Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මුලින්ම එළඹෙන්නේ, වැරදීමකින් තමන් ලියන ලද බේත් සීට්ටුවක් මිත්‍රයෙකු දැක, එය කියවා "අඩෝ උඹ මාර කවියෙක්"යැයි කීමෙන් පටන් ගන්නා බිත්තර අවස්ථාවයි. මෙකී අණ්ඩජ අවස්ථාව කවියාගේ ජීවන චක්‍රයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ, අණ්ඩය තුළට වී කවි භ්‍රෑණයා අනාගතයේ සිය ග්‍රහ ලෝකය (පමණක් නොව ග්‍රාහක වළල්ල ද ඇතුළත්ව බුද සිට ප්ලූටෝ දක්වා ද අල්ෆා සෙන්චූරි දක්වා තරු ද) පුබුදුවන මහා කවියා වීම සඳහා සිහින දකින බැවිනි.

ඉන් පසු මේ ආකාර අපාය සහායක ගොබෙල්ස් බ්‍රෑන්ඩ් ලණු කැරලි හැත්තෑ පහක් සීයක් පමණ ගිලීමෙන් පසු, තමන්ටම තමන් ගේ හීන දරා ගැනීමට බැරි වූ විට, අරීය ලෙස බිත්තරය බිත්ති දිගේ පුපුරවා ගන්නා කවි කීටයා එළියට එයි. ඉන් පසු, මේ නව කීට කවියා කරන්නේ එකී රටේ තැපැල් දෙපාර්තමේන්තුවටත් එපා වෙන තරමටම පත්තර කවි පිටු වලට කවි තැපැල් කර යැවීමය. පත්තර කවි පිටුවල ඉන්නා සංස්කාරක වියතුන් ලියුම දකිද්දීම ඇතුළේ තියෙන්නේ බේත් සීට්ටුවක් ද කවියක් ද යන්න ඇක්ස්-රේ ක්‍රමයෙන් හඳුනාගැනීමට ඇස් පුහුණු කළ කවි වෙදැදුරෝ වෙති.

කීට කවි පැටවුන් විසි පන්දාහත් තිස් දාහත් අතර ප්‍රමාණයක් සංස්කාරකයා විසින් එන්විලෝප් ගර්භාෂය තුළම ඝාතනය වෙනු පිණිස ඩස්ට් බින් එකට දැමීම සිදු වන අතර ඒවා පුවත් පත් කාර්යාලයේ කුණු ගොඩේ සිට බ්ලූමැන්ඩලය දක්වා ප්‍රවාහනය පිණිස නගර සභාවෙන් වාහන යොදවා තිබේ.

අතිශය කඨෝර වූ මෙකී කීට චීස් පේස් එක අවසන් වන්නේ එක්කෝ සංස්කාරකයාට කීටයා ගැන අනුකම්පා හිතීමෙන් හෝ පිටු සැලසුම්කාරයාට කොච්චර හැදුවත් පිරවිය නොහැකි පිටු මුල්ලක් ඉතිරි වීම නිසා එකී හිස් ඉඩට ගැලපෙන දිගක් කීට කවිය සතු වීම නිසාය. මොන ලොතරැයිය වැටීමෙන් හෝ තිස් තුන් දාස් තුන්සිය තිස් තුන්වැනි කුළුඳුල් කවිය රැගත් පත්තරය කීටයාගේ නිවසට ළඟම පත්තර ලෑල්ලට එයි. පත්තරේ අයිතිකාරයාට ගෙවිය යුතු ආත්මීය ණයක් ගෙවීමට ඇතිවාක් මෙන් සති අග පුවත්පත මිලට ගැනීමේ වතාවත ඉටු කිරීමට කීටයා ලෑල්ලට එයි. අත පත් පතෙහි කවි පිටුව ද යාන්ත්‍රිකව පෙරළෙයි.

කිරි අප්පට බල්ලො පනින්නේ මෙතනදීය. කීටයා තමන්ට කලන්තේ දමන සයිස් සංතෝෂයෙන් බල නහරය පුපුරා මිය යෑමට වේයැයි බියෙන් ඉක්මන් ගමනින් නිවසට යයි. ඉන් පසු කවි පිටු මුල්ලෙ ඇති ධාතු කරඬුවත් ඊට යටින් ඇති තමන්ගේ ශ්‍රී නාමයත් පවුලේ පිරිවරට පෙන්වයි. ඉන් පසු ළඟම සහ දුරම සහ නොදන්නා යාළුවන්ට ද පවා අඬගසා පෙන්වයි. එතෙක් කල් බෑ කියමින් සිටි මානවිකාවන් පවා කීටයා දෙස හොරෙන් බලන බව කීටයාගේ හිත කියනා බැවින්, බස් කෝච්චි වල පවා යන විට තමා හඳුනාගනී යන අහේතුක බියකින් පීඩනයට පත් වීමට ගනියි.

ඒ සමග දෙවන කවිය තෙවන කවිය සිව්වන පස්වන... ආදී කවි පළ වීමට පටන් ගැනීමත් සමග කීටයා දුහුනු හැව හැර දමා පිලා අවස්ථාවට රූපාන්තරණය වෙයි. මෙලෝ රස නහරයක් වර්ධනය නොවූ කලින් සිටි බෝක්කුපෑල්ස් ලා දූරිං භූත වී ගොස් නව කවියේ අරුණෝද චන්ද්‍රෝද කවි සක්විත්තන් අතර සැරීමේ පාස් පෝට් එක හෙවත් සරසවි දේවියගේ ටෝකන් එක පිලවා අතට ලැබෙයි. ටොක් ටොක් ගෑවිල්ලේ මෙකී පිලා කවියන් විසින් දොරට තට්ටු කරනු ලැබීම නිසා වැඩියෙන්ම දුක් විඳින්නේ ඒ වන විට සුහුඹුල් වී සිටින සරසවි තවුතිසාවේ මහා කවි රංචුවයි. පුවත්පතක කවියක් යන යන වාරයක් පාසා අතින් කයිට් කරගෙන සුහුඹුලන්ට අමතන පිලවුන්ගේ සරසවි කරච්චලය දරා ගත නොහැකි වූ එක් කවීන්ද්‍රයෙක් කවි ලිවීම නවත්වා අන්නාසි වැවීමට යොමු වූ අතර ඊයේ පෙරේදා තවත් කවීන්ද්‍රයෙකු මේ ලියුම්කරු සමග කීවේ තමා පීනා ගෙන හෝ රට හැර පිලවු කවීන් නැති ඕනෑම සයිබීරියාවකට යන බවයි.

පිංවත, පිලවා කිං කුසල ගවේසීය. හේ නිදාගන්නා පැය කිහිපය හැර අන් සියළු කාලය කවි නිමිති ගවේෂණයේ යෙදෙයි. පොඩි මල්ලීගේ දත හෙලවෙන එක ගැන ලේනා ද ඇතුළත් කොට එක කවියකි; ඉන් පසු මල්ලීගේ දත වැටුණු පසු අලියා ද ඇතුළත් කොට තව කවියකි; මල්ලීට දත නැති එක ගැන කොල්ලෝ විහිළු කරන විට මෙන්න බොල තවත් කවියකි ආදී වශයෙනි. ලේන්නුන්- අලි සහ දත් වැටීම ගැන ලියවෙන බබා ටයිප් කවි හිළුමිණ ''කවි-කෝ? ලතා'' පිටුවටත්, ලවු සික්- බූට් සූට්කේස්- ඩිවෝස් ඉඩම් නඩු- බුදු ගුණ ඈ මැද තරමේ පැහිච්ච කවි බුකිබිම සංජුමාව පිලා කටුවටත්, වෝර් ඇන්ඩ් පීස්- ඇන්ටි ගවොර්මොංට් ඈ ගුටි කන කවි සියල්ල රෑවෙය පත්තරේටත් ආදී වශයෙන් ටපලවා නොගෙන තැපැල් කිරීමට පිලවා දස්කයා ය.

පිලා කෝෂය තුළම දිගු කාලීනව චාටර් වීමේ ආදීනව ලෙස, පිලවා ඒ ඒ පිලා කටු සංස්කාරකයන්ගේ සිතැඟි හඳුනාගන්නට පටන් ගනී. උන්නැහේ කවි පිටුවේ දමන කවි දිහා බැලීමෙන් පමණක් උන්නැහේ මේ දිනවල වැඩ කරන්නේ කොයි කඩේ ද යන්න පමණක් නොව උන්නැහේ මේ දිනවල රෑට රෑට වැඩියෙන්ම හීනෙන් බය වෙන්නේ කාටද යන්නත් පිලවුන්ගේ අන්තර් ඥානයට වැටහෙන්නට ගනී. එකී ඇඩිටරයාගේ මේ දවස් වල ඇම්මට ගැලපෙන කවි පමණක් ඔහුට යැවීමට පිලවා පරිස්සම් වන්නේ අතින් කාලා හරක් බැලීම මේ කාලයේ හැටියට හරක් වැඩක් බැවිනි.

පිලා අවදිය නිසි ලෙස ගෙවා දමා කෝෂයට වැඩක් දී ඊගාව ස්ටේජයට පැන ගැනීමට අත්‍යාවශම වන අනික් අංගය නම් කවි පොත් දොරට වැඩුම් වලට ගොස් නම ලකුණු කර ගෙන ස්පීච් එක අසා එමැද්දේ ජුංඩි නින්දක් ගසා සංවාදයේදී පැනයක් නගා ටී ජුංඩක් බී ෆැටිසක් හෆා කයියක් ගසා කයිය දික් වී බාර් එකකත් ස්ටෙලා ගසා කෙළවර සභා තොමෝ සමග රෑ බස් එකේ සතුටින් විසිර යාමයි. මෙදිව් මතු නොව දඹදිව් තලයේ වූව බුකයක් ලෝන්ච් කරන්නේ නම් ගේ මැද මිනියක් තිබුණත් පිලවා ගෙදර රඳවා තබා ගැනීම බොරුය. හේ ගේම දනී.

පිංවත, ඒ වනාහී කවර නම් ගේමක් දැයි අසා දැනගැනීමට ඔබට ටික දිනක් බලා සිටින්නට සිදු වේය.

සෙස්ස පස්සට.

කක්ෂපුට

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails