
එක්තරා භික්ෂුනියක්, රුපියල් තිස් පන් ලක්ෂයක් තවත් කාන්තාවකගෙන් වංචා කළාය යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පසු ගිය දා පුවත්පත් වාර්තා කෙළේය. දෙවැනුව කී කාන්තාව මේ භික්ෂුනියට අර කී මුදල ගෙවා ඇත්තේ, ආධ්‍යාත්මික සේවයක් අපේක්ෂාවෙනි. එනම්, නිවන් යා හැකි මග පෙන්වා දීමේ පොරොන්දුව වෙනුවෙනි.
නිවනට යන මග රුපියල් තිස් පන් ලක්ෂයක් ගෙවා සොයා ගත හැකි නම් බොහෝ සංඝයා වහන්සේලා එම සේවාව ලබා ගනු ඇතැ යි කෙනෙකු සිතිය යුතුය. එහෙත් මේ සම්බන්ධයෙන් මර්වින් සිල්වා කී ප්‍රතිවිරුද්ධ මතයක් ද තිබේ. ඔහුට අනුව, අද සිටින බොහෝ භික්ෂූන් වහන්සේලා, තපස් රැකීමට ගිය සිදුහත් කුමාරයාගෙන් මූලික වශයෙන් වෙනස් වෙත්. එදා සිදුහත් කුමාරයාට තේරීම් දෙකක් තිබුණි. එකක්, සක්විති රජකම ලැබීමය. අනික, බුදු වීමය. ඔහු තෝරා ගත්තේ සක්විති රජකම නොව, බුද්ධත්වයයි. අද සිටින භික්ෂූන් වහන්සේලා,-
-මර්වින් සිල්වාට අනුව, මේ දෙක අතරින් තෝරා ගන්නේ බුද්ධත්වය නොව, සක්විති රජකමයි. ඒ නිසා අද උන්වහන්සේලා සිය දායකයන්ගේ බරපැණින් හෝ තිස් පන් ලක්ෂයක් වියදම් කළොත්, ඒ නිවනට යාමට නොව, පාර්ලිමේන්තුවට රිංගන මගක් සොයා ගැනීමටය යන්න මර්වින් සිල්වා කී අදහසේ සාරයයි.
රජකම හෙවත් දේශපාලනය බුද්ධත්වයට වඩා වටිනා දෙයක් බවට පත්ව තිබීම අරුමයක් නොවන්නේ, ආධ්‍යාත්මික විමුක්තියට වඩා ලෞකික සැපත උත්තුංග බව අද සමාජයට පෙන්වා දෙන්නේම සංඝ රත්නය වන බැවිනි. ලෞකික සැපත පස්සේ දුවන්න එපා යැයි දේශනා කරන භික්ෂුවක් බණට වඩින්නේ සුඛෝපභෝගී මර්සිඩීස් බෙන්ස් රථයකින් නම්, ඔහුගේ ධර්මයට වඩා පෘථග්ජනයන්ගේ හිත යන්නේ තමනුත් අත්පත් කරගත යුතු සුඛෝපභෝගීත්වයක් කෙරෙහිය. තොල් රතු කරන ප්‍රකට මන්ත්‍රී භික්ෂුවක්, බණකට වඩින්නේ ඔහුගේම කැමරා කණ්ඩායමක් සහ හඬ පද්ධති හසුරුවන නියාමක පිරිසක් ද සමගිනි. බණ සංවිධානය කරන අයවළුන්ගේ කැමරාවේ කාචය පිළිබඳ ඔහුට විශ්වාසයක් නැත. ඔහුගේ රූප සෝබාව ඉහළම මට්ටමින් ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කිරීම ඔහුගේ අරමුණයි. සංවිධායකයන්ගේ ශබ්ද විකාශනය හරහා සිය මධුර ස්වරය අංශු මාත්‍රයකින් හෝ විකෘත වීමට ඇති ඉඩකඩ වළක්වනු වස්, තමාගේම ශබ්ද විකාශන පද්ධතිය කෙරෙහි ඔහු විශ්වාසය තබයි. (මේ සියල්ලේ බරපැන දැරිය යුත්තේ බණ අසන සිල්වත් පිරිස වීම වෙනම කාරණයකි). එසේ වතුදු, මේ බණ දෙසන්නේ, සසරින් මිදීම සඳහා යැයි අපි සිතමු. එනම්, තණ්හාව ප්‍රහීන කිරීම සඳහා ය. විස නැසිය යුත්තේ විසෙන්ම නිසා තණ්හාව නැති කළ යුත්තේත් තණ්හාවෙහිම ඇලී ගැලී විසීමෙන් යැයි විශ්වාස කිරීමට මෙයින් අපට බල කෙරේ.
ඇත්තෙන්ම මෙවැනි භික්ෂූන් තරම් ගිහියන් දුස්ශීල නැත. ඔවුන් පසු ගිය දා ඇති වූ යුද්ධය අස්සේ, ඉස්සරට වඩා දාන, සීල, භාවනා කෙරෙහි බැතිමත් නැමියාවක් දක්වන බව පෙනේ. ඉස්සරට වඩා දරුවෝ අද දහම් පාසල් යත්. ඒ වෙනුවෙන්, ඉරිදාට සහ පෝය දාට ටියුෂන් පවා තහනම් කෙරේ. රෙද්ද බැනියම සහ ළමා සාරිය ඉරිදාට සුපුරුදු දර්ශනයකි. බුද්ධාගම සහ ජාතිකත්වය එකක් බව, යුද්ධය වෙනුවෙන් පෙළ ගැසීමේ ක්‍රියාවලිය තුළම අඩංගු විය.
ලෞකික අසිරිය සහ ජයග්‍රහණයන් මගින් අධ්‍යාත්මික වටිනාකම් සහ පුරුෂාර්ථ මණින මෙවැනි සමාජයක, අතපිට මුදල් ගෙවා නිවනට ළඟා විය හැකි යැයි කෙනෙකු විශ්වාස කිරීම ගැන අප පුදුම විය යුතු ද? මේ ප්‍රවෘත්තිය කියැවූ සැණින් මට සිතුණේ, අර භික්ෂුණිය සිර භාරයට ගැනීමට අමතරව, මුදල් ගෙවූ තැනැත්තිය වහාම ළමාරක්ෂක අධිකාරයට භාර කොට මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. එහෙත්, පුරුෂාධිපති භික්ෂු සාසනයේ ඉහත කී චර්යාව ගැන සිතුණු විට, අර දෙවැනුව කී ගැහැනිය ගැන මට ඇති වුණේ අනුකම්පාවකි. ඇය හැරුණු කොට, වර්තමානයේ බැතිමතුන් සහ භික්ෂූන් නිවනට යාම සඳහා අනුයන ක්‍රමවේදය ඊට වෙනස් ද?
උදාහරණයක් වශයෙන් නූතන අසපු සංකල්පය සැළකිල්ලට ගන්න. මීට දශක කිහිපයකට පෙර අසපුවක් යනු, හැකි තාක් ගිහියන්ගෙන් ඈත්වූ, ගිහි සමාජයේ උගුල්වලින් මිදුණු, භාවනානුයෝගීව වැඩවසන සිල්වත් මුනිවර පරිශ්‍රයකි. අද අසපුව, ප්‍රසාංගික සැණකෙලි බිමකි. මේවායේ වෙසෙන්නේ, ඊනියා ධර්ම කථීකයෝය. දේශපාලනික බල පුලුවන්කාරයෝය. ධර්ම කථීකත්වය සැළකිල්ලට ගන්නේ නම්, ඔවුන් දෙසන දහම, අවුරුදු දෙදහස් පන්සීය ගණනක් වදාළ දහමට වඩා වෙනස් ද යන පැනය මතු වේ. මෙය අළුත් දහමක් නොවන්නේ නම්, ඒ සා ආකර්ශණීයත්වයක් අළුතෙන් ඇති වන්නේ, යම් ධර්ම සාරයක් වෙනුවෙන් නොව, ධර්මය ඔතන දවටනය වෙනුවෙන් බව වැටහෙනු ඇත. ඇත්තෙන්ම දවටනය සිත්කළු වීම ප්‍රශ්නයක් නොවේ. එහෙත් අන්තර්ගතය අභිබවා දවටනය ඉස්මත්තට එන දවසක් තිබෙන බව මතක තබා ගත යුතුය. ක්ෂණික භෞතික පරිභෝජනය සඳහා නම්, මේ තර්ජනය අවමය. උදාහරණයක් වශයෙන්, කේක් ගෙඩියක රස හෝ නීරස අභිබවා යන්නට දවටනයක් සතු හැකියාව ඉතා සීමිතය. පුස් රස දිවෙට දැනෙන මොහොතේ සිට දවටනයේ අරුත බොල් වෙයි. එහෙත්, ලෝකෝත්තර ඥානයක් දවටන කඩදාසියකට ඒ සීමාව නැත. මන්ද යත්, ඥානය ලෝකෝත්තර නිසාත්, හුදු ඉන්ද්‍රිය ස්පර්ශයෙන් එහි සාරය පිරිසිඳ ගත නොහැකි යැයි විශ්වාස කෙරෙන නිසාත්ය.
මේ පරිභෝජනවාදී ධර්ම ශ්‍රවණයේ දී, ඊළඟට අධිනිශ්චය වන්නේ දවටනයට වඩා දවටන්නාය. ඊට කදිම නිදසුන සෝම හිමියෝය. එතුමන්ගේ අපවත් වීම, ලංකාවේ සංඝ සාසනයේ අළුත් පිටුවක් පෙරලුවේය. සිවුරු පොරවා ගත් මන්ත්‍රී පරම්පරාවක් අද අපට ඉන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ආධ්‍යාත්මික ආරක්ෂාවක් පතා සෙවූ ලෞකික බලය කෙතෙක් වසඟකාරී වී ද යත්, දැන් ඒ ලෞකික බලයේ සේවය සඳහා ආධ්‍යාත්මික දේහය කැප කොට ඇත.
ඉහත කී පන්නයේ භික්ෂූන් වහන්සේලා රූපවාහිනියේ පෙනී සිටින විට, පුවත්පත් සාකච්ඡා දෙන විට, මන්ත්‍රී මණ්ඩලයේ දී තමන්ගේ අණ්ඩකෝෂ මිරිකා ගන්නා විට, මේ ප්‍රබන්ධය හෙළි වෙයි. එහෙත්, දේශපාලනයේ ස්වභාවය කෙබඳු ද යත්, වරක් සිය සේවය සඳහා යොදා ගන්නා කිසි බලවේගයක් නිරුපද්‍රිතව මුදා හැරීමට එය සුදානම් නැත. හරියට, පාතාලයේ සේවය සපයා ගන්නා දේශපාලන බලධාරීන් අවසානයේ එම සේවයේ මුක්තිය රැක ගැනීම සඳහා මැරයන් නැසීමට යම් අවස්ථාවකින් පසු පියවර ගන්නා සේය. වර්තමාන දේශපාලකයා ද සිය සේවය සඳහා සාසනය යොදා ගන්නේ එයාකාරයෙනි. නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පහ කළ මර්වින් සිල්වා නැවත එම තනතුරට පත් කරන්නැයි ඉල්ලා සංඝයා වහන්සේලා 1500 කගේ අත්සනින් යුත් පෙත්සමක් ඉදිරිපත් කිරීමටත්, ඒ වෙනුවෙන් බල කිරීමේ භික්ෂු රැළියක් හෙට (20) කොළඹ දී පැවැත්වීමටත් නියමිත බව අද පුවත්පත් වාර්තා කරයි.
මීට කාලයකට පෙර, 'විද්‍යාවේදී' භික්ෂුවක් ජාතික පුවත්පතක් හරහා කරළියට ආවේය. අපොස සාමාන්‍ය පෙළට විද්‍යා විෂයයන් ඉගැන්වීමට තරම් මොහු විද්‍යා හැදෑරීමක සිට ඇතත්, ඥාන විභාගාත්මක තලයේ සිට විද්‍යාවට වෙට්ටු දාන්නට ගොස් කතෝලික පල්ලියට සිදු වූ ඇබැද්දිය ගැන ඉතිහාසය නොදන්නා නිසාදෝ, නිතරම ඉස්මතු වීමට බැලුවේ, 'විද්‍යාවෙන්' බණ කියන ධර්ම කථීකයෙකු සේ ය. පසු ගිය දවසක මර්වින් සිල්වා සමග ඔහු ගත් පින්තූරයක් පුවත්පතක පළ වී තිබුණි. මර්වින් සිල්වා එකත්පස්ව බිම වාඩි වී සිටියේය. කෙලෙස් නැසීමට පේවී සිටි මේ භික්ෂුව, ස්වර්ණාලේප කොට ඇතැ යි පෙනෙන තරමේ 'සිංහාසනයක' අභිෂේක වී සිටියේය. ඒ පින්තූරය දුටු මතින් මට සිතුණේ, නිවන පිළිබඳ මගේ පුහුදුන් නොදැනීමේ හැටියට, එනම්, නිවන යනු 'අස්මිමාන සමුච්ඡේදයට පත්වීම' නම්, මේ කියන භික්ෂුව නිවන් යාමට දවසකට හෝ මත්තෙන් මර්වින් සිල්වා නිවන් යනු ඇති බවයි. ඒ, එම පින්තූරය මා කියැවූ සැටියි.
පසුව විපරම් කිරීමේ දී, මගේ කල්පනාව අයුක්ති සහගත නැතැ යි මට සනාථ විය. ඔහුටත් අසපුවක් තිබේ. මේ අසපුව විසින් ඇති කොට තිබෙන පරිසර විනාශයත්, සිය බල ව්‍යාපෘතිය තුළ ඔහු ගොඩනගාගෙන සිටින ආක්‍රමණශීලී චර්යාවත් නිසා ඒ ප්‍රදේශවාසීහු දැන් මේ භික්ෂුවට එරෙහිව නඩු මගට බැස ඇත. කොටින්ම මෙය අසරණයන්ගේ සිත් සතන් පහන් කරවන අසපුවක් නොව, බලපුලුවන්කාරයන්ගේ කීර්තියෙන් වැජඹෙන තිප්පොලකි. ඔහු ගමන්බිමන් යන්නේ, පොලිස් කොමාන්ඩෝ ආරක්ෂාවක් යටතේය. මෙය අදාළ භික්ෂුවගේ ශීලයේ තරම පෙන්වන මනා කැඩපතකි.
මා දන්නා පරිදි, වැරදි චර්යාවන්හි යෙදෙන පූජකවරුන්ගේ ලෝගු ගැලවීමේ අධිකාරයක් කතෝලික පල්ලියට ඇත. ඇතැම් අවස්ථාවල මේ අධිකාරී බලය යෙදී ඇත්තේ ප්‍රගතිශීලී අදහස් මර්දනය කිරීමට වුවත්, යම් සාසනයක අභ්‍යන්තර අධිකරණ ක්‍රියාවලියක් පැවතීම අයෝග්‍ය නැත. අපේ රටේ අධිකරණ සංඝනායක පදවි තිබුණත් ඒවා කොතෙක් දුරට මෙවැනි භික්ෂූන් නිසි මග යැවීමට දායක වන්නේ ද යන්න ගැන මෑත අතීතයෙන් නම් සාක්ෂි නැත.
(අවරදිග ආවර්ජනා. රාවය. 2010.08.22)
ගාමිණී වියන්ගොඩ
ADAHAS BOONDIYA | පරිභෝජනවාදී නවතම භාණ්ඩය: "නිවන"! - [ගාමිණී වියන්ගොඩ]
Posted by
BoondiOnLine
8.27.2010



