Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

“ලොකු මහත්තයා අද විත්තිකූඩුවේ පස්‌ වැනියාට පෙනී සිටිනවා. ඔහු බීමතින් වගේ හිටියේ. ඔහු එතැන සිටි කෙනෙකුට කතා කරලා "අර කෝප්‍රල්ව ගේන්න" කීවා. කූඩුවේ හිටපු පිරිමි ළමයින් දෙන්නව ගෙනවා. ඉන් පස්‌සේ ඒ දෙන්නා අතර හිටි හමුදාවේ කියා කියපු කලු ටී ෂර්ට්‌ එක ඇඳපු කෙනාට ගැහුවා. ලොකු මහත්තයත් පහර දුන්නා. ඉන් පස්‌සේ තව කෙනෙකුට කිව්වා ගහන්න කියලා.’” (නදීෂා කල්පනී ‍- අඟුලාන පොලිස් මිනිමැරුම් නඩුවේ සාක්ෂියෙන්)

නදීෂා කල්පනීගේ කථාව ඇහුවාම හිතුනේ අපේ රට ආයෙත් පරණ චක්කරේටම කර‍කැවෙන්නට පටන් අරන් කියාය. එහෙම නොවෙන්නට අපේ රටේ මේ වාගේ කාලයක මේ වාගේ වැඩක් වෙන්නට ඉ‍ඩක් තිබෙන්නට බැරිය. රට ජාතිය වෙනුවෙන් කල කියූ දේට වඩා පැටිකිරිය නොහොත් අම්මා, තාත්තා, අප්පා, කිරිකිත්තා මොකා එක්ක කිරි බිව්වාද යන්න අපේ රටේ කොහොමටත් වැදගත් වන්නාවූ කාරියකි.

කවුරු කොහොම කිව්වත් යුද්ධ කරන්නේ පුංචි උන්ය. යුද්ධ දිනන්නේ මහම මහ උන්ය. මේ ඔලකොලොප්පම අද ඊයෙක කෙරෙන දෙයක්, පටන් ගත් දෙයක් නොවේය. අපේ පරණ කෝලම් වෙස්මූනු දිහා බැළුවාම අපේ පරණ පුංචි උන් මේ සංසිද්ධිය හොඳාකාරවම දැන හිටි විත්තිය ‍පැහැදිලිවෙයි. එක්සත් රාජධානි විද්‍යා කෞතුකාගාර වෙබ් අ‍ඩවියේ, අපේ සොල්දාදු වෙස් මුහුණේ ඡායාරුවක් සමග මෙසේද සඳහන් වෙයි.


“ කැපුම් කෙටුම් හා කූ‍ඩැල්ලන් ගෙන් වැසුනු මෙම දැවමය වෙස් මුහුණ, ලංකා කෝලම් නාට්‍යයන්හි ‘හේවායා’ නිරූපණය කරයි. කෝලම් නාට්‍ය චරිත පණහකට අධික වන අතර ‘හේවායා’ එහි එන විසුළු චරිතයකි...”
[http://www.sciencemuseum.org.uk/broughttolife/objects/display.aspx?id=10716]

හඳ පායා ඇත්තේ කාටද කියා ලියන්නට ඕනෑ නැත. ඒත් හඳ පායා ඇති බව නම් බැළු‍ෑ බැල්මටම පෙනෙයි. හඳ එළිය ඉර ‍එළියට වෙනස්ය. හඳ එළිය හංගයි. හැමදේම මූසල රිදී පාටකින් පාට කරයි. පෙනෙනවා යි හිතවන මුත් පෙන්නන්නේ වෙනත් දෙයකි. බලන්න ඕනෑ එකාට ‍ඕනෑ විදිහකින් බලන්නට පුළුවන් විදිහට හඳ එළිය හැමදේම පාට කරයි. වැල්ලවත්තේ කුණු ඇල කිරි සයුරක් කරන්නටත්, මෝදර, මට්ටක්කුලිය, පහුකර පෑලියගොඩටත් යන කොළඹ කුණු කඳු, හිම ගිරවල් කරන්නටත් හඳ එළියට ‍පුළුවන. අමාරිස් අයියා, දෝතටම මිරිකා ගත්, හඳ එළියට දිලිහුනු මැණික ඇඟිලි අස්සෙන් චිරිස් කියා රිංගා ගියේ, ඒක ඇත්තටම ගොම බෙට්ටක වාඩිවී සිටි රෑ බදුල්ලෙක් නිසාය.

යුද්ධ කළ මිනිසුන්ටත්, අති මානුෂික යුද්ධයක් කර දිනාගත්තාවූ සාමයටත්, අමාරිස් අයියාගේ මැණිකට සිද්ධ වුනු දේම වෙනවාද කියන එක හඳ එළිය ගැන දන්නාවූ බොහෝ අයගේ හිත් වල කැරකෙන හිතිවිලිවල එහෙන් මෙහෙන් ලප කැලැල් සේ මතුවෙමින් තිබෙයි.

රටේ මිනිස්සු යුද්ධයට දූ පුතුන් දුන්නේ කරන්නම දෙයක් නැති තැනය. අනාගතයක් තබා වර්තමානය ගැනවත් හිතන්නට තියා කතා කරන්නට කටේ කෙළ පිඬක් මතු කරගන්නට අමාරු වූ තැනකට වැටී හිටි වෙලාවක, මොන සවුදමකින් හරි මේ රටේ යුද්ධය අහ‍‍වර කලොත්, සේරම හරිය කියන්නාවූ අමන හිතිවිල්ලට වහල් වෙනවා ඇරෙන්නට වෙන විකල්පයක් කාටවත් තිබුණේ නැත. කෙරුනු කියපු දේ සියල්ල නෑඹිලියක දමා ගරා ගල් සුන් සාල් වෙන්කර ගන්නට උත්සාහ කරානම් මේ වැඩේ කෙරෙනවා නම් කෙරෙන්නේ යුද්ධයෙන්ම බව අක්මාව හරිහමන් තැනක ඇති එ‍ෙකකුට තේරුම් ගන්නට ඒ කාලයේම ඇති තරම් ඇහි පිල්ලන් ගැහිලි සිද්ධ වෙමින් තිබුණි.
සුලමුල ‍කොහොම වෙතත්, ගහ ඇද නම් හෙවනැල්ල කෙලින් හිටින්නේ නැත. ඇලවෙලා බලන එකාට නම් බිම දිගේ ගිය ගස් වලත් වරදක් නොපෙනෙන නමුත්, කරුණු කාරනා වෙන්නේ කක්කුටු තාලමටමය කියා ඇහෙන පෙනෙන දේ වලින් ඇති පදම් පෙනෙයි.

මේක අමුතු දෙයක් නොවේ. අළුත් දේකුත් නොවේ. වැඩ සිද්ධ උනේ මෙහෙම තමාය. අවුරුදු තිහ හතලිහකට ඉස්සරත් මෙහෙමමය. මිනිස්සුන්ව දවල්ට නිදි කර තබා, රෑට කූද්දා හඳ එළිය පෙන්නාපු අයියණ්ඩිලා, මාමණ්ඩිලා, අංකල්ලා, ඇන්ටිලා ඇති පදම් සිටියහ.

හැත්තැ එකේ ගැලුවේ ඒ හඳ වතුරමයි. පහුගිය අවුරුදු තිහේ ගැළුවේත්, ටයර් උඩ බාබකියු කලේත් ඒ හඳ එළියේ ආනිසංසමයි. මේවා ගැන එහෙන් මෙහෙන් කෙඳ‍ිරෙන කෙඳිරිලි කෙඳිරෙන්නේ රට හෑල්ලු කරන කුමන්ත්‍රණ කාරයි‍න්ගේ අධෝමුඛ වලින්මය කියා කියන එකත් කියන්නේ හඳ එළියෙන්ම ‍එලිය බලන අප්පුලාමයි.

ටෝක් එක කෙසේ ‍කලත් යන ගමන කොයි අතට යනවාද කියන එක තීරණය වෙන්නේ වෝක් එකෙන් බව පැහැදිලි කරගන්නට තරම් ඉංගිරිස් දැනුමක් රේස් කොලෙන් ඉංගිරිස් උගත් එකාටත් තිබේ. ප්‍රශ්නය ඇත්තටම ඇත්තේ එතනයි. තිස් අවුරුද්දක් කාල් ගගා තිබුණු අල හොද්ද, එක පතට හින්දා ලිප නිවන්නට හයිය හත්තිය ඇති, පණක් කළඳක් ඇති නායකත්වයක් තිබීම අගය කරන්නට, ඇහැට ඇනලා කියා දිය යුතු නැත. වැඩේ කෙරුනේ හොඳින්ද නරකින්ද හරියටද කෙලින්ද කියා චුරු චුරු ගාන්නටත්, කරාපු දේ බාල්දු කර කතා කරන්නටත් උවමනාවක් නැත. කෙරුනේ යුද්ධයකි. යුද්ධය මිනි මරා ගැනීමක් මිස, ඇට බෝල සෙල්ලමක් නොවේ. ප්‍රභාහරන් ඇතුළු එල්ටීටීය නැතිවුනේ, නැතිකලේ, බෝම්බ දමා, මල්ටි බැරල් ගසා, කීතු කීතු වෙන්නට වෙඩි තබා මරා දමා මිස, වස් කවි කියා දෙහි කපා නූල් මතුරා හෝ ලබ්බේ තොවිලයකින් හෝ නෙ‍ාවේ. ඒ අස්සේ ‍සිද්ධ වුනු දේවල ඇද පළුදු ඕනෑ තරම් ඇත. ඒ ගැන ඕනෑ තරම් දේ ලියවිලාත් ඇත.

අපේ කොල්ලෝ කෙල්ලෝ යුද්ධයට ගියේත් අතපය නැතිකරගෙන මෙන්ම මළකඳන් වගේත් ගෙදර ආවේත් මේ සේරමත් දැනගෙනය. උන් එහෙම කළේ හඳ එළියට රැවටිලා නොවෙයි. අද මේ විදිහෙන් හඳ එළිය බලන්නටත් නොවෙයි. අනාගතය කියා උන් හිතුවේත් හිතන්නේත් අවුරුදු තිහකට එහා “ගුඩ් ඕල්ඩ් ඩේස්” නොවේ. ඒ ‘ඩේස්’ වල වන්දිය ලක්ෂ ගණනක් කො‍ළු කෙල්ලන්ගේ සදහටම අපතේ ගිය හුස්ම පොද වලින් අපේ මිනිස්සු ගෙවූහ. හඳ එළිය නොවෙයි අඟහරු එළිය පෙන්නුවත් මේ කතාවට පැණි වක්කරන්නට පුළුවන් කමක් නැත.

යුද්ධය ඊළඟ පරපුරට නොදෙන්නට කල සථප කිරීම අර්ථවත් වන්නේ චෙස් ලෑල්ලට අළුත් ගේමක් එක් කිරීමෙන් මිස පරණ පසික්කාටු සෙල්ලමම කරන්නට පටන් ගැනීමෙන් නොවේ. අළුත් වැඩ කරන්නට අළුත් පොතක් අතට ගත යුතුය. පරණ පොතේ පාඩම අග හිට මුලට කියවීම අළුත් පාඩමක් වන්නේ නැත. එසේ ‍නූණොත් හඳ එළියේ ගස් වටේ කැරකෙන ලව් කපල් වලට ඉර පායන්නට වැඩිකල් ගත නොවනු ඇත

-ලොකු

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails