ජයන්ත නිමල් සිරි

යම් රටක නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කොපමණ ආරක්ෂා වී තිබෙනවාද යන්න මැන ගැනීමට හැකි සරලම සාධකය වන්නේ එම රටේ ජනමාධ්‍යයන්ට හිමි නිදහසයි. ජනමාධ්‍ය නිදහස පිළිබඳ පිළිගත් ජාත්‍යන්තර දර්ශක අනුව ලංකාව සිටින්නේ ඉතාමත් පහළ මට්ටමක බව රහසක් නොවේ.
‘දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ’ (Journalists Without Borders) නමැති ජාත්‍යන්තර සංවිධානයේ වාර්තා අනුව, ජනමාධ්‍ය නිදහස අනුව ලංකාවට ලැබී ඇත්තේ 163 වැනි ස්ථානයයි.
[බලන්න.]
2010 වසරේ 158, 2009 වසරේ 162, 2008 වසරේ 165, 2007 වසරේ 156, 2006 වසරේ 141, 2005 වසරේ 115, 2004 වසරේ 109, 2003 වසරේ 89 සහ 2002 වසරේ 051 යන ස්ථානවල එම දර්ශකය අනුව ලංකාව පැවතිණි. මේ අනුව ලංකාවේ ජනමාධ්‍ය නිදහස වත්මන් පාලනය යටතේ දිගින් දිගටම පිරිහීමට ලක්ව ඇති ආකාරය අමුතුවෙන් කිවයුතු නොවේ.
එක්සත් ජනපදයේ ‘ෆ‍්‍රීඩම් හවුස්’ (Freedom House) ආයතනයේ වාර්තා අනුව ලංකාව සිටින්නේ ජනමාධ්‍ය නිදහසක් නැති රටවල් අතරය. 2012 වසරට අදාළව ඔවුන්ගේ දර්ශකය අනුව එය 161 වැනි ස්ථානයයි.
[බලන්න.]
එම සංවිධානය විසින් 2013 වසර සඳහා සකස් කළ නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාව ස්ථානගතව ඇත්තේ අර්ධ නිදහසක් සහිත රාජ්‍යයන් අතරටය.
[බලන්න.]
දේශපාලන අයිතිවාසිකම් (Political Rights) තත්වය එනම්, පාලන ක‍්‍රියාවලිය, මැතිවරණ, දේශපාලනයට ජන සහභාගීත්වය හා බහුවිධත්වය ද සිවිල් නිදහස පිළිබඳ තත්වය (Civil Liberties) එනම්, කැමැති මතයක් දැරීමේ, ඇදහීමේ හා ප‍්‍රකාශනයේ නිදහස, සංවිධානය වීමේ හා සමාගමයේ නිදහස, නීතියේ පාලනය, පුද්ගල ස්වාධීනතාව හා පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිවාසිකම් පදනම් කරගෙන මෙම දර්ශකය සකස් කළ බව ‘ෆ‍්‍රීඩම් හවුස්’ ආයතනය පවසයි. එම නිර්ණායක අනුව ලෝකයේ රටවල් වර්ගීකරණය කිරීමේ දී ලංකාව දේශපාලන අයිතිවාසිකම් තත්වය අනුව අයත් වන්නේ පස් වැනි කාණ්ඩයටයි. සිවිල් නිදහස පිළිබඳ වර්ගීකරණය අනුව ලංකාව අයත් වන්නේ 4 වැනි කාණ්ඩයටයි. එකී දර්ශකයේ පළමු වැනි කාණ්ඩයට අයත් ලෝකයේ සංවර්ධිත රටවල් සමග අපේ සමාජ තත්වයන් සමපාත කළ නොහැකිය. කෙසේ වුවත් මෙම දර්ශකයේ ස්ථානගත වීමෙන් ම පෙනී යන අන්දමට අප ලෝකයේ පුරවැසියන්ට හිමිව ඇති නිදහස අනුව, පස් වැනි තැනට ඇද දමන ලද පුරවැසියන්ය.
කුමන දර්ශකය නැතත්, පසුගිය වසර ගණනාවක් පුරා ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් කි‍්‍රියාත්මක වීමේ අත්දැකීම්, සමාජයක් ලෙස අපට අමතක කළ නොහැකිය. ජනමාධ්‍යවේදීන්ට පහර දීම, පැහැරගෙන යාම, අත්අඩංගුවට ගැනීම, අතුරුදන් කිරීම සහ ඝාතනය කිරීම යනාදී වශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන ද ප‍්‍රහාරයට ලක් වීම, ගිනි තබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක් වීම වැනි ඍජු ලෙස මර්දනයට හසු වීම දක්නට ලැබේ.
මේ වන විට ජීවිතාරක්ෂාව පතා විදේශගතව සිටින ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සැලකූ විට රටේ ඇත්තේ ජනමාධ්‍යකරුවන් දඩයම් කරන පාලනයක් බව ඉතාමත් පැහැදිලිය. යම් කරුණක් සම්බන්ධව තමන් දරන මතය ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කිරීම යනු ප‍්‍රහාරයකට ගොදුරු වීමේ අනතුර කැඳවා ගැනීමක් වන නිසා විදේශයන් හි ආරක්ෂාව පතා ගිය මාධ්‍යවේදීන්ට වසර ගණනාවකින් පසුව පවා මෙරටට ඒමට සුදුසු පරිසරයක් නිමැවී නැත. අතපය කඩාබිඳ දැමීමෙන් පසුව විදේශගත වූ පෝද්දල ජයන්ත යනු සිය ආරක්ෂාව ඉල්ලා සිටිය ද එය නොලැබුණු රාජ්‍ය ජනමාධ්‍ය ආයතන සේවකයෙකි. ආණ්ඩුවේ පාලනය යටතේ පවතින ජනමාධ්‍යයන් හි සේවය කිරීමේ දී ආරක්ෂාවක් නැති නම් සෙසු මාධ්‍ය ආයතනවල සේවකයන් ගැන කුමන කතාද?
ජනමාධ්‍යවේදීන්ටත් ජනමාධ්‍ය ආයතනවලටත් මෙසේ විවිධ තාඩන පීඩනවලට ලක් වන්නට හා අනාරක්ෂිත පසුබිමක් මතුව තිබිය දී ඒ පිළිබඳව ආණ්ඩුවත් විශේෂයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයාත් පොලිසිය, අධිකරණය වැනි නීතිය බලාත්මක කරන ආයතන පවා ප‍්‍රමාණවත් අවධානය යොමුකොට නැත. ජනමාධ්‍යවේදීන්ට පහර දීමේ සිට ඝාතනය කිරීම දක්වා අපරාධ සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට මේ දක්වා ආණ්ඩුව හෝ අදාළ අංශ කටයුතු කර නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වන බව විවිධ අවස්ථාවල දී බලධාරීන් විසින් ප‍්‍රකාශ කළත් අදාළ වරදකරුවකු අත්අඩංගුවට ගත් බවක්, හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.
වත්මන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ අවස්ථා 44ක් සහ ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 20ක්, පැහැරගෙන ගිය අවස්ථා 05 ක් පිළිබඳ නිසි විමර්ශන සිදු කර නැත. ජනමාධ්‍ය නිදහසට එරෙහිව යම් බලවත් පාර්ශ්වයක් විසින් මෙහෙයවනු ලබන අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව එහි අදහසයි. මේ ජනමාධ්‍යවේදීන් හිරිහැරයට ලක් වූයේ ආණ්ඩුව විවේචනය කරමින් ගෙන ගිය මාධ්‍ය භාවිතයක් තුළ නිසාම එකී අපරාධයන් පිළිබඳ වගකීමෙන් නිදහස් වන්නට ආණ්ඩුවට නොහැකිය. මීට අමතරව ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට පහර දීමේ අවස්ථා ගණනාවක් වාර්තා විය. නිශ්චිතව අවස්ථා අටක දී ජනමාධ්‍ය ආයතනවලට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධ නිසි පරීක්ෂණ සිදු කර වාර්තා ඉදිරිපත් කර නැත.
මෙයින් මහ දවාලේ ‘සිරස’ ප‍්‍රවෘත්ති අංශයට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවේ එම ආයතනය විසින් සිදුවීම වීඩියෝගත කිරීම නිසා සැකකරුවන් කවුරුන්ද යන වග නිශ්චිතවම හඳුනා ගනු ලැබිණි. මර්වින් සිල්වා ඇමැතිවරයා ජාතික රුපවාහිනී සංස්ථාවට අනිසි ලෙස කඩාවැදී සිදු කළ කලබලකාරීත්වය පිළිබඳ කිසිදු පරීක්ෂණයක් නැත. එහෙත් එම සිදුවීමෙන් පසුව ඇතැම් රුපවාහිනී මාධ්‍යවේදීන්ට පහර දීම හා තියුණු ආයුධවලින් තුවාල කිරීම සහ මරණ තර්ජන කිරීමක් සිදු විය. අධිකරණ ක‍්‍රියාවලිය මන්දගාමීය. නීතිපතිවරයාගේ හා පොලිස්පතිවරයාගේ සහ ඔවුන් විසින් මෙහෙයවන දෙපාර්තමේන්තුවල අකාර්යක්ෂමතාව හෝ හිතාමතා ප‍්‍රමාද කිරීම් මේ තත්වයන්ට හේතු වී තිබේ.
ඊට අමතරව ජනමාධ්‍ය ආයතන පසුගිය කාලයේ විවිධ හිරිහැරයන්ට ලක් වී තිබේ. නීතිය හා යුක්තිය ඉටු කරන්නට නොහැකි වන තාක් ආණ්ඩුවට එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පලා යා නොහැකි බව අවධාරණය කරමු. ජනමාධ්‍ය ආයතනවලට හා මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව සිදු කළ අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශන පවත්වා ඒ කිසිදු අපරාධකාරී ක‍්‍රියාවක් පිළිබඳ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. එසේ වුවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම හා ජනමාධ්‍ය ආයතනවලට මුද්‍රා තැබීම සඳහා ආණ්ඩුව නීතියේ රැකවරණය ලබා ගනී. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුළ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයන් අත්අඩංගුවට ගැනීමේ අවස්ථා 38ක් සහ මාධ්‍ය ආයතන මුද්‍රා තැබීම් 2ක් වාර්තා විය. එසේම පුවත් වෙබ් අඩවි ගණනාවක් තහනම් කරන ලදී. ගුවන් විදුලි නාලිකා තහනම් කළ අවස්ථා ද තිබේ.
රටේ මූලික නීතිය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තහවුරු කර ඇති අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය (Freedom of Expression) නිසි පරිදි පවත්වාගෙන යාමටත් ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Know) ආරක්ෂා කර දීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබේ. මැතිවරණවල දී ජනමාධ්‍ය නිදහස රකින බවට පවසන ජනාධිපතිවරයාත් ජනමාධ්‍ය ඇමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවේ වෙනත් නායකයනුත් ප‍්‍රායෝගික තලයේ ඒ වෙනුවෙන් ප‍්‍රකාශවලට ඔබ්බෙන් ක‍්‍රියාකාරීත්වයක් දක්වා නැති බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව ඇත.
"කඳුළු බිඳුවක නොරැඳී- කොතැන ඉන්නෙද සැඟවී
හැංගි මුත්තම ඉවර කළ මැන- දින දෙසීයම දිනෙකී.."
සන්ධ්‍යා එක්නැලිගොඩ මංජුල වෙඩිවර්ධනගේ කවිය [කියවන්න.] කියවමින්- ප්‍රගීත් අතුරුදහන්ව දින දෙසීයක් ගෙවුණු දා....(විකල්ප පුවත් වීඩියෝව)
ජනමාධ්‍ය ආරක්ෂා කිරීමේ පිළිවෙත ක‍්‍රියාකාරීත්වයක් බවට පත් කිරීමට නම් අවම වශයෙන් මේ තාක් හිරිහැරයට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධව හා ප‍්‍රහාරයට ලක් වූ ජනමාධ්‍ය ආයතන පිළිබඳව නීතිය හා යුක්තිය ඉටු කළ යුතුව තිබේ. එහි ලා ආණ්ඩුවේ වගකීම එසේම තිබිය දී නීතිය බලාත්මක කිරීමේ කාර්යය වෙනුවෙන් පොලිසිය විසින් වගකිවයුතු කාර්යභාරයක් ඉටු කළ යුතුව ඇත. පොලිසිය නීතිය අතට ගෙන කටයුතු කරන අවස්ථාවල දී ජනමාධ්‍ය නිදහස අහිමි වන අවස්ථා බොහෝ තිබේ. පොලිස් නිලධාරීන් ඉහළ සිට පහළට කටයුතු කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් සිය ප‍්‍රතිවාදීන් පිරිසක් වැනි ආකල්පයකිනි. අනෙක් අතට ජනමාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් අදාළ වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ දී ද පොලිසිය හා ආණ්ඩුව දැඩි උදාසීන පිළිවෙතක් අනුගමනය කරන බව පෙනේ.
මෙම පසුබිම තුළ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සතු විශේෂ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස දැඩි තර්ජනයකට මුහුණ දී තිබේ. තමන් විසින් මහන්සියෙන් සොයා ගත් තොරතුරු වාර්තා කිරීම නිසා ජනමාධ්‍යවේදීන්ට බියෙන් යුතුව ජීවත් වන්නට සිදු වේ. සත්‍ය කරුණු ඇතුළත් කරනු වෙනුවට ලිපියක පදාස පිටින් කපා දමා පළ කිරීමට ජනමාධ්‍යවේදීන් පොලඹවන ජනමාධ්‍ය ආයතන හිමිකරුවන් ඇත්ත වෙනුවෙන් තර්ජනයන්ට ලක් වන මාධ්‍යකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැත.
ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ශ‍්‍රමයෙන් ජනප‍්‍රියත්වයට පැමිණි පුවත්පත්වලින් මිලියන ගණන් වාර්ෂිකව ලාභ එකතු කරගන්නා පුවත්පත් හිමිකරුවෝ එකී ගවේෂණාත්මක කාර්යය නිසා මරණ තර්ජනයට ලක් වන තම මාධ්‍ය සේවකයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරති. ඇතැම් ආයතනවල ජනමාධ්‍යකරුවන් අසාධාරණයන්ට ලක් වෙද්දී හා සත්‍යය වාර්තා කිරීම නිසා තර්ජනයට ලක් වීමේ දී නීතිඥ සහාය පවා ලබා දෙන්නට ජනමාධ්‍ය ආයතන ඉදිරිපත් නොවේ. ඒ නිසාම ජනමාධ්‍ය සේවකයෝ ශ‍්‍රම සූරාකෑම නිසා පීඩාවට පත් වන අතරම තම වෘත්තිය නිසා ජීවිතාරක්ෂාව පිළිබඳ අවදානමකට ලක්ව සිටිති. ජනමාධ්‍ය නිදහස පිළිබඳව ලෝකයේ විවිධ ක‍්‍රියාකාරීත්වයන් සිදු වෙද්දී අප රටේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තිය ආරක්ෂා කරගන්නටත් ජීවිත ආරක්ෂා කරගන්නටත් ආයාචනා කරන්නට සිදුව තිබේ.
මේ පසුබිම තුළ ලංකාවේ ජනතාව විසින් සිය නිදහසේ මූලික කොන්දේසියක් ලෙස ‘ජනමාධ්‍ය නිදහස’ රැක ගන්නට ක‍්‍රියාකාරීව පෙරට ආ යුතු කාලය එළඹ තිබේ. ජනමාධ්‍ය පැවැත්මට අදාළ අයිතිවාසිකම් හා නිදහස යනු හුදු ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන වලට පමණක් අදාළ වන්නක් නොවේ.
මුළුමහත් සමාජයේම නිදහස උදෙසා ඒ මුළුමහත් සමාජය විසින්ම ජනමාධ්‍යවේදියාගේ වෘත්තීයමය නිදහසත් තොරතුරු දැන ගැනීමේ අයිතියත් රැකගත යුතු බව වටහා ගන්නට තවත් ප‍්‍රමාද විය යුතු නැත.
******
ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය විසින් 2013 ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් ‘මරණය සමග වසර නවයක්’ යන තේමාවෙන් නිකුත් කළ 2004 මැයි සිට 2013 මැයි දක්වා ජනමාධ්‍ය මර්දනයේ අත්දැකීම් වාර්තාව-
මාධ්‍ය මර්දනය- මරණය පෙනි පෙනී වසර නවයක්
(2004 මැයි – 2013 මැයි කාලය තුළ ලංකාවේ ජනමාධ්‍ය වෙත එල්ල වූ මර්දනකාරී අත්දැකීම්)
මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ඝාතනය කිරීම
2004
1. මැයි 31 ‘වීරකේසරී’ පුවත්පතේ තීරු ලිපි රචක අයියතුරේ නඬේසන්
2. අගෝස්තු 16 ‘දිනමුරසු’ පුවත්පතේ මාධ්‍යවේදී කන්දසාමි අයියර් බාලනඩරාජා
3. දෙසැම්බර් 11 ‘ලංකාදීප’ මාධ්‍යවේදී ලංකා ජයසුන්දර
අයියතුරේ නඬේසන්
2005
1. අපේ‍්‍රල් 28 ටැමිල්නෙට්, ඬේලිමිරර්, වීරකේසරී මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකි)
2. ජූනි 29 ‘ඊලනාදම්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කන්නමුත්තු අර්සකුමාර්
3. අගෝස්තු 12 ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකා රෙලංගී සෙල්වරාජා
4. අගෝස්තු 29 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ආරක්ෂක නිලධාරි ඬේවිඞ් සෙල්වරත්නම්
5. සැප්තැම්බර් 30 ඊලනාදම් පුවත්පතේ බෙදාහැරීම් නිලධාරි යෝගකුමාර් ක‍්‍රිෂ්නපිල්ලේ
6. දෙසැම්බර් 02 කාත්තන්කුඩි ප‍්‍රා. ලේකම් කාර්යාලයේ සේවය කළ ලේඛක නෙටිප්ට්ටමුනෙයි ෆලීල්
7. දෙසැම්බර් 22 ‘තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරිම් නිලධාරි කේ නවරත්නම්
ධර්මරත්නම් සිවරාම් (තාරකි)
2006
1. ජනවාරි 24 ‘සුඩර් ඔලි’ පුවත්පතේ ත‍්‍රිකුනාමල වාර්තාකරු සුබ‍්‍රමනියම් සුගිතරාජන්
2. පෙබරවාරි 01 දෙමළ පුවත් සේවා ආයතනයක් පවත්වාගෙන ගිය එස්.ටී.ගනනාතන්
3. මැයි 03 ‘උදයන්’ පුවත්පතේ බෙදාහැරිම් කලමනාකරු බී.ජී.සගයදාස් (සුරේෂ්)
4. මැයි 03. ‘උදයන් පුවත්පතේ බෙදාහැරීම් පරීක්ෂක රාජරත්නම් රංජිත් කුමාර්
5. ජූලි 02 ‘ඉරුදින, සත්දින, ලක්බිම’ මාධ්‍යවේදී සම්පත් ලක්මාල් ද සිල්වා
6. ජූලි 27 වීරකේසරි, තිනකුරල් පුවත්පත් බෙදාහැරීම් නියෝජිත මරියදාසන් මනෝජනරාජ්
7. අගෝස්තු 15 උදයන් පුවත්පතේ බෙදාහැරීම් කාර්යමණ්ඩලයේ සතාසිවම් බාස්කරන්
8. අගෝස්තු 20 යාපනයේ පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ කලමනාකරු සින්නතම්බි සිවමහරාජා
සම්පත් ලක්මාල් ද සිල්වා
2007
1. පෙබරවාරි 12 පළවන ‘නමාතු ඉලනාඩු’ පුවත්පතේ මුද්‍රණ ශිල්පී එස්.රවීන්ද්‍රන්
2. පෙබරවාරි 15 පළවන ‘නමාතු ඉලනාඩු’, ‘වාලම්පුරි’ පුවත්පත්වල වාර්තාකරු සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන්
3. අපේ‍්‍රල් 16 ඊලනාදම්, විරකේසරී ලේඛක සහ ‘නිලාම්’ සඟරාවේ සංස්කාරක චන්ද්‍රබෝස් සුදාකර්
4. අපේ‍්‍රල් 29 ‘උදයන්’ සහ ‘තිනකුරල්’ මාධ්‍යවේදී සෙල්වරාසා රජිවර්මන්
5. අගෝස්තු 01 යාපනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු හා අර්ධකාලීන ලේඛකයකු වූ සහදේවන් නිලක්ෂන්
6. 2007 අගෝස්තු 21 ‘ඊලනාඩු’ පුවත්පතේ සිවතම්බි සිවරාසා
7. නොවැම්බර් 05 ‘යාරි තිනකුරල්’ යාපනයේ පුවත්පත් අලෙවි නියෝජිතයකු වූ ඒ. එස්. සිද්දිරංජන්
8. නොවැම්බර් 17 ‘උදයන්’ පුවත්පතේ සොදුපත් කියවන්නකු වූ වඩිවේලූ නිමලරාජ්
9. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ඉසයිවිෂි චෙම්පියන් (සුභාෂිනි)
10. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ කාර්මික නිලධාරි සුරේෂ් ලිම්බියෝ
11. නොවැම්බර් 27 ‘කොටි හඬ’ ගුවන්විදුලියේ සේවය කළ ටී.ධර්මලිංගම්
12. දෙසැම්බර් 05 ‘දිවයින’ වාර්තාකරු බඞ්ලිව්. ගුනසිංහ
2008
1. මැයි 28 ‘ශක්ති ටීවී‘ යාපනේ වාර්තාකරු පී. දේවකුමාර්
2. ඔක්තෝබර් 06 ‘සිරස’ වාර්තාකරු රශ්මි මොහොමඞ්
3. ඔක්තෝබර් ‘ඊලනාදම්’ පුවත්පතේ මාධ්‍යවේදී රාසයියා ජෙයන්දිරන්
ලසන්ත වික‍්‍රමතුංග
2009
1. ජනවාරි 09 ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග
2. පෙබරවාරි 12 ‘ඊලනාදම්’, විල්නාදම්, ඉලමුරසු පුවත්පත්වලට ලියූ මාධ්‍යවේදී පුන්‍යමූර්ති සත්‍යමූර්ති
3. මාර්තු 05 ‘ඊලනාදම්’ බෙදාහැරීම් නියෝජිත ශෂී මාදන්
4. මාර්තු 13 ‘ඊලනාදම්’ බෙදාහැරිම් නිලධාරි මහලිංගම් මහේෂ්වරන්
5. මාර්තු ‘ඉලනාදම්’ බොදහැරිම් නියෝජිත ඇන්ටන්
6. අපේ‍්‍රල් 09 ‘ඊලනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී රාජ්කුමාර් ඩෙන්සේ
7. අපේ‍්‍රල් 25 ‘ඊලනාදම්’ මුද්‍රණශිල්පී ජෙයරාජා සුශීදරා (සුගන්දන්)
8. මැයි 14 ‘ඊලනාදම්’ වාර්තාකරු එම්. ඇන්තනි කුමාර්
9. මැයි 14 ‘ඊලනාදම්’ පුවත්පතේ පරිගනක ශිල්පී තුරයිසිංහම් දර්ශන්
10. මැයි 18 ‘දෙමල ඊලම්’ ටෙලිවිෂන් සේවයේ නිවේදිකා ඉසි ප‍්‍රියා (ෂෝභා)
11. මැයි ‘කොටි හඬ’ ගුවන්විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ තිරුකුලසිංහම් තවබාලන්
2009.01.09- මර්දකයන් ලසන්ත වික‍්‍රමතුංග ඉවත් කළ දිනය.
ජනමාධ්‍යවේදීන් අතුරුදන්කිරීම
2010 ජනවාරි 24 – ප‍්‍රගීත් එක්නැලිගොඩ
ජනමාධ්‍යවේදීන් පැහැරගෙනයාම
1. 2006 අගෝස්තු 28 – නඩරාජා ගුරුබරන්
2. 2008 ජූනි 22 – තිරුචෙල්වම් තිරුකුමාර්
3. 2009 පෙබරවාරි 26 – ‘සුඩර් ඔලි’ ප‍්‍රධාන කර්තෘ එන්. විද්‍යාධරන්
4. 2009 මාර්තු 11 – මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
5. 2010 ජනවාරි 27 – යාපනයේ මාධ්‍යවේදී නවරත්නම් පරමේශ්වරම්
ඇත්ත වෙනුවෙනි හිරබත- තිස්ස නම් වන හිතවත.... [කියවන්න.]
මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම
1. 2007 ඔක්තෝබර් 24 – ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ ආතර් වාමනන්
2. 2007 මාර්තු 07 – ජේ.එස්. තිස්සනායගම්
3. 2007 නොවැම්බර් 28 – ‘සන්ඬේ ලීඩර්’ ඡායාරූප ශිල්පී – අශෝක ප‍්‍රනාන්දු
4. 2007 ජූනි 23 ‘උදයන්’ පුවත්පතේ කුමාරදාස්
5. 2008 අගෝස්තු 26 – ස්වාධීන රූපවාහිනියේ නාගලිංගම් කෙන්ඩියුසන්
6. 2008 පෙබරවාරි 12 – ඒ.පී. පුවත් සේවයේ ගැමුණු අමරසිංහ
7. 2008 මාර්තු 08 – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ එස්. සිවකුමාර්
8. 2008 ජූලි 30 – ඉන්දිය මාධ්‍යවේදී අලි එක්රම්
9. 2008 නොවැම්බර් – ඒ.ආර්. වාමලෝෂන්
11. 2009 ජූනි – ලංකා ඊනිව්ස් – සඳරුවන් සේනාධීර
12. 2009 සැප්තැම්බර් 02 – ‘ලංකා’ පුවත්පතේ ශාලික විමලසේන, දයා නෙත්තසිංහ, ඡායාරූපශිල්පී රවින්ද්‍ර පුෂ්පකුමාර බොරු චෝදනා මත දෙනියායේදී අත්අඩංගුවට ගෙන දින 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තැබීම
13. 2009 ඔක්තෝබර් 17 ‘ලංකා’ ප‍්‍රධාන කර්තෘවරයා හෝමාගමදී අත්අඩංගුවට ගැනීම
14. 2010 ජනවාරි 29 – ‘ලංකා’ ප‍්‍රධාන කර්තෘ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන දින 18ක් රඳවාතැබීම
15. 2010 මාර්තු 15 – පානදුර ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු
16. 2010 මාර්තු 16 – මාධ්‍යවේදී රුවන් වීරකොන් අත්අඩංගුවට ගැනීම
17. 2011 අපේ‍්‍රල් – 25 ‘ඊ නිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය
18. 2012 ජූනි 29 – ‘ලංකා මිරර්’ සහ ‘ලංකා එක්ස් නිව්ස්’ මාධ්‍යවේදීන් 9 දෙනකු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම
19. 2012 ඔක්තෝබර් 02 – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් යයි පවසා මාධ්‍යවේදී ක‍්‍රිෂාන් රාජපක්ෂ හිරිහැරයට ලක් කිරීම
20. 2012 නොවැම්බර් 27 – මාධ්‍ය වෘත්තිය සමිති ක‍්‍රියාකාරිකයකුවන සංජිව සමරසිංහ අත්අඩංගුවට ගෙන නිදහස්කිරීම
ඇමති මර්වින් පෝද්දල ජයන්ත ප්‍රහාරයේ වගකීම ප්‍රසිද්ධියේ භාරගන්නා අන්දම. (දෙරණ පුවත් වීඩියෝව)
ජනමාධ්‍යවේදීන්ට පහරදීම්
1. 2007 ජනවාරි 06 – ‘රිවිර’ මාධ්‍යවේදී තිස්ස රවින්ද්‍ර
2. 2007 ජනවාරි බීබීසී වාර්තාකරු ඥානසිරි කොත්තිගොඩ සහ ‘හරය’ පුවත්පතේ අජිත් සෙනෙවිරත්න
3. 2007 ජනවාරි 28 ‘තිනකුරල්’ කේ.පී.මොහාන්
4. 2007 ජනවාරි 10 ප‍්‍රාදේශීය මාධ්‍යවේදී වික්ටර් සෝමවීර
5. 2008 ජනවාරි 16 – ‘සිරස’ මාධ්‍යවේදී යූ.එස්.බී. බණ්ඩාර
6. 2008 ජනවාරි 25 රූපවාහිනී සංස්ථාවේ ලාල් හේමන්ත මාවලගේ සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධයකින් කපා තුවාල කිරීම
7. 2008 ජනවාරි 28 ‘තිනකරන්’ පුවත්පතේ සුහයිබ් එන්. කාසිම්
8. 2008 පෙබරවාරි 28 – ස්වාධීන රූපවාහිනියේ පංකජ සංකල්ප
9. 2008 මැයි 09 ‘වාරඋෙරෙයික්කල්’ කර්තෘ එම්.අයි. රහමතුල්ලා
10. 2008 මැයි 19 නිදහස් මාධ්‍යවේදී ජව්ෆර් ඛාන්
11. 2008 මැයි 19 සිරස කැමරා කන්ඩායමට පහරදී කැමරා විනාශ කිරීම
12. 2008 මැයි 22 ‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර්
13. 2008 ජූනි 05 එම්.සී. පිලිස්
14. 2008 ජූනි 30 ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නාමල් පෙරේරා සහ මහේන්ද්‍ර රත්නවීර
15. 2008 ජූලි 18 යොහාන් පෙරේරා, ප‍්‍රදීප් දිල්රුක්ෂ
16. 2008 අගෝස්තු 04 සිරස නාලිකාවේ තුෂාර රනවක, වරුණ සම්පත්
17. 2008 අගෝස්තු 28 ‘ලංකාදීප’ යමුනා හර්ෂනී සහ ජානක ගලප්පත්ති
18. 2008 අගෝස්තු 28 ජාතික රූපවාහිනියේ දුෂාන්ත මනෝජ්
19. 2008 අගෝස්තු 28 ‘රිවිර’ ප‍්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන්
20. 2008 නොවැම්බර් 29 මඩකලපුවේ මාධ්‍යවේදියකු ප‍්‍රහාරයට ලකම්ම
21. 2008 මාර්තු 05 රූපවාහිනී සංස්ථාවේ රංජනී අලූත්ගේ හේරත්ගේ උරහිස දැලිපිහියකින් කැපීම
22. 2008 මාර්තු 14 රූපවාහිනී සංස්ථාවේ අනුරසිරි හෙට්ටිගේ ප‍්‍රහාරයට ලක්වීම
23. 2008 සැප්තැම්බර් 08 ‘තිනකරන්’ රාධිකා තේවකුමාර්
25. 2009 ජනවාරි 23 ‘මැක්ස් ටිවී’ මාධ්‍යවේදීන්ට පහරදීම
26. 2009 ජූනි වෘත්තිය පත‍්‍රකලාවේදීන්ගෙ සංගමයේ පෝද්දල ජයන්ත
27. 2010 ජනවාරි 16 බීබීසී පොලොන්නරුව වාර්තාකාරිනී තක්ෂිලා දිල්රුක්ෂි
28. 2010 ජනවාරි 28 ජාතික රූපවාහිනියේ රවි අබේවික‍්‍රමට පහරදී මරණ තර්ජන සිදුකිරීම
29. 2010 පෙබරවාරි 02 අනුරාධපුර ‘සිරස’ වාර්තාකරු රිස්වි මොහොමඞ්
30. 2010 පෙබරවාරි 03 ‘සිරස’ මාධ්‍යවේදි ශ‍්‍රී රංගා
31. 2010 පෙබරවාරි 10 ‘සිරස’ සහ ‘ස්වර්ණවාහිනී’ ප‍්‍රාදේශීය වාර්තාකරුවන්දෙදෙනකුට දෙහිඅත්තකණ්ඩියේදී පහරදීම
32. 2010 පෙබරවාරි 10 ‘සිරස’ හා ‘සියත ටීවී’ වාර්තාකරුවන් දෙදෙනකු හම්බන්තොටදී ප‍්‍රහාරයට ලක්වීම
33. 2010 ඔක්තෝබර් 07 උද්ඝෝෂණයක් වාර්තාකිරීමට ගිය ලංකාදීප මාධ්‍යවේදී බිගුන් මේනක ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනකු ප‍්‍රහාරයට ලක්වීම
34. 2010 දෙසැම්බර් 07 ‘ලංකා ඊනිව්ස්’ මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කටුනායකදී ප‍්‍රහාරයට ලක්වීම
35. 2011 ජූලි 29 ‘උදයන්’ ප‍්‍රවෘත්ති සංස්කාරක ඥානසුන්දරම් කුගනාදන් යාපනේ සිය නිවස අසළදී ප‍්‍රහාරයට ලක්වීම
36. 2012 සැප්තැම්බර් 28 ‘ලංකා ස්ටැන්ඩර්ඞ්’ මාධ්‍යවේදිනි නිර්මලා කන්නන්ගර නන්දිකඩාල්හි සූරියපුරම් හමුදාකඳවුරේදී සොල්දාදුවන් පිරිසකගේ හිරිහැරයට ලක්වීම
