
චින්තක ගීතදේව සහ ෂැගී, අමිල සඳරුවන්, Happy Journey, Skitzo, Marverick, Wanted සහ O2 කණ්ඩායම්වල සහභාගීත්වයෙන් "Saturday Night Fever" සංගීත සන්ධ්‍යාව පෙබරවාරි 11 සවස 6.30 ට පන්නිපිටිය මහල්වරාව බේකරිය අසල දී පැවැත්වේ.
OTHTHUKARAYA | Saturday Night Fever සංගීත සන්ධ්‍යාව| පෙබරවාරි 11| 6.30
KAVI BOONDIYA | අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම - [සුදර්ශන සමරවීර]

වසන්තේ ජිල් මංඩියක
දනෝ දාහක ඇස් අස්සෙ තෙරපි තෙරපි
කබ්බොම කිරන
තනිකම
තනියෙම්ම
උඹට තියෙන්නෙ ම
මිනී මෝරු උපකල්පන
ලේ ගිහිම් ම ගබ්සාවක දි නැහිල පණ
බඩින් උන්නු මකුණු ළඳකගෙ
මැදිවෙලා හිටි මගේ කොට්ටෙට
කීතු කීතු ඇස් ඉරනා
කහ කියතක් බල්බ් එළිය
කන්පට ගසා තනිකමේ
අවුලමි දුමක් තනිකංදෝසෙට
දුම් උගුරක්
පෙවෙන එක හුසුමත් හුස්මකි
ඔක්සිජන් අඩමාන පපුවට
උන්නති කාමයේ ද්‍රව ඝන වෙන
සෙල්සියස් බිංදුවේ ඌෂ්ණය
ආත්මාරාගය අධි රුධිර පීඩනෙන්
උඩ බඩ ගාන විනාඩියෙ
අතීතතයෙ වැව් හොරොව් දොරකඩ
ජල කාන්දම් සුල්ලියකි ඇඹරෙන
හුස්ම කටක ඉඩ නොතියම
ගිලෙනවා ජඹුරටම හුසුමට..
සුදර්ශන සමරවීර

බලන්න...
මේ අකුරු අමුණන
මාපට ඇඟිලි ජෝඩුව..
මොන තරම් නං අකුරු කන්දරාවක් අමුණල ඇද්ද
මේ වෙනකොට...
නිදිවරාගෙන
අකුරු අමුණනව
දෙන්නම - දෙපැත්තක
ඉඳගෙන...
කොයි තරම් ආදරෙන්
පද පේලි ගෙතුවද එයාලා
ළං ළං වෙලා ඉදගෙන..
එකම අකුරක්
අමුණනකොට දෙපාරක් - එක ළඟ
බලා ඉන්නව මොහොතක්......
දෙන්නම..
පුදුම ඉවසීමකින්...
වමී මොන වැරදි කළත් දකුණා ට ගානක්වත් නෑ...
ආදරෙන් මකනව
ඒ වැරදි සේරම
එකින් එක...
හෙමිහිට...
ජෝඩුවම එකතුවෙලා
ADARE
අමුණනවා
දිග අකුරු වැල්වල
වචන අතරට පුංචි පුංචි හිදැස් තිය තියා ගියේ
දකුණා...
අගක් මුලක් තේරුමක් හොයාගන්න බැරි තරම්
දිග්ගැස්සුණු දිගම දිග වචන පේලිවලට පවා
තිත තියල
අවසන් කළේ
වමී...
ඒත්.....
දැන් ටික දවසක ඉඳං
ඉවසන්නෑ
කලිං තරං
දෙන්නම....
ඒ හින්දමද කොහෙද
හරීයට වැරදි
දැන් දැන් අමුණන පදවල
වමීගෙ හරි අකුරුත්
දකුණා අතින් මැකෙනව
දකුණාගෙ වැරදිත්
ඉතිරිවෙලා වගෙ
පේනව
තිත තියන අයිතිය
වමීටම විතරක් උනත්...
දකුණා ට පුළුවන්
තනියෙන්ම උනත්
එක්කරන්න ඒ වචනය....
WENWEMU
වමීට
වෙන කිසිම
වචනයක් නෑ...
අමුණන්න
HA
කියනව ඇරෙන්න
දමිත් වැලිකල

අතු මතින් පෙරී ආ
පහන් කණුවේ එළිය,
දොර පියන් වසාගෙන
මා එතැ යි මග බලන
හුදෙකලා කාමරය
යන්තමින් පෙන්වී ය
අත යවා
යතුර ගෙන,
කරකවා
අගුල හැර...
හිසේ බර
කයේ බර
දැරූ පාවහන් යුග
මුදා හැර කොහෙට දෝ
අඳුරේ ම
වැසිමි දොර...
යමක් තද වනු සමඟ
අමුත්තක් මට දැනිණ...
පුරුදු බිත්තිය දිගේ
මඳ දුරක් යැවූ පසු
ඇඟිලි තුඩු,
එළිය විය කාමරය...
සරනේරුව මත
මිරිකී
පොඩි වී
ඇලී
තැලී
මොහොතකින් ඇද වැටී...
මට මතකයි,
කාමරයේ මගෙ තනියට හිටියෙ උඹ යි
නිහැඬියාව බිඳ හැඬුවෙත් උඹ ම තමයි
දත් බුරුසුව
බත් පිඟාන
බුලත් පුවක් හුනු දුංකළ
උඹෙන් පරෙස්සම් කරගෙන හිිටියෙ මම යි...
කාමරයේ මට සිටි සකි සඳාණෝ
අසුබ නිමිති හඬ ගා කී සතාණෝ
ඉපි මෙරුනට ඇවිදින මරු වැලාණෝ
තව ම නො මළ දඟලන මළ කඳාණෝ
දැඟලිල්ල නතර වී
නිසල වූ උඹේ කය,
දරාගනු බැරි තරම්
නිහැඬියාවක හඬින්
අවසාන නිමිත්ත ද
මට කී ය
පුරුදු බිත්තිය දිගේ
යවා යළි ඇඟිලි තුඩු
අඳුරු කර කාමරය,
අසා ඒ නිහඬ බව
වසාගත්තෙමි දෙ නෙත...
අනුරාධ මහසිංහ

එදා ඒ මළ ගෙදර
කැරකොප්පුවක් සේ පාළු ය,
නිදි වැරූ සුසුමකට රැගෙන ආ
අවසාන කිරි කහට උගුරත්, ඇල් ව තිබිණ.
පමා වී පණ බේරා ගත් කුහුඹුවකු
ජීවිතය ඉල්ලා හූල්ලමින් සිටියේ ය.
මම ඇල් වතුර තණ බිස්ස මත විසි කොට
හිස් වීදුරුව හිස් අසුනක රඳවා
වලාකුළු දෙස නො බලා
බිම බලා ගතිමි.
තණ පත‍්‍ර අග්ගිසි මත
නිදි කිරා වැටෙමින් සිටියේ
අත මිටි මෙළවා, ඉහළ ලෙළවූ බැවින්
වැහි වලාකුළු විසින් පැහැරගනු ලද්දාවූ
දම් පාට තරුවක
ඇඟිලි අතරින් ගිළිහුණ
කදෝපැණි නටඹුන් ය.
හිටිවනම කොල්ලුපිටියට ඇද හැළුණ
ධාරාණිපාත හිම වැස්සෙහි
උදෑසන ශේෂය
අරලිය මුදුන් මත්තෙහි දිදුළ
සුදු පාට පමණෙකි.
උදෑසන පැමිණෙන බව
හිරුට දන්වා නො තිබුණු බව
ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ල
ලියා අවසන් වන විට
හවස් වන ලකුණු පළවිණි.
එහෙත් සැනෙකින් රාත‍්‍රිය උදා විය.
සන්ධ්‍යාවටත් කළියෙනි.
ඉදින්, අතීතය මුද්‍රණාලයට වැද
සිරුරට ගිනි තබා ගත්තෙන්
උසාවිය පාළු විය.
"ජනවාරි මාසෙත් ඉවරයි"
ඇය වලාකුළකට ගලකින් ගැසුවා ය.
මගේ සිතුවිලි බිම වැටිණ.
සමස්ථ අවුරුද්ද යනු
ජනේරුවට පර්යාය පදයක් බව
මම සෙමින් කී විට
ඇය සිනහසුනා ය.
වලාකුළු ගලන්නට ඉඩ දී
මම ඇයට මෙසේ කීවෙමි.
"ජීවිතය ම උදුරා ගැණුනු අවකාශයක
ඉතිරව පවතින්නේ සැමරුම් පමණකි."
2012 ජනේරු 25
මංජුල වෙඩිවර්ධන

ඇලකර හිස
ගිරි උරහිසට
සඳ ඇවිත් හැන්දෑවට ඇන්ද
හද්දා ඈත කඳුයාය ම
සේ සිතුවමකි.
මට නුඹ තරමට ම
තවමත් මඳමත් එසඳ
නැංඟ ගිරිහිස විතරක්
යන්තමින් පෙනේ
විමසිල්ලෙන් උන්නු
ගහ කොළ ට
පුර-අවපස වෙනසත්
කටපාඩම්
පුදුමයෙන් වගේ ඇහුවට
මතකද?
ඔතනින් විතරමයි
සඳ නැංඟෙ අහසට නම්
රෑ නිදන සමනලුන්
දැන් හොඳටම නිදි
නපුරු හීන නො දකී
අනිවාරීත අවාරෙත් මඟහැර
සඳ ඇවිත් ගිය රෑට
කන්දක මල් සුවඳට පිපී
සඳ දියෙන් දොවා හැඩ ට නො ඉවසිලි මහ ගිරග
සිඹ සොඳින් උරා තෙත ට කන්දක දූවිලි සුවඳ
හිඳ ළඟින් නුරා පෙම ට විඳින්නට හැමදා ට
ගිර අගින් නඟී සඳ, හෙට රැයෙත් එතැනින් ම
මහේෂ් මුණසිංහ
OTHTHUKARAYA | ජයන්ත නිමල්සිරි ගේ ප්‍රත්‍යාවලෝකන සහ සිව්වන වැඳීම| ජනවාරි 21 | 2:00 ට කලුතර දී

ජයන්ත නිමල්සිරි විසින් රචිත ‘ප්‍රත්‍යාවලෝකන’ සහ ‘සිව්වන වැඳීම’ කාව්‍ය ග්‍රන්ථද්වය 2012 ජනවාරි මස 21 දින ප. ව. 2 ට කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නව ශ්‍රවණාගාරයේ දී දොරට වඩියි.
POTH BOONDIYA | සංසාර මාවතින් එහා ට, අටුවබැන්දෑල - [තුෂාරි ප්‍රියංගිකා]

සමාජයේ වෙසෙන සාමාන්‍ය මිනිසා ට වඩා, කවියකු යනු, වඩා සංවේදී පුද්ගලයෙකි. ඔහු, සියළු සංවේදනා අනෙකාට වඩා විඳින්නෙකි. කවිය පිළිබඳව වෙනදාට වැඩියෙන් කතා කරන යුගයක වුව ද, කවියට නිසි තැන ලැබෙන්නේ ද යන්න සංවාදාත්මක ය. කෙසේ වුව ද, කිසිවකු කවියක් ලියන්නට දරන තැත පමණක් ම, එක්තරා අන්දමක ඇගයීමකට හෝ පැසසීමට ලක් කළ යුතු බව මගේ පෞද්ගලික පිළිගැනීම වන්නේ, කවිය ට ළං වීමට දරන උත්සාහය ම, අවියෙන් ඈත් වීමක් වන නිසා ය. වඩාත් සුන්දර ලෝකයක් තනන්නට නම්, පළමුවෙන් මිනිසුන් සැදිය යුතු ය. වඩාත් සුන්දර මිනිසුන් තනන්නට නම්, වඩාත් සංවේදී විය යුතු ය. එසේ නම් වඩාත් සුන්දර වූ ලෝකයක් තනන්නට හැකි වන්නේ වඩාත් සංවේදී මිනිසුනට ය. එහෙත් එදා මෙදා තුර කාලය පුරාම, ලෝකය තනන්නේ ගොරහැඬි මිනිසුන් විසිනි. ඉදිරිය තව තවත් අඳුරු වනු මිසක, ආලෝකය දල්වන්නට හැකි වේ යැයි සිතීම පවා අසීරු මොහොතක් ගෙවී යමින් තිබෙයි. එහෙත්, ලෝකයට වඩාත් ලෙන්ගතු පුද්ගලයින් අත, අවසන් මොහොත දක්වා ම, තම සහෘදයා වෙනුවෙන් කළ යුතු යමක් වෙතැයි අපි සිතමු. ඒ, අනෙකාට මඟ පෙන්වන පහන් තාරකාව වීම ය. ඉදින්, ඒ පහන් තාරකාවක් විය හැක්කේ, කවියෙකු ට ම නොවේ ද? අනෙකා ගේ ඇසට හසු වූ කවීහු ද, අනෙකා ගේ ඇස නො ගැටී වහන් වී, මගෑරෙන කවීහු ද අප අතර වෙති. එවන් දුල් මිණි හාරා සොයා ගන්න ට අද පාඨකයා ට සිදුව ඇත.
අන්තර්ජාලයේ බලමහිමයෙන් අද අපට, අනෙකා හා ජීවිතය බෙදාහදා ගන්නට පහසු ය. නිර්මාන ද, අසුරු සැණෙන් බෙදා ගන්නට හැකි ය. එබැවින් එක නිමේෂයක දී ඔබ ට, ඔබ ගේ නිර්මාන ලොව පුරා ම බෙදාලිය හැකි ය. එසේ යන මෙම සයිබර් අවකාශගමනය අතරතුර දී ඔබ ට මඳක් නැවතී සිතන්න ට ද සිදු විය හැකි ය. ඒ, ඔබේ සිත සලිත කළ හැකි යමක් නෙතු ගැටෙන විට ය. කවියකු වන්නට පෙර ඔහු, කවි "රස විඳින්නෙකු" විය යුතු බව ඇත්ත ය. එවිට, අපට කවිය ද, කවියා ද මුණ ගැසෙයි.
සමිත බී. අටුවබැන්දෑල.... අටුවබැන්දෑල යනු දිවට නුහුරු නාමයකි. එහි උච්චාරණය, විටෙක අප අපහසුතාව ට ද පත් කරයි. එහෙත් එය, අප නෙතට හෝ සිතට හුරුපුරුදු බවක් ගෙන එයි. ඔහුගේ පන්හිඳගින් ගලා හැලෙන්නේ අතිශයින් සරල, ඔහු ගේ ම රටාවක ට තනාගත් කාව්‍ය ආරකි. ඒවායෙහි, අපට එදිනෙදා මුණ ගැසෙන ගැහැණුන් සහ මිනිසුන් වෙයි. ඔවුනගේ කප්පරක් දුක් ගැහැට, ජීවන අත්දැකීම්, තමන් ගේ පරිසරයෙන් ම සොයා ගන්නා සමිත, ඒවා අපූරු කාව්‍ය නිර්මාන බව ට පෙරළයි. උනුන් ගේ කඳුළ, සුසුම ඔහු තම හදවත මත්තේ පුපුරුවා හැර දමමින් සංතාපයන් අවුළයි.
විටෙක දී, ඔහු ගේ ආකෘතියෙහි ස්වභාවය එහා මෙහා ගොස් ඇති බවක් දිස් වුව ද, ඒවායෙහි හෘදයංගමභාවය රකින්නට ඔහු උත්සුක වෙයි. එමෙන් ම, එ සියලු තැන් හි, අප ට ඇසුරු කරන්නට ලැබෙනුයේ නිරන්තරයෙන් අප නෙත ගැටෙන, ජීවිතය ගැට ගසා ගන්නට අප‍්‍රමාණ දුක් විඳින දයාබරිත මිනිසුන් ය. සහෝදර සහෝදරියන් ය. මව්වරු සහ පියවරු ය. සමිත බණ්ඩාර අටුවබැන්දෑල අපට පුදන අපූර්වත්වය, ඇත්තේ එතැන ය. සංසාර මාවත කෘතියෙහි "පිදුම" සහ සමිත ගේ පෙරවදන ම, කවියේ පෙරනිමිති ගැන පූර්ව අදහසක් අපට කියයි.
දරුවකු ට පාසල් නිම්න භූමිය තරම් මතක අවුළුවාලන තවත් තෝතැන්නක් නැති ය. එය වඩ වඩාත් දැනෙන්නට ගන්නේ පාසල් කාලය අහවර වීමත් සමඟිනි. අගනුවර පාසල් පිළිබඳ කතාන්දරය ට වඩා, පසුකාලයේ දී රසබර වන, දැඩි කටුක අත්දැකීම් ගම්බද ළමුන් ට අත්විඳින්නට සිදුවීම අමුතුවෙන් කිවයුත්තක් නොවේ.
දහඩිය විලවුන්
තවරගෙන
දුහුවිලි කොකුම් උලා ගෙන
බොරළු පාර දිගේ
ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිද ගෙන ඇවිත්
මන්දපෝෂිත ඉස්කෝලෙට
ගොඩ වැදෙන්නී...
වද කොස් ගහ යට පංතියේ
මැලේරියා උණ හැදුණ අපට
හැන්දෙන් හැන්ද අකුරු පොවන්නී...
-පි.17
සමිත ගේ සංසාර මාවත ඇරඹෙන්නේ "දුෂ්කර සේවයට ආ අපේ අලුත් ගුරුතුමී ට" යනුවෙන් අලුත් ගුරුවරිය ගැන ලොවට පාන පහන් කන්දෙනි. එවැනි ගුරුවරු පුදන්නට කිසිවකු හෝ පසුබට වන්නේ නැත. ස්වේඡා ගුරු සේවය ස්ථාපිත කරගැනුම වෙනුවට, සැබෑවට ම දුෂ්කර පෙදෙස් සඳහා තම සේවය සැපයීම ම අරමුණු කරගන්නා නගරවාසී ගුරුවරු වෙති. සමාජය විසින් ඔවුන් සදා පුදනු ලබන්නේ ය.
ගුරුතුමී
ඔය අලුත් සාරි පොටේ සෙවණැල්ල
ඉස්කෝල වත්තෙ බිම පුරාම
හැමදාම එලී තියෙයි
ඔන්න කටුකම්බි මල් වැලෙත්
සතුටක් පිපී ගෙන එයි.
-පි.18
"රැකියා විරහිතයාගේ කවිය" තුළින්, පරපුරේ රැකියා අහේනියත්, ඊට වඩා ඉස්මතු කොට ගන්නේ, පවත්නා විෂය මූලික අධ්‍යාපන ක‍්‍රමය කෙතරම් දුරට ප‍්‍රායෝගික දැයි සිතන්නට කාරණා ය.
අම්මේ තාත්තේ
ධනුද්ධරය මං දඹදිවටම
දහසක් වැදි රජුන් පරදා
තක්සලාවේ සිට පැමිණුන
මේ අපේ පුංචි ගෙදර
අලුත්වැඩියා කරන
කිසිම සිල්පයක් නොදන්න
-පි.38
නූතනවාදී සංකල්ප පිළිබඳව අප‍්‍රමාණව කතා කෙරෙන යුගයක වුව ද, බොහෝ දෙනෙකු දෑවැද්ද, කුලය, ආගම වැනි දේ විවාහයක දී සළකා බලයි. අඟහිඟකමෙන් පිරුණු පවුලක තරුණියකට එවිට සිදු විය හැක්කේ මෙවන් දෙයක් නොවේ ද?
නැටි කැඩුණු බලාපොරොත්තු
ගුලි ගැහුණු බුලත් හෙප්පුව
සම්ප‍්‍රදායෙන් වහගෙන වඩාගන්නී
කුර ගගා නැකත ආ කලට එය
පුරුෂ ප‍්‍රාණයක් අතට දෙන්නී
සියවැනි වතාවටත් ඇය
එරබදු ගහේ
කෙළ කෝටියක් මල් ගනින්නී.
-පේ‍්‍රමවතී -පි.41
සමාජ විෂමතාව මත මෙවන් අකාරුණිකකම් වලට මුහුණ දෙන සොයුරියන් අපට නිතර හමු වෙයි. උරුමක්කාරයින් මුණ නොගැසී ම, ඔවුන්ගේ ජීවිතය තව තවත් අසරණ කර දමන්නට සමත් වෙයි. එවන් සොයුරියන් ගේ ඇල්මැරුණු ජීවිතය සමිත ගේ හද සසළ කරවන්නේ මහත් අනුකම්පාවකිනි.
බිම වැටී ළය පැළුණු හෙප්පුව
සාලයෙන් කුස්සියට
හිස මුදුනේ තබා ගෙන වඩම්මන්නී.
-පි. 42
රට තුළ මේ වන විට විශාල දියුණුවක් ඇතැයි මාධ්‍යය මඟින් තහවුරු කරන්නට කෙතරම් උත්සාහ දැරුව ද, අගනුවර සහ ඒ අවටින් පිට ගම්බිම් ඇතුළත කෙතරම් අඳුරක් පැතිර ඇද්දැයි දන්නේ ඒ හරහා යනවුන් ය. සමහර ප‍්‍රදේශ වල, පාසලට සැතපුම් කිහිපයක් දුර පයින් යා යුතු ය. ඇත්තේ විටෙක කුඩා මංමාවත් ය. වාහනයක් පැදවිය හැකි මාර්ගයක වුව ද, බසයක් ධාවනය වන්නේ නම් පැය කිහිපයක් බලා සිටිය යුතු ය. රෝහලක ට, වෙළඳපොලකට වුව ද එසේ ය. අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ලැබෙන්නේ ඡන්ද පොරොන්දු ලෙස පමණ ය. එහෙත් ඒවා ට බාලගිරි දෝෂ ය. කන්දකඩුව වැනි ප‍්‍රදේශ වල සහෝදර ජනතාව තාමත් අඩිපාර දිගේ සැතපුම් ගණනාවක් දුර ඇවිද ගොස් මහපාර අයිනට වී, පොළට යන්නට, කුඩා ලොරි බාගය එන තෙක් පැය ගණනාවක් බලා ඉන්නවා ඇත. රෝගියෙකු පුටුවක තබා, සැතපුම් ගණනක් දුර ඇති ඩිස්පැන්සරියකට, ගම්මුන් එකතුව ඔසවා ගෙන යනු ඇත. මේ සියලු කම්පිත මතක මතුව ආයේ, සමිත ගේ "දුෂ්කර පළාතේ අකීකරු සිසුවා" කියැවීමෙනි.
පාසල නිමා වී ගොසින
හේන මත උදැල්ලෙන්
මහා රචනාවක් ලියන්නා
වාර විභාගයට
පොත පුරා
කරගැටයක් සදිසි ලොකු බිංදුවක් ලබන්නා
බඩගින්නේ මියෑදුණු
වාර ගණන එකතු කොට
කොටුරූල් කොළයක සතපවා
මහා සූත‍්‍රයක් තනන්නා
විසඳනා ක‍්‍රමයක් නොදන්නා
-පි.45
සමිත මෙම අපූරු ගැටපද සොයාගන්නේ සැබෑ ජීවිතය හාරා අවුස්සාලමින් යැයි, ඒවායෙන් මැවෙන නොයෙක් රූප අපට කියා පාන්නේ ය.
"අම්මාගේ පපුව කැක්කුම
මනින්නට නොහැකි
මේ අඩිකෝදුව කුමකට දැයි
මහා හයියෙන්ම අසන්නා"
-පි.46
පාසල් දරුවකුගේ එදිනෙදා අත්දැකීම්, ගැඹුරු අරුතකට නංවා ඔහු, අපට, ඉන් දමා ගැසූ පසුත්, ඔබේ හිත රිදවූයේ නැතැයි දැන් ඔබට කිව හැකි ද?
ඔහු තව දුරටත් මෙසේ අසයි.
සියල්ල ම පසිඳ දැන ගත්
මගේ මුල් ගුරුතුමනි
ඉතිං
විද්‍යා පොතේ
සමබල ආහාර වේල
පිසෙන පිට
ඉරා කෑ හැකි ද
වන්නියේ මන්දපෝෂිත දරුවන්ට
අඩිරූල් අත්, පා වල ලේ පිරෙන්නට?
මේ සියලු දුක් ගැහැට අස්සෙන් දුව එන "පුංචි දුව" හිතට සිසිලසක් එක් කරයි. ඒ සමඟම "කොහු මෝලෙ සහෝදරීට ආධුනික කවියා ලියූ වචන" තුළින් අප සිහියට නැෙඟන්නේ ගුණදාස කපුගේ ශූරීන් ගැයූ "ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඬි ද දෝණී" නම් සමාජයක් ප‍්‍රශ්න කළ ගීතය යි.
සංසාර මාවත දිගේ කෙතරම් කටුඅකුළ් හමු වන්නේ දැයි ඔහු පෙන්වන්නේ සිත්තමක් අඳින්නා සේ ය. සමිතගේ කවිය තෝරා ගන්නට පහසු ය. එහි අපමණක් උපමා රූපක වෙයි. හුස්ම වැටෙන මිනිසුන්ගේ ඇටසැකිළි රූප ඒවායෙන් මතු වී එයි. සෙනෙහස, මනුස්සකම පොඟවා සමිත සැබෑ මිනිසාගේ සුසුම අප වෙත පා කරයි.
සුළි සුළං පිඹ
අවුළුවා දර ලිප
දර කෝටු අත් දෙකෙන්
සෙනෙහසේ බත පිසින්නී
පාසල් යන දරුවන්ට
කටින් කට ජීවිතය කවන්නී
-මගේ බිරිඳ -පි.58
කෙතරම් අඟහිඟකම් මැද වුව ද, සංසාර මාවතේ මිනිසුන්, ඔවුන ගේ මනුස්සකම, දයාව, ලෙන්ගතු භාවය බිඳ ගන්නේ නැත. ඔවුනගේ සිත් පුරා ආදරය වෑහේ. "මගේ බිරිඳ" ද එවැන්නිය කි.
ආසියාවේ
පරණ සිතියමක් සදිසි සරීරේ
හිඳුණු ගංගා
යකඩ කරාමෙන් එන සිසිලසින්
පුරව ගන්නී..
-පි. 58
"වීථියේ දරුවාගේ කව" ද අප‍්‍රමාණ මව් සෙනෙහසක් පුරවා ගත්තෙක්, සමිත අප ඉදිරියේ තබයි.
පියයුරු කපා දැමූ කල
විස්කෝතු කව කවා
මා රැක්ක අම්මා
නුඹය
පව් නොකළ වුන්
ගල් ගසන කල මට
ඉදිරියට පැන
ඇටකෝටු ළය පෑව අම්මා
නුඹය
-පි. 64
පාන්පෙති, කට්ටසම්බෝල බදාමෙන්
ගඩොළු බිත්ති ආමාශය
කපරාරු කරගන්නී
"කිසාගෝතමී" කාව්‍යයේ මෙවැනි අපූරු උපමා රූපක තුළින් සමිතගේ නිර්මාන ප‍්‍රතිභාව විදහා දක්වයි.
පොල් ඉරටු සේ කෙට්ටු
ඇඟිලි තුඩුවලින් ඇය
සෙනෙහසේ කළාලය
ලෝකාවසානය තෙක් ම වියන්නීය
ගොම පොළොවේ
ගත එළාගන්නීය
-කිසාගෝතමී
සංසාර මාවතින් එහා ගිය සමිත ගේ නිර්මාණ බොහෝ විට අන්තර්ජාලය හරහා විඳින්නට ලැබෙයි. එමෙන්ම ඔහු, කවිය ඉක්මවා කෙටිකතාවෙහි ද නිරත වෙයි. ඔහු ගේ නවතම නිර්මාන අතරින් "මට මගේ දුව ඕනේ" නම් කෙටිකතාව පාඨකයාට වඩා සමීප වෙයි.
දෙදෙනෙකුගේ ආදර සම්බන්ධතාවක් විවාහයෙන් කෙළවර වී ගිය ද, ඒ අතර ට තෙවැන්නකු එකතු විය හැකි ය. විවාහයත් සමඟින් එකිනෙකා හඳුනා ගැනීමත්, සැබෑ චරිත ස්වභාවයන් මතු වීමෙන් ගැලපීම් සහ නො ගැලපීම් අතර ඝට්ටනයන්, තෙවැන්නකු ඒ අතරට එකතු වීමට මඟ සදයි. මේ ඉතා සාමාන්‍ය ස්වභාවයක් වුව ද, සමාජයීය සහ සංස්කෘතික හැදියාවන් පෙරටු කරගත්, ඉන් පවුල නමැති ප‍්‍රපංචය රාමුකර ගත් අප සමාජය තුළ, දැවි දැවී හිඳ, මහළු වී මිය යන්නට සිදු වී ඇති බැවින්, අප එකිනෙකා ආදරය සොයා යන්නේ අනෙකාට රහසිනි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවක් වුව ද, මේවායෙන් අසාධාරණය ට ලක් වන්නේ අහිංසක දරුවන් ය. සමිත මෙම කෙටිකතාවෙන් අරඹන්නේ එම සංවාදයයි. සමිතගේ කවිය මෙන්ම කෙටිකතාව තුළ ද, ඍජු දේශපාලනයක් හැඟවෙන්නේ නැත. ඔහුගේ නිර්මානයන් හි පදනම ලෙස මතු වන්නේ ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික පසුබිම් ය. එහෙත් ඒවායෙන් ඔහු වක‍්‍රාකාරව උලුප්පා දක්වන්නේ ද දේශපාලනය ම නොවේද? සමිත ගේ, මෑත නිර්මානයක් වූ, "මීයා" ගේ කෙටිකතාව එය බිඳ දා යම් තරමක ඍජු දේශපාලනික පිවිසුමකට එළැඹිය ද, ඔහු එම නිර්මානය පාඨකයා බලාපොරොත්තු වන ඉසව් ඔස්සේ වැඩි දුරක් නො ගොස් නවතී.
".. එහෙත් එසැණ මොකක්දෝ සතුටක් ද මගේ හිත ඇතුළේ මීඅඩි තබමින් ඇවිදින්නට විය. ඒ, මගේ වාසනාවකට මගේ කාර්යාලයේ මගේ බොස් යනු, ඇමතිතුමා විසින් දේශපාලන සුදුසුකම මත පත්කරන ලද, පුංචි කොස් ඇට මීයෙක්වත් අල්ලා ගන්ට බැරි, මහළු බළලෙක් වීම නිසාය."
- මීයා-
අපි සැවොම සංසාර මාවතේ ඇවිද යමින් සිටින්නෙමු. තෙරක් නැති සසර මඟ දී, අප ට හමුවන්නෝ අපමණ ය. ඔවූහූ විවිධ හැඩැත්තෝ ය. අට ලෝ දහමින් කම්පා වන්නෝ වෙති. කාව්‍යය එවන් විටෙක දී, සිත සුවපත් කරයි.
දුෂ්කර සේවයට ආ අලුත් ගුරුතුමී, සේවය නිමා කොට, සංසාර මාවතින් අබිනික්මන් කර යන්නට සැරසෙන්නී, දරුවන් තුළ සෙනෙහස ද, නැණැස ද වැඩුවා ය. ඉදින්, ඇගේ දරුවෝ ඈ වෙනුවෙන් හඬා නො වැටේ යැයි, කවුරු නම් කියත් ද?
කටුඉඹුල් පතොක් ගස් පීර පීරා
කරත්ත පාර දිගේ ඇවිදගෙන ඇවිත්
ආයෙමත් එක මොහොතක
අපේ පුන්චි ගම්මානෙට ගොඩවෙන්න මිස්.
ඇවිත් නියඟය
හෙණ්ඩුවෙන් අනින කොට නිලවලට
පැන ඇවිත් පිපාසය
ලේස් පටියෙන් බෙල්ල මිරිකයි.
කිරි දුන්නෙ මේ අපට
නුඹ තමයි මිස් එතකොට
කළුලෑල්ල පුරාම
සුදු පාට රටහුණු මල් පිපුණාම
ඒ මල්වලට සුවඳ ලැබෙන්නේ
පාසලේ පොඩි ළමුන්ගෙන්ය කීවේ
නුඹයි මිස්
අවසන් සීනුව
වැදුණු පසු
නළ ළිඳක් වෙලා
හදවතේ පතුලින්ම වතුර ඇද ඇද
ශිෂ්යත්ව පන්තියේ පාත්තියට
හැමදාම ඉස්සේ නුඹයි මිස්
විවේක වෙලාවට
බඩගින්න
බුරුම කට්ටෙන් කුසපොත්ත හිල් කරන
ළමුන් පෙනුණේ
නුඹට විතරද මිස් ?
බත් පතින් ත‍්‍රීපෝෂ අරගෙන
කටින් කට අපට කැව්වේ නුඹයි මිස්.
-දුෂ්කර සේවේ නිමා වී අලුත් ඉස්කෝලෙකට යන අපේ ගුරුතුමීට
තුෂාරි ප්‍රියංගිකා

කොඩියක් නො වෙයි ඒ
සළුව යි ජැමෙයිකා පොළොවේ
ලෙළෙනවා නො වෙයි උඩු ගුවනේ
වැනෙනවා හුළඟේ
රඟනවා නිදැල්ලේ
රෙගෙ රෙගේ රෙගෙ රෙගේ...
ගැහෙන්නේ බෙර හඬින්
උපන් පොළොවේ හදවත
නළාවෙන් ගලන්නේ උණුසුම
දර අහුරු රෑ පුරා දැවෙද්දී
ගිනිමැලය අසල හිඳ වේදනා තවද්දී
ගයන්නේ නිදි වරන කටහඬ:
-නංගියේ, නාඬන්...
No women, no cry!
පලාවන් සුහුඹුල් පත් පිළිස්සී
පෙරී එන සාර දුම
පපු කුහර පාරමින් පාදමින් සොයන්නේ
ප්‍රේමයේ ශේෂය ද
ලෝලයේ රස පොද ද...
-කලපුවට හඳ එළිය වැටුණු දා
අමතක ද උඹට අපි හමු වුණා
සිඳී ගිය පැතුමේ පතුලේ
රෝස කුසුමක් නො වෙද පිපුණේ
වයන්නම් ගිටාරේ
මිය ඇදෙන ඇඟිලි තුඩු පණ ගසා
Stir it up, little darling!
පා වහන් ගලවා
මහ පොළොව පාගා
වීදියේ යායේ අවුවේ
කළු ගැසෙන සිනා රැළි සෙවණේ
දාඩියෙන් පෙඟුණු අත්වැල සදා වට කළේ
පවුරු නැති සම බිම ද
අරාජක සිහිනය ද
-නො දෙසනු ස්වර්ගය අහසේ යැයි
තිබෙන්නේ එය මේ පොළොවේ
අනුන්ගේ යුද්ධයට
කුලී මිනිසුන් සැදූ පොළොවේ
වහසි බස් අසාලා
බිය නො වවු සගයිනි...
අවදි වවු!
Get up! stand up!
සිංදුවක් නො වෙයි ඒ
ඇහෙනවා පෙර අසා නැති යමක්
හැඳිනගත හැකි වේ ද...
නිර්භය ව කෑ ගසා ප්‍රශ්න කළ
ගවේසී යෞවනේ ගීතය ද
බිය වැදී ජීවිතෙන් පලා යන
උන්මාද උච්ඡේද රිද්මය ද...
අනුරාධ මහසිංහ
ADAHAS BOONDIYA | දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දෙමළ සිවිල් සමාජයෙන් විවෘත සංදේශයක්

දෙමළ ජාතික සංධානය නියෝජනය කරන්නා වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙත දෙමළ සිවිල් සමාජයෙන් ඉදිරිපත් කෙරුණු විවෘත සංදේශයේ සිංහල භාෂා පරිවර්තනය
[2011 දෙසැම්බර් 13] දෙමළ ජාතියේ පැවැත්ම සහ අනාගත අභිවෘද්ධිය පිළිබඳ උනන්දු වන දෙමළ සිවිල් සමාජයේ සාමාජිකයින් වශයෙන් පහතින් සඳහන් දෑ ඔබගේ අවධානයට යොමුකරන්නට අපි කැමැත්තෙමු.
1. ශ්‍රී ලංකා රජය හා පැවැත්වෙන සාකච්ඡා: දේශපාලන විසඳුමක් සාක්‍ෂ්‍යාත් කරගැනීම
අ) ශ්‍රී ලංකා රජය හා පැවැති සාකච්ඡා වාර කිහිපයකින් පසු එම සාකච්ඡාවල යම් ප්‍රගතියක් පෙන්නුම් කෙරෙන බැව් පිළිගන්නා අතරවාරයේදී අතිශය වැදගත් කරුණු තුනක් සම්බන්ධයෙන් ලිඛිත ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඊළඟ සාකච්ඡා වාරය සඳහා ඔබ විසින් දින නියම නොකරන බැව් සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානය විසින් අගෝස්තු 4 වෙනිදා නිල නිවේදනයක් නිකුත් කර තිබිණ. මේ දක්වා පැවැති එකී සාකච්ඡා බොහෝ දුරට ‘රැවටිලිසහගත’ බව ඔබගේ නිල නිවේදනය මඟින් පැහැදිලි කර තිබුණි. අගෝස්තු 4 වෙනිදා ඔබ ගත් ස්ථාවරයට දෙමළ ප්‍රජාවේ අතිමහත් සහයෝගය ලැබුණු බව දෙමළ සිවිල් සමාජයේ සාමාජිකයින් වශයෙන් අපි දැන සිටියෙමු.
කෙසේ නමුදු, සැප්තැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකා රජය සමඟ නැවතත් සාකච්ඡා ඇරඹෙන බැව් ප්‍රකාශයට පත්වූ විට අපි අතිශයින් විශ්මයට පත් වීමු. මෙකී දෙවෙනි නිවේදනය විසින් අගෝස්තු 4 වෙනිදා ඔබ විසින්ම නිකුත් කළ පළමු නිල නිවේදනය සහමුලින් බෙලහීන කොට තිබුණි. සාකච්ඡා නැවත ඇරඹීමට ඔබ ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයන්හිදී ශ්‍රී ලංකා රජය වෙත සැළකිය යුතු පීඩනයක් ගොඩනැංවෙමින් පැවති අතරතුරේදීය. ඔබගේ එම තීරණය රජය වෙත එල්ලවන අන්තර්ජාතික පීඩනය වළකාලමින් ඔවුන්ට සහාය වීමේ චේතනාවෙන් සිදුකරණ ලදැයි යන යුක්තිසහගත විවේචනයක් එමඟින් මේ මොහොතේ ඉස්මතු කොට තිබේ. ඉහතින් සදහන් පරිදි, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා වූ ඔබගේ තීරණයට අදාළ හේතු පැහැදිලි කිරීමට සදාචාරාත්මක යුතුකමක් ඔබ සතුව ඇති බව අප විශ්වාස කරමු.
යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් නම් කෙරෙන සාමාජිකයින් පිළිබඳව වහාම දන්වන ලෙස රජය විසින් අවධාරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වඩාත් මෑතක දී, එනම් දෙසැම්බර් 1 දා වන විට, බරපතල නො එකඟතාවන් සාකච්ඡාවන් තුළ ඉස්මතු වූ බව දැනගන්න ලැබිණ. ඒ කෙසේ නමුදු මේ මතභේදයට තුඩුදුන් කාරණාව පිළිබදව වැඩිදුර සන්නිවේදනයක් සිදු නොවී තිබියදීත් දෙසැම්බර් 06 වෙනි දා ඊ ළඟ සාකච්ඡා වටය සඳහා ඔබ සියල්ලෝ සහභාගි වූහ. දෙසැම්බර් 06 වෙනි දා සාකච්ඡා වටය අවසානයේදී ඔබ පවසා සිටියේ ශ්‍රී ලංකා රජය පොලිස් හා ඉඩම් බලතල සම්බන්ධයෙන් අනම්‍ය පිළිවෙත් දරණ බව හා ඔවුන් උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම ඒකාන්තයෙන්ම ප්‍රතික්ශේප කළ බවයි. මෙම කරුණු තුන ප්‍රතික්‍ෂේප කෙරෙන්නේ නම් තවදුරටත් සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැත. සාකච්ඡා මේසයේ දී සැබැවින්ම හෙළිදරව් වූ දෑ දෙමළ ජනතාව වෙත පැහැදිලි කිරීම ඔබගේ වගකීමකි.
ආ) 2011 අගෝස්තු 23 හා 24 යන දෙදින ඉන්දියානු කොන්ග්‍රසයේ රාජ්‍ය සභා මන්ත්‍රී සුදර්ශන නාච්චියප්පන් මහතා කැඳවූ දෙමළ බහු පාක්‍ෂික සමුළුවේ දී ‘වාර්ගික අර්බුදය සඳහා වූ ඕනෑම විසඳුමක් දෙමළ ජනයා යනු ස්වයං නිර්ණයට හිමිකම් ඇති ජාතියක් වශයෙන් පිළිගන්නා පදනමේ සිට ඉදිරියට යා යුතු බවට’ අවධාරණය කෙරුණු යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම අපගේ දැඩි කණස්සල්ලට හේතු විය. අදාළ යෝජනාවට දෙමළ ජාතික සන්ධානය අත්සන් නොකිරීමට බල පෑ කරුණු වශයෙන් දක්වන ලැබුණේ සමුළුව තුළ දී ඒ සම්බන්ධයෙන් ඒකමතිකත්වයක් ඇති නොවූ බැවින් එය පිළිගත නොහැකි වූ බවයි. ඇත්ත වශයෙන්ම පුදුම සහගත කරුණ වන්නේ ‘දෙමළ ජාතිය’ හා ‘ස්වයං නිර්ණය අයිතිය’ සඳහා පැහැදිලි ලෙසම විරෝධතාවය දැක්වූවන් අතරට ඔබ විසින් දෙමළ ජාතික සන්ධානයට මෑතක දී සම්බන්ධකර ගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ප්ලොට් සංවිධානය ද ඇතුළත් වීමයි. (යෝජනාවට විරුද්ධ වූ අනෙකුත් කණ්ඩායම් දෙක වූයේ ඊ.පී.ආර්.එල්.එෆ්. (පත්මනාභ පිළ) සහ ඊ.එන්.ඩී.එල්.එෆ්. යන කණ්ඩායම් ය.) මෑත කාලීන මැතිවරණවල දී ඔබ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහ ප්ලොට් සංවිධානය සමඟ එක්ව තරඟ කළ බව කවුරුත් හොඳින් දන්නා කාරණයකි. මේ සමුළුවේ දී ඉහත කී කණ්ඩායම් දෙමළ ජාතික සන්ධානයේ මූලාරම්භක ප්‍රතිපත්තීන්ට එරෙහිව කටයුතු කළේ නම්, ඔවුන් පක්ෂයේ පිළිවෙත් හා බැඳී සිටින්නේද යන්න තහවුරු කර ගැනීම ඔබගේ වගකීමකි. අඩුම වශයෙන් මේ පිළිබඳ නිශ්චිත කරුණු පැහැදිලි කිරීමක් අදාළ සන්ධානගත පක්ෂවලින් ඔබ විසින් ඉල්ලා සිටිය යුතුය. ඔවුන්ගේ සථාවරය ඔබ විසින් හෙළා දැකීමක් හෝ ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා නොසිටින කල්හී නවදිල්ලි සමුළුවේදී ඔවුන් ගත් ස්ථාවරය සමඟ ඔබගේ එකඟතාවක් එමගින් ගම්‍ය වන බැව් සිතීමට යමෙකුට බල කෙරෙණු ඇත. පොදු අරමුණක් සඳහා නොමැති ඒකමතිකත්වයක් හෝ එක්සත්භාවයක් අරුත් විරහිත ය. දෙමළ පක්ෂ අතර එක්සත්භාවය අදාළ වන්නේ එකී එක්සත්භාවය දෙමළ ජාතික දේශපාලනයට ගාමක බලයක් සැපයීමට උපකාර වනවිට මිස එය ඒ සඳහා විනාශකාරී වන විට නොවේ.
ඇ) අපගේ නිරීක්‍ෂණයට අනුව සම්බන්ධන් මහතා හා සුමන්දිරන් මහතා දේශපාලන විසඳුමක් යන විෂය සම්බන්ධව සිදුකරණ ප්‍රසිද්ධ ප්‍රකාශයන්ගේ ස්වභාවය දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය මැතිවරණ වේදිකා මතදීත්, මැතිවරණ ප්‍රකාශන මගිනුත් පැවසූ දෙයින් අපගමනයක් පෙන්නුම් කරයි. ඔවුනට අනුව දේශපාලන විසඳුමක් පදනම් විය යුත්තේ දෙමළ ජනයා යනු ‘සුළු ජාතියක්’ සහ ‘සම අයිතිවාසිකම්’ යන සංකල්පයන් මත පදනම්ව මිස ‘ජාතිකභාවය’ හෝ ‘ස්ව නිර්ණ අයිතිය’ මත නොවේ. (උදාහරණයක් වශයෙන් 2011 අප්‍රේල් 26 වෙනිදා සුමන්දිරන් මහතාගේ එස්.ජේ.වී චෙල්වනායගම් අනුස්මරණ දේශනය සහ 2011 ඔක්තෝබර් 04 දා කල්මුනේ නාගරික මැතිවරණයට පෙර දින සම්බන්ධන් මහතාගේ මාධ්‍ය නිවේදනය බලන්න.)
‘සුළු ජාතීන්ගේ’ ඉල්ලීම් වන්නේ භාෂා සහ සංස්කෘතික අයිතීන් පමණක් බව පැහැදිලි කරුණකි. නමුත් යම් ජනතාවක් තමන් ස්ව නිර්ණ අයිතිය සඳහා සුදුසුකම් ලත් ජාතියක් වශයෙන් සළකන කල්හී ඔවුහු ස්ව පාලන ව්‍යුහයක් අපේක්‍ෂා කරති. අපි, දෙමළ ජනයා වනාහී ස්ව නිර්ණය අයිතිය සඳහා හිමිකම් ඇති ජාතියක් ලෙස සලකන්නෙමු.
ඒ හා සමානවම ‘සම අයිතිවාසිකම්’ ඉල්ලා සිටීම යනු ස්වයං පාලනයක් ඉල්ලා සිටීම නොවේ. නීතියේ ආධිපත්‍යයට හා යහ පාලන ක්‍රමයකට පවා සම අයිතිවාසිකම් තහවුරු කිරීමට පුළුවන. නමුත් දෙමළ ජනතාව බලා පොරොත්තුවෙන දෑ හුදෙක් නීතියේ ආධිපත්‍යය හා යහ පාලන ක්‍රමයක් තහවුරු කිරීමෙන් පමණක් සංතෘප්ත කළ නොහැක. වර්තමානයේ අප සතු ගැටළු විසඳා ගත හැක්කේ ස්වයං පාලනය ව්‍යුහයක් හරහා පමණි.
අපගේ සාමූහික දේශපාලන අභිලාශය ප්‍රකාශයට පත් විය යුත්තේ ස්ව නීර්ණ අයිතිය සඳහා සුදුසුකම් ඇති, ස්වයං පාලන ව්‍යුහයක් අරමුණු කොටගත් ජාතියක් වශයෙනැයි මෑත අතීතයේදී - නිශ්චිතවම කිවතොත් 1976 සහ 1977 කාල වකවානුවේ දී - අපගේ නායකයින් සහ ජනතාව තීරණය කරන ලද්දේ මෙකී අවබෝධය සහ අත්දැකීම් මත පදනම් වෙමිනි. මෙම ස්ථාවරයන් තවදුරටත් දැරීම නුසුදුසු යැයි හුදෙක් කිහිපදෙනෙකු විසින් දරණ ආකල්පය අපගේ දේශපාලනයේ මූලධාර්මික පදනම් අතහැර දැමීමට පාදක කරගත නොහැක.
දෙමළ ජනතාව වනාහී ස්ව නීර්ණ අයිතිය සඳහා සුදුසුකම් ඇති ජනතාවක් බැව් පැවසීම වෙනම රටක් ඉල්ලා සිටීමක් හඟවනු නොලබයි. අපගේ අභිලාෂයන් සපුරාලන ආයතනික ව්‍යුහයක් පිළිබඳව සාකච්ඡා මේසයේදී අදහස් හුවමාරු කර ගත හැක. නමුත් ඉහතින් සඳහන් කළ මූලධාර්මික ආස්ථානයන් මත පිහිටා සිට මේ සාකච්ඡා සඳහා යොමු නොවන්නේ නම් මොනයම් ලෙසකින් හෝ අර්ථවත් ස්වයං පාලන ව්‍යුහයක් සාක්‍ෂ්‍යාත් කරගැනීමට අපට නොහැකි වනු ඇත. මේ මූලධර්මයන් පිළිනොගන්නා කිසිදු දේශපාලන විසඳුමක අර්ථයක් නොමැත. ඊට පටහැනිව, මේ මූලධාර්මික පදනම් පිළිගන්නා විසඳුමක් විසින් පමණක් කල් පවත්නා දේශපාලන විසඳුමක් සම්පාදනය කොට සංහිඳියාව සඳහා මඟ සළසනු ඇති අතර අනතර්ජාතික මැදිහත්වීමක අනවශ්‍යභාවයද තහවුරු කරනු ඇත.
ස්ව නීර්ණ අයිතිය සඳහා හිමිකම් ඇති ජාතියක් වශයෙන් අපගේ දේශපාලන අභිලාශයන් පැහැදිලි කිරීමේ දී අප විසින් ගත් ස්ථාවරය නිවැරදි බව ඔබට ප්‍රත්‍යක්‍ෂව තිබීමත්, ඒ බව පැවසීමට ධෛර්යය සහ අධිෂ්ඨානයක් ඔබ සතුව තිබීමත් ඉතා වැදගත් වේ. දෙමළ ජනතාව වෙනුවෙන් කතා කළ හැක්කේ හා කතා කළ යුතු වන්නේ මේ ධෛර්යමත්භාවය ඇති අය පමණි. මේ ඉල්ලීම් හුදු සටන් පාඨ වශයෙන් පමණක් ඉදිරිපත් කිරීමෙන් පමණක් අපට කිසිවක් ළඟාකර ගත නොහැකි බව ඇත්තකි. දේශපාලන උපක්‍රම ඇත්ත වශයෙන්ම අති මහත් වැදගත්කමක් සහිත බවට සැක නැත. නමුත් උපක්‍රම වෙනුවෙන් අපගේ දේශපාලන මූල සිද්ධාන්තයන් අත්හැර දැමිය නොහැකි ය. මේ මූල ධාර්මික පදනම් අත්හැර දමන්නේ නම් අප විසින් දේශපාලනය කරන්නනේ කුමටද - කා සඳහාද යන ප්‍රශ්නය පැන නඟී.
2. උතුරු පළාත් සභා මැතිවරණය
උතුරු පළාත් සභා මැතිවරණය 2012 දී පැවැත්වෙන බැව් ශ්‍රී ලංකා රජය දැන් පවසයි. දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය සඳහා තරඟ කරන්නේ නම් ඉන් ඒකාන්ත ජයග්‍රහණයක් ලබාගන්නා බැව් අපට සැකයක් නැත. නමුත් තේරුම් ගත යුතු සියුම් කාරණාව වන්නේ ශ්‍රී ලංකා රජයට අවශ්‍යව ඇත්තේ ද එයම බවයි. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ( මේ මොහොතේ එය ක්‍රියාත්මක කර ඇති ආකාරයට වඩා ) කිසිවක් සාකච්ඡා කිරීමට රජයට අවශ්‍ය නොවන තත්ත්වයක් තුළ හා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වාර්ගික අර්බුදයට විසඳුමක් නොවන බව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ම දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්‍ෂේප කර ඇති තත්ත්වයක් තුළ උතුරු පළාත් සභාවේ පාලනය දෙමළ ජාතික සන්ධානය අතට පත්වනු දැකීමට රජය කැමැති වීම පුදුමයක් නොවේ. රජයේ අභිලාෂය සේ පෙනෙන්නේ වාර්ගික අර්බුදයට විසඳුමක් ලෙස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට දෙමළ ජනතාව එකඟ වී ඇති බව අන්තර්ජාතික ප්‍රජාව අතර ප්‍රචාරය කිරීමයි.
විසඳුමක් සඳහා වන ආරම්භයක් ලෙස 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සළකන මෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාව විසින් බල කර සිටීමෙන් පෙන්නුම් කරන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සම්පාදනය කරන මූලික රාමුවට ඔබ්බෙන් වූ යමක් ඔවුන් ද අපේක්‍ෂා නොකරන බව පමණකි. එබැවින් පළාත් සභාවල බලය ලබා ගැනීමෙන් පසුව වැඩි බලතල ඉල්ලා සිටීමේ හැකියාවක් දෙමළ ජාතික සන්ධානයට ලැබෙනු ඇතැයි යන්න උපායමාර්ගයක් වශයෙන් සාර්ථක නොවනු ඇත. එනයින් පවත්නා තත්ත්වය තුළ ‘වර්ධක බල විමධ්‍යගතකරණය’ (ක්‍රමිකව වැඩිවන බල බෙදාහැරීමක් - පරිවර්තක) යනු ක්‍රියාවට නැංවිය නොහැකි විකල්පයකි. නෛතික විෂයයෙහි ප්‍රභාමත් විශාරදයින් බොහෝ දෙනෙක් දෙමළ ජාතික සන්ධානය තුළ සිටිති. එහෙයින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මූලික රාමුව මත පදනම්ව ‘ක්‍රමික වර්ධනයන්’ සඳහා තල්ලු කිරීමට අවකාශයක් නැති බව අප විසින් ඔබට පැවසිය යුතු නොවේ. එවැනි ඉඩක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොමැත. එමෙන්ම 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යනු අන්තර්කාලීන විසඳුමක් ද නොවේ. දෙමළ ජනයාගේ එදිනෙදා ප්‍රශ්න හෝ විසඳීමේ හැකියාවක් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ නොමැති තත්ත්වයක් තුළ මෙය නිශ්ඵල ව්‍යායාමයක් වනු ඇත. තව දුරටත් සැළකිය යුතු කරුණක් වන්නේ, එකිනෙකින් වෙන් කළ උතුරු හා නැගෙනහිර පළාත් සඳහා දෙමළ ජාතික සන්ධානය තරඟ වැදීම විසින් මතුකරන දුරදිග යන දේශපාලන හැඟවුම් පිළිබඳව ය. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පිළිබඳ අතරමැද සම්මුතියක් තිබිය නොහැක. දෙමළ ජාතික සන්ධානය විසින් මෙය එක්සත් ජනපදයට සහ ඉන්දියාවට අවධාරණය කළ යුතු වන අතර ඔවුන් පිහිටා සිටින ස්ථාවරයේ අනිසි බලපෑමකට යටත්ව ස්වකීය අභිප්‍රායන් අත්හැර දැමීම නොකළ යුතු ය.
එනයින් යෝජිත උතුරු පළාත් සභා මැතිවරණය ස්වයං පාලන ව්‍යුහයක් සාක්‍ෂ්‍යාත් කරගැනීම උදෙසා වන අපගේ දේශපාලන ගමනේ දී බරපතල අවහිරයක් වනු ඇත. වඩාත් නිවැරදිව පැවසුවහොත් දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු පළාත් සභාවේ බලය ලබා ගැනීම ‘දේශපාලන අරුතෙන් මුල්ලිවෛක්කාල්’ වැන්නක් වනු ඇත. එය වැළැක්වීම දෙමළ ජාතික සන්ධානයේ දෙවුර මත පැටවුණු ඓතිහාසික වගකීමකි.
සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හා නුසුදුසු ක්‍රියාවක් යන ස්ථාවරය දෙමළ ජාතික සන්ධානය විසින් රජය හා අන්තර්ජාතික ප්‍රජාව හමුවේ මතු කළ යුතුය. මෙම ස්ථාවරය සඳහා ප්‍රමාණවත් දේශපාලන සයුක්තිකභාවයක් තිබේ. අපගේ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීමට දෙමළ ජාතික සන්ධානයට අලුත් ජනවරමක් අවශ්‍ය නැත.
රජය මේ ඉල්ලීම නොසළකා හැර මැතිවරණ කැඳවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා සෘජුව සම්බන්ධ වීමෙන් වැළකී සිටිය යුතු ය. උතුරු පළාත් සභාවේ බලය දෙමළ නොවන හෝ රජයට පක්‍ෂපාතී කණ්ඩායම් වෙත හිමි නොවනු පිණිස ගත යුතු විකල්ප උපාය මාර්ගයන් ගැන අපට සිතිය හැක. දෙමළ ජාතික සන්ධානය මේ සඳහා තවදුරටත් දෙමළ ජනතාවගේ උපදෙස් ලබා ගත යුතුය.
අවසාන වශයෙන්, අප විශ්වාස කරන්නේ දෙමළ ජාතික සන්ධානය යනු සාමාන්‍ය දේශපාලන පක්ෂයක් නොව, අපගේ ජනතාවගේ විමුක්තිය සඳහා වූ ව්‍යාපාරයක් බව ය. පසුගිය සියළු මැතිවරණයන් හී දී දෙමළ ජනයා නොසැළී ඔබ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානය පදනම් වූ අරමුණු උදෙසා ඔබ අචලව ක්‍රියාකරනු ඇතැයි යන විශ්වාසයෙනි.
මෙම ඓතිහාසික සන්ධිස්ථානයේ දී දෙමළ ජාතික ප්‍රජාවේ සාමූහික ආත්ම ප්‍රකාශනයක් වශයෙන් මෙම සංදේශය අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. මෙම අරගලය වෙනුවෙන් සිය ජීවිත පූජා කළ ලක්ෂ ගණනාවක් වූ ජනතාවකගේ අපේක්ෂාව මෙයයි. එමෙන්ම අඛන්ඩ පීඩනයට හා යටත්භාවයට හෙළා ඇති අපගේ ජනතාවගේ බලාපෙරොත්තුව වන්නේද මෙයයි. ගෞරවාන්විත හා ධරණීය දේශපාලන විසඳුමක් සහතික කරනු පිණිස අත්‍යවශ්‍ය නිවැරැදි තීරණ ඔබ විසින් ගනු ඇතැයි යන අපේක්‍ෂාවෙන් යුතුව මෙම සංදේශය අපි නිමා කරන්නෙමු.
ස්තුතියි.
අති උතුම් ආචාර්ය රායප්පු ජෝසප් පියනම
මන්නාරම අග රදගුරු
අති උතුම් සෝමසුන්දර පරමාචාර්ය ස්වාමි,
නල්ලෛ ආදීනම්, යාපනය
ආචාර්ය ආරු.තිරුමුරුගන්
භාරකරු, තිරුක්කෝවිල් දේවස්ථානය, තෙල්ලිප්පලෛ,
සමාරම්භක - සිවභූමි භාරය, යාපනය
පූජ්‍ය ආචාර්ය එස්.ජෙබනේසන් දේවගැති තුමා
හිටපු අග රදගුරු - දකුණු ඉන්දීය සභාව,
යාපනය
ශාන්තා අභිමානසිංහම් මිය
ජනාධිපති නීතිඥ,
යාපනය
මහාචාර්ය එස්.කේ.සිත්‍රම්පලම්
ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්ය,
හිටපු පීඨාධිපති - උපාධි අධ්‍යයන ආයතනය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය එස්. රවිරාජ්
විශේෂඥ ශල්‍ය වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය
මහාචාර්ය කේ.කන්දසාමි
පීඨාධිපති - විද්‍යා පීඨය
යාපනය විශ්ව විද්‍යාලය
මහාචාර්ය ආර්. කුමාරවඩිවේල්
භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය,
හිටපු වැඩ බලන උපකුලපති,
යාපනය විශ්ව විද්‍යාලය
මහාචාර්ය ආර්. විග්නේෂ්වරන්
ගණිතය පිළිබඳ මහාචාර්ය,
සභාපති - සරසවි ආචාර්ය සංගමය
මහාචාර්ය වී.පී.සිවනාදන්,
ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී,
යාපනය විශ්ව විද්‍යාලය
මහාචාර්ය පී.පුෂ්පරත්නම්
ඉතිහාස අංශ ප්‍රධානී,
යාපනය විශ්ව විද්‍යාලය
කේ.සූරියකුමාරන්
නියෝජිත - යාපන දිස්ත්‍රික් ධීවර සමිති බල මණ්ඩලය,
නියෝජිත - උතුරු වඩමරාච්චි ධීවර සමිතිය
ටී. රාජන්
මඩකළපු දිස්ත්‍රික් සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ සන්ධානය
පූජ්‍ය සී.ජෙයකුමාර් පියනම,
මීසම් භාර පූජක,
කයිට්ස්
ආචාර්ය ඒ.එස්.සූසෛ
භූගෝල විද්‍යා අංශය,
යාපන විශ්ව විද්‍යාලය
එස්.අර්සරත්නම්
විශ්‍රාමික බැංකුකරු,
අම්පාර දෙමළ සංගමය
කේ.එස්.රත්නවේල්
ජ්‍යෙෂ්ඨ නීතීඥ,
විධායක අධ්‍යක්‍ෂ - මානව හිමිකම් සහ සංවර්ධන කේන්ද්‍රය
ආචාර්ය ටී.ගුණරාජසිංහම්
කායික විද්‍යා අංශය,
වෛද්‍ය පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය එස්.උදයකුමාර් මිය,
විශේෂඥ වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය
වෛද්‍ය එස්.ප්‍රේමක්‍රිෂ්ණා
නිර්වින්දක විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය
වෛද්‍ය එස්.සිවන්සුදන්
විශේෂඥ වෛද්‍ය,
ශික්ෂණ රෝහල, යාපනය
වෛද්‍ය පී.ලක්‍ෂ්මන්
හෘද රෝග විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය
ඒ.පංචලිංගම්
හිටපු විදුහල්පති,
යාපනය හින්දු විදුහල - කොකුවිල් හින්දු විදුහල
පූජ්‍ය ඊ.රවිචන්ද්‍රන් පියනම,
අධ්‍යක්‍ෂ - යොවුන් ජීවනාලි කේන්ද්‍රය,
යාපනය
නාච්චියාර් සෙල්වනායගම් මිය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
හින්දු ශිෂ්ටාචාර අංශය,
යාපනය විශ්ව විද්‍යාලය
කේ.සන්දිරලිංගම්
විශ්‍රාමික විදුහල්පති,
අම්පාර දෙමළ සංගමය
වෛද්‍ය එස්.කුමාරවේල්
ශික්ෂණ රෝහල, යාපනය
එස්.ඒ.ජෝදිලිංගම්,
නීතීඥ - ගුරු වෘත්තික,
දේශපාලන විශ්ලේෂක
ඒ.රාසකුමාරන්
ලේකම් - යාපන සරසවි ආචාර්ය සංගමය
වී.පුවිදරන්,
ජ්‍යෙෂ්ඨ නීතීඥ, කොළඹ
පී.තියාගරාජා,
හිටපු සභාපති - පරන්තන් රසායන සංයුක්ත සංස්ථාව
බී.එන්.තම්බූ
නීතිඥ, කොළඹ
ජේ.ටී.සිම්සන්
ගුරු වෘත්තික,
මන්නාරම
නීතීඥ කේ. ගුරුපරන්,
කථිකාචාර්ය - නීති පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය
ටී.රාමක්‍රිශ්ණන්
හිටපු කාර්මික නිළධාරී,
අම්පාර දෙමළ සංගමය
වෛද්‍ය එස්.කන්නදාසන්,
ව්‍යාධිවේදී අංශය - වෛද්‍ය පීඨය,
යාපනය විශ්ව විද්‍යාලය
පූජ්‍ය එස්.එම්.පී.ආනන්ද කුමාර්
ලේකම් - යාපනය කතෝලික පූජක සංගමය
වෛද්‍ය කේ.ඉලන්ගෝඥානියාර්
ශික්ෂණ රෝහල, යාපනය
එස්.තවපාලසිංහම්,
සභාපති - මහා ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය
එන්.ඉන්පනායගම්
සභාපති - ග්‍රාමීය කම්කරුවන්ගේ සංගමය,
යාපනය
එස්.කිරුපාකරන්,
සභාපති - ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය කේ.සුරේශ් කුමාර්
නාරි සහ ප්‍රසව විශේෂඥ,
ශික්ෂණ රෝහල, යාපනය
ඒ.ප්‍රසන්න
සභාපති - විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය එස්.බහීරදන්
ශික්ෂණ රෝහල, යාපනය
එස්.සිවසොරූබන්
සභාපති - කළමනාකරණ සහ වාණිජ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය ඒ.කමලනාදන්
ශික්ෂණ රෝහල, යාපනය
වෛද්‍ය ජී.හිරින් ආක්
ශික්ෂණ රෝහල, යාපනය
එස්.ජනහන්,
සභාපති - වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය,
යාපනය විශ්ව විද්‍යාලය
වෛද්‍ය පී.නන්දකුමාර්
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී,
තෙල්ලිප්පලෛ
වෛද්‍ය එම්.වාසුදේවන්
ශික්ෂණ රෝහල, යාපනය
වෛද්‍ය එස්.මෝහන්කුමාර්
ශික්ෂණ රෝහල, යාපනය
වී.අර්සරත්නම්
හිටපු සමූපාකාර සහකාර කොමසාරිස්,
අම්පාර දෙමළ සංගමය
කේ.සෙයොන්
මඩකළපු දිස්ත්‍රික් තරුණ ක්‍රියාකාරිකයින්ගේ සංගමය
ජී.රන්ජිත්කුමාර්
මඩකළපු දිස්ත්‍රික් ධීවර සංවර්ධන සමිතිය
පූජ්‍ය ඒ. ඔගස්ටීන් පියනම
මීසම් භාර පූජක - චක්කෝට්ටෛ
යාපනය
එස්.එස්.පිලිප් මෝයි
ගුරු වෘත්තික,
යාපනය
පූජ්‍ය ඔගස්ටීන් පුෂ්පරාජ් පියනම
මීසම් භාර පූජක - නනාට්ටන්,
මන්නාරම
ටී.නිශාන්තන්
මඩකළපු දිස්ත්‍රික් ගොවි සංවර්ධන සමිතිය
පූජ්‍ය ජෙයපාලන් කෲස් පියනම
මීසම් භාර පූජක - වන්කාලෛ,
මන්නාරම
ඒ.සිත්‍රම්පලම්
සභාපති - මාදගල් ගොවි සන්ධානය
වෛද්‍ය එස්.සිවදාසන්
ශික්ෂණ රෝහල, යාපනය
පූජ්‍ය එල්.ඥාන්තික්කම් පියනම
මීසම් භාර පූජක - වන්චියාන්කුලම්,
මන්නාරම
ඒ.ආර්.මතිලාලගු
සභාපති - මාදගල් ධීවර සමිතිය
එම්.තයාලිනී මිය
මඩකළපු දිස්ත්‍රික් කාන්තා සංවර්ධන සමිතිය
කේ.සෞන්දරනායගම්
සභාපති - ශාන්ත අන්තෝනි ධීවර සමිතිය
කේ.සුගාෂ්
නීතීඥ, යාපනය
ඒ.ජෙයමනි මිය
සභාපති - බටහිර මාදගල් කාන්තා සංවර්ධන සමිතිය
ටී.අර්ජුන
නීතීඥ, යාපනය
කේ.අරුමෛතුරෛ
සභාපති - ශාන්ත ලූතර් ධීවර සමිතිය
එස්.ජයසේගරම්
සභාපති - යාපනය වාණිජ මණ්ඩලය
කේ.පාවාලකේසන්
මඩකළපු දිස්ත්‍රික් සංවර්ධන සමිතිය
ඒ.සන්තියාපිල්ලෛ
සාමය සහ යුක්තිය සඳහා වූ අංශය,
යාපනය කතෝලික පුරවැසි සමිතිය
කේ.සෙල්වරත්නම්
සභාපති - විවිධ සේවා සමූපාකාර සමිතිය,
පණ්ඩතිරිප්පු
ආර්.ජෝන්පිල්ලෛ
නනාත්තන්,
මන්නාරම
පරිවර්තනය - තාරක පතිරගේ



