Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ වගේම හැන්දෑවක්
ගණ කළුවර වෙළා ගෙන තිබුණු
ඔද්දල් වුණු
හිතත් පොදි බැඳන්
ගිය මංපෙත් දිහාවේ
ආයෙමත් මං ගියා
කළුවර ඇහිදින්න
තිත්තම තිත්ත කළුවර
පිටි පැහියට පුරෝගෙන
කන්දක් තරමට
හිතට ගොඩ වුණු සිතුවිළි අහුරු
හිතේ හැපි හැපී
රිදි රිදී වද දිදී එන
කළුවර තරු ඇහිදින්න.

කණමැදිරි එළියක්වත් උන්නෙ නෑ
පාර කියන්න
තනිවට අත් අල්ලන්න
කළුවරම විතරයි ඇඟේ හැපුණේ
සීතලේ වුණත්
උණුසුමට දැණුනෙත්.

උන් හිටි හැටියෙම
කළුම කළු මහා සෙවණැල්ලක්
ඇවිදින් හිතේ හැප්පෙන කොට
මං හිටියෙ
අඳුරු විලක
පූදින කළු නෙළුමක් දිහා බලාගෙන
හරියටම කඩුපුලක් පීදෙන ගානට
තව්තිසාවෙ කියලා හිත හදා ගෙන

කිරිල්ලියක් තටු බිඳුණ
ඉහළ ගං දිහාවෙන්
පියාඹා අවුත්
ගිමන් හරින්නෙත් එතැනම
සිළිලාර මඳ සුළඟ පිස හමන
හඬක්
බොල් හඬක් වී
දැදුරු කරන කොට දෙසවනම
දරා ඉන්නේ කොහොම ද?
සමණළ කන්දත් දෙදරන්න ඇති.

කුණාටු සුළං රැළි
ගසා, ගෙන එන
විසුල මල් පෙති පවා
පාගා දමා
ඇබින්දක් ඇරුණු ඇසත් වසා
විඩාබර මුහුණ කොහොම දකින්නද
වෙන කෙනෙක් නම්!

හිරු ගිලුණු රෑ මද්දහන
තරවටු කරනවත් ඇහෙද්දී
ගී ගඟුල් කී කතා
ඔහේ පා වුණා කඳුවැටියෙන් එහාට
මං බලා ගෙන.
පිසාචයින් යක්ෂයින්
හාදු පුදන හැටිත් හරි පුදුමයි
හිස ඔසවන්නට බැරි
ගණ අඳුරට
අහක බලා ගෙන.

ආපහු එද්දි
අවපැහැ වුණු
මගේ සීතල දෙණ තිබුණෙ
සාලෙ
මලසුන මත පිරිත් පැන් වීදුරුවක්
නිවුණු මැටි පහනත්
පර වෙන්න දඟළන මල් පොකුරක්
අසළින් කඳුළු කිණිත්තක්.

ජීවිතේම ඉර නොදකින
කළුවරටම ඇස් හුරු වුණු
හිතකට උරුම
කළුවරම විතරක් නෙමෙයි ද?
ඇහුවෙ නෑ මං
කාගෙන්වත්!

03.11.2010

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails