
දුහුවිලි අවුස්සා
නෙක රථ
උතුරු මඟ දිග ඇදෙන
දකුණු උණුසුම රැගෙන.
සෙනෙහස් සුතුර
හිතැතිව
බසින්නේ ද එ රථ
දොරටු විවරව?
පෙරළා දැමූ පස මත
ඉන්ඳ වූ පැල
ඵල දරාවි ද
මුල් අඳින්නටවත් නොහැකිව
ලතැ වෙන?
දිලෙන රත් පෑ මිරිස් කරලක
සොම්නස
පමා වී වට පොද වැසි
තෙමාවි ද එබිම ගහකොළ?
එක රෑනට පියඹන
වෙන් කළ නොහෙන
අව පැහැ රත් පැහැ නළලත තිලක.
බස නොදැන
මුමුණන ආදර බස
දෙනුවන් පුරා නො ලියැවේ ද
සඳුටත් රහසේම?
හීන අංකුරක දළුලන හීනයක්
දෙපතුලට පොඩිව
මිය යයි
සීතලම උදෑසනක.
කෝ කොහිද
නොබිඳෙන හුය
දෑඟිළි එක් කළ?
පිච්ච මල් පිපෙන හිස මත
විසුරුවා තුරුණු තරු කැට
හැඩ දමාවි ද ඈ තාමත්
කෝලම්
මිදුල පුරාවෙම?
සඳ සාවුන්ට කවන්නට
තෛපොංගල්
ඉදෙන්නේ ද සුවඳ විහිදුවා ඉරගලට?
දොළොස් මහේ පහන නිවී
තැන තැන ඉහිරුණු කූඩාරම්
කල් ඉකුත් වුව
අප්පා එංගෙයි අසන ඇස් ඇති
මපුතුන් නිදිබර
සොයන්නේ ද තුරුල්ලේ උණුසුම?
සුළං රළවත් එ ගම් මැද්දෙන්
හමා ඇදෙන්නට අවසර නැති
පවුර නොබිඳී බිඳින්නේ ද හදවත
ඇහිද ගන්නට නොහැකි තරමට?
07/10
තුෂාරි ප්‍රියංගිකා



