
මගේ පොත් තුන විකිණුනාද? නැත්තම් පොත් තුන එවපන්... විකිණුනා නම් සල්ලි එවපන්.
-මිතුරු කවියෙකුගේ කෙටි පණිවිඩයක්-
ගම ඔබේ ඈතය
පොත් තුනමයි තිබුණේ
දන්න ළඟ අහලක
අමිල මිණි ලෙස හැඟුනෙනි
වඩම්මන් ආවේ නොතකා නේක කරදර
ඔබේ කවි ඇති කළ මා අත
හිතුනා ගජ පෝසතකු බව මම
ඒත් කොටලා තිබුණා
හෙන අඩු මිලක් කවරයේ
පොත් තුනම විකුණා
පාන් ගෙඩි නමයක් ගත හැකි
සියල්ල මිල වෙතැයි
විකිනෙතැයි
කට කහන්නේ නැති
ඔබේ ඉටු දෙවියා
කියා ඇත්තේ නිකමට ද
බය වුණාවද ඔබ
බොරු කළා යැයි මම
මාක්ස්ගේ දේව වාක්කිය
සියල්ල මිලැයි
එස්.එම්.එස් සත තිස් තුනයි
කෝල් නම් අනතුරු සහිතයි
කවියන්ට ඇමතීම අලාභයි
කාල් මාක්ස් ද ?
කියා දුන්නේ ඔබට
මේ සා සූක්ෂම ගණිතය
බස් ටිකට්, කෝල් චාජස්
ප්ලේන් ටී බිල්, ෆෙන්ඞ්ෂිප්, ප්ලස් වැට්
කාලය ෆී්ර ඔෆ් චාජස්
පැකේජේ නම රන්වන්
පෙරළා දාස් කැපිටාල මහ පොත
එ’ගුරු සිත නොතලා
අමිල හැම දේ මිල කර
සකසා හර බැර ගිණුම තිතටම
මුද්දර ද අලවා
නොමිලේ ම දෙන කෙල සමඟ
තැපැල් කර එවනෙමි පොත් තුන
කෝටි ගාණක්
ළඟම කන්තෝරුවට ගෙවා
පුලූවනි ඔබට
ගෙදර අරගෙන යන්නට
ඉසුරු ප්රසංග