37. 2012 සැප්තැම්බර් 29 හලාවත ප‍්‍රාදේශීය වාර්තාකරු ප‍්‍රසාද් පූර්නිමාල් පොලිස් ප‍්‍රහාරයට ලක්වීම
38. 2012 නොවැම්බර් 27 ‘උදයන්’ මාධ්‍යවේදී ටී.පේ‍්‍රම්නාත් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එල්ලවූ ප‍්‍රහාරය වාර්තා කරනවිට පහරදීම
39. 2013 ජනවාරි 15 – මාධ්‍යවේදියකු යාපනයේ බස් නැවතුමේ දී ප‍්‍රහාරයට ලක් වීම
40. 2013 පෙබරවාරි ‘යාෂ් තිනකුරල්’ පුවත්පතේ බෙදාහැරීම් විධායක එස් සිවකුමාරන්ට යාපනයේ දී පහර දී ඔහුගේ යතුරු පැදිය සහ පුවත්පත් තොගය ගිනිතබා විනාශ කිරිම
41. 2013 පෙබරවාරි 17 ‘බොදුබල සේනා’ රැළිය වාර්තා කිරීමට ගිය බී.බී.සී. වාර්තාකරුවන් දෙදෙනකුට සිය කාර්ය කිරිමට ඉඩ නොදී රඳවාගෙන හිරිහැරකිරිම සහ ඔවුන්ගේ කැමරා ආම්පන්න උදුරාගැනීම
42. 2013 පෙබරවාරි 15 ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ මාධ්‍යවේදියකු වන ෆාරාස් ෂවුකටලි නිවසේදී වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීම
43. 2013 අපේ‍්‍රල් 03 – කිලිනොච්චියේ බෙදාහැරීම් කාර්යාලයට කඩාවැදී අලාභහානි කිරීම
ජනමාධ්‍යවේදීන් වෙත තර්ජනය කළ අවස්ථා
1. 2008 ජනවාරි 29 රූපවාහිනී සංස්ථාවේ දුලිප් දුෂාන්තගේ නිවසට පැමිණ ඔහුගේ මවට තර්ජනය කර මරණ තර්ජනය කිරීම
2. 2008 පෙබරවාරි 27 රූපවාහිනී සංස්ථාවේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රියාල් රංජිත් පෙරේරා වෙත තර්ජනය කිරීම
ජනමාධ්‍ය ආයතන ප‍්‍රහාරයට ලක්වූ අවස්ථා*
1. 2007 ජනවාරි 01 නුගේගොඩ පිටකෝට්ටේ ‘ලංකා’ මුද්‍රණාලයට ගිනිතැබීම
2. 2007 නොවැම්බර් රත්මලාන 21 ලීඩර් මුද්‍රණාලයට ගිනිතැබීම
3. 2007 දෙසැම්බර් 27 ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදීම
4. 2009 ජනවාරි 06 පන්නිපිටියේ ‘සිරස’ ආයතනයට බෝම්බ ගැසීම
5. 2009 පෙබරවාරි 23 නුගේගොඩ ‘මැක්ස්’ ආයතනයට පහරදීම
6. 2009 මාර්තු 24 යාපනයේ ‘උදයන්’ කාර්යාලයට ග්‍රෙනේඞ් ප‍්‍රහාරය
7. 2010 ජූනි 30 කොළඹ ‘සියත’ ආයතනය ගිනිතැබීම
8. 2011 ජනවාරි 31 මාලබේ ‘ලංකා ඊනිව්ස්’ කාර්යාලයට ගිනි තැබීම
9. 2013 අපේ‍්‍රල් 10 යාපනයේ ‘උදයන්’ මුද්‍රණාලය ගිනිතැබීම
2013 අලුත් අවුරුදු ගිනි දැල්වීමේ චාරිත්‍රය ඉටුකරමින් අප්‍රේල් 14 වන දා අලුයම උදයන් පුවත්පත් ආයතනය ගිනි තැබූ වග. (දෙරණ වීඩියෝ වාර්තාව)
මර්වින් සිල්වා රූපවාහිනී නාඩගම. (සිරස වීඩියෝ වාර්තාව)
(* මේ අතුරින් 8ක් සෘජුව ජනමාධ්‍ය ආයතනවලට පහරදීම් ය. 8වැනි අවස්ථාව වන්නේ ඇමැති මර්වින් සිල්වා ජාතික රූපවාහිනී සංස්ථාවට කඩා වැදී එහි කාර්යයන්ට බාධා කිරිමයි.)
[-ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය | democracylanka.wordpress.com]

පාත්‍ර වර්ගයා
නිවේදක
භික්ෂුව
ඇමති
අගමැති
(සංගීතය අතරින් නිවේදක කථා කරයි)
නිවේදක-
ඔබලා හැමෝම දන්නවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට ලබාදුන් විශේෂ නියෝගය සම්බන්ධව. ඒ අනුව බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරය ගොනුකරපු විරෝධතා නඩුව බලරහිතව නිෂ්ප්‍රභා වෙනවා. අධිකරණයට දේවාශිර්වාදය ලැබේවා. දැන් කිසිදු ආකාරයක බාධාවක් නැහැ. පලස්තීන, වතිකානු හා ඉතාලියානු රජයන්වල අවුරුදු සියයක පොළී රහිත පූර්ණ මුල්‍ය ණය ආධාරයෙන් ඉදිකරපු කිලෝමීටරයක් උස, ලොව විශාලතම යේසුස් සමිදාණන්ගේ හිටි පිළිමය විවෘත කිරීමේ කටයුතු උත්සවාකාරයෙන් පවත්වන්න. මේ උදාරතර කාර්යයට මුල්ගල තැබීමේ පටන් මෙම ව්‍යාපෘතිය කඩාකප්පල්කාරී කිරීම සඳහා විවිධ බාධක, අභියෝග, තර්ජන එල්ලවූ බව ඔබලා දන්නවා. ඒත්, ඒ සියල්ලක්ම විජයග්‍රහණය කරමින් මේ අති උතුම් හිටි පිළිම රාජයා ඉදිකිරීම් කටයුතු නිම කිරීමට හැකිවීම අප ලද දේවාශිර්වාදයක් සහෝදරවරුනි. මේක සහශ්‍රයකටවත් උදා නොවන අනභිබවනීය අවස්ථාවක්. ශ්‍රී ලංකාවාසීන් වන අපට සදාකාලිකව ආඩම්බර වෙන්න පුළුවන් ඓතිහාසික සංසිද්ධියක්. මෙවන් දුර්ලභ පරිත්‍යාගයක් අප දේශයට උරුම වීමට බලපෑ ප්‍රධානතම වාසනාව වතිකානු රාජ්‍යයේ කතෝලික සභාවේ ප්‍රධාන නායකත්ව ධූරය වන පාප් පදවිය සදහා ශ්‍රී ලාංකීය කාදිනල්වරයෙකු තේරී පත්වීමේ ආශිර්වාදය කියලා ඔබලා දන්නවා. අති උතුම් විජය කාදිනල්තුමා පළමු වික්ටර් පාප් වහන්සේ ලෙස අභිෂේක පදවිප්‍රාප්තිය ලැබීම හේතුකොටගෙන එතුමාගේ පුර්ණ මැදිහත්වීම යටතේ ලැබූ සදා ස්මරණීය තිළිණයක් මේ පිළිම වහන්සේ.
මේක ලොව මෙතෙක් ඉදිකරපු විශාලම හිටි පිළිම නිර්මාණය වෙනවා. ලොව සියලුම පිළිමවල උස අතික්‍රමණය කරමින් බිම් මට්ටමේ සිට කිලෝමීටරයක් උසට ඉදිකිරීමක් කළ හැකිවීම ප්‍රාතිහාර්යයක් සහෝදරවරුනි. බලන්න ඒ අපුර්ව වූ නිර්මාණය යේසුස් සමිදාණන් සැබෑ ලෙස වැඩ වසන ස්වභාවයෙන් තේජාන්විතව යෝධයෙක් වගේ නැගී සිටින අන්දම. රතු පැහැති ලෝගුවකින් සැරසිලා, ආශිර්වාද මුද්‍රාවෙන් ආශිර්වාද කරන ආකාරයට, සමස්ත ලක්වැසියන් දෙස ප්‍රේමයෙන් බලා සිටිනවා. ඔව් තව නොබෝ වේලාවයි තිබෙන්නේ මේ හිටි පිළිමයේ මුහුණ නිරාවරණය කිරීමේ මෙහොතට. එතකොට යේසුතුමන් තම දෑස් කරුණාබරිතව දල්වා ඉන්න ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. මෙතෙක්කල් හිරු උදාව සිදුවුණේ සමනල කන්දට තෙවරක් නමස්කාර කරමින්. ඒත්, මෙතැන් පටන් හිරු උදාව සිද්ධ වන්නේ යේසුස් පිළිමයට තෙවරක් නමස්කාර කරමින්. බලන්න මේ දැවැන්ත පිළිමයේ හෙවනැල්ල කල්වාරි හෙවත් කල්යාණි නැතහොත් කැලණි මිටියාවත් ප්‍රදේශය අඩක් ආවරණය කරන හැටි. ඒ හෙවනැල්ල සමස්ත මිනිසුනට සිසිලස ලබා දෙනවා. බලන්න පිළිමයේ ප්‍රතිබිම්භය කණ්ණාඩියක් වගේ කැලණි ගඟෙන් පේන අපුරුව. බටහිරින් මහ කල්යාණි චෛත්‍යය. නැගෙනහිරින් කල්යාණි මහා පිළිමය. ඔබ මේ වන විට දන්නවා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් වගේම නුතන විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙන දේවභාෂිත සත්‍ය. යේසුස් සමිදාණන්ගේ සැබෑ නිජභූමිය, එතුමා මෙලොව එළිය දුටු දේශය මේ ශ්‍රී ලංකා භූමිය කියලා. ජල සෙයිලම නැත්නම් ජෙරුසලම් ප්‍රදේශයෙන් හමුවෙච්ච අවුරුදු දෙදහසක් පැරණි පැපිරස් පත්‍රිකා, ඒ ඓතිහාසික සත්‍ය අපට පසක් කර දුන්නා.
ඔව්, මං කැමතියි මේ අති උත්කර්ෂවත් අවස්ථාවේ නැවතත් ඒ දේවභාෂිත පරම සත්‍ය ඔබට මදකට මතක් කර දෙන්න. යේසු බිළිදා මෙලොව උත්පත්තිය ලැබුවේ භාතිකාභයතිස්ස රජ්ජුරුවන්ගේ කාලේ කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ ක්‍රිස්තුවර්ෂ ආරම්භයේදී, හෙළදිව රුහුණුරට බෙන්තර ග්‍රාමය තුළ. මගේ සහෝදරවරුනි එදත් විකල්ප අදහස් දරණ, පවතින අරාජික පාලන තන්ත්‍රයට විරුද්ධ මතදාරීන්ට ජීවත් විමට සුදුසු භූමියක් වුණේ නැහැ මේක. මේ තත්වය යස නම් වූ බිළිදාගේ මව වූ මිහිරිටත් ඒ වගේම පියා වූ ජයසේනටත් මනාව වැටහුනා. ඔවුන් දේශපාලන රැකවරණ පැතුවා. අන්න ඒ අනුව සර්වබලදාරී දෙවියන් වහන්සේ ඉතා රහසිගත ක්‍රමයකින් තම පොරොන්දු දේශය වන ඊ හිස් යාල අභය භූමියට පිටමන් කළා. ඊහිස්යාල අභය භූමිය ඊශ්‍රායලය ලෙස පසුව ව්‍යවහාර වුණා. එතුමාගේ උත්පත්ති ග්‍රාමය වුණු බෙන්තර නමින්ම ග්‍රාමයක් ඊහිස්යාලයේත් නම් කෙරුණා. ඒක පසුව බෙත්ලෙහෙම වුණා. මිහිරි මේරි වුණා. ජයසේන ජෝසප් වුණා. යස කුමරු යේසු වුණා.
මේ සියල්ල තුළම ගැබ්වෙලා පවතින්නේ අපේ ශුද්ධ හෙළ සම්භවය, හෙළ මූලය, හෙළ උරුමය හා හෙළ ඉතිහාසයයි. මිනිසාගේ පාපයන් නිසා දේව නියමයට අනුව යේසු තුමා කල්යාණිය හෙවත් කල්වාරිය ප්‍රදේශයේදී කුරුසිපත් වීමටයි නියමිතව තිබුණේ. ඒ සංසිද්ධිය ඊශ්‍රායලය ඇතුළෙ ඒ ආකාරයෙන් ඉෂ්ඨ සිද්ධ වුණේ දේව නියමයෙන්. පුරාණ පැපිරස් පත්‍රිකා සාක්ෂිවලින් ඓතිහාසිකව හෙළි වෙච්ච මේ සකලවිධ සංසිද්ධීන් අනුස්මරණය සඳහා යේසු තුමාගේ නියම සම්භවය මුල බීජය තිබු දේශයේ, සැබෑ ලෙස කුරුසිපත් වීමට යෝජිතව තිබු කල්යාණි හෙවත් කල්වාරි ප්‍රදේශයේ ලොව විශාලතම ප්‍රතිමාව නිර්මාණය කිරීමේ අදහස අප පළමු වික්ටර් පාප් වහන්සේ ප්‍රමුඛ ආගමික බලවතුන්ගේ ඒකමතික අදහස වුණා. අන්න ඒ අනුව තමයි ලොව පුදුම සියයෙන් එකක් වන මේ විශ්මිත නිර්මාණය පලස්තින, වතිකානු හා ඉතාලියානු ණය ආධාරයෙන් ඉදිකිරීම ආරම්භ වුණේ. ඔබ දන්නවා මෙම ඓතිහාසික ජයග්‍රහණය වැලැක්වීමට අභියෝග රැසක් මතුවූ බව. තවමත් මේ කඩාකප්පල්කාරී ගරිල්ලා කුමන්ත්‍රණයන් අහවරවී නැහැ. යේසු සමිදාණන්ගේ සදා ජීවමාන බව පසක් කරමින් කිසිදු කඩාකප්පල්කාරී වෑයමක් සාර්ථක වුණේ නැහැ. ශ්‍රී ලංකා මානව හිතවාදී ජනරජය නොපිරිහෙළා මේ සියලු විරෝධතා තත්වයන් මර්දනයට විධිමත් ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත්කරදීම සම්බන්ධව ත්‍රිවිධ හමුදාවට හා සේනාධිනායක විධායක අගමැති විජයරාජ පළිහවඩන කීර්තිසිංහ මැතිතුමාට යේසු සමිදාණන්ගේ ආශිර්වාදය අපි පුදකරනවා.
ඒ වගේම මේ වෙනකොට පලස්තීන රජය විශේෂ පුහුණුව ලැබූ හමුදා ඒකක ක්‍රිස්තු පිළිමය වටා රැකවල්ලා සිටින අයුරු අපිට පේනවා. ප්‍රහරක අවි දෑතින් බදාගෙන නාවුක යාත්‍රාවලින් කැලණි හෙවත් කල්වාරි ගඟේ උඩු ගං බලා ඔවුන් ගමන් කරන අයුරු ඉතාම දර්ශනීයයි. ඒවගේම ජෙහාඩ් හා තලෙයිබානු කැරලිකරුවන්ගේ ප්‍රහාරක ශක්තින් ද අපට සහය දක්වනවා. ඔවුන් රහසිගතව අහුමුලුවල රැඳී ඉන්නවා. ඔබ දන්නවා, ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානය පොළොවට සමතලාකර දැමූ ඒ ඛේද ජනක ව්‍යසනය. ඒ වගේම හිරෝෂිමා නගසකියා න්‍යෂ්ටික ප්‍රහාරය. පැරෑලිය සුනාමි දුම්රිය අනතුර. මේ සියලු ව්‍යහසනයන්ගෙන් සිදුවූ හානිවල ස්වභාවය විශ්ලේෂණය කරමින් ලබාගත් දැනුම ඔස්සේ මිසයිලයේ සිට න්‍යෂ්ඨික අවිය දක්වාත්, සුනාමියේ සිට භුමිකම්පා, ගිනි කඳූ පිපිරවීම් දක්වාත්, කිසිදු ස්වභාවික හෝ කෘතිම බලවේගයකින් සුණු විසුණු කළ නොහැකි තත්වයේ ශක්තියක් මේ පිළිමය සතුව පවතිනවා. නුතන තාක්ෂණික හා ඉංජිනේරු දැනුම එම ශක්තිය ගොඩනංවා තිබෙනවා. නව විද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගත් නුතන සිමෙන්ති, කොන්ක්‍රීට් මිශ්‍රණ හා යුරෝපයෙන් ආනයනය කරන ලද සුවිශේෂි ග්‍රැනයිට් කලුගල් වගේම අධි තාක්ෂණයෙන් නිපදවූ සුදු යකඩ කම්බිත්, සියලු කාලගුණ තත්වයන්ට සරිලන වර්ණාලේපත් පිළිමයේ ජව බලය ඇති කරමින් ඕනෑම ප්‍රහාරක හා ආපදා තත්වයකදී ඔරොත්තු දෙනවා. ලෝක විනාශය වුණත් මේ පිළිමය විනාශ නොවන බවට ජාත්‍යන්තර වගකීම් සහතිකයක් දී තිබෙනවා.
සර්ව බලදාරි දෙවියන් වහන්සේ විසින් මෙලොව ජීවය පවතින තාක්කල් මේ අති උතුම් නිර්මාණය ආරක්ෂා කරනු ඇති. ඉන්පසුත් ආරක්ෂා කරනු ඇති. ඔව්, තව ස්වල්ප වේලාවයි තිබෙන්නේ අති උතුම් පළමුවැනි වික්ටර් හෙවත් විජය පාප් උතුමාණන් අති දැවැන්ත යෝධ පිළිමයේ මුහුණු ආවරණය නිරාවරණය කරන්නට. ඔව්, එතුමා මේ අවස්ථාවේදී නවින චොපර් යානයක් වෙත ගොඩවෙනවා. යානය පිළිමයේ හිස දක්වා කිලෝමීටරයක් ඉහළට ගුවන් ගත කොට එහි කවුළුවකින් පාප් තුමාගේ දැතින් යේසුස් පිළිමයේ මුහුණ නිරාවරණය කිරීමටයි සුදානම්ව පවතින්නේ. මේ උත්කර්ෂවත් උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා මානව හිතවාදි ජනරජයේ විධායක අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය හා විපක්ෂ නායක ඇතුළු සමස්ථ විපක්ෂයේ මංත්‍රීවරුන් ද සහයෝගය දැක්වීම හා ඔවුන්ගේ සහභාගිත්වය සතුටට කාරණයක්. ඔවුන්ට නිරන්තරයෙන් දේව ආශිර්වාදය ලැබේවා. ඔව්, චොපර් යානය පණ ගන්වා ඉහළට එසවෙන ආකාරය දැකගන්න පුළුවන්. ඔව්, යානය යේසුස් පිළිමයේ දණ හිස් මට්ටමට එසවුණා. ඔව්, දැන් උදරය මට්ටමේ. දැන් බාහු මට්ටමේ. ඔව්, වේගයෙන් යානය ඉහළට ගමන් කරමින් පිළිමයේ හිස මට්ටම දක්වා එසවුණා. (යානයේ හඬ)
ගායනය-
බෙන්තරදී ගව මඩුවේ ඉපදුණු අප සමිදා.
කැළණි පුරේ කුරුසියේදී දිවි පුද දූ එමදා.
සිහිකරලු ඉදිකරවූ පිළිමේ වැදා පුදා.
අප ලැබු වූ මවිත කෙරූ උරුමේ බෙදා හදා.
නිවේදක-
ඔව්, මේ අවස්ථාවේදී අති උතුම් පළමු වික්ටර් පාප් උතුමාණන් චොපර් යානයේ කවුළුවකින් සිය ශුද්ධවූ දෑත් දිගු කොට යේසුස් සමිදාණන්ගේ හිස් ආවරණය මුදා හරිනවා. හිසින් මුදා හැරුණු මුහුණු ආවරණය සරුංගලයක් පාවී යන්නා වාගේ ඈත අහසේ වලාකුල් අතර ඇදී යන ආකාරය සුන්දර දර්ශනයක් මවනවා. සුදෝ සුදු වලාකුලු පිළිමයේ හිසමත ගෑවී නොගෑවී පවතිනවා. හිරු කිරණින් අපුර්ව ලෙස පිළිමයේ මුහුණ ඔප්ගැන්වී බබළනවා. ඒ වගේම මේ අවස්ථාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අහස් යානා මගින් ඉන්දියාවේ හිමාල වනයෙන් ගෙන්වන ලද කපුරු මල් ටොන් ලක්ෂයක් අහසේ සිට බිමට පතිත කරවනවා. ඔව්, කපුරු මල් වරුසාවක් කල්වාරි හෙවත් කල්යාණි ප්‍රදේශය පුරා පතිත වෙනවා. නිවෙස් වහලවල්, මහා මාර්ග, මෝටර් රථ මතට අහසේ සිට මල් වරුසාවක් වැටෙනවා.
(ගීතය නැවත මතුවේ, හඬ මැකී යයි.)
භික්ෂුව-
කරුණාකරලා මෛත්‍රී සිතින් අපි කියන්නේ අපි පිළිගන්නේ නැහැ මේ නීති විරෝධී උසාවි නියෝගය. රෝම ලන්දේසී බටහිර ගැති නීතිය අපි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. ධර්මය කියන්නේ නීතිය අභිබවා යන්න පුළුවන් දෙයක්. අපි එකහෙලා කියනවා මේ නීතිවිරෝධී පිළිමය ලාංකීය පොළෝ තලයෙන් මුලිනුපුටා දාන්න කියලා. පරම්පරා ගණනක් අපේ ලක්වැසියො ණයකාරයො කරවන මේ කරුම ව්‍යාපෘතිය අහෝසි කරන්න කියලා. අපේ මේ සටන සඳහා පුර්ණ යුධ සහය ලබාදෙන බවට ඊශ්‍රායල් රජය ගිවිසුම් ප්‍රකාරව මේ දැන් පොරොන්දු වුණා. දැන් අප සතුවත් ලොව නවීනතම යුධ ශක්තිය පවතිනවා. ඊනීයා පලස්තින අරාබියානු, යුරෝපානු බලවේගවලට නොබියව මුහුණදී සටන් කිරීමට අපි සුදානම්. මේ යේසුස් පිළිමය මේ දැන්ම මේ ශ්‍රී ලංකා භූමියෙන් මේ ඓතිහාසික කැළණි පුරයෙන් ඉවත් කරගන්න කටයුතු නොකළහොත්, ඒක බිමට සමතලා කර දැමීමට අපි අපේ න්‍යෂ්ටික හා මිසයිල යුධ බලය යොදවන්න සුදානම්. අපි ඉතාම මෛත්‍රී සහගතව මේ රජයට නියෝග කරනවා, අපේ තීරණයට සහය දක්වන්න කියලා.
මේ රටේ නිල නොවන ත්‍රිවිධ හමුදාව අපි දැන්. යුරෝපා දේශවල අන්‍ය ආගමික මිත්‍යා දෘෂ්ටික පරයෝ ගෙරි හමක් එලා ගන්න මේ උතුම් දේශයට බලෙන් රිංගගෙන, මේ රටේ දෙදහස් හයසීයක් නොනැසී පවතින පාරිශුද්ධ බුද්ධාගම විනාශ කිරීමේ කූටප්ප්‍රාප්තිකර කුමන්ත්‍රණය අපි දිවිහිමියෙන් පරාජය කරනවා පිංවතුනි. මේක කුඨ අමානුෂික ව්‍යාපෘතියක් විදියට ලෝක බුද්ධිමත් ප්‍රජාව තහවුරු කරගෙනයි අද තිබෙන්නේ. අපේ මේ සටන ජයග්‍රහණයෙන් තමයි කෙළවර වෙන්නේ. අප වටේ තෛනිකායික සියලු සංඝ රත්නය ඇතුළු සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එක් රෝක්වී සිටිනවා. ක්‍රිස්තු තුමාගේ උත්පත්තිය මේ රටේ සිදුවුණා කියන ප්‍රබන්ධය පට්ටපල් බොරුවක්. ඒක මිත්‍යාමතික ප්‍රබන්ධයක්. බටහිර අධිරාජ්‍යවාදයේ සුක්ෂම උපාය මාර්ගික වෑයමක්. මේ දේශය තමයි බෞද්ධ රාජ්‍යය. ඒ උතුම් ධර්මය නොනැසී සුරක්ෂිතව පවතින භූමිය. අපි නුතන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් මේ වෙනකොට තහවුරු කරගත්තා බුදුරජුන්ගේ උත්පත්තිය සිදුවුණේ ඉන්දියාවේ කියන අදහසත් සම්පුර්ණයෙන්ම මිත්‍යාවක් බව. ඒක ඉන්දියානු ව්‍යාප්තවාදී පුරාවිද්‍යාඥයින්, ගැතිකම් කරන ශාස්ත්‍රඥයින් එකතුවෙලා ඓතිහාසිකව ගොතපු තවත් ව්‍යාජ ප්‍රබන්ධයක්. බුදුන්ගේ සැබෑ උත්පත්තිය සිදුවුණේ ජම්බුද්දීපයේ. ජන්ම බුද්ධ දීපය හෙවත් බුදුන් ජන්මය ලැබු දීපය කියන්නේ මේ හෙළදිවට. එතුමා මෙලොව ජන්මලාභය ලැබුවේ ලක්දිව තෙල්දෙණි නුවර සල් උයනේදී. තෙල්දෙණිය පසුව ලුම්බිණිය විදියට නිරුක්ති වෙලා ව්‍යවහාර වුණා. බුදුන් බුද්ධත්වයට පැමිණියේ බුද්ධගයාවේදී. ඒක බුදුරුවගල කියලා නිරුපද්‍රිතව තාම තියෙනවා. දම්සක් පැවතුම් සුත්‍රය දේශනා කරපු ඉසිපතනය කියන්නේ මැදවච්චියේ ඉසින්බැස්ස ගලට. පරිනිර්වාණය සිද්ධ වුණේ කුසිනාරාව හෙවත් බලංගොඩ කුරගලදී.
බුද්ධ චරිතය හා සම්බන්ධ සියලු සොලොස්මස්ථාන, ඓතිහාසික නටබුන් අපේ දේශයේ සුරක්ෂිතව තවමත් පවතිනවා. හිමිවැඩ උන්න ප්‍රදේශය හිරිවඩුන්න වුණා. ආලවක හෙවත් අලව් යක්ෂයා දමනය කළේ අලව්වේදී. අංග ජනපදය කියන්නේ අම්පාරට. මගධය කියන්නේ මහියංගනයට. රජගහ නුවර කියන්නේ රජගල්ලට. කොසඹෑ නුවර කියන්නේ කොළඹට. කුරුරට කියන්නේ කුරුවිටට. මතුරාපුර කියන්නේ මාතරට. මිථීල දේශය කියන්නේ මත්තලට. බුද්ධ චරිතය හා සම්බන්ධ සිටුවරු, ප්‍රභූවරු, රජවරු, වැසියෝ, භික්ෂු, භික්ෂුණීන් වැඩ වාසය කළ, ඔවුන් නිවන් මගට ගිය දේශය මේක. අපේ රටේ තිබු මේ ග්‍රාම නාම පසුව ඉන්දියානු දේශය බලවත් රජවරු ඒ නමින්ම නම් කළා. ඔවුන් බුදුන්ගේ උත්පත්තිය භාරතයේ වූබව සුක්ෂමව තහවුරු කරගත්තා. සැබෑ ජන්ම බුද්ධ දේශය හෙවත් හෙළදිවේ උරුමය විනාශ කළා.
ඔය පිංවතුන්ට දැන් ගැටලුවක් වෙනවා බුදුන් තෙවරක් ලංකාවට වැඩම කළා කියලා පුරාවෘත්තයක් තියෙන්නේ කොහොමද කියලා. එදා මේ හෙළදිව බෙදිලා තිබුණේ දේව හෙළය, යක්ෂ හෙළය, නාග හෙළය, කුම්භ හෙළය කියලා බෙදීමකින්. පසුව ඒක රුහුණු, පිහිටි, මායා රටවල් කියලා නම් වුණා. ජන්ම බුද්ධ දීප ප්‍රදේශය එවකට අයත් වෙලා තිබුණේ දේව හෙළයට. මේ ප්‍රදේශයක සිට අනෙක් දේශයට යෑම රටකට යෑමක් වෙනවා. ජන්ම බුද්ධ ප්‍රදේශයවූ දේව හෙළයේ සිට මහියංගන, නාගදීපය, කල්යාණිය ප්‍රදේශයට වැඩම කිරීම සිද්ධ වුණේ ඒ ආකාරයෙනුයි. මිත්‍යා දෘෂ්ටික අධම පාලකයන්ගේ බලපෑම නිසා නොබෝ කලකින් බුදු දහම මේ පොළෝ තලයෙන් එදත් විනාශ වුණා. ඒක නැවත මේ රටේ ස්ථාපිත කළේ දෙවනපෑතිස්ස රජතුමා මහින්ද රහතන්ගේ ආගමනයෙන්. මේ සකල විධ සත්‍ය පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් වගේම, කාබන් දාහතර හා නුතන තාක්ෂණික පරික්ෂණවලින්ද තහවුරු කරගත්තු චතුරාර්ය සත්‍යයක්.
