Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පළාත් පාලනය උදෙසා වූ යෝජනා සහිත කෙටුම්පතක් ඉදිරිපත් වී ඇත. එය බොහෝ තැන්වල විවේචනයට ලක්වී තිබෙන අතර එහි සුළු ජාතීන්ගේ නියෝජනය නොතකා හැරීම හා වෙනත් වෙනස්කම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉල්ලීමේ යොමුවීමක් ද දැනට පවතී.

ලැයිස්තු ක්‍රමයක්

කලක සිටම බෙහෙවින් විවාදයට ලක්වූ කරුණක් වූ සමානුපාතික නියෝජනය වෙනස් කොට කොට්ඨාශ ක්‍රමයට පැමිනීම ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. එසේ වූවද කොට්ඨාශ ක්‍රමයෙන් අපේක්ෂා කළ වඩා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය අහෝසි කොට සමානුපාතික ක්‍රමයට සමාන පදනමක් හදුන්වාදී ඇත. සමානුපාතික ක්‍රමයේත්, කොට්ඨාශ ක්‍රමයේත් තිබුණු යම් බලවත් පක්ෂ වලට හිතකර ලක්ෂණ පමණක් මිශ්‍රකොට හදා ගැනුණු ලැයිස්තු ක්‍රමයකි. පවතින පිළිකුල් සහගත දේශපාලන පක්ෂ ක්‍රමයට පටහැනිව-

අලුත් දේශපාලන මතයක් දරන තනි පුද්ගලයෙකුට හෝ දෙතුන් දෙනෙකුට තරග කළ නොහැකිය. ඔවුන් අදාළ ලැයිස්තුවකින් ස්වාධීන ලෙස තරග කළ යුතුය. එහෙයින් තරග කිරීම ලැයිස්තුව මත පදනම් වේ. කොට්ඨාශයට නම් කරනු ලබන එක් අපේක්ෂකයෙකු බැගින් සමස්ත පළාත් පාලන ආයතනයටම නම් ලැයිස්තුවක් තිබිය යුතුය. සමානුපාතික නියෝජනය සඳහා වෙනම ලැයිස්තුවක් වේ. කොට්ඨාශ ක්‍රමයෙන් බලාපොරොත්තු වූ තනිව හෝ තරඟ කිරීමේ පුළුල් ඉඩකඩක් සමානුපාතික ක්‍රමයෙන් සැලසුණු සුළු පක්ෂ හෝ කණ්ඩායම් නියෝජනයට තිබුණු ඉඩ කඩත් යන දෙකම මෙයින් තව දුරටත් සීමාවේ. තැන්පත් මුදල වැඩි කිරීමෙනුත් සමානුපාතික ක්‍රමයට ගණන් බැලෙන ආකාරයෙනුත් එය යළිත් සීමාවේ.

කොට්ඨාශ නිර්ණය

කොට්ඨාශයකට එක් මන්ත්‍රීවරයා බැගින් පත්වීම තහවුරු කර ඇත. එහිදී පළාත් පාලනයට අදාළ කොට්ඨාශ වෙන් කිරීම සිදුවන ආකාරයට අනුව, 18 වන සංශෝධනයෙන් කැටි කොට ගත් බලය, ප්‍රාදේශීය ලෙස ද තහවුරු කර ගැනීම මෙහිදී සිදුවේ. එනම් කොට්ඨාශ වෙන් කිරීම සම්බන්ධ පුර්ණ බලධරයා පළාත් පාලන ඇමතිවරයාය. (සංශෝධන පනත් කෙටුම්පතේ 2 වගන්තිය) මේ අනුව එම කටයුත්ත සඳහා, පස් දෙනෙකුගෙන් යුත් ජාතික සීමා නීර්ණය කෙටුම්පත් කරන්නේ ඇමතිවරයාය.

18 වන සංශෝධනයේ සඳහන් ජනාධිපති විසින් පත්කරනු ලබන සීමා නීර්ණය කොමිෂන් සභාව සමග සම්බන්ධයක් මෙහි දක්වා නැත. කොම්ෂන් සභාව, ජාතික කමිටුව, දිස්ත්‍රික් කමිටුව වශයෙන් වෙන් වෙන්ව හඳුනාගත යුතුය. ඇමතිවරයා පත් කරන ජාතික කමිටුවේ නිර්දේශය අනුව කොට්ඨාශ ගණන, මායිම්, නම් සහ අංක ද යොදනු ලැබේ. (3 ආ(1)) බහු සභික කොට්ඨාශ (වාර්ගික පදනම මත වෙනස් විය හැකිය) නම, අංකය, සහ සභාකයින් ගණන ප්‍රසිද්ධ කරනු ලැබේ. (3 ඇ) ජාතික කමිටුව විසින් නියම කරන කොට්ඨාශ මායිම් ඇමතිවරයාට අවශ්‍යනම් වෙනස් කළ හැකිය.

ඒ සඳහා පස් දෙනෙකුගේ කමිටුව පත් කරන්නේ ඇමතිවරයාය. ඇමතිගේ තීන්දුවට නීතියෙන් අභියෝග කළ නොහැකියයි දක්වා ඇත. ජාතික කමිටුවේ ඉහත සඳහන් කාර්යය සඳහා සහභාගිවීමට දිස්ත්‍රික් කමිටුවක් ඇත. දිස්ත්‍රික් ලේකම් වරයා එහි ප්‍රධානියා වන අතර තවත් පස්දෙනෙක් වෙති. මැතිවරණ දෙපාර්තමේන්තුවේ, පළාත් සභාවේ, මිනුම් දෙපාර්තමේන්තුවේ, ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්සහ ඇමතිවරයාගේ නියෝජිතයෙකු වශයෙන් හය දෙනෙකි. ජාතික කමිටුවේ අධික්ෂණය යටතේ මෙම කමිටුව ක්‍රියාත්මක වේ. පළාත් පාලනය පළාත් සභාවට අයත් විෂයකි. එහෙත් ඊට විවිධාකාරයෙන් මෙතෙක් ආණුඩුව කළ ඇගිලි ගැසීම් නිශ්චිතව සඳහන් වන තැනකි මේ. පළාත් සභා නියෝජිතයාට අමතරව ඇමතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීම මගින් එය තහවුරු වේ.

බලය කැටිකර ගැනීමේ භාවිතයන් හා ව්‍යවස්ථා මගින් කළ දේ පළාත් පාලනයේදී ද මධ්‍යගත කර ගැනීම ඇමතිවරයාට දී ඇති බලතල වලින් පැහැදිලි වේ.(3 ඉ(1))

ස්ත්‍රී හා තරුණ නියෝජනය

කලින් ස්ත්‍රි නියෝජනය ගැන විවිධ අදහස් තිබුණද 1974 සිට පැවැත් වූ මැතිවරණ වලදී ස්ත්‍රි නියෝජනය අනිවාර්ය ප්‍රතිශතයක් නොතිබීමත්, ඒ සඳහා නිසි දිරි ගැන්වීමක් නැතිකමත්, නිසා අදත් එය එදා තිබුණු තත්වයේම පවතී. පසුගිය මැතිවරණ වලදී පවා අනිවාර්ය නොවීම නිසා අද පාර්ලිමේන්තුවේ 5.8, පළාත් සභාවේ 4.1 පළාත් පාලනයේ 1.8 ප්‍රතිශතය මත පවතී. එය 1947 සිට වර්ධනය වී නැත. ඒ අතර තිබුණු ප්‍රමාණයත් අඩුකොට 25 ක් තරුණ හා ස්ත්‍රි නියෝජනය ගැන සඳහන් වේ. එය ද ''විය හැකිය'' යනුවෙන් දියාරු කොට දැක්වීමෙන් එම සංඛ්‍යාව අඩු වුනාට කමක් නැත යන අදහස දී තිබේ. ඊටත් වඩා සැලකිය යුතු කරුණ නම් ''ස්ත්‍රි හා තරුණ'' එක කණ්ඩායමක් ලෙස දැක්වීමයි. මේ කොටස වෙන වෙනම දේශපාලන නියෝජනය උදෙසා විවෘත ඉඩකඩ තිබීම රටේ කැරලි, ආරවුල්, ආදියට විසඳුමක් වේ. එය නොතකා හැරීම බරපතල අඩුවකි. (22(4) 2 ආ) නාම යෝජනා බාර දෙනවිට තරුණ බව ඔප්පු කිරීමට උප්පැන්න සහතිකයේ පිටපතක් හෝ දිවුරුම් සහතිකයක් ඊට ඇමිණිය යුතුය. එසේ නැති විට නාම යෝජනා ලැයිස්තුවම අහෝසි නොවී එම නම පමණක් අහෝසි වෙයි. (25(3)ආ) එම නම වෙනුවට වෙනත් නමක් නොයෙදිය හැකි අතර ඇප මුදල රාජ සන්තකවේ.

