
ජර්මන් භාෂාවෙන් නවකථා සහ කෙටිකථා රචනා කරමින් ප්‍රාග් නුවර වාසය කළ යුදෙව් ජාතික ෆ්රාන්ස් කෆ්කා (1883-1924) මැදිවියේදීම මියගිය නමුත් ඔහුගේ මරණා'පර කීර්තිය කුණාටුවක් සේ ලොව පුරා පැතිර ගියේය. අද වන විට ඔහුගේ සාහිත්‍යය සහ ජීවිතය විසින් කෆ්කාලොජි නමින් කෆ්කා විද්‍යාවක් හෙවත් කෆ්කාවේදයක් බිහි කරනු ලැබ ඇත. යථාර්ථවාදයේ සතුරකු ලෙසත්, ඊනියා මැජිකල් යථාර්ථවාදයේ මිතුරකු ලෙසත් ඔහු මත හංවඩු තබන ලද ශ්‍රී ලංකාව සමග සංසන්දනය කරන විට ඒ ගැන සතුටුවිය හැකි වෙතත් අද එම විද්‍යාව කෆ්කා නමැති ලේඛකයාගේ අසහාය කර්තව්‍යයන් යටපත් කරන ආකාරයේ විෂය ධාරාවක් බවට පත්වී තිබේ.
මේ නිසා අප අද පසුකරන්නේ කෆ්කා විද්‍යාවට එරෙහිව කෆ්කා නමැති සාහිත්‍යධරයා කියැවිය යුතු වකවානුවකි. අද කෆ්කා යනු ධජපතාක සහිත සන්නාහ සන්නද්ධ මතිමතාන්තර බලකොටුවකි. අද ශාස්ත්‍රාල නඩත්තු කිරීම සහ මුද්‍රණ, ප්‍රකාශන සහ සංචාරක කර්මාන්ත දියුණු කරගැනීම සඳහා විවිධ කතිකා සහ වියමන් උපයෝගී කරගනිමින් සාහිත්‍යධරයන් වටා එවැනි බලකොටු ගොඩනගනු ලැබේ. අන්තර්-වියමන් තොණ්ඩුවලින් (Intertextual Loops) ලේඛකයන් සහ නාට්‍යකරුවන් සිරකර ගෙන සිටින අයුරු ක්‍රිස්ටීනා ඔල්ගා කිබුසින්ස්කා මැතිනිය පෙන්වා දෙයි.
මේ චිත්‍රපටය කළු සුදු ලෙස නිර්මාණය කර ඇති අතර කූටප්‍රාප්තියේදී පමණක් වර්ණ ගැන්වෙයි. චිත්‍රපටය ආරම්භවන්නේ ප්‍රාග් නගරයේ පාළු මාවතක් දිගේ ප්‍රාණ භයින් තැති ගෙන දිව යන කලිසම් කෝට් ඇඳි තරුණ මහතකුගෙනි. ඔහු විකෘති මුහුණකින් යුතුව සිනාසෙන දරුණු මිනිසකු අතින් මරු දකියි. එලෙස මහමග දවාලේ මියයන්නේ කෆ්කාගේ මිතුරෙකි. කෆ්කා වැඩ කරන රක්ෂණ සමාගමේම ඔහුද සේවය කළේය. ඔහු අතුරුදන් වී ඇති බව අවබෝධ කර ගන්නා කෆ්කා ඔහුගේ ඉරණම දැන ගැනීමට උත්සාහ කරයි. පසුව ගගෙන් ගොඩගත් බව පැවසෙන මළ සිරුර හඳුනා ගැනීම සඳහා කෆ්කා පොලීසියට කැඳවේ. මිතුරාගේ පෙම්වතිය වෙතින් කෆ්කාට දැනගන්නට ලැබෙන්නේ ඇයත්, මිතුරාත් දෙදෙනාම ප්‍රාග් නගරය තුළ බෝම්බ පුපුරවනු ලබන තරුණ අරාජකවාදීන්ගේ හවුලක සාමාජිකයන් බවයි. මිතුරාගේ මරණයේ තොරතුරු ප්‍රාග් නගරයට ඉහළින් උස් පියසි දිස්වන මහා මාලිගාව නමැති ලේකම් කාර්යාල තිබෙන බව දැනගන්නා කෆ්කා සොහොන් කොත් සාදන්නකුගේ මගපෙන්වීම අනුව රහස් උමඟකින් ඊට ඇතුළු වෙයි. උමඟින් ප්‍රවිෂ්ට වන කෆ්කා ලක්ෂ සංඛ්‍යාත ලිපිගොනු අසුරණ ලද යකඩ කැබිනෙට්ටුවකින් මතුවෙයි.
ෆ්රාන්ස් කෆ්කා (1883-1924)
චිත්‍රපටයේ සියලු රූපරාමු ගොඩනගා ඇත්තේ පැරනොයිය හෙවත් භීතෝන්මාදය දැනවෙන අයුරිනි. කෆ්කාද ඒ මානසිකය තුළ ජීවත්වන නමුත් තම මිතුරාගේ මරණයේ අගමුල සෙවීමේ වීර චාරිකාව අතනොහරියි. දිවා කල රක්ෂණ සමාගම් රාජකාරි කරන ඔහු රෑට නවකථා කෙටිකථා ලියයි. මධ්‍යගත වුණු පීඩක බලාධික නිලධාරිකරණය වුණු සමාජ ක්‍රියා, වංකගිරි බවට පත්වුණු ආයතන, ගොදුරක් බවට පත්වුණු පුද්ගලයා, භීෂණය යනාදී අනේකවිධ බියකරු සමාජ ලක්ෂණවලින් චිත්‍රපටය සමන්විත වී තිබේ. මේ විරූපී සමාජ තතු මධ්‍යයෙහිම කෆ්කාගේ දෛනික කාර්යාල ජීවිතය, සාහිත්‍යකරණය සහ මිතුරාගේ ඝාතනයේ අගමුල සෙවීම රහස් පරීක්ෂක වෘත්තිය නොනැවතී දිග හැරේ.
සාහිත්‍ය සේවාව අද්විතීය වුවද කෆ්කා හැම අතින්ම අවාසනාවන්ත ලේඛකයෙකි. 1962දී පැවැත්වුණු සාමය සහ නිරායුධකරණය පිළිබඳ මොස්කව් සම්මේලනයේදී ෂොන් පෝල් සාත්‍ර මේ කාරණය පැහැදිලි කළේය. විවිධ රටවල් විසින් සංස්කෘතිය අවියෙන් සන්නද්ධ කිරීමේ අධම කටයුත්තේ ආදීනව පෙන්වා දීම සඳහා ඔහු නිදසුන් කොට ගනු ලැබුවේ කෆ්කාය. ඔහු විසින් කෆ්කා හඳුන්වා දෙන ලද්දේ බටහිර ධනේශ්වර ලෝකය මෙන්ම නැගෙනහිර සෝවියට් ලෝකය විසින්ද සංස්කෘතිය අවියක් ලෙස භාවිත කිරීම මගින් කරන ලද මහා පාපයට වන්දි ගෙවූ ලේඛකයා ලෙසටය. සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නිරවිකරණය සිදුවිය යුතු බවත්, එය අවියක් ලෙස භාවිතයට නොගත යුතු බවත් සාත්‍ර අවධාරණය කළේය.
සිනමාත්මක ආඛ්‍යානය අතින් මේ චිත්‍රපටියේ මැවෙන කෆ්කා යනු ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ බර්ඩ්ස් චිත්‍රපටියේ කුරුල්ලන් මෙන් ආඛ්‍යානය ඉදිරියට රැගෙන යන මහා හඟවනය හෙවත් මාස්ටර් සිග්නිෆයරයය වත්මන් ඒකාකාරී ලිබරල් සමාජය තුළ කෆ්කා සාධකය පවා සුවිශේෂ වින්දනීය භූමිකාවක යෙදෙන අයුරු ෆෙඩ්රික් ජෙම්සන් පැහැදිලි කරයි. ඔහු එය විස්තර කරන්නේ කෆ්කානු ප්‍රීතිප්‍රමෝදය වශයෙනි. කෝපරේට් ධනවාදී සමාජය තුළ දෛනික ජීවිතය බෙහෙවින් ඒකාකාරීය. නොකඩවා එළැඹෙන වැඩබර සතිවලට ආවේණික හිස්භාවය සහ ඒකාකාරීත්වය කිසියම් බියකරු දෙයකින් හෝ නැතිවී යනු ඇතැ'යි පුද්ගලයෝ බලාපොරොත්තු වෙති. සමාජයේ සෑම පුද්ගලයකුම තමන් දෙස බලා සිටින්නේය යන හැඟුම වත්මන් මිනිසා තුළ තිබේ. එම නිසා රහස් පරීක්ෂකයාගේ ඇස ඔහුට වුවමනා වේ. ජීවිතයේ ඒකාකාරීත්වය සහ හිස්කම භිතෝන්මාදයෙන් ජයගැනීමට වර්තමාන පුද්ගලයා පුරුදු වී සිටියි.
[රාවය| 2010.09.26]
එරික් ඉලයප්ආරච්චි



