Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers











ගමේ චණ්ඩි ඉස්ටැන්ලි ද සිටියා ය!

(පළමු කොටස )

මගේ මතකයේ රැඳුනු නන්දා මාලිනී ගේ මුල්ම ගීතය ”රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ” විය යුතු යැයි සිතමි. මා කුඩා කල අපේ වත්තේ කොනක රුක් අත්තන ගසක් තිබුනි. ඒ ලඟින් මා යන සෑම විටක මට නන්දා මාලිනී ගේ එම ගීතය ද, හරූන් ලන්ත‍්‍රා ගැයූ ”මගෙ නාමලී බැඳි ආදරේ” ගීතය ද, චීන සර්කස් ද, අනිවාර්්‍යයෙන් ම සිහිවිය. හරූන් ලන්ත‍්‍රා ගේ ගීතය මට සිහිවූයේ එම ගීතය අඩංගු ”ගොපළු හඬ” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූ නාමලී නයෙක් දෂ්ඨ කර මිය ගිය පසු රුක් අත්තන ලීයෙන් තැනූ මිනී පෙට්ටියක අවසන් ගමන ගෙන යද්දී, රුක් අත්තන ඔසු බලෙන් සර්ප විස නැසී, යලි සිහි ලැබී සිය පෙම්වතා හා එක් වීමට ඇයට අවකාශලැබූ අපූරු කතා පුවත එහි අඩංගු වූ බැවිණි. ඒ සමගම, චීන සර්කස් මට සිහිවූයේ, ”ගොපළු හඬ” චිත‍්‍රපටය බැලීමට අප පවුලේ සියළු දෙනාම ගියේ ඒ සමග තිරගත වූ චීන සර්කස් පිළිබඳ කෙටි චිත‍්‍රපටය නැරඹීමට අපට තිබූ අවශ්‍යතාවය නිසා වීමය. මෙය පවුලේ අප පස් දෙනා එකට නැරඹූ එකම චිත‍්‍රපටය ද වීම විශේෂයකි.

කෙසේ නමුත් මේ දිනවල අපේ පි‍්‍රයතම ගායිකාව වූයේ නන්දා මාලිනී ගෝකුල නොවේ. ඇන්ජලීන් ගුණතිලක ය. පි‍්‍රයතම ගායකයා ජෝතිපාල විය. නන්දා මාලිනී ලා, අමරදේව ලා අපේ ලෝකයට පිවිසුනේ අප ප‍්‍රබුද්ධයන් වීමට පටන් ගත් හැත්තෑවේ දශකයේ අවසාන දෙවසරක පමණ කාලයේ දී ය. මේ කාලය වන විට ”ශ‍්‍රවන ආරාධනා” වෙන් මිදුණු නන්දා මාලිනිය, සුනිල් ආරියරත්න ගේ පද රචනයෙන් යුතු වූ ”සුලං කපොල්ලේ” ආදී නව ආරක අදහස් ඇතුලත් ගී මෙන්ම සත්‍යයේ ගීතය ප‍්‍රසංගය වැනි ප‍්‍රගතිශීලි ගීත ද ගායනය කරන්නට පටන් ගෙන තිබිණ. ඇය ක‍්‍රම ක‍්‍රමයෙන් පරම්පරා කිහිපයකම පි‍්‍රයතම ගායිකාව බවට පත්විය.

කැසට් වාදන යන්ත‍්‍ර යනාදිය තවමත් අපේ වත්කම් සීමාවට ලංවී නොතිබුනි. පෞද්ගලික බස් ද බොහෝ විට වෑන් කබල් පමණක් විය. එසේ නමුදු හුදෙක් ගුවන් විදුලියේ ප‍්‍රචාරයෙන් පමණක් ඇය තම ගීත බහුතරයක් සිංහල රසික ජනතාව අතරය ගෙන යෑමට සමත් වූයේ, ඒ ගීත වල සොඳුරු පද මාලාවන් ගේ ද, මියුරු සංගීත සංයෝජනයේ ද නොමසුරු සහයෝගය ලබමින් බව සිතමි. පසු කලෙක මා පේරාදෙනිය සරසවියේ ඉගෙන ගනිද්දී ප‍්‍රථම වරට රූපවාහිනිය තුලින් ”තරු ද නිදන මහ ?” වැනි ගීත රස විදි අයුරු මට තවමත් සිහිවේ.

මා විශ්ව විද්‍යාලයේ මුල් වසරේ ඉගෙන ගනිමින් සිටි අවදියේ එක්තරා සති අන්තයක කලාගාරයේ පැවත්වුනු නන්දා මාලිනියගේ ගීත සම්බන්ධ සම්මන්ත‍්‍රණයක් මගේ මතකයට එයි. මෙහි දෙසුම් පැවත්වූවෝ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ එවකට සේවය කළ කථිකාචාර්ය අත්තනායක හේරත් සහ ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු දෙපල සහ දේශපාලන හේතු මත සරසවියෙන් නෙරපන ලදුව එවකට මුල්ගම්පොල ඉංගී‍්‍රසි පන්තියක් පවත්වමින් වාම දේශපාලන ව්‍යාපාරයක ද නිරත වුනු ආචාර්ය සුචරිත ගම්ලත් හු වූහ. සුචරිත ගම්ලත් එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හෙවත් විකොසේ කි‍්‍රයාකාරීකයෙකුව මහනුවර ප‍්‍රදේශයේ කටයුතු කළේ ය. මයිකල් ප‍්‍රනාන්දු කොමියුනිස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ වා යැයි සිතමි. සිංහල අංශයේ සේවය කළ අත්තනායක හේරත් මා දන්නා තරමට ප‍්‍රසිද්ධ දේශපාලනයක යෙදුනේ නැත.

මෙදින පැවත්වුනු දේශන පිළිබඳව මගේ සිතේ රසවත් කරුණු කිහිපයක් තවමත් රැුඳී ඇත. අත්තනායක හේරත් තම දේශණයේ දී, නන්දා මාලිනිය ගේ ගායනට වඩා අවධානය යොමු කළේ ඇගේ ගීත වල ට මුසුවී තිබුනු සංගීතයටයි. ධර්මසිරි ගමගේ ලියා නන්දා මාලිනි ය ගැයූ, ”අම්මාවරුනේ” ගීතයේ සංගීත නිර්මාණයේ දී ජල තරංග යොදා ගෙන ඇති බවත්, එයින් ලොව සෑම ජීවියෙකුටම මුල් වූයේ, මව් වූයේ, ජලය ම ය යන සත්‍යය ඉස්මතු වෙන බවත් යනාදී අපට අළුත් ම අදහස් රැුසක් ඔහු ගේ දේශණයේ ගැබ් වී තිබුණි. සුචරිත ගම්ලත් ගේ දේශණයේ දී ඔහු කළේ නන්දා මාලිනි ය ගේ ගීත වල අරුත පිළිබදව නිර්දය වූ - එවකට දෙඤ්ඤං බැටේ යන සුරතල් නාමයෙන් ප‍්‍රසිද්ධ වී තිබුනු ආකාරයේ - විවේචනයක් කිරීමයි. ඔහු උදාහරණයට ගත් එක් ගීතයක් වූයේ ”නෙලා ගන්න බෑ මගේ අත දිග නෑ” යන ගීතයයි. මෙය ධනපති පැළැන්තියට උඩ ගෙඩි දෙන, ධනවාදී ක‍්‍රමය සාධාරධෑකරණය කරන ප‍්‍රතිගාමී, සමාජ විරෝධී අදහසක් බව ඔහු පැවසීය. ආර්ථික යේ ඵල සැමටම එකසේ අයත් විය යුතු බවත්, සමහරුන් ට ඒ සඳහා අත දිග නැත්තේ සමාජ ක‍්‍රමයේ වරදින් බවත්, සත්‍යය එසේ වෙද්දී නිර්ධන පන්තියට ඉච්ඡුා භංගත්වය ඇති කරවන මෙවැනි ගීත ලිවීම සමාජ විරෝධී වන බවත් ඔහු තර්ක කළේය. එය මා සිත් ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මගේ මතකයේ හැටියට මෙයට යම් විරෝධතාවයක් මයිකල් ප‍්‍රනාන්දු ගෙන් එල්ල විනි. නමුත් ඔහුසුචරිත ගම්ලත් ව හැඳින්වූයේ ”සුචරිතරත්න” ගම්ලත් ලෙස නිසා එයින් හටගත් උත්ප‍්‍රාසය හැර වෙනත් යමක් ඉස්මතු නොවිනි.

ස්ටාලින්වාදී පක්‍ෂයක මයිකල් ප‍්‍රනාන්දු සහ ට්‍රොස්කිවාදී පක්‍ෂයක සුචරිත ගම්ලත් අතර දරුණු දේශපාලන වාද ඇතිවිය හැකි බවට සිතීමේ වරදක් නොවෙතත් එවැනි දෙයකට ඔවුන් යොමු නොවූහ. මා මීට පසු කලෙක දැනගත් පරිදි ට්‍රොස්කිවාදී විකොස ට ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්‍ෂයට සමග කෙසේ වෙතත් බරපතල දේශපාලන ප‍්‍රශ්ණ තිබුනේ තවත් ට්‍රොස්කිවාදී පක්‍ෂයක් වූ නව සමසමාජ පක්‍ෂය සමගය. මෙකල නව සමසමාජ පක්‍ෂය වාසුදේව ගේ ප‍්‍රසිද්ධ නායකත්වයෙන් ද, වික‍්‍රමබාහු ගේ මතවාදී නායකත්වයෙන් ද පැවතුනි. ධනපති පක්‍ෂ හා සභාගයට යෑමට වාසු පක්‍ෂයෙන් ඉවත් වූයේ මීට දශකයකට පමණ පසු කලෙකය.

නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් බිහි වූ ගීත ඇතැම් විට ප‍්‍රතිගාමී බලවේගයන් ට උඩ ගෙඩි සැපයූ ඒවා විය. ඔවුන් දෙපල සම්මාදන් වූ ”තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්” ගීතය මෙන්ම ”කඩුවක් ඇවසි තැන කඩුවක් ගෙන නැගෙනු” ගීතය ද සිංහල ජාතිවාදී මැරයෝ පසු කලෙක රණ ගී ලෙස යොදාගත් බව නොරහසකි. කෙසේ වෙතත්, එවකට පැවති (අවාසනාවන්ත ලෙස අදත් එලෙසම පවතින) අදැහැමි රාජ්‍ය සමයේ තිරශ්චීන භාවය මගින් මතු කරන ලද කාලීන අවශ්‍යතාවය සැපිරීමේ සද්කාර්යයක් ලෙස, නන්දා මාලිනිය සහ සුනිල් ආරියරත්න දෙපල නිමැවූ සත්‍යයේ ගීතය ප‍්‍රසංගය රට තෙ-කොණේ එකසේ ජනපි‍්‍රය විය. පේරාදෙනියේ කී‍්‍රඩාගාර ශාලාවේ දී ඇයට සජීවී ව සවන් දීමට ද මෙකල අපට අවස්ථාව ලැබුනි. ඉන් නොනැවතුනු ඔව්හූ දිගින් දිගටම ප‍්‍රබුද්ධ ගීත නිර්මාණ කාර්යයේ යෙදුනාහ.
මතු සම්බන්ධයි.

(සන්නස - ජූනි 2008 කලාපයෙන්)

ර. චන්ද්‍රසූරිය විසිනි
ra.chandra.suriya@gmail.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails