Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

|


ගාමිණී හත්තෙට්ටුවේගමයන්ගේ අභාවය නිසා නොවැම්බර් 01වන දින, සවස 03ට යොදගෙන තිබූ කවිය කම්බස් කාව්‍ය ග්‍රන්ථය එළි දැක්වීම කල් දැමීමට සිදු වූ අතර එම ග්‍රන්ථය
නොවැම්බර් 8 වන දින, සවස 03ට

ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


විකාර සිහිනයක්

"ප්රේමයයි..ගැහැණුයි..
විතරමයි...
උඹේ කවි
හරිම වියළියි.."
- මිතුරෙක්

සැබෑය මිතුර
ඔබෙ බස

පිස දමා
මොහොතකට
මතකයේ
කළු දුඹුල්
දිය සෙවෙල..
ඇලවුණෙමි
ඇස් පියා
යහන මත
............

හීතල රැයක
අඩ අඳුරු කුටියක
තනිව..
දාස් කැපිටාල් පොතේ
පිටු අතර
හංගන්..
මාක්ස් ලියයි
කොමළඟනකට
හසුනක්...!

"කැරලිකාරයා"
ලියන ගමන්..
බීර බඳුනක
බුබුළු මැද
කැමූගේ හිතේ
ලියලයි
ලොලිටාවක ගැන
සිහිනයක්...!

අනෝරා වැහි වැටෙන
හැන්දෑවක
මෑත් කළ විට
පයිප්පය දෙතොලගින්..
නතර වෙයි
අයින්ස්ටයින්ගේ හිත..
මැරිලින් මොන් රෝ ගේ
පයෝධර තුඩු
අද්දර...!

රසික ජයකොඩි
311009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


පැල්රකින කාරිය

කෙලවර ඉඩෝරය
වැසි පල ලැබෙන වාරය
බිම් කොටා හමාරය
දැන් බිජු ඉසින මාසය

අපට දැඩි වෙහෙසය
දඬු මැසි බැඳිය නොහැකිය
නුඹෙ දෑත් ය දඬු ය
හේනට කෙතට පුරුදුය

පොළොව සරු සාරය
බිරියන් වැඩට සූරය
පලදාව නිසැකය
ගොවියනි දිනුම සිකුරුය

නිරි සතුන් බහුලය
ඉනිවැට බිඳිනු ලෙහෙසිය
වල් අලින් දරුණුය
ගිනිමැල ගැසිය යුතුමය

නොබලා මාන්සිය
දරුවනි උදවු දීපිය
අපට ඇත ප්රීතිය
නුඹලාට සියලු වාසිය

බොහෝ සේ නුදුරුය
අස්වනු පැසෙන කාලය
පැල්රකින කාරිය
කවියනි තොපට බාරය..!

කඳුළු මිටියාවතින් -දර්ශන මේදිස් (1992)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මහ රජා
මහ ජරා
කාකු බෙටි
මුව පුරා
පුරවරා පුරවරා
පිරිවරා පිරිවරා
ධූලි රැස් පිරිවරා

සර්කරා
කල් කදුරු
රසකරා
සරා රූ
සොර සොරා
පුර පුරා
බිඳ හැරා
විරුවරා
විලි හැරා

සොර සොරා
වත පුරා
වෙස් හැරා
යම පෙරා
බලි හැරා

ජන පුරා
නිදි හැරා
මහ රජා
ගවසරා

බලව්
විගඩම්
මෙසේ....

(කිරි මාමා විසිනි)


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හත්තොට්ටුවේගම ගේ වීදි නා‍ට්‍ය දේශපාලනික බවින් පිරී තිබුණේ අපේ මනස අවදි කරවමිනි. පාදඩ සමාජයක නිරුවත ඔහු අපූරුවට වීදිය මත හෙලිදරවු කළේය. එසේම හුදු සිනහව ම පමණක් ජීවිතය නොවන බව ඔහු අපට පෙන්වා දුන්නේය. එසේම පරාජය තාවකාලික බවත් යළි නැඟී සිටීමට අවස්ථා තිබෙනා බවත් ඔහු 'අමු අමුවේ' ගීතය තුළින් යළි යළි අපට සිහිපත් කළේය.

ඉදින් බොහෝ කලකට පසුව පසුගිය සැප්තැම්බරයේ [ 2008 ] මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ වැඩකරන ජනතා කලා උළෙල එනම් 'දහදිය සිත්තමේ' සමාප්ති උළෙල දා මම අපේ ආදරය දිනූ 'හතා' ඔහුට පිරිනැමූ සම්මානය භාර ගැනීම සඳහා දුබල පියවරින් වේදිකාවට නඟින අයුරු සසල වූ හදින් බලා සිටියෙමි. ‍තවෙකකුගේ වාරුවෙන් වේදිකාවට ගොඩ වූ ඔහු සම්මානය පිරිනමනු ලැබීමෙන් අනතුරුව වදන් කිහිපයක් ප්‍රකාශ කිරීමට ඇවැසි බැව් දුබල හඩින්ම පැවසීය. අපි නිහඩව ඔහු දෙස බලා සිටියෙමු. එදා එම වේදිකාව මත හුන් දුබල මිනිසා පරයා අසූව දශකයේ අපට ජවය දුන් 'හතා' යළි අයෝමය මිනිසෙකු සේ නැඟී සිටින අයුරු අපට දක්නට ලැබිණි. වදනින් වදන සවිමත්ව නැඟුණ හඩ අවසන 'අමු අමුවේ' ගීතය ගැයූ මොහොතේ දී සිය අලුත් කණ්ඩායමේ සාමාජිකයකු ගේ ද හඩ පරයා නැඟුණේ අප දෑස් වේදිකාව මත ගල් කරවමිනි. ඔහු එදා වේදිකාව මත යළිත් වරක් ඔප්පු කළ දෙයක් තිබිණි‍. ඒ තමා පරාජය කළ නොහැකි මිනිසෙකු බවයි.

'දහදිය සිත්තම' සම්මාන ප්‍රදානයෙන් පසුව හතා වේදිකාවෙන් බසිද්දී මගේ සිතට නැඟුණේ සුගතපාල ද සිල්වා ගේ අවමංගල්‍යදා ලංකාවේ ප්‍රකට රංගධරයකු සිනමාකරුවකු ඉතිහාසඥයකු ආදී වශයෙන් විවිධ භූමිකා දරනා පුදගලයකු විසින් කරන ලද ප්‍රකාශය යි.

සුගත් අයියා අපිව අරන් දිග ගමනක් යන්න උත්සාහ කළා‍‍. ඒත් අපි මඟ නැවතුණා. සුගත් අයියා ඉස්සරහට ගියා.

එම කියමන ගාමිණි හත්තොටුවේගම නම් වූ නිර්මා‍ණකරුවා පිළිබඳව එලෙසින්ම අදාළය. ඔහු සමග අත්වැල් බැඳගෙන ගොස් මඟින් ගමන හැරදා වෙන වෙන මංවල ගිය උදවිය බො‍හෝය. එහෙත් හතා තවමත් ඉදිරිය බලා ගමනේය. නොසැලී නොවැටී ගමනේය. මඟින් බැසගිය උදවිය අප තුළ හැඟුම් දැනවීමට අද අසමත්ය. එහෙත් හතා පිළිබඳ ආදරයෙන් අදත් අපේ හදවත් පිරී තිබෙයි.

අප ඔහුට සිරස නමන්නේ එහෙයිනි.

-චූලානන්ද සමරනායක
ලංකා පත්තරේ [30-11-2008] සඳකඩ පහනින්


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හතාගේ නික්ම යාම සහ ඉන් පසු

හතාගේ ලංකාව තුල කරන ලද උත්සාහය අනෙක් පරම්පරාවට එකතු කිරීම සදහා වැඩ පිලිවෙලක් නොවීය. මෙය ලංකාවේ අභ්‍ාග්‍යමත්ව දිනපතා සිදුවන දෙයකි. මෙකී වයස් වල සිටින යම් විකල්ප ධාරවේ රටෙන් සමුගන්නා පුද්ගලයින් සමුගන්නේ ඔවුන් විසින් සමාජයට එකතු කරන ලද දේවල් ද මරණයට පත් කරවමිනි. මේවා සංරක්ෂණයට වැඩපිලිවෙලක් නැත. කිසිවෙක් මේ ගැන සිතන්නේ නැත. ඔවුන්ගේ නිර්මානයන් යනු ඔවුන්ගේ නිෂ්පාදනයන් හෝ ධාරාව නොව එහි ඵලයන්ය.

දැනට වසර කිහිපයකට පෙර විශ්වවිද්‍යාලයීය ගැටුම් අවස්තාවක මා දින කිහිපයක් හත්තෙට්ටුවේගම සර්ගේ පිංවත්ත නවාතැනේ ජීවත් වූයෙමි. එවකට මා සරසවි සිසුවෙකු නිසා මා හට එදිනෙදා ජීවත්වීම සදහා මුදල් නොවීය. විහ්වවිද්‍යාලය වසා දමා ඇති සමයක මේ ගැටළුවට සිසුන් මුහුණ දේ. අප හට යම් දින වල රාත්‍රී කෑම පිලිබද මුදල් ප්‍රශ්න විය. සර්ට ද එය එසේම විය. එවිට පැරණි කුඩා බූමිතෙල් ලිපකින් පිලියෙල කරගත් බත් සහ එක එළවළුවක් අපේ ආහාරය විය.

මා කිසික් නොදන්නා කලෙක තනිවම ඉවීමට උගත්තේ ඒ දින කිහිපයේදීය.

ඔහුගේ ජීවිතය හා දර්ශනය හා භාවිතය පිලිබද මට වඩා දන්නා අය හා ලියන ලියූ ලිවීමට ඇති අය බොහෝ ඇතයි මා විශ්වාස කරමි. ඒ නිසා ඒ පිලිබද කිසිවක් නොලියමි.

නාට්‍ය කලාවේ විකල්පයන් පිලිබදව මහත් ආශ්වාදයක් ඔහුගේ නිර්මාන වල තිබුණි. විශේෂයෙන්ම වීදිනාට්‍ය ගීත එහි උච්චතම ප්‍රකාශනයන් විය.

මෙවැනි කලා මරණ ලංකාවේ තවත් සිදුවනු ඇත. මෙවැනි මෝඩ ලිවීම් ද ඒ සමග සිදුවනු ඇත. මෙම මරණයන් හා එවැනි ලිවීම් යන ද්විත්වයම මරණයට පත් දේවල් බවට පත්වේ. ඉන් කිසිවක් සිදු වන්නේ නැත. මරණ පොතට තවත් නමක් දාගැනීම පමණි ඉන් සිදු වන්නේ. ඒ දිනවල ලිවීමෙන් හා පුවත්පත් පිටු වෙබ් පිටු , ගුවන්විදුලි ඉඩ හා රූපවාහිනී ඉඩ තුල සිදුවන්නේ මරණය සමාජීයව ලියාපදිංචි කිරීම පමණි..

ජීවත්වන අවශ්‍ය කලාකරුවන් සෙවීමට ඔවුන්ගේ නිර්මාන සංරක්ෂණයට හා ඔවුන්ගේ ධාරාවේ පැවැත්මට යම් දෙයක් සිදු කල යුතු වේ. මෙවන් මරණයන් අප හට අවධාරණය කරන්නේ එම ධාරාවන්හි සමාජීය මරණය නිසා එය සජීවීව ආරක්ෂා කරගැනීමේ වගකීමක අප වන්නෙමු.

-සංජීව සේනාරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

-අද වස්ත්‍රන්ත්‍ර රාජ පුතා-

අද වස්ත්‍රන්ත්‍ර රාජ පුතා
දේවෝපකාර ලබා
එකී මෙකී නොකී ජුකී.....
ෂික් ෂැක් ෂක්....

රට වැස්...(අතින් කට වසා)
රට වැස්සන්ගේ කාලෙ හොඳා
දුර්භික්ෂ යාය සිඳී....
දිව්‍යලෝකෙ සලූව ඇඳන්
ලලා ලලා ලා....

මෙකී නොකී කතා බතා
පැතිරෙන මේ කාලයේ....//

ඇත්ත නැත්ත මොකා වුනත්...
අත් පත් වේවා සෙත
අත් පත් වේවා..
අද වස්ත්‍රන්ත්‍ර රාජ පුතා
දේවෝපකාර ලබා
එකී මෙකී නොකී ජුකී.....
ෂිප් ෂැප් ෂග්....



හතාගේ (ගාමිණී හත්තොටුවේගම*) විවෘත වීදි නාට්‍ය රංගයකිනි.
(උපුටනය - අභිනය 9 කලාපය)

*හතා අවසන් ගමන් යයි
-ගාමිණී හත්තෙට්ටුවේගම මහතා අද උදෑසන අභාවප්රාප්ත විය. පසුගිය කාලයේ දැඩි සේ
රෝගාතුරව සිටි හත්තෙට්ටුවේගම මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී අද
උදෑසන අභාවප්රාප්ත වී ඇත.
[-LankaTruth 30.10.2009]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


උපන් බිමේ සිට...
නාඳුනන සුළං රැළි දිව ඇවිත් ඔබ ළඟට
නාඳුනන සීතලෙන් දෙකම්මුල් වසන විට..
දුර ඈත දේශයක නම නොදත් නගරයක
පුරුදු සෙවණැලි සොයා ඔබේ සිත දිවෙනු ඇත.

අඳුර හූමිටි තියන හුදෙකලා රෑ කලක
පිළිසිඳුණ සිහිනයක ඔබේ කටහඬ ඇසෙත..
බරැති හුස්මක් හෙළා ඇසේ නිදි ගැට බිඳැ'ර
තවත් කවි පෙළක මම දිග හරිමි මගේ හද..

උසැති එක්ටැම් ගෙයක කවුළු දොර පියන හැර
කුරා කුහුඹුවන් සේ දිවෙන මිනිසුන් අතර..
වීදි ගං ඉවුරු දිග වෙහෙසවා නිල් නයන
මැකී යන අවතාර යළිත් ඔබ සොයනු ඇත..

ගිම්හානයෙන් දැවෙන මලක් නොපිපෙන බිමක..
ගහකොළද ඇටකටුව හඬා වැළපෙන බිමක..
එදා මෙන් යළිත් හමුවන දිනක් නොම දැනම
දේශ සීමා නොදත් ප්රේමයක් රකිමි මම..

රසික ජයකොඩි
281009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මං මුලාවේ මග


”මැයි මාර ගස්
හන්දියෙන්
වමට හැරී
මැයි මල් තොරන යටින්
රළුගල් පොලොව මතින්
ලැටිස් ගහපු
ගෙදර හිටිය"
”සුහදිනී’”
සොයාගිය
මග මගහැර
”කොකා කෝලා
වටරවුමෙන්
දකුනට හැරී
ලේන් එක නම් ත්ර්ඞ්
පාර නම් හරි ෂෝක්
නම්බර් 977
ලොකු ගේට් එකක්
තියෙන අප්ස්ටෙයා
හව්ස් එකේ
”විරාජනී”සොයා ගොස්
ගමන අරඹා
බොහෝ දුරදිග ගොස්
බොහෝ කලකට පසුව
හැඟිනි මෙය නම්
මුලාවේ මගම බව
යලි හැරි
රතු මැයි මාර ගස්
හන්දියෙන් ඇරඹුන
මග සොයා ගියෙමි
හරිමග එමග බව දැන
එහෙත්
නොතිබුනි එදා තිබු
තුඟු වනස්පති
බඳු මැයි ගස්
පුවරුවක් විය මැයි ගසක
රුව රැගත් මේසේ සදහන්

”මැයි මාර ස්ටේට්හි
තෙවන අදියරෙහි බිම් කොටස්
75% විකිනී අවසන්
නොපමාව ඔබේ බිම් කොටස
අදම වෙන්කර ගන්න"

ජානක සුසන්ත
281009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබට ළමා චිත්‍රපටයක් සෑදීමට අවශ්‍යයද?...

ඉතා පහසුවෙන් ඔබට සම්මානනීය ළමා චිත්‍රපටයක් සාදා ගැනීමට මෙන්න මග...

අවශ්‍යය දෑ :

වයස 7-10 අතර තල එලලු කෙසඟ සිරුරැති දරුවෙක් සහ දැරියක්
වයස 3-7 අතර අලි පැටියෙක්
රෞද්‍ර පෙනුමැති උඩු රැවුල් සහිත වැඩිහිටියෙක්
වැදගත් පෙනුමැති මහත්මයෙක්
හුස්ම හිර වෙවී යටි ගිරියෙන්, අසන්නන්ගේ කන් සහ දත් හිරි වැටෙන හඬකින්, ගී කියන කුඩා කොළුවෙක්
කලින් නිර්මාණය කරන ලද ළමා චිත්‍රපට කිහිපයක්
දුර බැහැර පෙනුමැති ගමක් සහ වෙල් යායක් ( කොළඹට ආසන්නයේ වුවද කම් නැත.යාන්තම් අලියෙකුට එහා මෙහා යෑ හැකි තරමේ කුඩා කැළෑ කට්ටියක් කිට්ටුව පාත තිබේ නම් වඩාත් යෝග්‍යය. )

සාදන ක්‍රමය :

මුලින්ම කුඩා දරුවා හා දැරිය පාසැල් නිවාඩු සමයේ ඒ මේ අත දුවන දර්ශණයකින් ආරම්භ කරන්න..දුවන පනින විට කුඩා දරු දැරියන් සේරුව ඇද සරුන්ගල් කූරියා ගසන්නා සේ ඒ මේ අතට වැනෙමින් දෑත් දෙපසට විහිදුවාගෙන දුවවන්න..

(මෙවැනි දර්ශණයක් වත් ඔබේ සිතට ස්වයන් ක්‍රීයව නො එන්නේ නම් මින් පෙර ප්‍රදර්ශණය වූ "අලි පැටියෝ උඹයි මමයි", " ගොන් කෙවිට", "අප්පට සිරි ගජ සිරි" වැනි ජාත්‍යයන්තර කීර්තියට පත් මහා සිනමා නිර්මාණ කිහිපයක් නරඹන්න..එවිට කළ යුත්තේ කුමක් දැයි ඔබට මනාව වැටහෙනු ඇත...)

අහම්බෙන් දරුවාට හෝ දැරියට මුලින් සපයා ගත් අලි පැටවා මුණ ගැසෙන්නට සලස්වන්න...මෙය ආකාර කීපයකින් කල හැක..එක්කෝ අලි පැටවාගේ මවට ඉහත වට්ටෝරුවේ සිටින රෞද්‍ර වැඩිහිටියා ලවා වෙඩි තබවා හෝ පැටවා උගුලකට සිර කර සානුකම්පිත ලෙසද, නො එසේ නම් වනයේ දරුවන් පසු පස හඹා එන අලි පැටවකු ලෙස ත්‍රාසය, භීබස්‍යය රසය කැටි වූ ලෙසද කළ හැක...

( මෙවැනි දර්ශණයක්වත් සිත තුළ නූපදී නම් කරුණාකර ඉහත වරහන් තුල ඇති උපදේශය නැවත පිළිපදින්න )

ගමට වින කටින මැරයින් පිරිසකගේ නින්දිත සැලසුම් දරුවන් සහ අලියන් එක්ව ව්‍යර්ථ කරන්නට ගෙන යන අරගලයක් චිත්‍රපටයේ දේහයට යොදා ගන්න..

අවසානයේ නොයෙකුත් බාධක මැඩ දරු-අලි පෙරමුණ ජය ගන්නා ආකාරයත්, සියළු ව්‍යසනයන් දරුවන් නිම කළ පසු එහි එන වන ජීවී දෙපාර්තමේන්තුවේ හෝ පොලීසියේ උසස් නිලධරයකු දරුවන්ගේ හිස අත ගාන දර්ශණයකින් නිමා කරන්න...

රස කාරකය මිශ්‍ර කර ගන්නා ආකාරය :

මෙලෝ ගායන හැකියාවක් නොමැතිව හුස්ම අල්ල අල්ලා යටි ගිරියෙන් කෑ ගසමින් ගී ගයන ළමයා ලවා මින් පෙර නිර්මාණය කරන ලද සම ආරේ චිත්‍රපට වල එන ගීත වලට ආසන්න තනු, ගැයිය, සහිත ගීතයක් ගායනා කරවා චිත්‍රපටියට එක් කරන්න. ( ගී කියන අතර ළමයාගේ ජීවිත ආරක්ෂාව සඳහා ඔක්සිජන් ටැන්කියක් ලඟ තබා ගැනීම මැනවි )

මෙවැනි ගීත සඳහා යොදා ගන්නා පොදු වචන ලැයිස්තුව පහත පරිදිය.

ඉර, හඳ, එළිය, කැලය, පාසල් නිවාඩුව, පැන්සල්, පොත්, ගම, නුඹ, අප, පහන, ලෝකය, රෑන, රන්චුව, සමනල්, මල, මල් සුවඳ, හපන්, සමත්, නගරය.

අලෙවි කර ගන්නා ක්‍රම :

ක්‍රම සහ විධි කිහිපයක් මේ සඳහා යොදා ගත හැක.

අලි වන්සෙන් සහතිකයක් ගැනීම - රාජ්‍යය නායක කාරකාදීන්, පූජ්‍යය පක්ෂය ගෙන්වා නොම්ළේ ප්‍රදර්ශණය කර ඔවුන් ලවා රූපවාහිනි තිරයට රෙකමදාරුවක් කරවා ගැනීම සහ හැකිනම් කාලෝ, ජේ.ආර්.පී බඳු මන්ගල හෝ අවමන්ගල සභාවකදී ගුණ වර්ණනා කථා පැවැත්වීමේ දස් කම උපතින් ගෙන පැමිණි "වියතුන්" ලවා අධ්‍යක්ෂකවරයාට දණ ගසා වඳින්නට හිතෙන අන්දමේ චිත්‍රපට ගුණ කථනයක් කරවා ගැනීම.

රූපවාහිනියට පැම්ණ "අඹු සැමියන් ලෙස හැසිරීම" ( නෑ නෑ අර වැඩේ නොවේ!! ) - චිත්‍රපටය නිමවූ ඔබට හැකි නම් රූපවාහිනි නාලිකාවල ප්‍රධාන විධායකයින් වසඟයට ගෙන, ඔබේ චිත්‍රපටය සඳහා සහන මිළට ( හෝ නොම්ළේ) විකාශන කාලය ලබාගෙන, ඔබේ බිරිඳ ද රැගෙන පැමිණ දෙදෙනාම එක්වී චිත්‍රපටියේ ගුණ මාරුවෙන් මාරුවට උතුරා යන දරු සෙනෙහසින් තොඳොල් වෙමින් කියවීම හරහා චිත්‍රපට බෝලය පොඩි උන්ගේ උගුරු දණ්ඩ හරහා බැස්වීම සහ එමඟින් අම්මලා අප්පොච්චිලාට උන් ලවා බ්ලඩ් ප්‍රෙසර් නග්ගවා සිනමා ශාලා කරා කැන්දා ගෙන ඒම.
ඔක්කාර ප්‍රචාරක ක්‍රමය අනුගමනය කිරීම - " අනේ මිනිසුනේ ඕක නවත්තපල්ලා" කියා බලවත් අසහනයට පත් මහජනයා දණින් වැටී යදින තරම් වාර ගණනක්, පවුලේ අයට පමණක් නොව නිවැසි බලු, බළලුන්ට, හූනන්ට, මීයන්ට පවා වහ කදුරු ලෙස තිත්ත වෙන අයුරින් නොකඩවා, දිගින් දිගටම, විනාඩියෙන් විනාඩිය, පහන් පැයේ සිට ගොම්මන තෙක් සියළු විද්‍යුත් මාධ්‍යය හරහා එකම ගීත ඛණ්ඩය හෝ ච්ත්‍රපට දෙබස කාපට් බෝම්බ ප්‍රහාරයක් ලෙස කන් තුළට වසින්නට සැලැස්වීම.
ඉහත කී උපදෙස් මාලාව අකුරට පිළි පැදීමෙන් නිමැවෙන ඔබේ චිත්‍රපටයේ "පසු කම්පන" පහත පොදු ලක්ෂණ වලින් සමන්විත වනු ඇත.

චිත්‍රපටය සඳහා ආබාධිත හෝ ඉතා දිළිඳු දරුවන් යොදා ගත හොත් :

ප්‍රේක්ෂකයන් කඳුලැලි වගුරුවමින් දෙන අත්පොළසන් නාදය මැද ජාතික සහ අන්තර් ජාතික වේදිකා මත රුපියල්, ඩොලර්, අලුක්කාල් යනාදි මෙකී නොකී කරන්සියෙන් දෙන පියළි, දින සිය ගණන් රට පුරා සිටින ගෝ කුල දෙමාපියන් සහ දූ දරුවන් පොදි පිටින් දින ගණන් නැරඹීමෙන් කැඩෙන " පෙට්ටි කාර්යාල" වාර්තා කෙළින්ම බැන්කු ගිණුමට බැර කර ගන්නා ඔබට වායු සමනය වීම සහ තාවකාළිකව සුර ලොවට ඔසවා තැබුණ දිළිඳු හෝ ආබාධිත දරු පැටවුන් යළිත් ඔවුන් පැමිණි අනාථ නිවාස, මුඩුක්කු වතු, හෝ මහ මඟට විසිවී වැටී රිදුණු තැන් අත ගාමින් සුසුම් හෙළීම.. ( නො එසේ නම් "ස්ලම් ඩෝග්" කරණය වීම ) සහ තමන් තාවකාලිකව පියවර තැබූ සුපිරි තරු පිරිවරණ ලද, එළි බැබැළෙන, හඬ ගුගුරන, වේදිකා සිහිනෙන් දැක කඳුළින් කිලිටි දෙකොපුල් තෙමී යාම..

( මේ හැර මේ සඳහා රන්ගනයෙන් දායක වන පුන්චි පැන්චියන් එයින්ම ප්‍රසිද්ධිය, සුපිරි සිහින, සහ මිළ මුදල් වලට ලොබ බැඳ යාන්තම් කොටහළු මන්ගල්‍යය පසුවනවාත් සමඟම පාසැල් දිවියටද පා පහර දී, මෙතෙක් පෙන්වූ හැකියාවන්ත අමතරව වෙන වෙන ඒවාත් පෙන්වන්නට පටන් ගැනීමද ඔබේ බයිස්කෝප් එකේ "සයිඩ් ඉෆෙක්ට්" එකක් විය හැක. )

-
Damith James Kethaka

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සෙල්ලං කිරිල්ලී

“දෙකම බලනව ද?”
“නෑ අබා විතරයි... අනික ළමයි එක්ක බලන්න බෑනෙ...!”
“හොඳ කෑලි තියෙනවනෙ. මං තුන් සැරේකට බැළුව.”
“සම්මාන හම්බවුන එකක් නේද...?”
“මෙහෙ අය ඔය වගෙ කෑලි තියෙන ඒවටනෙ සම්මාන දෙන්නෙ. ඔය ෆෙන්ච් චැනල් වල එහෙම යන එව්ව...”
“ඒකද තුන් පාරක් බැළුවෙ...?”
“පොඩි අයට හොඳ නෑ, අපට බලන්ඩ කෑලි තියෙනවනෙ..!”

ගිය සෙනසුරාදා ‍‍ෙටාරොන්ටෝ වල අබා බලන්න පෝලිමේ ඉඳිද්දී දහදෙනෙකුටත් අඩුවෙන් නැරඹූ “සුළං කිරිල්ලී” ගැන කණට වැටුණු කතා බහක්...

කලාපේ, පෙට්ටි කාමර වල හීන සළු වියන අපේ කෙල්ලන්ගේ ජීවිතවල හෙළුව ඇස් ඉස්සරහ එල්ලා පෙන්නුවත් මේ පලඟැටියාට පෙනුනේ දමිතා අබේරත්නගේ ඇඟපතේ ගින්දර මිස පැයක් දෙකක් තිස්සේ කියන්න දඟලන ජීවන ව‍්‍යසනයවත් ඒ පිටු පස්සෙන් ඇ‍විලෙන ගින්දරවත් නොවෙයි.

ඕනෑ එකා බලන්නේ ඕනෑ එකයි.

අනුන්ගේ ගින්දර වලින් මෝල් ගස් රත් කරගන්නවා මිස වෙන මොන උලව්වක් වත් කරන්නට උන්ට උවමනාවක් නැත.

-රන්සිරිමල් ප්‍රනාන්දු
200910

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


වැව රවුමක මතකය

ඉඳහිට දිනක යනවිට..
වැව රවුම පසුකොට
තවමත් හැරී බලනෙමි..
දෑස දල්වා වටපිට..

වැව්දිය තලය මත
සිනාසෙන දියරැළි ළඟ
තවමත් එදා වාගෙම
ගොළුවත රකිනුදැයි සීතල...

වැහි මන්දාරමක
ඈඳිගෙන තුරු හෙවනක..
ගිම් නිවනවාදැයි තාමත්
ගිම්හානයේ හැන්දෑව..

අත ඇඟිලි සිප නොගෙනම
බිමට හරවා ඇස් මුකුලිතව..
නන්නාන්දුනන ලොවකට
යන්ට සැරසෙනුදැයි සුළඟ..

වීදියේ දූවිලි යට
වළලනු බැරිව මතකය..
ඉපල් වී ගිය මිනිසෙකු
සිටිනුදැයි එහි තනිවම..

රසික ජයකොඩි
261009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අපි පරණ ආයුධ මුවාත් තියමින් සිටිමු

අලුත් ඝාතන සඳහා
අපට ඇණවුම් ලැබී ඇති හෙයිනි
අපිට මේ අපි අතින්
මැරෙන අය සමග
පෞද්ගලික ආරවුලක් නැත
ඇත්තේ ලොක්කන්ගේ
මනදොල පිනවීමෙන්
පුංචි ගතමනාවක් සොයා ගැනීම පමණකි
ගංජා සුරුට්ටුවක් හවසට
රාත්‍රියට කොත්තුවක්
ගෑණිට සාත්තුවක්
කසිප්පු බෝතලයක්
ඒ ඇති බං

එහෙම වෙන්නැති උඹලා හිතන්නේ
ඒත්
බඩදරු අම්මලා
පොඩි පොඩි මල්ලිලා
කන්න දෙයක් නැති නංගිලා
මේ ‍සේරමලා ඇදන් යන්නේ
මේ තුට්ටු දෙකෙන් නම් නොවෙයි
ජීවිතේ මහ බරයි බන්ස්...
සම්තිං එකක් ඕනමයි...
මැම්බර් තමයි ඉන්නෙ සප් එකට
තේරෙනවනේ ලොක්කා?

ඉතිං
සහෝදර සහෝදරියනි
ලියනවද උඹලා ලොක්කන්ගෙ සිත් ‍රිදෙන දේ?
උන්ට කෙළවෙන දේ?
තරහ වෙන්නට එපා
ආසාවකින් නම් නොවෙයි
අපි ‍එනවා උඹලගේ කැවුතු එලියට ඇදලා දාන්න

අපි උඹලා ලියන එක මළ ඉලව්වක්
කියවන්නෙවත්
බලන්නෙවත්
අඩුම ගාණේ අකුරු දන්නෙවත් නැහැ
අපි කුණු කානු පණුවො
උඹලා එහෙම ද?
උඹලා පතපොත කියවලා
හොඳ නරක දැන උගත්
ශිල්ප කාරයෝ
සුදුසුකම් ඇති නෝනා මහත්තුරු
අපට වඩා ඇත්තටම වටින මිනිස්සු!
පෑනෙන් චීනඩි කරාටි ගහන්න දන්න අය...
කොටින්ම උඹලා අපටත් ආදරෙයි
මිනිසුන්ට ආදරෙයි
ඒ බව
නොදන්නවා නම් නොවෙයි

වැඩියෙන්ම
මේ බල්ලො ගැන ලියන්න තරම්
හිත එඩි ඇති එවුන් තොපි
අපි වගේ කුණු කානු පණුවො නොවෙයි තමයි...
උන්ගේ ඇට සුප්පු කරන

ඒත්
සහෝදර සහෝදරියනි
තරහ වෙන්නට එපා
ආසාවකින් නම් නොවෙයි
අපි ‍එනවා උඹලගේ කැවුතු එලියට ඇදලා දාන්න


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ආබාධිත සොල්දාදුවා හා බුදුහිමි

මහල්ලන්
තුවාලකරුවන් හා ලෙඩුන්
පැටි වියෙහි - වැඩි වියෙහි මළ කඳන්
තොග ගණන් දුටිමි

පව්කාරකම් වලට දිරිගන්වන
පැවිදි රූ දුටිමි
පිරිත් නූල් ද බැඳිනි

විවරණ ද ලැබීමි මවගෙන්
‘රට රකින’ මට බුදුවන්න ට

ඇස් මස් ලේ ද දන් දී
ඔබ වෙතට පැමිණියෙමි

එනමුදු බුදු හිමියනි
නුඹෙ බැල්ම අරුමය

ගම්මුන්ට දැං අමතක වුව
බිරිඳ හා දරුවන් එක්ක
සෙත් පතා ගයන සෙත් පිරිත් මැද
මගේ හිස විනිවිදී
නුඹෙ නුහුරු බුදු නෙත

මැවේ
මවිසින් මරා දැමූ මිනිසුන්
තැන තැන වැටුනු
ඔවුන් කෙසඟ ය
දුක් විඳි දුප්පතුන්ය
එකම පැහැයය
එකම හැඩයය
සියල්ලන්ට ම
මගේ මුහුණම හිමිය

සිය දහස් ගුණයකින්
මා මරා දමා ඇත්තේ
මාවම ද

ගාථා කියන
පොඩි හාමුදුරුවන්
පිටුපසින් හිඳ
නුඹ පාන මදහස
නොපෙනෙන් න දෑස් වසාගමි

දෑත් පෙනෙතැයි බියෙන්
වඳින්නට වත් නූස්සමි


මහේෂ් මුණසිංහ
2009 10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නිමාව

ඉදින් දැන් තබනු මැන බිම
නුඹ සුරත රැඳි කුළු ගෙඩිය
අවසන්ය නුඹේ කාරිය
තවත් ඵල නැත දරා සිටීමෙන්

බලව බිම වට
පරමාණුවට
ක්ෂුද්‍ර අංශුවට
තලා වනසා දැමූ
මානව පේ‍්‍රමය
ගසාගෙන යනු
සෝපාහාසයේ
මහා මේඝයෙන්

මේ නුඹම තැනූ
ශෛලමය ස්තම්භයයි
බිම දමා සුන් කර දැමුවේ

මහා මේඝයක් සේ
ඈතින් ඇසෙන්නේ
වැළපෙනා හදවත්
නගනා වැළපීමයි
නෑසුණිද නුඹට

ඉදින් දැන් තබනු මැන බිම
නුඹ සුරත රැඳි කුළු ගෙඩිය
අවසන්ය නුඹේ කාරිය
තවත් ඵල නැත දරා සිටීමෙන්

ජගත් ජේ එදිරිසිංහ
2009 ඔක්තෝබර් 24

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අරුම හෝරාව

වනස්පති
මලූත් නැති
කොළත් නැති
අතුත් නැති
අහස් කුස
තරුත් නැති
හිරුත් නැති
නිලත් නැති
සදිසි අඩ සඳත් නැති
සකුණ ගී හඬත් නැති
දිය කඳුරු
නැත සොඳුරු
හුදකලා දනව්වය
මිනිස් පුළුටකුදු නැති

අන්ධකාරය සමග
නිහඬවම දැන් එන්න
ඔබ කැමති ලෙස ඇවිත්
මේ මොහොත විඳගන්න
ඇස් පියා ගෙන ඉන්න
සිත් වසා ගෙන ඉන්න
වදනකුදු නොදොඩන්න

කෑලි කැපියැකි අඳුර
මග නොහැර
ඉමු වැතිර
අත නොහැර
කොයි තරම්
මිහිරි වෙද
කාල මේඝය අතර
සොඳුරු මේ නිමේෂය
සියල් සිත්
මිය ඇදුන


ජගත් ජේ එදිරිසිංහ
2009 ඔක් 20

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නොවැම්බර් පළමුවෙනි දා - කවිය කම්බස්!!!!

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


"පිරික්සුම් පහන්"

නිමිත්ත- වන්නියේ යුද මෙහෙයුම කොළඹදී සජීවීව රඟ දැක්වෙන හමුදාවේ පිරික්සුම් පහන් සංදර්ශනය මේ දිනවල ඛෙත්තාරාමයේදී පැවැත්වේ.


පුදුමාතලන් කලපු දිය
ලේ රතට හැරවුණු
"පින්බර" උදැහැනක් එය..
යළි යළිත් සිහි කරනු ඇවැසිද
නම් ගම් නොදත් වෙඩි උණ්ඩ
හතර අත වැහි වහින විට
ජීවිතය ඉල්ලා
අම්මා කෑ ගැසූ රඟ..

"නිජබිම" මත තෙරපාගෙන මුහුණ
දිගා වී සිටි මොහොතක
හුස්මකින් හුස්මට
කල් මරන කල ජීවිතය..
යළි යළිත් සිහි කරනු අවැසිද
පියෑඹූ හැටි ගිනි කුරුල්ලන්
තුඩු අගින් ගෙන මරණය..

ගිනි වැදුනු රණබිම මැද
යකුන් රජවුණු මොහොතක..
විරු හිස් සමග රුපුහිස්
එක ලෙස විසුළ පොළොවක..
තරණය නොකර මරණය
ඇද වටුණු හැටි මතකද
වාරු නැති ගත හාමත්ව?
යළි යළිත් සිහි කරනු අවැසිද
මළ මිනී ඇට කටු වලින් සැදි
නපුරු සිහිනයේ පුළුටු ගඳ..

සඳ තරු මරා වෙඩි සැර
නැගුණුයෙන් එදා රෑ අහසට
රත් යවට රතු ඇස් ලඟ
සහසක් තුරුණු මල් මියැදිණ..
යළි යළිත් සිහි කරනු අවැසිද
මිනී මල් පමණක්ම සුපිපෙන
අනාගතයේ අමු සොහොන් බිම..

රසික ජයකොඩි
211009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


(වදක) බාරිගේ අඳෝනාව . . . !

එපා එපා මට නම් එපා . . .සමාජශීලී මිනිහෙක් මට නම් එපා . . .
දොස්තරෙක් . . ඉන්ජිනේරුවෙක් . . .ආචාරියෙක් . . මහාචාරියෙක්
එකෙක් වත් මට එපා . . . එපා කීවොත් එපා මයි . . . !

දොට්ට පිලට යාමට පමනක් . . ගෙයින් එලියට බසින . . .
කිසිම මිනිහෙක් ඇසුරු නොකරන . . .
ගෙදර මුල්ලටම වී . . . බංකු පොඩියක් වාඩිවී . .
පාප්ප බාල්දිය වම් පැත්තේ . . .පින්සල දකුනු පැත්තේ . .
කඩදාසි බෑග් අලවන . . . ස්වයං රැකියාවැති . . .
නෝංජල් මිනිහෙක් . . .විතරයි මට ඕනා . .
හැබැයි රජෝ මගේ වියදම් . . . අඩු පාඩු නම් බෑ ඔන්න . ..
සිටින් කී විට සිට ගනින් . .. ඉඳින් කී විට ඉඳ ගනින් . . .
ආන්න එහෙම වරෙන් . . . උඹයි මගේ ලව්ලි හබී . . .

එපා දෙන්න සතයක් වත් . . .උඹේ අම්මට නාකිච්චිට . . .
මොනා කොලාටද ඔය කට්ට කෛරාටික අම්මන්ඩි . . .
අනේ මගේ රත්තරන් අම්මා . . සාරියක් දෙමු අපි ලබන අවුරුද්දට . . .
පවුනේ අනේ නේද එයා . . . මගෙ ඩාලිං චූටි ඔයා . . .
උඹේ මල්ලියි නංගිල රොත්තයි . . . හූරන් කන්නෝ . . . කූඩැල්ලෝ
මගේ චූටි මල්ලි පැටියා . . . සුදු නංගී හරි හුරතල් . .
ප්‍රසන්ට් එකක් යවමුද අපි . . . 21ස්ට් බර්ත්ඩෙකට . . . !

අර මිතුරා . . . ඌ හතුරා .. .
මේ මිතුරා . . . ඌ කේලමා . .
පාසැල් මිතුරී . . .හපෝ හපෝ
ගියොත් බලාගමු ගලවන්න. . .
පත්තිනි අම්මගේ රෙද්දේ තුත්තිරි . . .

එපා උන් එකෙක් වත් . . . අපිට අපි විතරක්
හොඳටෝම ඇති . . නේද මෙයා . . .

මලාම මිනිය උස්සන්න වත් මිනිහෙක් . .. !
හබීගෙන් වචනයක් . . .
පිස්සුද වලාමේ මලාම . . කරෝල වලට වේලන්ටෑ . . .
ජයරත්නට එන්ට කිව්ව . . . හායි බායි වැඩ ඉවරයි . . .

යන්නෑ උඹ මට ඉහලින් . . . ගියොත් ඉතින් හුලං තමයි . . .
තියෙනවා මේ මං ලඟ තව . . උඹේ නැටුම් වල බෙර පද පෙර . . .
දික්කසාදේ තමයි රජෝ . . . කැඩුවොතින් මගේ අණ . .බන . . !

අනේ වාසනාවන් මේ මට . . . ඒ හබීගෙ ගැහෙනා හිත . . . !

-දුකා-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හදවතේ කුටි හතරම
දොරගුලු කපාට හැර දැමු සඳ
රතු රුහිරු දහරාව
ගලා ගිය හැම තැනම පැද පැද

මිණි කැට නොසාදම ඝණඳුරු පොලොව යට
මිහිදන්ව අවතැන්ව
පැල වුනු මිනිස් ඇට කටු වෙත ගලා
සපයයි පොහොර පෝෂණය නැගී එන්නට
ඇට කටු මතින්
මල් පල පුබුදුවයි යම් දිනෙක
නුඹේ ඒ ලෙය
රූරා බැස පොලෝ කුහරයටම
යලි නැගි තුඟු වෘක්ෂ බඳ දිග

සිය ලය විවර කර
හදවත රුහිරු ලොවට දන්දුන්
කිවිසුරාණනි

ඔබට සුභම සුභ උපන් දිනයක්!

-ඊ ඒ ඩෝසන් ප‍්‍රීති


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබ එවූ පියාපත ඔවුනට පැළැන්දුවෙමු!

කඳුළු බූන්දිය වෙනුවෙන් සහෝදරත්වයෙන් එක් වූ ඔබට ස්තුතියි!

2008 පෙබරවාරි 14 වෙනිදා බූන්දි සඟරාවේ 48 වැනි කලාපය අන්තර්ජාලය පුරා බෝ කරමින් අපි සියළු මිතුරන්ගෙන් ඉල්ලීමක් කළෙමු.

BOONDI - 48>>

කොළඹ කඳුළු නම් වූ එම බූන්දියෙන්, කොළඹ වික්ටෝරියා නිවස්නයේ සිටින රවි නම් සහෝදරයාගේ කාරුණික ආයාචනය අප ඔබට දැන්වූයෙමු. ඒ වෙනුවෙන් අප සැලසුම් කළ ව්‍යාපෘතිය සඳහා බොහෝ මිතුරු මිතුරියන් ඒ සඳහා සම්බන්ධ වෙමින් තම ශක්ති ප්‍රමාණයෙන් මුදලින් ආධාර කළහ. බොහෝ දෙනෙකු එම ඉල්ලීම අන්තර්ජාලය පුරා බෝ කරමින් ද අපට උදවු වූහ.


වික්ටෝරියා නිවස්නයේ කළමනාකාරීත්වයෙන් කළ ඉල්ලීමට අනුව, ඔබ විසින් ලබා දුන් මුදල් යොදවා නේවාසිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා කිහිපයක් (ටූත් පේස්ට්, සබන් සහ සේදුම් කුඩු) සපුරාදීමට ද ඉතාලියේ වෙසෙන ආසිරි කල්ප සහෝදරයාගේ මූලිකත්වයෙන් නිවස්නය සඳහා අත්‍යාවශ්‍යව තිබූ වානේ ඇඳන් තුනක් පමණ ලබා දීමට ද පසු ගිය වසරේ අපට හැකි විය.

කල්ප ඉමහත් පරිශ්‍රමයක් දරා මුදල් එකතු කර, ලංකාවට පැමිණ අප සමග එක්ව සියළු කටයුතු සැලසුම් කොට එම පරිත්‍යාගය ලබා දීමේදී පළ කළ දැඩි කැපවීම ඉමහත්ය. ඒ වෙනුවෙන් ව්‍යාපෘතිය සම්පූර්ණ කරන මේ මොහොතේ ඔහු වෙනුවෙන් අප තුළැති හෘදයාංගම හැඟීම වයර් දිගේ යැවීම හැරෙන්නට කෘතඥතාව පළ කළ හැකි වෙනත් විදිහක් අප දන්නේ නැත.


රවිගේ අවශ්‍යතාවය වූ බැටරියෙන් ක්‍රියා කරන රෝද පුටුව ලබා දීම බොහෝ ප්‍රමාද වූයේ ඔහු විසින් ඉල්ලා සිටි රෝද පුටුව මෙරටට ගෙන්වන සමාගමක් සෙවීමට විශාල පරිශ්‍රමයක් අපට දරන්නට සිදු වීම නිසාය. එබඳු සමාගමක් පසුගිය මාසයේ හමු වූ අතර, ඉකුත් 16 වැනි සිකුරාදා (16.10.2009) හැන්දෑවේ එම රෝද පුටුව නිවස්නයට පරිත්‍යාග කිරීමට අපට හැකි විය.

රවීට පියාපතක් අවැසි වූයේ තනිව පියාඹන්නට නොවේ. අලූතෙන් ලැබුණු රෝද පුටුවේ නැගී රවි වාට්ටු පුරා එහේ මෙහේ දුවමින් පෙර මෙන් දස ගුණයක ජවයකින් අන් නේවාසිකයන්ට උපකාර කරනු ඇත. රවි ඔබට එවූ සටහන ද මේ සමග එක් කරමු.

-Letter from Ravi -


-Letter from Victoria Home -


රෝද පුටුව ප්‍රවාහනයේදී කඩි මුඩියේ පැමිණ උදවු වූ බූන්දියේ අදිසි මිතුරා දර්ශනට ද කඳුළු බූන්දි ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට මුදලින් ද, ශ්‍රමයෙන් ද දායක වූ බූන්දියේ සියළු මිතුරු මිතුරියන්ට අපගේ ප්‍රණාමය පුද කරමු.

ඉතිරි වී සිටිනා අතළොස්සක් "මනුෂ්‍යයෝ" අප තුළ බලාපොරොත්තු දල්වන්නෝ ය.

බූන්දියේ අපි
19.10.2009

පින්තූර ගැලරිය බලන්න මෙතනින් යන්න>>

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ

කටහඩක් ඇති කුරැල්ලෝ
ගී ගයන් නෑ
කතා විතරයි
පියාපත් ඇති කුරැල්ලෝ පියාඹන් නෑ

අවුරැද්ද
දවසින් ගියා…

ගැයී නම්
ගීත දහසක්
පියැඹී නම්
බොහෝ ඈතක්
අවුරැද්ද
දවසින් ගියා
ඊ ළඟට
අලුත්?
දවසක්

මගේ පෑනට
කටහඩක් නෑ
නිමලරාජන්
කටහඩට
පියාපත් නෑ

මංජුල වෙඩිවර්ධන
2001

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


දින 150*


පෙර සටහන :

මළපහ නාඳුනන මෝසම් වැහිවතුර
ගලං යයි හෝදං හැම දහජරාවම
කැහැටු දෙපතුල් තෙමා ගෙන
නැහැ පුඬු මිරිකෝගෙන

නාකි උන්ගෙ අන්තිම ගොරොද්දෙ
පරාදයි ආකහේ ගෙරවිල්ලට
පොඩි උං උනෙන් වෙව්ලති
ගොරවති බිම වැටෙන බත් ඇටේටත්
නාටු බල්ලොත් රිංගං කූඩාරමට

අපිට හරි මාරය
ඡන්දෙ කර ගත්තම
චෙක් පොයින්ට් ටිකත් ගැලවෙයි

නැගෙනහිර නවෝදය ඉවරයි
උතුරු වසන්තය ඇවිදින්
කොන්තරාත්තු
කෝටි දාහක දෙදාහක
බර මැෂිං චීනෙන්
අත් වැඩට දකුණෙන් සෙනඟ අරං

මාණ්කුලම් ය නොනිදනා නගරය
විහිදේ අධිවේගී පාරවල්, ගුවන් පාලම්
විදුලි දුම්රිය, මහ සාප්පු, උස හෝටල
කුණු කසළ කුණු වතුර පවා දෑසට දුලබ

නිවාස සංකීර්ණ පුරවා පුටුසෙටි අල්මාරි
වෛවාරණ රේඩියෝ ටීවී චැනල්
සෙලියුලර් දුරකථන ය අතින් අත
අන්තර්ජාලය දොරින් දොර
උද්‍යාන හා සැණකෙලි ය ප‍්‍රීතිය රූටන

කප්පවා කොණ්ඩා තියා බම්ප් එක
නා පිරිසිදු කර ඉවත්කර අනවැසි රෝම
අන්දවා ලන්ඩන් පැරිස් ඇඳුම් හැඩට
කිරි ටොයියා කාරෙකකින් වඩම්මවං
පදිංචි කරවන්නයි ලෑස්තිය
උත්සව සිරියෙන්

........
........

අල්ලං ඉන්නං පිං ගේන මහතුනි
උන්නා වගේම තව අවුරුද්දක් උනත්


මහේෂ් මුණසිංහ
2009 10

* සහන ගම්මාන යැයි රජයෙන් නම් කරන ලද එළිමහන් සිර කඳවුරුවලට වන්නියේ දෙමළ ජනතාව ගාල්කර දින එකසිය පනහක් පිරේ.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඇසුවාද ඔබ
මලකින්
කොතෙක් රිදෙනවාදැයි
සිඳින විට
අවසාන මල් පෙත්ත...?

පුළුවන්ද ඔබට
අදහන්න
අන්තිම තරු ඇසත්
අඳුරින් වැහෙන විට
අහසට දනෙන
තනිකම..?

ලේ වගුළ අතකින්
සිඳින විට තටු
එක පිට එක
ගයන්නට හැකිද ගී
කුරුල්ලෙකුට..?

තියේවිද
ඉතිරිව
තව තවත් කවි..
තීන්ත වියලුණු
පෑනක...?


රසික ජයකොඩි
171009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මංමුළා කඳුලක්
මම..

යන එන මං නොදැන
කොපුල'ත දිගේ
අයාලේ ගාටන..

ලොවට පෙනෙතැයි බියෙන්
රහසින් ඔබ
අතැඟිල්ලෙන්
පිසලන..

මංමුළා කඳුලක්
මම..
සීතල මැදියමක
පා නියමලක් මත
වියළෙන..
පිණි කඳුලකැයි
ඔබ රැවටෙන

මංමුළා කඳුලක්
මම
ආගිය වගට
ඔබ ලඟ
අඩි සළකුනක් නොතියන..
සිහිවටනයක් විලසට
කිසිදාක ළඟ
නොරැඳෙන..

ඒත්..
තනිකම දැනුණු
මොහොතක
කොපුල'ත හෙමින්
පිරිමදින..

රසික ජය‍කොඩි
161009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


'ඉතිං ඊට පස්සේ එයාලා සතුටින් ජීවත් වුණා....'
'බොරු කියන්න එපා....'
'හැමදාම ඔහොම ඉවර වෙනවා නම් කොච්චර දෙයක්ද...?'
'ඒත් එහෙමවෙන්නේ නැහැනේ....'
'ඔය කතා එපා.....වෙන ලස්සන කතාවක් නැද්ද...? මේ ලෝකේ ඇත්තට ම සිද්ධවෙන දේවල්...?'
'තියනවා... ඒත් ඒවා ඔයාට අහන් ඉන්න පුළුවන් වෙයිද කියලා සැකයි...'
'ඇයි ...? ඒවා මට අහන් ඉන්න බැරි තරම් නරක ද...?'
'ඔව්... මේ ලෝකේ ඇත්ත තරම් තිත්ත දෙයක් තවත් නෑ....'
'කමක් නෑ... කවදා හිටියත් මම ඔය ඇත්ත දැනගන්නම ඕනැනේ... ඒ නිසා කියන්න...'
'කියන්න පුළුවන්... ඒත් ... ? '
'ඇයි ඒත් කියන්නේ...?'
'ඒවා දරා ගන්න තරම් ඔයා තවම පොඩි වැඩියි...'
'එතකොට මට කියන්නේ හැමදාට ම සුරංගනා ලෝකවල ම ඉන්න කියල ද? මම මේ පොළොවේ පය ගහලා ඉන්න අය ගැන දැනගත්තාම නරක ද?'
'නරක නැහැ... ඒක තමයි කවදා හරි වෙන්න ඕනෙත්... ඒත් .... ඔයා තවම ඒකට පැහිලා මදි... '
'එතකොට ඔයා කියන්නේ මම තවම පුංචි බඛෙක්... ?'
'අපෝ නැහැ... මහ බඛෙක් ..... '
'එහෙනම් කියන්නකො....'
'නෑ... දැං ඒකට වෙලාව නෙවෙ යි...'
'එහෙනම් මොකට ද?'
'දැන් ඇවිල්ලා නිදා ගන්න වෙලාව... යමු... මම ඔයාව නිදි කරවන්නම්...'
'ඕනේ නැහැ... මම බඛෙක් නෙවෙයි නිදි කරවන්න... මට පුළුවන් තනියම නිÞ ගන්න...'
'හරි එහෙනම් යන්න... හෙට උදේට අවදිවුණාම කතා කරන්න... මම ආයි එන්නම්...'
'ඕනේ නැහැ... මට පුළුවනි ... මම හැම දෙයක් ම කර ගන්නම්... ඔයා ආයි එන්න ඕනේ නැහැ...'
'ඔයා කේන්තියෙන් නේද...?'
'අපෝ නැහැ මේ මගේ හැටි...'
'නැහැ ... දැන් ටිකකට කලින් ඔයා හොඳට හිටියා...'
'තාමත් මම හොඳින්....'
'නෑ... ටිකක් වෙනස් වෙලා ...'
'මේ ලෝකේ වෙනස් නොවෙන කිසිම දෙයක් නැහැ කියලා ඔයාට අමතකක වුණා ද?'
'නෑ... මම තේරුම් ගත්තා....'
'ඒ කොහොමද..... ?'
'බලන් ඉඳලා....'
'මොනව ද?'
'ඔයා දිහා...'
'එහෙනම් ඒක ඒ තරම් අමාරු වෙන්න නැතුව ඇති....'
'අපෝ ඔව්... ඔයා වෙනස් වෙනවා හොයන්න බැහැ.... ඒ නිසා හරි ම ලේසි වුණා...'
'එතකොට ඔයා....?'
'මම නම් ඉතිං මේ ඉන්නේ...'
'නෑ මේ ඔයා නෙවෙ යි...'
'මම නෙවෙයි නම් වෙන කවුද...?'
'ඔව්... ඔයා නෙවෙයි තම යි...'
'එහෙනම් කවුද...'
'ඔයා ඔයා කියලා හිතං ඉන්න කෙනො...'
'ඉතිං ඒ මමනේ....'
'නෑ ඔයා නෙවෙයි...'
'නෑ... මම ම තම යි...'
'නෑ.... මම හිතන්නේ ඔයා හිතන විදියට නෙවෙයි නේ....'
'ඉතිං...'
'එතකොට ඔයා වෙනස් වෙනවා....'
'කොහොමද?'
'මට සාපේක්ෂ ව... මම හිතන විදියට අනුව... මට හිතෙන විදියට අනුව... මම කල්පනා කරන විදියට අනුව...'
'මට කමක් නෑ...'
'ඒක ම තමයි මටත් තියන ප්‍රශ්නේ....'
'මොකද්ද ඒකේ තියන ප්‍රශ්නේ....'
'ඔයා වෙනස් වෙනවා කියලා හිතන එක ම... එක එක්කෙනා ඔයා එක එක විදියට දකින එක....'
'ඒක මට නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි...'
'එහෙනම් කාට ද පුලූවන්....?'
'කාටවත් බෑ... ඔයාට ම ඇරෙන්න වෙන කාටවත් බෑ....'
'නෑ මට වෙනස් කරන්න ඕනේ නෑ... කැමති කෙනෙක් කැමති දෙයක් හිතපුවාවේ...'
'මම ඔයාට කැමති නෑ...'
'එකපාරට ම...'
'ඔව්... පොඩ්ඩක් වත් කැමති නෑ...'
'මම යනවට කැමති ද...?'
'නෑ....'
'ඉන්නවට....?'
'නෑ...'
'නොගිහින් ඉන්නවට....'
'නෑ....'
'නොගිහින් නොයින්නවට....'
'කමක් නෑ... ඉන්න... හැබැයි යන්න....'
'ඔයාගේ කැමැත්තක්...'
'නෑ... ඒක ඔයාට උවමනා විදියට ම වුණාවේ....'
'එතකොට කථාන්දර...?'
'මම දැං ලොකුයි....'
'අම්මා කතා කරනවා....'
'මම නිදි කියන්න....'

සඳකැලූම් රසාංජන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ඒ සොඳුරු ශක්තිය

සොහොයුරනි දුටුවාද අම්මව
කල්වාරි මුදුන මත - අප්පව
කුරුසියේ ඇණ ගැසූ අත්වල
උරුමයයි ඒ සොඳුරු ඇස්වල

අලූත් ගිවිසුම ලියූ දරුවා
පන්හිඳත් කගපතක් කෙරුවා
එ වන් හිත නො මරා ම මැරුවා
තුළාවට මුවා වූ මරුවා

නළල තිලකය තැබූ මරියා
නො සෙල්වී බිම බලන් සිටියා
කුස දරා සිටි මලෙක සිරියා
සිපිරි ගෙයි බැමි බිඳන් ගැලූවා

අප්පාගෙ කටහෙඬහි සෙනෙහස
කකියවයි ඇඟ නහර විනිවිද
ඉසිඹුලන තුරාවට කැඹුරුව
රජය දුන් ප්‍රතිචාර එ බඳු ය

සොහොයුරනි මව්පියන් දුටුවාද
කඳුළ වෙනුවට නගන මඳහාස
එ වන් වූ ප්‍රේමයක හට දාව
උපන්නට පතමි මම අද රෑ ම

මංජුල වෙඩිවර්ධන

-මර්ධනයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය කළ තිස්සනායගම් උපහාර උළෙලේදී ශක්තිමත් ව නැගී සිටිනු දුටු ඔහුගේ දෙමව්පියන් වෙනුවෙනි-


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අද (2009-10-15 ), ලෝක සුදු සැරයැටි දිනයයි.

ආයුබෝවන් අඳ සකි........ !

මෙපුරවර එනකොට
දෙදණ බිම ඇණ නුඹ
පසඟ සදමින වැඳ
“ගිහින් එන්නමි” කියා
අමිමා අතැර එන්නැති

කප් කෙළක් ව්‍යාධි ඉතිරෙන
අනත් දුක් සංතාප වැගිරෙන
ජීවිත ගිරි දුර්ග පාමුළ
දුකම රස කොට වළඳන

ඉරෙන ජීවිත ගෙත්තම
හනි හනික එළලන
සුවහසක් ගන්දබිබ සුහදාන
“අනේ” යයි ‍කිය කිය
පාර නොපෙනෙන නුඹට
මග කියා දෙන්නැති

කදෝ පැණි එළි පොදක් නැති මුත්
මල් සුවඳ මිස ගොකටු විස නැති
නුඹෙ අඳුරු ලෝකය
උදුල සඳවත පරදවන බව
ඒ උනත් උන් දන්නෙ නැහැ සකි

අතගා බලා ජීවිතය
වටහා ගන්න නොහැකිව
යන්න යන තව මොහොතින්
“ඉතිං යන්නමි” කියා නුඹ
සෙමෙන් සමුගනු ඇති.....

ඒ උණත් සකියාන,
අතගා ලබැඳි හදවත්
වටහාගත් බැවින
අතවනා නුඹෙන් සමුගත නොහැකි
හදවතින් නුඹට සමුදෙනු නොහැකි.......... .

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පංහිඳක සංහිඳ

"හුස්ම හෙළන පන්හිඳකින් ජීවන රිද්මය අකුරු කරන්නට……”



කදුලූ ඉසින, සිනහ පිපෙන, හුස්ම වැටෙන, හැගුමි දැනෙන, සිහින දකින පංහිඳක්……ගග ඔබ සතුව ඇත්නම්:

ඒ විස්මිත පන්හිඳ අවදිකරන්නට මේ ඔබට කෙරෙනා සුහද ඇරයුමයි!!!

දිනය - නොවැම්බර් 08 වෙනි ඉරුදින

කාලය - පෙව 8:00 සිට පව 8:00 දක්වා පුරා දොළොස් පැයක්

නිමිත්ත - ආධුනික ලේඛිකාවන් සදහා ලේඛකත්වය වර්ධනය
කරගැනීමට නොමිලේ පැවැත්වෙන මහා සමිමන්ත්‍රණය

ස්ථානය - ශ්‍රී ලංකා පදනම් ආයතනය- කොළඹ 07

සුදුසුකම් - ඔබේ පන්හිද මෙතෙක් කුරුටුගෑ කවියක් හෝ කථාවක් - පිටු 2 කට නොවැඩිව සැකෙවින් ගොනුකොටල ඔබේ නම, ලිපිනය, දුරකථන අංකය, වයස, අධ්‍යාපන සුදුසුකමි සහ ජාතික හැදුනුමිපතේ ජායා පිටපතක් සමගින් අපවෙත යොමුකරන්න.

ලිපිනය - ස්ත්‍රී ශක්ති ප්‍රඩක්ෂන්ස්, 198/4, සිරිවිමල් උයන, නාවල

පහසුකම් - නොමිලයේ සැපයෙන දිවා ආහාරය සමග උදේ හා සවස තේ පැන්

වරප්‍රසාද - සිංහල, දමිළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම දේශන, සටහන්

නවකතා, කෙටිකතා, සිනමා - රූපවාහිනී තිර රචනය, වේදිකා - ගුවන්විදුලි පිටපත් රචනය, සදැස් - නිසදැස් කාව්‍ය ආදී විවිධ ලේඛන අංශයන්හි ප්‍රවීණයන් විසින් පවත්වන්නා වු සාරගර්භ දේශන හා විවෘත සංවාද

සම්මන්ත්‍රණය අවසානයේ සහභාගීත්වය සහතික කරන ලද වටිනා සහතිකපතක්

අයදුමි කැදවීම- 2009 ඔක්තෝබර් 20 වන දිනට පෙර ස්ත්‍රී ශක්ති ප්‍රඩක්ශන්ස් ආයතනය වෙත අයදුම්පත් යොමුකල යුතුය

ඔබත් දකුණේ සිහළ බසත් : උතුරේදමිළ බසත් : උජාරු බටහිර බසත් තුළින්, අකුරු කවි කරන්නට හෝ කතා ගොතන්නට සමත් කවිකාරියක් හෝ කතාකාරියක් නම්, ඒ ඔස්සේ ලොවම දිනන්නට ඔබතුළ සැගවුණු "‍සිහිනයක්” වේ නම්, ඒ සොදුරු සිහිනය සැබෑ කරගැන්මට පාර කියන්නයි මේ සුහද ආරාධනය!

සංවිධානය - ස්ත්‍රී - ශක්ති ප්‍රඩක්ෂන්ස්
අනුග්‍රහය - නෝර්වීජියානු තානාපති කාර්යාලය

මීට විශ්වාසී,


ඉනෝකා සත්‍යාංගනී කීර්තනන්ද
වැඩමුළුවේ නිර්මාණ අධ්‍යක‍ෂ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අහසට නොගිය අකාස කුසුම්

දිලි දිලී නිවුනු සැලොලයිඩ් තරු එලි මැද
පිපී හිනැහී තවලම් පොටින් ගිලිහුනු
අකාස කුසුම් හඩන වැලපෙන

සන්තාප බිම මත
එකාත්මිකවූ නෙක කුසුමන්ය ඒ අතර
අහසට නොගොස්ම අහකටගිය

නොඉඳුලේ පැතූ පෙම් සිහින ....-.....තලා බැද්දට වීසි කරමින
හඩා රතු වූ දෙකම්මුල්........ ...-.....උලා පව්ඩර් වසා ගනිමින
චාම් සලුපිලියෙන්ම සැරසී ...-...දෙ අත හෙප්පුවකුත් දරමින
බත් උයන රෙදි මදින මනාලිය වී..- ..හෙට වැඩැම්මෙන්නට

නෑසියන් ලඟ පිපී හිනැහෙන
නුඹත් කුසුමකි අහසට නොගොස් අහකට

යන පතා නෙක රූ රුසිරු...- ලාභ අරුමෝසම් කරමින
තුනු පයෝධර වටොර -හැකි පමන උල් මුදුන් කරමින
ඇග මසට ලොබ කරන... -සරු ඇසට සමපාත කරමින
හිලව්වට රන් රිදී මිනි -...දිලෙන සිහිනය ගාල් කරමින
කැඩපතක් ලග පිපී හිනැහෙන

නුබත් කුසුමකි අහසට නොගොස් අහකට යන

විරහ හද ගිනිලා එගිනි ලා .-...මනිමෙඛලාව දවාගෙන
සල්ලාල සුලඟට නතුව -....සේල අහසට මුදා හැරගෙන
කාසි සුදිලෙන නුවරක.- පොට්ට කාසිය සේ කීන වෙන
ලාභ වත්සුනු උලාගෙන.-. සුරත රතු කුඩයක් දරාගෙන
මාවතක් ලග පිපී හිනෙහෙන
නුඹත් කුසුමකි අහසට නොගොස් අහකට යන

කුසුමියනි තෙපි කොහේ පිපුනත්
ගියත් නොගියත් අහසට
අනුන් හට දන් දී හද ගුණ සුවඳ
යාම උරුමද? අහකට


ජානක සුසන්ත

151009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|



"වෙනස් වෙමු" - පළමු පියවර
- රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත" පිළිබඳ කතා බහක්
-

රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමර්ශනාත්මක කතිකාවක් ඔක්තෝබර් 18 වන ඉරු දින සවස 3:00ට කොළඹ ගුණසිංහපුර පූර්වාරාමයේ දී පැවැත්වෙයි.
"වෙනස් වෙමු" යන තේමාවෙන් කවිය පිළිබඳ කෙරෙන සංවාද මාලාවක පළමුවැන්න වන මෙය සියළු කවි සහෘදයන්ට විවෘතය.
(විමසීම් - කැලූම් 071 6208352)



පූර්වාරාමයට එන මග ලකුණු-

පිටකොටුවේ ගුණසිංහ ප්‍රතිමාව අසල ගුණසිංහපුර පාරේ මී. 100ක් පමණ එන විට පූර්වාරාම පෙදෙස හමු වේ. පන්සල තිඛෙන්නේ පූර්වාරාම පෙදෙසට හැරෙන තැනමයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


දෙපා

බිම් බෝම්බ ඉවත් නොකර පදිංචි කරවලා අපි දෙමළ මිනිස්සුන්ගෙ
කකුල් නැති කරන්න ලෑස්ති නැහැ.
-ආණ්ඩුවෙ ඇමතිවරයෙක්


හිස
බිඳී
ගුවන්
වෙඩි
කිඳී

පපු
පැළී
බිමින්
ෂෙල්
විදී

ගේ දොර
වතුපිටි
කුමටද
කකුල්
තරම්
වටිනා
දෙයක්
තවත්
වෙද

දැං
ඉතිං
අපිට
කකුල්
විතරක්
ඇතී.

මහේෂ් මුණසිංහ
2009 10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මෂේන්කා


මෂේන්කා
ඔබ ඇවිත්

සඳ හැරගිය අහසේ..
අන්තිම තරු කැටය
කළුවරේ හැංගෙන්න
තත්පරේකට කලින්..
කොහේදෝ
ඈත ලෝකයක සිට
ඔබ ඇවිත්

දින ගණන් එකදිගට
හති නොලා ඇදහැලුණු
අනෝරා වැස්ස යට
තෙතබරිව..
හීතලෙන් වෙව්ලූ..
පිච්ච මල් පෙත්තක්
ක්ලාන්තව..
පොළොව මත වැටෙන්නට..
තත්පරේකට කලින්
මෂේන්කා
ආයෙමත්
ඔබ ඇවිත්..

කළු වළාකුළු පිරුනු
නපුරු අහසම
වියරු සුලි සුළඟකින්
කැළඹිලා..
පරඬලා පතක් සේ
මගේ හිත
ඒ හුළඟෙ තනිවෙන්න
තත්පරේකට කලින්
මෂේන්කා..
ජීවිතය
අතින් ගෙන
ඔබ ඇවිත්..

රසික ජයකොඩි
111009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

"ඔහු" තිස්ස, තිස්සනායගම්..

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 10.09.2009
|


අවතැන් වූවන්ගේ කඳවුරේ සිට ලියමි....

දයාබර සුන්දරම්,

සඳ තරු නිවී ගිය
දුප්පත්ම අහස යට
කළුවර රාත්‍රිය
ගුලි වෙන විට කඳවුරට
නිදන බව කොතැන හෝ ඔබ
ගොළුව වැළපෙන ‍මහ ‍ෙපාළව යට
ඔබ මොබ යනෙන බූටි සපත්තු හඬ
සසලවා විශ්වය - කියා දෙයි මට

එදා මහ රෑ කළුවරේ
පංචායුධය වැටුණා කළපු‍වේ
අප්පා නැතිව ගිය කලේ
පැටවුන්ට කාගේ කවර කලේ

අරෙහෙන් මෙහෙන් පිරිසක්
පැමිණ නිරතුරු විමසත්
මිහිරියි නේද ‍මේ (හිර) බත්
ලැබුණිද මීට වැඩි රස බත්

සියොතුන් පියාඹත්
එහෙත් උහු නොගයත්
මල් පිපී වැනෙ‍ෙතාත්
වහා පෑගී පොඩි වෙත්
සිඳලූ බැවින මිණි තත්
වෙණ නද යළිදු ‍ෙනානැගෙත්

දිවිවොතින් ආයෙත්
කටු කමිබි වල පැටළෙයි
බැලුවොතින් නෙත උස්සා
යළි හිස නගනු බැරි වෙයි
ගැළුවොතින් එක කඳුලක්
මුළු පරපුරම අළුවෙයි

ඒ නිසා හිරි වැටී ඉන්නෙම්..
නෑසෙන්න හුස්ම ගන්නෙම්....

ඔබ ඔතැන නිදන තුරු.

මේ,
ඔබේ,
රාධා

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Sexual Assault and Rape in the U.S. Military

“in spite of my most diligent efforts, there would unquestionably be some raping.”

Gen George S Patton


US Army 1942

The U.N. Security Council, chaired by Hillary Clinton, as the United States holds the revolving presidency, unanimously passed a resolution in a bid to stop sexual violence during conflicts and to end impunity, Hillary Clinton remarked that rape was used as a weapon in the Sri Lanka during the armed conflict with the LTTE. As a matter of fact she has forgotten the sexual violence caused by the US Army since the WW 2. This article reveals some of the thought provoking factors related to Sexual Assault and Rape in the U.S. Military.

War and Sexual Violence

Although rape has been closely linked with the history of warfare and some view sexual violence as an inevitable concomitant of war in the present context it is a war crime. The term rape refers to forcible sexual intercourse with an unwilling partner. Rape involves varying degrees of physical and psychological trauma. Rape is extremely traumatizing. All rape victims suffer physical and psychological aftereffects. The persistent practice of rape in war is evocative of the misogyny of war as an extension of masculine hegemony.

US Army and the Sexual Violence During the World War 2

For World War II, comprehensive statistics of prosecutions of American military personnel are available for the European theater of operations. Those statistics indicate that rape was extensive. US servicemen were accused of raping French women and when the numbers were surging it alarmed the Overall Commander Gen. Dwight D. Eisenhower and he issued a directive to U.S. Army commanders announcing his “grave concern,” and instructing that speedy and appropriate punishments be administered.


Rapes in Vietnam

In Vietnam, from 1 January 1965 to 31 January 1973, twenty army personnel and one air force man were convicted of rape, and fourteen army personnel were convicted of attempted rape or assault with intent to commit rape. In Vietnam (1970–73), one navy serviceman and thirteen Marine Corpsmen were convicted of rape. However, these conviction numbers in no way reflect the actual number of incidents. Among these atrocities most horrific incident occurred in August 1967. A 13-year-old Vietnamese child was raped by American MI interrogator of the Army's 196th Infantry Brigade. The soldier was convicted only of indecent acts with a child and assault. He served seven months and sixteen days for his crime.

The Persian Gulf War

During Persian Gulf War twenty‐four female American military personnel were subjected to rape, attempted rape, or sexual assault by American military men, according to official records. During the last Gulf war, 8% of women sent overseas were sexually assaulted or raped, according to a study by researchers for the Department of Veterans' Affairs.

Rapes within the Establishment

According to Lucinda Marshall US feminine activist there were 2947 reports of sexual assaults in the military in 2006, an increase in reports of 24% over 2005. More recently, there have been the well-publicized cases of Lance Cpl Maria Lauterbach who was murdered after accusing another Marine of rape, and Jamie Leigh Jones who says that she was gang-raped while working for Halliburton/KBR in Iraq. Jones claims that after she reported her rape, the company put her in a shipping container and warned her that she would lose her job if she left Iraq for medical treatment. Beth Jameson, a major in the US army reserve, who was assigned to a large staging area in Kuwait. She was raped on March 20 2003, the first night of the war, in the shower block during an alert for a feared chemical attack.


More than 200,000 women now serve in the US military, with at least 15,000 stationed in Iraq. The US Miles Foundation had received credible reports of rape or sexual assault (in the period August 2002 to August 2003) from 243 women serving in the US military in Iraq, Kuwait, Bahrain and Afghanistan. The data suggests that nearly 1,400 women reported being assaulted and raped by their fellow soldiers, in some cases by their commanding officers. The Pentagon has released new reports in which one-third of military women say they've been sexually harassed.

Torture of POWs by the Pvt Lynndie England of US Army

Lynndie England, a young female soldier from a poor town in West Virginia,became a notorious symbol of sexual violence. She was found guilty of sexually and psychologically abusing the POW s of Abu Ghraib prison.

Pvt Lynndie England was a United States Army reservist who served in the 372 nd Military Police Company. She was one of eleven military personnel convicted in 2005 by the Army courts martial in connection with the torture and prisoner abuse at the Abu Ghraib prison. In Baghdad during the occupation of Iraq.

The case of Abeer Qassim Hamza

14-year-old Abeer Qassim Hamza lived with her family a few miles north of the Iraqi town of Mahmoudiya. On the 12 th of March 2006 three US soldiers went drinking and then changed out of their uniforms in to dark clothes. They burst in to her house. According to the affidavit, Steven Green, a private in the US Army, took Abeer's family -her mother, Fikhriya Taha; her father, Qassim Hamza; and her 5-year-old sister, Hadeel Qassim Hamza -- into a bedroom and killed them. He came out, blood on his clothes, bragging about what he'd just done. Then he and another soldier took turns raping Abeer. When they were done, they shot and killed her. Then they set fire to her body.

Steven Green , former US Soldier was convicted of the rape and murder of 14-year-old Abeer al-Janabi and the killing of her mother, father and six-year-old sister in Baghdad in 2006. In his trial Steven Green said “ you all can act like I am a Psychopath or a sexual predator or whatever....But if I had never gone to Iraq I would never have got caught up in anything like this. ”

Dr Ruwan M Jayatunge M.D.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

-ඔත්තුවක්-
-බූන්දි කවි පොත් පිළිබඳ ගුවන් විදුලි වැඩසටහන් තුනක්-

1. රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත" කාව්‍ය සංග්‍රහය ගැන හැඳින්වීමක් - බී.බී.සී. සංදේශයෙන් - නොවැ. 09 වෙනි සිකුරාදා (සංදේශය තැපැල් මල්ල වැඩසටහනෙන් පසුව)

2. උපුල් සේනාධීරිගේ කාව්‍ය සංග්‍රහය "සියොතුන්ට එනු පිණිස" පිළිබඳ විමසුමක් - නොවැ. 10 වෙනි සෙනසුරාදා සිටි එෆ්.එම්. සේවයේ ආරාධනා ස්වර දැහැන වැඩසටහනෙන් (ප.ව. 7.30-9.00)

3. "සියොතුන්ට එනු පිණිස" පිළිබඳ සහ උපුල් සේනාධීරිගේ කවියාගේ කවිමග පිළිබඳ කතා බහක් - නොවැ. 12 වෙනි සඳුදා රාත්‍රී 10.30-11.00 දක්වා ස්වදේශීය සේවයේ "පෙරවදන" වැඩසටහනෙන්.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


Untitled

දැකීමට තවත් සිහිනයන්
ඉතුරු වී තිබුණද
දැන් මාගේ රාත‍්‍රීන් අහවරය.
පිටුපස හඹා එන
වියරු දළඹු රෑනකගෙන්
ගැලවෙනු වස්
තටු බිඳුණු සමනලයෙකු
ලෝකාන්තයෙන් පහලට පනියි.

නාඳුනන මළ කඳ අසල රැස්
කකා සිටිමුත්
මරණීය ශෝකාන්තය කාගේදැයි
කිසිවෙකුත් ඇසුවේ නැත.
එහෙත් අවසාන ගෞරවය කාගෙන්දැයි
කල් තබා සැකසූ සටහනක්
මල් වඩම්වල අමුණා තිබේ.

යළිත් කිසිදාක
කිසිවෙකුත් නොකියවන
දූවිලි රැඳුන දින පොත්වල
කාවුන් විසින් කණින ලද වලක
ආත්මය වළලා පලා යමු
ආපසු හැරී බැලීමකුදු නැතිවම….

අපගේ සිහින වෙන්ව තිබුණේ
තුනීමය පටලයකිනි.
එහෙත් ඒ අතර දුර
ආලෝක වර්ෂ දහසකි.

අජිත් සී හේරත්

-හිරු -නිම්තෙර-2003


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ආකාස කුසුම් ගැන
කතා කරමු මචාං...


චිත්‍රපටයකට වඩා දෙයක්

2009 ඔක් 15 -
හවස 2.30ට
YMBA කුරුණෑගල

නිළියන්ගේ කතාවක්, අපේ ජීවිත අපි සකස් කර ගන්නෙත් පිටතින් අප වෙත ලැඛෙන භූමිකා, මොඩල් හා පරමාදර්ශ හරහාමයි. හැම කාලයකමත් ඒක එහෙමයි. 70 දශකයේ මාලනී ෆොන්සේකාට තිරයේ පෙම්වතුන් කීපදෙනෙක් හිටියට පෙම්වතිය වුණේ මාලනී විතරමයි. අපේ ආදරයේ හැගීම්වලට මේ අය උදව් කරන නිසා අපිට ඒ අයව අපේ ජීවිතයේ නැදෑයෙක් වගේ දැනෙන්න ගත්ත. මාලනිගේ බෝකොළය හැඩය ගත් දිගටි මුහුණට සමාන මුහුණ කී දෙනෙක් තම ආදරවන්තියගෙ මුහුණත් එක්ක ගළපා ගන්න ඇත්ද. ඒක නිසා ආකාස කුසුම් කියන්නෙ අපිව සනසන අපේ කතාවක්. කොහොම වුණත් අපිට උදව් කරපු ඒ අයගෙ ජීවිතවල ගැටුම් හා එහි සංකීර්ණත්වයන් ගැන ප්‍රසන්න ආකාස කුසුම්වලින් අපිට ඉදිරිපත් කරනව. බලමුනේද චිත්‍රපටය. චිත්‍රපටයක් නරඹා ඉවර වු පසු තවත් ඒ ගැන සංවාදයක් හෝ සම්මන්ත්‍රණයක්æ හැම චිත්‍රපටයකටම මේ කාරණය අදාළ නැහැ. එහෙත් සමහර චිත්‍රපටවලට ඒක අදාළයි. ප්‍රසන්න විතානගේ කරන්නෙ බලල ඉවර කරන්න පුළුවං චිත්‍රපට නෙවෙයි කියලයි අපිට හිතෙන්නෙ. දේශකයො ඇවිල්ල ඒ අය චිත්‍රපටියෙ දකින එක ගැන කතා කරයි. ඔයගොල්ලන්ටත් චිත්‍රපටය ගැන වෙනත් කියවීමක් තියෙන්න පුළුවං. ඒ ඔක්කොම ගැන අපිට ඔක්තෝබර් 15 වැනිද හවස 2.30ට කුරුණෑගල YMBA එකේදී හමුවෙලා සංවාද කරන්න පුළුවං. යුද්දෙ තෝන්තුවෙන් හිටපු අපිට එහෙම දෙයක්, අපේ සමාජය තුළ ඉදිරියට නොවන්න අවශ්‍ය කරන්නෙ සංවාදවල පුහුණුව. කතා කරල විසදන්න පුළුවං විදිහෙ සමාජයක් නිර්මාණය කරගන්නත් ඒක දායක වෙන්නත් පුළුවං.


පිරිමින්ගෙ ආදරයට වඩා ගැහැණුන් අතර ආදරයට
ඛෙදාගත හැකි යමක් තිබේද?


නටුවෙන් ගිලිහී වියපත් වූ සන්ධ්‍යරාණිලාගේ (මාලනී ෆොන්සේකා) කතාව ආකාස කුසුම්හි තේමාවලින් එක් තේමාවක් වි ඇත. ධනය, බලය, කුලය පමණක් නොව පුරුෂ මූලික බවද බලයක් ලෙස කි්‍රයාකාරී වන සමාජයක එහි ගොදුර වී ඇත්තේ ගැහැණිය පමණක් නොව පිරිමියා ද නැවත එයින් හෙම්බත් කරවමින් ය. එහෙත් මෙය කතා කරගෙන ඉවරකරගත හැකි ප්‍රශ්නයක් නොවේ. එවැනි සමාජයක සැමදෙනාම යම් ආතතියකින් පෙළෙයි. ආදරයේදී පවා ගැහැණු පිරිමි අතර සමානයන් දැකිය නොහැකි තරමට ම සමාජය බල ආධිපත්‍යය ගන්වා ඇත.

චිත්‍රපටය තුළ, පිළිතුරක් සොයා යන ගැහැණුන්ගේ තාවකාලික අස්වැසිල්ලේ නවාතැන සන්ධ්‍යාරාණිගේ නිවස වී ඇත. පූර්ණ නිදහසක් කියා දෙයක් නැතිව ද වේදනාවේත් ආදරයේත් ඛෙදාගත හැකි යමක් එහි ඇති බව සන්ධ්‍යරාණිගේ නිවසට යන එන 'සම්මත' 'අසම්මත ගැහැණුන් හදුනාගෙන ඇත. මනුෂ්‍ය හැගීම්වල ගැහැණු පැති ගැන ප්‍රකාශ වන්නේ බොහෝ දේ ඇති වී නැති වී ගිය සන්ධ්‍යාරාණිගේ නිවසේය. නව පරම්පරාව නියෝජනය කරන සන්ධ්‍යාගේ දියණිය ඇයට රිදවන්නේ සන්ධ්‍යා නොවන කෙනෙක් බව බලහත්කාරයෙන් පත්වී තමාටම රිදවා ගනිමිනි. පීතෘ නීතියෙන් හා පිළිවෙළත් ආචාරධර්ම හා රීතීන් හා එහි බලාධිපත්‍යයත් වලින් මනුෂ්‍යයාගේ අර්ධයක් වන ගැහැණුන්ගේ ජීවිත වල ඇති වන ආතතිය හා එහි ගැටළු ආකාස කුසුම් හි ඉදිරිපත් කරවයි. එය ඊයෙට අදට හා හෙටටත් වළංගුව පවතින පරම්පරා තුනක් හරහා අපට කියාපාන සත්‍ය වී ඇත.

මුලසුන - අරුණ බණ්ඩාර
සංවාදය මෙහෙයවීම- අහිංසක පෙරේරා
දේශකයෝ-
• උපුල් ශාන්ත සන්නස්ගල
• සෞම්‍ය ලියනගේ
• කෞෂල්‍යා ප්‍රනාන්දු

[නොවැම්බර් ව්‍යාපාරය, විදුදය සමාජ හා පාරිසරික පදනම, දේවසරණ කේන්ද්‍රය]


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සිහිනයක කටහඩ

ඇහි පිල්ලමක් යට
සිහිනයකි.
කාටවත් නො පෙනෙන
සිහිනයෙන්වත් නො දකින.

කල් ඉකුත්වුණු මලකට
මුද්‍රා තබන්නේ කුමටද
කෙඳිරියක්වත් නො නඟාම ගිලිහී
පාවී බිමට බැස එන.

පෙති දෙ පෙති නංවන
අලූත් පැතුමක් පොපියයි
තුර - පත් සළා සරු කළ
නිහඩ සීතල දෙරණත.

විරු සමරු උලෙළකි
හෙට මෙතැන
හැඟුම්බරවන
තුරු පතින් පත පවා

අත්පොලසන් නැගෙන
හැඩුම්බරවන
සුළං දහරින් පවා
ඔල්වරසන් නැගෙන

ඇහි පිල්ලමක් යට
කඳුළකි.
සිහිනයක සිනහවෙන් ඉපදුණ.

කොපුල් නිම්නයට පිවිසුණ.

මංජුල වෙඩිවර්ධන

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails