Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමලරාජන් මරා දමා දස වසරක් ගෙවී ගොස්ය. 2000 වසරේ ඔක්තෝබර් 19 වැනිදා රාත්‍රී 10.00ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වෙඩි තබා අත් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් නිලමරාජන් මරා දැමුනේ සිය නිවසේදීමය. ඒ වෙන කොටත් නිමලරාජන් 'වීරකේසරී' පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් සිටියේය. 1983 ජාතිවාදීන්ගේ ප්‍රහාරයට ලක්වුණු අගනුවර දෙමළ ජනයා අතරේ නිමලරාජන් ද ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් ද විය. රජයේ මුද්‍රණාලයේ සේවය කළ ඔහුගේ පියා සංගරපිල්ලෙයි මයිල්වාගනම් වාමාංශික අදහස් දැරූ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකි. නිමලරාජන්ලා රාජගිරියේ පදිංචි නිවෙස අත්හැර යාපනේ පදිංචියට යන්නේ අනාථ කඳවුරුවල සති කීපයක් ගෙවා දැමීමෙන් අනතුරුවය. 1983 ජූලි ජාතිවාදීන්ගේ ප්‍රහාරයන්ගෙන් ජීවිත රැකගත් දෙමළ මිනිසුන් බොහෝ දෙනෙක් උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පිටත් කෙරිණි.

වසර කිහිපයක් ඇවෑමෙන් නිමලරාජන් උතුරේ දෙමළ ජනයා අත්විඳින කටුක දුක්වේදනාවන් ලෝකයා හමුවේ කියා පාන්නට ගත්තේ මාධ්‍යවේදියෙක් ලෙසිනි. ඒ අති දුෂ්කර වටපිටාවක සිට සීමිත පහසුකම් මැද්දෙනි. 'බී.බී.සී තමිල්ඕසේ', ඒබීසී මාධ්‍යජාලයේ 'සූරියන් එෆ්.එම්.', 'වීරකේසරී', 'ආදන්', මාධ්‍යයන් වෙත දෙමළ භාෂාවෙන් ද, 'බීබීසී සංදේශය', ඒබීසී මාධ්‍යජාලයේ 'හිරු එෆ්.එම්', හා 'රාවය' මාධ්‍යයන් වෙත සිංහල භාෂාවෙන් ද, ඝාතනයට ලක් වෙන මොහොත වන තෙක්ම අඛණ්ඩ තොරතුරු සැපයුවේ මහත් උනන්දුවකිනි. ඒ පිළිබඳ මෙකී මාධ්‍ය ආයතනයන්හි එවකට සේවය කළ මාධ්‍යවේදීන් සාක්ෂි දරනු ඇත.

සෑම මොහොතකම නිවැරදි තොරතුරු ලබා දෙන මාධ්‍යවේදීයෙක් ලෙසත් දුෂ්කර අවස්ථාවන් යටතේ වැඩ කිරීමට ඇති හැකියාවත් නිසා නිමලරාජන් දකුණේ ජනමාධ්‍යවේදීන් අතර පිළිගැනීමට ලක්වූයේ නිතැතිනි. කලක් අගනුවර විසීම නිසා සිංහල භාෂාව හැසිරවීමේ හැකියාවත්, සිය පියාගේ ආභාෂයෙන් ලැබුණු වාමාංශික දේශපාලනික අදහස් ද මීට ඉවහල් විණි.

වරක් නිමලරාජන් මාධ්‍ය හැඳුනුම්පතක් ලබාගැනීම පිළිබඳ බරපතළ අර්බුදයක පැටලී සිටියේය. එවකට යාපන අර්ධද්වීපයේ පැවති භීෂණකාරී, මර්දනකාරී වටපිටාව හේතුවෙන් මාධ්‍ය හැඳුනුම්පතක් තිබීම ඉතාමත් වැදගත් විය. ඒ මගින් යම්තරමකට හෝ බාධාවකින් තොරව තොරතුරු සොයා ගැනීමේ කාර්යය ඉටු කර ගත හැකි බව නිමලරාජන්ගේ අදහස විය.

ඔහුගේ බොහෝ සිංහල මිතුරන් සිටි 'රාවය' පුවත්පත් ආයතනයට මාධ්‍ය හැඳුම්පත පිළිබඳ ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ මහත් අපේක්ෂාවන් ඇතිවය. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි. 'රාවය' සංස්කාරක වික්ටර් අයිවන් කියා සිටියේ නිමලරාජන් කොටි සංවිධානයට සම්බන්ධ අයෙක් ලෙස සැකකෙරෙන හෙයින් ඔහුට 'රාවයෙන්' මාධ්‍ය හැඳුනුම්පතක් ලබා දිය නොහැකි බවය.

ඒබීසී මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් ද එකී ඉල්ලීම ඉටු කිරීමට උත්සුක වූයේ නැත. එවකට ප්‍රාදේශීයව කටයුතු කරන ජනමාධ්‍යවේදීන්ට මාධ්‍ය හැඳුනුම්පත් ලබාදීමට මාධ්‍ය ආයතන එතරම් උනන්දු වූයේ නැත.

අවසානයේදී නිමලරාජන්ට මාධ්‍ය හැඳුනුම්පතක් ලැබුණේ 'හරය' පුවත්පතෙනි. එහෙත් ඔහුගේ මාධ්‍ය වාර්තාවන්ට ඇති ඉල්ලුම අඛණ්ඩව පැවතිණි. ඒ වෙනුවෙන් සෑම මාධ්‍ය ආයතනයක්ම නිමලරාජන්ව යොදා ගත්තේය.

උතුරේ ජනයා පිළිබඳවත්, එහි සිදුවූ හා සිදුවෙමින් පවතින දේ පිළිබඳවත් ප්‍රබල මූලාශ්‍රයක් බවට පත් වූයේ නිමලරාජන්ය. තමන් දන්නා සියලු තොරතුරු නොසඟවා ලබාදීම නිමලරාජන්ගේ සිරිත විය. ඒ වෙනුවෙන් මුදල් ලැබුණද, නොලැබුණද ඔහුගේ මාධ්‍යකරණය අඛණ්ඩව සිදු කළේ යුද්ධයෙන් පීඩාවට පත් ජනයා වෙනුවෙනි. ඔහු එය සිය වගකීමක් සේ භාරගෙන තිබුණි.

කෙතරම් දුෂ්කරතාවයන් යටතේ වාර්තාකරණයේ යෙදුනද ඒබීසී වැනි ව්‍යාපාරික මාධ්‍ය ආයතන ඔහුට ලබාදුන්නේ සොච්චම් මුදලකි. ඒ එක් ප්‍රවෘත්තියක් සඳහා 'රුපියල් 50'කි. පැය 24 පුරාම ක්‍රියාත්මක එම ආයතනයේ ගුවන් විදුලි නාලිකා 05ක් ඔස්සේ සෑම පැයකට වරක්ම ප්‍රවෘත්ති ලුහුඬින් ප්‍රකාශය කෙරෙති. ඒ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට අමතරවය. මේ සෑම ප්‍රවෘත්ති විකාශනයක් සඳහාම නිමලරාජන් විසින් එවනු ලැබූ වාර්තා ප්‍රයෝජනයට ගත්තේය. ෆැක්ස් පණිවිඩ මගින්, දුරකතනයෙන්, හඬ පටමගින් ලබා දුන් සෑම ප්‍රවෘත්තියකටම ලැබුණේ එක හා සමාන මුදලකි.

මේ සම්බන්ධයෙන් ඒබීසී මාධ්‍ය ජාලයේ බලධාරීන් වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කෙරුණද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එහෙත් නිමලරාජන් ඝාතනය කිරීමෙන් පසුව ඔවුන්ට අවශ්‍ය වූයේ නිමලරාජන් තමන්ගේ යාපන වාර්තාකරු බව පවසා වඩා ප්‍රසිද්ධියක් ලබා ගැනීමටය. නිමලරාජන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා මුල්‍ය අනුග්‍රහය දැක්වීමටද ඒබීසී බලධාරීන් උත්සාහ කළද එය අසාර්ථක විය. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කරනු ලැබුයේ තම ආයතනයට ප්‍රසිද්ධියක් ලබා ගැනීමටය.

නිමලරාජන් මාධ්‍යවේදියෙකු ලෙස සිංහල ජනයා අතරට මුලින්ම පැමිණියේ බීබීසී සංදේශය ඔස්සේය. යාපනයේ සිදුවෙන අතුරුදන්වීම්, ඝාතනයන්, අත්අඩංගුවට ගැනීම්, යුද්ධය නිසා පීඩාවට පත් ජනයා දුක්විඳින සියල්ලම ඔහුගේම හඬින් සිංහල අසන්නන් වෙත ගෙන ආවේය. පීඩිත දෙමළ ජනයාගේ දුක් දෝමනස්සයන් සිංහලෙන් ගෙන ආවේ නිමලරාජන්ය. එහි පුරෝගාමියා වන්නේද ඔහුය. චෙන්මනි සමූහ ඝාතනය පිළිබඳ සවිස්තර වාර්තාවක් මධ්‍යවෙත ඉදිරිපත් කිරීමටද නිමලරාජන් සමත් විය.

2000 ඔක්තෝබරයේ පැවති මැතිවරණයේදී කයිට්ස් දූපතේ සිදුවුණු ඡන්ද අක්‍රමිකතා පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙරුණේ නිමලරාජන්ගෙන් පමණි. එම වාර්තාවට දින කීපයකට පසු ඔහුට තර්ජනය කරමින් නිතරම නිර්නාමික දුරකතන ඇමතුම් ලැබෙන්නට විය. ඉන් එක් ඇමතුමක් ලැබී තිබුණේ නිමලරාජන්ගේ බිරිඳටය. ඒ ''උඹ සුදු ඇඳගෙන ඉන්න ලැහැස්තිවෙලා හිටපන්'' යනුවෙනි. 'මේ තර්ජන කරන්නේ ඊපීඩීපී එකෙන්, මම බය නැහැ, මම රිපෝට් කරන එක දිගටම කරනවා.' දිගින් දිගටම තර්ජනයන් පැවතියද නිමලරාජන් සිය මාධ්‍ය සගයින්ට පැවසීය.

ගතවූයේ දින කීපයකි. නිමලරාජන්ගේ ඝාතකයින් ඔහුගේ නිවෙස අසලටම පැමිණ ඔහුව බිළිගත්තේය. ඒ යාපනේ අධි ආරක්ෂක කලාපයක පිහිටි ඔහුගේ නිවසේ සිටියදීය. නිමලරාජන්ගේ ඝාතනය දේශීය මෙන්ම ජාත්‍යන්තරවද බලවත් කැලඹිල්ලකට හේතු විණි. ඝාතන චෝදනාව ඍජුවම එල්ල වූයේ රජය වෙතය. එවකට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සභාග ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය ලෙස ඩග්ලස් දේවානන්දගේ ඊපීඩීපී ය කටයුතු කළේය. ඒ එම ආණ්ඩුවේ පුනරුත්ථාපන කැබිනට් ඇමතිවරයා ලෙසිනි.

මේ ඝාතනයේ වගකීම ඊපීඩීපී වෙත එල්ල කරමින් පළමුව පුවත්පත් නිවේදනයක් නිකුත් කළේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණයි. එවකට එහි නායකත්වය හෙබවූයේ වී. ආනන්ද සංගරී විසිනි. ඊපීඩීපී සංවිධානය මෙකී චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, ඔවුන් කියා සිටියේ නිමලරාජන් කොටි සාමාජිකයෙකු බවයි. කොටි සංවිධානය විසින් ඔහුව ඝාතනය කළ බවටද ඔවුන් චෝදනා කළේය.

යාපන සරසවි ශිෂ්‍ය සංගමයද පත්‍රිකාවක් බෙදා හරිමින් නිමලරාජන්ගේ ඝාතනයට විරෝධය පළ කළහ. 'ජනතාව පුනරුත්ථාපනය කිරීමට සැරසෙන අය ජනතාව මරා දමමින් සිටින බව' පවසමින් ඔව්හු ද ඝාතන චෝදනාව එල්ල කරනු ලැබුයේ ඊපීඩීපී වෙතයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද නිමලරාජන්ගේ ඝාතනය පිළිබඳ සිය විරෝධය ප්‍රකාශ කළේය. ඊට සති කිහිපයකට පසු කොළඹදී සංවිධානය කෙරුණු උද්ඝෝෂණයකදී රජයට බලකර සිටියේ නිමලරාජන්ගේ ඝාතකයින් නීතිය ඉදිරියට පමුණුවන ලෙසයි.

යාපනය ඇතුළු ප්‍රාදේශීය මාධ්‍ය සංවිධාන කිහිපයක්ද නිමලරාජන්ගේ ඝාතනයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ සංවිධානය කෙරිණි. දේශසීමා රහිත ජනමාධ්‍යවේදියෝ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව උදෙසා වන කමිටුව වැනි ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන ද මෙම ඝාතනය පිළිබඳව දැඩි අවධානය යොමු කළේය. ඔවුන් පෙන්වා දුන්නේ 2000 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය පැවැති කාලය තුළ යාපනයේ සිදුවූ මැතිවරණ දූෂණ ක්‍රියා පිළිබඳව වාර්තා කිරීම නිමලරාජන්ව ඝාතනය කිරීමට හේතු වී ඇති බවය.

දේශීය හා ජාත්‍යන්තරව නැගී ආ විරෝධය හමුවේ පොදු පෙරමුණු ආණ්ඩුව නිමලරාජන්ගේ ඝාතකයින් සෙවීම ඇරඹීය. ඒ යාපනය පොලීසියේ අපරාධ අංශ ප්‍රධානියාව සිටි රංජිත් ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. ඝාතනයට සම්බන්ධයැයි සැක කෙරෙන පුද්ගලයින් දස දෙනෙකු පමණ විටින් විට අත්අඩංගුවට ගෙන උසාවිය වෙත ඉදිරිපත් කෙරිණි. ඔවුන් සියලු දෙනාම ඊපීඩීපී සාමාජිකයින් හෝ එහි කලක් කටයුතු කළ අයයි. ඒ පිළිබඳව මාධ්‍ය මගින් දේශීය හා ජාත්‍යන්තරව ද ප්‍රචාරය කෙරිණි. තවද ඝාතනයට යොදා ගවන්නට ඇතැයි සැක කෙරෙන සියලුම ආයුධ හා භාණ්ඩ සොයා ගත් බවට පොලීසිය අධිකරණයට දැනුම් දුනි.

එහෙත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු මත ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වූයේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද ඔහුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර ගැනීමට හැකියාවක් නොලැබිණි. ඊපීඩීපී ප්‍රබලයෙකු වන 'සෙබස්තියන් පිල්ලේ රමේෂ්' නොහොත් 'නැපෝලියන්' වන ඔහු ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ ආරක්ෂාව යටතේ රටින් පලා ගියේ මේ අතර තුරය. සෙසු සැකකරුවන් ද විටින් විට ඇප මත මුදා හැරිණි.

ඉන්පසු වසර කිහිපයක් ඉතාමත් මන්දගාමීව ඇදී ගිය පරීක්ෂණ කටයුතු අද වන විට ස්වභාවිකවම යටපත්ව ගොසිනි. දේශසීමා රහිත ජනමාධයවේදියෝ 2003 වසරේදී නිකුත් කරනු ලැබූ ඒ ඒ රටවල ජනමාධ්‍යවේදීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් නිමලරාජන්ගේ ඝාතනයට අදාළ කරුණු සවිස්තරාත්මකව දක්වා තිබිණි.

නිමලරාජන්ගේ ඝාතනයෙන් පසු යාපන අර්ධද්වීපය තුළත්, ඉන් පිටදීත් බොහෝ දේ සිදු විණි. රජීවර්මන්, නිලක‍ෂ්න්, දේවකුමාර් හා නමුදුඊලනාඩු කළමනාකරණ අධ්‍යක්ෂක මහාසිවරාසා ද යාපනයේදී ඝාතනය කරනු ලැබුවන් අතර වේ. මොවුන්ටද මරු සොයා පැමිණියේ අධි ආරක්ෂක කාලපයන් තුළදීය. එසේ නැතහොත් ආරක්ෂක හමුදා මුරපොලක්, කඳවුරක් හෝ ඒ ආසන්න ස්ථානයකදීය.

මීට අමතරව මාධ්‍යයට සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකු ද යාපනයේදී ඝාතනය කරනු ලැබිණි. යාපනයේ පළ කෙරෙන 'උදයන්' පුවත්පත් කාර්යාලයට කිහිපවතාවක්ම බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණි. එහි ප්‍රධාන සංස්කාරක කානමයිලනාදන් ඝාතනය කිරීමට කිහිපවතාවක්ම තැත් කෙරිණි.

'වාලම්පුරි' ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වන රාමචන්ද්‍රන් අතුරුදහන් වූ අතර අද වන විටත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත. ඒ වන විට ඔහු 'වාලම්පුරි' පුවත්පතේ චාවකච්චේරි වාර්තාකරු ලෙස කටයුතු කළේය.

නොයෙකුත් වාරණයන් යාපනේ මාධ්‍ය වෙත මුදාහැරුණු අතර මුද්‍රණ කඩදාසිවලටද සීමා පැණවිණි. එහෙත් ඉතාමත් දුෂ්කරත්වයන් යටතේ වුවද යාපන ජනමාධ්‍යවේදීන් සිය කටයුතු කරගෙන ගියේ සිය ජීවිත පරදුවට තබමිණි. බොහෝ ජනමාධ්‍යවේදීන් යාපනය හැර දමා යමින් සිටියදීත් ඇතැම් දෙනා ජනමාධ්‍ය කටයුතුවලින් නිහඬව සිටිද්දීත්, 'උදයන්' පුවත්පතේ සංස්කාරකවරයා ඇතුළු කිහිපදෙනෙක් සිය කටයුතු අඛණ්ඩව ගෙන ගියේය.

මේ අතර නිමලරාජන්ගේ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයින් රටින් පිටුවහල් වූයේ ජීවිතාරක්ෂාව පතාය. නිමලරාජන් ඇතුළු ඝාතනය කරනු ලැබූ ජනමාධ්‍යවේදීන් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් රාජපක්ෂ සභාග ආණ්ඩුවෙන්ද බලාපොරොත්තු විය නොහැකිය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවට ආරවුලක් තිබුණද, ඇයගේ පාලන කාලයේදී සිදු වූ මෙම ඝාතනය පිළිබඳව ඔවුන් ද රකිනු ඇත්තේ නිහැඬියාවකි. ඒ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වු පාර්ශ්වය රාජපක්ෂ සභාග ආණ්ඩුවේද ප්‍රබල කොටස්කරුවන් නිසාවෙනි.

නිමලරාජන් ඝාතනය පිළිබඳ ඊපීඩීපී සංවිධානයට එල්ල වන චෝදනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප කළ ද, විධිමත් පරීක්ෂණයකට ඉඩ සලසා දීමට ඔවුන් ද මෙතෙක් සමත් වී නොමැත. කෙසේ වුවද අද දවසේ එය සිදුවෙතැයි අපේක්ෂා කළ නොහැක්කේ මේ වන විටත් යාපනේ සෙසු කටයුතු මෙන්ම මාධ්‍ය ද පාලනය වනුයේ ආණ්ඩුවේ අණසක යටතේ බැවිණි.

නිමලරාජන්ගේ ඝාතනයෙන් වසර දහයකට පසුවුවද යාපනේ සිය මාධ්‍ය සගයින්ට ඔහුව සිහිපත් කිරීම දුෂ්කර වී ඇත. නිමලරාජන් සැමරීමට සිදුවන්නේ නම් ඒ ඔහුගේ ඝාතකයින් සමග එක්වය.

නෙවෝ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails