Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සමාජ විප්ලවය යනු අතළොස්සකගේ ක්‍රියාවක් නොවේ. පක්ෂයක, කණ්ඩායමක ක්‍රියාවක් නොවේ. එනිසා කුමන්ත්‍රණයක් නැත හොත් කණ්ඩායමක් මගින් බලය අල්ලා ගැනීමක් විප්ලවයක් නොවේ. විප්ලවයක් යනු ජනගහණයේ අති විශාල බහුතරයක් උපරිම ක්‍රියාකාරීත්වයකට පමුණුවනු ලබන, අරගලයේ විවිධ ආකාරයන් උචිත ආකාරයෙන් ක්‍රියාවට නගනු ලබන පුළුල් ජනතා නැගිටීමකි. දස දහස් ගණන්, ලක්ෂ ගණන් ජනයා, විශාල ජනගහණයක් සහිත රටවලදී නම් කෝටි ගණන් ජනයා එකාවන්ව සිය කැමැත්තෙන් නැගී සිටීමකි. විප්ලවය කෝටි ගණන් පීඩිත ජනයා උදෙසා බලහත්කාරයක් නොවේ. එය බලහත්කාරයක් වන්නේ පෙරළා දමනු ලබන අතළොස්සක් වන ප්‍රතිගාමී පංතීන්ට හා බලවේගයන්ට පමණි.

1971 ට පෙර ජවිපෙ සමාජ විප්ලවය අවි ගත්, මනාව සංවිධානය වූ සංවිධානයක් මගින් රටපුරා පොලිස් ස්ථාන හා යුද හමුදා කඳවුරුවලට පහර දී බලය අල්ලා ගැනීමක් ලෙස ලඝු කරන ලදී. 1953 ජූලි 26 දින කියුබාවේ මොන්කාඩා කඳවුරට ෆිදෙල් කස්ත්‍රෝ ප්‍රමුඛ සන්නද්ධ විප්ලවවාදීන් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරය අසාර්ථක නොවූවා නම් එදා කියුබානු ඉතිහාසය වෙනස් වන්නට තිබුණායයි කියන තරමට ම එය විප්ලවය පිළිබඳ අදහස ලඝු කළේය. විප්ලවය පිළිබඳ ජවිපෙ සිටි මේ අන්ත සාවද්‍ය මතයට බලපෑ තීරණාත්මක සාධකයක් වූයේ කියුබානු විප්ලවයේ අත්දැකීම් වැරදි ලෙස කැටි කර දැක්වූ රෙජිස් ඩෙබ්‍රේගේ "විප්ලවයේ විප්ලවය" (Revolution in the Revolution by Régis Debray) නම් කෘතිය අත් පොත කර ගැනීමය. එම කෘතියෙන් පෙන්වා දුන්නේ විප්ලවය සඳහා කම්කරුවන්, ගොවියන් ඇතුළු පීඩිත ජනතාව සූදානම් වූවත් නැතත්, සංවිධානාත්මක ගරිල්ලා කණ්ඩායමක් මගින් බලය අල්ලා ගත හැකි නම් විප්ලවය සාර්ථක කර ගත හැකි බවය. එහෙත් බොලිවියාවේදී චේ ග්වාරා අසාර්ථක වීමෙන් පසු අත්දැකීම් සම්පිණ්ඩනය කළ ඩෙබ්‍රේ ම පසුව සිය මතය වැරදි බව ස්වයං විවේචනාත්මකව පිළිගත්තේ ය.


විප්ලවය පිළිබඳ ජවිපෙ දැරූ ඉහත කී මතයට බලපෑ තවත් සාධකයක් වූයේ සැන්සිබාරයේ කරුමේ ප්‍රමුඛ කණ්ඩායමක් එහි පොලිස් ස්ථාන වලට පහර දී බලය අල්ලා ගැනීමය. කරුමේ විජේවීර සමග ලුමුම්බා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූවෙකු වු අතර සැන්සිබාරයේ තිබුණේ පොලිස් හමුදාවක් පමණි. මෙලෙස විප්ලවය, සන්නද්ධ කණ්ඩායමක් හෝ සංවිධානයක් විසින් හොර රහසේ හමුදා පොලිස් ස්ථානවලට පහර දී බලය අල්ලා ගැනීමකැයි ගැනීම, විප්ලවය සඳහා සම්පූර්ණ විය යුතු විෂය මූල හා මනෝ මූල සාධකයන්ගේ වර්ධනය සම්පූර්ණයෙන් ම නොසලකා හැරීමක් විය.

තමන් මහත් අභිරුචියකින් හා ආස්වාදයකින් අගේ කළ චේ පසු කලෙක පෙන්වා දුන් ''සාමකාමී ක්‍රම මගින් පාලනය වෙනස් කිරීමේ ඉඩ කඩ පිළිබඳ බලාපොරොත්තු ජනතාව තුළ තිබෙන තාක් කල් සන්නද්ධ විප්ලවයකින් බලය අල්ලා ගැනීමේ අරමුණ සාර්ථක නොවන්නේ ය.'' යන වැදගත් කාරණය පවා ජවිපෙ සැලකිල්ලට ගත්තේ නැත.

71 කැරැල්ල අසාර්ථක වීමෙන් පසු විප්ලවය පිළිබඳ ජවිපෙ දැරූ මේ මතය පිළිබඳ ජවිපෙ තුළින් තියුණු විවේචන එල්ල විණ. එහෙත් එම විවේචන පිළිගෙන තම වැරදි නිවැරදි කර ගැනීමට විජේවීර හෝ ජවිපෙ හෝ ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට විජේවීර කියා සිටියේ තමන් මාක්ස් ලෙනින්වාදී ලෙස විප්ලවය යනු කුමක්දැයි ඉතා නිවැරදිව තේරුම් ගෙන සිටි බවත් 1971 කැරැල්ල විප්ලවයක් නොව කුමන්ත්‍රණයක් බවත් ය. අප්‍රේල් කැරැල්ල ඔහුත් ජවිපෙත් විනාශ කිරීම සඳහා ලොකු අතුල නායකත්වය දුන් බෝම්බ කල්ලිය විසින් කළ කුමන්ත්‍රණකාරී කැරැල්ලක් යැයි විජේවීර අප්‍රේල් නඩු විභාගයේ දී දිවුරා කියා සිටියේය.

මෙසේ ඔහු උත්සාහ කළේ තමන් විප්ලවය පිළිබඳ නිවැරදි දැක්මක් දැරුව බව ද ජවිපෙ තුළට රිංගා ගෙන සිටි ලොකු අතුල වැනි ද්‍රෝහීන් ඒ අනුව ක්‍රියා නොකොට වැරදි අයුරින් ක්‍රියා කළ බව ද පෙන්වා දීමට ය. එහෙත් 71 කැරැල්ලෙන් පසු කාලයේ ක්‍රියාකාරීත්වයෙන් ද පෙන්නුම් කරන්නේ විජේවීර ඇතුළු ජවිපෙ සමාජ විප්ලවය පිළිබඳ නිවැරදි මතයක් නොදැරූ බවකි.

විශේෂයෙන් 1977න් පසු කාලයේ ක්‍රමයෙන් සන්නද්ධ අරගලය පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කර පාර්ලිමේන්තු ක්‍රමයෙන් බලය අල්ලා ගැනීම දක්වා ලාංකීය විප්ලවය ලඝු කිරීමට ජවිපෙ ක්‍රියා කළේය. අභ්‍යන්තර සාකච්ඡාවල දී ප්‍රධාන ක්‍රමය සන්නද්ධ විප්ලවයයි, පාර්ලිමේන්තුවෙන් බලයට ඒමට හැකි නම් ප්‍රශ්නයක නැත, යන අදහස ඉදිරිපත් කරමින් ක්‍රමයෙන් ක්‍රියා මාර්ගික වශයෙන් පාර්ලිමේන්තුවාදය කරා ජවිපෙ සේන්දු වූයේ එක් අන්තයක සිට තවත් අන්තයකට ය.

ප්‍රශ්නය වූයේ මැතිවරණ වලට සහභාගී වීම නොව ස්වකීය මුළු මහත් ක්‍රියාදාමය පාර්ලිමේන්තු ක්‍රමයෙන් සමාජවාදයට යා හැකි යයි කීවාට පක්ෂ අභ්‍යන්තරයේ ඒ සඳහා ඇති මාවත ලෙස සන්නද්ධ විප්ලවයේ මාවත පිළිබඳ කතා කළෙමු, යයි ජවිපෙ කියන්නට පුළුවන. එහෙත් එයින් පැහැදිලි වන්නේ කුමක්ද? සමාජ විප්ලවය ජනතාවගේ ක්‍රියාවක් යන්න එය නොසැලකූ බවය. ජනතාවට කියන්නේ පාර්ලිමේන්තු මාවත නම්, සන්නද්ධ විප්ලවයේ මාවත අවශ්‍යය යන අදහස ජනතාවට අවබෝධ කරවීමට ප්‍රයත්න නොදරන්නේ නම් හා ඒ ගමන් ම පක්ෂ අභ්‍යන්තරයේ සන්නද්ධ විප්ලවයේ අවශ්‍යතාව කතා කරන්නේ නම් ඉන් තේරුම් යන්නේ විප්ලවය යනු රහසිගත ව සූදානම් වන කණ්ඩායමක කටයුත්තක් ලෙස ජවිපෙ දිගටම පිළිගෙන සිටි බවකි. නො එසේ නම් පක්ෂ අභ්‍යන්තරයේ විප්ලවය ගැන කතා කළේ බොරුවට බව ය. ඇත්තෙන්ම ඒ ප්‍රශ්නවලින් බේරීම සඳහාය. මන්ද සන්නද්ධ විප්ලවය පිළිගත් කොටස් ජවිපෙ තුළ එතෙකුත් සිටි නිසාය.


ඇත්තෙන්ම මෙය වංචාකාරී දේශපාලනයකි. ජවිපෙ විප්ලවය ගැන කතා කරමින් ප්‍රසිද්ධියේ සන්නද්ධ අරගලය ප්‍රතික්ෂේප කළා නම් එය ජනතාව රැවටීමකි. සැබැවින්ම මැතිවරණ මාවත පිළිගනිමින් පක්ෂය තුළ විප්ලවය ගැන කතා කළා නම් එය සාමාජිකත්වය මුළා කිරීමකි. ජවිපෙ නායකත්වය මේ දෙකම කළේ ය. මෙය දෙබිඩි පිළිවෙතකි.

මාක්ස් ලෙනින්වාදීන් පාර්ලිමේන්තුව හා විප්ලවය පිළිබඳව කිසි ම දිනෙක මෙවැනි වංචාකාඊ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ නැත. ජනතාව පාර්ලිමේන්තුවාදය දැඩි ව විශ්වාස කරන තත්ත්වයක් තුළ දී පවා පාර්ලිමේන්තුවෙන් සමාජවාදය කරා යෑමට හැකියාවක් නොමැති බවත්, එහෙත් ජනතාව පාර්ලිමේන්තුවාදය පිළිගන්නා තෙක්ම තමන් පාර්ලිමේන්තු අරගලයන්හි නිරත වන බවත්, ජනතාව ද මෙම අරගල දෙවිදියට ම සූදානම් වීම අවශ්‍ය බවත් ජනතාවට අවබෝධ කරවීම සඳහා කටයුතු කිරීම ඔවුන්ගේ පැහැර හැරිය නොහැකි වගකීමක් වේ. ජනතාව පාර්ලිමේන්තුවාදය තුළ හිර කර දමනු ලැබුවහොත් ධනපති පංතිය පාර්ලිමේන්තු ක්‍රමය ඉවත ලූ අවස්ථාවක ක්‍රියා මාර්ගික වශයෙන් පමණක් නොව මානසික වශයෙන් හා දෘෂ්ටිමය වශයෙන් ද නිරායුධ තත්ත්වයට ඇද වැටෙනු ඇත. පීඩාකාරී පංතීන් හමුවේ ජනතාව මානසික වශයෙන් හා දෘෂ්ටිමය වශයෙන් නිරායුධ කර දමනවා යනු ඔවුන් ධනපති පංතියේ අවශ්‍යතාවන්ට බිලි දීමකි.

උපුටනය-
ජවිපෙ ප්‍රභවය, විකාශය හා දේශපාලනය (1993 මාර්තු)
වසන්ත දිසානායක, පැට්‍රික් ප්‍රනාන්දු, සරත් ද සිල්වා, රංජිත් කුමාර
(පිටු 202-205)
දියැස ප්‍රකාශනයකි.

දියැස



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails