Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉකුත් 14 වෙනිදා අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයකට පොලිස් ප්‍රහාරයක් එල්ල වූ බව; සමාවෙන්න....පොලීසිය හා සිසුන් අතර ගැටුමක් ඇතිවූ බව මේ වන විට මුළු රටම දන්නා සත්‍යකි. බහුතර මාධ්‍ය හුවා දක්වන ආකාරයට මෙය ජේ.වී.පී ක්‍රියාවකි. ජේ.වී.පී සැලැස්මකි. ජේ.වී.පී අතකොළුවක් වන අන්තරය ඔවුන්ගේ උවමනාවට-

විරෝධතාවයේ යෙදුනු බව අන්තරය වෙත එල්ල වී ඇති චෝදනාවය. බොහෝ මාධ්‍යවල කැමරා ඇස කඳුළු සැලූයේ ද එකී මතයට පක්ෂපාතීවය.

මෙම ලිපිය ලියන මම ද සරසවි සිසුවෙක්මි. එබැවින් මෙහිදී අපට පැන නැගිය යතු ප්‍රශ්න කිහිපයකි. අප ඒ පිළිබඳව ඍජුව කතා කරමු. පසුගිය දා පැවති විරෝධතා ව්‍යාපාරයට සිසු සිසුවියන් 2000ක් පමණ සහභාගී වූ බව ප්‍රත්‍යක්ෂය. එසේනම් එම සිසු සිසුවියෝ සියල්ලෝම ජවිපෙ වෙත් ද? අපි එකී තර්කය මදකට පැත්තකින් තබමු. විචාරකයන් නගන ඊළඟ පැනය මදක් ප්‍රසාරණය කර බැලීම යුක්ති යුක්ත බැවිනි ඒ. සරසවි සිසුහු සියල්ලෝම ජවිපෙ නොවෙතත් ජවිපෙ වන සුළුතරය අනෙක් සයල්ලෝම විරෝධතා ව්‍යාපාරවලට බලෙන් දක්කාගෙන යන බව ඔවුන්ගේ අනෙක් චෝදනාවයි. අපි එකී චෝදනාව පිළිගන්නේ යයි සිතමු. එසේ නම් එසේ බලහත්කාරයෙන් රැගෙන යන පිරිස කිසිඳු පෙළඹවීමක් නොමැතිව ස්ව කැමැත්තෙන්ම විරෝධය දැක්වීමටත් ඔවුන් පවසන පරිදි පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹීමත් මවිතයට කරුණකි. එසේ නොවේනම් මෙසේ බලහත්කාරයෙන් රැගෙන යන සෑම සිසු සිසුවියක් පසුපසම ජවිපෙ සිසුවෙක් සිටිමින් ඔවුන්ව මෙහෙයවිය යුතුය. මෙකී තත්වයද ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බැවින් අපි ඒ චෝදනාව කෙරෙහි නුවනැත්තන්ගේ අවධානය යොමු වෙත්වායි ප්‍රාර්ථනා කරමින් යලි පූර්ව පැනය වෙතම හැරෙමු.

විශ්ව විද්‍යාලයේ සියලුම සිසුන් ජවිපෙ ද? නොඑසේ නම් එදින විරෝධතාවයට සහභාගී වූ සියලුම සිසුන් (2000 ක් පමණ) ජවිපෙ ද? එසේ විරෝධතාවයේ යෙදුණු සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත ඇතුළු වූයේ ජවිපෙ අරමුණක් වෙනුවෙන් ද? සරත් පොන්සේකා නිදහස් කිරීමට ඉල්ලීමට ද? දහ අට වන ව්‍යවස්ථා සංශෝධනය හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කිරීමටද? රාජපක්ෂ දේශපාලන ක්‍රමවේදයට විරෝධය පෑමට ද? පාන් මිළ අඩු කිරීමට ඉල්ලීමටද?

සැබැවින්ම සිසුන් එදින උද්ඝෝෂණයේ යෙදුණේ කවර අරමුණක් සාකෂ්‍යාත් කර ගැනීමටද යන්න කිසිදු මාධ්‍යයක නිවැරදි විග්‍රහයක් කර ඇත්ද යන්න ගැටළු සහගතය. මෙම ලිපිය ලිවීමේ අරමුණ සිසුන්ගේ අරමුණ පැහැදිලි කිරීමටත් මාධ්‍ය මගින් නිර්දය ලෙස විවේචනය කළ ශිෂ්‍ය ව්‍යාපාරයේ සැබෑ තත්ත්වය අවබෝධ කරවනු පි‚සත්ය.

විශ්වවිද්‍යාල සිසුහු එදින උද්ඝෝෂණයේ නියුතු වන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සිය සහොදර සිසුන් හය දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමටය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසු නායකයින් සිවු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පාදක චෝදනාව නීති පීඨ ගොඩනැගිල්ලක් හා පරිගනක විද්‍යාගාරයක් විවෘත කිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අඩස්සියේ තබා ගැනීමය. රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලබන්නේ විශ්ව විද්‍යාල රංග පීඨයේ නාට්‍යක් වේදිකා ගත කිරීමට අවසර ලබා නොදුන් පරිපාලනයට එරෙහිව පරිපාලන ගොඩනැගිල්ල වට කොට පීඨාධිපති අඩස්සියේ තබා ගැනීමේ චෝදනාව මතය. නමුත් රටේ වගකිවයුතු පුවත්පතක කතුවැකිය මගින් එකී පුවත් විකෘති කරමින් විමසා සිටින්නේ ඇමති තුමාට හූ කියා ගල් ගැසූ ශිෂ්‍යන් සිරගත කිරීම හැර වටලප්පන් බුරියානි කන්නට දී පවන් සලා නිදි කරවිය යුතුද යන්නයි. රටේ පුවත් ජනතාවට සන්නිවේදනය කරන ප්‍රධාන පුවත්පතක කතුවරයා පවා සිදුවීම නිසි ආකාරව වටහාගෙන නොමැති නම් එම පුවත් රස කරමින් භුක්ති විඳින ජනතාව ගැන කවර කථාදැයි අපට විමසීමට සිදුවේ.

කතුවැකියේ සඳහන් ආකාරයට සිසුන් අතඅඩංගුවට ගෙන ඇත්තේ ඇමතිවරයාට හූ කීම හා ගල් ගැසීම නිසා වුවත් සිසුන් වෙත එල්ල වී ඇති චෝදනාව වන්නේ ඇමතිවරයා අඩස්සියේ තබා ගැනීමයි. උක්ත කාරණා ද්විත්වය අතර පරස්පරතාවක් ඇත. හූ කීම එකකි. අඩස්සියේ තබා ගැනීම තවත් එකකි. අප අත් දකින සාමාන්‍ය සමාජයේ හූ කියන්නේ හෝ ගල් ගසන්නේ කෙනෙකු පන්නා දැමීමටය. අඩස්සියේ තබා ගන්නේ රඳවා ගැනීමටය. මාධ්‍යවල සඳහන් ආකාරයට මෙම කාරණා දෙකම සිදු වී ඇත. එක්කෝ මාධ්‍යවලට වැරදී ඇත. නැත්තම් චෝදනා ගොනු කරන්නන්ට වැරදී ඇත. එසේත් නැත්තම් හූ කීමේ චෝදනාව නීතිය ඉදිරියේ දුප්පත් බැවින් අඩස්සියේ තබා ගැනීමේ චෝදනාව බලවත් වී ඇත. අනේ මන්දා? අප මෙලෝ දෙයක් නොතේරෙන කැම්පස් ළමයින්ය. ජවිපෙ යයි හඳුන්වන අන්තරය කියන ඕනෑම දෙයක් කරනවා විනා විචාර බුද්ධියෙන් යමක් තේරුම් ගැනීමට තරම් විඥාණයක් අප ලබා නොමැත්තෙමු. සියල්ල දත්තෝ නම් ආණ්ඩු හිතවාදී මාධ්‍ය මහදැනමුත්තෝය කියා අපට නිහඬව සිටීමට සිදුව ඇත නොව සිදුකර ඇත.

මෙහිදී විවාදයට බදුන් කළ යුතු තවත් කරුණකි. ජනාධිපතිතුමා පසුගියදා ප්‍රකාශ කළ ආකාරයට විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීමේදී පොලීසිය ඉතා විනීත ලෙසත් සංවර ලෙසත් ක්‍රයා කර ඇත. වත්මන් පොලීසිය නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමට කොතරම් විනීත ලෙසත් සංවර ලෙසත් කටයුතු කළාදැයි පසුගිය මාස කීපය පරික‍ෂා කර බැලූවද ඕනෑතරම් සාධක සොයා ගත හැකි වේ. කෙසේ වෙතත් ඒ පිළබඳ වැඩි දුර සාකච්ඡා කිරීම මෙහි අරමුණ නොවේ. මන්ද අපගේ මුඛ්‍ය පරමාර්ථය රටේ ජනතාවගේ විචාරාක්ෂිය විකෘති කරනු ලැබූ සාවද්‍ය මතය තරමක් හෝ නිරවද්‍ය කිරීමය. එබැවින් පොලීසියේ විනීතභාවය හා පසුගිය දා පැවති උද්ඝොෂණය යන කරුණු ද්විත්වය වෙතට මාතෘකාව සංකෝචනය කරමු.

එදින පොලිස් නිළධාරීන් සැබැවින්ම විනීතය. ඒ සුවිනීතභාවය පහත කරුණුවලින් ඔප්පු වේ.

1. උද්ඝෝෂණය සිදුකරන අවස්ථාවේ පසෙකට වී බලා හිඳ එය නිමා කොට බස් රථ කරා යන සිසුන්ට අහේතුකව පහර දීම.
2. පහර දීමෙන් බිම වැටුණු සිසු-සිසුවියන්ට ද පහර දීම. මෙහිදී සපත්තු සහිත පයින් මුහුණුවලටද පහර දුන්හ. මෙයින් ඇතම්හු විශේෂයන් සිසුවියෝ සිහි විසංඥව වැටුණු අය වෙති.
3. අතින්, පොලිස් බෙල්ට් පටියේ යකඩ ගාන්චුවෙන් පමණක් නොව සපත්තු වලින් පහර දීම. විශේෂයෙන්ම බෙල්ට් පටියේ පහර තවමත් බොහෝ සිසුන්ට වේදනාකාරී තුවාල ඉතිරි කොට දී ඇත.
4. සිසුන්ගේ සිරුරේ පිටුපස පැත්තට පහර දුන් නමුත් සිසුවියන්ගේ පපු පෙදෙසටම පහර වැදීම නම් අත් වැරදීමක් විය හැකිය.

මේ මන්ද බුද්ධික පහර දීම්වලින් තුවාල ලැබූ සිසු සිසුවියන් පිළිබඳ සොයා බැලීමට මාධ්‍යයන්ගේ අවධානය නිසි පරිදි යොමු වූවාද යන්න සැක සහිතය.

ඇතැම් මාධ්‍ය ඉතා නින්දිත ලෙස මේ සම්බන්ධ සාවද්‍ය කරුණු ඉදිරිපත් කොට ඇත්තේ මාධ්‍ය සදාචාරය අකුරටම කඩ කරන බව පෙන්වමිනි. උද්ඝෝෂණයට පැමිණි සිසුවියන් සිය ගමන් මළුවල ගල් සහ බෝතල් දමාගෙන පැමිණ පහර දුන් බව මාධ්‍යවලින් ප්‍රකාශ කිරීම උදාහරණයකි. උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනාගේම පාහේ ගමන් මළු පොලිස් පහර දීම වන විට තිබුණේ කිලෝ මීටරයක් පමණ ඈතින් නවතා තිබූ බස් රථවලය. එසේ නම් සියලු සරසවි සිසුවියෝ කිලෝමීටරයක් විනාඩියෙන් දිවිය හැකි ධාවන ශූරියන් ලෙස මාධ්‍ය මගින් පිළිගෙන තිබේ.

අතිගරු ජනාධිපතිතුමනි, සැබෑවක්මය. නියත වශයෙන්ම පොලිස් නිළධාරීන් මල් මිටක් දී පිළිගත යුතුය. මන්ද යත් සුසන්ත බණ්ඩාර සිසුවා මරා දැමුවාක් මෙන් මෙහිදී එක් සිසුවෙක්වත් මරණයට පත් නොකොට ඔබතුමා අපහසුතාවට පත් නොකිරීම පිළිබඳව පොලිස් මහත්වරුන් මල් මිටක් දී නොව වෙන මොනයම් ආකාරයකින් හෝ පිළිගන්නේ නම් මැනවි.

සරසවි සිසුන්ගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ලබානොදී ඔවුන් උද්ඝෝෂණයකරන සෑම අවස්ථාවකදීම ඔවුන්ට පහර දීමටත් ජවිපෙ පාක්ෂිකයන් යැයි හංවඩු ගසා අත පිසදා ගැනීමටත් ආණ්ඩුව සූදානම් වී සිටී. වගකිවයුතු මාධ්‍ය මගින් ස්වකීය අභිමතය සාවද්‍ය හෝ වේවා නිරවද්‍ය හෝ වේවා ජනතාවගේ බුද්ධිය තුළට ඇතුල් කිරීම නිසා විශ්ව විද්‍යාල සිසුවන්ගේ පුළුල් අභිමතාර්ථවලට ප්‍රබල අසාධාරණයක් සිදුවන බව පැහැදිලිය. තම ගැටලුවලට ආණ්ඩුව සංවේදී නොවන කල, මාධ්‍ය සංවේදී නොවන කල, මාධ්‍ය හරහා රටේ ජනතාව අසංවේදීත්වයට පත් කරන කල බුද්ධිමත් යැයි සමාජ සම්මත සරසවි සිසුන් වුවද ආවේගශීලීව විසඳුම් සොයා යාම අරුමයක් නොවේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් සිවු දෙනා අත් අඩංගුවට ගැනීම නිසා කළකිරුණු සරසවි සිසුවෙක් බිත්ති පුවත්පතක මෙබන්දක් පළ කර තිබිණි.

නීති පීඨයේ සිසුවෙක්

යටගිය දවස එක් දිනෙක
සුචරිත ඇමති උතුමන් සපැමිණ
විවර කෙරුවා මතකය
අභිනව යයි කියන
නීති පීඨයේ ද්වාරය

පීඨයේ දොර හරින සඳ
තෙපලනු මැනවි මැති සඳ
ඔබ'තින් කෙලෙසකද
වැසූයේ නීතියේ දොර

ඔබ හැරි දොරින් රිංගමින
ඉදින් කොහොමද හඟින්නේ නීතිය
නීතිමය වගන්ති ද
වනපොත් කරනුයේ කෙලෙසක

සුදු හුණු ගෑව රළු බිතු අතර
ඔබෙ සිනා හඬ සමඟ කැළතුන
දෙදරවා ඇසෙනුයේ
එක හූ හඬක් පමණය

කොඳුරයි නිතියෙන
ඒ හඬ සෙමෙන් මෙලෙසට
"නිදි වරාගෙන දිවා රැය
උගෙන කුමකටද නීතිය
එකම එක පාඩමයි
අද දින උගත යුතු තොප
නීතිය දිලෙනු ඇත-බලය රැඳි අත මත"

-ධම්මික ප්‍රසාද් තේනුවර
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
ශාස්ත්‍ර පීඨය
සිව්වන වසර

ධම්මික ප්‍රසාද් තේනුවර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails