Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මා ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් මගේ කොලූ කාලේ අපේ වයසෙ කොල්ලන් ගේ වීරයන් සිටියේ අද මෙන් ටෙලිවිෂන් තිරයේ නොවේ. එමෙන්ම අන්තර් ජංජාලයේ ද නොවේ. ඇත්තටම නම් ඒ මාධ්‍ය ඒ දිනවල සිරිලක තිබුනේ ද නැත. අපේ එකම ඉලෙක්ට්‍රොනිකමය විනෝදාංශය වූ ට‍්‍රාන්සිස්ටර් රේඩියෝවේ වැඩ සටහන් අතර කොටස් වශයෙන් ප‍්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයන් බහුල වුවද, මුවන් පැලැස්සේ කදිරා හෝ උක්කු බණ්ඩා හෝ මොනරතැන්නේ පියසෝම හෝ එදා අපේ වීරයෝ නොවූහ.
ඒ වෙනුවට, එදා අපේ වීරයන් සිටියේ ඒ දිනවල ඉතා ජනපි‍්‍රය වී තිබූ සතුට, සිත්තර වැනි චිත‍්‍රකතා පත්තරවල ය. ඒ ආකාරයෙන් අපේ සිත් දිනාගත් අපේ කාලයේ සුපිරි වීරයන් දෙන්නෙකු වුයේ යුනිකෝ සහ මේඝ නම් වූ චරිත දෙකයි.

යුනිකෝ නමින් හැඳින්වුනේ අද අප දන්නා බැට් මෑන් චරිතය සේ ඇස් දෙක වසාගත්, ආදි යුරෝපීය යුගයකට අයිති වීර චරිතයකි. ඔහු කඩු සටනේ කෙල පැමිණියෙකි. එමෙන්ම-

ශක්තිමත් බවේ ද බාහු බලයේ ද සංකේතයක් ම විය. යුනිකෝ කෑවේ මස් පුච්චා ගාත් පිටිනි. ඔහු සටන් කළේ කෘර රජවරුන්, නපුරු සෙනෙවියන් සමගය. ඒ සියල්ලම ඔහුගේ බාහු බලය සහ අසිපතේ දස්කම් වූ අතර කිසිදු මන්තර හෝ මැජික් බලයක් යුනිකෝ ට නොතිබුණි. සෑම සතියකම පාහේ කඩු සටන් තිබිණ. යුනිකෝ කෙසේ හෝ මේ සටන් අවසානයේ රජ කුමරියව නපුරු සෙනෙවියාගේ ග‍්‍රහණයෙන් මුදවාගෙන ඩයිනෝසර් යුගයේ සුවිශාල පක්‍ෂියාගේ පාද වල බැඳි කූඩයක් බඳු මැදිරියේ නැගී රජ මාලිගයට ඇය රැගෙන එන බව අපි දැන සිටියෙමු.

මේඝ යනුවෙන් හැඳින්වුනේ අප දන්නා ටාසන් මෙන් කැලෑවක සිටි වීරයෙකි. දිවි සම් කඩකින් ඔහු යටිකය වැසිණ. එසේ වුවද මේඝ තනිකරම දේශීය චරිතයක් විය. කිසිදු මාංශ භක්‍ෂණයක් දක්නට නොලැබුණි. මේඝ හැමවිටම පාහේ කෑවේ පලතුරුම ය. කැලේ සතුන් මේඝ ගේ ගජ මිතුරෝ වූහ. ඔහු පොදුවේ දුෂ්ඨයන් සමග ද සුවිශේෂීව වනාන්තරය වැනසීමට පැමිණි අය සමග ද සටන් කලේය අද වෙසෙන හරිත කි‍්‍රයාකාරීන්ට පරමාදර්ශී චරිතයක් මවමිනි. මේඝ ගේ කැපී පෙනුනේ ඔහු සතු බාහු බලයයි. රූමතියෙක් හෝ දෙන්නෙක් නිරතුරුම පාහේ දුෂ්ඨයින් ගේ ග‍්‍රහණයෙන් බේරා ගැනීම මේඝ ගේ එදිනෙදා ජීවන රටාවේ අනිවාර්ය කොටසක් විය.

මේ දිනවල මා උගත් හතේ පන්තියේ ද උසට මහතට කැපී පෙනෙන කොල්ලෝ දෙන්නෙකු වුහ. එකෙක් සුනිල් ය. අනෙකා පියතිලක ය. මේ දෙදෙනා පාසලට පැමිණියේ එකම ගමේ එක ලඟ ගෙවල් දෙකක සිටයි. සුනිල් ගේ පියා පුද්ගලික සමාගමක කළ රැකියාවම පියතිලක ගේ පියා ආණ්ඩුවේ සංස්ථාවක කලේය. මේ පවුල් දෙක හොඳ හිතවත්තු වූහ. ඒ නිසාමදෝ මුලින් හොඳ යාළුවන් වූ සුනිල් සහ පියතිලක දෙන්නා අතර මේ වෙන කොට ටිකක් නොව සෑහෙන තරහක් ඇතිවී තිබුණි.

සුනිල් සහ පියතිලක දෙදෙනාම අපේ පන්තියේ සිටි මා වැනි අනිත් කොල්ලන් හා සසඳා බැලූ කළ යෝධයන් මෙන් වූ දෙදෙනෙකි. ඒ උසින් ද, මහතින් ද දෙකෙන්ම ය. මෙනිසාම, මේ වෙන විය මේ පසමිතුරන් දෙපලට නම් දෙකක් ද පටබැඳී තිබුණි.

සුනිල් යුනිකෝ විය. පියතිලක මේඝ විය.

ඉඳිආප්පයා, රතුඅලයා, කණ්ණඩි පොළඟා වැනි වෙනත් එවකට අප අතර පැතිර පැවති සරදම් නම් සඳහා මෙන් නොව, යුනිකෝ, මේඝ වැනි වීරයින් ගේ නම් තමන්ට පටබැඳීම ගැන අකමැති වන්නෝත් සිටිද්ද? නැත. එදා එවැන්නෝ නොසිටියහ. අද ද නොසිටිති. එපමණක් ද නොවේ. අපේ පන්තියෙ එකට උගත් කොල්ලෝ කිහිප දෙනෙකු ද යුනිකෝ සහ මේඝ වටේ කල්ලි ගැසුණහ. සිත්තර පත්තරේ කොටස් වශයෙන් පලවූ සරත්මධු නිර්මාණය කළ යුනිකෝ චරිතයේ හොඳම මිතුරාගේ නම ඔමෙගා විය. අපේ පන්තියේ සිටි සුනිල් ගේ හොඳම සගයා තමන් ට ඒ නම දා ගත්තේය. තවත් කිහිප දෙනෙකුට මට අද අමතකව ඇති එවැනි නම් ලැබුණි.

සතුට පත්තරේ කොටස් වශයෙන් පලවූ අනුර විජේවර්ධන නිර්මාණය කළ මේඝ චරිතයට සිටි සියළුම මිතුරන් කැලේ සිටි අලි, කොටි, වඳුරෝ වැනි වනසතුන් වූ බැවින් අපේ පන්තියේ මේඝ ගේ පිලේ අයට වෙනත් අන්වර්ථ නාම තිබුනේ නැත. කාලය ගෙවී ගියේය. යුනිකෝ සහ මේඝ අතර රණ්ඩුසරුවල් මිස හොඳ හිතක් නම් ඇති නොවුණි. පසුව 1976 දී පැවති ජාතික පොදු අධ්‍යාපන සහතිකපත‍්‍ර විභාගයෙන් පසු අපි පාසලෙන් විසිරී ගියෙමු.

යුනිකෝ පියා ගේ කොම්පැණියේ වැඩ පුරුදු වීමට ගියේය. මේඝ ඒ පාසලේම රැඳී සිටියේය. මම මිල්ලෙ සොයා වෙනතක ඇඳී ගියෙමි.

මේ කාලයට අවුරුදු හතකට පමණ පසු මට යුනිකෝ නමින් පෙර පතලව සිටි සුනිල් ද, මේඝ නමින් පතලව සිටි පියතිලක ද යන දෙදෙනාවම අහම්බෙන් මෙන් නමුත් වෙන වෙනම මුණ ගැසුණි.
අහෝ ඛේදයකි!

එදා හතේ පන්තියේ දී උසට මහතට සිටි, එනිසාම යුනිකෝ සහ මේඝ නම් වූ අපේ කාලයේ වීරයින් දෙදෙනෙකු ගේ නම් වලින් ගෞරවණීය පටබැඳි නම් ලද, අපේ වීරයෝ දෙන්නා යාන්තම් අඩි පහේ මිට්ටෝ දෙන්නෙක් පමණක් බව මට පසක් විය.

ඔවුන් දෙදෙනාම මා සමග කතා කලේ තම හිස කොටස උඩු අතට ඔසවාගෙනය. මා ඔවුන් ට වඩා අඩියකින් පමණවත් උස යැයි මට එවෙලේ සිතුනද, සැබවින්ම අප අතර උසේ පරතරය අඟල් අටක් පමණ විය යුතුය.

සිදුවී තිබුනේ කුමක්ද? සුනිල් ගේ ද, පියතිලක ගේ ද, ශරීර වර්ධනය නමයේ පන්තියෙන් නැවතී ඇත. එදා කැහැටු කොට කොල්ලන් අතර යෝධයින් සේ දිස්වුණු ඔවුන් දෙදෙනා එදා කර දඬු උස් මහත්වූ මා සමග සසඳන කල කුරුමිට්ටෝ දෙදෙනෙකු වූහ. එදා යුනිකෝ සහ මේඝ හමුවේ කුරුමිට්ටෙකු වූ මගේ ශරීර වර්ධනය නමේ පන්තියෙන් ඔබ්බට ඇදී ගොස් අද මා ඔවුන් අතරම යෝධයෙකු වී ඇත. "අනේ පව් යුනිකෝ! අනේ පව් මේඝ!" මට සිතිණ.

මේ ලිපිය සඳහා ඒ අතීතය යලි සිහිපත් කරන මට වැටහුනේ අපේ කාලයේ වීරයන් කී දෙනෙකුට නම් ඔය ඉරණම අත් වුනේද කියාය. ඒ බොහෝ විට ශාරීකව නොවේ! අදහස්, සිතුම්, පැතුම් අතින්ය. ඉස්සර සිටි සමහර පතාක යෝධයන් අද කුරුමිට්ටන් වී ඇති අතර, එදා අයුක්තියට එරෙහිව සිහනද පැතුරූ සිංහ රාජයන් ද අද හුරතල් බලූ පැටවුන් වී ලද පරිදි කටු බුදිමින් දැහැමෙන් සෙමෙන් කල් යවති.

රසික සූරියආරච්චි

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails