
මහා වැසි මැද කඳු නාය ගොස්
මහ හඬින් පහලටම රූටා ගලා ආ
තෙතැති පස් කන්දකට යට වී
නොයෙක සුන්බුන් අතර
ඔබ සිරව අතරමං වූ බව සැබැයි
එහෙත් ඒ තනිවම නෙවෙයි
උදවු ඉල්ලා කෑ ගසන විට
ශේෂ කඳු වැටි අතර ඒ
ඇහෙන්නේ ඔබෙ හඬේ
දෝංකාරය නෙවෙයි
එකිනෙකා නොපෙනෙන අඳුර මැද
තුවාලව අඩපණව මේ ළඟම වැතිරුන
නෑසියන්ගේ මරණීය වැළපුමයි
වළාකුළු ගණ කළුව බිඳ
මග කියන්නට තරු නොඑයි
මලවුන්ගෙ රැය ගෙවෙන්නේ මේ
මල් සුපිපි නිසංසල
හෙට උදයකට නම් නොවෙයි
තළු මරන වෘකයන් ඔබ අසල
මේ රැයේ කල් මරන්නේ
ඔබේ තනියට නොවෙයි.
සියවසක් තව
වැටී හුන්නද අසරණව ඔබ
ගැලවුමට කවුරුත් නොඑයි.
දෑතින්ම පස්කඳු පහුරු ගා නැගී සිට
අතට අසුවන කැට මුගුරු ගෙන
ලේ ඉවට සැරි සරන
නිශාචර වෘක දත් බිඳ
ශේෂ වූවන් සොයා
ඇවිද යන්නට කාලයයි.
මඩ දියෙන් වැසී ගිය මංපෙතක වුව
ගැඹුරටම කා වැදුනු පා ලකුණු
ඔබේ ඇස ගැටෙන තෙක්
තවත් මොහොතක් නොමැකී රැඳෙයි.
-2010 ඔක්තෝබර්
අජිත් සී හේරත්