මෙන්න මේ ජන්ම බුද්ධ දීපයේ බුදුන්ට ඇති සැබෑ උරුමය යටපත් කිරීම සඳහා පාරඅධිරාජ්‍යවාදීන් සුක්ෂම උපාය මාර්ගයක් වශයෙන් තමයි මේ ඊනියා ක්‍රිස්තු පිළිමය ලාංකීය දේශයේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. මේකට පිඹුරුපත් සැකසීමේ අවස්ථාවේ ඉඳලා අපි විරුද්ධත්වය ප්‍රකාශ කරමින් පෙළ ගැසුණු ආකාරය ඔබ දන්නවා. අපි අධිකරණයේ උත්තරීතරත්වය විශ්වාස කළා. අපි හිතුවා උත්තරීතර බුද්ධ ධර්මය රැකගැනීමට අවසන් මොහොතේ හෝ අපි ඉල්ලාසිටි තීන්දුව ලබාදෙයි කියලා. ඒත්, ධර්මයේ ආරක්ෂාවට ධර්මය පමණයි කියන එක පරම සත්‍යයක් සුපින්වතුනි. අන්න ඒ අනුව තමයි අපේ බෞද්ධයින්ට අපි නියෝග කළේ ක්‍රිස්තියානි මුස්ලිම් වෙළද භාණ්ඩ වර්ජනය කරන්න. ගෙරි තම්බින්ව, ක්‍රිස්තියානිකාර පරයින්ව ශුද්‍රයින් වගේ පිළිකුලෙන් කොන් කරන්න. උන්ට ගල් පෙරළන්න. පහර දෙන්න. දේපල විනාශ කරන්න. මේ රටේ සිංහල බෞද්ධයෝ සියලු දෙනාම අප වටේ පෙළ ගැසිලයි ඉන්නේ. අපි මේ දේශදෝහි පර ආණ්ඩුවත් ගෙදර යවල තමයි පස්ස බලන්නේ. අපි පිං අනුමෝදන් කරනවා. ඊශ්‍රායල් යුදෙව් ජාතියට අපේ සටනට සහයදී අත්කරගත්තාවූ පිං බලයෙන් අමාමහ නිවන් සම්පත්තියට ගමන් කිරීමේ හේතු වාසනා ලැබේවා කියලා. ඔව්, අපි සටනට සුදානම්. එදා එළාර දුටුගැමුණු යුද්ධයේදී පෙරමුණ ගත්තේ මෙරටේ භික්ෂුන් ප්‍රමුඛ බෞද්ධ බලවේග. ඊලාම් කොටි ත්‍රස්තවාදය විනාශ කිරීමේ සටනේ මුලිකත්වය ගත්තේ මේරටේ භික්ෂුන් ප්‍රමුඛ බෞද්ධ බලවේග. අන්න ඒ වගේ මේ ඓතිහාසික සටනත් විජයග්‍රහණය කරනවා තෙරුවන් බලයේ ආශිර්වාදයෙන්. ඔව්, මේ ඊනියා ක්‍රිස්තියානි පිළිම රාජයා බිමට සමතලා කර මිස නොනැගටිමුයි කියා අප බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරය විදියට ප්‍රතිඥා දෙනවා.
ගාථාව-
අප්පමාදේන විනාසං ඉමං මිච්ඡා පඨිමා.
පමාදෝ මච්ඡුනෝ පදං.
ආරක්ඛං යථා ජම්බු දීපං.
අප්පමාදේන සම්පා දේත.
(ගාථාව මැකී යයි. සංගීතය මතුවෙයි)
ඇමති-
අගමැතිතුමනි, මට අදහගන්න බැහැ ඔබේ මේ නිහඬ පිළිවෙත. ඊලාම් යුද්ධයට නොදෙවෙනි යුද්ධයක් පටන් ගන්නයි යන්නේ. අපට වහා ක්‍රියාත්මක වෙන්න වෙනවා.
අගමැති-
කලබල වෙන්න එපා මහඇමති. ශ්‍රේෂ්ඨාධිකරණයේ අපේ අග විනිසුරු අපට අවශ්‍ය නියෝගය ලබා දුන්නා. කලබලවීම ප්‍රශ්න විසඳීමේ මාර්ගය නෙමෙයි කියලා සියලු ආගමික නායකයින් කියලා තියෙනවා.
ඇමති-
ඒත්, අගමැතිතුමනි..
අගමැති-
(බාධා) ව්‍යවස්ථානුකූලව ජීවිතාන්තය දක්වා මේ රටේ රාජ්‍ය නායක ධුරය හිමි මට. මගේ මනසේ සැලසුම් රාශියක් කැකෑරෙනවා. මගේ අභිප්‍රාය තමයි මේ රට ලොව ආගමික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම. එතකොට පෙරදිග අපරදිග බැතිමත් සංචාරකයන් ඇදී එන ප්‍රධාන දේශය බවට මේ රට පත් වෙනවා.
ඇමති-
ඔබතුමාට පෙන්නේ නැද්ද මේ පිළිමය කුඩුපට්ටම් කරලා මහා සංහාරයක් වෙන්නයි යන්නේ. ඊශ්‍රායලය බෞද්ධ නිජබිම් ව්‍යාපාරයට සහය දක්වනවා. මේක පසුපස ඉන්නේ ඇමරිකාව.
අගමැති-
කලබල වෙන්න එපා. යුද්ධයක් කියන්නේ ආශිර්වාදයක්. යුද්ධයක් පටන් ගත්තම තමයි රටක බලය හොඳින් රැක ගන්න පුළුවන්. ඊශ්‍රායලයට එහෙම ලේසියෙන් සටන දිනන්න ලැබෙන්නේ නෑ. අනෙක් පිලේ අවි අමෝරාගෙන ඉන්නේ උන්ගේ ජන්මාන්තර විරුද්ධවාදී පලස්තිනය. ඒ වගේම හදිසි ආපදාවකදී අපිට අපේ ත්‍රිවිධ හමුදාවම ඉන්නවා. අවශ්‍ය වුණොත් උතුරු කොරියාව, චීන හමුදාවත් අපි පසුපස ඉන්නවා.
ඇමති-
අගමැතිතුමනී, මේ රට ණය බරින් මිරිකෙනවා. නිෂ්පාදනයක් නෑ. අපනයනයක් නෑ. මේ පිළිමය කඩා වැටුණත් ණයගෙවීම අනිවාර්ය කොන්දේසියක්. ඔබ තුමාට....
අගමැති-
(බාධා) මට හරිම සන්තෝෂයි මගේ මේ මාතෘ භූමියේ ලොව ප්‍රධාන ආගමික නායකයින් දෙදෙනාගේ උත්පත්තිය සිදුවීම ගැන. ම්, ඉස්ලාම් ආගමික නායක අල්ලාගේ උත්පත්තියත්, ශුද්ධවූ මක්කමත් අපේ රටේම වෙන්න බැරිද?
(සංගීතය)
නිවේදක-
ඔව්, මේ වන විට ඉතා බිහිසුණු තත්වයක් ශ්‍රී ලංකාව පුරා නිර්මාණය වෙලා තිබෙන ආකාරය අපට දිස්වෙනවා. ඇමරිකානු ඩොලර් කෝටි කෝටියක් වැය කරමින් ඉදි කරන ලද කිලෝමීටරයක් උස යේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ හිටි පිළිමය ප්‍රහාරක අවි මගින් බිම හෙළා විනාශ කිරීමට බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරය සැරසෙනවා. පිළිමය බිමට සමතලා වුණහොත් සිදුවන විනාශය තවම ගණන් බලා නැහැ. කල්වාරි හෙවත් කල්යාණි නැතහොත් කැලණි ප්‍රදේශය තුළින් මේ වන විට සියලු පුරවැසියන් තම ගම්බිම් අතහැර පිටමංවී තිබෙනවා. ඔව්, මේ අවස්ථාවේ අපට පෙනී යනවා එක් පසකින් බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරයේ යුධ සේනාව පෙළ ගැසි සිටින ආකාරය හා අනෙක් පසින් කිතුණු නිජබිම් උරුම සංවිධානයේ යුධ සේනාව පෙළ ගැසි සිටින ආකාරය. තුන්වන ලෝක යුද්ධයක ආරම්භක පෙර නිමිති බවට මෙම මහා ගැටුම ජත්‍යන්තර දේශපාලන විචාරකයින් අර්ථ දක්වනවා. මේ සටනේදී සිදුවන න්‍යෂ්ටික ප්‍රහාර මගින් සමස්ත ලාංකික භූමියම ලෝක සිතියමෙන් ඉවත්ව යන ආකාරයේ බිහිසුණු ප්‍රතිඵලයක් අත්විය හැකිබව ලෝක යුධ විශේෂඥයින්ගේ මතයයි. එහෙත් කිසිදු ජාත්‍යන්තර බලවේගයක් මෙම සටන නවතාලීමට කිසිදු පියවරක් ගැනීමට ඉදිරිපත් නොවීම සැලකිය යුතු තත්වයක්.
මෙලෙස ශ්‍රී ලංකාව ලෝක සිතියමින් මකා දැමීම තුළ ඉන්දියානු සාගරයේ නාවුක ගමනාගමනය වඩාත් කාර්යක්ෂම කළහැකි බවට නාවුක විශේෂඥයින් අර්ථ දක්වනවා. ඒ වගේම ලාංකීය පුරවැසියන් බහුතරයක් විදේශ රටවල්හි විදේශ පුරවැසිභාවය ලබා රැකවරණය පතා පිටමංව යන ආකාරය දැකිය හැකියි. ඇමරිකාව, කැනඩාව, ජපානය, එංගලන්තය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සිංහල බෞද්ධ ප්‍රජාව සදහා ස්ථීර පුරවැසි භාවය ලබා දීමට ඉදිරිපත්වී සිටිනවා (වෙඩි හඬ) ඔව්, මේ අවස්ථාවේදී මහා සංඝයාගේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ අත්හදා බැලීම් ප්‍රහාරයක් එල්ල කරනවා. කැලණි චෛත්‍යයේ කොත් කැරැල්ලේ ගෑවී නොගෑවී එම සුළුඅවි ප්‍රහාරය ක්‍රිස්තු පිළිමයේ පපු ප්‍රදේශයට එල්ල වුණා. එහෙත් විරුද්ධ පිළ කිසිදු ප්‍රහාරයක් එල්ල නොකොට ආමෙන් කියා ප්‍රේමයෙන් සිටීමට පියවර ගැනීම ලෝක යුධ ඉතිහාසයේ සුවිශේෂ තත්වයක්. (වෙඩිහඬ) ඔව්, මේ වනවිට පිළිමයේ පපු ප්‍රදේශයට එකපිට එක ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. එදා යේසුස් සමිදාණෝ කුරුසිපත් වූයේ මිනිසාගේ පාපකාරි කුරිරු ක්‍රියාවලට වන්දි ගෙවීමක් ලෙසිනුයි. මෙදා කල්යාණිය නොහොත් කල්වාරියේදී නැවතත් ඒ අතීත සිද්ධිය ප්‍රතිජනනය වෙනවා. යේසුස්ගේ කිලෝමීටරයක් උසැති හිටි පිළිමයට පාපකාරි පිරිස් කුරිරු අන්දමින් ප්‍රහාර එල්ල කරනවා. ඒත්, යේසුස් සදා ජීවමානයි. කිසිදු ප්‍රහාරයකින් මේ පිළිමය විනාශ කළ නොහැකියි.
(වෙඩි හඬ වැඩිවේ, සංගීතය )
ඇමති-
අගමැතිතුමනි, තත්වය ඉතා බිහිසුණුයි.
අගමැති-
ඔව්, මට පේනවා.
ඇමති-
මේ සටන පසුපස දෙමළ විමුක්ති කොටි ඩයස්පෝරාව ඉන්නවා. ඒ වගේම තමිල්නාඩුවත් ඉන්නවා. උන්ට ඕන මේ ලාංකිය භූමිය තමන්ගේ නිජ භූමිය කර ගන්න.
අගමැති-
කිසිම දේකට කලබල වෙන්න එපා.
ඇමති-
මට අමාරුයි තේරුම් ගන්න ඔබේ නිහඬ විදේශ ප්‍රතිපත්තිය. ඔබතුමා දන්නේ නැද්ද අපේ ත්‍රිවිධ හමුදාවත් බෞද්ධ විමුක්ති නිජබිම් ව්‍යාපාරය එක්ක එකතු වෙලා.
අගමැති-
ඇත්තට?
(සංගීතය)
නිවේදක-
ඔව්, මේ අවස්ථාවේ ඉතා බිහිසුණු අන්දමින් කිලෝමීටරයක් උසැති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යෝධ පිළිමය වෙත පහර පිට පහර එල්ල වන ආකාරය අපට දැක ගන්න පුළුවන්. කෆීර් යානා වල නැගගත් භික්ෂුන් පුහුණු සොල්දාදුවන්ටත් වඩා ඉලක්කයට මිසයිල එල්ල කරනවා. හුළං පාර සැරට ඔවුන්ගේ සිවුරු සරුංගල් රැලි වගේ ලෙල දෙනවා. ඒත්, සහෝදරවරුනි මේ කිසිදු ප්‍රහාරයකින් කිසිදු ආකාරයක හානියක් ක්‍රිස්තු පිළිමයට කිරීමට නොහැකිවී තිබෙනවා. සර්වබලදාරී මැවුම්කරුවන්ගේ බල මහිමය අප අතරේ සදාකල් පවතිනවා.
(හඬ මැකි යයි, වෙඩි හඬ සමග සංගීතය මතුවේ.)
ඇමති-
රට පුරා ඇඳිරි නීතිය පනවලා විතරක් මේ තත්වය මර්ධනය කරන්න බෑ අගමැතිතුමනි.
අගමැති-
කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මුං ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කරලා හති වැටෙනවා. මේ පිළිමය කියටවත් ප්‍රහාරයකින් බිඳ වැටෙන්නේ නැහැ. යුධඅවි ඉවර වුණාම සටන ඉබේම නවතිනවා.
ඇමති-
මුංගේ ඊළඟ පියවර තමයි කිතුණු පල්ලි, මුස්ලිම් දේවස්ථාන ඔක්කොම කුඩු පට්ටම් කරන්න. එතකොට තත්වය බරපතළ වෙනවා. මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ ප්‍රතිප්‍රහාර එල්ල කරලා බෞද්ධ සිද්ධස්ථාන, නටබුන් විනාශ කරලා දාන්න පුළුවන්.
අගමැති-
මේ රටේ ආගමික සිද්ධස්ථාන වැඩියි කියලා වමේ එකාලා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. බලනවා එක නගරයක පන්සල් පල්ලි, කෝවිල්, දේවස්ථාන කියක් තියෙනවාද කියලා. ආගම ඕන කරන්නේ බලය තහවුරුකර ගන්න. මගේ බලය සදාකල් තහවුරුයි. දැන් තියෙන්නේ ආගමික සිද්ධස්ථාන ඔක්කොම විනාශ වුණාම ඒ භූමිය ඵලදායි දේකට යොදවන්න.
ඇමති-
ඔබතුමා ඔය හොඳ සිහි බුද්ධියෙන්ද කතා කරන්නේ.
(වෙඩි හඬ නැවත මතුවේ, සංගීතය.)
නිවේදක-
සහෝදරවරුනි, මේක තමයි දෙවියන්ගේ ප්‍රාතිහාර්යය. කිසිදු ප්‍රහාරයකින් නොනැසී ආශ්චර්යමත් ලෙස පිළිමය එක ලෙස පවතිනවා. ලොව මවිත කරන්නාවූ අපූර්වත්වය බලන්න සහෝදරවරුනි. තේජාන්විත හිරු රශ්මියෙන් ඔපගැන්ව අභිමානවත්ව ප්‍රහාර පිට ප්‍රහාර වදිද්දී පිළිමය නොසැලී සිටින සෞන්දර්ය, ප්‍රාතිහාර්යක්. (මහා පිපිරුම් හඬක් ඇසේ) මොකක්? මිසයිල ප්‍රහාරයක්. මේ මොකක්ද වුණේ. යේසුතුමාගේ යටි රැවුල සම්පුර්ණයෙන්ම ගැලවිලා විසිවුණා නේද. ඒකෙ සුන්බුන් කැලණි ගඟට වැටිලා කල්වාරි ගඟේ වතුර පාරත් අවහිර වුණා. ගඟ පිටාර ගලන්න වගේ. (තවත් විශාල පිපිරුම් හඬක් ඇසේ) මොනවා, ප්‍රහාර පිට ප්‍රහාර. මිසයිල ප්‍රහාර වරුසාවක් එල්ල වෙනවා. පිළිමය භූමිකම්පාවක් වගේ දෙදරුම් කරනවා. මොකක්ද මේ වෙන්නේ පිළිමය බිමට සමතලා වෙයිද? (වෙඩි හඬ වැඩිවේ, සංගීතය.)
ඇමති-
තත්වය ඉතාම බරපතළයි අගමැතිතුමනි, පිළිමය බිමට කඩාවැටිලා මහා විනාශයක් අතළඟ. එහෙම වුණොත් කැලණි චෛත්‍යයත් මේ එක්කම කුඩුපට්ටම්වෙලා බිමට සමතලාවීමේ අනතුරක් තියෙනවා. කැලණි ගඟත් අවහිර වෙලා මහා ජල ගැල්මක් ඇති වෙන්නත් පුළුවන්. අගමැතිතුමනි අපි උතුරු කොරියානු නැතිනම් චීන හමුදා සහාය ලබා ගනිමු.
අගමැති-
හිතුවට වඩා තත්වය බරපතළයි තමා. ඒත්, අපි කලබල වෙන්න ඕනනෑ. සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි.
ඇමති-
ඔබතුමාට ඕන මේ ව්‍යසනය රස විඳින්නද?
(වෙඩි හඬ සමඟ සංගීතය මතුවේ)
නිවේදක-
ඔව්, සහෝදරවරුනි, සන්සුන් වන්න, සන්සුන් වන්න. ඔව්, අප මහා ශ්‍රී ලංකා මානව හිතවාදි ජනරජයේ විධායක අගමැති විජයරාජ පළිහවඩන කීර්තිසිංහ මැතිතුමාගේ මැදිහත්වීම මත සිදුවීමට ගිය ලොව අනර්ථකාරි ඛේදවාචකය වලක්වා ගැනීමට හැකිවුණා. ලාංකීය සටන් මර්ධන ඉතිහාසයේ ප්‍රමුඛයා ලෙස තම නාමය රන් අකුරින් නැවතත් එතුමා සටහන් කළා. එතුමාගේ දුර දර්ශී හා අවස්ථානෝචිත ඥානය නිසා ඇමරිකානු ඩොලර් කෝටි කෝටියක ණය ආධාරයෙන් ඉදිකරන ලද ඒ ඓතිහාසික ලොව සියවෙනි පුදුමය, කිලෝමිටරයක් උසැති දැවැන්ත පිළිම රාජයා ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. ඔව්, මේ වනවිට පිළිමයට ප්‍රහාරයේදී සිදුවූ සුළු හානි සියල්ල පිළිසකර කිරීමේ කටයුතු දේශිය ඉංජිනේරුවන්ගේ සහයෙන් ශ්‍රී ලංකා විශේෂ පිළිසකර කිරීමේ හමුදාව සිදුකරන අයුරු අපට දැක ගන්න පුළුවන්. අර බලන්න විශාල ක්‍රේන් මත නැගිලා ශිල්පීන් පිළිමයේ පැලැස්තර යොදා පිළිසකර කරන අපුරුව. කුඹි රැලක් එහෙ මෙහෙ ගමන් කරනවා වගේ. ඔව්, ඒ වගේම පිළිමය මත වන රතු ලෝගුව පුරා සුදු පැහැති වර්ණාලේප තැවරීමත් මේ එක්කම සිද්ධ වෙමින් පවතිනවා, ශ්‍රී ලංකා විශේෂ වර්ණාලේප හමුදාවේ සහයෙන්. ඔබ දන්නවා රතු වර්ණය මත සුදු තැවරුණ විට සිද්ධ වෙන්නේ කුමක්ද කියා. ඔව්, තැඹිලිපැහැ ගැන්වෙනවා. ඒ වගේම පිළිමයේ මුහුණේ අඹා ඇති රැවුල සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමද ශ්‍රී ලංකා විශේෂ ඉවත් කිරීමේ හමුදාව සිදු කරන අතර හස්ත මුද්‍රාව දම්මචක්ක මුද්‍රාව ලෙස වෙනස් කිරීමටත්, හිසේ අත් බඹරු සුලිය පිහිටිමටත් ශ්‍රී ලංකා විශේෂ වෙනස් කිරීමේ හමුදාව යටතේ සිද්ධ වෙමින් පවතිනවා. ඔව්, සහෘද පිංවතුනි, ඔබ ඉදිරියේ මෙතැන් පටන් නැගි සිටින්නේ කිලෝමීටරයක් උසැති අප මහා ගෞතම බුදුරදුන්ගේ යෝධ ප්‍රතිමාවයි. ඔව්, ලෝකයේ විශාලතම හිටි පිළිම වහන්සේ උරුම ජාතිය හා දේශය ලෙස අපි ආඩම්බර වෙමු.
(අවසන් සංගීතය)
මාලක දේවප්‍රිය
කවි බූන්දි | සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා - [තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ]

රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
ගෙනයන තුරුම මුල්ලේගම වන රොදට
සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට
හත්-පත්තුවේ හිඳ දුක් පිළිවෙත සපුරා
විත් සෙයිලමේ විඳ සුඛ විහරණ අනුරා
සිත් අසපුවේ මැද මහ දහමක් වපුරා
මත් කරලුවේ, එද යළි නික්මුණි ඇදුරා
ක්‍ෂීර සාගරය කළඹා කර නින්දා
බාවනාව බිඳ නුඹ නික්මුණු හින්දා
සාංකාව කවදා යාවිද මන්දා
සාගර ජලය මදි සයිමන් ඉකි බින්දා
[ඡායාරූපය : හර්ෂ අරවින්ද ගේ ෆේස් බුක් පිටුවෙන්]
තිළිණ ප්‍රියලාල් කොග්ගලගේ



