Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


(මධ්‍ය ලක්ෂ්‍යය ළඟදී- ජ.වි.පෙ. හමුවීම! යන ස්පාටකස් ලියූ අදහස සඳහා ලැබුණු පාඨක ප්‍රතිචාරයකි.)

[දයා] මෙහෙම කියනවා: සිංහල අධිපති වාදයටත් ඒමත පදනම් වූ යුදවාදයටත් නතු නොවූ කලා මාධ්‍යයක් තිබුනේ නම් ඒ සිංහල කවිය පමණි. සමස්තයක් ලෙස නොවූවද අතලොස්සක් පමණ වූ සිංහල කවීහූ ස්වකීය නිර්මාණ මගින් දෙමළ ජනයා මත පැටවුනු අයුක්ති සහගත යුද්ධයටත්, වියරු ජාතිවාදයටත් දේශපාලන අවස්ථාවාදයටත් එරෙහිව ඒ බිහිසුණු අඳුරු කාල පරිච්ඡේදයේ දී මිනිසත් බවේ හෘදය සාක්ෂිය ඉහළට ඔසවා තැබීමට සමත් වූහ. ඒවා හුදු දේශපාලන සටන්පාඨ ලෙස බැහැර කිරීමට බොහෝවුනට අවශ්‍ය වූවද එය කළ නොහැකි වූයේ එකී නිර්මාණ සංඛ්‍යාවෙන් කුඩා ප්‍රමාණයක් වුවද සාහිත්‍යමය අගයෙන් අප්‍රමාණ වූත් විශිෂ්ට පරිකල්පනයන්ගෙන් සංලක්ෂිත නිර්මාණාත්මක ප්‍රභාවක් ඒ තුළ අන්තර්ගත වූ හෙයිනි. එනිසාම එම කෙටිකාල සීමාව තුල සිංහල කවියේ මුඛ්‍ය අනන්‍යතාව බවට මෙම යුද විරෝධී සහ ජාතිවාදයට එරෙහි කාව්‍ය නිර්මාණ පත්විය. මෙම ක්‍රියාවලිය සිදු වෙද්දී සමාජය කෙරෙහි වඩා බලපෑමක්-

කළ හැකි මට්ටමේ ප්‍රතිරූපධාරීන් වී සිටි, යුගයේ ප්‍රගතිශීලි මහා කවියන්, එක්කෝ පීඩකයා සමග සන්ධානගත වී ජාතිවාදී මර්දනය යුක්ති සහගත කළ අතර නැතහොත් නිහඩව පුද්ගලිකත්වයේ අදුරු ගුහා තුළ ධ්‍යානයන්ට සම වැද සිටියහ. සිය බල ව්‍යාපෘතීන්ගේ එකම සහ තීරක සටන්පාඨය බවට සිංහල මහජාතිවාදය තරගකාරීව පත්කරගත් ප්‍රතිගාමීන් විසින් සමස්ත සිංහල සමාජයේම මානවවාදී හෘදය සාක්ෂියත් සංවේදී බවත් තාර්කික චින්තනයත් විනාශකර දමද්දී එය වළකාලීමට තමන් සතුව පැවැති සමාජ වගකීම ඔවුහු පැහැර හැරියහ. ඔවුන් විසින් පැහැර හැරි මෙම වගකීමට උරදුන්නේ ස්වකීය නාමයන් වටා දිදුලන රැස්වළලු නැති අප්‍රකට නිර්මාණ කරුවන් පිරිසක් විසිනි. රාවය වැනි ප්‍රගතිශිලි යැයි සැළකෙන පුවත්පත්වල කවි පිටු ද මෙම තීරණාත්මක මොහොතේ යුද විරෝධය තේමාකොට ගත් බොහෝ නිර්මාණ කුණු කූඩයට දමන ලදි. එහෙත් ප්‍රතිගාමීත්වයේත් අවස්ථාවාදයේත් ගිලිගිය ඉතිහාසයේ ඉතාම අඳුරු රාත්‍රීන් හිදී පවා අපේක්ෂාවේත් අරගලයේත් තාරකාවන් දැල්වේ. මිනිසත් බව පිලිබදව විශ්වාසය නොනැසී රැකගනු ලබන්නේ එබඳු තාරකාවන් විසිනි. නිසැකවම බූන්දිය එවැනි තාරකාවකි.

බූන්දිය සිංහල කවියේ සයිබර් යුගයේ ද්වාරය පමණක් නොවීය. එය ප්‍රතිගාමීත්වයට, දේශපාලන අවස්ථාවාදයට, යුදවාදයට, ජාතිවාදයට එරෙහිව සාහිත්‍යමය බැරිකේඩයක් ගොඩ නැංවීය. බූන්දියේ මෙම සළකුනු කිරීම ඓතිහාසික දෙයකි. බූන්දිය වෙනුවෙන් ස්වකීය කාල‍ය ශ්‍රමය වැය කරන කී දෙනෙකුන් තමන් සිදු කරන මෙම කාර්ය භාරය කොතරම් බැරෑරුම් කර්තව්‍යයක් ද යන්න හා එහි ඓතිහාසික වැදගත්කම තේරුම්ගෙන ඇත්දැයි මම නොදනිමි. එහෙත් බූන්දියෙන් එල්ලවූ දේශපාලන අභියෝගය එහි මතවාදීමය සතුරන් විසින් නම් නිසැකවම හඳුනාගෙන ඇති බව නම් පැහැදිලිය.

බූන්දිය වඩාත් පුළුල් ලෙස සිය සන්නිවේදන ක්‍රියාවලියට අවතීර්ණ වන මොහොතේදී ලංකාවේ දේශපාලනය බෙදා තිබුනේ දේශප්‍රේමී සහ කොටි යනුවෙනි. ජාතිවාදී යුද්ධයට එරෙහිව අඩු වැඩි වශයෙන් විරෝධය දැක් වූ සියළු සංවිධාන, කණ්ඩායම්, පුද්ගලයන් සහ විකල්ප ජනමාධ්‍ය කොටි හංවඩුව යටතේ සිංහල සමාජයෙන් දේශපාලනිකව හුදෙකලා කොට රාජ්‍ය මර්දනයට නිරාවරණය කරනු ලැබිනි. යුද විරෝධීන්ට ගොදුරු වීමට සිදු වූයේ රාජ්‍ය ත්‍රස්තවාදයට පමණක් නොවේ. ඔවුහු සිංහල සමාජයේ පොදු ජාතිවාදි ප්‍රචණ්ඩත්වයේද ගොදුරු බවට පත් විය. ජාතිවාදී පරපීඩක ප්‍රමෝදයේ සුරතාන්තය අවසන්වන විට එතෙක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සළු පොරවා සිටි ඊනියා ලිබරල්වාදීන්ද මහජාතිවාදයේ නිවට ඇම්බැට්ටයන් බවට පත් වී තිබිනි. ආරම්භයේදී මදක් පැකි‍ළෙමින් වුවද බූන්දිය මෙම කාලකන්නි ප්‍රවාහයේ පහළට ගසා ගෙන යනු වෙනුවට උඩු ගං බලා යාමට අදිටන් කරගත් බව දක්නට ලැබිනි. මෙය ජනප්‍රිය ස්ථාවරයක් නොවන බව සිදුවන දේවලින් පැහැදිලිය. එහෙත් හෘදය සාක්ෂියෙත් තර්ක බුද්ධියේත් විනිශ්චය විසින් බොහෝ විට තෝරාදෙනු ලබන්නේ විකල්පයන් රැසකින් කැමැති එකක් නොවේ.

බොහෝ අය පිලිගැනීමට අකැමැති වුවද පසුගිය වසර කීපය තුළ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මර්දනකාරී යුද්ධය ලංකාවේ පමනක් නොව ලෝක ඉතිහාසයේද සිදු වූ ම්ලේච්ඡ මිනිස් සංහාරයන් අතරින් එකක් බව සැගවිය නොහැක. තුන් ලක්ෂයකට ආසන්න ජනතාවක් හතරවටින් කොටු කර ලමා ළපටින් සමග මාස ගනනාවක් හාමතේ සා පවසින් තබමින් ගුවනින් බෝම්බ හෙළමින්ද කාලතුවක්කු ෂෙල් ප්‍රහාර එල්ල කරමින්ද දියත් කළ සංහාරය අවසාන වූයේ යටත් වූවන් බිහිසුණු වධබන්ධනයන්ට සහ ලිංගික අපරාධයන්ට ලක්කරමිනි. මුදා ගැනීමේ මෙහෙයුම අවසාන වූයේ සමස්ත ජනකායක් රැදවුම් කදවුරු තුල ගාල් කරමිනි.

දෙමළ ජනයාට එරෙහිව දියත් වූ මෙම රාජ්‍ය මර්දන ක්‍රියාවලිය තුළ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය වෙත ලබා දුන් මතවාදී සහ ද්‍රව්‍යමය සහාය විසින් සිංහල පීඩිතයාගේ හෘදය සාක්ෂිය සහ දේශපාලන විචාර බුද්ධිය නිෂ්ක්‍රිය කර දැමුණු අතර එමගින් නිදැල්ලේ සිය අපරාධයන් සිදු කිරීමට රාජ්‍ය මර්දන යන්ත්‍රයට අවස්ථාව ලබා දුනි. 1994 සිට පාර්ලිමේන්තුවාදයේ සරණ ගිය ජවිපෙ සිය ඡන්ද පදනම් වැඩි කර ගැනීම සදහා සිංහල ජාතිවාදී සටන් පාඨ යොදාගත් නමුත් අවසානයේදී ජවිපෙ මෙම අවස්ථාවාදී උපක්‍රම අසාර්ථක වූයේ දෙමළ අරගලය විනාශ කර දැමීමේ ගෞරවය, රාජපක්ෂ පවුලේ බූදලයක් බවට පත් වූ හෙයිනි. දෙමළ අරගලය විනාශ කර දමා ගොඩ නැගෙන රාජ්‍ය යන්ත්‍රය තුළ තමන්ටද කිසියම් පංගුකාරිත්වයක් ලැබෙතැයි අපේක්ෂා කළ ජවිපෙ සිහිනය සුනු විසුනු විය. රාජපක්ෂ යුද්ධය දිනන තෙක් පටි තද කර ගෙන කුසගිනි ඉවසන්නැයි කියමින් කම්කරු, ගොවි, සිසු සටන් දියාරු කරමින් සිටි ජවිපෙට යළි එම බලවේගවල සැබෑ ගැටලු තම දේශපාලන සටන්පාඨ සදහා යොදා ගැනීමට මතක් වූයේ එයින් පසුවය.

එහෙත් ජවිපෙ සහයෝගයෙන් රාජපක්ෂ පාලනය විසින් සම්මත කරගනු ලැබූ අණ පනත් දැන් දකුණේ කම්කරු ගොවි සිසු බලවේග වල ගෙලවටා වැටී ඇති තොණ්ඩුවක් බවට පත්ව තිබේ. මේ මර්දන අණ පනත් ජවිපෙ විසින් ම සමාජය හමුවේ සුජාත කර ඇති හෙයින් දැන් ඒවාට එරෙහිව සමාජයේ දේශපාලනික මතවාදයක් ගොඩ නැංවීමට මේ රාජ්‍ය මර්දන යන්ත්‍රයට දකුණේ තවත් තරුණ ජීවිත කී දහසක් බිලිදීමට සිදුවේදැයි කිව නොහැකිය. 1987-89 වකවානුවේ 60000ක් ජීවිත පුදා ධනපති රාජ්‍ය මර්දන යන්ත්‍රයකට කොතරම් කෲර විය හැකිදැයි කියා දුන් පාඩම ජවිපෙ අවස්ථාවාදී නායකත්වය විසින් දැනුවත්ව නොතකා හරිනු ලැබිණි. එදා "අලුගෝසු මිනීමරුවන්" වූ හමුදාව විසින් ම දෙමළුන් මැරීම අරඹන විට ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ම රණවිරු හමුදාවන් ලෙස අභිෂේක කරවා මල්දම් පළදවනු ලැබිණි. එදා "මර්දන අණ පනත්" වූ හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙදා, දෙමළ ත්‍රස්තවාදය මැඩීම සදහා ගත යුතු "අත්‍යවශ්‍ය පියවර" ලෙස විස්තර කෙරිණි. මෙලෙස රාජ්‍ය මර්දනය යුක්ති සහගත කරමින් ගෙන ගිය ප්‍රචාරයන් විසින් සිංහල පීඩිතයාගේ පන්ති වි‍ඥානය මොට කර දමා 1987-89 දහස් ගණන් ජීවිත පරිත්‍යාගයන් අරුත් විරහිත නාස්තියක් බවට පත් කරනු ලැබිණි.

ටික දෙනෙකුන් සැමදා රැවටිය හැකිය. බොහෝ දෙනා ටික කලක් රැවටිය හැකිය. එහෙත් සියළු දෙනා සියළු කල්හි රැවටිය නොහැකිය. කොතරම් අවිචාරශීලී පසුගාමී සමාජයක වුව අඩුතරමින් දසදහසකට එකෙකුට හෝ විචාර බුද්ධියක් සහ දිගු මතකයක් තිබිය හැකිය. අධිපතිවාදී බල ප්‍රදර්ශණයන් සහ සංකේත හමුවේ මෝහනයට පත්ව නියාළුව හිස කසමින් "එහෙයි" හෝ "ඔව්" යැයි, පවසන බොහොවුන් අතර "ඇයි" යැයි අසන එකෙකු හෝ දෙන්නෙකු විසින් බොහෝ ප්‍රතිගාමී බලහවුල්වල න්‍යාය පත්‍ර අවුල්කර දැමීමට ඉඩ තිබේ.

බූන්දිය සිය කෙටි ගමන් මගේදී සමාජයේ විචාර බුද්ධිය සහ හෘදය සාක්ෂිය අවදි කිරීමට තැත් දැරූ බව පැහැදිලිය. සිය මවුබිමේම එක් කෙළවරක මහා මිනිස් සංහාරයක් සිදුවන විට එය නෑසු කන්ව "සාහිත්‍ය සංවාදයන්" හි නිරතවනු වෙනුවට ඒ පිලිබඳ විරෝධාකල්ප නිර්මාණ සමාජගත කරමින් සංහාරයේ ගොදුරු බවට පත් ළමා ළපටින් ගැහැණුන් මහල්ලන් වෙනුවෙන් නොපැකිළව සිට ගත්තේය. මෙය එකී මර්දනයේදී රාජ්‍ය සමග අත්වැල් බැඳගෙන සිටි ජවිපෙ හිතවාදීන්ට නුරුස්සන්නක් විය. එපමණක් නොව බූන්දියේ පළ වූ ඇතැම් නිර්මාණ ජවිපෙ දේශපාලන අවස්ථාවාදය සෘජුව සහ නිර්දයව ප්‍රශ්න කරන ඒවා විය.

සැබැවින් ම බුන්දිය අධිපති මතවාදය ප්‍රශ්න කරන සංවාදයක් ආරම්භ කළේ ය. සමාජ දේශපාලන සංවාදයක් ආරම්භ කිරීම යනු අලංකාර වේදිකාවන් නිර්මාණය කර, අධිපතිවාදය සමග විවිධ අවස්ථාවන්හිදී යහන්ගත වූ නිල බුද්ධිමතුන්, කලාකරුවන්, හෝ විචාරකයන් වේදිකාවන් මත අසුන් ගන්වා කෙරෙන ප්‍රසාංගික කටයුත්තක් නොවේ. එය එතරම් සුමට රොමැන්ටික කටයුත්තක් ද නොවේ. එවැනි අභියොගයක් එල්ල කිරී‍මට තීරණය කරන අයට යොදා ගැනීමට සිදුවනුයේ තමන් සතු සම්පත් ප්‍රමාණයට සරිලන උපක්‍රමයන්ය. එවැන්නක් ඇරඹිමට යමෙකු තැත් දරන පළමු පැයේදීම පවත්නා ස්ථාපිත අධිපතිවාදී බල ව්‍යුහයන් එය යටපත් කිරීමට සහ අවශෝෂණය කිරීමට තැත් දරනු ඇත. එය කළ නොහැකි වුවහොත් ඊළගට ඇරඹෙනුයේ සංවිධානාත්මකව දියත්වන හුදෙකලා කිරීමේ ව්‍යාපාරයන්ය. බූන්දිය පලමු අදියරේදී අභියොගය ජය ගැනීමට සමත් වූ අතර දැන් හුදෙකලා කිරීමේ තර්ජනයකට මුහුණ ලා සිටියි.

බූන්දිය සාහිත්‍යය කලාව සහ දේශපාලනය කෙරෙහි නැඹුරු වූ තරුණ පිරිසක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ අතර එහි පළ වූ නිර්මාණ සහ ලිපි ජවිපෙ දේශපාලනය නිර්දය ලෙස ප්‍රශ්න කළ හෙයින් තරුණ බලවේගයන් හමුවේ සිය මතවාදී ආධිපත්‍යය ගිලිහී යාමට බුන්දියට ඇති විභවය ගැන සැළකිළිමත් වූ ජවිපෙ විසින් එය වටා එක් වෙමින් සිටි පිරිස් එක්රැස් කරගැනීම සඳහා වෙනත් යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට යොමු විය."කයන්න වියන්න" සිට "මධ්‍ය ලක්ෂය" දක්වා විකාශනය වූ බල ව්‍යාපෘතිය එහි ප්‍රතිඵලයයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන කටයුතු සඳහා සාහිත්‍ය නිර්මාණ ප්‍රබල ලෙස යොදා ගත් ව්‍යාපාරයකි. 1987 දී දිවයින පුවත්පතේ "අටවෙනි පිටුව" තුළ පළවූ කවි කෙටිකතා රැඩිකල් තරුණ පරම්පරාව ආකර්ෂණය කර ගැනීමට සමත් විය. චන්දුකුමාර වික්‍රමරත්න, කමල් පී. අලහකෝන් වැනි කවීන් ඒ පරම්පරාව අතරට පිවිසියේ අටවෙනි පිටුව තුළිනි. 1989 අරගලය මර්දනයෙන් පසුව ලක්දිව සහ හිරු පුවත් වටා එකතු වූ කවි කිවිදියන් 89 මර්දනයේ කම්පනය නිර්මාණශීලි ලෙස සමාජ ගත කළ අතර 1994න් පසුව ජවිපෙ යළි ගොඩ නැගීමට අවශ්‍ය වූ අධ්‍යාත්මික ශක්තිය ලබා දුන්නේ ඒ කවි කිවිදියන් විසිනි. එමෙන්ම සිදු වූ විනාශය පිලිබඳ පක්ෂයේ නිල අධිපති බලපෑමෙන් තොරව විචාරශීලිව සිතීමට අවශ්‍ය කරන සංවාදයක් ගොඩ නැගීමටද ඔවුන් කිසියම් ආරම්භයක් ලබා දුන්හ.

එහෙත් 1994 න් පසුව සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතුව ජවිපෙය නිල දේශපාලන පක්ෂයක් ලෙස කරලියට පැමිණි පසු මේ ගොඩ නැගෙමින් පැවැති සංවාද අවකාශය අහෝසි කර දැමිනි. ඉන් අනතුරුව එළැඹි පාර්ලිමේන්තුවාදී දේශපාලනය තුළ ජාතිවාදයට සහ යුදවාදයට නැඹුරු වෙමින් ධනපති පක්ෂ සමග සභාග දේශපාලනයට එළැඹෙමින් ද රාජ්‍ය මර්දන යන්ත්‍රය දේශපාලනිකව යුක්ති යුක්ත කරමින්ද පැරණි වම ගමන් ගත් පාරේම ගමන් කිරීම ඇරඹූ පසුව සිදු වූ ජවිපෙ දේශපාලනයේ අධ්‍යාත්මික වැහැරීම විසින් එතෙක් එය සමග දේශපාලනිකව එක්ව සිටි හෝ එයට අනුකම්පාව දැක්වූ නිර්මාණ කරුවන් නිහඩ විය. ජවිපෙයේ මෙම වැහැරීම තුළ හටගත් කම්පනය හා කලකිරීම නිර්මාණකරණය තුළ ප්‍රශ්න කිරීමට ඉදිරිපත් වූයේ ඉතා සුලු පිරිසකි. ඔවුන් "ද්‍රෝහීන්" ලෙස ලේබල් කර බැහැර කෙරිණි.

1994 සිට 2009 දක්වා කාල සීමාව තුළ ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු සදහා විවිධ සාහිත්‍යමය සහ කලා ව්‍යාපෘතින් දියත් කළ නමුත් ඒවා තුළින් ගුණාත්මක නිර්මාණ බිහි වූයේ නැත. විශ්ව විද්‍යාල තුළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හරහා සාහිත්‍ය උත්සව සංවිධානය කෙරිනි.වීදී නාට්‍ය කණ්ඩායම් බිහි කෙරිණි. ජවිපෙ ප්‍රකාශන වල කවි පිටු සහ අතිරේක පලවිය. රූපවාහිනි සහ රේඩියෝ චැනල් බිහි කෙරිණි. සංස්කෘතික අමාත්‍යාංශය පවා තමන් යටතට ගැනීමට ජවිපෙ සමත් විය. එහෙත් මේ සියල්ලෙන් පසුවත් ජවිපෙට 1987-89 හෝ 1990-94 සමයේ අටවෙනි පිටුව හෝ හිරු ලක්දිව පුවත් පත් විසින් බිහිකළ නිර්මාණයන්හි ගුණාත්මක මට්ටමට ළගාවීමට නොහැකි විය. එයට හේතුව නව පරපුරේ නිර්මාණාත්මක ප්‍රතිභාවේ අඩුවක් නොව ජවිපෙ දේශපාලනයේ දෘෂ්ඨිමය පටුකමත් අවස්ථාවාදීත්වයත් ධනපති පන්තිය සමග එළැඹි සභාග දේශපාලනයත් රාජ්‍ය මර්දනයට සහාය පුද කිරීමත් ජාතිවාදයත් විසින් ජවිපෙ බලවේගය තුළ සිදු වූ අධ්‍යාත්මික වැහැරීමය.

"මධ්‍ය ලක්ෂය" විසින් පැවැත් වූ කවි වැඩ මුළුව තුලින් සංවාදයකට අවකාශයක් විවෘත වන්නේ යැයි කියන්නවුන් අවබෝධ කරගත යුත්තේ එහි පිටුපස සිටින ජවිපෙ සංවිධායකයන්ගේ දේශපාලන අරමුණ විවෘත සංවාදයකට අවකාශ සැළසීම නොව සමාජයේ යම් පමණකට හෝ එවැනි සංවාද අවකාශයක් පවතී නම් එය තම ග්‍රහණයට ගෙන ඒ අවකාශය හකුළා දැමීම බවය. එමගින් එවැනි සංවාදයන් මගින් තම පටු දේශපාලනය ප්‍රශ්න කිරීම වැළැක්වීම බවය. ඒ සඳහා සෙසු විකල්ප කණ්ඩායම්වලට වඩා සම්පත් පවතින ජවිපෙ වැනි දේශපාලන පක්ෂයකට ඇති හැකියාව වැඩිය.

සංඛ කිරිඳිවැල සිය අදහස් දැක්වීමේදී ඩොලර් වලට විකිණෙන න්‍යායධරයන් ගැනද බහුත්වවාදී ගමනක් යාම පිලිබදවද සදහන් කරයි. ජවිපෙ දේශපාලනය ගැන විවේචනාත්මක ආකල්පයක් දරන කවරෙකු සම්බන්ධයෙන් වුවද ඔවුන් ඉදිරිපත් කරන අදහස් ගැන සමාජයේ අවධානය වැළැක්වීමට ජවිපෙ විසින් යොදාගනු ලබන බාල ගණයේ සටන් පාඨ දේශපාලනය ගැනද ඩොලර් ගැන ද අවබෝධයක් ඇති සංඛ වැනි අය විසින්ද ගිරවුන් මෙන් දැනටමත් ණයට ගෙන උච්චාරණය කරනු ලැබීම කණගාටු දායක දෙයකි. තම මතවාදීමය ප්‍රතිමල්ලවයන් යම් මතයක් දරනුයේ හුදෙක් මුල්‍ය හෝ වෙනත් භෞතික ප්‍රතිලාභ සඳහා යැයි කියමින් ඔවුන් දරන මතය ගැන පූර්ව විනිශ්චයන් තහවුරු කරන අතරම විවෘත සංවාදමය අවකාශයන් ගැනත් බහුත්වවාදයක් ගැනද නම් දෙඩවීම තේරුම් ගැනීම මදක් අපහසුය. බහුත්වවාදී සංවාද අවකාශයක් බිහිකිරීමට අවශ්‍යවන යමෙකු කළ යුත්තේ එවැනි බහුත්වවාදී සංවාදයන් අහුරාදමන ඒක කේන්ද්‍රීය ස්ථාපිත බල ව්‍යුහයන් ශක්තිමත් කිරීම නොව ස්වාධීන විකල්ප භාවිතාවන් වැඩියෙන් බිහි කිරීමය. ඒවා ශක්තිමත් කිරීමය. අසීරු කටයුත්ත පවත්නා ස්ථාපිත ව්‍යුහයන් සමග සම්මුති ගැසීමට තියරි සෑදීම නොව අළුත් යමක් ඇරඹීමය.

අනෙක් අතට බහුත්වවාදය ශක්තිමත් කිරීමට ජවිපෙ වැනි සංවිධානවල පෙරමුණු සංවිධාන පිටුපස යාම විහිළුවකි. ජවිපෙ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අඩුතරමින් තමන් සමග දේශපාලනව එකඟ නොවන විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් වලට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සංස්කෘතික ක්‍රියාකාරකමකටවත් ඉඩ දෙන්නේද?

මධ්‍ය ලක්ෂ්‍ය කණ්ඩායම හරහා ජවිපෙ ඉලක්කය සිංහල කවිය තම පිරිස් බලය සහ සංවිධාන ශක්තිය හරහා අත් අඩංගුවට ගැනීමය. බූන්දිය එහි පළමු ඉලක්කයයි. 'මධ්‍ය ලක්ෂ්‍යය', යන නමේ සැබැ ‍දේශපාලනික අර්ථය වටහා ගන්නා විට ඒ හරහා බහුත්වවාදී සිහින දකින අය බොහෝ සෙයින් ප්‍රමාද වී සිටිනු ඇත.

[කිවුව වෙලාව- 2010-11-18 09:09:38]

දයා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails