Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



උණුහුමට තුරුළු වෙන
සෙනෙහස තුරුල්ලට ගෙන
උඹ උපදින දවස
අද..

කන්දරාවක් හීන
හිත අස්සෙ හංඟාගෙන
හෙටක් නැති හෙට දවසට
උඹ උපදින දවස
අද..

අනාගතය ගණඳුරේ බව දැන දැනම
මේ තරගෙට වෙහෙස නොබලාම,
හති අරින්නටවත්
ඉසිඹුවක් නොලබන බව දැන දැනම
උඹට දුවන්න වෙන
කුරුවල් වුණ ලෝකෙට
උඹ උපදින දවස
අද..

ප්‍රජාතන්ත්‍රවාදය ගැන
ලියැවුණු පොත්පත් කන්දට මුවාව
හෙට අනිද්දාට
හුස්ම ටිකටත් මුදලක් ඉල්ලන.
අනේ උඹ ලොකු මිනිහෙක් කරන්නෙ කොහොමද මං
හැම තැනම කොටු කරලා
සත් පියුම් පිපෙන්න පොළොවක් නෑ
එහෙව් ලෝකෙට
උඹ උපදින දවස
අද..

උඹට ලියන්නත් බෑ
දෙයක් කියන්නත් බෑ
ඉක්මණින් යන්න වෙන නිසා
එන්නත් කලින්ම.
හැංගිලා ඉන්නත් වෙයි.
තුන්තිස් පැය පුරාම
බණ අහගෙන, අහක බලා ගෙන
ඉන්න වෙන ලෝකෙට
උඹ උපදින දවස
අද..

මගෙ පුතේ !
උඹ ගොළුවෙක් වෙයන්
අන්ධයෙක් වෙයන්
බිහිරෙක් වෙයන්
එහෙම නොවුණොත්..,
උඹ හොරෙක්, මංකොල්ලකාරයෙක් වෙයි
නැත්නම් අමනයෙක්, දාමරිකයෙක් වෙයි
කමකට නැති දේශපාලනඥයෙක් වෙයි
සමාජයට මහා විනාශයක් වෙයි.
කොහොමද මං බලන් ඉන්නෙ
මං උඹේ අම්මා වුණාම?
එහෙම හිතෙන ලෝකෙට
උඹ උපදින දවස
අද..

ඒත් පුතේ, හැබෑවටම
උඹේ අම්මගේ හිතේ
කැකෑරෙන ප්‍රාර්ථනාව වෙනස්.
ලෝකෙට ආදරේ කරන
හොඳ විප්ලවකාරයෙක් වෙයන්
අවියෙන් නෙමෙයි
මේ වක ගැහුණු සමාජය
උඩු යටිකුරු වුණු මිනිස් හිත
ඉද්ද ගැහුවා වගෙ දිග අදින්න
පිට කොන්දක් ඇති එකෙක් වෙයන්
කුණු හෝදලා දාන මහා වැස්සක් වගෙ
හැම හිතකටම ඉහෙන
සීත පිනි පොදක් වගෙ
මහා ගුණ කඳක් එක්ක
දුකට අඬන ඇස් දෙකක් එක්ක
අනේ උඹ උපදින්න ඕන..
එහෙම හිතෙන, ඒ දවස
අද !!!

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails