ඔබ එවූ පියාපත ඔවුනට පැළැන්දුවෙමු!
කඳුළු බූන්දිය වෙනුවෙන් සහෝදරත්වයෙන් එක් වූ ඔබට ස්තුතියි!
2008 පෙබරවාරි 14 වෙනිදා බූන්දි සඟරාවේ 48 වැනි කලාපය අන්තර්ජාලය පුරා බෝ කරමින් අපි සියළු මිතුරන්ගෙන් ඉල්ලීමක් කළෙමු.
BOONDI - 48>>
කොළඹ කඳුළු නම් වූ එම බූන්දියෙන්, කොළඹ වික්ටෝරියා නිවස්නයේ සිටින රවි නම් සහෝදරයාගේ කාරුණික ආයාචනය අප ඔබට දැන්වූයෙමු. ඒ වෙනුවෙන් අප සැලසුම් කළ ව්‍යාපෘතිය සඳහා බොහෝ මිතුරු මිතුරියන් ඒ සඳහා සම්බන්ධ වෙමින් තම ශක්ති ප්‍රමාණයෙන් මුදලින් ආධාර කළහ. බොහෝ දෙනෙකු එම ඉල්ලීම අන්තර්ජාලය පුරා බෝ කරමින් ද අපට උදවු වූහ.
වික්ටෝරියා නිවස්නයේ කළමනාකාරීත්වයෙන් කළ ඉල්ලීමට අනුව, ඔබ විසින් ලබා දුන් මුදල් යොදවා නේවාසිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා කිහිපයක් (ටූත් පේස්ට්, සබන් සහ සේදුම් කුඩු) සපුරාදීමට ද ඉතාලියේ වෙසෙන ආසිරි කල්ප සහෝදරයාගේ මූලිකත්වයෙන් නිවස්නය සඳහා අත්‍යාවශ්‍යව තිබූ වානේ ඇඳන් තුනක් පමණ ලබා දීමට ද පසු ගිය වසරේ අපට හැකි විය.
රවිගේ අවශ්‍යතාවය වූ බැටරියෙන් ක්‍රියා කරන රෝද පුටුව ලබා දීම බොහෝ ප්‍රමාද වූයේ ඔහු විසින් ඉල්ලා සිටි රෝද පුටුව මෙරටට ගෙන්වන සමාගමක් සෙවීමට විශාල පරිශ්‍රමයක් අපට දරන්නට සිදු වීම නිසාය. එබඳු සමාගමක් පසුගිය මාසයේ හමු වූ අතර, ඉකුත් 16 වැනි සිකුරාදා (16.10.2009) හැන්දෑවේ එම රෝද පුටුව නිවස්නයට පරිත්‍යාග කිරීමට අපට හැකි විය.
රවීට පියාපතක් අවැසි වූයේ තනිව පියාඹන්නට නොවේ. අලූතෙන් ලැබුණු රෝද පුටුවේ නැගී රවි වාට්ටු පුරා එහේ මෙහේ දුවමින් පෙර මෙන් දස ගුණයක ජවයකින් අන් නේවාසිකයන්ට උපකාර කරනු ඇත. රවි ඔබට එවූ සටහන ද මේ සමග එක් කරමු.
-Letter from Ravi -
රෝද පුටුව ප්‍රවාහනයේදී කඩි මුඩියේ පැමිණ උදවු වූ බූන්දියේ අදිසි මිතුරා දර්ශනට ද කඳුළු බූන්දි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මුදලින් ද, ශ්‍රමයෙන් ද දායක වූ බූන්දියේ සියළු මිතුරු මිතුරියන්ට අපගේ ප්‍රණාමය පුද කරමු.
ඉතිරි වී සිටිනා අතළොස්සක් "මනුෂ්‍යයෝ" අප තුළ බලාපොරොත්තු දල්වන්නෝ ය.
බූන්දියේ අපි
19.10.2009
පින්තූර ගැලරිය බලන්න මෙතනින් යන්න>>
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
බූන්දියේ අපි
19.10.2009
පින්තූර ගැලරිය බලන්න මෙතනින් යන්න>>



