
"යුද්දෙ නම් ඉවරයි. ඒත්.... පබා ?"
මේක මේ යුද්දෙ ඉවර වුන දවස්වල සති අන්ත පත්තරේකට පාඨකයෙක් එවුව එස්.එම්.එස්. එකක්. මේ වචන පහ, මේ රටේ කලාව නමින් කර ගෙන යන බඩගෝස්තරවාදී සෙල්ලමට දුන්න ෂෝක් කණේ පාරක්. සති අන්ත පත්තර වල "සොමි වලිග" (අතිරේක) වලින් පුම්බලා උඩ යවපු ඊනියා මෙගා ටේරන්ඩ් එක බොක්ස් ඔෆීස් වාර්තා තියමින් අල වෙමින් පච වෙමින් දිය වෙමින් යනවා. මේවට ජනප්‍රිය සංස්කෘතිය කියලා සීල් තියලා කෝට් අන්දපු න්යායාචාර්යවරු හංගලා ගහපු කොළ, මේ රටේ සාමාන්‍ය මිනිස්සු හොයා ගන්න දවසක් එනවා.
ඉන්දියාවෙන් ගෙන්වන ටෙලි, අල ගෝනියක් වෙච්ච හන්දනෙ දේශීය කර්මාන්තයක් වශයෙන් මෙගා පටන් ගත්තෙ. දැන් හරි චෝයි. එක ගෝනියක් මදිවට දැං අල ගෝනි දෙකයි. මේක නිකං හරියට ඩෙංගු කීටයා භක්ෂණයට ගෙනාව මල් පැණි බොන මදුරුවා මල් පැණි එපා වෙලා ලේ බොන්න ගත්ත වගේ වැඩක්. මේවා අස්සෙ ආට්ස්වත් කල්චර්වත් වෙන මොන මළදානයක්වත් නෑ. කොටින්ම සරලවම කියනවනම් මේ මෙගා විගඩම එවුවයේ රඟපාන එවුන්ටත් කඩයක් වෙලා ඉන්නෙ. දිගටම සල්ලි හම්බවෙන හන්දා යනවා. ඒත්, මේ ඇත්ත කතන්දර කවුරුත් කියන්නෙ නෑ. ටී.වී. මයික් එක හරි වොයිස් රෙකෝඩර් එක හරි කටට ඇල්ලූවහම මේවට සම්බන්ධ අය එක පාරටම ස්පිල්බර්ග්ලා, ඇන්ජලිනා ජොලීලා, ටොම් කෘෘස්ලා වෙනවා. "අපි හරීරීරීඊඊඊඊඊඊ කැපවීමෙන් මේව කරන්නේ!" - යන්තරයක් වගේ මෙලෝ රහක් නැති දෙබස් ගෝනියක් කියලා හවසට මැලවුනු මැගිලින් වගේ ගෙදර එනවා සෙට් එකේ ට්‍රාන්ස්පෝට් එකේ.
එAත්, බලන් ඉන්න අය අපි නොලබන පබා ලබන අමුතු සතුට හොයාගන්න දිගටම කට ඇරගෙන හැමදාම රාත්තිරියෙ ටී.වී. ඉස්සරහා මුර කරනවා- සති අග සොමි වලිග, මල් පත්තර, පිලා කටු (කලා පිටු) පීර පීර මේවා හොයනවා. අන්තිමට කාටවත් මොකුත් හම්බවෙන්නෙත් නෑ. (නොහොත් හම්බ වෙන්න දෙයක් තිබිලත් නෑ.) එහෙම හම්බ නොවෙන බව තේරෙනවනම්, අන්න එතන ඉඳන් හිතන්න පටන් ගන්න පුළුවන් උවමනාවක් තියන කෙනෙකුට.
දන්න එවුං දන්නවා මේවයෙ ස්ක්‍රිප්ට් එක (ටෙලි තිර පිටපත) ලියන්නෙ ෂූට් එක දවසෙ උදේ හෝ කලින් දා රෑ. පිටපත් රචකයා සහාය අධ්‍යක්ෂකගෙන් කෝල් කරලා අහනවා මචං හෙට ෂූට් එකට එන්නෙ කොයි කොයි චරිතද කියලා. කවුරුහරි නළුවෙක් එදාට සිමෙන්ති ගේන්න යනව නම් හරි නිළියෙකුගෙ දුර පළාතක නෑයෙක් පරලෝකප්රාප්ත වෙලානම් හරි ඒ අයගෙ කොටස් නැතුව තමා ස්ක්‍රිප්ට් එක ලියවෙන්නෙ. උදේම බලද්දි අහස කළුකරල නම්, ඕං වැස්ස සීන් එකක් ඔබනවා. ප්‍රධාන නළුවා- කොල්ලා සෙට් එකේ වලියක් දා ගෙන තරහා වෙලා ගියාම ටෙලියේ කෙල්ල ට වෙන කොල්ලෙක් බහින්න ගන්නවා. හැබැයි කෙල්ල හා කියන්නෙ නෑ. හා කියන්නෙ නැත්තෙ වෙන එකක් හින්දා නෙමේ අර සෙට් එකේ එවුන්ට නෙලලා ගිය නළුවා ආයෙ එයිද බලන්න කල් ගන්න. අන්තිමට කාලයක් ගිහින් හන්ටර් වුනහම ඌ එනවා. දැන් අර තුන් වැනි නළුවා හැලෙනවා. සවුදි බලා යමින් තිබ්බ ස්ක්‍රිප්ට් එක ඩුබායි වලට හරෝනවා. අනේ දෙය්යො බලලා ආයෙමත්, කතාව දැහැමෙන් සෙමෙන් ගලාගෙන ගලාගෙන යනවා. ප්‍රේක්ෂකයා දන්නේත් නෑ- මකුණො කකා බලං ඉන්නවා. ඇඩ් යද්දි ඇහැ පියවෙලා, "විරාමයෙන් පසු නැවතත්" කියද්දි ගැස්සිලා ඇහැරිලා බලන් ඉන්නවා.
සමහර නිළියෝ මේ කුඩා බඩවැල වගේ ඇදෙන ටෙලි ඇණය ඇනිලා මානසික අවපීඩනයට ලක් වෙලා ටෙලියෙන් සදහටම සමුගන්නවා. ඔන්න පිංවතුනි, ස්ක්‍රිප්ට් රයිටර් වහාම කෙල්ලව ඇක්සිඩන්ට් කරෝලා සති කීපයක් පිටරට යවනවා. මේ අතර වෙන නිළියෙක් සෙට් වෙනවා වේකන්සියට. අර කලින් නිළිය සුදුයි. අළුත් කෙනා ඩිංගක් කළුයි. කමක් නෑ කමක් නෑ පිංවත අර රට ගිය චරිතය ප්ලාස්ටික් සර්ජරියක් කරගෙන ලංකාවට එන නිසා දුක් වෙන්ට කාරි නෑ. ප්‍රේක්ෂකයෝ බලන් ඉන්නවා. මොකුත් වෙලා නෑ. දැන් ආයෙත් කතාව කලින් වගේම අළුත් ප්ලාස්ටික් නිළිය සමග ගලා ගෙන ගලා ගෙන යනවා. ඔන්න බලන්ට පිංවත, මේ සසරත් මෙගා ටෙලි නාට්‍යයක් වගේ. (හාමුදුරුවරු මේ උපමා දන්නෙත් නෑ. ගන්නෙත් නෑ.)
ටෙලිවිෂන් මාලා නාටකවල මුල සෝප් ඔපෙරා. මේක ටෙලිවිෂන් ආව මුල් කාලෙ ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බ්ල්, ලිවර් බ්‍රදර්ස් වගේ සබන් වෙළෙන්ඳො උන්ගෙ සබං (සෝප්) විකුණගන්න ගහපු වෙළඳ ගැටයක්. අද වගේම එදත් උන්ගෙ ටාගට් ඕඩියන්ස් එක ගෘහණියෝ. මුලදි වැඩේ ගියේ සතියේ දවස් වල දවල්ට විකාශනය වුන රේඩියෝ ඩ්‍රාමා විදිහට. පස්සෙ තමා ටී.වී. එකට බෝ වුනේ. එක කතන්දරයක් ඇතුළෙ අගක් මුලක් නැති කතන්දර කීපයක් පැටලවීම, ඒ එක කතාවක්වත් එකවර ඉවර නොකිරීම, අනුග්රාහකයන්ගේ වෙළඳ නිෂ්පාදන හෝ සේවා ප්‍රවර්ධනය වෙන විදිහට ස්ටෝරිලයින් එක ලිවීම, එක එපිසෝඩ් එකක් ඉවර වෙද්දි ඊගාව එපිසෝඩ් එකෙන් පිළිතුරු ලැඛෙයි කියලා හිතෙන කෘතිම කුතුහලයක් මැවීම වගේ ලක්ෂණ තමා මේවයේ තිබුණෙ.
ඉතිං පිංවතුනි, මූලයේ ඉඳලම මේක වෙළඳ ව්‍යාපාරයක්. අන්තර්ගතය, ආකෘතිය සහ අරමුණ කියන තුනම සේවය කරන්නෙ ස්පොන්සර් කරන වෙළෙන්ඳට. ඔය මේ සොමි වලිග වලින්, චැට් ඇන්ඩ් මියුසික් වලින්, සති අග සල්ලාප වලින් උත්කර්ෂයට නංවන විදිහෙ මාර කලාවක් මේවයෙ නෑ. මෙහේ අය කරපු සෝප් ඔපෙරාවලින් රක්ෂණ සමාගම් ස්පොන්සර් කෙරුව ඒවා මතක් කරගන්න පුළුවන්නම් මේක තේරෙනවා. පවුල තුළ ඇති අනවරත අවදානම නැවත නැවත අවධාරණය කරන එක, ටෙලිය බලලා බය වෙන මැට්ටන්ට රක්ෂණ ඔප්පු විකුණගන්න එක තමා ගේම.
මේ වෙද්දි, එක වෙළෙන්ෙඳක් ප්‍රමෝට් කරපු යුගය ඉවරයි. කොටින්ම, ටෙලිය මැද්දෙ ඇඩ් බලනවද නැත්නම් ඇඩ් මැද්දෙ ටෙලිය බලනවද කියල හොයාගන්න බැරි වෙන තරමට වෙළෙන්ඳො. ටෙලිය නොමිලෙ බලනවා වගේ හිතුනට, පහුවදාට බඩු ගන්න කඩේට ගියහම කලින්දා ටෙලිය අස්සෙ බලපු ඇඩ් වැඩට බහිනවා. අන්න ඔයා එතකොට අහවල් බඩුව අහවල් නමින්ම (බ්‍රෑන්ඩ් නේම් එකෙන්ම) ඉල්ලනවා. ඔයා දන්නෙත් නෑ හැබැයි ඔයාට බඩුම තමා. මේ ක්‍රමය අස්සෙ ඔයා, විශාල යන්ත්‍රයක් අස්සෙ ඇඹරි ඇඹරි තමන්ගෙ සාරය මිරිකලා යවන උක් දණ්ඩක් විතරයි. ඒක ටී.වී. එක ඉස්සරහ ඉන්න ඔයාට, ටී.වී. එකේ ඉන්න පබාට මර්වින්ට සරාට, උංගෙ පිටිපස්සෙ සෙට් එකේ ඉන්න එවුංට, මේවා ජෝක් කරලා ලියලා අච්චු ගස්සවන මට කියන මේ හැමෝටම පොදුයි.
මේ යන්ත්‍රය අස්සෙ ඇඹරිලා රොඩ්ඩක් වෙලා එළියට විසික් වීමේ ඉරණම නිවැරදිව තේරුම් ගැනීමයි වැදගත්ම දේ. එම තේරුම් ගැනීමම තමා මේ යන්ත්‍රයට අභියෝග කරලා ඒක කුඩුපට්ටම් කරලා දැමීමේ ආරම්භය වෙන්නෙ.
-කූඹියා-
200908
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook