Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ලංකාවෙන් ලොකුම ලොකු රංචුවක් ගියෝය. එහෙව් ලොකු රංචු විදෙස් ගත වීම මගින් කාටූන් කාරයන්ට එදා වේල කාටූනයක් දෙකක් ඇඳීමට ප්‍රස්තුත සපයනවා විනා සිදු වන කිසිවක් නැති නමුත්, මේ දිල්ලි ගිය නඩයේ නම් 'යන දිල්ලියක' නොගිය කීප දෙනෙකු හෝ සිටි බව දැන් අපි හොඳාකාරවම දනිමු. ඒ මංජු, චින්තන සහ සුදේශ් යන අපේ ක්‍රීඩකයන් පදක්කම් තුනක් රැගෙන ආ නිසාවෙනි. ගිය රංචුවේ තරමට සහ යන්නට පෙර පැවැත්වූ මීඩියා ගිණිකෙළිවල තරමට මෙය කන්දක් තටමා එළු බෙට්ටක් දැමීමක් වුවත්, අපේ කොල්ලන් තුන් දෙනාගේ ශ්‍රමයට සහ අසීමිත කැපකිරීමෙන් ලද ජයග්‍රහණයට සැලියුට් එකක් ගහන්නට එය බාධාවක් නොවේ.

චින්තන විදානගේ

නූලෙන් රන් පදක්කම මිස් කර ගත් චින්තන විදානගේ ඉකුත් සෙනසුරාදා සිරසේ රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් අපූරු හෙළිදරවුවක් කළේය. ඒ තමන් තරඟයට සහභාගී වූයේ දාහක් ප්‍රශ්ණ මැද මහත් මානසික පීඩනයකින් බවය. කලින් චින්තනගේ මව සමග කළ කතාබහක පටිගත කළ දර්ශන එහිදී විකාශය වූ අතර ඇය කියා සිටියේ චින්තන මේ තරගය වෙනුවෙන් ගෙදර තිබුණු බයික් එක විකුණලා රුපියල් අනූ දාහක් හොයා ගත් බවය. චින්තන දිල්ලි ගිය කණ්ඩායමේ නායකයාය. නායකයාගේ තත්ත්වය ඒක නම් අනික් අය ගැන කවර කතා ද? එම වැඩසටහනටම සහභාගී වූ බර ඉසිලීමේ සම්මේලනයේ නිලධාරියෙකු එකී තත්ත්වය පැහැදිලි කිරීමේ දුර්වල උත්සාහයක නියැලුනු අපට දක්නට ලැබිණි. ක්‍රිකට් හැර අනෙකුත් ක්‍රීඩා වෙනුවෙන් දක්වනු ලබන සැලකිල්ලේ 'තරම' මෙබඳුය.

තව දුරටත්, චින්තන එහිදී කියා සිටියේ තමන් ක්‍රීඩාවේ රැඳී සිටීම සඳහා අනුග්‍රාහකයෙක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් උත්සාහ කළ නමුත්, කිසිවෙකු ඊට ඉදිරිපත් නොවුනු නිසා මේ වන විට ඒ උත්සාහය හැර දමා ''පුළුවන් හැටියෙන්'' පෝෂ්‍යදායක ආහාර කා බී ''පුළුවන් හැටියෙන්'' පුහුණුවීම් කර ගෙන ''රට වෙනුවෙන්'' මේ දුෂ්කර මාවතේ ගමන් කිරීම තෝරා ගෙන ඇති බවය. ඇතැම් විට සිරසේ වැඩසටහනෙන් පසු චින්තනට අනුග්‍රාහකයෙක් ලැබෙන්නට ඉඩක් තිබේ. එහෙත් ගැටළුව වන්නේ, ලංකාවේ ක්‍රීඩාව නමින් පවත්නා පරිපාලන ආයතන හොබවන බීරි අලින්ට රටවල් 76ක් පරදවා රිදී පදක්කමක් ගෙන එන තුරුම චින්තන වැයූ වීණා හඩ නෑසුනේ කෙසේද යන්නයි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු වූ චින්තනට 'කෙළවා' ඇත්තේ එසේ නම් අනෙක් ක්‍රීඩකයන්ගේ 'කෙළවුම්' ගැන කවර කතා ද?

මංජු වන්නිආරච්චි

අන්තිමේදී මංජු වන්නිආරච්චිව ටී.වී. තිර මත පෙන්වන්නටත් පත්තර වල ක්‍රීඩා අතිරේක ඔහුගේ රුවෙන් සරසන්නටත් ලංකාවේ ක්‍රීඩා මාධ්‍යකරුවන්ට සිදු විය!

ලංකාවේ පත්තරකාරයන්ට බොක්සිං යනු 'ඩයන් ගෝමස්'ය. (ලංකාවේ පාපන්දු යනු 'මනිලාල්' මෙනි!) සමහරු හිතන් හිටියේ වලල්ලේ බොක්සිං ගහන්නේත් ඩයන් මය කියාය. කවුරු හරි ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වැඩිපුර ඩයන් ගැන (බොක්සිං ගැන) ලියනවා නම් ඔහුගේ වයිෆ් අඳින්නේ 'වික්ටෝරියා සීක්‍රට්' යට ඇඳුම් බව කලකට පෙර මව්බිමේ පෙරදිග සුළං අතිරේකය ක්‍රීඩා ලෝලීන්ට ඔත්තුවක් සැපයුවේය.[1]

ලංකාවේ බොක්සිං සිම් ලයින් ප්‍රාග්ධනයෙන් රන් වෙන බවත් ඩයන් ගෝමස් හෙවත් වෙන්ඩ 'එල් ග්වාරා', මංජු වන්නි-ලාගෙ දහඩියෙන් තමන්ගෙ ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ ප්‍රොජෙක්ට් එකක ඉන්නා බවත් නොදන්නා කෙනෙක් නැත. (ඕනෙ නම් රන් පදක්කමේ රස්නෙං යනකල් තව සති දෙක තුනක් මංජුව මීඩියා වල පෙන්නයි. ඊට පස්සෙ ආයෙ ඩයන්....!!!

ඩයන්- චේ- බොක්සිං
මනිලාල්- සිමෙන්ති- පාපන්දු)

මෙඩල් එල්ලන් එද්දි එයාර්පෝට් එකේ දි මල්මාල දමලා පිළිගන්න, මෙඩල් එකේ දිස්නෙ බහිනකල් ළගින් නොහෙල්ලි කැමරාවලට විරිත්තන ක්‍රීඩා නලධාරීන් සහ ක්‍රීඩාවට සම්බන්ධ දේශපාලන බලධාරීන් යන මේ සියලු සමනල්ලු ක්‍රීඩාව එල්ලිලා ඉන්නෙ මල් වල රොන් ගන්ට නෙමෙයි. ක්‍රීඩාවට හෝ රටට ඇති ආදරයක් නිසා නොවෙයි. ඒ අරමුණු පත්තරේ ෆොටෝ එක දා ගන්න එකේ ඉඳලා හොරකම් කිරිල්ල, බඩු ගැහිල්ල, රට සවාරි ගැහිල්ල, පාර්ලිමේන්තු යන්ඩ අවශ්‍ය කරන පාරමී පිරිල්ල ආදී විශාල පරාසයක විහිදෙන එකක්. ක්‍රීඩා සංගම්වල නිලවරණ පුංචි යුද්ධ බවට පත් වුනේ ඒවයේ මහ පුටුවලට නැග ගත්තට පස්සෙ පවුල් පිටින් නිවන් යන්ඩ පුළුවන් බව කවුරු කවුරුත් දන්න නිසයි.


'ක්‍රීඩාප්‍රේමියෝ' සහ 'දේශප්‍රේමියෝ' මොන බයිලා ගැහුවත්, අන්තිමේදි ''පිට්ටනියේ අපේ පස්වෙනි පන්තිය'' බවට පත් වෙන්නෙ 'ක්‍රීඩකයෝ'. ක්‍රීඩා සංගම් වල නිලධාරීන් සැප ගන්නෙ ක්‍රීඩකයන් පිට්ටනියේ හෙලන දහඩියට ලැබෙන මුදලින්. ක්‍රිකට් ක්‍රීඩකයන් ගත්තහම මේකෙ ව්‍යතිරේකයක් තිබෙන බව ඇත්ත; ඒත් අනික් හැම ක්‍රීඩාවකම තත්ත්වය මේකයි. කලකට පෙර ලංකාවේ පාපන්දු පිල කීප වතාවක්ම මෙහෙයවූ 'මොහොමඩ් අමුනුල්ලා' කියූ කතාවක් මේ.

''....මම මේ වෙනකොට අවුරුදු විස්සක් පාපන්දුවල නියැලිලා ඉඳලා තියනවා. අදත් ඉන්නේ ඒ මත්තේ. ඒ පාපන්දුවලට තියෙන කැමැත්ත නිසා. නමුත් ආපස්සට හැරිලා බලනකොට අපිට විතරක් නෙමෙයි අපිට ඉස්සර පරම්පරාවට මෙන්ම අපෙන් පසු පරම්පරාවටත් දැන් ඉන්න පරම්පරාවටත් පාපන්දු හරහා සාධාරණයක් ඉටු වෙන්නෙ නැහැ..... මම බකල ගගහා ඇවිදින්නේ. ඒ උපතින්ම මම බකල හින්දා නෙමෙයි. පාපන්දු ගහලම කකුල බකල වෙලා. මම ලෝකයේ ගරු කරන විශ්වාස කරන 'අල්ලා' දෙවියන් යදින්නවත් කකුල් දෙක හරියට තියාගන්න බැහැ. මට විතරක් නෙමෙයි පාපන්දුවල හිටපු ඕනම කෙනෙක් දිහා බලන්න. එ අය බකල ගහනවා. අන්තිමට අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ බකලය විතරයි..............''[2]

පිට කැසීම, යටි බඩ අත ගා පිටට පිහියෙන් ඇනීම, කකුල් මාට්ටු දැමීම ආදී ''ජාතික'' ක්‍රීඩාවල නියැලෙන ක්‍රීඩකයන් තරමටම ජාතික සම්පත් නොවෙන නමුදු බර උසුලන, දුවන, පනින, මුෂ්ටි ප්‍රහාර වලින් විටෙක වැටෙමින් නැවත නැගෙමින් රට වෙනුවෙන් සටන් කරන මේ කොල්ලන් කෙල්ලන් ද දක්ෂයන් ය. සම්පත් ය.

රට කන, අපේ බදු මුදලින් සුර සැප විඳින මැති ඇමතියන් හෝ පාලකයන්ගෙන් මේ දරුවන් වෙනුවෙන් යමක් කරන්නැයි ඉල්ලීම මෙබඳු සෑම ලිපියකම අවසානයට එන අංගයයි. නමුත්, සිදු නොවන්නේ ද එයයි. මැති ඇමැත්තන්ගේ ''කකා බිබී නටන අමන පුතුන් සහ නරුම යහළු යෙහෙළියන්'' නයිට් ක්ලබ් වල එක රැයකට ආතල් සඳහා ලක්ෂ ගණන් වියදම් කරන රටක චින්තනලා ''අපේ රට වෙනුවෙන්'' තරග වදින්නට යන්නට ගෙදර තියෙන බඩු විකුණන යථාර්ථය විසින් අපට පෙන්වා දෙනු ලබන්නේ කුමක් ද?

ඔබේ අවධානය සහ දිගින් දිගටම සිතීම පිණිසයි.

1- මව්බිම. ඒ-කේ-47 අතිරේකය- 2006.08.27
2- මොහොමඩ් අමනුල්ලා සමග ටිරන් කුමාර බංගගමආරච්චි කළ සංවාදයෙන් - උපුටනය : රාවය 2006 ඔක්තෝබර් 22 ඉරිදා

දොන් ජුවන් එදිරිල්ලේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails