Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

..තවමත් [මහේෂ් මුණසිංහ]

Posted by ඩෝසන් 11.27.2009

..තවමත්

දැං නැත තද රතු පාට
අහසෙහි හවසට
බලං උන්නු හින්ද ද
ඉඩහැර
ඔක්කෝම වින්නැහි
සිද්දවෙන්න ට

වරෙක උත්තම ජීවිත
මියැදේ
දේශපාලන අගුපිල්වල
වයසට යන විට.
නිශ්ශබ්ද ජීවිත
ඔහෙ වැනේ
තනි තනි කුටුම්භවල.

පොදු අරමුණක් නොව
පාඩුවේ වත් ඉන්නවානම්
කොච්චර හොඳ ද?
කෙණහිලි කුමන්ත්‍රණ විතර ය
එක එකා
කාගන්න ට සැරසුන
දඩ බල්ලන් වැනිය.

ගිනි පුපුරු
තැන තැන ඇති මුත්
අවුලූවන්න ට සමතෙකු නැත
එක යායට.
වම දකුණ වෙනසක් නැතිව
කෙළවපු ඉතිහාසය
කොච්චර දිග ද
නැගිටින්න ට බැරි තරම්
පීඩිතයින් ට දැං කෙඩෙත්තුය.

විස දළ පෙනි පෙනී ත්
ඉවසන්න ට පුරුදු වුන අපිට
හැව ඇරපු උන්
සුදුසුය සිහසුන ට
බලං ඉමු කා ගන්නට ඉඩහැර
උන් උන් ම
තව ටික කලක් නෑවිත් එළියට

බලාපොරොත්තු නම්
අතාරින්නෑ මම
තාමත් ආසයි
තද රතුපාට වෙන අහසට
හවසට


මහේෂ් මුණසිංහ
2009 11

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


"HOUSE OF SAND AND FOG" - දහදිය සිත්තම - මාසික සිනමා දැක්ම - දෙසැ. 03 - සවස 5:00ට එල්ෆින්ස්ටන් පෙරහුරු ශාලාවේදී.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

යුද්ධයට යුද්ධයක්

නෙලපු මල් අරගෙන අතින්
සමාකරගෙන
කරපු පව් කැළණියෙන්
මුදා බඳ පටි
දන් දෙමින් තරුපටි
දණ ගසත් ගජිඳෝ
විලිස්සා දත්
දිමුතු පැහැපත්

නිල්පාටම උණත්
ඉහ උඩින් අහස තවමත්
උදේ හවසට පේන
පල්ලුව තද රතුයි කොහොමත්

පැලවුනු
බිම්බෝම්බ ගස්වල
හැදේවිද හෙට
මොන මොන වගේ පලවැල
උඩගෙඩි කොහොම කැඩුවත්
වැ‍ෙටන කොට බිම
පළු දෙපළු වෙන් වෙත්

ජීවිතය ගඟුලක්ව
ගැලිය යුතුමය
පෙණ නගා ගයමින
ඒ නිසයි මේ ගල්ගෙඩි
‍වැටෙන්නේ ඉහල ඉඳ
ගලන ගංගා වලට පහලට

පඬු වුනත් කහටකි
නොහේදෙයි නොවෙයි පිරි සුදු
කොහොම ගැහුවත් ගල උඩ
රෙදි පෙරෙදි ගලවා නිරුවතින්
පොඟ පොඟා වැගිරෙන සුළු දියෙන්

ගල් උඩම පහරන බලල්
අත්වල සුවඳ ඇත
නැතත් නියපොතු
පෙරලෙති තල තලා කැකුණැට
සූකර පැටව් හිනැහෙත

පැත්ත ඇලවුනු
කුරිසියකි කතිරය
පෝලිමේ ගොස්
සීරුවෙන්
අප අපිම ඇණ ගහන
මේ කොහොම බැළුවත් ඉතින්
මලගිය උන් විතරමයි දිනුම්

-ලොකු-
2009-11

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


අවලංගු කාසියකි මම
එහෙ මෙහෙ අත දුවන
වලංගු නොවුණේ කිම
නෙක නෙක තැන විසිර

ඔය පසුම්බියේ තනියට
දිලි දිලී වැඩ විසූවට
අත්‍යාවශ්‍ය මොහොතකට
ඵලක් තියේද වැඩක් නැතිකොට

ඇති මුත් වෙනත් රට කොළ
දැනුනිද මගෙත් වගතුග
නොහැකිය තවත් රිදෙන්නට
වලංගුද හෙටටවත් මම

-- අංජන ජයවීර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මාතෘභූමි වන්දනා

පුණ්‍යභූමි
වධකභූමි
නාමමුක්ත
සොහොන්භූමි

භූමිපුත්‍ර
සරණාගත
චෝරපුත්‍ර
මස්තකූඨ.

මුග්ධවංශ
උභයචාර
නකුටවක්‍ර
සුනකපූත්‍ර

හීනදීන
කුම්භකර්ණ
ශූන්‍යඥාණ
අපෘෂ්ඨවංශ

බුද්ධභාෂ
පංචකාම
ධර්මරාජ
මුසාවාද

මේ අපේ ගිලාන වූ
මාතෘභූමියයි.
ස්වප්න‍දේශයයි..

-සුනිල් රණසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සෙනසුරු සූත්‍රය

මෘගව්‍යාධ වස්තුකාම
කන්‍යධුර්ත පුරුෂයම්
භීමවංශ මංශභක්ෂ
ජනඝාතක මෘගයම්

බංගසාල උදරපෝෂ්‍ය
කුටුඔරක්ෂ චෞරයම්
දේශප්‍රේම වහසිභාෂ
ලිංමණ්ඩුක මුග්ධයම්

පච්චවර්ණ උරසාටක
චණ්ඩචෝර ලාඤ්ඡනම්
මුඛ්‍යමාන ධර්මපාඨ
හස්තසාර අායුධම්

තුල්‍යරූප ලෝකධර්ම
සාමව්‍යාම ඛණ්ඩිතම්
රුද්‍රභීත වධබන්ධන
දණ්ඩමාල නිර්ධිතම්

කඤ්ඤවර්ණ ශ්‍රමණවේෂ
භෝජකර්ම බ්‍රාහ්මණම්
පරපෝෂිත වන්දිභට්ට
වක්‍රතුච්ඡ ප්‍රේතයම්

කාසිප්‍රේම භූමිකාම
ළුෂභරාජ මණ්ඩපම්
භීමරාජ උච්චාසන
ස්වේතපුෂ්ප මන්දිරම්

-සුනිල් රණසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සයිමන්, මම ගෲෂා.... !

නිම වීලු මහ යුද්ධය
වසන්තය ඇවිදින් දොරකඩ
සිසිරයේ කෙළවරක මග බලන
ඇහෙනවද මගේ හිත ඉකි ගසන
සයිමන්, මම ගෲෂා..........

නොඉල්ලාම සමු ගැනීමේ හාදුව
දෙවි පිහිට පතා නික්මුණ
දැඩිවී සටන් දිවා රැය
ගොස නැගුන ඒ රණ බිම
හිතුවද නිදි නැතිව රෑ මැදියම

රජ වාසලට ඉහළින්
නිල් පාට අහස් වියන යට
පිපෙනවලු මල් වෙවී
දියව යන උණු හිම කැට
සයිමන්, එහෙත් එහෙමද?

යකඩයො ඇවිත් රැව්වම
ඇස් පියා ගත්තා මිස මම
කිව්වෙ නෑ එකටෙක හෙම
ඔබ නැතිව බය දැනුණා හොඳටම

ඇහැළ මල් කෙමි අතු ඉති
හිනාවෙන වසන්තයටයි අයිති
සඳින් සඳ මෝරත
දිවුට දුන් බස සුන්ව
කඳු වළල්ලට එපිටින්
මල් පිපෙනවද මම දන්නැති ?

කිරි උනත් උණු වෙවී
බි‍ෙඳන් බිඳ ලය දවන විට
නොකියවුණු වදන් මැද
කියවුණ වදන් ගිලිහෙත
හිතෙනවා මටත් යන්නට
අසඩක් යන්න ගිය දිහාවට

වැල් පාලමේ කෙළවර,
රිදී මාලය සමග
තවමත් මම මෙතැන
මේ ගඟ ළඟ...
........................
යුද්දෙද තාම-මග එනවද
කොහෙද කොතැනද ඔබ
මේ ඉර හඳ යට
සයිමන්,
මම ගෲෂා.......... .

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


2009.10.22
ගෙදර ගිය ගමන්

සිනා බෝ වේවා!


ජනහද හඳුනන ලියන මහත්තයාට,

දෙතුන් දවසකට උඩදි නොම්මර එකේ වැඩක්නේ මට සිද්ධ වුණේ..... ජාතියේ මහා පහන් ටැඹ වගේ එක දිගට එක පෙළට පෙන්නන.... රටට ආඩම්බරයක් වෙච්ච මෙගා කතන්දර ටික බලලා පුටුවෙන් නැගිටින්නවත් හම්බවුණේ නෑ.... මේ මහ රෑ නාලකයා ඇවිල්ලා මාව කුදලං ගියානේ... ස්ටෙලා නැන්දලගේ ගෙදරින් අඩුම මිලට වඩා අඩුවෙන් ගත්ත අපේම දෙයක් නාලකයා උස්සගෙන ඇවිල්ලා තිබුණා. කට කපල බීපු වීදුරු දෙකත් උදරයට සෞම්‍ය නැති බව දැනගත්තේ පාන්දර තුන්හතර ගමනක් එළිබහින්න සිද්ධ වෙනකොට..... පිය රජුට වැඩේ ලීක් වෙලාද කොහෙද.... ගිලින්නට වඩාත් පහසු හැඩයකින් මගේ දිහා බලං ඉන්නව යංතමට දැක්ක.... මං හෙමින් සැරේ ධර්මෙ මාමාගේ කඩේ පැත්තට මාරු වුණා. බඩේ ලෙඩවලට වගේම පොඩි බඩගින්නට සුපර් බඩුවක් නිසා නුවණක්කාර අය ගන්න හුළං ඉස්කෝතු ගේන්න හිතාගෙන.... ධර්මෙ මාමාගේ වෘත්තීයමය නිපුණත්වයේ නොබිඳෙන සබැදියාව පෙන්වමින්.... මාරු සල්ලි නැහැයි කියල සිසිල ගලන මින්ට් සිදුරු දෙකක්ම ඉස්කෝතුත් එක්ක මට දුන්නා.ඒකත් කටේ දාගෙන මං පාරට බැස්ස විතරයි.....

රෝද තුනක් හයිකරපු ඕඩියෝ සෙටප් එකක් මගේ ළග නැවැත්තුවා. අයියා යනවනං නගින්න.... මේව ඇතුළෙන්ම හොඳයි..... පොඩි කුමාර මල්ලී කෑගහල හන්දිය ළගින් මාව නග්ග ගත්තා. ගමන පුරා ගෙදර වගේ....පොඩියගෙ ටුක් ටුක් එක ඇතුළේ පොල් අකුරෙන් ගහල තිබුණා. ඒකා පාගපු පෑගිල්ලට මට හිතුණේ අහස අපට කියල. යන ගමන් පොඩියා මගෙන් අහනවා..... මොකද කතා නැත්තේ තත්පරේටද අයකරන්නේ කියල..... මං කිව්වා..... මම දැන් කතාව අඩු කරලා තියෙන්නේ.... ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද මල්ලී..... අතිවිශිෂ්ටයි අයියා.... පොඩියා ඛෙරිහන් දීලා වංගුව නවලා ගත්තා.

පාරේ ගිය රුවැති යුවතියන් දෙන්නව දැක්ක ගමන් පොඩියගේ ස්පීඩ් එක අඩුවුණා. මොනවා අඩු කළත් ආදරේ අඩු කරන්න බැහැනේ..... යුවතියන් ළගට පොඩියා කිට්ටු කළා. බැලින්නං ඒකාලේ මගේ නිසැක තේරීම වෙච්ච ඉරෝෂයි නිරෝෂයි නේ මේ.....මිහිරි මතක හද ඇඳී ගිහින් සෙනෙහසේ සුමුදු පහස සිහිවුණා. යෞවනයේ පොපියන චමත්කාරය දෙගුණ තෙගුණ වුණා.

මේ මොහොත ඔඛෙයි කියල මට මගේ හිත කිව්වා. එදා ආරෙට මෙදා තාලෙට ටිකිරි මොළේ පාවිච්චි කරල ටෝක් කරපු නිසා දෙන්නම වීල් එකට ගොඩවුණා.... මටත් රස ලොව රජ කිරුළ.... පවුලේ වාහනය ඇතුළේ දැන් දිගින් දිගට කතා... හිත ඇදෙනා කතා.... දෙගුණයක් හොඳ වෙන්නද කොහෙද තුන්දෙනාම ඩබල්දාල යන මෝටර් සයිකලයක් ඉස්සර කරන්න පොඩියා සැර වෙට්ටුවක් දැම්මා......

ටික්...ටික්...ටික්... තියා එක ටික් එකක්වත් ගතවුණේ නෑ.... තුන්දෙනා පාර පුරා ගෙදර වගේ දොයියගෙන.... පැල්ලං නැත්තං ඉගෙනීමකුත් නැති එකේ... සති හතරකින්වත් මුහුණ පැහැපත් කරගන්න බැරි තරමටම ඉස්සරහ චප්ප වෙලා.... ඒ වෙලාවේ තුවාල නොවුණත් පොඩියගෙ මූණත් ඊට දෙවෙනි නෑ..... නිරෝගීමත් ශ්‍රී ලංකාවක බලාපොරොත්තු දල්වමින් පාරේ වැටිච්ච තුන්දෙනා දනිපනි ගාලා නැගිටලා අපේ පැත්තට ආවෙ නැවුම් මුවින් නැවුම් වදන් ඇදබාගෙන.... සමහර වදන් මම ඊට කලින් අහල තිබුණෙම නෑ....

පොඩියගේ කටටත් හිතේ තියෙන හොඳම කහට ඇවිල්ලා තිබුණේ. මේ කලබල අස්සේ මමත්
වීරයාවගේ ඉරෝෂවයි නිරෝෂවයි මගේ පියාපත් සෙවණට ගත්තා. පාර මැද On The Spot වෙච්ච කෙනෙක් මගේ හිටපු අඹ යාලුවෙක් වෙච්ච හින්දා ෂේප් වුනා.... නැත්තං Hitම තමයි. සුදු පටියක් හරහට දාපු රෝඩ් ස්ටාර් කෙනෙක් කොහෙන් පාත් වුනාද මන්ද..... ආපදාව ඩබල් වෙන්නයි ගියේ..... තෑගි දෙන සාස්තරේ දන්න නිසා හොඳට ගියා.... අපි පාරේ චාටර් කෑවට වටපිට අයට නං Fun තමයි.....

යහගුණයෙන් ඉදිරියට නොගිය එකේ පසුතැවිල්ලෙන් පොඩියා එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා.... ගෑණු ළමයි ඉන්නකං ජීවිතේ මල් නේ.... ඒ දෙන්නට දෙන්නා නොදන්නව උනාට ඒකාලේ ඉරෝෂයි නිරෝෂයි මගේ වැදගත් සම්බන්ධතාවයන් තමයි. හොඳම රහ දන්න අයට විතරක් හින්ද මම කාටත් හොරෙන් අනං මනං පාට්ස් නොදා කෙලින්ම ඉරෝෂට මෙහෙම කිව්වා.... අපි දෙන්නා අතර සදාකාලික බැදීමක් ඇතිවුණොත්.............. ඔයාගෙ හෙට දින එළිය කරන එක පායන හිරු මෙන් විශ්වාසයි...... කොහේ ගියත් ළගින්ම ඉන්නව කියලත් මම එයාට කිව්වා.

සුසිනිදු බවේ රහස අහන්නම හිතෙන තරම් සිහින් සිනා රැල්ලක් එයාගෙ මුහුණෙන් මතුවුණා. හිටු කියල ප්‍රතිඵල.... ඒ මොහොතෙම ෆෝන් නම්බර් එක මට දුන්නා.... හවසට හම්බවෙන්නත් එයා කැමති වුණා. හෙට පොළිය අද අතට...... ඉස්කෝලේ යන කාලේ මම දීපු ලියුම්වල තිබුණු පෙරළිකාර රසය තාමත් මතක් වෙනව කියල ඉරෝෂා ඇඹරෙන ගමන් කිව්වා විතරයි.....

මාව ප්‍රබෝධමත් වුණා... අමුතු අමුතු අපූරු දේවල් හිතන්න පතන්න ලියන්න කියන්න පුලුවන් හින්ද... මමත් එළියට එන්න ඕනා කියල හිතුණා.... ඒකයි මේ ලියමන ලියන මහත්තයට එවන්න හිතුණේ.... මහත්තයගේ තේරීම ඉහළ පෙලේ තේරීමක් වේවි.... අපේ කනෙක්ෂන් එක වෙන අයගෙ වගේ වෙන එකක් නැහැ. මොනවද ඔට්ටු! V TALK!

මීට,

රංග තඹවිට
tvranga@gmail.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සයිබර් අහස

අම්මපා මේකටත්
ඇබ්බැහි වෙච්ච ඉක්මන...
මාස ගණනාවකට
කවියක් රහ නොබැලු හදවත
දෙතුන් සැරයක් දවසට
අලුත් කවි තලුමරන ලස්සන.

BLOCK කරන් නොඉඳින
BLOG වල අකුරු අමුනන
කලු සුදු පිටු නොසෑහෙන
INTERNET පින්තූර අමුනන
අලුත් කවි ලෝකයට
අපිත් යාවෙන ඉක්මන

පාලු අහසය ජීවිතය
කවි තරු ලකුණු බෝමය
උල්කාපාත වීගෙන
හැපී ගිනි ලයි හදවත

ඉතින් ඒ උණුසුම
අලුත් කවියක උපතය

තුසිත් රවීන්ද්‍ර අ‍බේනායක
24112009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අතිනත ගත් පොත්

පතින් පත පෙරලා
පොතින් පොත අර ගන්න
පොතක් අල්ලන්නටම
මැවුනා වැනි
අතකි

පැහැපත
සිහිනි
දිග
ඇඟිලිය

පිලිඹිබු විය හැකිද
රසික මත
සුමුදු අතැඟිලි
තුඩු මත
මල් පෙතිවලින් මුද්‍රිත පොතද
නොරිදා පෙරලිය හැකි

අපේ අත් පොත් මත
එක ලඟ නතර වූයෙය
අහා මේ මනරම්
හිමිදිරි උදය සුවඳකි
මතු වන්නට හැකිය කවියක රස
රසිකාවියක සුවඳ ලෙස?

අපේ අත් නැවතින
අපේ ඇස් එක් විය
පොතපතට කල ඇල්මෙන
පින් කල බව දැනින

මේ නම් රසික දෑසකි
හොඳම කවි කියවා ඇති
සිංදු පද උඩ පාවෙන
නංගියෙකුට වැඩිය

මට පෙන්නුවා ඈ
උකුල උනුහුම රැඳි
ඇගේ කැමතිම පොත්
ඈට පෙන්නුවා මම
තාම හද ගැස්ම රැන්දුන
මගේ කැමතිම පොත්

අපේ අත් නැවතින
සිව් ඇස මුන ගැසින
හද කවි නටන්නට විය
අප දෙදෙනාගේ හදගත්
පොත් දෙක දෙක බැගිනි
මනාවට ගැලපෙන
ගත් මෙනිය අතිනත්
අපේ හිත්ගත් පොත්

එක සාහිත්‍ය මාසෙක
මනහර සැඳෑවකි
පොත්සල රසික යායකි
එකම ඉරනම් කවි පොතක් මත
අපේ අත් මුන ගැසින
අපේ ඇස් එක් විය

මා එදින කිව්වේ
කලක් මා සිත ගෙතූ කියුමකි:
“අකමැතිද අපි දෙන්නම
පොතකින් එකක් විතරක් ගන්න?”

ඇගේ මුව ගොලු විය
ඇස් බිමට යොමු විය
මා හද මතක කවි
හුදු වාර්තා බවර පෙරලින
එහෙත් ඒ අත එසවින
වලලු වීනා ගෑවෙය
දෙදෙනාම අත තැබූ
පොත මවෙත දිගු වින

“එහෙනං
ඔයා කියවලා මටත් දෙන්න”

ඒ මිහිරි ලජ්ජා මදහස
මහරුම හයිකු කවියකි
සාමකාමී උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
තිබෙයි අපෙ ගෙදර දැන්
පොත් වලට වෙන් වූ කුටියක්
දල්වන ඈ සැඳෑ කල
බුදු සාදුටද පහනක්
තිබෙයි අප හද මැදුරුවල
ඒ ‍පොත් මුන ගැසුන දවසක්
වෙනමම රාක්කෙක
තිබෙයි පොත් වගයක්
එකින් දෙක දෙක පිටපත්

ගෙදර කරදර ඇති
හිතේ පීඩා ඇති
සමහර දවස්වල
ඒ රාක්කේ පොත්
වෙන වෙනම ගෙන කියවමු
තනි තනිවම නිහඬව
අපට වෙන් වූ තැන්වල

ඇගේ පොත්වල
සහ මගේ පොත්වල
අපේ පොත්වල නැති මිහිරකි
සුලඟක අහම්බෙන් ආ
සමන් මල් සුවඳකි
සිනාවක් වැනි උදයක
විහ‍ඟෙකු ගැයූ ගීයකි

මා සොඳුරට හොරෙන්
ඒ පිටු සිඹින කල
විඳින්නේ කවි උපන් දවසකි
එහෙත් එක් දවසක
ඒ පොත් රාක්කය අස
පොතක් දෝතින් ගෙන
ඈ සිඹින බව දැක
මා හද කපා ගිය හීයකි

එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි

-ලියනගේ අමරකීර්ති
(එකමත් එක පිටරටක)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


එකුන් විසි අවුරුද්ද..!

'පබ්' එකේ පැත්තක
තියෙන ගම්මාලු ගස යට
තාමත් 'ජෝඩුවක්' ඇති
කෙල්ලෙකි වැඩිය හැඩ නැති
කොල්ලෙකි අතේ පිච්චිය නැති

අමරදේව ට සේකර ට පණ හළ
වික්ට' කටපාඩම් කළ
නන්දා ට ගී පද මතක් කළ
කපුගේ නින්දෙනුත් මිමිණුව

ගම්මාලු පොතු යට උන්ගේ හද ගැස්ම ඇති
ගම්මාලු කොළ අතර බෙදා ගත් සෙනෙහස ඇති
වසත් කල ආ කල මහ පාරටත් විසිරෙන
පුංචි කහ පෙති වල කවි ලියූ අකුරු ඇති

සඳ එළියක වැතිර
අහන මෙන ගී සර
හදෙහි වූ ආසා
සැබෑවක් වී ඇත

වියපත් විවාපත්
උසයයි උපන් දරුවත්
තරුණයි තාම හදවත්
ලියැවෙයි ප්‍රේම ගීතත්

කල් ගෙවී ගිය මුත්
සෙනෙහස නොවේ අඩුවක්
දෙන මුත් චකිතයක්
වලියක් වුණත් ජොලියක්

ගම්මාලු සෙවණ යට තාමත්
සිටිති කොල්ලත් කෙල්ලත්
පැහැරුවොත් කඳෙන් පොත්තක්
අලුත් ලේ බිඳු ඉන් ගලත්

හෂිත -2009/11/24

http://rasawathiya.blogspot.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අවතැන් දෙමළාගෙන්

ආණ්ඩුව ජෙනරාල් ගේ ආරඬාව අඩු කර නිල නිවසින් ද පිටවීමට නියෝග කරයි.
-පුවතක්

වට කර ගහන කොට
අසරණකම දැනුණ ද
කෙණහිලිකම් වල සැරට
මල්ටි බැරලූත් පරාද ද

ආණ්ඩුව කියන විදිහට
ජය පහයි අපෙ ජීවිතය
ආරඬාව වුනත් මෙහෙ ඉහලය
ගිනි අවි කරින් දරන්
සෙබලූන් ය අඩියෙන් අඩිය

ඉන්න දෙන්නම් අපේ පණ තියෙන කල්
එන්න එහෙනම් නෝනවත් අරං ජෙනරල්

මහේෂ් මුණසිංහ
2009 11

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ක්‍රි.ව. 2010 : යුද්දෙන් පස්සේ සුද්දෙ යන කාලේ.... (විරාජ් ලියනාරච්චි)

Click on the image to view


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


1976 වර්ෂයේදී ධර්මසිරි බණ්ඩාරනායක රචනා කොට, අධ්‍යක්ෂණය කොට, රංගනයෙන් ද දායක වෙමින් කරළියට ගෙනා ඒකා-අධිපති නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දැක්ම
දෙසැම්බර් 03 සහ 04 දින දෙකෙහි
රාත්‍රී 7:00ට
ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී

පැවැත්වෙයි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


වෙනස් වෙමු සාහිත්‍ය කලා කතිකාවේ දෙවන පියවර වෙන් වන්නේ ලාංකේය කවියේ එක් කඩඉමක් සටහන් කළ ලාල් හෑගොඩ කවියාගේ ගඟ වක් වී ගලන තැන කාව්‍ය සංග්‍රහය පිළිබඳ විමසීමටයි.

දිනය- දෙසැම්බර් 01 වන (පෝය දින) අඟහරුවාදාව, වේලාව- හරියටම හවස 3 ට, තැන- කොටුව YMCA ශාලාව.

විමසීම් - 0716208352 (කැලූම්)

බලනු පිණිස වීඩියෝ - "වෙනස් වෙමු" - පළමු පියවර - [රෝහණ පොතුලියද්දගේ "අහස හැඩි වී ඇත" පිළිබඳ කතා බහ]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මිදී එන උන් රිදී අරගෙන
රත්තරන් සොයනා බිමේ
නිදා ඉන්නා ලේ බිංදු ලඟ
ඉකි ගසයි නෙතු මුතු සලා

කිහිලි කරුවක වාරුවෙන් මුත්
පියාඹන්නට තතනනා
සාමයේ සුදු පරෙවි‍ ධේනුව
එක පයෙන් සිටිනා නැගී

කග පතත් අරගෙන නැගී සිට
බිම තියන්නට බැරි ලෙසින්
විරිත්තන්නේ සිංහයෝ උඹ
පරෙවියා දැකලද කියන්

දේශයේ දුක දේශයේ සැප
හිත් වලින් විඳිනා එවුන්
ප්‍රේමයේ කඳුලුද නගන්නේ
හීනයක් පිපෙනා දුරින්

-ලොකු-
20091123


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කොළඹ කවි සංහිතා ... දොරට වැඩුම නිමාවිය...

මහරෑ කොළඹ සිට කෑගල්ලට යන අතරමඟදීය..

කෙටි පණිවුඩ කවි..

කොළඹට වහින් නැහැ යක්කලට වහිනවා
කෑගල්ලටත් එහෙමයි එහෙන් ඇහෙනවා
කන්දක් මවාගෙන පල්ලමට බහිනවා
කොළඹ කවිය මත්තෙම අපිත් නහිනවා

පිලිතූරු කවිය මහරෑම මා අතට පත්කළේ රොහාන් හිතවතාය.

කවියට පෙම්බැඳන් උඹ ගමට වඩිනවා
චාටර් වෙන්න දිගටම හොදට වහිනවා
OT එකට AC දමන් නිදනවා
වැඩියෙන් සොඳුරු කිමදැයි කියා හිතෙනවා

තේ පානය සදහා වරකාපොලට ආපසු....

හිත හොදටම හීතලයිනෙ දුම්වැටියක් උරමි
කවිය තූළින් කිඳා බැහැලා හිතේ මැණික් ගරමි
එයින් එළිය විහිදෙනවා එළියේ සැරි සරමි
එළිය අඳුර වැඩි කරනවා අඳුරේ නිදි මරමි

-චතූර කේ. අමරසිංහ

ප.ලි.
ඉහත කවි සංස්කරණය නොකළෙමි. මැදියම් රෑ SMS මගින් හුවමාරු කළ අයුරින් අමු අමුවේම ඇත.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ලේ…

මගේ පෑනෙන්
ගලන්නේ ලේ..

සුරුවම පෙනෙන
මානෙක..
ගසා ඇණ
අත් පා බැඳ..
ගිනිමැලය ළඟ
තනිකළ..
මිනිසෙකුගෙ
සිරුරත ලේ..

බුදුන් බුදු වුණ
උදැහැන..
හිරු එන්ට පෙර
විල්තෙර..
ඊ තුඩු ඇණී
මියැදුණ..
හංසයෙකු ගත
රැඳි ලේ..

බෝ දුර ගෙවා
පැමිණෙන..
වීදි කෙළවර
වැතිරෙන..
බලු දිවක් මෙන්
හතිලන..
සමනල වතක
වැකි ලේ..

ලේ පැහැවෙත
අහස..
හොවා දෙදණම
මිහිමත..
මැරෙන මලකට
පෙම්කළ..
මිනිසෙකුගෙ
හදවත ලේ..

මගේ පෑනෙන්
ගලන්නේ ලේ..

-රසික ජයකොඩි
200911


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

සාගරයක් මැද !

හතා ගියා හෙන් රි ගියා
මතක තියා යන්න ගියා
මංජු ගියා භාෂි ගියා
ඉන්න බයේ යන්න ගියා

පරා ගියා සුනිල් ගියා
පණ තියෙද්දි මැරිල ගියා
අමරෙ ගියා නලින් ගියා
සෙක්කුවෙ ඇඹරෙන්න ගියා

ඩලා ගියා විමල් ගියා
පස්ස පැත්ත දෙන්න ගියා
නන්දේ ගියා කමල් ගියා
පස්සෙන් රූටන්න ගියා

ප්‍රභා ගියා කරුණා ගියා
ගම කාලා යන්න ගියා
මංගි ගියා දීප්ති ගියා
එළු වල්ලක් ගන්න ගියා

සරත් ගියා මිහින් ගියා
කෑදර කට කන්න ගියා
රනිල් ගියා එස් බී ගියා
හීන බලා එන්න ගියා

ටිල්වි ගියා අනුර ගියා
කඩේ ගිහින් එන්න ගියා
චම්පි ගියා උදය ගියා
සුදු හුණු ගා එන්න ගියා

අරුත් ගියා මූත් ගියා
වලේ වැටී ඇඳල ගියා
උඹත් ගියා මමත් ගියා
වැඩක් නැතුව ගමේ ගියා

කිරිමාමා -2009
[කියවා විනෝද වීම සඳහා පමණි.]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


2009. 11. 19 කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 50 වන රාජ්‍ය නාට්‍ය උ‍ලළේ නිල ප්‍රතිඵල ලේඛනය -

හො‍ඳම අධ්‍යක්ෂණය - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"

හො‍ඳම නාට්‍ය - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"

හො‍ඳම පිටපත - රාජිත දිසානායක - “ ආපසු හැරෙන්න බෑ"

හො‍ඳම නළුවා - ‍සෞම්‍ය ලියනගේ - “ ආපසු හැරෙන්න බෑ"

හො‍ඳම සහය නිළිය - ජයනි සේනානායක - “ ආපසු හැරෙන්න බෑ

හො‍ඳම වේදිකා පරිපාලනය -
මලින්ත පීරිස්, බන්දුල හේවගේ -“ ආපසු හැරෙන්න බෑ"

හො‍ඳම නිළිය - මාධනී මල්වත්ත - “ ජගන් මා"

හො‍ඳම සහය නළුවා- ජෙහාන් ශ්‍රිකාන්ත -
“ අහිංසකයින්ගේ ආරාමය"

හො‍ඳම සංගීතය - ශාන්ති දිසානායක - “ ජගන් මා"

හො‍ඳම අංගරචනය - සුමේධ හේවාවිතාරණ
“ අහිංසකයින්ගේ ආරාමය"

හො‍ඳම පසුතල නිර්මාණය - සහන් රන්වල
“වේලාව කීයද"

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඉල් මහේ දී සීයා මුණ ගැසී - මංජුල වෙඩිවර්ධන

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා 11.18.2009


මල් කැකුළු තුරුලු වෙත සෙනෙහසින පොකුරකට
ඉල් මහේ වස්සාන සීතලට වෙවුලමින
ගල්කිස්ස සුසානයෙ කතෝලික කෙළවරක
කල්පනා කරමි මම හෙට දින ජීවිතය


මළ හිරුගෙ අඳුරුබර කිරණ දෝතක් රැගෙන
ගලා ආ ලවන මුසු පවනැල්ල
හදවතේ ගැඹුරු ඉම සොයන සඳ
පිටෙන් පිට පෙරළේය මතක පොත
සීයේ ඔබේ දෑස අවදි කර


ඔබේ සුරතේ රැඳුණ නිරතුරුව
ඔය දෑස වෙහෙස කළ රතුපාට පොත් මිටිය
සැබැවින් ම සුවඳ මල් පොකුරක් ය
මා නැණැස අවදි කර පිරිමැද්ද
සැබවින් ම කළ්‍යාන මිතුරෙක් ය
දැඩිව මා සුරත ගෙන
බෝ දුර පිය මැන්න


ඝන අඳුරු කිරුළු හිස පළඳවන
සෑඳෑවට හඹා ගොස් පහර දෙන
පුළුටු ගන්ධය පිරුණු පව්කාර රාත‍්‍රිය
ඒ මෙය ය
යක් මුහුණු වෙනස් වුව නිම නොවන
නසන්නට මේ නපුරු රාත‍්‍රිය
නුඹ කියු මාර්ගය
තුරුණු හදවත් වලට දුර වැඩිය


කෙමෙන් මෝරා වැඩෙන
නිසංසලතාව තුළ
ඇසෙනවාද
දෙකන් බෙර පාරවන හෝ ස්වරය
නොවේ ඒ හුරු පුරුදු සයුරු රළ බිඳෙන හඬ
ඒ තමා හෙට පැහැදිලිව ඇසෙන
හදින් හද මතුව එන
අපහැදිලි රණ ගීය


ඉතින් සීයේ ඔබෙන් සමු රැගෙන
පා නගා යා යුතුය මා එදෙස
ඊට පෙර අඩදැණිව බැති සිතින
තබා යමි ඔබේ හදවත අසල
ඔබෙ නෙතින් මා නෙළුව
මේ සිතුම් මල් පොකුර
ඔව්, ඔබ සිතු ලෙස ම
සුන්දරයි හෙට දිනේ නිසැකවම


මංජුල වෙඩිවර්ධන
"නිරුත්තර සමාධිය" - 1992

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


‍හදෙහි වැඩ උන් සකි සඳ

දහසකුත් මහ සෙනඟ මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ

“ගෙවී යන කාලයට
බො‍හෝ දේ කළ හැකිය...
සදා සපථ වූවන්
ලිහා වෙන් කළ හැකිය...”
නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද

මායිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව

රඟ මඬල හස කැන් මැද
ළඟින් රඟ දුන් මිතු සඳ
සිමෙන්ති වේදිකාවෙන්
තවමත් නැගෙනවද අපෙ කට හඬ

එක්ව කළ අරගල වල
පින්සල් පහර -රතු සායමේ පැල්ලම
තවමත් ඇඟලි තුඩු අග
බොඳව ගිය මුත් නොමැකුණ

පාසලේ අවන්හල ‍කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ට්ය
රස සිහිව උගුරෙහිම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ

මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත

හෙම්බත්ව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නොකියා
මග වැටුණු කවිය ලියමි මම

රැගෙන හෙමිහිට ඉවතට
ලොව කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ

-මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
200911

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

අවජාතක වූ පරාජය තවමත් කඳවුරුවල - (කුමුදු ප්‍රියංකර)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


THE ART OF FICTION [part 2]
ප‍්‍රබන්ධකරණයේ කලාව [දෙවන කොටස]
ගුන්තර් ග‍්‍රාස්



අසන්නී
ඔබ වචන සහ චිත්‍ර අතර ගොඩනගන සම්බන්ධතා හරිම නැවුම්.

ග්‍රාස්
චිත්‍ර ඇඳීම සහ ලේඛණය මගේ නිර්මාණකරණයේ මූලිකාංග නමුත් එපමණක්ම නොවෙයි. මම මූර්ති ශිල්පයේ ද යෙදෙනවා මට විවේකය ලැබෙන පරිද්දෙන්. මට කලාව ‍සහ ලේඛණය තුල පැහැදිලි ලෙසම ගනුදෙනුවක් තියෙනවා. සමහර වෙලාවට මේ සම්බන්ධය ශක්තිමත්. අනිත් වෙලාවට මේ සම්බන්ධය දුර්වලයි. මේ පහුගිය අවුරුදු කීපයේ පුරාවටම මේ සම්බන්ධය බො‍හොම ශක්තිමත්ව තිබුනා. මේකට ‍හොඳම උදාහරණය තමයි ෂෝ යුවර් ටං [Show Your Tongue] කල්කටා වල දි නිර්මාණය කරද්දි. මට කවදාවත් ඒ පොත ඉවරයක් කරන්න ලැබෙන්නේ නැහැ ඒකේ අන්තර්ගත සිතුවම් එය තුල ගැබ් නොකළ නම්. කල්කටාවේ තිබ්බ අන්ත දූගීභාවය තුළ සංචාරකයා අසරණ වෙනවා භාෂාව අප්‍රමාණවත් වෙලා ඒ කියන්නේ ඔබට වචන සොයා ගන්න බැරි‍ වෙනවා ඒ අවස්ථාවන් නිරූපණය කරන්න. සිතුවම් තුලින් මට පුළුවන් උනා මේ අවස්ථාවලට උචිත වචන නැවත සොයා ගන්න.

අසන්නී
ඒ පොතේ කවි වල පඨිතයන් මුද්‍රිත අක්ෂර වලින් පමණක් නොව අත් අකුරු රචනා කොපි ලෙසත් සිතුවම් මත මුද්‍රණය කර තිබුනා. වචන ඔබ සලකන්නේ ග්‍රැෆික් මූල ද්‍රව්‍යයක් ලෙස සිතුවමේ කොටසක් විදියට ද?

ග්‍රාස්
සමහර කවි වල අංගයන් සූත්‍රගත වෙන්නෙම එහෙම නැත්නම් යෝජනා වෙන්නෙම සිතුවම් වල ඇනවුමක් ලෙසයි. කොයි වෙලේ හරි මට වචන හමු වෙන්න ගත්තම මම ඒ ඇඳපු චිත්‍රයේ උඩින්ම ඒ වචන අමුණලා ලියා තබනවා එවිට ඒ වචන සිතුවමේම කොටසක් බවට පත්වෙනවා. ඔබට සිතුවම් වල අන්තර්ගතය වෙනම කියවා ගන්න හැකි නම් කදිමයි. ඇත්ත වශයෙන්ම ඒ වචන එතැන තියෙන්නේ කියවා ගන්න තමයි. නමුත් සිතුවම්වල සාමාන්‍යයෙන් තියෙන්නේ මම මුලින්ම පිටපත් කළ දේවල් නැත්නම් සිතු දේවල් ඒ කියන්නේ යතුරුලියනයට එන්නට ඉස්සර මගේ සිතුවිලි. මට හරියටම හේතුවක් පැහැදිලිව තේරෙන්නේ නැහැ මේ පොත ලියන්න මට ගොඩක් අමාරු වුනා. සමහර විට මේ තේමාව කල්කටා වීම වෙන්නත් පුළුවන්. මම එහේ ගියා දෙවරක්. පළමුවෙනි වතාව තමයි ෂෝ යුවර් ටං පොත ලියන්න පටන් ගන්නට අවුරුදු එකොළහකට පෙර ඇත්තටම ඒ මගේ පළමුවෙනි ගමන ඉන්දියාවට. මම කල්කටාවේ හිටියේ දවස් කීපයක් පමණයි. මම කම්පනය වුනා. මුල ඉඳලම මම ප්‍රාර්ථනා කළා නැවත යන්න -දීර්ඝ කාලයක් ඉන්න-තව දේවල් බලන්න-දේවල් සටහන් කරගන්න. මම වෙනත් චාරිකාවලත් යෙදුනා ආසියාවේ අප්‍රිකාවේ නමුත් හොංකොං වල හරි මැනිලා වල හරි ජකර්තාවල හරි මුඩුක්කු දකිද්දී නිතරම කල්කටාවේ තත්වය සිහිවුනා. වෙන කොහේවත් මම දැක්කේ නැහැ පළමුවන ලෝකයේ ගැට‍ළු තුන්වන ලෝකය හා මේ තරමින් විවෘතව මිශ්‍ර වුනු තැනක් මේ ඉරහඳ යට.

ඉතිං මම නැවත කල්කටා ගියා‍ ඒ වගේම මට මගේ භාෂාව හසුරුවා ගැනීමේ හැකියාවත් නැතිව ගියා. මට වචනයක් වත් ලියා ගන්න බැරිව ගියා. මෙන්න මේ මොහොතේ මට චිත්‍ර ඇඳීම ඉතාම වැදගත් වුනා. ඒක තවත් විදියක් කල්කටාවේ යථාර්ථය අල්ල ගන්න උත්සාහයට. අවසානයේ දී ඒ සිතුවම් වල පිහිටෙන් මම නැවත මගේ පඨිතය සොයා ගත්තා-ඒ ටික තමයි මගේ පොතේ මුල් හරිය- ඒක රචනාවක් වැනි දෙයක්. ඒකෙන් පස්සේ මම තුන්වෙනි කොටසේ වැඩ පටන් ගත්තා -ඒක දීර්ඝ කවියක් කොටස් දොළහකින් යුත්. ඒක කල්කටාව ගැන නගර කවියක් [city poem]. ඔබ සමස්ත පඨිතය පරීක්ෂා ‍කළොත් පෙනෙයි එහි පඨිතය -සිතුවම් සහ කවිය එකිනෙකට වෙනස් තේමාවන් ඔස්සේ කල්කටාවට සම්බන්ධ වෙන ආකාරය. ඒ එකිනෙක අතර සංවාදයක් පවතිනවා ඇත්තටම ඒවායේ මතුපිටවල් එකිනෙකින් වෙනස් වූවත්.

අසන්නී
මේ පඨිතයන් අතුරින් කිසිවක් වෙනත් අනික් පඨිතයන් ට වඩා වැදගත් කමක් උසුලනව ද ?

ග්‍රාස්
මට පිළිතුරු දෙන්න පුළුවන් මටම තමයි-මටම පමණක්-කවිය තමයි වැදගත්ම දෙය. කවියකින් තමයි නවකතාවෙම උපත ආරම්භ ව‍න්නේ. මම කියන්නේ නැහැ අවසාන විග්‍රහයේදී ඒකම තමයි එකම වැදගත් දෙය කියලා නමුත් මට ඒක නැතිව ගොඩනගන්න බැහැ. මට කවිය අවශ්‍යයි ආරම්භයක් හැටියට.

අසන්නී
ඒ කියන්නේ වඩාත් ගෞරවාන්විත කලා ආකෘතියක් සත්‍යවශයෙන්ම අනිත් දේවලට වඩා?

ග්‍රාස්
නැ නැ නෑ! පඨිතය කවිය සහ සිතුවම් මගේ නිර්මාණ වල බො‍‍හොම ප්‍රජාතන්ත්‍රික විදියට සමසහභාගිත්වයකින් පවතිනවා.

අසන්නී
ලේඛණයේ යෙදෙද්දී ඔබ අත් නොදකින කිසියම් දෙයක් ඒ කියන්නේ භෞතික ‍හෝ අධ්‍යාත්මික සංවේදී යමක් ඔබ අත්දකිනව ද සිතුවම්කරණය තුල?

ග්‍රාස්
ඔව්. ලේඛණය කියන්නේ හරිම සංකීර්ණ සහ වියුක්ත ක්‍රියාවලියක්. තෘප්තිය සලකා බැලුවම සිතුවම්කරණයේ ඇති තෘප්තිය බොහෝම වෙනස්. සිතුවම්කරණයේ දී මම සත්‍ය වශයෙන්ම යමක් කඩදාසි පිටුවක් මතුපිට නිර්මාණය කරනවා යන හැඟීම මට ඇති වෙනවා. ඒක හරිම සංවේදී ක්‍රියාකාරකමක් කොහොමත් ‍ඒ දෙය ලේඛණය සම්බන්ධව කියන්න ඔබට බැහැ.
කෙටියෙන් කීවොත් මම නිරන්තරයෙන්ම සිතුවම්කරණය දෙසට යොමු වෙනවා ලේඛණයෙන් සිහි එලවා ගන්නට.

අසන්නී
ලේඛණය ඔය තරම් අප්‍රසන්න සහ වේදනාකාරී ද?

ග්‍රාස්
ඒක ටිකක් මූර්ති ශිල්පය වගෙයි. මූර්තියක් එක්ක ඔබට සෑම දිශාවකින්ම කටයුතු කරන්නට සිදු වෙනවා. ඔබ මෙතන යමක් වෙනස් කළොත් නැවත අතන යමක් වෙනස් කිරීමටත් සිදු වෙනවා. එකපාරටම ඔබ එක තලයක්ම වෙනස් කරනවා‍‍...ඒ එක්කම මූර්තිය අමුතු දෙයක් බවට පත් වෙනවා. පුංචි සංගීතයක් ඒ තුල ගැබ් වෙනවා. ඒ දේම සිදු වෙන්න පුළුවන් ලේඛණයක් තුලත්. මට දවස් ගාණක් එක දිගට පළමු වන දෙවන සහ තුන්වන අත්පිටපත් සමග කාලය ගත කරන්නට පුළුවන් එහෙම නැත්නම් දීර්ඝ වාක්‍යයක් එක්ක එහෙමත් නැත්නම් එක මොහොතක් එක්ක. මම කැමතියි මොහොතවල් වලට ඔබ ඒක දන්නවා. මම වැඩ කරනවා වැඩ කරනවා ඇත්ත වශයෙන්ම ඒක නියමයි. හැම දෙයක්ම එතන තියෙනවා නමුත් මහ විශාල බර දෙයක් ඒ ගැන සිතේ තියෙනවා. එතකොට මම එතරම් වැදගත්කමක් නැති පොඩි පොඩි වෙනස් කම් කීපයක් කරනවා ඉතිං ඒක හරියනවා! මේක තමයි මම දන්න සොම්නස කියල කියන්නේ ඒ කියන්නේ සොම්නස වගේ දෙයක්. ඒක පවතින්නේ තත්පර දෙක තුනක්. ඉතිං මම ඊළඟ මොහොත ගැන හිත යොදවනවා මොකද ඒක දැං ගතවෙලා ඉවර නිසා.

අසන්නී
අපි නැවත කාව්‍යකරණය වෙත‍ මොහොතකට ආවොත් ඔබ නවකතා තුල එහි අන්තර්ගත කොටස් ලෙස ලියන කවි වල කිසියම් වෙනසක් තියෙනව ද හුදෙකලා කවි වලට වඩා ?

ග්‍රාස්
එක කාලෙක දී මම හරිම ගතානුගතික විදියට තමයි කවිලිවීම ගැන හිතං හිටියේ. මම හිතුවේ ඔබට ප්‍රශස්ත කවි ප්‍රමාණයක් තියේ නම් ඔබ කළ යුත්තේ ප්‍රකාෂ‍කයෙකු හමු වී ඒකට තව චිත්‍ර එහෙම ඇතුල් කරල කවි පොතක් මුද්‍රණය කරන්න ඕන කියලා.
එතකොට ඔබ ගාව තියෙනවා කදිම කවි පොතක් තරමක් හුදකලා වෙච්ච ඇත්තටම කවි රසවතුන්ට පමණක් පරිශීලනය සීමා වෙච්ච. පස්සේ කාලෙකදි From the Diary of a Snail පොත පටන් ගැන්මේ දීම මම කවි සහ ගද්‍ය දෙකම එකට මගේ පොතේ පිටු අතරට යොදන්න පටන් ගන්නවා. මේ කවි වලට තිබ්බේ වෙනස් ස්වරයක්. මම දකින්නේ නැහැ කිසිම හේතුවක් පද්‍ය වෙන් කරල තියන්න ගද්‍ය වලින් හෝ එකිනෙක මුහු නොකරන්න මොකද ජර්මානු සම්ප්‍රදායික සාහිත්‍යයේ මේ දෙවර්ගයම චිත්තාකර්ෂණී‍ය ලෙස එකිනෙක මුසුව පැවතුනා. මම බොහොම ආකර්ෂණය වුන දෙයක් තමයි මගේ ගද්‍ය රචනාවල පර්ච්ඡේද අතර කවි රඳවා එහි පඨිතය මතුපිට අර්ථ දක්වන්නට. තව පැත්තකින් ගද්‍ය රචනා කියවන්නට පුරුදු වූවන්ට සමහර විට හිතෙනවා කවි කියන්නේ තමන්ට නොදැරිය හැකි බර දෙයක් විදියට අන්න ඒ අයට පෙනෙන්න පටන් ගන්නවා සමහර වෙලාවට ගද්‍යවලටත් වඩා කොතරම් සරල සහ සුන්දරද පද්‍ය කියන දෙය.

අසන්නී
ඉංග්‍රීසි කතා කරන පාඨකයන් කොපමණ ප්‍රමාණයක් රැඳුනද ඔබගේ ඉංග්‍රීසි පරිවර්තන කියවීමෙන් පසු?

ග්‍රාස්
ඒක නම් මට පිළිතුරු දෙන්න ඉතාම අපහසුයි. මම ඉංග්‍රීසි පාඨකයෙක් නොවෙයි. නමුත් මම උත්සාහ කරනවා පරිවර්තනවලට උපකාර කරන්නට. මම ද ෆ්ලවුන්ඩර් [The Flounder ] පොතේ අත්පිටපත ම‍ගේ ජර්මන් ප්‍රකාශකයා වෙත අරං ගියාම මම ඉල්ලා සිටියා අලුත් ගිවිසුමක්. මොකද මේ අත්පිටපත ලියා අවසන් කළාට පසු මගේ පරිවර්තකයන් එය හදාරා බලලා අපි සාකච්ඡාවක් පවත්වනවා සියල්ලම එකතු වෙලා ඒකේ අප සියල්ලන්ගේ බරපැන දරන්නෙත් මගේ ප්‍රකාශකයා නිසායි මේ වෙනස් ගිවිසුම පටන් ගත්තේ. අපි ‍ඒ විදියට කළා The Flounder ඊළඟට The Meeting at Telgte සහ The Rat කියන නවකතා සඳහාත්. මම හිතනවා ඒක ලොකු උදව්වක් වුනා. පරිවර්තකයන් මගේ පොත් ගැන සියල්ල දන්නවා වගේම අපූරු ප්‍රශ්නත් අහනවා. ඒ අය මගේ පොත් ගැන මට වඩා හොඳින් දන්නවා. මේක සමහර වෙලාවට මට හරිම අප්‍රසන්න‍ දෙයක් තමයි මොකද සමහර වෙලාවට මගේ පොත්වල තියෙන අඩුපාඩු මේ අය අල්ලගෙන ඒවා මට විස්තර කරනවා. ප්‍රංශ ඉතාලි සහ ස්පාංඤ්ඤ පරිවර්තකයෝ මේ රැස්වීම්වල දී ගහන සටහන් එක්කල මගේ නවකතා වඩාත් හොඳින් සම්පූර්ණව ඒ අයගේ භාෂාවලට පරිවර්තනය කරනවා. මම සහතික වශයෙන්ම කැමතියි මගේ පරිවර්තනයක් කියවන්න ඒක පරිවර්තනය කළ එකක් කියන හැඟීමෙන් පවා මිදිලා. අපි ගොඩක් වාසනාවන්තයි ජර්මානු සාහිත්‍යයේ අග්‍රගන්‍ය රුසියන් සාහිත්‍ය පරිවර්තන තිබීම ගැන. ටෝල්ස්ටෝයි සහ දොස්තොව්ස්කි පරිවර්තන සර්වසම්පූර්ණයි දැං ඒවා ජර්මානු සාහිත්‍යයේම කොටස් බවට පත්වෙලා. ශේක්ස්පියර්ගෙ සහ අනෙකුත් රොමෑන්තික පරිවර්තනවල නම් සදොස් තැන් ගොඩයි නමුත් ඒවා වුනත් යම් දුරකට චිත්තාකර්ෂණීය යි. ඒවායේම අලුත් පරිවර්තනවල සාවද්‍ය තැන් අවමයි සමහර වෙලාවට කිසි වරදක් නැහැ නමුත් සසඳන්න බැහැ කවදාවත් Friedrich von Schlegel–Ludwig Tieck ගේ පරිවර්තන එක්ක නම්. පරිවර්තකයෙකුට හැකියාව අවශ්‍ය‍ වෙන්නේ කිසියම් සාහිත්‍ය කෘතියක් ඒක පද්‍ය හෝ ගද්‍ය වේවා එම පොත නැවත එයාගේ භාෂාවෙන් ප්‍රතිනිර්මාණය කරන්නටයි‍. මම මගේ පරිවර්තකයන් උනන්දු කරවන්නේ අන්න ඒ කටයුත්ත කරවන්නටයි.

ලිපිය ඉදිරියට ඇදේ...

අනුවර්තනය ඩෝසන් ප්‍රීති

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


උතුරින් දකුනට [කඳුළු මිටියාවතින්] දර්ශන ‍‍මේදිස් - 1992

(උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)


සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරයා නැගෙන

සුනිල දිය කඳුරු වෙමු

එකම කන්දෙන් වැටෙන


වියරු ගිනි දැල් නොවෙමු

වනය අවුලා තබන

මුරුගසන් වැස්ස

වෙමු දැවෙන කැලයට වහින


චන්ඩ පවනක් නොවෙමු

දෙරන අතුගා දමන

මන්ද මාරුතය වෙමු

දෙකොන සිපගෙන හමන


නපුරු හීනය නොවෙමු

ලමුන් නිදි සුව බිඳින

සොඳුරු අඬ හැරය වෙමු

දනන් නින්දෙන් මුදන


යකඩ පිත්තල නොවෙමු

රජුන් උඩ පැන තලන

බුරුත කොස් නැදුන් වෙමු

උනට එසැවිය නොහෙන


පිදුරු පොල් අතු නොවෙමු

පැරනි ගෙට සෙවිලි වෙන

සබඳ අපි ගඩොලු වෙමු

අලුත්ගෙපැලක් බඳින

මෙම කවිය ඇසුරෙන් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි - කතෘ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook


අත්තම්මා
(අත්තම්ම ඉස්සරහ ඉටිපන්දමක් පත්තුකරගන්න බැරිවෙච්ච පළමු‍වැනි අවුරුද්ද මේක)

ඉල්මහේ සීතල අවදිව
කල්පනා කරමි රෑ මැදියම
කල්පයක් තරම් දිගු මතකය
නිල් අහස පළලටම නිසලය

මළවුන්ගෙ මාසයේ රුධිරය
කළපුවක මෙනි හරිම සසලය
මළගෙයක හැඬුම්බර කටහඬ
නළ මුදුව ගලා ඒ කුටියට

ගල්කිස්ස සුසානේ සැතපෙන
අත්තම්ම නෙතේ වූ කඳුළක
සද්දන්ත සෙනේහේ සිසිලත
නිස්සද්ද මගේ ළය කළඹන


විඩාබර කතෝලික කුරුසිය
සදාදර ඇගේ හිස අබියස
කතා කර පුතේ යැයැ අමතන
ඇගේ නෙත මගේ නෙත සනහන


අන්තෝනි පල්ලියේ සියොළඟ
පින්තාරු කළ නොහෙන සුරුවම
කන්තාරු ගීතිකා තටුගෙන
නින්නාද නගාගෙන පියඹන


කැරලි කෙහෙරැලි නැගුණු හිස මත
ඇඟිලි තුඩු හොවා තඩි විමසන
සරැලි නග නගා කවි කිය කිය
කෙවිලියක විලාසෙන් හිනැහුණ


පැල්පත්ම කිව නොහෙන නිවසේ
‍පොල් පත්ය සෙවෙනි කර තිබුණේ
ඉල් මහේ වස්සාන වතුරේ
හිල් තුළිනි ඈ නින්ද පෙඟුණේ

ගොප් කොළින් සැරසුණා මග දිග
ලොප් වුණා මගේ කල දවසම
දුක්වෙලා පළක් නැති අඳුරඑ
රොක් වුණා මගේ කවි සපුවම

රොටියක් ඔබේ අතින් වළඳන්න
ගුටියක් කකා හිත ම සනසන්න
ඉටිපන්දමක් රැගෙන පැමිණෙන්න
කෙටි මගක් තිබේදැයි කියපන්න


මංජුල වෙඩිවර්ධන
ඉල් 15 - 2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Posted by හෂිත














23.

කිරිකැටියෙකු ගේ දෑස මත

තටු සලන නිද්‍රාව ...!

පියඹා ආවේ එය කොහෙන්දැයි

දන්න කවුරුවත් හෙම

ඉන්නවද....?

ඔව්,

කට කතාවක් තියෙනවා නම් තමයි

එය,

කණමැදිරින් ගෙ දිදුල පහනින් එළිය වුන

වන දෙව්ලියන් නිවසනා ගම්දොර

වන පෙතේ සෙවනළු අතර

මෝදු වී ඇති අහිංසක-බිය රැඳුණ

මායාකාරී මල් පොට්ටු දෙකක් තුළ

රැඳෙන බව.

පියාඹා එනවාලු එය, එහි සිට

සිප ගනු පිණිස

කිරිකැටියාගෙ නෙතු යුග.


නිදිගත් කිරිකැටියෙකු ගෙ

දෙතොල් මත පොපියනා

මන්දස්මිතය......!

උපන්නේ මිහිතලේ එය කොහේදැයි

දන්න කවුරුවත් හෙම

ඉන්නවද.......?

ඔව්, කට කතාවක් තියෙනවා නම් තමයි

බොඳව යන ශරත් වලා රැල්ලක අද්දර

තැවරුණු චන්ද්‍රලේඛාවෙක

සුහුඹුල් හෙල්මැලි රැස් රැහැන් පට

හා එක් ව

පිනි පොදින් සේදුණ

උදෑසන මැවෙන සිහිනයක් තුළ

එය උපන් බව,

රඟන්නට එනවාලු එය

නිදිගත් කිරිකැටියා ගෙ

දෙතොල් පෙති මත


නිදිගත් කිරි කැටියෙකුගෙ

දෑත දෙපය මත

මල්වර වන


සොඳුරු මුදු නැවුම් බව

හැංගිලා හිටියෙ එය

මෙතුවක් කොහේදැයි

දන්න කවුරුවත් හෙම ඉන්නවද..?

ඔව්

මෑණියන්

හිරිමල් කෙල්ලක් ව හුන් සන්දියේ

ඇගේ සියුමැලි හද තුළ

මුදු නිසල විස්මයක් වී ප්‍රේමයේ

හැංගිලා හිටියෙ එය....

නිදිගත් කිරි කැටියෙකුගෙ

දෑත දෙපය මත මල්වර වන

ඒ සොඳුරු මුදු නැවුම් බව


ඨාකූරයන් ගේ ගීතාංජලියේ 61

පරිවර්තනය මාධව වෛද්‍යරත්න (1989)


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails