
දැන්වත් නැගිටින්නෙ නැද්ද දරුවො? දවල් වෙලා.. අම්මා කාමරයේ ජනේලය විවර කරමින් පැවසුවාය.
නැගිටල ඉන්නෙ.. පවසා මම යළිත් හොඳ හැටි සරමට ගුලි උනෙමි.
මොකද ඉලංදාරිය දැන්ම නැගිටින්න බෑ කියනවද? කොල්ලො ඔහොම දවල් වෙනකන් නිදා ගත්තම කම්මැලියො වෙනව.. නරකද අප්පොච්විගෙ ගෝව කෑල්ලටවත් ගහින් අත් උදවු දුන්න නම්.. මෙතෙක් වේලා මා අඩ නින්දේ අසා සිටි මුත් හඳුනා ගත නොහැකි වු කටහ~ මෙවර හදුනා ගතහැකි විය. ගුණවතී ආත්තම්ම.
කොල්ලට ඒ වැඩ හුරුවක් නෑ නැන්දෙ..
පහුගිය දවස්චලත් කොළඹ ගිහින් ආව නේද ..තාමත් හරිහමන් රස්සාවක් හම්බ වුනේ නැද්ද. ..
තාම නෑ, කොච්චර ඉගෙන ගත්තත් ඉතින් වෙලාවත් හොඳ වෙන්න එපාය .. තාම කොල්ලට අපලයි.. අම්මා සෙමින් පැවසුවාය.
ඒක මිසක්, අපේ ලොකු එකාගෙ බාල එකාත් ඔන්න උසස් පෙළට නුවර ඉස්කෝලෙකට යවනව කිවුව.
මම කිවුව හේරත්ගෙ ලොකු කොල්ලත් නුවර ගිහින් ඉගෙන ගත්තට දැන් ඔය ගෙට වෙලා ඉන්නෙ ඊට වඩා නරකද ඌත් ඔය මොකක් හරි දෑතෙ කර්මාන්තයක් පුරුදු වෙන තැනකට පංගාර්තු කොරා නම් කියල.. .. මම තව තවත් සරමට ගුලි උනෙමි.
මෝටර් සයිකල් එකක් නොනවත්වා හෝන් ගසනු ඇසේ. මම නොරිස්සුමෙන් ඇදෙන් බැස්සෙමි. අම්මාද පෙනෙන්නට නැත. මම මිදුලට විත් කන්ද පල්ලෙහා පාරට එබුනෙමි. චරිත් පහලට එන ලෙස අතින් සන් කළේ ඔහුගේ ජංගම දුරකතනයද මට පාමිනි.
කෝ උඹගෙ ෆෝන් එක වැඩ නැද්ද? නිමල් අයිය කතා කළා, අදම කොළඹ එන්න කිව්ව, ඊයෙ ටෙලිග්රැම් එකක් ඇවිල්ල හෙට උඹට ඉන්ටවිව් එකකට එන්න කියල ..ජොබ් එක හරි ගියොත් වැඩ කරන්න බලාගෙනම එන්න කියලලු
නෑ ඇත්තද.. ? ෆෝන් එකට රීලෝඩ් එකක් දාගන්න ඕන, මට අමතක උනා..මම හිස කැසුවෙමි.
-----------------
පෑලියගොඩ අලුත් පාලම ළගින් බැසගත් මම ඇ’ඳුම් බෑගයද කර පින්නාගෙන නිමල් අයියාගේ බෝඩිම වෙත ගියෙමි.
නිමල් තව ආවේ නෑ, ඉන්න මම කාමරේ දොර ඇරල දෙන්න.. ඔය ළමයත් කොළඹ ඉඳන්ම රස්සාවක් හොයා ගන්න බැලූවනම් ඉවරනෙ, එන්න යන්න බස් වලටම බර සල්ලියක් යනවනෙ.. බෝඩිමේ අක්කා මා දෙසට එමින් පැවසුවාය. ඔව් ඒක නම් එහෙම තමා.. මම සෙමින් පැවසුවෙමි.
අද කාලෙ මොළේ පාවිච්චි කරල වැඩ කරන්න ඕන, කැමති නම් මම හෙටම ඔය කාමරේටම තව ඇඳක් දාල දෙන්නම්කො, ඇඩ්වාන්ස් සල්ලි මාසෙක විතරක් දෙන්න, ඒකත් ගන්නෙ අර මේ දවස්වල අතේ සල්ලි නැති නිසා.. නැත්නම් ඒ ගන්නෙත් නෑ ....
-----------------
මල්ලි මොකද ලයිට් එකවත් දාගෙන නැත්තෙ, ගොඩක් වෙලාද ඇවිල්ල?
නෑ හයාමාර විතර උනා.. මම ඇඳ මත හිඳ ගත්තෙමි.
අද නම් මාර මහන්සියි, ඉරිදනෙ ගෙදර කාර් දෙකම හෝදන්න උනා, ඒ මදිවට වඩුබාස්ට අත්වැඩ දුන්න බලූ කූඩුවෙ වහල ගහන්න.. පාඩුවක් නෑ..රු.300 ක් දුන්නා, මේ කමිස දෙකත් හම්බවුනා.. ගේට්ටුවට වෙලා සැලුට් විතරක් ගගහ ඉඳල ගොඩ යන්න බෑ මල්ලි.. නිමල් අයියා ජයග්‍රාහී හැගුමෙන් කීවේය.
මම එක් කමිසයක් ගෙන ලංකර බැලුවෙමි.
ම්ම්.. ඕක නම් මල්ලිට මරු.. ටයි එක එහෙම දාල ආවම ටොප්, ඕන නම් හෙට ඉන්ටවිව් එකට උනත් අදින්න පුලුවන්..
ෂා.. කළබලෙන් ආව නිසා මට අමතක උනානෙ ටයි එකක් ගේන්න.. .. .
මල්ලි කැමති නම් මගේ ටයි එකක් දාන් යන්න..හැබැයි ඉතින් දන්නවනෙ නිල්පාට විතරයි .. නැත්නම් යමු කොටුව පැත්තෙ... දැන් කොහෙවත් යන්න ඕන නෑ .. නිමල් අයියගෙ එකක් හොඳයි..
-----------------
ඔයාටත් ඉන්න කිවුවද? ඉන්ටව් කාමරයේ සිට පැමිණ මා නැවත වාඩිවනු දුටු යාබද අසුනේ සිටි තරුණයා විමසීය.
ඔව්.. මම සිනාසුනෙමි.
සමහර කම්පැනිවල නම් මැනේජ්මන්ට් ටේ්‍රනින් වලට ගන්නෙ උපාධි තියන අය විතරයි. ඒ අතින් මේ කම්පැනි එක නියමයි, අනික වැඩ පෙන්නුවොත් කැනඩා තියන හෙඩ් ඔෆිස් එකට උනත් යන්න පුලුවන්නෙ... ඔහු සතුටින් පැවසීය.
ඔව් ඔව්... මමද ඔහුගේ සතුටට එක් වීමි.
රයිට්... දැන් හැමෝම තුන් දෙනා බැගින් ටීම් හතරක් හැදෙන්න... හරි අපි දැන් හැම ටීම් එකටම අපේ සීනියර් කෙනෙක් දෙනව ලීඩර් කෙනෙක් විදියට.. අපි අදම ප්‍රායෝගික පුහුණුවකට යොමු කරනව හැමෝම... පුහුණු කළමාණකරු ලෙස හදුන්වාදුන් තැනැත්තා කෙටි පැහැදිලිකිරීමක් කළේය.
-----------------
මමත් කණ්ඩායමේ අනිත් තිදෙනාත් කණ්ඩායම් නායක දමිත පසුපස ගාලු පාර දිගේ මඳ දුරක් ඇවිද ගොස් 154 බස් නැවතුම ළග නතර වුයෙමු. මම නිල් ටයි පටිය දිහා බැලුවෙමි. කුමක්දෝ නොසන්සුන් කමක් සිතට දැනේ. මම වටපිට බැලීමි. කිසිවෙකුත් මා දෙස නොබලති. බස් නැවතුමට පසුපසින් නවතා තිබු වෑන් රථයෙහි පැති කණ්නාඩියෙන් මම ටයි පටිය නැවත සකසා ගතිමි.
බොරැල්ල හන්දියෙන් බැසගත් අපි බෝ ගහ අසලින් දකුණට වු පාරෙහි මද දුරක් ගොස් ඉදිරියෙන් වු අතුරු මාවතට හැරී නැවතුනෙමු.
මේ තියෙන්නෙ කොළඹ තියන ප්‍රසිද්ධම රෙස්ටුරන්ට් එකේ වවුචර්ස්... අපි මෙයින් එකක් කාටහරි විකුණුවොත් අපිට එකකින් රු 150 ක තියනවා.. ගන්න කෙනාට තියන වාසිය තමයි, මේ එකකින් එයාලට 10% ක ඩිස්කවුන්ට් එකක් තියනවා...අපි කස්ටමර් කෙනෙක්ට කතා කරන්නෙ මෙහෙමයි... .. දමිත විස්තර කළේය.
මා අතටද එකක් රු 1500 ක වටිනාකමින් යුත් වවුචර දහයක් අඩංගු කොළයක් ලැබුණි. අපි තිදෙනා එකිනෙකා දෙස බැලූවෙමු. විශාල ගේට්ටු හා තාප්ප වලින් වට කළ නිවාස බොහෝ ගණනක් අප ඉදිරියෙන් විය. දමිත අප යා යුතු නිවාස පෙන්වා ඔහුද එක් නිවසක් කරා ගියේය.
මම තාප්පයෙහි වු ඛෙල් එක එබුවෙමි. කිසිදු හැලහොල්මනක් නැත. යළිත් වරක් මම උත්සාහ කළෙමි. ගේට්ටුවෙහි වු කුඩා පිවිසුම විවර විය. බාච්චු කලිසමකින් හා රවුම් තොප්පියකින් සැරසුණු වයසක පුද්ගලයෙක් පෙනී සිටියේය.
ගුඩ් මොර්නින් සර්... මම දමිත කියාදුන් දෙබස් පැටලූම් සහිතව වැමෑරීමි. එහෙත් ඔහු වේගයෙන් ඉංග්‍රීසි බසින් කතා කරන්නට විය. මම වටපිට බැලුවෙමි. පැමිණි අනෙත් අය පෙනෙන්නට නැත.
ඇයි මොකද තමුසෙ තක්බීර් වෙලා? ඔහු එවර පැහැදිලි සිංහලෙන් රලූ ලෙස විමසීය.
පොල් බූරුවෙක්... ඔහු සද්දෙන් ගේට්ටුව වසමින් කීවේ ඉංග්‍රීසි බසිනි.
අපි දෙන්න දෙන්න යමු. අපගේ පලමු උත්සාහය ගැන විමසීමෙන් පසු දමිත යෝජනා කළේය.
අපි යළිත් ඉදිරියට ගියෙමු.
ඕයි ඕයි මොකද එඛෙන්නෙ? දවල්ට එනව ටයි දාගෙන මහත්තුරු වගේ... ඊට පස්සෙ රෑට එනව හොර කමේ... අප ගේට්ටුව අසලට ලංවත්ම කිසිවෙකු උස් හඩින් කෑගැසුවේය.
ගෙදර කවුරුත් නෑ .. ඇය මෙහෙකාරියක් විය යුතුය.
අපිට ඕවට යන්න වේලාවක් නෑ... ඔහු කීවේ පැයකටත් වඩා අප හා කතාකිරීමෙන් පසුවය.
මහත්තයල ආධාර දෙන අයද නැත්නම් ආධාර ඉල්ලන අයද
ඇතැම් තැනකදී ඇසුණු බල්ලන්ගේ ගෙරවිලි හා බිරුම් හඩින් අපි තැතිගතිමු
කමිසය දහඩියෙන් පෙඟී ඇත. සගයාගේ මුහුණෙහි ද මහත් විඩාබර බවක් දිස්වේ. එකදු වව්චරයක්වත් විකුණා ගැනීමට අප සමත් වී නැත. පුවත්පතේ පලකොට තිබු මෙම ආයතනයේ රැකියා අබෑර්තු දැන්වීම යළි සිහිවිය. මම නිල් ටයි පටිය ගලවා උන්ඩි කොට කළිසම් සාක්කුට දූමීමි. වවුචර කොළය සගයාගේ අතින් තැබද්දී ඔහු මදෙස විමතියෙන් බැලුවේය. ඔරලෝසුවේ සවස හතර සටහන්ව ඇත.
ඔයා දැන් ගෙදරද යන්නෙ? සගයා විමසීය.
ඔව්.. මම ඔහුට අතට අත දී සමුදුනෙමි. මොකද කරන්නෙ දැන්, මම මගෙන්ම ප්‍රශ්න කළෙමි. ගුණවතී ආත්තම්මා කී දෑ යළි දෙසවනට ඇසෙන්නාක් මෙනි. කුමක් හෝ කළ යුතුය. නිමල් අයියා.. මට සිහින් සිනාවක් නැගුණි.
ගෙදර යනව කිව්වට නුවර යන්නෙ නෑ.. මම ආපසු හැරී සගයාට කෑගසා කීවෙමි. සාක්කුවෙහි වු නිල් ටයි පටිය ගෙන බැලු මම යළි එය රුවා ගතිමි.
කසුන් අමරසිංහ



