
"ඉර හඳ යට" සිනමා පටයේ අධ්යක්ෂ බෙනට් රත්නායක තමාට හිමි වූ (එක්තරා අන්දමකට ජාත්‍යන්තර මට්ටමේ) සම්මානයක් පිළිබඳ ආණ්ඩුවේ පුවත්පතකට දුන් සාකච්ඡාවක දී ප්‍රකාශ කළ අදහසක් නම්, ''හමුදාව විවේචනය කළා නම් තවත් සම්මාන ලැබෙන්න තිබුණා'' කියාය. බෙනට්ගේ සිනමාත්මක පරිචයත්, ඔහුට තිබෙන සමාජ පරිකල්පනයේ දිග-පළල හා ගැඹුරත් මෙනයින් හෙළිකොට තිබෙන අතරම එක්තරා ''සම්මානනීය කුහකකමක්'' ද වක්‍රාකාරයෙන් ප්‍රකට කොට ඇත.
ඔහුගේ ප්‍රකාශය අනුව සිංහල සිනමා කරුවන් විදෙස් සිනමා සම්මාන අපේක්ෂා කරත් නම් ඒ වෙනුවෙන් හමුදාව විවේචනය කළ යුතුය. එනිසා මේ සම්මාන නිර්දේශ කරන කමිටු මෙවැනි වේ යැයි වැනි අදහසක්-
එනයින් ගම්‍ය වේ. එය එසේ වේ නම්, මේ සම්මාන කමිටු යනු බෙනට්ට තරම් සිනමාව විෂයයෙහි අවංකබවක් නැති, දැනුමක් නැති පුද්ගලයින්ගේ රංචු ගැසීමකි.
කෙසේ නමුත් ඔහු සෑම විටම තම සිනමා කෘති තුළින් හමුදාව (රජයේ මිලිටරි හස්තය) තබා, අපේ (සමාජ-ආර්ථීක-සංස්කෘතික දේහයේ) ස්ථාපිතයන් කිසිවක් විචාරයට, විවෙචනයට, ගවේෂණයට බඳුන් නොකිරීමට පරිස්සම් වී ඇත. සමාජ ආඛ්‍යානයේ කිසිදු අගතියක්, කිසිම ''අප්සට් එකක්'' ගැඹුරින් නිරූපණය කිරීමට, අභ්‍යාස කිරීමට බෙනට් කිසිවිටෙක උත්සාහ දරා නැත.
සමාජ සංස්කෘතික වටපිටාවේ ගුණාත්මක පෙරලි ඇති වී තිබෙන්නේ බෙනට් වැනි ''නිර්මාණ කරුවන්''ගේ නිර්මාණ නිසා නොව සමාජ න්‍යායික අවබෝධයක් ඇතිව සමාජ ප්‍රපංච, මානුෂීය ප්‍රපංච සමග නිර්මාණාත්මක අභ්‍යාසයක් කිරීමට උත්සාහ දැරූ දැනුවත් අවංක නිර්භීත නිර්මාණකරුවන් නිසාය. ඇත්තෙන්ම, අප අතර සිටින අතළොස්සක් අවංක නිර්භීත සිනමාකරුවන්, කලාකරුවන් මේ පවතින දුෂ්කර වකවානුව තුළ මේ විෂයය තුළ අසීරු හුදකලා අරගලයක නියැලෙමින් පර්යේෂණාත්මක යමක්, අලුත් යමක්, ගැඹුරු යමක් ඉදිරිපත් කිරීමට වෑයම් කර ඇත. නමුත්, බෙනට් රත්නායක යනු ඒ අය අසලින් තැබිය හැකි අයෙක් (ප්‍රාමාණිකයෙක්) නොවේ.
අභියෝගාත්මක යමක් නොකළ මුත් ලෙස්ටර්, වසන්ත, මහගමසේකර, සිරි ගූනසිංහ වැන්නන් සිනමාව තුළින් පටන් ගත් තැනටවත් තවම ළඟාවීමට බෙනට් සමත්ව නැත.
අනෙක් අතට හමුදාව යනු පරම යමක් නොවේ; එය ලංකාවේ සිංහල හමුදාවට පමණක් නොව සෝවියට් රතු හමුදාවට ද අදාළ අනුභූතියකි. සිංහල හමුදාව වෙතින් මීට දශක දෙකකට ඉහත වකවානුවකදී සිංහල සමාජයම ලැබූ අත්දැකීම් පමණක් යළි මෙනෙහි කිරීම ඊට ප්රමාණවත්ය.
අවසාන වශයෙන් කෙටියෙන් සංක්ෂිප්ත කළහොත් පවතින ''අප්සට්'' එක මත යැපෙමින්, පවතින බලධූරාවලියේ කිසිම සංරචකයකට අභියෝග නොකරමින් හුදු කතන්දරයක් ගෙතීම පමණක් සිනමාව ලෙස තෝරා ගත් ඔබ වැන්නන් කිසිවිටෙක පුරෝගාමී සිනමාකරුවෙකු හෝ නිර්මාණාත්මක සිනමාකරුවෙකු නොවෙනු ඇත. මෙය ඕනෑම සමාජ විෂයයකට අදාළ යථාර්ථයකි. ප්රත්යක්ෂ්යයකි. කෙසේ වුවත් ලංකාවට උරුම මේ ඉතිහාසයේ කෙටි පරිච්ඡේදය තුළ වේදිකාව ඉදිවී ඇත්තේ ජැක්සන් ඇන්තනී, සෝමරත්න දිසානායක, බෙනට් රත්නායක වැන්නන්ටයි.
මොහාන් විඡේනායක
CINE BOONDIYA | "ඉර හඳ යට" ගැන නොව, බෙනට් රත්නායක ගැන! - [මොහාන් විඡේනායක]
Posted by
BoondiOnLine
10.13.2010



