Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

සමරෙගෙ විශ්වය සහ ඇම්ඩන්

Posted by විශේෂ ලියුම්කරු-ඇම්ඩන් 3.12.2009

ඔන්න හාහාපුරා කියලා ඇම්ඩන් අතිවිසාල ලෙස දන්නා සබ්ජෙක්ට් එකක් ගැන රසවත්ම රසවත් බූන්දි වගේ ලිපියක් කියවන්න ලැබුනා අහම්බෙන්, මෙන්න මෙ තමයි ඒක, අහුලගත්තේ අර කාටත් නිකම් එව්වා මෙව්වා හිතෙන ලෝකප්ප‍්‍රසිද්ද බූන්දි අඩවියෙන්,... යකාගේ අඩවියෙන් ...











දේවල් සැදී ඇති දේවල් - සමර විජේසිංහ

පහත දැක්වෙන්නේ මා විසින් ලියූ කවියක්. නම: සංක‍්‍රාන්තිය

දැන් ලබා ගත හැක
සත්‍යය
විවිධ වර්ණයෙන්
විවිධ හැඩයෙන්
වඩා හොඳ
බුද්ධිමය තත්ත්ව යටතේ
නිෂ්පාදනය කළ

සහතික කරන්නෙමු
එක් එක් වර්ණ හා හැඩ
පරිවර්තන නොව
ව්‍යාජ අනුකරණ නොව
වෙන වෙනම සත්‍යයන් බව

මෙය සත්‍ය කවියක් මෙන් නොපෙනුනත් මෙම කවිය සත්‍යයක්. මීට පාදක වුණු ‘දෙය’ කිව්වොත් ඔබ එය පිළිගනු ඇති. කවියේ පසුබිම් කතාව මේකයි.
විශ්වය සැදී ඇති විදිය කියවන්න අපි න්‍යායන් දෙකක් පාවිච්චි කරනවා. මන්දාකිණි තරම් විශාල පරිමාණයේ දේවල් සඳහා සාපේක්ෂතාවාදය සහ පරමාණු තරම් ඉතා කුඩා දේවල් සඳහා ක්වන්ටම් න්‍යායය. මේ දෙක දෙකක්. වෙන වෙනම පාවිච්චි කළ යුතුයි. සාපේක්ෂතාවාදය හා ක්වන්ටම් න්‍යාය එකට පාවිච්චි කරන්න බෑ. එ් දෙකේ එදිරිවාදීකම් තියෙනවා. සුවිශාල සහ ක්ෂුද්‍ර සියල්ලට පොදු න්‍යායක් තවම සොයා ගෙන නෑ. මේ සොයා ගෙන නැති දේ සොයා ගැනීම භෞතිකඥයන්ට සහ ගණිතඥයන්ට තියෙන අවුරුදු සියයක් පරණ අලූත්ම අභියෝගය. විශාලතම අභියෝගය.

භෞතිකඥයන් මේ සඳහා න්‍යායයන් සොයා ගනිමින් හා නැතිකර ගනිමින් ඉන්නවා. දැනට භෞතිකඥයන්් පාවිච්චි කරමින් ඉන්නේ අවුරුදු පනහක් විතර පරණ ‘ස්ටි‍්‍රං තියරි’ යනුවෙන් ජනප‍්‍රිය දෙය. එ්කට සිංහලෙන් ‘තංතු න්‍යායය’ කියල කියන්න පුලූවන්. තංතු න්‍යායයේ එන පරම අංශුව තිතක් වගේ දෙයක් නෙවේ, තංතු කෑල්ලක් වගේ දෙයක්. මේ තංතු කෑල්ල කොච්චර කෙටි ද කියනව නම් එ්ක තිතත් වගේම තමයි. එ් නිසා තංතු න්‍යායයට පෙර තිබූ න්‍යායයන් මහත් සේ වෙනස් වෙන්නේ නෑ. බිඳ වැටෙන්නේ නෑ. කලින් තිබූ න්‍යායවල මුලික අංශු කීපයක් තිබුණා. තංතු න්‍යායයේ තියෙන්නේ අංශු ගණනාවක් නෙවේ එක තංතුවක් පමණයි. වෙනස් වෙනස් අංශු වශයෙන් හඳුනාගන්නේ තංතුවේ වෙනස් වෙනස් කම්පනයන්. හරියට වයලීනයක තත වෙනස් වෙනස් කම්පනයන්ගෙන් වෙනස් වෙනස් ස්වර නිපදවනවා වගේ. අපූරුයි නේ ද? සියලූ ද්‍රව්‍ය, අද්‍රව්‍ය, ශක්ති ක්ෂේත‍්‍ර හා අශක්ති ක්ෂේත‍්‍ර එකම දෙයකින් නිපදවී තිබීම අපූරුයි. ද්‍රව්‍ය කියන්නෙ ‘මැටර්’. අද්‍රව්‍ය කියන්නෙ ‘ඩාර්ක් මැටර්’. ශක්ති ක්ෂේත‍්‍ර කියන්නෙ ‘එනර්ජි ෆීල්ඞ්ස්’. අශක්ති ක්ෂේත‍්‍ර කියන්නෙ ‘ඩාර්ක් එනර්ජි ෆීල්ඞ්ස්’. තංතු න්‍යායය මෙතෙක් දුරට ඉතා අපූරුයි.

එ්ත් අපූරු නොවන අමාරු කොටසක් තියෙනවා. අපට ඉතා සුපුරුදුයි ත‍්‍රිමාණ අවකාශය සහ කාලය. එනම් අවකාශ මාණ තුන සහ කාල මාන එක සහිත සතරමාණ කාල-අවකාශය. අප දන්නා සියලූ වස්තු සහ සිදුවීම් අපට සතරමාණ කාල-අවකාශය තුළ ස්ථාන ගත කළ හැකියි. තව එක මාණයක්වක් එකතු කළොත් අපට එ්ක හිතාගන්න බැරි දෙයක් වෙනවා. භෞතිකඥයන්්ගේ මේ කියන තංතුව කම්පනය වීමට මාණ හතරක් මදි. එ් කියන්නෙ තංතුව මාණ හතරක කම්පනය කරවීමෙන් අවශ්‍ය තරම් මුලික අංශු ලබාගත නොහැකියි. භෞතිකඥයන්්ට සහ ගණිතඥයන්ට හතරේ සීමාව බලපාන්නේ නෑ. ඔවුන් ක‍්‍රම ක‍්‍රමයෙන් මාණ හය, නවය, දහය හා දැන් එකොළහ දක්වා දකිමින් සිටිනවා. භෞතිකඥයන් සහ ගණිතඥයන් අපි වගේ අය නෙවේ. එ් අය සමීකරණ හරහා අපට නොපෙනෙන බොහෝ දේවල් දකිමින් ඉන්නවා. එ්ත් එක දෙයක් කියන්න පුලූවන්. ගණිතඥයන් මේ අමතර මාණ ඔබා ඇත්තේ අපි හොඳින් හඳුනන මාණ තුන අස්සේ නවල, අඹරවල, සුරුන්ඩු කරල. මේ කරුණ සමහර වෙලාවල ගණිතඥයන් පාපොච්චාරණයක් වශයෙන් කිව්වත්, නිතර කියන්නේ නෑ.

මේ වෙනකොට තංතු න්‍යායය වගේ න්‍යායයන් පහක් ඉදිරිපත් වෙලා තියෙනවා. එ් පහ පහක්. එ් පහම නිවැරිදියි කියලයි කියන්නෙ. එ් පිලිබඳ පැහැදිලි කිරීම එන්නෙ අපූරු විදියකට. මීදුමෙන් වැසුන කඳුකර පෙදෙසක් ගැන සිතන්න. කඳු ශිඛර පහක් පමණක් මීදුමෙන් උඩ පිහිටි පෙදෙසක්. මිනිස්සු කඳු ශිඛර පහ මත නැගී ඔවුන් නැග සිටින කන්ද වෙනම ම කන්දක් බව සිතනවා. මීදුම් පහව ගිය පසු ඔවුන් දැන ගන්නවා එ් එකම කන්දේ කුළු පහක් බව. පහම වෙන වෙනම සත්‍ය.

ඉස්සරවෙලා ලිවූ කවියට කලින් මම තවත් කවියක් ලියා තිබුණා. නම: ප‍්‍රතිෂේධතාව

පසුබිමෙන් එන
නිත්‍ය ශෝකී ස්වරය
පෙම්ගීය
සුස්ම ගන්නා අතර ද
උදානගීය
අන්තරා කොටසෙහි ද
භක්තිගීය
විරාමයෙහි ද
අන් සියලූ
නිහඬ වේලාවල ද ඇසෙන

විශ්වය පුරා පැතිරුන
ප‍්‍රතිෂේධ ශක්තිය
අන්තර් අවකාශය
ප‍්‍රසාරණය කරවයි
සියලූ දෙය
එකිනෙකින් ඈත් කරවයි
තනි තනිව හිඳින්නැයි
එකිනෙකා
එකිනෙකාගෙන් ඈත් කරවයි

ප‍්‍රතිෂේධතාව කියන්නෙ ඉංග‍්‍රීසියෙන් ‘නෙගටිවිටි’ කියන එකට. අලූත් ගණිතය හා භෞතික විද්‍යාව ඉතා ලස්සන දෙවල් සොයා ගෙන තිබෙනවා. සොයා ගනිමින් සිටිනවා.

පරණ විශ්වය:- විශ්වය පටන් ගත් ආසන්නයේ සිදුවූ දෙයක් නිසා විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව විශ්ව වේද ගණිතඥයන් ඔවුන්ගේ සමීකරණ තුළින් දැක්කා. එ් දැනට අවුරුදු හැට හැත්තෑවකට කලින්. නිරීක්ෂණ විශ්ව වේදඥයින් විශ්වය පුරාම පසුබිමේ අධෝරක්ත විකිරණයක් පවතින බව ඔවුන්ගේ උපකරණ තුළින් දැක්කා. එ් දැනට අවුරුදු විස්සකට තිහකට කලින්. මෙය වනාහි න්‍යායය හා නිරීක්ෂණය අපූරුවට එකට එක ගැලපීමක්. එ්කාකාරීව පැතිරුන පසුබිම් විකිරණය. තරු අතරින් ද මන්දාකිණි අතරින් ද වායු වලාකුළු අතරින් ද දිස්වන සසන්තික පසුබිම් විකිරණය. අතීතයේ නිත්‍ය ශෝකී ස්වරය.

අලූත් විශ්වය:- විශ්වය ප‍්‍රසාරණය විය යුතු බව අවුරුදු සියයකට පමණ පෙර න්‍යායිකව පෙනී යාමත්, අවුරුදු අසූවකට පමණ පෙර එය උපකරණ මගින් දැකීමත් ඉතිහාසය. එතෙක් ප‍්‍රසාරණයේ වේගය අඩුවෙමින් පැවතිය යුතු බව තමයි සාමාන්‍ය විශ්වාසය. එහෙත් මෑතක දී නිරීක්ෂණය කර ඇත්තේ ප‍්‍රසාරණයේ වේගය වැඩිවෙමින් පවතින බවයි. මේක අපේ දැනුමට නොගැලපෙන දෙයක්. විශ්වයේ ද්‍රව්‍ය ප‍්‍රමාණය හා ශක්ති ප‍්‍රමාණය ගණන් බැලීමේ දී මෙය සිදුවිය නොහැකි දෙයක්. එ් නිසා එයට කුමක් හෝ කළ යුතුයි. එ් නිසා විශ්වය ප‍්‍රතිෂේධ ශක්ති සාගරයක ගිලී පවතින්නක් බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. විශ්වයට මේ සිදුවෙමින් පවතින දෙය තේරුම් කිරීමට එවැනි යෝජනාවක් අවශ්‍යයි.

ප‍්‍රතිෂේධ ශක්තිය කියන්නෙ ඍණ ශක්තියට. ධන ශක්තියට තියෙන්නේ ධන ගති ගුන. ආකර්ශනය කරවන ගතිය. ඍණ ශක්තියට ඇත්තේ ඍණ ගති ගුන. ඍණ ශක්තිය විකර්ශනය කරවනවා. ඍණ කියන්නෙ ප‍්‍රතිෂේධ. ප‍්‍රතිෂේධ ශක්තිය විශ්වය ප‍්‍රසාරණය කරවනවා. හිස් බව වැඩිකරවනවා. අනාගතයේ හිස් බව කොච්චර වැඩිවෙයිද කිව්වොත් අවකාශය ශුන්‍යය වේවි. ඉතා කණගාටු දායකයි.
දැනට එය එකිනෙකා එකිනෙකාගෙන් ඈත් කරවනවා.

2007-10-18




දැන් මෙ ලිපියෙ එන ගොඩක් හොඳ දේවල් වලට මම කිසිම විරුදධත්වයක් නැහැ. මෙ ලියන්න යන්නේ තව ටිකක් හොඳට මෙ වගේ දේවල් ගැන උනන්දුවක් දක්වන අයට ඇම්ඩන් ළමයත් යමක් කමක් දන්නවා කියල පෙන්වන ගමන්ම ඒ අයට යමක් වඩාත් හොඳින් සරලව තේරුම් කරන සම්‍යක් ප‍්‍රයෝගයෙන් බහුරූපිතාවයෙන් සහ අත්තකිලමතානුයෝගයෙන්.

කාරණයට එමු. දැන් මෙ ලිපිය කියවන අයගෙන් සීයට දසම බින්දුවයි බින්දුවයි බින්දුවයි බින්දුවයි මෙන්න මෙහෙම බින්දු හාරසිය විසිතුනක් ගියාම එන බින්දුවෙන් පස්සේ එන බින්දුවයි දෙකක් වෙන තරම් කුඩා මිනිස්සු ප‍්‍රමාණයකට මෙ ලියපු දේවල් විශේෂයෙන් විශ්වයේ ගණිතමය ආකෘති ගැන අවබෝධයක් නැති වෙන්න ඉතාම කුඩා ඉඩක් තියෙන නිසාය මෙ ලියන්නේ. එතකොට අනිත් සේරටම මෙ ලියවිල්ල උඩ ඉඳල පහලට තේරෙන නිසා මෙ ගැන අනුකම්පාවෙන් සලකා බලාවි යැයි ඇම්ඩන් සිතයි.

ඉස්සෙල්ලම කවුරුත් පටන් ගන්න තැනින් පටන් නොගෙන අපි නිව්ටන් ගෙන් පටන් ගමු. ඒ කියන්නේ විශ්වය ගැන, ස්වභාව ධර්මය ගැන මුලින්ම විද්‍යාවක් ගොඩ නගපු කෙනා එයා නොවුනත් අපි එතනින් පටන් ගමු කියලා ඇම්ඩන් යෝජනා කරන්නෙ, කොහොමත් අම්බානක් දිග ලිපියක් වෙන්නට දගලන මෙක අර උඩ කී තරමින්වත් ප‍්‍රමාණාත්මකව පොඩිකර ගැනීමෙ උපක‍්‍රමයක් වශයෙන්. මොකද දෙවියන් වහන්සේ පවා මෙ වගේ දේවල් කරල තමයි දවස් හතෙන් මෙතරම් සුන්දර ලෝකයක් නිර්මාණය කලේ, නැත්නම් හැම දෙයක්ම පිළිවෙලට කල්පනා කරල කරන්න ගියා නම් අපේ පොඩි අක්කා බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් සොයාගෙන කසාදත් බැඳලා මෙ වෙනකොට. ඒ තරම් කාලයක් ගනීවි මගේ හිතේ.

බටහිර අයනේ කියන්නේ මෙ විශ්වය ප‍්‍රමාණිතයි අරකයි මෙකයි කියලා අපි නොවෙයි නේ ඒ හින්දා බොරැල්ලේ තරම දැනං එපයි උඩ පැනිල්ල ඒ හින්ද බටහිර කතන්දර විග්ගරහ කරන්න ඉතිං ඒ අයගෙම කතන්දර පාවිච්චි කොරන්න ඔන කියලා තමයි අපේ ලොකු අක්කා මට කියල තියෙන්නේ.
දැං ඔන්න මම වැඩෙ පටන් ගන්නවා. නිවුටන් මහත්තයට ඒ කාලේ තිබ්බ ගණිතය මදි වුනා කියමුකො ඒ කියන්නේ එකතු කරන, අඩු කරන, වැඩි කරන, බෙදන, ඔන්න ඔය ගණිතෙ, ඒක විතරක් දැනගෙන මෙ ලෝකෙ අපට පේන දේවල් වලට නීති රීති සොයන එක අම්බානකට ඇනගන්න වෙන පොයින්ට් එකක් කියල හිතල එයා අලුතෙන් ඔය එහෙ මෙහෙ හෙලවෙන චලනය වෙන වස්තු තව ටිකක් හොඳට කොලේට අල්ල ගන්න ගණිතයක් අලුතෙන් හැදුවා කැල්කියුලස් කියලා.[හැබැයි ඉතිං මෙ වගේම ගණිතයක් ලිබ්නීස් තුත් හදලා තිබ්බා 1684 විතර නිවුටන්ට අවුරුදු විස්සකට විතර කලින් කියමුකෝ, ඉතිං කොහොමින් කොහොම වුනත් මෙක මෙ වෙලාවෙ ඇදලා අරං නිකං රතුඉර වගේ දෙලොවටම ඔලුව කැක්කුම් දෙන වාද බෙද හදන්නේ නැතුව ඉස්සරහට යමු. එහෙමයි ඇම්ඩන් වැඩ කරන්නේ. තව එකක් , අපේ පොඩි අක්ක නම් වැඩිය ආස ලිබ්නීස්ට මොකද එයාගෙ කොණ්ඩෙ දිග නිසා! කැරලි කැරලි!!] කැල්කියුලේෂන් කියන්නෙ ඉතිං ගණන් හදනවට නේ. කැල් කියන්නෙත් ඉතිං කෙටියෙන් අපි පාවිච්චි කරන් කැල්කියුලේටරයට නේ...

කැල්කියුලස්-calculas- කීවම නිකම් බයවෙනවා වගේ දැනෙන අයට මම කියන්නම් කලනය කියල වෙනස් ගණිත ක‍්‍රමයක් නිවුටන් හදා ගත්ත කියල. ඇත්තටම ඒකෙන් කරන්නේ මොකක් හරි වක‍්‍රකාර රෙඛාවකින් වැහෙන වර්ගඵලයක් හොයන එකයි එහෙම නැත්නම් ඒ වක‍්‍රාකාර රෙඛාවෙ ඔන තැනකින් ඒ වක‍්‍රයට ස්පර්ශකයක් ඇන්දොත් ඒ ස්පර්ශකයේ ආනතිය නැත්නම් අනුක‍්‍රමණය කියල කියන එක සොයන එක විතරයි. දෙයියම්පල්ල ඊට වැඩිය දෙයක් කොරන්න බැහැ ඒ ගණිත ක‍්‍රමයෙන්!

දැං ඔන්න නිවුටන් මහත්තය ස්කන්ධය බලය [අනිත් අතට බලය කියල කියන්නේ චෝම් නොම්ස්කි මහත්තය එහෙම කියන බලයටත් නොවෙයි. ඉරිදා පත්තරෙ අර අන්තිම පිටුපුරා දාලා තියෙන මලයාලම් ඉන්ද‍්‍රජාලිකයන්ගෙ එකත් නොවෙයි. ඒ අය කියන්නෙම ඒ අයගේ මන්තර බලයෙන් හැර ගිය පෙම්වතා පෙම්වතී වරුවෙන් දෙපා ලගට ගෙනත් දෙනවා කියලමනේ. අපේ පොඩි අක්කටත් ඉතිං එක එක බෝයි ප්‍රෙන්ඩ්ලගේ දෙපාලග වැටිල ඉවරයක්ම නැතිය කියලා මම දැනං හිටියත් ඒ බවක් මම කවදාවත් කියලා නම් නැතිය. ] සහ ත්වරණය කියන මනින්න පුළුවන් භෙතික රාශි අතර සම්බන්ධයක් සොයා ගන්නවා පරික්ෂණ ගොඩාරියක් කරල. ස්කන්ධය ඉතින් කියන්න දෙයක් නොවෙයි නේ ඔනම වස්තුවක කිලෝ ග‍්‍රෑම් වලින් මනින්නේ, ඉතිං ස්කන්ධය තමයි.
බර එහෙම නොවෙයි.
බර කියන්නෙ වෙනස් දෙයකට. බර කියන්නේ කිසියම් වස්තුවක් පොලවට ඇදගෙන ඉන්න ගතියට. අපේ පොඩි අක්කා නම් කියන්නේ ධනේෂ්වර ක‍්‍රමය මෙ තරම් මර්ධනකාරී තරමට උහුලගන්න බැරිතරමට ප‍්‍රසාරණය වුනේ මෙ නිවුටන් සොයා ගත් කලනය නිසාය කියලයි. එක පැත්තකින් තක්කඩියන්ට අල්ල ගන්න බැරිව තිබ්බ ලෝක පාලන bouthika -physical නීති රීති කොලේට ගන්න උදව් වුනේ මෙ කලනය ලු. වෙනස් වන දේවල් ඇප්පොරෙක්සිමෙට් කරල ඒවා කපන කොටන විදිය මිනිස්සු අතට ආවෙ මෙයාගෙ මෙ කලනය නිසාය කියල පොඩි අක්ක හැමතිස්සෙම දෙස් දෙවොල් තබනවාය. ඔය කලනය නොතිබ්බ නම් අහසේ මිසයිල තියා වවුලෙක්වත් පියාඹන්නේ නැතය කිය කිය මට මෙවා ඉගෙන ගන්නවට තහංචි දානවය. ඇත්තටම ලෝකෙට මෙ තරම් සන්තෑසි වුනේ නිවුටන් ගොයියා හොයාගත් මෙ කලනය චලිතයට යොදන්නට ගත්තට පස්සේ ඒක හැම ජාතියෙම චලිතවලට දාලා දාලා ඒ ගණිතෙ තිබ්බ රැස්පොට් එක කාලා කාලා දාලා කියලා තමාය කියන්නේ!

හැම චලිතයකටම කියන්නේ අපේ ඉරෙ හඳේ ඉඳලා ගේ සූර්ය දිව්‍ය රාජයාගේ මතුපිට පිනුම් ගහන ශක්තිය නිපදවන න්‍යශ්ටික ප‍්‍රතික‍්‍රියා සිද්ද වෙන නියුට්‍රෝන ප්‍රෝටොන ඉලෙක්ට්‍රෝන මීසෝන පොසිට්‍රෝන මහසෝන දක්වාත් ක්වාක් අංශු කියල කියපු තව තක්කඩි අංශු දක්වාත් දැන් මෙ සමරෙ මාමා කියන ෆෝටෝන අංශුවල පරමාණු විදියට ගන්න මෙ ඉඳයාප්ප තියරිය [string theory] දක්වාත් මෙ කලනය හොල්මන් කරන නිසාය මෙ තරම් ඇග කිලිපොලා යන දේවල් අහන්නට සිදුව ඇත්තේ. මෙ හැම චලිතයක්ම කොලේට අල්ල ගන්න කලනයත් එක එක වෙස් මාරු කරගන්නවා කියලා අපේ ලොකු අක්කා කීවාය. ඔන්න ඉතිං අපේ පොඩි අක්කා විස්ස විජ්ජාලේ ඉන්න කාලේ ක‍්‍රෑම දාපු නෝට් වගයක් ගෙනත් මගේ ඇඳට විසි කොරලා ඔන්න ඔන මගුලක් කරගන්නවා කියලා බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් එක්ක කළු කුහරය පිලිබඳ සාකච්චාවකට රංජන් රාමනායකගේ ලීඩර් පෙන්නන සැවෝයි එකට දිව්වාය.

දැං මෙ නිවුටන් සොයාගත් බලය සහ ත්වරණය නැත්නම් ගම්‍යතාව කියල කියන දේවල් කාලය එක්ක ස්කන්ධ කුමාරයගේ හැසිරීමෙ රටාව කොලේට ගත්ත හැටි දැං පෙන්වන්නේ පුංචි කාලේ අර පහල පෙල පංතිවල අපිට උගැන්නුව ක‍්‍රමෙට නම් නොවෙය.






දැං මෙ පේන්නෙ අවකල සමීකරණයක් විදියට නිවුටන්ගේ පලවෙනි නියමයට පස්සේ එන දෙවනි එක. ලේසි නැහැ නේ? ඇම්ඩන් ඉස්සරම ඉස්සර කාලේ මෙකෙ මෙ තියෙන ඩී අකුරු දෙක සාමාන්‍ය බාග විදියට කපලා දමලා සුරුස් ගාලා විසඳලා දමලා ලොකු අක්කට පෙන්වීමෙන් ලොකු අක්කාගේ බඩෙ කැක්කුමක් හැදුනාය. දැං ඔය පේන එම් [m] අකුරෙන් කියන්නේ ස්කන්ධය ඒක මෙ වෙලාවෙ වෙනස් නොවෙන දෙයක් හැටියටයි පෙන්වලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙන කේස් තමයි ඉතිං වැඩිපුර කොස්මොලොජිවල තියෙන්නෙ කියල අපේ ලොකු අක්කා කීවාය. මම දන්නෙ නම් එහෙම එකකට රොකට් කියල කීවම පොඩි අක්ක කිංඩියට හිනා වුනාය.

ඒ වගේ විශයට අදාල කාරණා ගැන මම වෙනම ලියනතුරු කලනය ගැන කතා කරල ඉවර කරමු. නැත්නම් පොඩි අක්කා කොයිවෙලේක හෝ කඩාගෙන ඇවිත් මෙ නෝට් කොල ටික අරන් තව බෝයි ප්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ගුරුත්වාකර්ෂණය නැති තැනක කලලයක් හැසිරෙන්නේ කොහොමද කියන නාසා පරීක්ෂණයට සාම්පල් සකස් කරන්නට දුවන්නට හැකිය.

කලනය කොටස් දෙකයි. එකක් තමයි අර සේරම එකතු කරන් එකතු කරන් ගොඩ ගහගන්න විදිය ඒ කියන්නේ අනුකලනය. අනිත් එක තමයි තියෙන ඒවා බෙදා ගෙන බෙදා ගෙන ගිහින් බෙදාගෙන ගිය වෙගය සොයන අවකලනය. මෙ දෙකත් හරියට දනේස්වරයයි සමාජවාදයයි වගෙයි. අනේ මන්දා ඉතිං ඔවා නම් කියන්නේ අපේ පොඩි අක්කා.

ඔය ජාතියේ අවකල සමීකරණ විසඳලා සොයා ගන්න දේවල් ගැන තමයි අර සමරෙ මාමා කියල තිබ්බෙ ගණිතයට නම් අහුවෙනව හැබැයි හිතා ගන්න නම් බැහැය කියල.
ඒක තමයි ඇත්ත කතාව. මෙ වගේ අවකල සමීකරණ පාවිච්චි වෙන සියළු තැන්වලම ප‍්‍රථිපලය ගැන වෙනම පරීක්සන තියන්න වෙනවා ඒවා හරිද වැරදි ද කියලා සොයා ගන්න.

කලනය දිගටම දියුණු වෙන්න ගත්තා.

ඔන්න ඒ පාර මෙ කලනය පාවිච්චි කරලා වැඩි දියුණු කොරල ගත්ත වෙරියන්ට්ස් වල කලනය කියල තත්වයට[calculas of variants]. ඔන්න එකෙන් තව ගොඩක් වැඩ කරන්න පුළුවන් වුනාය කියමුකෝ.

දැං තව ටිකක් කියන්න වෙනවා කලනයේ මුල් භාවිතාවන් ගැන මොකද නැත්නම් මෙ කියන කියවිල්ල කිසිම තේරුමක් නැතිව යනවා භෙතික විද්‍යාඥයා මෙවා කොහොම ප‍්‍රයෝජන ගත්ත ද කියල තේරුම් කර ගන්න බැරි නිසා.


ඔන්න හිතමු හරිම සංකීර්ණ වක‍්‍රයක් තියෙනවාය කියල. ඔන්න ඔය වගේ එක්ස් [X] වයි [Y] වලින් හරි පරාමිතිකව සයින්[sin ] කොස් [cos] වලින් හරි අර්ථදක්වන වක‍්‍රයක ගති ගුණ සොයන එකනේ කලනයේ මූලිකම භාවිතාව වුනේ. ඔන්න ඔය වගේ වක‍්‍ර ලකන වැඩ කරන්න යන අය දන්නවා උසස් පෙල ගණිතය එහෙම, මම වගේ මෙ ලගදි කරපු අය, දන්නවා උපරිම සහ අවම කියල ලක්ෂ්‍ය වගයක් සොයන්න වෙනවා කියලා ඒවා ප‍්‍රස්ථාර අඳින්න. දැං ඔය උපරිම සහ අවම සොයන්න තමයි අවකලනය ගොඩක් වෙලාවට භාවිත කරන්නේ. හැබැයි මුල් කාලේ දි එහෙම සොයන්න පුළුවන් වුනේ ද්විමාන එහෙම නැත්නම් මාන දෙකක් සහිත තලයක තියෙන වක‍්‍රවල නැත්නම් විචල්‍යයන් තුනකට සීමා වෙච්ච අක්ෂ තුනකින් යුත් ත‍්‍රිමාන අවකාෂවල විතරයි. පස්සේ ඔන්න ඔයිලර් [Euler] තමයි ඒක තවත් විචල්‍ය ගණන වැඩිකරල බහුමාන [calculas of variations] කරලා ගත්තේ. ඔන්න දැං තේරෙනවානේ x,y සහ z වලින් පටන් අරන් x,y,z, l,m,n1,n2,n3 .....nn දක්වා විචල්‍ය වැඩිකරාම ඒවට එකිනෙකට ලම්බක අක්ෂත් ඔනය කියලා. ඔන්න ඔහොමයි විශ්වයට මාන අම්බානක් එකතුවෙන්නේ. ඇත්තම කියනව නම් ලක්ෂ්‍ය දෙකක් අතර පවතින අවම දුර මොකද්ද කියන තාලේ ගොන් ප‍්‍රශ්ණයකට උත්තර සොයන්න ගිහින් වෙච්ච කෙලියක් එක.


ඔන්න ඊට පස්සේ ලග්ග‍්‍රාන්ජ් [Lagrange] කියල කෙනෙක් මෙ ඔයිලර් දියුණු කරපු බහුවිචල්‍ය කලනය [calculas of variations] අරගෙන ගිහින් නිවුටෝනියානු යාන්ත‍්‍රවිද්‍යාවට යොදල බැලුව.

ඒ දෙන්න [Lagrange and Euler] සොයා ගත්තා තවත් සාමාන්‍යකරණයක් විශ්වීයව භෙතික විද්‍යාවට අදල වන. ඒක හරියටම කෙටියෙන් කියනවා නම් විශ්වයේ සෑම දෙයක් තුලම අති උසස් බුද්ධියක් තියෙනවාය කියන ජාතියේ සොයාගැනීමක්. ඒකෙන් කියැවුනේ සෑම භොතික සංසිද්ධියක්ම නතුවන අවම කි‍්‍රයාන්විත සිද්ධාන්තය[Principle of Least Action] කියල තමයි ඇම්ඩන් ඒක මෙතන ලියන්නේ.

ඒක හරියටම දාහත් වැනි සියවසේම ෆර්මැට් [Fermat] කියන භෙතික විද්‍යාඥයා ගේ ආලෝකය ගැන කියවුන සිද්ධාන්තය වගේම ඒකේ වඩාත් සාමාන්‍ය අවස්ථාව කියල ඇම්ඩන් හිතනවා.


[In the 17th century Pierre de Fermat postulated that "light travels between two given points along the path of shortest time" which is known as the principle of least time or Fermat's principle.]

ඒ කියන්නේ ආලෝකය කිසියම් දෙන ලද ලක්ෂ්‍ය දෙකක් හරහා ගමන් කිරීමට අවම කාලයක් යන පථය තෝරා ගනීය යන සිද්ධාන්තයයි.

ඔන්න ඔය අදහසම තමයි අනෙකුත් සියලුම භොතික සංසිද්ධීන්ට මෙ දෙන්නා යෝජනා කලේ මෙ අවකාෂයේ ජ්‍යාමිතිය බහුමාන කරල ගත්තට පස්සේ. ඔන්න විශ්වයේ බහුමානවල උප්පත්ති කතාව.


1834 ලග්ග‍්‍රාන්ජ් ගෙන් බඩු අතට ගත්තු හැමිල්ටන් මෙ සිද්ධාන්ත තව දුරටත් ගෙනිච්චා. එ අතරෙ මැක්ස්වෙල් භොතික විද්‍යාවෙ මහ විසාල පදනමක් සැපයූ මැක්ස්වෙල් සමීකරණ ව්‍යුත්පන්න කරන්න මෙ සියලු දැනුම භාවිතා කලා. මෙවා ගැන ඇම්ඩන් ලියන්න යන්නේ නැහැ දැනට...



මැක්ස්වෙල් ගොඩනගපු සමීකරණ තවත් දුර ගෙනියන්න අයින්ස්ටයින්ට පුළුවන් වුනා...ඒක තව කතන්දරයක්. හැබැයි මෙ විශ්වය සහ ක්වොන්ටම් ලෝකය සම්බන්ධ කරන්න අයින්ස්ටයින්ටත් බැරිවුනා. ඒක දැං කරන්නේ ස්ටෙපන් හෝකින් කියන භොතික විද්‍යාඥයා...
අවකාෂය වක‍්‍රවෙන හැටිත් එම වක‍්‍ර අවකාෂය සාපේක්ෂතාවාදයට හොඳ පදනමක් අරන් දෙන්නේ කොහොමද කියන එකත් මෙ ගණිත ක‍්‍රමවලින් පැහැදිලි කරන්න පහසු වුනා. කාල අවකාෂ කියන සංකීර්ණ අදහසේ උත්පත්තිය භොතික විද්‍යාව තුල තියෙන ලස්සනම සුරංගනා කතාව කීවොත් වැරදි නැහැ.
සමහර විට මෙ ඔක්කොම දේවල් එක එක තැන්වල ඉඳන් බලද්දි එක එක විදියට පේන එකත් හරිම මරු වැඩක් කියල අපේ පොඩි අක්කා මෙ ලගදී කැම්පස් එකෙන් ආපු ගමන් මට කීවා.
ඔන්න පොඩි අක්කගේ වචන වලින්ම...

"දැන් භොතික විද්‍යාඥයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ විද්‍යුත් ක්ෂේත‍්‍රයක් ඇතුලෙය...
අපේ මහාචාර්ය නලින් ද සිල්වා මාමට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ යුදෙව් චින්තනය නමැති ක්ෂේත‍්‍රය ඇතුලෙය
එතකොට සමාජවාදි ශිෂ්‍ය සංගමයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ දයලෙක්තිකය නමැති දාර්ශණික ක්ෂේත‍්‍රය ඇතුලෙදිය...
එක්ස් පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ නැත. ඒක භාෂාමය ගොඩනැංවීමක් නිසා ය...
එක්සත් ජාතික පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ බියර් පෙණ බුබුළු ඇතුලේය
නිදහස් පක්ෂයට ඉලෙක්ට්‍රෝනය හම්බ වෙන්නේ මහින්ද චින්තනයෙනි
කොටි සංවිධානය දැං ඉලෙක්ට්‍රෝනයක් තරම බව කියන්නේ හක්ගෙඩියෝය..."


අපේ පොඩි අක්කා මෙවා කියා මහ හයියෙන් හිනා වෙවී හිනා තෙරපි එකෙන් සෙෘඛ්‍යය වර්ධනය වන බව පවසන්නීය.


ඇම්ඩන්ට දැං අම්බානක් මහන්සියි. ආයෙම කාට හරි මෙ ලියවිල්ල වැඩක් ප‍්‍රයෝජනයක් වුනාය කියල මට දැනුනොත් විතරක් පොඩි අක්කත් අල්ලගෙන ක්වොන්ටම් සහ විශ්වය සම්බන්ද වෙන හැටියි සමරෙ මාමා කියාපු සමහර දේවල් කාටත් තේරෙන්න කියන්නේ කොහොමද කියන එක ගැනයි අපේ ලොකු අක්කගෙන් උපදෙස් අරන් ආයෙම ලියන්න බලන්නම්.

ඇම්ඩන් ලගදී පොඩි අක්ක එක්ක චිත්තරපටියක් බලන්න ගිහින් තියෙනවා. Annie Hall තමයි චිත්තරපටියේ නම. ඒකෙ ප‍්‍රධාන නළුවා වුඩී ඇලන් කවටයෙකුගේ චරිතයක් තමයි කරන්නේ, ඇත්තටම එයාගේ ජීවිතයේ කිසියම් සිදුවීම් කීපයක් අරන් නිර්මාණය වෙච්ච කතාවක් ඒක. ඔන්න ඒකේ මුලින්ම ඇලන් [ඇල්වි-Alvy] තමන්ගේ ළමා කාලය ගැන මතකය අවදි කරන්නේ මෙහෙමයි.
ඇල්වි එකපාරටම ඉස්කොලෙන් දෙන ගෙදර වැඩ කරන එක නතර කරනවා. ඒ පාර ඇල්විගෙ අම්මා එයාව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වනවා. මෙන්න ඒ දෙබස් ටික...

INT. DOCTOR'S OFFICE-DAY


Alvy as young boy sits on a sofa with his mother in an old-fashioned, cluttered doctor's office. The doctor stands near the sofa, holding a cigarette and listening.

MOTHER (To the doctor) He's been depressed. All off a sudden, he can't do anything.

DOCTOR (Nodding) Why are you depressed, Alvy?

MOTHER (Nudging Alvy) Tell Dr. Flicker. (Young Alvy sits, his head down. His mother answers for him) It's something he read.

DOCTOR (Puffing on his cigarette and nodding) Something he read, huh?

ALVY (His head still down) The universe is expanding.

DOCTOR The universe is expanding?
ALVY (Looking up at the doctor) Well, the universe is everything, and if it's expanding, someday it will break apart and that would be the end of everything!
Disgusted, his mother looks at him.
MOTHER (shouting) What is that your business? (she turns back to the doctor) He stopped doing his homework.
ALVY What's the point?
MOTHER (Excited, gesturing with her hands) What has the universe got to do with it? You're here in Brooklyn! Brooklyn is not expanding!

DOCTOR (Heartily, looking down at Alvy) It won't be expanding for billions of years yet, Alvy. And we've gotta try to enjoy ourselves while we're here. Uh?
He laughs.

CUT TO:
http://www.imdb.com/title/tt0075686/
[අ]සම්භාව්‍ය [අ]භොතික [අ]විද්‍යාඥ [ඇ]ම්ඩන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails