මහීතලයේ රිද්මයානුකූල ගිගිරුමෙන් සලිත වන
ලෝ දිය දහර
අගාධය පතුලේ බුබුළු දමමින් දඟලයි
රක්ත තප්තව දිලිසෙන ලෝ දියේ
අඳුරු රත් පැහැය
කඳු සිඛර මත විඩාබරව රැඳුන
අන්ධකාර වලාකුළු
ගිනියම් පැහැයකින් දිදුළුවයි
සියක් ගව්වක් ගැඹුරු අගාධය දෙපස සිට
රත්වන් වූ දෙනෙත් වලින් විහිදෙන
තියුණු රතු එළි දල්වා
අපි එකිනෙකා දෙස බලමු
රත් පැහැයෙන් දැල්වෙන නිරුවත් සිරුරු
ආගාධය පතුලේ සිට නැගෙන
ලෝදියේ උණුසුමින් උණුසුම්ව
ගලායන ස්වේදයෙන් ආලේපනය වී දිලෙයි දිදුලයි
දෙනෙත් වලින් විහිදෙන්නාවූ රත්වන්
ආලෝක කදම්භයෝ එකිනෙක හා පැටලී
අපේ සිරුරු එකිනෙකා වෙත
පසුනොබා යා හැකි ආකර්ෂණයකින් අදිති
අපි පාවී ඇදී ගොස්
අගාධයට ඉහල අහසේදී
එකිනෙකා හා වෙලී පැටලී
ලෝදියෙන් පිරි ආගාධය පතුලට ඇද වැටෙමු
ඩග් ඩග් ගා ගැහෙන
පපු කුහර තුලින් නැගෙන බොල් හඬ
මිහිතලයේ ගිගිරුමත් සමග එක්ව
මහා ඝෝෂාවක් ව ඇසෙයි
ලෝදියේ උණුසුමින්
ගිනියම් වූ මාරුතය
දෙකන් අසල ලතෝනි දෙමින්
අපේ සිරුරු වියලා ගිනියම් කරයි
අත්ල මත තබා ඇඹරෙන
තෙත මැටි පිඬු ද්වයක් මෙන්
අපේ සිරුරු එකිනෙක හා වෙලී ඇඹරී
ලෝදියේ උණුසුමින් දැවී
එකම එක පදාර්ථ ගුලියක් ව
අගාධය පතුලත
ගිනියම් ලෝ දිය ගංගාව වෙත
ඇද වැටෙයි
ගිනියමින් ගිනියම් වන සිරුරු
වාෂ්ප වී ගිනිගෙන
දැවෙන ගිනි ගුලිය මැද
එකිනෙක හා වෙලී
මුසුවී ඇඹරෙන
තෙත මැටි පිඬු ද්වය
එකිනෙකා හා වෙලෙමින්
එකිනෙකා මතින් ලිස්සා යමින්
එකම එක මැටි පිඬක්ව
නොසන්සුන්ව බැමෙයි
අගාධය පතුලත
ගිනියම් ලෝ දියෙහි ගිලෙන
ගිනිගත් ගිනි ගුලිය ගිනිගෙන දැවී
සැහැල්ලුවෙන් සැහැල්ලුවන
එකම එක ආත්මයක්ව
ලෝදිය කල්දේරම් පතුලතින්
ඉල්පී ඉගිලී අහසට නැගී
වලාකුළු අතරින් රිංගා
වියනක්ව බැඳි
අන්ධකාර වලාසළු
ඉහලින් සුර්යාලෝකයේ
මන්දාස්මිතිය ගලායන ඉසව්වේ
සේද කෙඳි මෙන් පැතිර යන
සුදෝ සුදු දුහුළු වලා බිඳක් වී පාව යයි
යාන්තමට උණුසුම්
මද පවන ලතැවෙවී හමයි
සන්සුන් සුසුම් හඬ
ලතාවකට ඉහල පහල යන
ලයාන්විත ගීයක්ව ඇසෙයි
අළුත සේදු කෙස් වලින් නැගෙන සියුම් සුවඳ
ඉහලට ගැනෙන හුස්ම හා වෙලී විත්
පෙණහළු පුරවාලයි
“මට ඇති... දැන්..”
“හ්ම්...!”මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook



