Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය. වෙනස් ලෙස කවිය දිහා බලන්නට ලද ආරාධනාවට ප්‍රතිචාර දක්වමින් ‍මෑත කාලයේ දී කවිය වෙනුවෙන් එකට රැස්වූ වැඩිම පිරිස එතැන විය. විවිධ ප්‍රදේශ වල සිට පැමිණි හැත්තෑව දශකයේ කවි පොත් ලියා පළ කළ අප්‍රකට කවීන්, යුග කිහිපයක් යා කරන ප්‍රවීණ කවීන්, මෑත යුගයේ ජනාදරයට පාත්‍ර වූ තරුණ කවීන් මෙන්ම කවිකම් සොයමින් පිබිදෙන්නට වෙර දරණ අංකුර කවීන්, ලේඛකයින්,

සමාජ ක්‍රියාකරුවන් , තරුණ නාට්‍ය කරුවන් සේම කවියට පෙම් බැඳි තව බොහෝ දෙනෙකු ද එතැන විය.

වැඩ සටහන මූලික වශයෙන් සමන්විත වූයේ ‘අකුරු ඔබ දෙස බලා සිටියි’ - ප්‍රවීණ මෙන්ම නවක කවි කිවිඳියන්ගේ කවි වලින් සමන්විත කාව්‍ය එකතුව එළි දැක්වීමෙන් ද ප්‍රවීණ කවි‍යෙක් වන ආරියවංශ රණවීර ,සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති සහ සාහිත්‍යවේදී ශ්‍රී දයාලන් (දමිළ බසින්) ගේ දේශන තුනකින් ද ඒ හරහා ගොඩ නැගුණු සංවාද වලින් ද කවිය විවිධ මාධ්‍ය භාවිත කරමින් කළ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කිහිපයකින් සහ ඒ සම්බන්ධ සංවාද වලිනි. දේශන වල සහ ඒ සබැඳි සංවාද වල එළඹුම වූයේ ‘හැමෝටම කවි ලියන්න පූළුවන්ද?’ යන්නයි. දේශන සහ සංවාද වල මා දුටු සාධනීය ලක්ෂණ කිහිපයකි. කවිය යනු කුමක්ද යන්න ගැන එතැන ගොඩ නැගුණු කතිකාවෙන් සහ දේශනයන්ගෙන් ඉටුවූ සාහිත්‍යමය මෙහෙවර කවි ලිවීමට එළඹෙමින් සිටින බොහෝ දෙනෙකුට ඉමහත් පිටිවහලක් වන්නට ඇත. කවි ලිවීම හරි ලේසි වැඩක් නොවන බව ත් ලියන හැම දෙයම කවි නොවන බව ත් කවිය යනු වාක්‍ය රචනා ලිවිමකට එහා යන සාහිත්‍යමය කාර්යයක් බව ත් කවියට ඊට අදාළ සුවිශේෂ මෙහෙවරක් ඇති බව ත් එහිදී ඉස්මතු වී න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉදිරිපත් වීම ම වත්මනෙහි කවිය පිළිබඳව ඇති ඇතැම් නොපැහැදිලිකම් වලට යම් තාක් දුරකට පිළිතුරු දෙන්නට සමත් වු බැව් මගේ හැඟීමයි. විශේෂයෙන් විවිධ මාධ්‍ය හරහා සිය නිර්මාණ එළි දක්වන්නට උත්සහ දරන අලුත් කවි පරපුරට එය වඩා ප්‍රායෝගිකව වැදගත් වනු ඇත.


එහෙත් කවිකම උපතින් ගෙන එන්නක්ද සමාජ පරිසරය විසින් මුවහත් කරනු ලබන්නක්ද ජාන සහ සමාජ සාධක වල ප්‍රතිශතයන් කවරේද වැනි කරුණක දිගින් දිගට එල්බෙමින් ඵලදායි සාකච්ඡාවක් සඳහා තිබූ කාලය නාස්ති වීමට ඉඩ හැරිම ආරියවංශ රණවීර සහ ලියනගේ අමරකීර්ති වැනි ප්‍රවීණයින් අතින් නම් නොසිදු විය යුතුව තිබුණි. සංවාද තුළින් මතුවු තවත් අදහසක් වූයේ ‘අප කවි ලියන්නේ ඇයි? කාටද?’ යන්න ගැන සාකච්ඡා කළා නම් මීට වඩා වැදගත් වන බවයි. මේ ගතවන්නේ කවිය හරහා යම් දුරක් ගමන් කර සිටි බොහෝ පිරිසකට මෙන්ම සමාජයටද එබඳු මාතෘකාවකට එළඹීමේ අවශ්‍යතාවද තදින් දැනෙමින් සිටින මොහොතක් බව අප අමතක නොකළ යුතුය. එය ඊළඟ පියවරකදී හෝ සාකච්ඡාවට බඳුන් වීමද සිදු විය යුත්තකි.


නාට්‍ය, චිත්‍රපට වලින් වියුක්තව කවි නාට්‍යමය අකාරයෙන් හා ගායන ආකාරයෙන් මෙබඳු තැනක දී ඉදිරිපත් කිරීමට දැරූ දුලබ එහෙත් පුහුණු වීම් වලින් ආලෝකමත් වූ උත්සාහය දෙස බැලූ කල චූලානන්ද සමරනායක, ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර වැනි කවීන් කිහිප දෙනෙකුගේ තෝරා ගත් කවි ගයමින් හා රංගානුසාරයෙන් ඉදිරිපත් කිරීම වෙනස් වැඩකි. පිරිසක් එය ඇගයූ අතර තවත් පිරිසකගේ අදහස වූයේ කවියට කවිය ලෙස තිබෙන්නට හැරිය යුතු බවය. කවිය කියවීමෙන් ලබන පුද්ගල-අනන්‍ය අවබෝධය හා අසීමිත හැඟීම් සමුදාය මෙබඳු දේවලින් රාමු ගත කොට සීමා කරන බවය. අනෙක් අතට එහි සාර්ථකත්වය අවස්ථාව හා නිර්මාණයේ ස්වභාවය මත ද රඳා පවතී. ඇතැම් නිර්මාණවල සංකීර්ණ නොවන බව හා අන්තර්ගතය අනුව එබන්දකට යොදා ගැනීම තුළ කවියට අසාධාරණයක් නොකරන්නේ වුවද ඇතැම් කවි වල වින්දනීය සෞන්දර්යය හා එහි මානයන්, අදහසෙහි ප්‍රබලත්වය හා විවිධත්වය එබඳු ඉදිරිපත් කිරීමකින් සීමා කෙරෙනු දුටිමි. ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරිමට යාම තුළ චූලානන්ද සමරනායක සොයුරාගේ ‘චෝදනා පත්‍රයකි’ කවියට සිදු වූයේ එවැන්නකි.


දවස පුරා පැවති වැඩ සටහනේ අපූරුම අංගය වූයේ කවි කියවා උපන් හැඟීම් විවිධ කලා මාධ්‍යයන් තුළින් ප්‍රකාශ කරන්නට සහභාගී වූවන් ලද අවස්ථාවයි. චිත්‍ර, සංගීතය, ගායනය ආදී වෙනස් කලා මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් කෙටි සුදානමකින් පසු ඉදිරිපත් කළ නිර්මාණායන් සැබවින්ම ප්‍රශංසනීයය. ඒවා උත්කර්ෂයට නැංවුණේ හුදෙක් සිය හැඟීම් ප්‍රකාශනයක් පමණක් නොවී මානුෂීය හා හෘදයාංගම ලෙස සමස්ත කාර්යය හා බද්ධ වීමට ඔවුන්ට තිබූ සැබෑ වුවමනාව ද නිසාය.


‘මට කවුරුවත් මියුසික් දෙන්න කිව්වෙ නෑ...ඒ වුණාට මට දවස පුරා ඉඳිද්දි ඇත්තටම ඕන වුණා සීරියස් දෙයක් කරන්න. එතන තිබුණෙ සීරියස් වැඩක්...’ ඒ එබඳු නිර්මාණයකට දායක වූ අප මිතුරෙකු පසුව ඒ ගැන කියු අයුරුය.


කණගාටුවට කරුණ නම් වැඩෙහි වූ මේ ‘ගැඹුර’ සවස් වරුවේ වැඩ සටහන මෙහෙයවීමට ආනයනය කරන ලද නිවේදිකාව විසින් වටහා නොගැනීමයි. පිරිසෙහි වූ කිහිප දෙනෙකු නැගිට සිදුවන වැරැද්ද මතක් කර දීමට සිදුවන තරම් අපරිණත විලාසයකින් කළ ඒ මෙහෙයවීම සමස්ත කාර්යයට නම් කිසිසේත් ගැලපුණේ නැත. එවැනි වැරදි තෝරා ගැනිම් ඉදිරියට නොවේවා යි පතමි.

තිරය පිටුපස කතාවක් ද තිබේ. මා දුටු පිරිදි එය ලියා තබමි. මේ විශාල කාර්යය සංවිධානය කර එළි දැක්වීමේ ක්‍රියාවලිය තුළ මහා පිරිසක් සිටියේ නැත. හිටියේ කැළුම්, රමිඳු, විරාජ් ඇතුළු ‘ක’ යන්න ‘වි’ යන්න එකතුවේ කිහිප දෙනෙකි. කවි වැඩක් නිසාම මේ වැඩයට අනුග්‍රාහක දායකත්වය සපයන්නට ගොඩක් කට්ටිය ඉදිරිපත් වුණේ නැත. ඒ නිසාම ඇජෙන්ඩා එකෙන් ඉවත් කරන්නට සිදුවු අංග බොහෝය. මෙය එක්තරා දේශපාලන මතවාදයක් පමණක් නිරූපණය කරන පිරිසකට සීමාවූ වැඩක් වුයේ ද නැත. සංවිධානය වූයේ විවිධ මත දරන්නන් අතිනි. සහභාගි වු පිරිස ද එකම මතවාදයක් වටා රොක් වූ පිරිසක් වූයේ නැත. කවියන් පමණක් වුයේද නැත. පොදු සාධකය වුයේ කවිය සහ වෙනසක් උදෙසා කළ කැප කිරීම පමණි. එහෙත් වෙනසක් සහ සමාජ වැඩක් වෙනුවෙන් මුළු දවසක් කැප කළ හැකි සුන්දර මිනිසුන් පිරිසක් රැස් කිරීමට එය සමත් විය.


උගත යුතු පාඩම් බොහෝය. හදා ගත යුතු දේ බොහෝය. එහෙත් ආර්ථික හයියක් , මහා පිරිස් බලයක් නැතිව මෙබඳු කාර්යයක් සංවිධානය කිරීමම, කවිය වෙනුවෙන් ඒ සා පිරිසක් රැස් කිරීමම අගය කළ යුත්තකි.

ලෝකයේ තනිව ගොඩ නැගූ දේවල් නැත. හැම ජීවිතයක්ම හැම වස්තුවක්ම හැම කාර්යයක්ම වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන් සහ සොබා දහම තැබූ පියවර අසංඛ්‍ය ප්‍රමාණයක ප්‍රතිඵලයකි. දිගුවකි. මධ්‍ය ලක්ෂ්‍යය අසල ගෙවුණු දිනය පුද්ගලයින් නොව වැඩය ඉස්මතු කළ එකක් විය. සමාජ වැඩ සහ සාමූහික වැඩ පුද්ගලික ලෙස ඉස්මතු වීම නොවැළැක්විය හැකි රෝගයක් ලෙස උත්සන්න වන කාලයක සංවිධානය වු ඒ සාමුහික ඉරිදා දිනය ඓතිහාසික වන්නේ එබැවිනි.

02.11.2010

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails