Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තිරයත් තෙලුත් තිබියදී පොල් තෙල් පහන නිවී යයි. එහි තිරගින් අවසන් දුම් රැළි කිහිපය විසිරයේ. ලොකු නංගී පැමිණ ගිනි කූරක් ගසා යළි පහන පත්තු කර තිරය තව ටිකක් ඉදිරියට තල්ලු කරයි. පහන වඩා දීප්තිමත්ව දැල්වේ.

*******

දෑවුරුද්දකට කලින් එක්තරා දිනෙක අම්මා උදේ පාන්දරින්ම බුදු පාන පත්තු කළාය. ප්‍රඥාලෝකය විහිදුන පහනින් තෙල් බිඳක් ඇඟිලිවල තවරා ඉන් මා හිස පිරි මදිද්දී ඈ ඒ ආලෝකයෙන් බොහෝ දුර දකින බව මම දුටිමි. මඟ මඟ හමුවිය හැකි අසුබ දසුන් වල අපල කැපී යන්නට තරම් බලගතු සමන් පිච්ච මල් වතුර බඳුන රැගෙන ඉදිරියට ආවාය ඈ. මහ වරුසාව බුරාගෙන කඩා පැන්නද, අපි ඉදිරියටම පා තැබුවෙමු.

පහමාරේ කෝච්චිය අපට වැරදුණේ නැත. ඒ දවස් වල කොහොමටත් සීතලය. ඒත් එදා වඩ වඩාත් සීතල දැනෙන්නට විය. සිතිවිලි වලට තටු ලැබී කැදැල්ල වෙත පියඹමින් තිබුණි. නංගිලා මල්ලිලා හා ගෙවු රංඩු සරුවල් පිරි මිහිරි යුගය ඈත සිට අත වැනීය. කෝච්චිය ගමන් කළේ "කොහොමද රිසල්ස්, කොහොමද රිසල්ස්" කියමිනි. ප්‍රතිඵල ආ දවස මතකයේ මතුපිටම ස්ථරයේ වාඩිලාගෙන සිටියේය.

*******

සාලය නිශ්ශබ්දය. පසුගිය දින දෙකම නිදි වැරූ අම්මාට නින්ද ගොසින්ය. සාලයේ බිත්තිය මත එල්ලූ පින්තූර කණපිට ගසා ඇත. එක පින්තූරයක කණපිට සැරසී ඇත්තේ මා විසින් අඳින ලද චිත්රරයකිනි. මෙපමණ කලක් සැංගී සිටි සිතුවම අද එළියට පැමිණ ඇත.

*******

මගේ ජීවිතයද කණ පිට හැරුණේ සරසවියට ඇතුළු වූ දවසේ සිටය. එදා මා වටකරගෙන නැඟී සිටියෝ සුදුපාට උස ගොඩනැගිල්ලෝය. මා නිකම්ම අඟුටුමිට්ටෙකු බවට පත් වී තිබිණි. ඒ සුදු උස ගොඩනැගිලි ඇඟිලි උරුක් කර කර මගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇසීය. ටයි කෝට් ඇඳ කාරෙකෙන් ගමන් යන ගෞරවනීය සිහිනය තුළ සැඟව තිබුණේ පිළිකුලයි. දවසක් දෙකක් ගත වන විට මිනී කාමරයේ ගැවසීමට සිත කැමති කරවා ගත්තද, එහිදී ඇතැම්හූ බඩ බොකු හාරන්නට වූහ. ඇතැමෙක් ඔපරේෂන් සැත් වලින් එකිනෙකා කපා ගත්හ. මෙහි ජීවත් වන්නට නම් ඇඟේ ඇති සියුම් ස්නායු තන්තු ව්‍යවච්ඡේදනය කළ යුතුව තිබුණි. පපුව පලා නිරීක්ෂණය කළ විට මා දුටුවේ ක්ෂීණ වී ගිය හෘදාංකුරය. කපාලාස්ථිය තුලින් අත් දම දමා මොළය තව තවත් දැනුම හිඟා කන්නට විය. නොලැබුණ විට තර්ජන ගර්ජන මඟින් ලබා ගන්නට වෙර දැරීය. නිරන්තර පිට දමන කුණු ඕජස් මතින් පියාඹා ඉවත් වන්නට මට ඕනෑ විය. ගෙදර හා කොලඹ අතර නිරන්තර උඩ පහත සංචරණයන් පිණිස මා දෑතේ යකඩ පිහාටු දලු ලෑය.

*******

පොඩි හාමුදුරුවෝ සාලයට වඩිති. “ඔහොම තමයි අම්මේ ජීවිතේ හැටි." අම්මා සැනසෙන්නට ඇතැයි සිතා දෝ උන්වහන්සේ ආපසු වඩිති.

*******

ජීවිතේ එහෙම තමයි. එදා බිතු සිතුවම් කියා නම් කරන්නට උත්තර දිසාවෝ පෙනෙන්නට නොසිටියෝය. "ඔබයි රම්‍ය සඳ කිරණ" යි කියන්නට ද කවුරුත් සිටියේ නැත. නොසිතූ, නොපැතූ මොහොතක හදිසියේ නෙළුම් මල් දියෙන් මතු වූයේ ද නැත. ඒ තරමට ඒ වතුර කුණු ඕජස් ගලන විස පිරුණේ විය. ඔවුහු උඩ බලාගෙන ගමන් කරන්නට වූහ. උසම ගොඩ ගොඩනැගිලි මුදුන්වල ඔවුන්ගේ සිහින කැදලි ඉදිව තිබිණි. සිතින් ඔවුහු ඒවායේ බිජු ලෑහ. හැබෑවටම එහි යාමට පිය ගැට පෙළවල් හා විදුලි සෝපාන සොය සොයා දිව ගියෝය. මගේ පෑන ගිලිහී වැටුණේ ඔය අතරෙදීය. යළි අහුලාගෙන ලියන්නට බැලුවද පෑනේ ලේඬියා ගොස් තිබිණි. සෙරෙප්පුවක උළා බැලුව ද එය ලියැවුණේ තීන්ත කැටි ගැසෙමිනි.

*******

මිනිය වටා මැස්සෝ කීප දෙනෙක් කරකැවෙති. එක් මැස්සෙක් පියාඹා විත් නළල මත ඈඳි ගනියි. සුදු හාමිනේ පත්තර පිටුවක් ගෙන් උන් එළවා දමන්නිය.

*******

නිල මැස්සෝ විවිධ දුෂ්කරතා රැගෙන මා ජීවිතය මත වැසුවෝය. විභාගය අසමර්ථ වීමෙන් මහපොළ කපා දැමිනි. අත නොපා ජීවත් වීමට තිබූ එකම සරණද ඉන් නැතිව ගියේ. මිල මුදල් අවශ්‍යතා වෙනදාට වඩා හිතවත්ව අසලම කැරකෙන්නට විය. බඩගින්න ඉවසිය නොහැකි දවස බඩ බොකු කපා එම්බාම් කෙරුවද සඳුන් රුකක් වූයේ නැත. සිඳිත මඬිත ඉන් තව තවත් කුණු ජරාවම ගලා එන්නට විය. අත මිට මෙළවුණේ සඳුන් හරයක් අතේ ගුළි වූ නිසා නොවේ. තරහටය. මා සමඟම ඇති වූ තරහටය.

කොළඹින් ආ යහළුවො ආචාර කරති. ඔවුන්ගේ මුහුනු ශෝකයෙන් භරිත වී ඇත. ඇඟිල්ලෙන් ඇන්නා නම් ඇස් පුපුරා කඳුළු පනිනු ඇත.

*******

ඉස්සර අපිද යහළුවකුගේ මළ ගෙදර ගියෙමු. මියගොස් සිටියෝ යාළුවා ගේ මෑණියෝය. කුලියට ගත් බස් රියෙන් අපි පිටත් වීමු. මුලින් සිහින් ගී හඬින් ඇරැඹි ගායනාව පසුව බජව් සාජ්ජයක් විය. මළ ගෙදර ළං වත්ම අපි මුහුණු මත මල් වඩම් ලා ගත්තෙමු. සාතිෂය සංවේගය මිදුල අයිනේ ඉහළින්ම එල්ලුවෙමු.

*******

පාංසකූලයට හාමුදුරුවෝ වඩිති. අම්මා පොළොවේ හැපි හැපි විලාප තබයි. "බලන්න ලොකු හාමුදුරුවනේ මට උන්න එකම කොල්ලා මට නැතිවුණා..."

*******

"අනේ සර්... මං බැච් මිස් වෙලා!"
එදා පීඨාධිපති ඉදිරියේ මා දුක් ගැනවිල්ල ඇරැඹුවේ එලෙසිනි.
"අයිසේ විභාග තියෙන්නෙ ලියන්න. ෆේල් වෙනව නැත්නම් පාස්වෙනවා."
ඔහු පළපුරුද්දෙන්ම, පැමිණෙන විලාසයෙන්ම රෝගියා හඳුනා ගෙන තිබිණි. මේසය දෙසම බලාගෙන ප්‍රතිකාරය දමා ගැසුවේ ඒ ආකාරයටය.
"සර් ඒකෙන් මහපොළත් කැපිල සර්"
ඉදිරියේ තබා ඇති ඊයම් බරුව සේම විය ඔහුත්. ඒ හිත තැබූ තැනමය. සියලු බලාපොරොත්තු පා වී ගිය පසු පිය ගැට පෙළ බැස නේවාසිකාගාරයට පැමිණියෙමි.

*******

දවුල් හඬ අතරේ දේහය දර සෑයේ දැවෙයි. ඉතිරි වූ අවසාන රූප කායෝ සෑය මුදුනින් අවකාශයට එකතුවෙත්.

*******

නේවාසිකාගාර කාමරෙයි ඇඳ මත වාඩි වෙද්දී බොහෝ මුහුණු බිත්ති මත ඇඳී තිබිණි. අයෙක් ඔලොක්කුවට සිනාසුනහ. "දැන් ඉතින්... ගෙදර පලයන්..." "ෆේල් නේ?..." ෆේල්..ෆේල්..ෆේල්..ෆේල්...ෆේල්..ෆේල්..." ආර්ථිකයට, අපහාසයට, උපහාසයට අධිපති යක්ෂයෝ මට වස කුප්පියේ මූඩියේ ඇර දුන්නෝය. මම එය කටට හළා ගතිමි.

*******

මරණයේ කටයුතු අවසානයේ අල්ලපු ගෙදර රංසි අක්කා අම්මාගේ අත අල්ලාගෙන හද පත්ලෙන් නැගෙන ශෝකය ප්‍රකාශ කොට සමුගෙන යයි. මගේ සිත ඇයට නොදැනෙන සේ ඈ පසුපස ගමන් කරයි. ඈ නැවතුනේ පින් ළිඳ ළඟය.

"මරණ ගෙදර ගිහින් වගේ"
"මදැයි දොස්තරලා කොරා"
" විභාගේ පේල් වෙලා වහ බීලලු... එහෙ ඉඳන් ආපු මහත්තැන් කෙනෙක් කිව්වෙ..."
"කොරන්න බැරි මළ ඉලව් මොකට ගියාද බං..අපි වගේ වත්තෙ පිටියෙ වැඩක් බලං හිටියනං අහවරනේ."
"දැන් මහ අම්මණ්ඩිගේ රැස්පොට් බහීවී."

*******

මාස දෙකකට පසු මා සිත කොළඹ යයි. දැන් මා සිටින්නේ සරසවිය තුළය. එදා සරසවියමය එය. කිසිවක්, කිසිවෙක්, කිසිලෙසකින්වත් වෙනස් වී නැත. සරසවිය අලුත් ඇඳුම් ඇඳ මේ සැරසෙන්නේ අනිද්දා පැවැත්වෙන ගොයින් ඩවුන් නයිට් එකකට ලු. සියලු ශිෂ්‍යයෝ සුපුරුදු පරිදි උඩ බලාගෙන ඇවිදිති. සිත නේවාසිකාගාරයේ මගේ කාමරයට පිවිසෙයි. සුගත්, මගේ කාමර සගයා පොත තුළ හිස ඔබාගත් පරිදිමය. මගේ මේසයට අලුතින් ළමයෙක් පැමිණ තිබේ. මා ඔහු හඳුනන්නේ නැත.මගේ ස්වල්ප වූ විද්‍යාව පොත් කිහිපය හා ගත හැකි උපකරණ මිතුරන් විසින් බෙදා ගනු ලැබ තිබේ. මා මහාර්ඝ වස්තු කොට සළකා රැක ගත් කවි පොත් මගේ ඇඳ ඇතිරිලි සමඟ ගිනිබත් කර තිබේ. බිත්තියේ ගසා තිබූ කපුගේ ගේ පින්තූරය ගලවා දමා හිපොක්‍රටීස් එහි එල්ලා තිබේ. වෛද්‍ය විද්‍යා පින්තූර වලින්ම විභූෂිත වූ එම බිත්ති අයත් කාමරය දැන් නම් වෛද්‍යවරයෙකුගේමය. මා විසින් ආදර්ශ පාඨයක් සේ බිත්තියේ ලියා තබන ලද රත්න ශ්‍රී ගේ කවියක කැබැල්ලක් නොමැකිය හැකි නිසාම තාම ජීවත් වේ. "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය - කටු පොකුර සිපගන්න හෙට මලක් වනු පිණිස"

*******

"අයියෙ, අද ලයිට් එන්නෙ නැතුව වගෙයි. මෙන්න ඉටිපන්දමක්."

ලොකු නංගී මා අතට ඉටිපන්දමක් දී ගිනි කූරක් ගැසීය. කාමරයේ ගන කළුව දිය වී යයි. මම ඉටිපන්දම නොනිමෙන සේ පරිස්සමෙන් ගෙන ගොස් මේසය මත ගැසුවෙමි. ලාච්චුවේ දමාගෙන හුන් වස කුප්පිය අතේ ගුළි කරගෙන පිළිකන්නට ගිය මම කිසිවෙකුට නොදැනෙන සේ බිමට හැළුවෙමි.

ගැමුණු පී. දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails