Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සෝමලතා සුබසිංහගේ ලංකා ළමා හා යොවුන් රඟහල පදනම (LCYTE) පස්වන වරටත් යොවුන් ප්‍රේක්ෂකාගාරය සඳහා ඉදිරිපත් කරන නාට්‍ය උළෙල 2010 දෙසැම්බර් මස 3 - 5 දක්වා ප.ව. 3.30ට හා 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ දී පැවැත්වේ. දෙසැම්බර් 03 සෝමලතා සුබසිංහගේ විකෘති නාට්‍යයත්, දෙසැ. 04 නාමල් ජයසිංහගේ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයත්, දෙසැ. 05 කෞශල්‍යා ප්‍රනාන්දුගේ සඳ ළඟ මරණය නාට්‍යයත් වේදිකාගත වේ.

සංස්කෘතික විඳීම සහ නාට්‍යය යන තේමාව මූලික කරගෙන නාට්‍ය උළෙල නිමිත්තෙන් කෙරුණු සංවාදයට කෞශල්‍යා ප්‍රනාන්දු, නාමල් ජයසිංහ සහ චන්දන අලුත්ගේ සහභාගි වූහ.

• මිනිස්සුන්ගෙ සංස්කෘතික විඳීම ඇතුළෙ නාට්‍ය නමැති ප්‍රභේදය කේන්ද්‍රගතවන්නේ කොතැනද?

නාමල් : නාට්‍ය කියන්නේ සමාජයේ මුල ඉඳලම විවිධ ස්වරූපයෙන් පැවති දෙයක්. ඒ විතරක් නෙමෙයි අද වන විට නාට්‍ය කියන එක තවත් මාධ්‍ය කිහිපයක් ඇතුලෙ සංකේන්ද්‍රණයවෙලා තියෙනවා. චිත්‍රපටය, ටෙලිනාට්‍ය වැනි තත්ත්වයන් ඒ අතර ප්‍රධානයි. කෙසේ වෙතත් නාට්‍ය කලාව මුල් කාලීනව පැවතුණේ ජනකලාව ජනශ්‍රැතිය අතර ඓන්ද්‍රීයව බද්ධ වෙමින්. එය අද වන විට එතැනින් ගැලවිලා හතරැස් රාමුවක් තුළට ඇවිත් තියෙනවා. යුරෝපීය නාට්‍ය කලාවේ ආභාසය මේ කෙරේ ප්‍රමුඛ වශයෙන් බලපෑවා වෙන්න පුළුවන්.

• නාට්‍ය කියන කලාත්මක උපව්‍යුහය ඇතුළෙ තියෙන සංස්කෘතිකමය කාර්යභාරය මොකක්ද? එකී කාර්ය භාරයන් ඉටුකර ගැනීමේ දී සෙසු කලාංගයන්ට වඩා නාට්‍ය කලාව දක්වන භව්‍යතා සහ සීමාවන් මොනවාද?


චන්දන


චන්දන : ප්‍රධාන වශයෙන් නාට්‍ය කලාව කියන එක සමාජ කලාවේ උපාංගයක් කියන විදිහට මම දකින්නේ නෑ. මම හිතනවිදියට නාට්‍ය කියන්නේ මහා කලා සම්ප්‍රදායටම අයත් තවත් කොටසක්. ඒ තුළ වෙනමම ගොඩ නැඟුණු සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායක් තියෙනවා. සංස්කෘත නාට්‍ය සහ ග්‍රීක නාට්‍ය අයිති වන්නේ ඒ අතරට. නමුත් වර්තමානයේ එන නාට්‍ය විවිධාකාරයෙන් විකාශනය වෙමින් පැවතිලා නූතනීකරණයට ලක්වුණු එකක්.

මං හිතනවිදිහට නාට්‍ය කියන්නෙ වෙන මොකුත් නෙවෙයි අපේ චින්තනය. අපි අවට තිබෙන අපි එදිනෙදා අත්විඳින ප්‍රශ්න දිහා අපි බලන්නේ කොහොමද ඒවා අපි විශ්ලේෂණය කරන්නේ කොහොමද සහ අන් අයට ඒවා අවබෝධ කරවන්නේ කොහොමද කියන කරුණු ඇතුළෙ තමයි නාට්‍ය කලාව ව්‍යුහගත වෙන්නෙ.

නාට්‍යයේ තියෙන අනෙක් විශේෂත්වය තමයි මේ සඳහා සෙසු කලා ශිල්පයන් සියල්ලම පාහේ පාදක කර ගැනීමට පුළුවන්කම තිබීම. ඒ අනුව නාට්‍ය නම් කලාව තුළ අපගේ දර්ශනය ඉදිරිපත් කිරීමේ හැකියාව වැඩි වශයෙන් රඳා පවතිනවා කියලා කියන්න පුළුවන්.

උදාහරණයක් විදිහට අපි ළමා නාට්‍යයක් නිෂ්පාදනය කරනවානම්, ඒ නාට්‍ය තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා කුඩා ළමයකුට නර්තනය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. චිත්‍රය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. සංගීතය කියන මහා සම්ප්‍රදාය හඳුන්වා දෙන්න. ඒ නිසා නාට්‍ය කියන මාර්ගය එක් අතකින් අතිවිශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් වනවා සේම තවත් අතකින් නාට්‍යයේ කාර්යභාරය ඉතාමත් පුළුල් එකක්.


නාමල්


නාමල්: ඒ කරුණටම තවත් දෙයක් එකතු කරනවානම්, නාට්‍ය කියන කලාව ඇතුළෙ මම දකින තවත් විශේෂ ගුණයක් තියෙනවා. ඒ තමයි යම් කිසි දේශපාලනික ව්‍යුහයක් ඇතුළෙ අපිට යම් කිසි දෙයක් කීමේ පළක් නැතැයි කියලා හිතෙන තත්ත්වයකදී හෝ නැවත යහපත් තත්ත්වයක් ගොඩ නැගිය නොහැකියි කියලා හිතෙන තත්ත්වයක් තුළ දී හෝ එම ව්‍යුහය වෙනස් කළ හැකියි කියන විශ්වාසය මිනිසා තුළ ගොඩනැගිය හැකි ගාමක බලවේගයක් ලෙස වේදිකා නාට්‍ය ක්‍රියාත්මක වීම.

කෞශල්‍යා: වේදිකා නාට්‍ය ක්‍රියාවලියක් ඇතුළෙ තියෙන තව වැදගත්කමක් තමයි මේ තුළ නාට්‍ය ශිල්පියා සහ ප්‍රේක්ෂකයා අතර සජීවී සාමුහික හමුවීමක් ගොඩනැඟීම. සිනමාව සහ ටෙලිනාට්‍ය කියන කලාවන් ගත්තාම එතුළ තියෙන්නෙ කලින් නිර්මාණය කරන ලද කලාවක්. අනෙක් අතට ඒක එක එක ප්‍රේක්ෂකයා නරඹන්නෙ එක එක වෙලාවන්ට වෙන්නත් පුළුවන්. නමුත් මෙතන එහෙම නෑ. මෙතන වේදිකාවයි නාට්‍යයි අතර මායාකාරී බැඳීමක් තියෙනවා.

මේ තත්ත්වය ඉතා පැහැදිලිව අත්විඳින්න ලැබුණු තැනක් තමයි යොවුන් නාට්‍ය උළෙල. මෙවර පැවැත්වුණු යොවුන් නාට්‍ය උළෙල ගත්තාම එතනදි තරුණ නාට්‍යකරුවන් කථා කළේ මේ වේලාවේ ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව. මොකද තාරුණ්‍ය කියන එක මේ වෙලාවේ ඉන්නෙ වික්ෂිප්ත අසරණතාවයකින්නෙ ඇත්තටම. රට හදන්න අවංක චේතනාවක් තියෙන පුද්ගලයකු මේ නාට්‍යය බැලුවොතින් ඔවුන්ට වර්තමාන සමාජ දේශපාලනික ගැටලු රැසක් ඒ තුළින් ග්‍රහණය කරගන්න පුළුවන්.

මෙවර යොවුන් නාට්‍ය තුළ ප්‍රධාන වශයෙන් විවේචනය වුණේ වත්මන් දේශපාලන ක්‍රමය, ආරක්ෂක අංශ, පන්සල වගේ දේවල්. ඒ වුණත් මේ තුළ ඔවුන්ගේ ප්‍රකාශ වාරණයට ලක් වුණේ නෑ.

නාමල් : ඇත්තටම එතනදි කියන්න ඕනෙ දෙයක් තමයි ඔවුන්ගේ නිර්මාණ වාරණයට ලක් වුණේ නෑ කියනවාට වඩා මේ තරුණ නාට්‍යකරුවන් එවැනි සමාජ විචාරයන් තුළ දී ඉතා උපක්‍රමශීලී ලෙස තම විවේචන මුදා හරින්න සමත් වෙලා තිබුණ කියන එක.

• අද වන විට නාට්‍ය ප්‍රේක්ෂකාගාරය තුළ සිදුවෙලා තියෙන වෙනස්වීම් මොනවාද?

කෞශල්‍යා: මං හිතන විදිහට අද වන විට ප්‍රේක්ෂකාගාරයේ කිසියම් පැහැදිලි වෙනස්කමක් සිදුවෙලා තියෙනවා. යම් කිසි විදිහකට පසුගිය දිනවල තිබුණු ආරක්ෂක හේතූන් නිසා නාට්‍ය බැලීම පසෙකට තබා තිබූ බොහෝ පිරිස් නැවතත් නාට්‍ය කරා යොමුවෙලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ පසුගිය අවුරුදු කිහිපය තුළ සීමාවෙලා තිබුණු ප්‍රේක්ෂකාගාරය නැවත පුළුල් වෙන්න පටන්ගෙන තිබෙනවා. අද වන විට ජනප්‍රිය නාට්‍ය සඳහා එන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාව ඉතා විශාලයි.

නාමල්: මම කලින් කිවුවා වගේ අද වන විට වේදිකා නාට්‍ය කියන කලාව වෙනත් විෂයන් රාශියක් ඇතුළෙ ව්‍යාප්ත වෙලා ඉවරයි. අද වන විට ඒ විෂයන් රාශිය අතර ඇති එක් අග්‍ර කොටසක් විතරයි නාට්‍ය කියන එක. ඒ මොනවා වුණත් මං හිතන්නෙ නෑ නාට්‍ය බලන ප්‍රේක්ෂකයින්ගේ අඩුවීමක් හරි වැඩිවීමක්හරි ඇතිවෙලා තියෙනවා කියලා.

චන්දන: ජනප්‍රිය නාට්‍යය තිබුණු ප්‍රේක්ෂකාගාරය කවදත් එක සමානව තිබුණා. නමුත් අපේ ප්‍රේක්ෂකාගාරය මීට වඩා තරමක් වෙනස්. මම ළඟදි කියවපු ලිපියක තිබුණු දෙයක් තමයි සාමාන්‍ය වශයෙන් නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් අවුරුදු තුනකින් තුනකට වෙනස් වෙනවා කියන එක. අද ළමා නාට්‍ය ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ප්‍රේක්ෂකයින් තව අවුරුදු කිහිපයකින් යොවුන් සහ වැඩිහිටි නාට්‍ය ප්‍රේක්ෂකාගාර වෙත ඇදෙනවා. එතකොට අලුත් ප්‍රේක්ෂකාගාරයක් ගොඩනැගෙනවා. ළමා නාට්‍ය සඳහා.

• ලංකාව වගේ රටක් ගත්තාම බොහෝ විට නාට්‍ය ගොඩනැගෙන්නෙ තනි පුද්ගල ව්‍යාපෘතියක් විදිහටනෙ. නමුත් තවත් රටවල් ගත්තාම තත්ත්වය ඊට වඩා වෙනස්. මේ අභියෝගය නාට්‍යකරුවන් විදිහට දැනෙන්නෙ කොහොමද?

නාමල්: අපිට පුරුදු අදහසක් තමයි මේ දේවල් රජය විසින් ඉටු කෙරෙන්නෙ නෑ කියන එක. නමුත් අපිට කලින් හිටපු නාට්‍යකරුවන් පවා නාට්‍ය නිෂ්පාදනය කළේ ඉතා ස්වාධීනව. ඔවුනුත් රජයත් එක්ක කටයුතු කළේ නෑ. ඒ නිසා මේ දේවල් රජයෙන් කරයි කියලා ඉන්නවාට වඩා අපි කරන්න ඕනෙ අපිට පුළුවන් විදිහට.

සෝමලතා සුබසිංහ මහත්මිය මේ ආයතනය පටන් ගනිද්දි කියූ දෙයක් තමයි, මං කළේ රස්තියාදුකාරයින් පිරිසක් එකතු කරගෙන ඔවුන්ව නිර්මාණකරනයට යොමු කරලා ඔවුන් හිරේ යැවීමෙන් වැළැක්වීම කියලා. මා ඒ නිසා නාට්‍ය කරන්න ඉදිරිපත් වන රස්තියාදුකාරයින්ට පුළුවන් කම තියෙන්න ඕනෙ ඕනම කට්ටක් කාලා මේක ඉස්සරහට ගෙනියන්න. එයින් අදහස් වෙන්නෙ නෑ ජනතාවගෙන් බදුගන්න රජය මේ දේවල් නොකර මඟහැරිය යුතුයි කියලා.


කෞශල්‍යා


කෞශල්‍යා: අද නාට්‍යකරුවන් ඉදිරියේ තියෙන්නෙ අති විශාල අභියෝගයක්. අපි නාට්‍ය පුහුණු ආයතන පිහිටුවලා තරුණ ශිල්පීන්ට යම් කිසි තල්ලුවක් ලබා දෙනවා තමයි. නමුත් තමන්ගේ ඉඩම විකුණලා නාට්‍යයක් කරන මිනිස්සුත් මේ අතර ඉන්නවා. අපි වුණත් විවිධ කලකිරීම් හමුවේ මේ කලාව අත් නොහැර රැඳී ඉන්නේ මේ තරුණ රස්තියාදුකාර පිරිස නාට්‍ය කලාව වෙනුවෙන් ගන්න උත්සාහය නිසා. ඇත්තටම ඒ උත්සාහය දැක්කාම අපිට වුණත් ආශාවක් ඇතිවෙනවා මේක අත් නොහැර ඉන්න. නාමල් සහ ප්‍රසන්න එකතුවෙලා කළ ග්ලැඩියේටර් ප්‍රේමය නාට්‍යයත් එවැනි වෑයමක ප්‍රතිඵලයක්. මේ නාට්‍යයත් එක්ක වැඩ කරන තරුණ තරුණියන් වැඩ කළේ තමන් ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් වෙනව වගේ තියුණු කැපවීමකින්.

• පස්වන වතාවටත් පවත්වන්න නියමිත Colombo Theatre Festivalහි මෙවර තේමාව මොකක්ද?

චන්දන: ඇත්තටම අපි මේ නාට්‍ය උත්සවයේ නම තරමක් වෙනස් කළා. Colombo Theatre Festival for Young Adults කියලා. නමුත් අපි මේ උළෙල මෙතෙක් කල් ගෙනාවේ Colombo Theater Festival for Yong Audience කියලා. නමුත් එතනදි ඉතා කුඩා වයසේ ළමයි පවා අයිති වන නිසා අපි ඒක වෙනස් කළා. මොකද මෙවර අපි පවත්වන නාට්‍ය සියල්ලම වැදගත් වෙන්නෙ තරුණ පිරිස්වලට. මේවායේ විශේෂයෙන් කථාකෙරෙන්නෙත් තරුණ ප්‍රශ්න ගැන. අනෙක් අතට මෙවර පැවැත්වීමට නියමිත නාට්‍ය තුනෙන් දෙකකම අධ්‍යක‍ෂවරු තරුණ අය. ඇත්තටම මේ උළෙල පැවැත්වීමේ මූලික අරමුණ තරුණ නාට්‍යකරුවන්ට තම දක්ෂතා ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධ වේදිකාවක් තනා දීම.

• මෙවර පැවැත්වීමට නියමිත 'විකෘති' 'ග්ලැඩියේටර් ප්‍රේමය' සහ 'සඳ ළඟ මරණය' කියන නාට්‍ය තුනෙන් ඔබ මොනවාද කථා කරන්න උත්සාහ කරන්නෙ?

නාමල්: ග්ලැඩියේටර් ප්‍රේමය කියන නාට්‍ය ගත්තාම ඒකෙදි මූලික වශයෙන් කථා කෙරෙන්නේ මනුෂ්‍ය ප්‍රේමය පිළිබඳව. කෝට්ටේ රංගපීඨය තුළ කළ වැඩමුළුවකදී දහදෙනෙක් විතර පිරිසක් එකතුවෙලා ලියපු නාට්‍ය පිටපතක් තමයි මේ නාට්‍යයට පදනම් වෙන්නෙ. ඒකෙ තියෙන්නේ මේ රටේ වර්තමාන තරුණ පරම්පරාව තුළ තියෙන සමහර අදහස්. ඔවුන් අත්විඳින ඇතැම් ප්‍රශ්න. පෙළීම් හා ආශාවන් පිළිබඳව. මනුෂ්‍ය ප්‍රේමයට අමතරව ඒ ප්‍රේමය පවත්වාගෙන යද්දි තරුණයන් මුහුණදෙන සමාජ දේශපාලන කරුණු කාරණා රාශියක් නාට්‍යයේ යටි පෙළින් කථා කෙරෙනවා.


චන්දන: විකෘති නාට්‍ය ගත්තාම ඒ තුළ නිරූපණය වන්නේ ලංකාවේ තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය තුළ අත්විඳින සංකීර්ණ ප්‍රශ්නයන් පිළිබඳව. අනෙක් අතට සඳ ළඟ මරණය කථා කරන්නේ ආදරය දරිද්‍රතාව සහ සමාජය තුළ පවතින යම් යම් සම්ප්‍රදායන් මතිමතාන්තර හේතුවෙන් තරුණ අයට මුහුණ පාන්න සිදුවන දුෂ්කරතා මොනවාද කියන එක. එය ස්පාඤ්ඤ නාට්‍යකරු ගාර්ෂියා ලෝකාගේ Blood Wedding නාට්‍යයේ පරිවර්තනයක්.

ඡායා - රංජිත් අසංක
[රාවය- 2010.11.28]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails