
අපගේ යුගයේ කලාව හා දේශපාලනය දෝ හෝ නො හොත් විශාරද අමරදේවයන්ට විවෘත ලිපියක්
ප්‍රිය අමරදේවයනි,
1980 නොවැම්බර 18 වැනිදා ඇත්ත පත්‍රයට ඔබ නිකුත් කොට තිබුණු ප්‍රකාශය කියවූ අපට විවෘත ලිපියකින් ඔබ ඇමතීමට සිත් විය.
කලා නිර්මාණයට හේතු වන බුද්ධිමය තතු වනසා දැමීමටත් ඔබේ ප්‍රතිභාව පරිහාසයට ලක් කිරීමටත් එරෙහිව ඔබ උග්‍ර සටනක යෙදී සිටින සෙයක් එම ප්‍රකාෂයෙන් පෙනේ. එහි ලා ඔබගේ අවංක රසිකයන් සිතන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශ කළ යුතු හෙයින් මෙලෙස ඔබ අමතමු. දසක දෙකකටත් වැඩා දිගු කලක් තිස්සේ අපගේ කලා රසාඥතාව වර්ධනය වීමට ඔබගෙන් සිදු වූ සේවාව ඉමහති. ඔබත් අපත් අතර ප්‍රියශීලි මිතු දහමක් ද පවතී. ජාත්‍යන්තර ගීතය සිංහලෙන් ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඔබ ඔබගේ නොමසුරු සහයෝගය අපට දුන්නෙහිය. වෙසෙසින්ම මෙකී කරුණු නිසා මේ මොහොතෙහි නිහඩව සිටීම යුක්ති සහගත නොවේ ය යන හැඟුම අප තුළ උපදී.
සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහි පෙත්සමකට අත්සන් කළ "වරදට" ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් නෙරපන ලද්දේහි ය යි වාර්තා විය. එම "වරදට" රාජ්‍ය ඇමතිවරයාගෙන් සමාව අයැද සිටි හෙයින් ඔබ යළිත් සේවයෙහි පිහිටුවන ලද්දෙහි යයි පසුව පළ විය. මින් පළමු වැන්න අපගේ විස්මයට හේතු නොවී ය. බලාපොරොත්තු වූවක්ම හෙයිනි. එහෙත් දෙවැන්න නම් හදිසියේම හිස මත පාත් වූ රුදුරු හෙණ පහරක් බඳු විය. කිසි කලෙකත් බලාපොරොත්තු නොවූවක් හෙයිනි. එසේ වූ නමුදු අකම්පිතව සිට එය විඳ දරා ගෙන කළ යුත්ත කිරීමට අපි අදිටන් කර ගතිමු.
ඔබගේ "කරුණු පැහැදිලි කිරීම" ඇත්ත පත්‍රයෙහි පළ වූයේ ඊට පසුවය. ඔබ දණ නොගැසූ බව පමා වී නමුත් එම ප්‍රකාශයෙන් පැහැදිලි වන අතර ඔබ අපට සපුරා ම නැති නොවිණැයි යන හැඟීම ජනිත වෙයි. මේ හැඟීමේ සත්‍යාසත්‍යතාව අනාගතයෙහි උරගා බැලෙනු ඇත.
ඔබ කළැයි කියන ඒ පාපොච්චාරණය ඔබට නිගරු කොට ඔබ හෙළා දැක්වීම වස් ඔජ වඩමින් හුවා දැක්වූ මහතුන් හා ධනපති පුවත්පත් හෝ අධම ගණයේ අරමුණු සඳහා ඔබ මියුරුසර ගණිකා වෘත්තියෙහි යොදවන ගුවන් විදුලි සංස්ථාව හෝ ඇත්ත පත්‍රයෙහි ඔබ කළ ප්‍රකාශයට කිසිම ප්‍රසිද්ධියක් ලබා දී නැත. මෙහි කවර විස්මයක් ද? කලා නිර්මාණයට හේතු භූත වන්නා වූ බුද්ධිමය තතු වනසා දමමින් දුර්ලභ ප්‍රතිභාව අවමානයට පාත්‍ර කිරීම දිරාපත් වන ධනේශ්වර ක්රමයේ සිරිත හෙයිනි. 1938 වර්ෂයෙහි ලියොන් ට්‍රොට්ස්කි පැවසූ පරිදි:
"ප්‍රාඥ නිර්මාණ කිරීමේ හැකියාව ලබා දෙන තත්වයන් සමකාලීන ලෝකයෙහි එන්ට එන්ටම දිගට හරහට විනාශ කෙරෙන බව අප පිළිගත යුතුය. මෙහි අනිවාර්ය ප්‍රතිඵලයක් වසයෙන් කලා කෘති පමණක් නොව සුවිශේෂ කලාත්මක පෞරුෂය ද එන්ට එන්ට ම වැඩි වැඩියෙන් එළිපිටම නිග්‍රහයට පාත්‍ර වීමක් සිදුවේ."
[ලියොන් ට්‍රොට්ස්කි -සංස්කෘතිය හා සමාජවාදය සහ කලාව හා විප්ලවය, කම්කරු මාවත ප්‍රකාශන 1979 පි.31]
මෙරට පාලක පන්තිය කිසි කලෙකත් කලාකරුවන්ට හිස එසවීමට ඉඩ දුන්නේ නැත. ඔබ වනාහී ඔවුන් දුන් දිරියක ඵලයක් නොව මෙරට මහජනතාවගේ ජයග්‍රහණයකි. ඔබව කෘතඥතාවෙන් සඳහන් කරන පරිදි ඔබගේ ප්‍රතිභාව සුපුෂ්පිත වීමට අවශ්‍ය වූ පුහුණුව ලැබීමට පොදු ජනතාව එකතු කොට දුන් මුදල් ආධාර ද පිටුබල විය. එහෙයින් ඔබගේ ඒ සුවිශේෂ නිර්මාණාත්මක පෞරුෂයට අවමන් කිරීම සඳහා ගෙන යන මේ නිහීන ව්‍යාපාරය අරබයා අප තුළ දෙගුණයක දොම්නසක් හා වෛරයක් පිළිසිඳ ගනී. ඔබගේ නිර්මාණ ශක්තිය වනාහි කාලාන්තරයකින් පහළ වන අයුරේ දුලබ සම්පතකි. ඔබගේ ගැයුම් වැයුම් වලින් ධ්වනිත වන්නේ පරිපූර්ණ සුසංවාදී ජීවිතයක් සඳහා පොදු මහත් ජනතා තුළ පවත්නා සොඳුරු පැතුමයි.
ඕනෑම කලාත්මක නව නිර්මාණයක් පහළ වන්නේ පුද්ගලයෙකුගෙන් ය. පුද්ගල ආත්මයෙහි නිදන්ව පවත්නා කුශලතාවයන් දැල්වී ක්‍රියාත්මක වීමෙන් බිහි වන එය සංස්කෘතිය වෛෂයික වසයෙන් ආඨ්‍ය කරයි. එහෙයින් එය දුර්ලභ ගණයේ අහම්බයක ඵලයක් සේ දිස් වෙයි. වෙනත් ලෙසකින් කිව හොත් වෛෂයික අවශ්‍යතාවක් ඉබේ මෙන් මතු වී ප්‍රකාශයට පත් වීමක ඵලයක් සේ දිස් වෙයි. වෛෂයික ඥානයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට එවැනි නිර්මාණ සුළුපටු කොට තැකිය නොහැකිය. විශේෂයෙන්ම නිර්මාණාත්මක කටයුතු වලට තුඩු දෙන බුද්ධිමය තත්වයන් වැනසීම ගණන් නොගෙන උදාසීනව සිටින්ට අපට බැරිය. ඒ අතරම ප්‍රාඥ නිර්මාණ හසුරුවන සුවිශේෂ ප්රතිභාමය නිමයන්ට සෑම ගෞරවයක් ම දැක්වීමට ද අප සමත් විය යුතුය.
ට්‍රොට්ස්කි මෙසේ ද පැවසී ය:
"ශිෂ්ටාචාරය විනාශ වී යෑමේ තර්ජනය මින් පෙර කිසි කලෙකත් අද තරම් බරපතළ ලෙස උද්ගත නොවූ බව අතිශයෝක්තියකින් තොරව කිය හැකිය. වැන්ඩල්වරු ම්ලේච්ඡ වූ ද එහෙයින්ම සංසන්දනාත්මකව බලන කල්හි ප්‍රබල නොවූ ද ආයුධ මගින් යුරෝපයේ එක් කොනක පෞරාණික ශිෂ්ටාචාරය මකා වනසා දැමූහ. එහෙත් අද දින එකට බැඳී සිය ඓතිහාසික ඉරණමට මුහුණ පා සිටින ලෝක ශිෂ්ටාචාරය වර්තමාන තාක්ෂණයේ සමස්ත අවි ගබඩාවෙන් ම සන්නද්ධ වූ ප්රතිගාමී බලවේගයන් එල්ල කරන ප්‍රහාරවලට ගොදුරු වී හැකිළී යමින් තිබෙන සැටි අපට දිස් වේ. අප මේ කල්පනා කරන්නේ ළඟා වෙමින් තිබෙන ලෝක යුද්ධය ගැන පමණක් නොවේ. 'සාම' කාලවල දී පවා කලාවටත් විද්‍යවටත් ලබා තිබෙන දශාව අත්‍යන්තයෙන්ම ඉවසුම් නොදේ." [ඒතැනම]
දෙසාලිස් වසක් තරම් පෙර ට්‍රොට්ස්කි දුටු මේ තතු අද දවසෙහි බිඳකිනුදු වෙනස් වී නැතුවා පමණක් දසදහස් ගුණයෙන් උග්‍ර වී ඇත.
1971 න් පසු බලයේ සිටි සෑම ධනේශ්වර පාලක කල්ලියක්ම කලා නිර්මාණය ට තුඩු දෙන බුද්ධිමය තතු නිර්දය ලෙස වැනසූ අතර අපූර්ව වස්තු නිර්මාණයෙහි සමත් ප්‍රඥාව වන ප්‍රතිභාවට දැඩි ලෙස නිගා කළේය. වාරක මණ්ඩලය නමැති කලා පොලීසියක් ද තිර නාටක මණ්ඩලය නමැති ඔත්තුකාර බල මණ්ඩලයක්ද අටවන ලදී. කලා කෘති කප්පාදු කොට ද තහනම් කොට ද දමන ලදී. කලාකරුවන්ට දෂ්ට කිරීමට බුරා පනින ලදී. කලාකරුවෝ දඟ ගෙයි ලන ලදහ. කුප්‍රකට හතර වෙනි තට්ටුවට ගෙන ගොස් අවමන් කරන ලදහ. මින් මත්තට "කලාකරුවන්" වසයෙන් පවතින්ට ඉඩ දෙන්ට යන්නේ පාලක පන්තිය අබියස දණ ගසා ගෙන එහි ගුණ වරුණ ගයන සත්ව විශේෂයකට පමණක් බව ඔබට ඇටවූ උගුලෙන් පෙනේ.
ඈත අතීතයේ පැවති වහල් සමාජ හා වැඩවසම් සමාජ පවා ප්‍රතිභාවට මේබඳු නිගාවක් නොකළේය. දුර්ලභ ආවේශයක නැත හොත් සහජ වාසනාවක ප්‍රතිඵලයක් සේ සලකා ප්‍රතිභාව ඒ සමාජ විසින් මහත් ගරු සම්මානයෙන් නොපුදන ලද්දේ ද? ප්‍රතිභා ශක්තිය පල ගන්වනු වස් නිර්මාණ වෘත්තිය වෙන ම ස්වාධීන සංස්ථාවක් බවට පත් කොට ඊට රක්ෂණාවරණ ගුප්තිය නොසලස්වන ලද්දේ ද?
කලා නිර්මාණය ඉතා අහිංසක ව්‍යාපාරයක් සේ සලකනු ලැබේ. එයට මෙවන් රුදුරු පහර එල්ල කිරීම කාලිදාස කිවිඳුන් පැවසූ පරිදි "පුලුන් රැසෙක ගිනි ලෑමක්" සෙයින් දිස් වේ. එබඳු අහිංසක සද්ව්යාපාරයකට මෙවන් දරුණු පහර එල්ල කරන්නේ මන්ද?
බොහෝ දෙනා මේ ප්රතිවිරෝධයේ හැපී වැටෙති. ඔවුන් සිතන්නේ පාලකයන් තමන්ගේ කලා විහීනත්වය නිසා මෙලෙස කලාකරුවන් හා කලාව මඩින බවය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ මෙසේ කීහ:
"රජය යයි කියන්නේ මහජන ඡන්දයෙන් රාෂ්ට්‍ර පාලනය සඳහා තෝරා ගන්නා ලද පුද්ගලයන්ට ය. ඒ පුද්ගලයෝ කලා රසිකයෝ නොවෙත්. ඔවුහු කලා රසිකයෝ වෙත් නම් රාෂ්ට්‍ර පාලන කටයුතුවලට ඉදිරිපත් නොවෙති..."
[කල්පනා ලෝකය, 1959 පිටු 6-7]
එහෙත් කලා මර්දනයට හේතුව මෙය නොවේ. අද දින පාලක පන්තිය ජන ජීවිතයේ කවර ක්ෂේත්රයකට වුව එල්ල කරන්නා වූ සෑම ප්රහාරයකටම හේතුව ඔවුන් එරී සිටින වේරම්බ වාතයක් මෙන් ලොව අළලා පැතිර යන පෙර නොවූ විරූ ආර්ථික අර්බූදය යි. ලෝක ආර්ථික අර්බූදය නමැති මේ දැවැන්ත බලවේගය සියලු ධනේෂ්වර පාලක පන්තීන් රූකඩ ලෙසින් නටවයි. ඔවුන් වැඩ වර්ජකයන් දොට්ට දමන්නේත් වර්ජන නොකළ අය සේවයෙන් දොට්ට දමා කම්හල් අගුළු ලන්නේත් පාසැල් හා රෝහල් වනසන්නේත් ආහාරපානවල හා ගමන් බිමන් මිල් අහස උසට නංවන්නේත් පොලිස් හමුදා මැරවර බළකායන් වීදි බස්වන්නේත් මේ ආර්ථික අර්බූදයේම මෙහෙයුම යටතේය. එහෙයින් කලාවට එල්ල කරන් මේ ප්‍රහාරය කෑම් බීම් ඉඳුම් හිටුම් ගමන් බිමන් බේත් හේත් යනාදියට එල්ල කරන ප්‍රහාරයේම අවියෝජනීය කොටසකි. ආධ්‍යාත්මික ජීවිතය වැනසීම ද්‍රව්‍යමය ජීවිතය වැනසීමේ සැලැස්මේ ම කොටසක් නොවන්නේ කෙසේ ද?
එහෙත් තත්වය එතරම් සරල නැත. ලොව පුරා කම්කරු පීඩිත ජනතාවෝ සිය ජීවිත වැනසීමට එරෙහිව පිළිමල්ව ප්රහාරකව ඉදිරියට එති. සමාජ විප්ලවය දවසේ න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇත. පාලක පන්තීන්ගේ ආයු කාලය අවසන් වෙමින් පවතී. වියට්නාමය ද නිකරගුවාව ද ඉරානය ද පෝලන්තය ද දෙස බැලුව මැනව.
සියලු හොඳ කලා නිර්මාණ තමන්ට පරම ලෙස හතුරු බවත් සමාජ විප්ලවයේ වාසියට සිටින බවත් මිනී වළ දෙසට තල්ලු වී යන ධනේශ්වර පාලකයෝ දනිති.
කලා නිර්මාණයේ ස්වභාවය විමසා බැලුවහොත් ඔබට මේ බව පසක් වනු ඇත.
සමාජය තුළ වසන සුභාවිත මනසකින් ද සුසංවේදී ඉඳුරන්ගෙන් ද යුතු පුද්ගලයෙකු වන කලාකරුවාට යථාර්ථය මුළුමනින්ම තමන්ට නතු කර ගැනීමට මිනිසා දරන නිමක් නැති ප්රයත්නයේ වේදනාව ප්රත්යක්ෂ වෙයි. හාත්පසින් පවත්නා යල් පිනූ සමාජ සංස්ථාවන් තමාට හතුරු බව ඔහුට දිස් වෙයි. තමා තුළ ජනිත වන කිසිදු පුද්ගල ආශා අභිලාෂ යනාදියක් සපුරා ගත නොහැකි සැටි ඔහු අත් දකී. ඔහුගේ හදවත් වීණාවේ සියුම් තත් ශෝකයෙන් තම්පාව නද දෙන්ට පටන් ගනී. මෙනයින් ඔහුගේ පුද්ගල ආත්මයත් බාහිර යථාර්යත් අතර බිඳුණු සමතුලිතතාව කාල්පනිකව ප්‍රතිෂ්ඨාපනය කර ගැනීමට ඔහු දරන තැතේ දී කලා කෘතිය මතුව එයි.
වඩාත් සුසංවාදී වඩාත් පරිපූර්ණ සුපුෂ්පිත ජීවිතයක් සඳහා තමා තුළ පවත්නා පැතුම ඊට හරස්ව සිටිනා සමාජ සබඳතා සමග ගැටෙන්ට වන කල්හි කලාකරුවා එම පැතුම සුන්දර කලා නිර්මාණ තුලට ඔසවා තබා සහෘදයන් වෙත ඉදිරිපත් කරයි. මෙනයින් බලන විට සෑම හොඳ කලා නිර්මාණයක් තුළම ගැබ් වන්නේ වඩාත් සුසංවාදී වඩාත් පරිපූර්ණ සුපුෂ්පිත ජීවිතයක් සඳහා කලාකරුවා නමැති සුවිශේෂ පුද්ගලයා තුළ පවත්නා පැතුමයි.
රසිකයන් ද කලාකරුවා වසන සමාජයේම වසන්නන් වන හෙයින් ඔවුන් මුහුණ පා සිටින්නේ ද කලාකරුවා මුහුණ පාන යථාර්ථයට මය. කලාකරුවා වනාහි පොදු මහත් සමාජය නමැති සාමාන්‍යයේ සුවිශේෂයක් වන හෙයිනි. එහෙත් වෙනසක් පවතී. කලාකරුවාගේ ප්‍රතිභා චක්ෂුසට විශද වන මනුෂ්‍ය වේදනාවේ යට කී අන්තර්ගතය පොදු මහත් ජනතාවගේ මසැසට ඒ අයුරින්ම විශද නොවේ.
මෙසේ සිටින රසික ජනතාවට කලා නිර්මාණ සමග සම්පර්කයකට පත් වීම නිසා යථාර්ථය ඇති සැටියෙන් විවර වී දිගංශය යා යුතු මංපෙත් පෑදේ. සාමූහික අවිඤ්ඤාණය සාමූහික විඤ්ඤාණය බවට පෙරළෙයි. ඥේය මණ්ඩලයේ මෙන්ම භාව මණ්ඩලයේ ද නිම් වළලු ප්‍රසාරණය වී ජීවිතය සඳහා ධාරිතාව පෘථුල වෙයි. උත්තරීතර ජීවිතයක් සඳහා පැතුම් පිබිද එයි. අවසාන වසයෙන් සිදු වන්නේ රසිකයා ජීවිතය කෙරෙහි පෙම් බැඳ ගැනීම හා ඊට එරෙහිව පවත්නා බලවේග පෙරළා දැමීමේ විමුක්තිකාමය පිළිලැබීමයි. කලාකරුවාගේ ප්රත්යං ආත්මයට දැනුණු ඒකල විමුක්තිකාමය නමැති ගඟ ගලා ගොස් පොදු මහත් ජනතාවගේ සාමූහික ආත්මයට දැනෙන පරම සාමූහික විමුක්තිකාමය නමැති මහ සමුදුරට එක් වෙයි. එම මහ සමුදුර ගොඩ ගැලීම යනු සමාජ විප්ලවය ඉස්මත්තට පුපුරා ඒමයි.
මෙලෙසින් තනි පුද්ගලයෙකු කෙරෙන් පහළ වන හෙයින් දුලබ අහම්බයක් සේ දිස් වන කලා නිර්මාණය සැබවින්ම ඓතිහාසික අවශ්‍යතාවේ ප්රකාශනයක් වන්නේය.
අර්බූදයේ එරී සිටින ධනේශ්වර පාලක පන්තිය කලාවට හා කලාකරුවන්ට බුරා පනින්නේ මෙහෙයිනි. හොඳ කලා කෘතියක් බිහි වීම යනු ඔවුන් අඩි ගණනකින් මිනී වළ ගැට්ටට ළං වීමකි. කලාවට බිය නොවන සමාජ විප්ලවය එයට රැකවරණය සලසා දෙයි.
තතු මෙසේ හෙයින් ධනේශ්වර ක්‍රමය අවසාන වසයෙන් පෙරළා දැමීමෙන් තොරව කලාවට නිදහසක් නොලැබේ. ධනේශ්වර බන්ධන අඩස්සියේ හිර වී සිටින ප්‍රතිභා ශක්තිය ඉන් නොමිදේ:
"ගතානුගතික ආකෘතීන් එහෙන් මෙහෙන් වෙනස් කර ඉදිරිපත් කිරීමෙන් සෑහීමකට පත් නොවී මිනිසාගේත් මිනිස් සංහතියේත් කාලීන ආභ්‍යන්තර අවශ්‍යතාවන් ප්‍රකාශ කිරීමෙහි ව්‍යාවෘත වන්නා වූ සැබෑ කලාවට විප්ලවවාදී නොවන්ට සමාජය පූර්ණ වසයෙන් හා ආමූල වසයෙන් යළි ඉදිකිරීමක් ප්‍රාර්ථනා නොකර සිටින්ට බැරි ය. සැබෑ කලාවට මේ ප්‍රාර්ථනාව සපුරා ගත හැක්කේ එය ඉදිරිපත් වී ප්‍රාඥ නිර්මාණ කාර්යය බන්ධන අඩස්සියේ ලා ගෙන සිටින යදම් පුපුරුවා හැර අතීතයෙහි තැන් තැන්වල තනි වී සිටි ප්ලේටෝ ඇරිස්ටෝට්ල් හෙගල් මාක්ස් බඳු සුධීමතුන් කීප දෙනෙකු පමණක් නැගුණු ඉහළ මට්ටම් කරා නැග ගැනීමට මුළු මහත් මනුෂ්‍ය සංහතියටම ඉඩ ප්‍රස්තා සලසා දෙන්නේ නම් පමණකි. නවතම සංස්කෘතියකට මග එළි පෙහෙළි කළ හැක්කේ සමාජ විප්ලවයට පමණක් බව අපි විශ්වාස කරමු. දැනට සෝවියට් සංගමය පාලනය කරන නිලධරයට අප සකල සහයෝගයක ම ප්‍රතික්ෂේප කරන්නේ අපට පෙනී යන අයුරින් එය කොමියුනිස්ට්වාදය නොව එහි ද්රෝහීතම වූ පරම හතුරා නියෝජනය කරන හෙයින්ය." ට්‍රොට්ස්කි පෙර කී කෘතිය පි 31
මේ අතර තවත් බිරුසනයක් ඇසේ. එය ඇසෙන්නේ ස්ටැලින්වාදීන්ගේ කඳවුර පැත්තෙනි. අමරදේවයනි ඔබේ රැකියා අයිතිය අහිමි කළ විට ඇත්ත පත්‍රයට ලිපියක් ලියූ ගුණසේන විතාන නමැත්තා මෙසේ කීය. අමරදේවයනි ඉතින් දැන වත් සන්නාලියන් ගැන නොගයා අවි ගැටෙන හඩ ගැන ගයන්න.
ගුණසේන විතාන වනාහි අටුවම් බැහැපු ස්ටැලින්වාදියෙකි; පමා නොවී වැහැපන් වැහි වලාවේ යනාදී සභාග ආණ්ඩු ප්රශස්ති ලියා අවලංගු වූවෙකි. සභාග ආණ්ඩු කාලයේ කළ සෑම අපරාධයකට ම හවුල්කරුවෙකු වූ ඔහුගේ දෑතෙහි ලේ තැවරී ඇත. ආසියා-අප්‍රිකා ලේඛක සංගමය නමැති ගුබ්බෑයම පසු ගිය දා "පද්ම ත්‍යාගය" නමැති කප්පමක් ඔහුට දුනි. හොරුන්ට කප්පම් දෙන්නෝ හොරුන්ගෙත් හොරු වන කම්බා හොරු නො වෙත් ද? මේ හොරුන් ගැනත් කම්බා හොරුන් ගැනත් ට්‍රොට්ස්කි කී දෙයක් ම ගෙන හැර දැක්වීමට මට සිත් වේ.
"සෝවියට් සංගමයේ ආඥාදායක ආධිපත්‍යය සිය පාලනය යටතේ අන්‍ය රටවල පවත්නා ඊනියා සංස්කෘතික සංවිධාන මාර්ගයෙන් උප්පරවැට්ටි යොදා සකලවිධ ආධ්‍යාත්මික සාරධර්මයන්ට සතුරු වූ ඝන තිමිර පටලයක් මුළු ලොව පුරා ම විදා හැර ඇත. දාස භාවය ජීවන වෘත්තිය බවටත් කුලියට බොරුකීම සච්චාරිත්‍රයක් බවටත් අපරාධ වසා සැඟවීම චිත්ත ප්‍රීතිය ලැබීමේ මගක් බවටත් පත් කර ගත් මිනිස්සු බුද්ධිමතුන් හා කලාකරුවන් ලෙස වෙස් වළාගෙන නින්දිත බොරු ප්‍රචාර හා ලේ හැළීම් නමැති මේ ගනඳුරෙහි ඕනෑකමින් ම ගැලෙති. තමන් කුලී ලොබින් කර ගෙන යන මේ රැකියාවේ සැබෑ තත්වය සැඟවීමට ඔවුන් දරන වෑයම ස්ටැලින්වාදයේ නිල කලාව තුළ ඉතිහාසයේ කිසි කලෙකත් නොවූ විරූ නග්නත්වයකින් යුක්තව පිළිඹිබු වන්නේ ය. මේ වනාහී කලාවේ ප්‍රතිපත්ති නිර්ලජ්ජී ලෙස නිෂේධනය කර දැමීමකි." ට්‍රොට්ස්කි එම පි 32
ස්ටැලින්වාදීහු නම් මහජන ව්‍යාපාරය තුළ ලැග සිටින ධනපති පාලක පන්තියේ තැරැව්කාරයෝය. තම්කරු පන්තිය රඳවා තබා අවි ගැටුම් වැළැක්වීම ඔවුන්ගේ කර්තව්‍යය වේ. ධනපති ක්‍රමය දියත් කරන ද්‍රව්‍යමය ජීවන සංහාරයට ඔවුහු උඩගෙඩි දෙති. මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 30000 ක් නෙරපීමට ඔවුහු පක්ෂය. නිර්ව්‍යාජ කලාවෙන් රසිකයන් තුළ ජීවිතය සඳහා ධාරිතාව පෘථුල වීම ස්ටැලින්වාදීන් භාර ගෙන තිබෙන ජීවන සංහාරයට උඩගෙඩි දීම සමග ගැටේ. මෙහෙයින් ඔවුහු නිර්ව්‍යාජ කලා නිර්මාණය නතර කොට ඔවුන් භාර ගෙන තිබෙන කර්තව්‍යයේ මහිමයට ප්රශස්ති ගයන ලෙසන කලාකරුවන්ට කියති.
මෙය ස්ටැලින්වාදීන් කලාවට පනවන අණකි. මේ සම්බන්ධයෙන් ද අපට කළ හැකි හොඳම දෙය නම් 1938 ජූනි 18 වැනි දා ලියූ ලිපියක ට්‍රොට්ස්කි කියූ කීමක් ඇද දැක්වීමය.
"බලය ගැනීමෙන් පෙර හෝ පසුව කලා මෙහෙයවීමේ වත් කලාවට අණ පැනවීමේ වත් කටයුත්ත භාර ගැනීමේ හැකියාවක් හෝ ආශාවක් විප්ලවවාදී පක්ෂයට නැත. එවැනි බොරු අයිතිවාසිකමක් ගැන චේතනාවක් ඇතුළු විය හැක්කේ නිර්ධන පන්ති විප්ලවයේ ප්රතිවාදය බවට පත් ව ඇති තම ආඥාදායක බලයෙන් මත් වූ අඥාන අලජ්ජී නිලධරයක ඔළුගෙඩිය තුළට පමණකි. විද්‍යාව මෙන් කලාව ද බාහිර ආඥාවන් අපේක්ෂා නොකරයි. එමෙන් ම කලාවට තම ආවේණික ස්වභාවයට අනුව ම එවැනි අණපනත් උසුලන්ට බැරිය. කලා නිර්මාණයෙහි ඊට ම අයත් නියම ඇත. කලා නිර්මාණය දැනුවත්ව ම සාමාජික ව්‍යාපාරයකට සේවය කරන විට පවා මේ අනුගත වීමේ හැඟීම සමග පෑස්සෙන දෙයක් නොවේ. කලාවට විප්ලවයේ ප්‍රබල සහකරුවෙකු බවට පත් වන්නට පුළුවන් වන්නේ එය තමාටම භක්තිමත්ව සිටින තාක් දුරට ය." [ලියොන් ට්‍රොට්ස්කි, ලියොන් ට්‍රොට්ස්කි ඔන් ලිට්රේට් ඇන්ඩ් ආර්ට් පෝල් සීගල් සංස්කරණය 1970 පි 114]
ට්‍රොට්ස්කිගේ කියමනට තවත් වැකියක් පමණක් එකතු කිරීමට අපි කැමැත්තෙමු. එවැනි නිලධරයක් සම්පාදනය කොට දෙන ප්‍රණීත ආහාර පානයෙන් තෙල වැටී ඔද වැඩුනු කුලී බැළයෙකුගේ හිස් ඔළු ගෙඩිය තුලටත් කලාවට අණ පැනවීමේ චේතනාව ඇතුළු විය හැකිය. එම ඔළු ගෙඩිය තුළ කිසිම වැදගත් චේතනාවක් නැති හෙයිනි.
ඉහත කරන ලද විග්‍රහයෙන් අපි මේ නිගමනයට බසිමු.
ද්‍රව්‍යමය නිෂපාදන බලවේග වැඩි වැඩියෙන් දියුණු කිරීම සඳහා එළඹෙන විප්ලවය මධ්‍යගත පාලනයක් සහිත සමාජවාදී ක්‍රමයක් ගොඩ නැගිය යුතුය. එහෙත් එම විප්ලවය ප්‍රාඥ නිර්මාණ වර්ධනය කිරීම් වස් පටන් ගැන්මේ සිට ම පුද්ගල නිදහස සම්බන්ධයෙන් අරාජක ක්‍රමයක් ස්ථාපිත කළ යුතුමය. කලවෙට අධිකාර බලයක් එපා! අණ පැනවීමක් එපා !! ඉහළින් එන අණක ඡායාමාත්රයක් වත් එපා !! කලා මර්දනය යම් තැනක ද එතැන මුළු දී ඊට එරෙහිව කොන්දේසි විරහිතව සටන් වැදීමට අපි පිළින දෙමු.
තෙරක් නොමැති කව් සසරේ
මහබඹු කවියා විතරේ
ඔහු රිසි යමතෙක හැසිරේ
මුළු ලොව ඒ අතට හැරේ
යනුවෙන් විද්වත් කුමාරතුංග මුනිදාසයන් ගෙන හැර දැක්වූ ආනන්දවර්ධනයන්ගේ ඒ පැරණි සූත්‍රය අපි දිවිහිමියෙන් ආරක්ෂා කරන්නෙමු.
ඔබ ඇත්ත පත්‍රයට කළ ප්‍රකාශයෙන් තවත් දෙයක් පෙනේ. එනම් ධනේශ්වර ක්‍රමය ස්ටැලින්වාදීන් ප්‍රතිසංස්කරණවාදීන් මාධ්‍යමිකයන් හා සංශෝධනවාදීන් යන සිය තැරැව්කාරයන්ගේ පිටුබලයෙන් ගැම්ම ගෙන නැගී සිට කලා නිර්මාණයට තුඩු දෙන බුද්ධිමය තතු වනසද්දී ප්‍රතිභා ශක්තිය බන්ධන අඩස්සියේ ලද්දී ඊට පරිහාස කරද්දී එහි ලා උපේක්ෂා සහගතව සිටීමේ ප්‍රවණතාවයක් ඔබ තුළ තිබෙන බවයි.
ඔබගේ ප්‍රකාශයෙහි පොදුවේ දේශපාලනයට විරුද්ධව එල්ල කර ඇති ප්‍රහාරයෙන් හා අදේශපාලනිකව සිටීමට පළ කර ඇති කැමැත්තෙන් ගම්‍ය වන්නේ කලා නිර්මාණයට හතුරු ව පවත්නා කොන්දේසි පෙරළා දැමීමට විරුද්ධත්වයකි. කලාව දේශපාලනය කළ යුතු යැයි අපි නොකියමු. එනමුත් කලාව මුදා හැරීමට නම් නිර්මාණ කෞශල්‍යය නිර්බාධව ප්‍රකාශයට පත් කිරීමට නම් යට කී සතුරු කොන්දේසි පෙරළා දැමිය යුතුමය. කලාකරුවා ඒවා පෙරළා දැමීමේ අරගලයට සම්බන්ධ වන්නේ කිසිම ධනපති ආඥාවකට හෝ කප්පමකට යට නොවී මිනිස් වේදනාව ප්‍රකාශයට පත් කිරීමට කොන්දේසි විරහිතව කැප වී ගෙන ජීවත් වීමට මිනිසාට පවතින පිපාසය තීව්ර කර එමගින් උසිගැන්වෙන ජනතා නැගිටීමකින් ජරපත් පාලනය හෙළීමට මහජනයාට උදව් දීමෙන් ය.
ඒ කොන්දේසි පෙරළා දමා බන්ධනගතව පවත්නා ප්‍රතිභා ශක්තිය මුද හළ හැක්කේ සමාජ විප්ලවයට පමණක් ය. එහෙත් සමාජ විප්ලවය ඊට අවශ්‍ය වෛෂයික තතු කෙතෙක් සම්පූර්ණ වී තිබුණත් ආත්මීය සාධකය නොමැතිව සිදු නොවේ. සමාජ විප්ලවයේ ආත්මීය සාධකය නම් නිර්ධන පන්ති විප්ලවවාදී පක්ෂයයි. සමාජ විප්ලවයේ විද්‍යාව හදාරා විප්ලවය සූදානම් කොට කුළුගන්වනු ලබන්නේ විප්ලවවාදී පක්ෂය විසිනි.
තතු එසේ හෙයින් කලාවේ නිදහස කැමති වන්නෙහි නම් ප්‍රතිභා ශක්තිය මුදා හැරීමට රිසි වන්නේ නම් ඔබ විප්ලවවාදී පක්ෂය ගොඩ නැගීමේ ඓතිහාසික කාර්ය භාරයට උර දිය යුතු ම ය.
ඔබගේ ප්‍රතිභා ශක්තිය දලු ලැවීම් වස් සත පනහ රුපියල දෙක පවා පරිත්‍යාග කළ මෙරට පොදු මහත් ජනකායෙන් සහස්රාධික සංඛ්‍යාවක් අද දින රැකියාවලින් දොට්ට ලැවී සිටිති. ඉතිරි කොටස්වල රැකියාවන් ද කෙටේරි පහර එල්ල වී ඇත. ඔවුන්ගේ ජීවන තතු දිනෙන් දිනම සමතලා කරනු ලැබේ. එහෙත් ඔවුන් තමන් වෙනුවෙන් සටනට බසින්නැයි ඔබට නොකියති. තමන්ගේ ඥේය මණ්ඩලය මෙන් ම භාව මණ්ඩලය ද පෘථුල කරන හා ගැඹුරු කරන අයුරේ නිර්මාණ තමන්ට දෙන ලෙස පමණක් ඔවුහු ඔබෙන් ඉල්ලා සිටිති.
මේ ඉල්ලීම් ඉටු කරනු සඳහා කරුණු දෙකක් අවශ්‍ය වෙයි. පළමු වැන්න නම් කලාකරුවා තම කලාවට මුළුමනින්ම ම කැප වීමයි. දෙවැන්න නම් ජරපත් පාලනය යොදන මැර බලය හා ප්රචණ්ඩත්වය පෙරළා දැමීමට කම්කරු පන්තිය කරන දේශපාලන අරගලයට මුළු හදින්ම උර දීමයි. ඊට උර නොදුන හොත් ඔබටත් වාත්තු කරන්ට සිදු වන්නේ පාලක පන්තිය අණවන අයුරේ ව්‍යාජ කලාකෘතිය. ඔබට රජ මැදුරේ ගාන්ධර්වයෙකු වී පිරිහී යන්ට සිදුවනවා ඇත.
තතු එසේ හෙයින් නො බා නො පැකිල ආස්ථානයක් ගෙන නැගී සිටිනු මැනව අමරදේවයනි.
මේ විවෘත ලිපියට ඔබ පිළිතුරු දෙන්නෙහි නම් කෘතඥ වන්නෙමු!
[1980 දෙසැම්බර් 5 දින කම්කරු මාවත පත්‍රයෙන් උපුටා ගැනිණ.]
-සුචරිත ගම්ලත්
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook