
පෙලපාලියෙන්ම ගොස්
පොලූ ගසා ධනපති හැත්ත වරිගෙට
පෙලපාලියෙන්ම විත් - මද පමණින්
මැයි පලමුවෙනිදා හවසට
සෝදා රතුම රතු කමිසය
නවාලා පිලිවෙලට
රතුම රතු ධජය සමගින
තැන්පත් කරයි අල්මාරියේ
යටම තට්ටුවේ - යටම රෙද්දටත් යටින්
බිඟන්නට ධනපති බලකොටු
මිට මොළවා නැගූ සුරත
දිගුකර බැතියෙන් එකත්පස්ව
බැඳගෙන පිරිත් නූලක්
අසපුවාසී හිමිනමකගෙන්
තිස්දාහේ සිවුරු පොරවන
මතුරා තුන්වරක්ම
කරණීය මෙත්ත සූත්‍රය
සැතපෙයි මෙත් සිතින්
සියලූ සත්වයෝම නිදුක් වේවායි
පතමින්
උදෑසන හිරු සමග අවදිව
මග හැර රාහු කාලය
අමතයි සීරුවෙන් - තෝර තෝරා වදන්
''සන්ධාන - සභාගේ'' විප්ලවේ ඇමති සඳ
සුදුම සුදු ඇඳ පැලඳ - රතුම රතු වදන් තෙපලන
''උතුරට වසන්තේ
ඔබමය අපේ ජය කොන්තේ
පංතිය කනත්තේ
අපත් මහරජ තුමන් පැත්තේ''
මොන තරම් සුන්දරද ජීවිතේ
පත අට එකට හිඳගත්
කම්කරු සටන් බදුගත්
ක්‍රමයට එරෙහි නඩුගත්
පංති සතුරා සමගත්
මේ යන ගමන හරි වැදගත්
නැගිටුවා සාදුකින් පෙලෙනවුන්
දිනවන්නට
සාදුකම උරුම කරනා උන්
කැන්දාගෙන ඒය අබිමනින්
මාක්ස්, ලෙනින්, කස්ත්‍රෝ, මාඕ
තවත් මදිනම් චාවේස් හියුගෝ
ජයපතා නිර්ධන පංතියට
ගටා මධු බදුන්
අදිරද විරෝධී ස්ථාවරයට
ලෙලවා දයලෙක්තිකේ
පස්වනක් ප්‍රීතියෙන් - අන්තිමේ
පතයි සැමටම මෙත් සිතින්
''බුදු සරණයි!''
චූලානන්ද සමරනායක



