Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



2010 වර්ෂයේ ‍ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත කාව්‍ය ග්‍රන්ථයක් වූයේ රෝහණ පොතුලියද්දගේ 'අහස හැඩි වී ඇත', තිස්ස නිහාල් වික්‍රමසිංහගේ 'ද්‍රෝහියාගේ බිරිය', සුනිල් ගෝවින්නගේ 'මතක මාවත', නන්දන වීරසිංහ ගේ 'රැය කරා ගමන' , ලක්ශාන්ත අතුකෝරල ගේ 'වැසි ඉසෙන ඉසව්' හා උපුල් සේනාධිරිගේ 'සියොතුනට එනු පිණිස' යන ග්‍රන්ථ 6ය. මේ වන විට අදාළ සම්මාන උළෙලේ මෙලෝ රහක් නැති විනිසුරු මඩුල්ල විසින් ඉහත කාව්‍ය ග්‍රන්ථයන් 6න්-


-මෙලෝ රහක් නැති සුනිල් ගෝවින්නගේ ගේ 'මතක මාවත' සම්මානයෙන් පුදා හමාරය! මුලින් සඳහන් කළ කාව්‍ය ග්‍රන්ථ 6න් දුර්වලම කෘතිය තෝරා එයට සම්මානයක් දී ඇත! මෙය විභාගයක දී වැරදි උත්තරය හරි ලෙස ලකුණු කිරීමක් වැනිය. මේ විනිශ්චය මණ්ඩලය විභාගය අසමත්ය!

මිනිසෙකු, මෙරට- පිටරට- අභ්‍යාවකාශය හෝ පිටසක්වල ජීවත් වූවත් ඔහු යම් අත්දැකීම් ප්‍රමාණයක් ලබයි. එලෙස වූ පළියට ඔහු කවියෙකු වන්නේ නැත. ජීවන අත්දැකීම් අමු අමුවේ ලියමින් ස්වයං අධිතක්සේරුවෙන් පසු වෙමින් සමාජයේ වෙසෙන සාහිත්‍ය කලා හා මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමග ඇති සිවිල් සබඳතා උපයෝගී කරගෙන තම කුකවිත්වය කවිත්වයක් කර ගැනීමේ උත්සාහයක නියැලීමට කෙනෙකුට පුළුවන. ලංකාවෙන් පිටරට යන්නෙකුට ලංකාව ගැන මතක් වී හද රිදෙන්නට පුළුවන. එලෙස රිදී ඔහු යමක් ලියන්නට ද පුළුවන. එහෙත් එලෙස ලියන හැම දෙයම කවියක් නොවේ. ජීවිත අත්දැකීම් පරිකල්පන කෝවයෙහි බහා පදම් කොට ශක්තිමත් භාෂාවකින් තම නිර්මාණය එළිදැක්වූ කල්හි කවියක් බිහිවිය හැක. නොඑසේ නම් තමා රටින් රටට ඇවිදිමින් ගිය රටවල්හි ගුවන් තොටුපළවල නම් හා ගංගාවන්වල නම් ලැයිස්තු ලියූ පමණකින් ඒවා කවි වන්නේ නැත!

'මතක මාවත' ට පෙර වදනක් ලියන ප්‍රවීන කිවියර ඩබ්. ඒ. අබේසිංහයන් කියන පරිදි පහත අයුරින් ඇරඹෙන වැකියක් කවියක කොටසක් හෝ වන්නේ කෙසේදැයි අපි ප්‍රශ්න කරමු!

"හෙට නිසැකව යා යුතුමය
පර්ත් නුවර රට ගම වෙත
මගේ රටේ අහස් නැවෙන්
කැන්ගරු රැඳි අහස් නැවෙන්"

"කවිය වනාහී අපූර්ව අර්ථ සෞන්දර්ය ව්‍යාපාරයකැයි" ප්‍රවීන කිවියර රත්න ශ්‍රී විජේසිංහයෝ කවිය අර්ථකතනය කරති.

ගෝවින්නගේ ගේ කවි පොත සමග, අවසන් වටයට පැමිණි රෝහණ පොතුලියද්ද කවියාගේ 'අහස හැඩි වී ඇත' පොතේ එන 'මේ තාත්තාගේ දුෂ්කරම පැයයි' (විමල් වීරවංශ ජවිපෙන් ඉවතට) යන මෑත කාලීන දේශපාලන සිද්ධියක් ගැන ලියැවී ඇති කවිය සසඳා බලන ලෙස ඉල්ලමි. ඉතා මෑතක සිදු වූ සිද්ධියක් පාදක කොට ගෙන නමුත් අර්ථවත් පොහොසත් බස් වහරක් යොදා ගනිමින් මෙහිදී අපේ පපුවටම වදින්නට ලිවීමට රෝහණ සමත් වී ඇත.

මේ තාත්තාගේ දුෂ්කරම පැයයි
(විමල් වීරවංශ ජවිපෙන් ඉවත්කරයි.)


බිඳ වැටුනු මහ ගෙදර
මහ බිත්ති ගොඩලන්න
එසවූ හැම ග‍ඩොලකම
උඹේ කිරි සුවඳ තිබුණා සත්තයි

මේ අයුරින් මර්දනයෙන් පසු නැවත ගොඩනැගි ජවිපෙ උදෙසා විමල් කළ මෙහෙය මතක් කරයි.

මාලිමාව අහිමි
නංගිලාට මල්ලිලාට
ගුරුතරුව වී
පෙර'ඹර හිනැහුන බව සැබැයි

අහල ගං හතටම
මහ ගෙදර වරුණෙ පා
උඩු සුළඟෙ ලෙළ දුන්න
තාත්තාගේ ආඩම්බරේ

එකී ආඩම්බර විය හැකි යුගය විමල් විසින් ඉතා ඉක්මනින් ඉවර කරන ලදී. එම පරිහානි ලක්ෂණ ඉතා සිත්ගන්නා සුළු කාව්‍යෝචිත අයුරින් රෝහණ පොතුලියද්ද විසින් චිත්‍රණය කරන්නේ මෙසේය.

මෝරා පුබුදු මල සේ රන් රුවට
ඇසුනා නුඹ සුවඳ ගව් සිය ගව් දුරට
ගව්වෙන් ගව්ව පිරිවර මැද යන කලට
විස උණ කටුව ඇණුනා හද සිදුරු කොට

හත් දා උණ ගැණුනිය ගත සහලාය
සියොළඟ විස නැගුණිය කුණු බරවාය
රතැස් විදා මොරදෙයි මන විකලාය
සූකර කැල මැද නැලැවෙන කෙසරාය

මෙය අදාල පුද්ගලයාගේ වර්තමාන හැසිරීම කදිම ලෙස කවියට නැඟීමක් නොවේ ද?
(කවිය තවත් දිගට ඇත.)

සුනිල් ගෝවින්නගේ ගේ 'මතක මාවතෙහි' එක අතකට ඇත්තේ එකම එක කවියකි. එනම් නොරට සිට මෙරට ගැන අතීතකාමී පදවැල් ඔහේ වැමෑරීමය. එසේ වමාරන එකම අදහස් ගොන්න පවා කවියක් වන්නේ ද යන්න පැණයකි!
නුපුරුදු රටක අවුරුද්දට කැවුම් සැදෙයි
අවුරුදු දාට කිරිබත් අතිරස ද ලැබෙයි
මිරිසට ඉවූ බත් මාළු ද දිවග රැඳෙයි
ගම් දොර නැතත් හෙළ බස මට ගමක්ම වෙයි

(මතක මාවත 79 පිටුව)

සුනිල්ගේ කාව්‍ය මාර්ගය සැකසී ඇත්තේ ඔහු තම විප්‍රවාසී ජීවිතය 'උඩ දමමින්' එය ගැනම එකම දෙය ලියමින් සෝද සෝදා මඩේ දැමීම තුළිනි. 'අපූර්වත්වය' යන්න ඉතා සුලභ අත්දැකීමක් තුළින් වුවද මතු කර ගන්නා අයුරු 'තිස්ස නිහාල් වික්‍රමසිංහ' ගේ 'ද්‍රෝහියාගේ බිරිය' පොතේ එන 'සුපෙම්බරා' කියවීමෙන් වටහා ගත හැක. තම ශරීරය අලංකාර කර ගැනීමට විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් හැසිරෙන තරුණියක පෙම්වතියක වූ පසුව පෙම්වතා විසින් තමාට ඇවැසි අයුරින් හීලෑ කරගත් ආකාරය කියැවෙන අපූර්ව කවියකි මේ.

සුපෙම්බරා

සේදිණි
ලිප්ස්ටික්
ලවනත!

ගෙතිනි
මුදා ලූ
මුහුලස!

සිඳිණි
ක්‍යුටෙක්ස්
ගෑ නිය!

නැසිනි
සබ මැද
නැණ සර

කෙරිණි
සූන්නත්
සුන්දරම සිත

පිළිපදී

සුපෙම්බර අණ!

(ද්‍රෝහියාගේ බිරිය 69 පිටුව)

මෙහිදී අදාල තරුණිය ගේ සමාජශීලිභාවය ද සුපෙම්බරාගේ අණ පරිදි කප්පාදුවට ලක්වේ.

තමන් කරන කියන දේ අමු අමුවේ කීම කවියක් නොවේ.

ඔහු ගැන නොතකා මම ගොස් සැඟවෙමි
ලෝකයෙ තතු ගැන හඩමින් පවසන
රූපවාහිනි වැඩසටහන් මැද
විවේක සුවයක් ලබන්ට මොහොතක

මරණයේ සේයාව
(මතක මාවත 120 පිටුව)

ලක්ශාන්ත අතුකෝරල ගේ 'වැසි ඉසෙන ඉසව්' කාව්‍ය සංග්‍රහයේ එන 'නාට්ටාමි' කවිය බලනු මැනවි

වැස්ස නො ඉසෙන උදෑසනකත්
තෙත්ය නුඹ කය
දෙ අත් සිහිනිය කයද කෙට්ටුය
උසුලනා සැම දෙයම මහතය

('නාට්ටාමි'- 'වැසි ඉසෙන ඉසව්' 84 පිටුව)

බර පොදි උසුලන නාට්ටාමි දෙස බලන කවුරුවත් ඔහු ගැන නොලියූ බැවින් සීගිරි කැටපත් පවුරේ එන 'බුදල් මි සියොවැ ආමි' ලෙසින්ම ලක්ශාන්ත ලියන්නේ මෙලෙසය.

නාට්ටාමි
කොළඹ ආමි
නුඹ දිරි බැලීමි
බැලු බැලූ ‍බෝ දනා
කවි නොලියූවෙන්
ලිවීමි.

(85 පිටුව)

සුනිල්‍ ගෝවින්නගේ ගේ පළමු කවිපොත වූ 'මතක දිවයින' ට පෙරවදන ලියා ඇත්තේ මහාචාර්ය විමල් දිසානායකයන් ය. අදාල පොතෙහි පිට කව‍රයේම 'පෙරවදන මහාචාර්ය විමල් දිසානායක' ලෙස සඳහන් කර ඇත්තේ විමල් දිසානායක හරහා ‍පොතට වටිනාකමක් ලබා ගැනීමට විය යුතුය. ගෝවින්නගේ-ගේ ඊළඟ කවි පොත වන 'මතක පිළිරැව්' හි පෙරවදන ලියා ඇත්තේ සූර චෞර සක්විති රණිසිංහගේ ව්‍යාපාරයේද කොටස් කරුවකු වූ ප්‍රවීන මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස ශූරීන් විසිනි. මෙවර ගොඩගේ කාව්‍ය සම්මානය සඳහා තේරී ඇති 'මතක මාවත' කෘතියට පෙරවදන සපයා ඇත්තේ ප්‍රවීණ කිවියර ගත් කතුවර අධිනීතිඥ ඩබ් ඒ අබේසිංහ ශූරීන්ය. ගෝවින්නගේ ට පෙරවදන් සැපයූ ප්‍රවීණයන් තිදෙනාම කිසිදු හිරිකිතයකින් තොරව ඔහු තුළ නැති කවිත්වයක් ගැන දෙසාබාමින් මාගල් ලියා ඇත! ඒ මත පදනම් ව තමන් 'මාර කවියෙකැයි' ලෝකයට-රටට පෙන්වීමට උත්සාහ කිරීම 'සාහිත්‍ය චණ්ඩිකමකි'. තමන්ට තව කෙනෙකු හා ශරීරිකව ගැටෙන්නට බැරි තරම් දුර්වල කල්හි ඒ සඳහා 'ශක්තිමත් චණ්ඩියෙකුගේ' සේවය ලබා ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී ගෝවින්නගේ කරන්නේ ද ශ්‍රී ලංකාව තුළ සිටින ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් අත්කර ගෙන ඇති සිවිල් චරිත වලට මුවා වී 'සාහිත්‍ය චණ්ඩියෙකු' වීමට යත්න දැරීමය. ඒ තුළින් සැබෑ නිර්මාණකරුවන් යටපත් කර අසාධාරණයට ලක් කිරීමටය. තවද මෙවැනි දේ තුළින් වැරදි නිර්ණායක ඇති වීමද සිදුවිය හැක. අලුතින් කවි ලියන ඒ පිළිබඳ තම අධ්‍යයන පාඨමාලාවල හදාරණ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් නොමග යෑමද සිදුවිය හැක.

අදාළ විනිශ්චය මණ්ඩලය විසින් තම විනිශ්චයනට හේතු දක්වමින් නිකුත් කර ඇති පොත් පිංචේ කවි පොතට අදාල කොටස වනාහී 'මතක මාවත' ට ඩබ් ඒ අබේසිංයන් ලියා ඇති පෙරවදනෙහි අඩංගු කරුණු අමු අමුවේ කොපි කිරීමකි.

සුනිල් ගෝවින්නගේ ගේ පොත් තුළින් වැ‍ටහෙන තවත් කරුණක් නම් ලංකාවේ අද ලියැවෙන කවි හා සාහිත්‍යය කෘති ගැන ඔහුට මෙලෝ හැඟීමක් නැති බවයි. තමාට හිතවත් කිහිප දෙනෙකුගේ (විමල් දිසානායක, උදේනි සරත්චන්ද්‍ර, පරාක්‍රම කොඩිතුවක්කු) කෘති පමණකි ඔහුට වැදගත් වන්නේ. අත්දැකීම් නිර්මාණයන් සඳහා අර්ථවත් ලෙස භාවිතා කරනු වෙනුවට ආගිය තැන් කළ කී දෑ 'ගෙඩි පිටින්' ලියා දමා තමන්ට ඇති 'සාහිත්‍ය- සිවිල්' මිනිස් සබඳතාවන් හරහා ඒවා බෞතීස්ම කර ගත හැකි නමුත් බොරුවට වැඩිකල් ආයුෂ නොමැත. රාජ්‍ය සාහිත්‍ය උළෙලට විකල්ප වශයෙන් යම් ගුණාත්මක බවක් රැක ගන්නා බවක් ඇඟ වූ ගොඩගේ සාහිත්‍ය උළෙල හැම අතින්ම (කවිය පමණක් නොව නවකතාව, කෙටිකතාව පැත්තෙන් පවා) තම ගුණාත්මක බව පල්ලම් බස්සවා ගෙන ඇත! දේශපාලනය තුළ ඇති නේක විධ 'ගේම්' (Game) සාහිත්‍ය තුළට ද කාන්දු වී ඇති බව මෙහිදී පෙනී යයි.

2010.09.10

පියන්කාරගේ බන්දුල ජයවීර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails