
සැදෑවතුනේ ඉතින් පෝලිමේ පැමිණෙන්න
සැදෑසිත් පෙරදැරිව නරඹන්න
මේ අලුත් ජාතකය අහගන්න
සිංහයකු සිටී මෙහි කූඩු කර
මිලිටේරි රේසරෙන් රන් කෙසර බා දමා
තරු පටි ද ගලවා
පදක්කම් සහමුලින් උදුරා
වලග ලොම් පවා ඇද ගලවා
සුනඛ සෙයියා ලබා දෙනු වස්
සිංහ සෙයියා බොහෝ උදුරා
පශ්චාද් භාගයට පයින් ඇන
මිලිටේරි කඳවුරින් එළවා
සැබෑ කේසර සිංහයෙක් විය
මහා බල විකුම් පෑ ඌ එකල
රජ අනින් දස දහස් සතුරු හිස් පොලු ගැසූ
රුහිරු විල්වල නිතර පිහිනූ
සලා කේසර ගොර බිරම් දුන්
ඇසට ඇස ලෙයට ලෙය
හිසට හිස ඉල්ලූ
සිංහයෙකි ඌ එකල
දමිළ මස කුස පුරා වැළැඳූ
දමිළ රුහිරෙහි දියබුං ගැසූ
වෙනසකට ඉඳහිටක
සතුරු සිංහල මසද
අතුරුපසකට වගේ වැළැඳූ
සැදෑවතුනේ දැන් ඉතින් වැඳගන්න
අවසාන දෙමළාද පොළු ගසා
කෙසර සලමින් පැමිණි ඌ
සිහසුනට පොරබැදූ දවස් ගැන
ටිකක් නිකමට මෙනෙහි කරගන්න
දසක දෙකකට කලින්
පණපිටින් හමගැසූ පරපුරේ
බාල සොයුරන් අතින්
සුදෝ සුදු සිල් ඇඳුම පෙරවූ
සුසිල්වත් සිංහයකු වීය ඌ එදවස
මිනීමස් බොක්කේ තබාගෙන
හකු පුරා බුදුරැස් ද ලෙලවූ
ප්‍රජාතන්ත්‍රය නිතර මැතිරූ
රතු සහෝදර අත් වීය හැම අත
රන් කෙසර පිරිමදින
මැතිවරණ හිනාවේ රදනක මුවාකරලන
(වෙනසක් නොවිණි කාටත්
රජ මැති ඇමැති කාගෙත්
වීය බොක්කේ දඩමස්
දිළිණි හක්කේ බුදුරැස්
වීය රදනක තිස්දෙකෙන් දාසයක්
ඒකනේ පැෂන් එක දැං)
එහෙව් සිංහයෙකි මේ
මේ මෙතැන කූඩුවේ ලගින්නේ
සැදෑවතුනේ ඉතින් ඇඳිලි බැඳ ඉඳගන්න
මේ සිංහ ජාතකය කමටහනකට රැගෙන
භාවනාවකට හිත යොදවන්න
පරම සතුරා ගැනත්
'අනේ අපොයි' කියනා
දහම් දිවයින මේක
ඒ නිසා 'හොඳවැඩේ' යයි
තැලුම් කෑ කෙනෙක්වත්
නිකං සෙල්ලමටවත් නොසිතන්න
භාවනාවටම හිත බැඳලන්න
''රාජ උදහසට ලක් වුණු දාට
මහා කේසර සිංහයන්ටත්
කල ගෙවෙන්නේ මෙහෙම නම්
අපි නිකං මොන කුරුම්බැට්ටිද''
කමටහන වෙත ම හිත යොදවන්න
රජ අතත් තව ටිකක් ශක්තිමත් කළ බැවින්
තවත් හොඳ හොඳ සෙල්ලම් තියෙයි
හඳ නැතිව තරු පේන ජාමයට
එදාටත් සාදුකාරය දෙන්න
පණකෙන්ද යාන්තම් රැකගන්න....
එතකල්ම
භාවනාවෙන් එපා නැගිටින්න...
සනත් බාලසූරිය



