පාපොච්චාරණ
අරගලය අත්හරින ලදින්
පසුබසින්නැයි
සගයින් ගෙන් ඉල්ලන,
අත් අඩංගුවේ දී
කෘර වධ ඉවසනු නොහැකි වූ
විප්ලවවාදී නායකයෙකුගේ
කාරුණික නිවේදනයක
වැරදි මගට යොමු කල
සගයින් ට දොස් පවරන,
ඉක්මන් නිදහසක
සිහින මවමින්
හුදෙකලා කඳවුරක
‘පුනරුත්ථාපනය’ වෙන
කෙසඟ තරුණයෙකුගේ
ආවේගශීලී කතාවක
නොහික්මුණු සංවිධානයේ
ම්ලේච්ච ක‍්‍රියා ගැන තැවෙන,
මොනයම් ම හෝ
හොඳක් වේ යැයි හිතාගෙන
සටන් බිමෙන් පැන විත්
ආණ්ඩුවේ මිලිටරියට බාර වූ
විශ‍්‍රාමික සටන් කරුවෙකුගේ
රූපවාහිනී හෙලිදරව්වක
තහනම් යුධ බිමේ සිට
ලබා දුන් තොරතුරු
නිවරැදි නොවන බව පවසන,
දහසකුත් තුවාලකරුවන්
සුවපත්කල
දොස්තරවරයෙකුගේ
ගිනි අවි වට කර ගත්
මාධ්‍ය හමුවක
වැඩි සද්දෙන්
මිලිටරිය වර්‍ණනාකරමින්
සිංහල පිඟානකට
සාම්බාරු බෙදන,
ක්ෂනික අතුරුදහන් වීමක්
නොපතන
කොළඹ දෙමළ වේටරයෙකුගේ
දේශානුරාගික කතාබහක
දෙමළ නිජබිම වෙනුවෙන්
සටන් වැද
සිංහල වෙඩිල්ලකින්
මියගිය තම දියණියගේ
දේශද්‍රෝහී බව පවසන,
විජයග‍්‍රහනයේ
උමතු මිනිසුන් මැද වෙසෙන
වියපත් සිංහල මවකුගේ
නොසන්සුන් කටහඬක
පිටුපසින් ඇති
අසරණ
අරමුණු
මම දකිමි.
වරදකාරී
හැඟුමෙන් බර
එවැනි දෑස්
ඈතින් හිඳ
කියවමි.
ඒත්...
‘ඔය ටික නොකියාම ඉන්න
පුළුවං උනානම් හොඳයි’
සුසුමක් හෙළමි.
මහේෂ් මුණසිංහ
2009 07



