Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බඹර වළල්ල චිත්‍රපටිය බලන්නට මගේ කකුල් දෙක ඉක්මන් නොවූ කාරණා දෙකක් තිබුණේය. එකක් එය හූස්ටන් යැයි කියන සම්මාන උළෙලකින් හොඳම අධ්‍යක්ෂණයට හා කැමරාවට සම්මාන ගත්තේ යැයි දාගෙන ගිය ලොකු සද්දයයි. හූස්ටන් යනු චිත්‍රපටි ගැන දන්නා කිසි කෙනෙක් ගණං නොගන්නා ඒ වගේම එම උළෙලට ඉදිරිපත් කරන ඕනෑම චිත්‍රපටියකට මොකක් හෝ වර්ගයක සම්මානයක් දෙන වර්ගයේ දෙකේ කොලේ සම්මාන උළෙලකි. ඒ සම්මානයෙන් පිදුම් ලැබුවේ නැති අධ්‍යක්ෂකයින් ලංකාවේ ඉන්නේ අතලොස්සකි. ඒත් සම්මාන උළෙලේ තරම දැනගත්තායින් පසු-

-ඒ කවුරුවත් ඒ සම්මාන ගැන කතා කරන්නට ආවේ නැත. නමුත් අතුල ලියනගේ එතැනදී ලුම්පන් වැඩක් කළේය. ඒ සම්මාන මෙහේ විකුණන්නට ඔහුට එහෙම ලැජ්ජාවක් තිබුණේ නැත. ඒ වගේම ජැක්සන් ඇන්තනි වගේ සිනමාව ගැන මෙලෝ මළදානයක් නොදන්නා අයට ඒ සම්මාන ගැන කියවන්නට අවුලක්ද නැත.

දෙවන කාරණය චිත්‍රපටිය හා සම්මාන ටික උස්සාගෙන අතුල, මහින්ද රාජපක්ෂ හමුවීමට යාමය. චිත්‍රපටියක් උස්සාගෙන මෑත කාලයේ තමන් දුටු හොඳම චිත්‍රපටිය 'මයි නේම් ඉස් කාන්' යැයි කියූ මහින්ද ළඟට යාමෙන් කියන්නේ ආණ්ඩුව කියන හැටියට 'මහින්ද චින්තනයට' අනුව චිත්‍රපටි හදන්නට තමන් දිවුරා පොරොන්දු වෙන බවයි. මහින්ද චිත්තන සම්ප්‍රදායේ චිත්‍රපටි බලද්දී මගේ දත් හිරි වැටෙයි.

ටීවීටී එකේදී මට අතුල මුණගැහුණේය. චිත්‍රපටිය රට පුරා අරගෙන යන්නට ඔහු කරන දැඟලිල්ල ගැන එතැනදී මට දුක හිතුණි.

'චිත්‍රපටියක් කරන එක නෙමෙයි වැඩේ ඒක අරගෙන යන එක' අතුල මට කිව්වේය.
'හැම අධ්‍යක්ෂවරයෙක්ම කරන්නේ නිෂ්පාදකයාගේ සල්ලි ටික අරගෙන වැඩේ අත්ඇරලා දාන එක. මට ඒක කරන්න බෑ. නිෂ්පාදකයා බේරගන්න මං මහින්ද නෙමෙයි කවුරු ගාවට වුණත් යනවා'

'ඉතිං මචං මහින්ද ළඟට ගිය එකේ සල්ලි ටික එතනින්ම එන්න විදිහක් හදා ගත්තා නං හරිනෙ. ඔය කට්ට කන්නෙ නැතුව?'

මං ඇහුවේ චිත්‍රපටිය දුවවන්නට කුඹුරක හරකෙක් තරම් මැඩවෙන ඔහු ගැන අනුකම්පාවෙනි. සිනමාව ගැන මට ඇති ශෘංගාරය හෝ සෞන්දර්ය වෙනුවට ලේ ගලන වේදනාවක් ඔහු විඳිමින් සිටියේය. අවසානයේ චිත්‍රපටිය බලන්නට මං රීගල් එකට ගියේ අතුලගේ ශ්‍රමයට හදවතින්ම උපන් ගෞරවයෙනි. චිත්‍රපටියක් කිරීමෙන් හා එය මා ආදරය කරන උණුසුම් ප්‍රේක්ෂකාගාරයකට පෙන්වීමෙන් ආනන්දයට හා සංතෘප්තියට පත්වන මට වඩා වෙනස්ව මේ කර්මාන්තයේ දහඩිය වගුරන කම්කරුවන් වැනි සිනමා අධ්‍යක්ෂවරුන් ගැන උපන් වේදනාවෙනි.

''මට ඒක විනෝදයක්... ඒත් ඔවුන්ට ඒක ජීවිතය සහ මරණය අතර වෘත්තීමය සටනක්''
-ෆ්‍රැන්සිස් කොපෝලා


රීගල් සිනමා ශාලාව අන්ත දිළිඳුය. එතන චිත්‍රපටියක් වින්දනය වෙනුවට තිබෙන්නේම මුඩුක්කු වර්ගයේ ආතල් එකකි. ඒ මදිවාට ජාතික ගීතය වාදනය වන්නටද පටන් ගත්තේය. චිත්‍රපටියක් බැලීමේ සෞන්දර්ය විඳින්නට ආපු මම ජාතික හැඟීමෙන් කෙලින් වෙන්නට අකමැතිව හිඳගෙනම සිටියෙමි. පිටුපස සිටි ජාත්‍යාලයෙන් කිති කැවුණු කෙල්ලන් පිරිසක් ඒ ඉඳගෙන සිටීමෙන් මගේ සිංහලකම මැනගන්නට නොහැකිව අර්බුදයකට ගියේය. කොහොමෙන් හෝ ඉතාම පරණ විදිහේ ප්‍රවේශ නාමාවලියකින් චිත්‍රපටිය පටන් ගත්තේය.

ආරම්භක රූප පෙළ මගේ හිතේ බලාපොරොත්තුවක සේයාවක් ඇති කළේය. කැමරාව පාවිච්චි කරන සියුම් තැන් කීපයක් දකිද්දී මං අසුනේ තවත් හරිබරි ගැසී හිඳ ගත්තේ කිළිපොලා යන ආස්වාදයක් බලාපොරොත්තුවෙනි. නීටා ප්‍රනාන්දු දැක්ක ගමන් මගේ ඒ හැඟීම නන්නත්තාර විය. පාරේ රස්තියාදු වන වෙසඟනක් පරිදි මේක්-අප් දමා සිටි ගැමි දුක් විඳින ගැහැණු චරිතය චිත්‍රපටියේ සියල්ල බිංදුවට බස්සයි.

'මං ගස් හිටවලා ඒවා ලොකු වුණාම ඒවයේ ගෙඩි කන මිනිහෙක්'

අතුල එකම දෙබසක් නැවත නැවත කීමෙන් චරිතයක් ගොඩනංවන්නට හදයි. කසිප්පු පෙරන බාප්පා මෙන්ම මැල් මුදලාලිද ඒ වගේය.

'මං වළලන්නෙ මැරිච්ච මිනිස්සු'

ඒත් මේ දෙබස් වලින් චරිතය ගැඹුරු කරනවා වෙනුවට තිර රචනය බාල කරයි. ඒ වගේම තිර රචනාව ලියැවී තියෙන්නේමත් හුඟක් පරණ තාලේ විලාසිතාවකිනි. හොඳ යැයි මුලින් පෙනෙන චරිත පසුව ඉතා අඳුරු චරිත බවට පෙන්වීමේ එකම විදිහක රටාවක් තිර රචනාවේ එයි. ඒක අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයා සමඟ කරන ජෝක් එකක් වගේය. ඔහු චිත්‍රපටයේ චරිත ඔහුට ඕනෑ ඕනෑ හැටියට ඒ අතට මේ අතට පෙරලයි. ඒ නිසා ප්‍රේක‍ෂාගාරය පොඩි උන් ටිකක් යැයි හිතාගෙන කරන සෙල්ලමකට වඩා ගැඹුරක් දෙන්නට ඒ චරිත වලට පුළුවන් වෙලා නැත. ඒ චරිතවලට ජීවිතයක් නැත. තිර රචකයා තමන්ට ඕන ඕන හැටියට චරිත වල හැඩ තල මාරු කරයි. උදාහරණයක් විදිහට මුලින්ම අපි දකින 'අල් පැචිනෝ' වර්ගයේ මැල් මහත්තයා අන්තිම හරිය වෙන කොට හොටු පෙරන්නෙක් බවට පත්වෙයි. අකුරක් වත් දන්නෙ නැති වයසෙදි හිරේ ගිය 'පොඩි එකා' ලොකුවෙලා එන්නේම හරි තියුණු බැල්මකින් සහ ගැඹුරු ඉරියවු වලින් යුතුවයි.

'මට සමහර දේවල් තේරෙන්නෙ නෑ' කියන වෙලාවට පමණක් ඔහු මෝඩයෙක් බවට පත්වෙයි. ප්‍රධාන චරිතය වන පොඩි එකාගේ චරිත නිරූපණයම අවුලකි. අපිට පේන්නේම අතුලය. පොඩි එකා හිර ගෙදරදී මැරිලාය.

චරිත හැසිරෙන්නේ ඒ ඒ වෙලාවට සිද්ද වෙන සිද්දියට අනුවය. ඒ නැතුව ආරම්භයේ පටන් චරිතවලට ගොඩ නැගෙන පැවැත්මක් චිත්‍රපටිය පුරා ගෙන යන්නට තිර රචකයා වගේම අධ්‍යක්ෂවරයාටද බැරි වී තිබේ. ඒකට කියන්නට වෙන්නේ මේ චරිත 'බංකොලොත්' යන්න පමණකි. පත්තර කීපයකින් ලොකුවට උඩ දමා තිබුණු මහේන්ද්‍ර නිරූපණය කරන මැල් මහත්තයා නිරූපණය වෙන්නේ ලෝකල් පැචිනෝ කෙනෙකුගේ සිට මහේන්ද්‍ර පෙරේරා දක්වා පරාසයකය. කොටින්ම වළලන්නේ මැරිච්ච මිනිස්සු කතාව පවා ඔහුට අන්තිම වෙන විට අමතක වෙයි.

චිත්‍රපටිය ගෝඩ් ෆාදර් වගේ කරන්නට ගිය බව පැහැදිලිය. ඒ වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය තේරෙන්නට අතුල තාම පරිණත නැති වගත් ඒ වගේම පැහැදිලිය. ගෝඩ් ෆාදර් චිත්‍රපටිය පුරාම හොඳින් ගොඩ නැගුණු තව තවත් ගැඹුරින් ගැඹුරට යන චරිත වෙනුවට අතුල ගේ චරිත උන් හිටි තැන් මරු කරයි. කැලේ මාරු වෙද්දී කොටියාගේ පුල්ලිද මාරු වෙයි. 'කලින් දැක්කේ මෙයාමද?' කියා නොයෙක් වර අපට සිතේ. අතුලට වගේම ගෝඩ් ෆාදර් චිත්‍රපටිය ජැක්සන්ට තේරෙන්නේද නැති බව ඔහු ලංකාදීපයේ කියා තිබේ. ජැක්සන් ට බඹර වළල්ල පේන්නේ ගෝඩ් ෆාදර් වගේමය. ඒක කියවද්දී මට කාරණා කීපයක් එකවර පත්තු විය.

එකක් චිත්‍රපටි බැලුවාට චිත්‍රපටි තේරුම් යනවා කියන එක වෙන කාරණාවක් බවයි. ගෝඩ් ෆාදර් කියන්නේ අපේ චිත්‍රපටි ගැන කිචියක් ඇති ළදරුවා පවා දෙතුන් වර බලා දැන් විසි කර දමා ඇති චිත්‍රපටියකි. ලංකාවේ චිත්‍රපටි කරන සහ කියවන ගොඩක් අය කොපෝලා ගෙන් සහ ඩේවිඩ් ලීන් ගෙන් මෙහාට තවමත් ඇවිත් නැත. ඇත්තටම කොපෝලා- ලීන් තේරෙන වයසටවත් ඇවිත් නැත. ගෝඩ් ෆාදර් චිත්‍රපටියේ චරිත වල පසුබිම් දේශපාලනය ඉතා සියුම් අකාරයෙන් ගොඩ නංවා තිබේ. අඳුරු චරිත ඇතුළට ගමන් කරමින් ඒවයේ අළු සහ සුදු වර්ණ කොපෝලා මතු කරන්නේ අඳුර තුලින්මය. ඒ වෙනුවට අතුල මෙතැනදී කරන්නේ පොඩි එකාගේ වැඩකි. හොඳ චරිත වල නරක ඇති බවත් නරක චරිත වල හොඳ ඇති බවත් කියන්නට යාම බාලාංස වර්ගයේ ගොඩනැංවීමකි. ඔහුගේ හොඳ චරිත නරක කරද්දී චරිතය මෙතෙක් හැසිරුණු ජීවිත දේශපාලනයම වෙනස් වෙයි. වෙනම ජීවිතයක් වෙයි. ජැක්සන්ට මේක කොපෝලා වගේ පෙනීම හරිය. ඒ කියන්නේ ඔහුට කොපෝලා පේන්නේ අතුල වගේ කියන එකය.

ලංකාවේ පේමන්ට් එකේ පවා හොඳ චිත්‍රපටි වල ඩීවීඩී තිබෙන නිසා අපි කාට වුණත් අතිශය සම්භාව්‍ය මට්ටමක කෘතියක් වුණත් රුපියල් දෙසීයකට බලන්න පුළුවන්ය. නමුත් ඒ චිත්‍රපටිය කියවන්නට ඒ බැලීමම ප්‍රමාණවත් නැත. ඒකට හැදෑරීමක් උවමනාය. තමන් සහ චිත්‍රපටිය අතර තමන් සිටින තැනින් එහාට තමන්ව ගෙන යන සංවාදයක් උවමනාය. ජැක්සන් කොපෝලා බලද්දී වෙන්නේ 'මං කොපෝලාත් බැලුවා' කියන වර්ගයේ කතාවක් මිස 'කොපෝලා මාව වෙනස් කළා' වගේ සංවාදයක් නොවේ. එයාට ගෝඩ් ෆාදර් 'පොඩි එකා' වගේ පේන්නේ ඒ නිසාය. ලංකාවේ ඔක්කොම ජැක්සන් ලාට බඹර වළල්ල මාර වෙන්නේත් ඒ නිසාය.

අතුල මේ කාලයේ ගෝඩ් ෆාදර් වර්ගයේ චිත්‍රපටියක් කරන්න හිතන්නේ ඇයි? ගෝඩ් ෆාදර් ගෙන් පසු ඊට වඩා සියුම් අකාරයෙන් සහ වඩාත් මානුෂීය සිනමාත්මක කතිකාවන් අතරින් කෙරුණු චිත්‍රපටි එලෝ කෝටියක් තිබේ. ඒ එක්කම මේ වන විට ලෝකයේ එම ක්ලැසිකල් වර්ගයේ ප්‍රවේශයන් සමඟ තාර්කිකව ගැටෙන දියුණු විකල්ප සිනමාවන් තිබේ. උදාහරණයක් හැටියෙන් ටැරන්ටිනෝගේ ගැන්ග්ස්ටර් චිත්‍රපටි ප්‍රවේශය දියුණු ආකාරයෙන් ගෝඩ් ෆාදර් සිනමාව අතික්‍රමණය කරයි. නමුත් අතුල සිය කූළුඳුල් චිත්‍රපටිය කරන්නට ආයිමත් කොපෝලා දක්වා පසුබසින්නේ ඇයි? අපේ සිනමා නොදැනුමේ තරම ඒ තරම් නිසාද? අපේ විඳීමේ අවකාශය ඇත්තේ වත්මන් ලෝකයට දශක ගාණක් අතීතයේ නිසාද? මෙබඳු කෞතුක වර්ගයේ සිනමාවකින් තමන්ගේ පළමු සිනමා ප්‍රකාශනය කරන්නට තීරණය වුණේ අතුල ගේ සිතීමේ සීමාවන් හරහාද?

''මට හිතෙන විදියට ගෝඩ් ෆාදර් චිත්‍රපටියට කලින් තමයි, ඉතා කුඩා පිරිසක් සහ උපකරණ ප්‍රමාණයක් එක්ක හුඟක් පුද්ගලික චිත්‍රපටි හදන්න උවමනා වුණු නියම ෆැන්සිස් (කොපෝලා) හිටියේ... ''
-ෆ්‍රැන්සිස් කොපෝලා


මඳක් දුර සිට චිත්‍රපටිය තනිකරම 'ගිණි අවි සහ ගිණිකෙලි 2' වර්ගයට වැටේ. ඒ මදිවාට ඒ ක්‍රියාදාම සිද්දීන් ගොඩනැගෙන්නේද මන්ද බුද්දික විදිහටය. රාළහාමිගේ කකුල් කපා දැමූ බව දැන දැනත් අපේ වීරයා, පොඩි එකා මෝඩයෙකු සේ උළු මෝලේ සල්ලි හොරකම් කරන්නට යයි. ඒ සල්ලි සුවචව කීකරුව මැල් ට ගෙනැත් දී පොඩි එකා සුවසේ නිදයි. මැල් පොඩි එකා ගේ බෙල්ල කපන්නට යන්නේ ලේන්සුවක් එහෙම මූණට දමා සිනිඳුවටය. පිටිපස්සෙන් එන රාළහාමි මැල් ට වෙඩි තියයි. මෙතැනදී පොඩි එකා හිරේ හැදී වැඩුණු එකෙකුට වඩා අඩු මාසෙන් ඉපදුණු එකෙකුගේ තත්වයට වැටේ.

තවත් තැනක පොඩි එකා ඔහු සිත් ගත් කෙල්ලගේ කෙස් වැටිය කපා දමයි. ඇගේ පියා මනෝරත්න හඬා වැටෙන්නේ ඇගේ බෙල්ල කැපුවෙ නැත්තෙ ඇයි කියමිනි.

කතාවේ ගොඩක් තැන් වල හරි ගුප්ත විදිහට බර කරලා කියන දේවල් වල කිසි තේරුමක් නැත. දමිතා එක තැනකදී හරි බයානක විදිහට 'මැල් මහත්තයාගෙන් අපිට ගැලවීමක් නෑ' කියන්නේ කිසි හේතුවක් නැතුවය. අන්තිමට බලන විට මැල් යනු කිසි දෙයක් කර ගන්නට බැරි මෝඩ බයියෙකි. 'කරන දේ මං ඊළඟට කියන්නං' කියමින් හැම දෙයක්ම තිතට සැලසුම් කර ඇති බඳුව හැසිරෙන මැල් තමන්ගේ මිනීපෙට්ටි සාප්පු වසා දමමින් ගෙවල් පවා සින්න වෙද්දී කරන්නේ අසරණයෙකු ලෙස සුසුම් ලෑම පමණකි.

චිත්‍රපටිය පුරාම ප්‍රේක්ෂකයාට දැනෙන්නේ අතාර්කික සිද්දි හා චරිත ගණනාවක් ඔස්සේ තමන්ව මෝඩ විදිහට පහළට ගලායාම පමණකි. ඒ දුර්වලකම වසන්නට අතුල පාවිච්චි කරන්නේ කිසි තේරුමක් නැති ගුප්ත දාර්ශනික වර්ගයේ දෙබස් විතරය.

'සිනමා සංගීතය ගැන ඉගෙන ගන්නට කසුන් කල්හාරගේ සංගීතය අහන්න' යැයි බඹර වළල්ලේ සංගීතය ගැන කතාවක් මට අසන්නට ලැබුණේය. මට කියන්නට ඇත්තේ සිනමා සංගීතයේ නොදැනුම ගැන උදාහරණයක් හැටියට බඹර වළල්ලේ සංගීතය ඉතා හොඳ බවය. කසුන් ගේ අතින් නිර්මාණය වී ඇති සංගීතය චිත්‍රපටියට කිසිඳු මෙහෙයක් නොකරයි. එය පැත්තකින් එල්ලා වනා තිබේ. ඉන් චිත්‍රපටියට දෙන ආලෝකයක් හෝ චිත්‍රපටිය බලා එළියට එන විට හිතේ ඇති කරන මූඩ් එකක් හෝ නැත. කොටින්ම සංගීතය ඇතැම් තැනක නිකං තාලයක් විතරය. කිසි අදහසක් නැත.

ලාංකීය සිනමාවෙ නවතම ප්‍රවේශය ඇත්තේ මෙතැන නම් ඒ සිනමාව ජැක්සන්ලාට අතුල ලාට සහ මහින්ද චින්තනයටම බාර දී වෙන වැඩක් කර ගන්නවා ඇරෙන්නට අපිට කරන්න දෙයක් නැත. ජැක්සන් විසින් ලංකාදීපයේ වැරදියට පාවිච්චි කර ඇති ඔහුගේම කියමනක් හරියට පාවිච්චි කරමින් මේ කතාව අවසන් කරමි.

'ලාංකේය කලා සම්ප්‍රදායේ අලුත්ම ප්‍රවණතාව වැරැද්ද ප්‍රමිතිගත කිරීමයි. වැරැද්ද නිවැරැද්ද සමඟ ගැටෙන කල් වැරැද්ද සහ නිවැරැද්ද වෙන් වෙන්ව හඳුනාගැනීම පහසුය. එහෙත් වැරැද්ද නිවැරැද්ද ලෙස ප්‍රතිගත වූ විට වැරැද්දේ පැවැත්ම ස්ථාවර වන්නේය'

කට බොරු කීවත් දිව බොරු කියන්නනේ නැත.

චින්තන ධර්මදාස

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails