Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

ඔබට ළමා චිත්‍රපටයක් සෑදීමට අවශ්‍යයද?...

ඉතා පහසුවෙන් ඔබට සම්මානනීය ළමා චිත්‍රපටයක් සාදා ගැනීමට මෙන්න මග...

අවශ්‍යය දෑ :

වයස 7-10 අතර තල එලලු කෙසඟ සිරුරැති දරුවෙක් සහ දැරියක්
වයස 3-7 අතර අලි පැටියෙක්
රෞද්‍ර පෙනුමැති උඩු රැවුල් සහිත වැඩිහිටියෙක්
වැදගත් පෙනුමැති මහත්මයෙක්
හුස්ම හිර වෙවී යටි ගිරියෙන්, අසන්නන්ගේ කන් සහ දත් හිරි වැටෙන හඬකින්, ගී කියන කුඩා කොළුවෙක්
කලින් නිර්මාණය කරන ලද ළමා චිත්‍රපට කිහිපයක්
දුර බැහැර පෙනුමැති ගමක් සහ වෙල් යායක් ( කොළඹට ආසන්නයේ වුවද කම් නැත.යාන්තම් අලියෙකුට එහා මෙහා යෑ හැකි තරමේ කුඩා කැළෑ කට්ටියක් කිට්ටුව පාත තිබේ නම් වඩාත් යෝග්‍යය. )

සාදන ක්‍රමය :

මුලින්ම කුඩා දරුවා හා දැරිය පාසැල් නිවාඩු සමයේ ඒ මේ අත දුවන දර්ශණයකින් ආරම්භ කරන්න..දුවන පනින විට කුඩා දරු දැරියන් සේරුව ඇද සරුන්ගල් කූරියා ගසන්නා සේ ඒ මේ අතට වැනෙමින් දෑත් දෙපසට විහිදුවාගෙන දුවවන්න..

(මෙවැනි දර්ශණයක් වත් ඔබේ සිතට ස්වයන් ක්‍රීයව නො එන්නේ නම් මින් පෙර ප්‍රදර්ශණය වූ "අලි පැටියෝ උඹයි මමයි", " ගොන් කෙවිට", "අප්පට සිරි ගජ සිරි" වැනි ජාත්‍යයන්තර කීර්තියට පත් මහා සිනමා නිර්මාණ කිහිපයක් නරඹන්න..එවිට කළ යුත්තේ කුමක් දැයි ඔබට මනාව වැටහෙනු ඇත...)

අහම්බෙන් දරුවාට හෝ දැරියට මුලින් සපයා ගත් අලි පැටවා මුණ ගැසෙන්නට සලස්වන්න...මෙය ආකාර කීපයකින් කල හැක..එක්කෝ අලි පැටවාගේ මවට ඉහත වට්ටෝරුවේ සිටින රෞද්‍ර වැඩිහිටියා ලවා වෙඩි තබවා හෝ පැටවා උගුලකට සිර කර සානුකම්පිත ලෙසද, නො එසේ නම් වනයේ දරුවන් පසු පස හඹා එන අලි පැටවකු ලෙස ත්‍රාසය, භීබස්‍යය රසය කැටි වූ ලෙසද කළ හැක...

( මෙවැනි දර්ශණයක්වත් සිත තුළ නූපදී නම් කරුණාකර ඉහත වරහන් තුල ඇති උපදේශය නැවත පිළිපදින්න )

ගමට වින කටින මැරයින් පිරිසකගේ නින්දිත සැලසුම් දරුවන් සහ අලියන් එක්ව ව්‍යර්ථ කරන්නට ගෙන යන අරගලයක් චිත්‍රපටයේ දේහයට යොදා ගන්න..

අවසානයේ නොයෙකුත් බාධක මැඩ දරු-අලි පෙරමුණ ජය ගන්නා ආකාරයත්, සියළු ව්‍යසනයන් දරුවන් නිම කළ පසු එහි එන වන ජීවී දෙපාර්තමේන්තුවේ හෝ පොලීසියේ උසස් නිලධරයකු දරුවන්ගේ හිස අත ගාන දර්ශණයකින් නිමා කරන්න...

රස කාරකය මිශ්‍ර කර ගන්නා ආකාරය :

මෙලෝ ගායන හැකියාවක් නොමැතිව හුස්ම අල්ල අල්ලා යටි ගිරියෙන් කෑ ගසමින් ගී ගයන ළමයා ලවා මින් පෙර නිර්මාණය කරන ලද සම ආරේ චිත්‍රපට වල එන ගීත වලට ආසන්න තනු, ගැයිය, සහිත ගීතයක් ගායනා කරවා චිත්‍රපටියට එක් කරන්න. ( ගී කියන අතර ළමයාගේ ජීවිත ආරක්ෂාව සඳහා ඔක්සිජන් ටැන්කියක් ලඟ තබා ගැනීම මැනවි )

මෙවැනි ගීත සඳහා යොදා ගන්නා පොදු වචන ලැයිස්තුව පහත පරිදිය.

ඉර, හඳ, එළිය, කැලය, පාසල් නිවාඩුව, පැන්සල්, පොත්, ගම, නුඹ, අප, පහන, ලෝකය, රෑන, රන්චුව, සමනල්, මල, මල් සුවඳ, හපන්, සමත්, නගරය.

අලෙවි කර ගන්නා ක්‍රම :

ක්‍රම සහ විධි කිහිපයක් මේ සඳහා යොදා ගත හැක.

අලි වන්සෙන් සහතිකයක් ගැනීම - රාජ්‍යය නායක කාරකාදීන්, පූජ්‍යය පක්ෂය ගෙන්වා නොම්ළේ ප්‍රදර්ශණය කර ඔවුන් ලවා රූපවාහිනි තිරයට රෙකමදාරුවක් කරවා ගැනීම සහ හැකිනම් කාලෝ, ජේ.ආර්.පී බඳු මන්ගල හෝ අවමන්ගල සභාවකදී ගුණ වර්ණනා කථා පැවැත්වීමේ දස් කම උපතින් ගෙන පැමිණි "වියතුන්" ලවා අධ්‍යක්ෂකවරයාට දණ ගසා වඳින්නට හිතෙන අන්දමේ චිත්‍රපට ගුණ කථනයක් කරවා ගැනීම.

රූපවාහිනියට පැම්ණ "අඹු සැමියන් ලෙස හැසිරීම" ( නෑ නෑ අර වැඩේ නොවේ!! ) - චිත්‍රපටය නිමවූ ඔබට හැකි නම් රූපවාහිනි නාලිකාවල ප්‍රධාන විධායකයින් වසඟයට ගෙන, ඔබේ චිත්‍රපටය සඳහා සහන මිළට ( හෝ නොම්ළේ) විකාශන කාලය ලබාගෙන, ඔබේ බිරිඳ ද රැගෙන පැමිණ දෙදෙනාම එක්වී චිත්‍රපටියේ ගුණ මාරුවෙන් මාරුවට උතුරා යන දරු සෙනෙහසින් තොඳොල් වෙමින් කියවීම හරහා චිත්‍රපට බෝලය පොඩි උන්ගේ උගුරු දණ්ඩ හරහා බැස්වීම සහ එමඟින් අම්මලා අප්පොච්චිලාට උන් ලවා බ්ලඩ් ප්‍රෙසර් නග්ගවා සිනමා ශාලා කරා කැන්දා ගෙන ඒම.
ඔක්කාර ප්‍රචාරක ක්‍රමය අනුගමනය කිරීම - " අනේ මිනිසුනේ ඕක නවත්තපල්ලා" කියා බලවත් අසහනයට පත් මහජනයා දණින් වැටී යදින තරම් වාර ගණනක්, පවුලේ අයට පමණක් නොව නිවැසි බලු, බළලුන්ට, හූනන්ට, මීයන්ට පවා වහ කදුරු ලෙස තිත්ත වෙන අයුරින් නොකඩවා, දිගින් දිගටම, විනාඩියෙන් විනාඩිය, පහන් පැයේ සිට ගොම්මන තෙක් සියළු විද්‍යුත් මාධ්‍යය හරහා එකම ගීත ඛණ්ඩය හෝ ච්ත්‍රපට දෙබස කාපට් බෝම්බ ප්‍රහාරයක් ලෙස කන් තුළට වසින්නට සැලැස්වීම.
ඉහත කී උපදෙස් මාලාව අකුරට පිළි පැදීමෙන් නිමැවෙන ඔබේ චිත්‍රපටයේ "පසු කම්පන" පහත පොදු ලක්ෂණ වලින් සමන්විත වනු ඇත.

චිත්‍රපටය සඳහා ආබාධිත හෝ ඉතා දිළිඳු දරුවන් යොදා ගත හොත් :

ප්‍රේක්ෂකයන් කඳුලැලි වගුරුවමින් දෙන අත්පොළසන් නාදය මැද ජාතික සහ අන්තර් ජාතික වේදිකා මත රුපියල්, ඩොලර්, අලුක්කාල් යනාදි මෙකී නොකී කරන්සියෙන් දෙන පියළි, දින සිය ගණන් රට පුරා සිටින ගෝ කුල දෙමාපියන් සහ දූ දරුවන් පොදි පිටින් දින ගණන් නැරඹීමෙන් කැඩෙන " පෙට්ටි කාර්යාල" වාර්තා කෙළින්ම බැන්කු ගිණුමට බැර කර ගන්නා ඔබට වායු සමනය වීම සහ තාවකාළිකව සුර ලොවට ඔසවා තැබුණ දිළිඳු හෝ ආබාධිත දරු පැටවුන් යළිත් ඔවුන් පැමිණි අනාථ නිවාස, මුඩුක්කු වතු, හෝ මහ මඟට විසිවී වැටී රිදුණු තැන් අත ගාමින් සුසුම් හෙළීම.. ( නො එසේ නම් "ස්ලම් ඩෝග්" කරණය වීම ) සහ තමන් තාවකාලිකව පියවර තැබූ සුපිරි තරු පිරිවරණ ලද, එළි බැබැළෙන, හඬ ගුගුරන, වේදිකා සිහිනෙන් දැක කඳුළින් කිලිටි දෙකොපුල් තෙමී යාම..

( මේ හැර මේ සඳහා රන්ගනයෙන් දායක වන පුන්චි පැන්චියන් එයින්ම ප්‍රසිද්ධිය, සුපිරි සිහින, සහ මිළ මුදල් වලට ලොබ බැඳ යාන්තම් කොටහළු මන්ගල්‍යය පසුවනවාත් සමඟම පාසැල් දිවියටද පා පහර දී, මෙතෙක් පෙන්වූ හැකියාවන්ත අමතරව වෙන වෙන ඒවාත් පෙන්වන්නට පටන් ගැනීමද ඔබේ බයිස්කෝප් එකේ "සයිඩ් ඉෆෙක්ට්" එකක් විය හැක. )

-
Damith James Kethaka

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails