1988 නොවැම්බරය හීෂණයෙන් පිරුණු සමයකි. එතැන් සිට කාලය වේගයෙන් ඉක්ම ගොසිනි. ඒ භීෂණයේ සිදුවීම් අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් තිබේ. 88-89 කාලය තුළ අතුරුදහන්වුවන් ගැනත්, මරා දැමුවන් ගැනත් අපි z90 දී කතා කළෙමු. මරණය දැක දැක මරා දැමුවන් වෙනුවෙන් ගුණ සමරු උත්සව පැවැත්විණි. මට අදටත් ඔවුන් ගැන ඇත්තේ ගෞරවයකි. මා හැදී වැඩී පෝෂණය වුයේ භීෂණය පිරුණු සමාජයකය. ඒ අවදියේ බොහෝ මිනිසුන් මරා දැමුවේ ඉතාමත් ම්ලේච්ඡ ආකාරයටය.
මා හැදී වැඩුණු ඒ භීෂණකාරී සමාජය අද ද ජීවමානව පවතී. මා මේ ලිපිය ලියන්නේ එබැවිනි. අතීත මතකයන් තුළින් මට ගැලවීමක් නැති බැවිණි.
වාමාංශිකයෙකු වූ මාගේ තාත්තා 1988 නොවැම්බර් 08 දා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කරන ලදී. ඔහු නමින් නන්දසේන සිල්වාය. ජීවිතයේ තිස් නම වැනි අවුරුද්දේදී ඔහු මරා දමන විට මා කුඩා දැරියකි. මා දන්නා පරිදි ඔහුගේ දේශපාලනය ආරම්භ වන්නේ 1971 කැරැල්ලට සමගාමීවය. ඒ 1971 කැරැල්ලට සම්බන්ධ වුවන් හා ඔහු අතර වූ දේශපාලන මිතුදම් නිසාවෙනි. මාගේ මතකයන් අතරේ ඔහු ඉතාමත් ප්‍රිය ජනක, සමාජයේ අනිත් මිනිසුන් උදෙසා වැඩ කළ පුද්ගලයෙකි.
1980 වැඩ වර්ජනයට හසු වූ ඔහු, බණ්ඩාරවෙල ඌව කරඳගොල්ලේ ගොවිපළක් ආරම්භ කරන ලදී. ගොවිපළ ඇරඹීම හරහා වැඩ වර්ජනයට හසු වු ඔහුගේ ඇතැම් මිතුරන්ටද ජීවන මාර්ගයක් සැපයීමට හැකිවීම ගැන ඔහු සතුටු විය. ඌව කරඳගොල්ලේ පාසල ගොඩ නැගීමට ඔහු වෙහෙස මහන්සිව කටයුතු කළේය. උසස් පෙළ ළමුන්ට නොමිලේ අමතර පන්ති පැවැත්වීමත් ඔහු විසින් ආරම්භ කරන ලදි. ගමේ සෙසු ළමුන් මෙන් දුෂ්කරතා විඳින්නට පුරුදු වෙන්නැයි කී ඔහු මුලින් කරඳගොල්ල ගමේ ඉස්කොලෙට අප යැවීය. තාත්තා පාසැලට උදව් කළ නිසා අප කෙරෙහි විශේෂ සැළකුම් දක්වනු දැකීම ඔහු පි්‍රය නොකළේය. පාසැල් නාට්‍ය සඳහා මා දෙවරක්ම තෝරා ගැනීම රුචි නොකළ තාත්තා පාසැලට ගොස් zහැකියාව තිඛෙන වෙනත් දරුවෝ මේ පන්තියේ නැතිදැZයි ඇසූ අයුරු මට අද මෙන් මතකය. මිනිසුන්ට ආදරයෙන් සළකන්නට මට කියා දුන්නේ තාත්තාය. ගොවිපොළ හරහා යනෙන ගම් වැසියන් නවතා කොළඹින් ගෙනා විටමින් සහ යකඩ පෙති තාත්තා ඛෙදා දෙන අයුරු මට දැනුදු මතකය. 1983 කලූ ජුලිය අවදියේ අපේ ගෙදර දෙමළ මිනිසුන්ගෙන් පිරී තිබිණ. තාත්තා හැකි හැම විටකම අන් අයට උදව් කළේය. නමුත් ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වයන් ගැන අපට ඒ අවදියේ ගැඹුරු අවබෝධයක් නොතිබිණ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් 1988 නොවැම්බර් 08 දින මාගේ තාත්තා සාහසික ලෙස මරා දැමීමට ප්‍රධාන හේතුව වුයේ වාමාංශික මත දරන්නෙක් ලෙස එවකට ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය ඔහු ප්‍රසිද්ධියේ හෙළා දුටු හෙයිනි. ඔහු ජාතිවාදයට සහ පුද්ගල ඝාතනයට එරෙහිව විවෘතව කතා කළේය. නන්දන මාරසිංහ සහ විජය කුමාරතුංග ඝාතනයන් ඔහු ප්‍රසිද්ධියේම හෙළා දැක්කේය. මාරසිංහ ඝාතනයෙන් පසු, තාත්තා නන්දන මාරසිංහයන්ගේ විශාල සේයාරුවක් ගේ ඉදිරිපස එල්ලා ඒ ගැන ශෝකයෙන් කතා කළ බව මට මතකය. ළදැරියක වූ මම මාරසිංහ යනු කවරෙක්දැයි ගැඹුරින් දැන නොසිටියෙමි. නමුත් තාත්තාගේ වේදනාව තුළින් ඔහු පිළිබඳව මා තුළ චිත්‍රණය වූ රුව දැනුදු මතකයේ තැන්පත්ව තිබේ.
තාත්තා නිතර තමන්ගේ මරණය ගැන කතා කළේය. නමුත් ඔහු වීරයෙක් නිසා ඔහු නොමැරෙනු ඇතැයි මම සිතීමි. මාගේ කුඩා ලෝකයේ අපරාජිත වීරයා වූයේ මගේ තාත්තාය. ඔහු මරා දැමිය හැක්කේ කාටද? ඇතැම් විටක මා තුරුළට ගෙන මාක්ස්ගේ හෝ ලෙනින්ගේ කෘතියක් හ~ නගා කීමට ඔහු පුරුදුව සිටියේය. මට එහි කිසිත් නොතේරිණ. නමුත් මම ඔහේ අසා සිටියෙමි. කුඩා කාලයේ සිට ඒවාට අපේ කණ හුරු කරනු වස් ඒවා කියවන්නේ යැයි වරක් ඔහු කී බව මට මතකය. ඔහු ලෝකය දකින ආකාරය පුංචි මා සමඟ ඛෙදා ගත්තේ ඔහු ගේ මරණය දැන සිටි නිසා යැයි මට අද වැටහේ.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ මගේ තාත්තා එවන් මිනිසෙකි.
මා සහ අක්කා අවසන් වරට තාත්තා දුටුවේ නොවැම්බර් 03 වෙනිදා පාසැල් නේවාසිකාගාරයේදීය. ඉන් පස් දිනක් ඇතුළත ඔහු මරා දැමිණ. ඔහු සමඟින් තවත් 04 දෙනකු ඝාතනයට ලක් විණ. දෙදෙනකු යාබදව තිබූ ගොවිපලවල් හී අයිතිකරුවෝ වූහ. ඒ දෙදෙනාම දෙමළ ජාතිකයන් වූ අතර කිසිදු කි්‍රයාකාරී දේශපාලනයක් නොකළවුන්ය. ඔවුන් දෙදෙනා ඝාතනය කරන ලද්දේ කුමන හේතුවක් නිසා දැයි මම අද ද නොදනිමි. අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගොවිපොළේ කටයුතු සඳහා අත් උදව්වට හොරණ ප්‍රදේශයේ සිට ආ වඩු කාර්මිකයෙකු වූ රෝහණය. දෙවැන්නා වුයේ ජයවර්ධන අන්කල්ය. (ඔහු වාමාංශික කි්‍රයාකාරිකයෙකු වූ වසන්ත දිසානායකයන්ගේ බාල සොහොයුරාය.) ජයවර්ධන අන්කල් එවකට කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයෙක් විය. සරසවි වසා දැමීම හේතුවෙන් ගෙදරට වී සිටි ඔහු වෘත්තියෙන් ගෘහ නිර්මාණ සැළසුම්කරුවෙකු වූ මගේ තාත්තාගෙන් ප්‍රායෝගික දෑ උගෙනීමට අපේ ගෙදරට විත් සිටි බව මට මතකය. ඔවුන් සියල්ලෝ අපේ නිවස තුළදීම අමු අමුවේ මරා දැමිණ. අනතුරුව නිවස මුළුමණින්ම ගිනිබත් කරන ලදී. සුරතලයට ඇති කරන්නට යැයි කියා රාවණඇල්ලේ තාත්තාගේ මිතුරෙකු මට ගෙනවිත් දී තිබූ මුව පැටවාද මරා දමා තිබිණ.
මරණයට පෙර තාත්තාට වධ දුන්නා දැයි මම නොදනිමි. ජයවර්දන අන්කල් ගේ දකුණු අත කපා වෙන් කොට, තාත්තාගේ කඳින් වෙන් කළ හිස සමග අප නිවසට එන ප්‍රධාන පාරේහි ගසක එල්ලා තිබිණ. ඔහු වෙනුවෙන් අවමගුල් චාරිත්‍ර තහනම් කළ ඝාතකයින් එසේ කළහොත් අපෙන් පළිගන්නා බවට තර්ජනාත්මකව දන්වා තිබිණ. මටත්, අක්කාටත් තාත්තාගේ අවමංගල්‍යය තහනම් අඩවියක් විණ. ඔහු අපෙන් සමු නොගත්තේය. ඔහුගේ මුහුණ සිඹ සමු දෙන්නට මටත් අක්කාටත් නොහැකි විය. මට ලෝකය සහ ආදරය ගැන කියා දුන් තාත්තා ඒ තරම් බිහිසුණු මරණයක ගොදුරක් වූයේ ඇයි? ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ගෙන් මට අදත් අසන්නට ඇති ප්‍රශ්නය එයයි.
ගිනිබත් කොට දැමූ ගේ දොරට යට වී ළමා විය පිළිබඳ මාගේ සියළු මතක සටහන් දැවී හළු විය. අඩුම වශයෙන් තාත්තාගේ සේයාරුවක් හෝ අපට ඉතිරි නොවිණ. එදා ජනතා විමුක්ති පෙරමුණෙහි දේශපාලනය විවේචනය කළ පුද්ගලයින්ට ඔවුන් දුන් දඩුවම් එබඳු ය. ඒ ඝාතකයෝ අද වුවද නිදැල්ලේ හැසිරෙමින් සිටින බව මම දනිමි. ඒ රුධිරයේ වගකීමෙන් වත්මන් ජවිපෙ නායකයින්ට ගැළවී ගත හැක්කේ අප සමාජයක් වශයෙන් ශිෂ්ඨත්වයක් නොපෙනෙන මානයක ජීවත්වන බැවිනි. මගේ තාත්තාගේ ඝාතකයන්ට එරෙහිව නැගි සිටිය යුත්තේ කෙසේ දැයි මම අදටත් නොදනිමි.
තාත්තාගේ මරණයෙන් පසුව ඔහුගේ දේශපාලන මිතුරෝ තැන තැන ගෙනයමින් අනේක දුෂ්කරතා මැද අපව සඟවා රැක බලා ගත්හ. ඒ මනුෂ්‍යත්වයට මම අදද ගරු කරන්නෙමි. අපේ ළමා විය පලා යා නොහැකි නපුරු සිහිනයක් විණ. අකාරුණික ලෝකය පිළිබඳ අඳුරු සිතුවම අපේ හදවත් පතුළටම කිඳා බැස්සේ ඒ කුඩා වියේදීමය. තාත්තාගේ දේශපාලන මිතුරෙකු මා සහ අක්කාට රැකවරණය දෙමින් අපව නඩත්තු කොට ජීවිතය ගොඩ නගා නොදෙන්නට, අපට කුමක් වනු ඇතිදැයි මට සිතාගත නොහැකිය.
මේ ලිපිය අවසන් කිරීමට පෙර තවත් යමක් ලිවීමට කැමැත්තෙමි. මාගේ පියාගේ මුල්කාලීන දේශපාලන මිතුරෝ විවිධ වූ සමාජ කාර්යයන්හි මේ දක්වා නිරත වෙති. ඒ බොහෝ දෙනෙකුට ඔවුන්ගේ වූ මාවත් හමු වී තිබේ. අහම්ඛෙන් හෝ අප හමු වූ විටක zමේ නන්දේ ගේ දුව - මේ අර සහෝදරයා ගේ දරුවාZයි කියා සෙනෙහසින් අමතති. නමුත් අප හදවත් තූල මිරිකෙමින් පවතින වේදනාව ඔවුන්ට දැනේදැයි මම නොදනිමි. හොඳ මිනිසෙක් වූ මාගේ තාත්තා මරා දැමුණේ ඇයිදැයි අපට පහදා දෙන්නට ඔවුන්ටද නොහැකි වී තිබේ. ඒ මහා වේදනාව අප විසින් අපගේ මරණය දක්වා දරාගෙන යා යුතුව ඇත. කිසිවෙක් කිසිදු පිළිතුරක් දීමට උත්සාහ නොගනී. ඒ වේදනාවෙන් නිදහස් වීමට අපට උදව් නොකරයි.
කිසිම කෙනකුට කිසිම කෙනකු මැරීමට අයිතියක් නොමැති බව මගේ හැඟීමයි. යම් කිසි ඝාතනයක් සිදු වූයේ ඇයි දැයි යන ප්‍රශ්නය ඇසීමට ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අයිතියක් තිබිය යුතුය. අදටත් ලංකාව තුළ දකුණේ හා උතුරේද විරුද්ධ මත දරණ පුද්ගයන් මරා දමන බව මම දනිමි.
මේ ලිපිය 1988-89දී මරා දැමුණු සෑම මිනිසෙකු වෙනුවෙන්ම ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන් ලියූවකි. අතීතයේ වූ රුදුරු මිනිස් ඝාතනවලට වගඋත්තරකරුවන් සෙවීමට කිසිවෙක් උත්සුක නොවූ නිසාත්, දිවි ගළවාගත්තවුන් ඒ ගැන කතා බහ නොකළ නිසාත් මේ දක්වාම මිනිස් ඝාතන සිදුවන සමාජයක අදටත් අපි ජීවත්වෙමු. උතුරේ සිට දකුණ තෙක් මේ දක්වාද විරුද්ද මතධාරීන් ඝාතනයට ලක් වන බව නොරහසකි. වෙනත් අදහසක් හෝ මතයක් දැරීමට ඕනෑම මනුෂ්‍යකු අයිතියක් තිබිය යුතු බව මගේ හැඟීමයි. ඝාතනය යනු අපරාධයකි. නමුත් ඝාතනයන් අමතක කොට, යුක්තිය පසිඳලීම පසෙක ලා ඝාතකයින් හා සහජීවනයට හුරුවීම ඊටත් වඩා සාපරාධයකි.
යුක්තිය සහ ශිෂ්ඨත්වය අහිමි වූ රටක මරා දැමූ එක් හොඳ මිනිසෙකු වූ තාත්තා පිළිබඳ මතකය වෙනුවෙන් මේ හැර මා වෙන කුමක් ලියන්නද?
රුවන්දි සිල්වා
(නන්දේ ගේ දුව)
හැන්දෑවට දුවන්නේ නැති වුණාට ප්‍රයිවෙට් බස්වලට ජී.පී.එස්.
-
(2009 දෙසැම්බර් 02 - W3Lanka) බස් මගීන්ට Global Positioning System (GPS) නම් සිටින ස්ථානය හඳුනා ගැනෙන තාක්ෂණය සහිත බස් ටිකට් පතක් හැකි ඉක්මණින් නිකුත් කරන බව...
1 hour ago

මේ දේ මෙයට තරමක් ආසන්න ප්‍රමාණයකින් මගේ ජීවිතයටත් අදාලයි කියන්න පුළුවන්. මගේ තාත්තාත් ඔයාගේ තාත්තාගේම විධියේ එකම මතයක් දරපු කෙනෙක්. අපිටත් (තාත්තාට) ඔය ජේවීපී එකෙන් තර්ජන තිබුනා. ඒත් ජීවත්වෙන්න වාසනාව ලැබුනේ පෙර කරපු පිනකට වගේ. ඒ කාළේ අපි පුංචි වුනාට අපේ හිත්වලටත් ලොකු මිනිස්සුන්ට වගේ වේදනාව සහ කටුක බව දැනුනා. මට ඇත්තටම කණගාටුයි ඔයාගෙ තාත්තාට වුන දේට. ඒ වගේම පුදුම කේන්තියක් දැනෙන්නේ ඒ දවස් ගැන හිතනකොටත්. නියම වාමාංශිකයින්ව විශාල වශයෙන් ඒ කාලයේ ජේවීපිය විසින් අමු අමුවේ ඝාතනය කරනු ලැබුවා. එවකට සිටිය යූඑන්පී ආණ්ඩුවත් මෙයට වග කිව යුතුයි.
අපිට නැතිවේච්ච ඒ අය තාම හිටියානම් ලංකාව මීට වැඩිය ගොඩක් වෙනස් වෙන්න තිබුනා.
රුවන්දි, ඔබගේ තාත්තා ගැන මම කියෙව්වේ ඉතාමත්ම සංවේගජනකව. කවදාහරි ඔය මිනීමරුවන්ට ඔය කල අපරාද පලදෙනවාමයි. මිනිස්සු මරල බය කරල රජ කරන්න පුලුවන් කියල හිතන තරම් ගොන් රැලක් අපේ රටේ දේශපාලනඥයො. ඔය මිනිස්සු ලේ පිහිද ගෙන අද පූසො වගේ හිටියට අපරාද හංගන්න බැහැ. කවදාහරි ඕවට පල දෙනව. දුවගෙ තාත්තා නැති වුන එකට දුව කොපමණ දුක් විඳිනවද? ඔබට තෙරුවන් සරණයි.
ඉතා සංවේග ජනකයි.
මාගේ කණගාටුව.
එදා සමාජයේ ඇතිවූ භීතිය තවමත් ඉතිරිව තිබෙන අයුරු බලන්න සොහොයුරිය.
පුද්ගලික අත්දැකීමක් ඇති තාරක සොහොයුරා සහ කොයිදේටත් නොබියව අදහස් බලකරන ගුණතුංග වෙදැඳුරුතුමා හැර සියල්ල නිහඬයි.
හෘද සාක්ෂිය අහිමි ජන සමාජයක් තුල මිනිස් ජීවිත යනු හුදෙක් සරල වටිනාකමක් ඇති පරිභෝජන භාන්ඩ පමණි.
@Homo Erectus:
නිහඬතාවයට හේතු බොහෝ ඇත.
වේදනාවත්, කළකිරිමත් සහ ...
"වරායේ අතහැර දැමූ දිය කඩක අයිනේ වුවද,
දියරැළි නැගෙයි.
අන්ධකාරයේ - නිහඬ වනාන්තරයේ වුවද,
කොලයක් පතිත වෙයි.
වේයෙක් - ඔප දැමූ ලී ජනේලය පිටුපස කා දමයි
කිසිවක් නිහඬ නැත.
එසේ පෙනෙන්නේ, නුණුවනයන්ට පමණි."--ඇලන් පේටන්ගේ "හඬනු පෙම්බර දේශය"
මෙ ගත් කණගාටුව.. ඇත්තටම දු කක් එනවා කියවද්දි.. කාටවත් බැ මෙ අඩුව පුරවන්න.. mage yaluwan sambandayenuth matath oya wage katha thiyenawa.. niraparade minissu mara damanan katawath ayithiyak naha. gal kanui wehera wiharai erenna ape ithiaasaye apita adambara wenna mokuth nedda kiyala welawakata hithenawa
-Warunata sthuthiyi me satahanata yomu kalata
Dear Ruwi,
I realy felt soory for you and your past, everything happens in this world without telling us..isnt it? any way..keep this 'merderers away from your life also, becuase we never know the time they come up with this culture again, coz we are in Srilanka..the pearl of the Indian ocean......in a dream..of every srilankan.
Ruwanpura2002