අධික තැන්පත් මුදලක්

මෙතෙක් පළාත් පාලන අපේක්ෂකයා පක්ෂයකින් ඉදිරිපත් වන විට මුදලක් තැන්පත් කළ යුතු නැත. එහෙත් එය රු. පන්දහසක් කොට ඇත. ස්වාධීන අපේක්ෂකයෙකු තැන්පත් කළ යුතු රු. 250 ක මුදල රු. විසිදහස දක්වා වැඩි කොට ඇත. මේ මගින්ද සුළු පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන්ගේ පත්වීම් සීමාවේ. කොළඹ නගර සභාව වැනි ආයතනයකට නාමයෝජනා දීමේදී ස්වාධීන කණ්ඩායමක් නම් රු. අට ලක්ෂයක් තැන්පත් කළ යුතුය. ඔවුන්ට අනෙක් නීති වලින් ඇති සීමා නිසා එම තැන්පත් මුදල රාජසන්තකවීම වැළැක්විය නොහැකිය. සභිකයන් ගනන අඩු පළාත් පාලන ආයතනයකට වුවද තරගකොට ජය ගැනීම නිදහස් තරග කරුවන්ට දුෂ්කර කාර්යයකි.

නාමයෝජනා කාල සීමාව

නාමයෝජනා කාල සීමාව දින 21 නොදී දින එක-හමාරකට සීමා කිරීම හොඳ පියවරකි. නාම යෝජනා දීමේ කාලයේ සිට අපේක්ෂකයන් ගැන අධික ප්‍රචාර ගෝසා අඩු විය හැකිය. එහෙත් පවතින දේශපාලන සංස්කෘතිය අනුව ඉන් පෙරත් පසුත් එයම කළ හැකිය. (2 ව.) සති 5-6 තුළ නාම යෝජනා දීමෙන් පසු එළඹෙන සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීමට නීති පැනවීම ද යහපත් පියවරකි. මේ නිසා පාසල් හා රජයේ ආයතන පැවැත්වීමට බාධාවක් නොවීමෙන් නාස්තිය අඩුවනු ඇත. (29 ව.)

වත්කම් ප්‍රකාශ කිරීම

සංශෝධන පනතේ 22(7) අනුව නාම යෝජනා බාර දීමෙන් පසු මාස තුනක් ඇතුළත වත්කම් හා බැරකම් නීතිය (1975/1) යටතේ ප්‍රකාශයක් කළ යුතුය. මෙය වඩාත් සුදුසු වන්නේ නාම යෝජනා දෙන විටම ප්‍රකාශ කිරීමය. මාස තුනක් යනු මැතිවරණ ජයග්‍රහණය කළ අය පමණක් එය සිදු කිරීමය. නොයෙක් දේශපාලන වංචා සිදුවන රටක ජයගත් පසු බලයේ සිටින පක්ෂයට කුමක් කළනොහැකිද ඒ ඇරත් එසේ ප්‍රකාශ නොකළොත් සිදුවන්නේ කුමක්දැයි පනත් කෙටුම්පතේ නොදැක්වේ. කලින් මැතිවරණ කොමසාරිස් තුමාගේ නියෝග පරිදි එසේ කළ යුතු වුද ද වත්කම් ප්‍රකාශ නොකළ අය බොහෝ වූහ. ප්‍රකාශ කළ අයගේ තොරතුරු මහජනයාට ලබා ගැනීම සඳහා විවෘත නැත. පොතේ තිබෙන නීති ක්‍රියාත්මක නොකරන දේශපාලන භාවිතයන් ඇති නිසා හොඳ ලක්ෂණයක් වුවද වැරදියට භාවිත කළ හැකිය. (22(7))

තනතුරු හා පත්වීම් දීම තහනම

මෙය ද යහපත් පියවරකි. නාම යෝජනා දිනයේ සිට ඡන්දය දෙනු ලබන දිනයට පසු දින දක්වා ඡන්ද දායකයාට බලපෑමක් ඇතිවිය හැකි පරිදි රජයේ තනතුරු හා පත්වීම් ලබා නොදිය යුතු බව (60(1)අ) සඳහන් වේ. මේ සඳහා නීතියක් පැනවීමෙන් එය වළකීද? පසුගිය කාලයේ එවැනි පත්වීම් දුන්නේ විධායකයේ අනු දැනුම ඇතිව මැති ඇමතිවරුන් විසිනි. නීතිය තිබියදීම එසේ කළොත් කුමක් කළ හැකිද? යළ යුතුද? යනු සඳහන් නොවේ. සඳහන් කිරීම අවශ්‍ය නැත. නොකර හැරීමට නීතියට ඉහලින් සිටින විධායකය අධිෂ්ඨාන කර ගැනීම සෑහේ.

(60(1)ආ) හි සඳහන් පරිදි ඡන්දය දෙන හෝ ගණින අවස්ථාවන් හි එම ස්ථානයට ආණ්ඩුවේ හෝ පළාත් සළාවේ ඇමතිවරයෙකු ඇතුළු නොවිය යුතුය. ඡන්ද දායකයෙකු වශයෙන් පමණක් ඇතුළු විය හැකිය. එහෙත් එසේ ඇතුළු වුවහොත් එතැන සිටින පොලිස් නිලධාරියා ඔහු අත් අඩංගුවට ගතහොත් හෝ ඡන්ද ස්ථානාධිපති ඔහුට එතැනින් පිටවන ලෙස අණ කළොත් එම නිලධරයන්ට මේ දේශපාලන සංස්කෘතියේ ඇති ආරක්ෂාව කුමක්ද? ඔවුන්ට ඇති එකම ආරක්ෂාව නම් එවැන්නක් සිදු නොවූවා සේ සිටීමය. දැනට සිදුවන්නේද එයම ය.

හැඳුනුම් පත

ඡන්දය දීම සඳහා හැඳුනුම් පතක් තිබිය යුතුය. මෙතෙක් ජාතික හැඳුනුම් පත් නැති අයට තාවකාලික හැඳුනුම් පත් නිකුත් කිරීමක් හඳුන්වා දී තිබිණ. එය නැවතත් ක්‍රියාත්මක වේ. එසේ තාවකාලික හැඳුනුම් පත් නිකුත් කිරීමේ ඉඩකඩ භාවිතා කොට ඡන්ද දූෂණ සිදුවූ බව පසුගිය මැතිවරණ වලදී නිරීක්ෂණය වූ කරුණකි. විශෙෂයෙන් එය වතුකරයේදී විශාල වශයෙන් සිදු විය.

සංශෝධන පනතේ 7 වන උප ලේඛණයේ සඳහන් පරිදි ඡන්ද දායකයෙකුට ඡන්ද පත්‍රිකාවක් දීම ප්‍රතික්ෂේප කිරිම ගැන පිරවිය යුතු ආකෘති පත්‍රයේ ''වලංගු අනන්‍යතා ලේඛණයේ හෝ අනන්‍යතාව තහවුරු නොකිරීම'' යනුවෙන් සඳහන් වේ. ඒ අනුව පසුගිය කාලයේ හොර ඡන්ද දැමීමට යොදා ගැනුණු තාවකාලික හැදුනුම් පතද ''වලංගු ලේඛණයක්'' බවට පත්වේ. 1973 සිට අවුරුදු 37 ක් ගතවන තුරුත් හැඳුනුම් පත් දීම කරගත නොහැකි වීම තව දුරටත් එසේ තබා ගැනීම දේශපාලන වාසියක් වී ඇත.

ඡන්දය ගණන් කිරීම

මෙවර ඡන්දය ගණන් කිරීම සිදු වන්නේ එම ඡන්ද පොළේදීමය. ඡන්ද ස්ථානාධිපති වරයාම ඡන්දය ගනන් කිරීමේ නිලධරයා වන්නේය. (39 ව.) එම ඡන්ද පොළේදීම ගණන් කොට ප්‍රතිඵල ප්‍රකාශ කිරීම නිසා ප්‍රතිඵල ඉක්මනින් ලබාගත හැකි වන අතර තැන තැන සිදුවන කාලගෝට්ටි අඩුවනු ඇත. එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා, බාධකයන් නිසා ගනින ස්ථානය වෙනස් කළ හැකිය. සහකාර තේරීම්භාර නිලධරයා විසින් එසේ වෙනස් කිරීම තීන්දු කරනු ඇත. (40 ව.) ගණන් කිරීමේ නියෝජිතයන් වශයෙන් අපේක්ෂකයකු විසින් නියෝජිතයන් දෙදෙනෙකු බැගින් පත් කළ යුතුය. කලින් මුළු ප්‍රදේශයටම සිටියේ දෙදෙනෙකි. මෙවර කොට්ඨාශයට දෙදෙනෙකි. (41 ව,)

කොට්ඨාශයට 70% , සමානුපාතික 30%

මෙම කෙටුම්පත අනුව වෙන් කරනු ලබන පළාත් පාලන ආයතන ප්‍රදේශයේ සභිකයන් සංඛ්‍යාවෙන් 70% කට සමාන කොට්ඨාශ වලට එක සභිකයෙකු බැගින් තෝරා ගැනේ. ඒ සඳහා එක් එක් දේශපාලන පක්ෂයෙන් හෝ ස්වාධින කණ්ඩායමෙන් එක් අපේක්ෂකයකු බැගින් නාම යෝජනා පත්‍රයක් භාරදිය යුතුය. අනෙක් 30%කට සමාන අපේක්ෂක සංඛ්‍යාව නම් කොට සමානුපාතික ලැයිස්තුව භාරදිය යුතුය. ජයග්‍රාහී සභිකයන් තෝරා ගැනෙනුයේ එම ලැයිස්තු වලිනි. ඡන්ද ප්‍රමාණය අනුව වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අපේක්ෂකයා එම කොට්ඨාශයට නම් කරනු ලැබේ. වැඩිම ප්‍රමාණයක් සභිකයන් පත්වන පක්ෂයේ ඡන්ද අනුපාතය අනුව සමානුපාතික සභිකයෝ පත්වෙති. මෙයින් වැඩි වාසි හිමි විය හැක්කේ ප්‍රධාන පක්ෂ වලටය. සුළු පක්ෂ වලට හා ස්වාධින කණ්ඩායම් වලට අවාසියක් සිදුවන අවස්ථාවක් ද සමානුපාතික ක්‍රමයේ ඇත. එනම් ඡන්ද විමසීමේදී 5% කට අඩුවෙන් ගත් අයගේ සංඛ්‍යාව මුළු ගණනින් අඩු කිරීමෙන් පසු 5% ට වැඩි එහෙත් පරාජිත සංඛ්‍යාවන් අනුව සමානුපාතික ආසන සංඛ්‍යාව බෙදේ. ප්‍රධාන පක්ෂ වල 5% කට අඩුවෙන් ගන්නා අය අඩුවිය හැකිය. එම කොටසට ඇතුළත් විය හැක්කේ සුළු පක්ෂ හා කණ්ඩායම්ය. එහෙයින් ප්‍රධාන පක්ෂ වලට ඇති ඉඩකඩ වැඩිය. සුළු පක්ෂ හා කණ්ඩායම් ඉබේම කැපීයාම සිදුවිය හැකිය. එහෙයින් විසම්මුතික දේශපාලනය සීමා වෙයි.

නගරාධිපති හෝ සභාපති තෝරා ගැනීම

ප්‍රධාන පක්ෂ වල ජාතික දේශපාලනය කොට්ඨාශ මට්ටමින් තහවුරු කරන තවත් අවස්ථාවක් ඇත. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහකට වැඩියෙන් ලබාගත් අවස්ථාවේදී එම දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලේකම් වරයා විසින් එම පළාත් පාලන ආයතනයේ නගරාධිපති හෝ සභාපති තෝරා ගැනේ.

සියයට පනහට අඩුවෙන් ඡන්ද ලබාගත් විට සභාවේ පළමු රැස්වීමේ දී සභිකයින්ගේ ඡන්දයෙන් තෝරා ගනු ලැබේ.ප්‍රධාන දේශපාලන පක්ෂ කොට්ඨාශ මට්ටමින් ඇගිලි ගැසීම විකල්ප දේශපාලන මත මර්දනයට යෙදේ.

අයවැය ලේඛණය සම්මත නොවූ විට

දැනට පවතින තත්වය අනුව අයවැය ලේඛණය සම්මත නොවූවද සභාපතිට හෝ නගරාධිපතිට පාලනය පවත්වාගෙන යා හැකිය. එහෙත් අලුත් නීතිය අනුව නගරාධිපති/සභාපති ඉවත් විය යුතුය. මෙය ද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.

මෙසේ බලය කැටිකර ගැනීමේ වැඩි අවස්ථා අතර යහපත් යයි සැලකිය හැකි ලක්ෂණ කීපයක්ද මේ නීතියේ පවතී. එහෙත් ඒ යහපත් ලක්ෂණ වෙන වෙනම ගත් විට එයින් යහපතක් සිදු විය හැකිද යන ප්‍රශ්නය පැන නගී. මක් නිසාද, ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මූලික කරුණු වූ මුල්‍ය පාලනය, පොලීසිය, රජයේ සේවකයන්, සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු සියලු බලතල ජනාධිපති යටතේ පවතී. එවිට අතනින් මෙතනින් පෙන්නුම් කළහැකි යහපත් කරුණු වලින් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු නොවේ. සමස්තය තනි බලයක් යටතේ තිබෙන විට සිදු නොවිය හැකි වරද කුමක්ද? වරදකට වග කියන්නා කවරෙක්ද?

එස්.ජී. පුංචිහේවා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails