Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



The Alchemist කතෘ Paulo Coelho සමග මෙම සංවාදය 1995 ඔක්තෝබර් 14 දින Futurist Radio Hour ගුවන්විදුලි නාළිකාව වෙනුවෙන් Stephen Capen විසින් මෙහෙයවන ලද්දකි. The Economist සඟරාවට අනුව ලතින් ඇමරිකානු ග්‍රන්ථ කතෘවරුන් අතරින් කොලොම්බියානු ජාතික ලේඛක ගබිරියෙල් ගාෂියා මාකේස් ට පසු වැඩියෙන්ම ජනාදරයට පත්වන්නේ පාවුලෝ කොයියෝයි. මෙම රසවත් සංවාදය පටිගත කෙරෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝවේ අවන්හලකදි. රිදී පිඟන් ගැටෙන සියුම් හඬ හා සොඳුරු සංවාද වල හඬ අවට පරිසරය පුරවාලයි.

Coelho- ඉතිං, හැත්තෑව දශකයේ මුල්ම හරියෙන් පස්සේ මම සැන් ෆ්‍රැන්සිස්කෝවට ආවා මුල්ම වතාව. මං හිපියෙක් විදිහට ඇමරිකාව හරහා සංචාරය කරමින් හිටියේ. පටන් ගන්නකොට ඩොලර් දෙසීයක් මගේ සාක්කුවේ තිබුණට-

මෙක්සිකෝ සිටි වලට එද්දි එකම එක ඩොලරයයි ඉතිරි වෙලා තිබුණේ. මට ඉංග්‍රීසි වචනයක් වත් කතාකරගන්න බැරි නිසා ඒ කාලේ ඒක හරිම පුදුමාකාර අත්දැකීමක් වුණා. ඒත් තරුණ පිරිස් අතරේ පුදුමාකාර සහයෝගයක් තිබුණා. ඉතිං ප්‍රශ්ණයක් නැතුව සෑහෙන දුරක් ගිහිං මේ රට තරණය කරන්න මට පුළුවන් වුණා. ඒක තමයි කතාව.

Capen- ඔබ ලිවීම ඇරඹුවේ කොයි කාලෙද? ඔබව ලේඛකයෙක් වෙන්න දිරිමත් කළ හේතුව මොකද්ද?

Coelho- හැමදාම මගේ හීන වෙලා තිබුණේ ලේඛ‍කයෙක් වෙන එක තමයි. ඒත් මං ඒක අම්මට කිව්වහම අම්මා කිව්වේ "අනිවාර්යෙන්ම ඔයාට ඒක කරන්න පුළුවන්. ඒත් මුලින්ම ඔයා නීති විද්‍යාලයට ගිහිං නීතිඥයෙක් වෙන්න ඕන. ඊළඟට ඉතිං නිකං ඉන්න වෙලාවට ඇතිතරම් ලියන්න පුළුවන්" කියලා. මම ඇත්තටම එහෙම කළා. මොකද සමහර වෙලාවට අපිට අපේ අනාගතය අනාරක්ෂිත බවක් හිතට දැනෙනවා. ඒත් ඊළඟට හිපි පරම්පරාව ඇතිවුණා. හැමදේම අත්ඇරලා මගේ සිහිනය සැබෑ කරගන්න කාලය යොදන්න ඒක මට ශක්තිය දුන්නා.

මං 1986 වනතුරුම පොත් ලිව්වේ නැහැ. මගේ මුල්ම පොත වුණේ "The Pilgrimage"... ඒකෙන් පස්සේ මම දිගටම ලිව්වා. රූපවාහිනියට, පත්තර වලට වගේම රොක් සිංදු වලට පදරචනයත් කළා. ඒවා බ්‍රසීලයේ ගොඩාක් ප්‍රසිද්ධත් වුණා. ඒත් ‍මගේ මුල්ම පොත ලියවෙද්දි මගේ වයස තිස් අටයි. දැන් මට හතලිස් අටක් වෙනවා.

Capen- ඔබව ලිවීමට පොළඹවන දෙය, ඔබ ලිවීමෙන් ලබාගන්න උත්සාහ කරන දේ මොකක්ද?

Coelho- ඇත්තටම කිව්වොත් මම මගේ පාඨකයන් ‍එක්ක මගේ ඇතුලාන්තය බෙදාගන්න උත්සාහ කරනවා. සරලවම කිව්වොත් මගේ අධ්‍යාත්මික ඇතුලාන්තය. මට උගන්වන්න දෙයක් නැහැ. මේ විශ්වය ගැන විස්තර කරන්න දෙයක් නැහැ. විශ්වය ගැන කෙරෙන පැහැදිලි කිරීම් මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඇත්තටම මට බෙදාහදාගන්න දෙයක් තියෙනවා. ඒ මේ අමුතු, අමාරු මාවත මම අත්දකින හැටි.

"The Pilgrimage" තුළින් කියවෙන්නේ Santiago Del Compostellaවට ගිය මගේම ගමන. මම ප්‍රංශයේ සිට ස්පාඤ්ඤයට ඇවිද්දා දවස් පනස් හයකින්. එයින් කියවෙන්නේ ඒ පූජනීය වූ ඓතිහාසික මාවත දිගේ ගෙවුණ මගේම චාරිකාව.

අපේම සිහිනයන් ලුහුබඳින්න තියෙන අවශ්‍යතාව ගැන The Alchemist කියනවා. The Valkyries මඟින් මම උත්සාහ කළේ මගේ බිරිඳ සමඟ මුජාවේ (Mojave) කාන්තාරයේ ගත කෙරුණු දින හතලිහ පිළිබඳව අත්දැකීම බෙදාගන්න. ඒ පොත ලොව පුරාම පිටපත් මිලියන දහයකටත් වඩා අලෙවි වීම මාව පුදුමයට පත්කළා. තවම ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා නැති සමහර පොත් තියෙනවා. ඒත් මේ දේවල් බෙදාගනිද්දි මම තේරුම් ගත්තා මම තනිවෙලා නැතිබව. මගේ අදහස්,ජීවතය අර්ථවත් කරන්න මට සමාන ජිවන දැක්මක් සහිත තවත් මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ ලෝකෙ ඉන්න බවට.

Capen- ඔබ කිව්ව ඒ වචනවල කිසියම් හිස්බවක් තියෙනවා කියලා ඔබ හිතනවද? මේ ලෝකේ තියෙන කිසියම් අධ්‍යාත්මික සම්බන්ධතාවයක් ගැන....?

Coelho- මම හිතන්නේ ආධ්‍යාත්මික මාවතේ ඇති වැදගත්කම අපිට දැනෙන්න ඇරඹිලා තියෙන්නේ. අපි අප පිළිබඳවම අවධානය යොමුකිරීමෙන් ඒ දේ සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. ගෙවන සෑම දිනයකම මේ ලෝකාත්මය [soul of the world] සමඟ අපි සබඳතා ඇති කරගන්නවා. අපිට ඒ භාෂාව දැනෙනවා. ඒ ලැබෙන සංඥා අපිට එල්ලවුණු අක්ෂර හෝඩියක් වගේ. ඒ විශේෂිත දිනය තරණය කරන්න, අපි වැරදි කරන්න බයවුණේ නැත්තං අපිට ලැබෙන සංඥා, අනතුරු ඇඟවීම් විදිහට බාරගත්තොත් අපි ලෝකාත්මය ගැඹුරටම යනවා. මම අභිරහස් විශ්වාස කරනවා. අපට තේරුම්ගන්න පුළුවන් මට්ටමට සෑහෙන ඈතකට විහිදුණ අභිරහසක් තියෙනවා කියලා මම හිතනවා. නමුත් අඩුම තරමේ මම දන්නවා, අපිට යමක් කරන්න තිබෙන වගේම අපි එය කළ යුතු බව.

Capen- හොඳයි මිනිසුන් විදිහට අපි අවධානය යොමු කළ යුතු අපි ඉදිරියේ තියෙන වගකීම් පිරුණු, වැඩකටයුතු බහුල, මේ සාමාන්‍ය ලෝකයෙන් ඔබ්බට ගිය තවත් ලොවක් ගැන ඔබ කියනවා. ඒත් ඔබට කවදාවත් හිතුණේ නැද්ද හැමදෙනාම ඔබ කියන ඔය අනෙක් ලෝකය ගැන හොයන්න ‍ගියොත් පවුල් කඩා ඉහිරෙයි කියලා, මිනිස්සුන්ගේ රස්සා නැතිවෙයි කියලා?

Coelho- අනිවාර්යෙන් එයාලගේ රස්සා නැතිවෙයි. එයාලට ප්‍රශ්ණ එයි. ඒත් කරන්න දෙයක් නැහැ. නැත්නං ඔබේම සිහිනවලට වන්දි ගෙවන්න ඔබට සිදුවෙයි. නමුත් අනික් අතට බැලුවම අපි ජීවත්වෙන ‍ලෝකයත් මේ අධ්‍යාත්මික පසුබිමත් අපිට වෙන්කරලා කතා කරන්න බැහැ. බොහොමත් දුර විහිදෙන රස විද්‍යාව (Alchemy) කියන මේ සංකල්පයෙන් කියවෙන්නේ මේ ‍ලෝකය ගැන අපට පෙන්වාදෙන කලාවක් (Art of Projecting). ඒ නිසාම අධ්‍යාත්මික අවබෝධයකින් තොර ජීවිතයක් ගෙනියන්න උත්සාහ නොකර අපි මේ සංකල්පයන් දෙක මිශ්‍ර කරලා සලකන්න ඕන.

නමුත් මේ වෙනුවෙන් අපට අපේ රස්සාවල් කැපකරන්න, වැදගත් දේ අත්හරින්න පුළුවන් වෙන තරමේ නිර්භීත බවක් මම බලාපොරොත්තු වෙනවා. අමාරු කාලේ ඉවරවුණාට පස්සේ මේ හැමදේකම තේරුමක් තියෙන බව අපිට තේරෙයි. විශ්වය විසින්ම හෝඩුවාවන් දීලා මේ ප්‍රෙහේලිකාවේ කැබලි එකින්‍ එක විසඳලා දෙන බව අපිට දැනෙයි. නමුත් මේක පහසු මාවතක් කියල නම් හිතන්න එපා. තමන්ගේ සිහින වෙනුවෙන් කරදර නොවෙන හැමෝටම තියෙන ප්‍රශ්ණ මේ මාවත දිගේ යන අපිටත් ඇතිවෙනවා. නමුත් ඔබට ගැ‍ලපෙන සුවපහසු මේ කබායේ වටිනාකම, ඔබට නොගැලපෙන අපහසු, සමහර විට ඔබේ තරමටත් වඩා වැඩි අනෙක් කබයේ වටිනාකමටම සමානයි. ඉතිං ඒ වටිනාකම ගෙවන්න අපි ලෑස්තිනම් ඇතිවන අපහසුතාවයක් වුණත් ඵලදායක වෙනවා. ‍

අනෙක් අතට ඔබ ඔබේ සිහින පසුපස හඹායන කෙනෙක් නෙවෙයි නම් ඇතිවන අපහසුතාවයන් වුණත් නිකම්ම නිකං තවත් එක් අපහසුතාවයක් පමණක් වෙනවා.

Capen- හොඳයි..., The Alchemist කියවලා නැති ටික‍දෙනා වෙනුවෙන් එහි අවසානය ගැන සඳහනක් නොකර අපි මෙහෙම කියමු. මෙහි කියවෙන පිරිමි ළමයා අධ්‍යාත්මික මාවතේ ගමනක යෙදෙනවා. ඇත්තටම ඔබ ඉතාමත් චතුර ලෙස මේ කතාව ගෙනියනවා. නමුත් මෙහි අන්තිමට හැමදේම තීරණය කරන පුංචි පටලැවිල්ලක් මතුවෙනවා. මුළු කතාව පුරාවටම ඔබ යම්කිසි දැඩිබවක් පෙන්වුවත් ඔබ කතාව නතරකරන්නේ ඔබ නතරකරන්න බලාපොරොත්තු වෙන තැනින් නෙවෙයි...?

Coelho- ඇත්තටම ඔබට අවශ්‍ය සියළුම‍ දේ ඔබ ළඟ තිබුණත් ඔබ ඒවා සොයාගෙන ඉදිරියට යන්න ඕන. මොකද කිසිම දේකට කෙටි මාවතක් නැහැ. මමත් මේ පොතේ අවසානය ගැන සඳහනක් නොකර ඉන්න උත්සාහ කරන්නම්. මොකද ඒක ඉතාමත් රසවත් අවසානයක්.

මේ කියැවෙන ගොපළු දරුවා තමයි අපි හැමෝම. ඔහු තමන්ට හුරුපුරුදු දේ අත්හැරලා චාරිකාවක යෙදිලා තමන් තුළම ඉන්න අළුත් මිනිසෙක් සොයාගන්නවා. ඔහු තමන්ගෙම ධාරිතාවන් හැකියාවන් හොයාගන්න පටන් ගන්නවා. ඔහුට ඒ සඳහා වෙන විකල්පයක් නැහැ. සාමාන්‍ය දෛනික ජීවිතයක් ගතකරන අතරේ ඔබට මේ ‍දේ කරන්න බෑ කියලා මම කියන්නේ නැහැ. ඔබට පුළුවන් මේ දේ කරන්න. නමුත් ගෙවෙන හැම දිනයක්ම එකම විදිහට දැකීමෙන් ඔබ අන්ධ වෙන්න පුළුවන්. සෑම ‍දිනයක්ම එකිනෙකින් වෙනස්. සෑම දිනයක්ම ඊටම ආවේනික වුණ ආශ්චර්යක් ගෙනෙනවා. මේ ආශ්චර්යයට අවධානය යොමුකරන එක විතරයි තියෙන්නේ. ඉතිං කම්මැලි විදිහට ඒ ඒ දවසට ජීවත් වෙනවාට වඩා අපි ඒ විදිහ අනුගමනය ක‍ළොත් අපේ දෛවය පිළිබඳ ‍හෝඩුවාවන් හොයාගන්න අපිට පුළුවන්‍‍ වේවි.

Capen- ඔබේ The Valkyries, The Alchemist ඉදිරියට ගෙන යාමක්ද?

Coelho- නෑ.... The Valkyries හා The Pilgrimage ප්‍රබන්ධ කතා නෙවෙයි. ඒ මගේම ජීවන මාවතේ මගේම ජිවන අත්දැකීම්. මම හැමවිටකම මට ම අභියෝග බාරදීලා ඒවා ඉටුකරන්න උත්සාහ කරනවා. මම කැමතියි ඕනැම දෙයක් පුරුදු වෙන්න. ඒ අභියෝගයන් එකිනෙකට එකක් වෙනස් කරන්න මම උත්සාහ කරනවා. The Valkyries වල තියෙන්නේ මගේ බිරිඳ සමඟ මුජාවේ (Mojave) කාන්තාරයෙදි මම ලබපු අත්දැකීම්. 1988 දී අපි එහෙම ගියේ දිව්‍යමය ජීවිත සමඟ අපේ ආධ්‍යාත්මික සම්බන්ධතා ඇතිකරගන්න. මේ අරමුණ වගේම ආධ්‍යාත්මික මාවතේ ගමන්කරන කෙනෙක්ට ඇතිවන සංකීර්ණතාවයනුත් කාටවත් නොපෙන්වා ඉන්න මම උත්සාහ කළා. අපිට ප්‍රශ්න ඇතිවුණා. අපි සමහර විට විය යුතු තරම්ම හොඳ වුණේ නැහැ. නමුත් අධ්‍යාත්මික මාවතෙන් අපිව ඈත්කරන්න ඒවා ප්‍රමාණවත් වුණේ නැහැ. හැම අතින්ම හොඳ වෙලා වැඩපටන් ගන්න උත්සාහ කරන්නේ නැතුව අපි ඉන්න විදිහටම අපිව පිළි අරං දුක්නොවී ඉන්න අපිට සිදු‍වුණා.

සාමාන්‍ය දේශපාලනිකව විස්තර කරන්න බැරි ගොඩක් දේවල් මගේ ළඟ තියෙනවා. නමුත් මේ මාවත දිගේ යන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ. දෙවියන් කොයිම විදිහකින් හරි මාව තේරුම්ගන්න බව මම දන්නවා. ඒක මට වැදගත්. ඒ දේට අපි අවධානය යොමු කරන්න ‍ඕන. මම මුලින් කිව්වා වගේ අපි කරන දේ අපිටම නොතේරුනත් අපි ‍දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා. අපි කරන්නේ ඉතාමත් හේතුඵල සහගත දෙයක්.

Capen- ඒ කියන්නේ සමහර විට ඔබ කරන දේ තේරුම් ගන්න එකම කෙනත් දෙවියන් වෙන්න පුළුවන්ද?

Coelho– (සිනාසෙමින්...) ඔව්‍, අපි තේරුම් නොගත්තත් දෙවියන් තේරුම්ගන්නවා. ඔහු අපිට අවධානය යොමුකරන බව අපි තේරුම් නොගත්තත් ලෝකාත්මය ( soul of the world ) පාලනය කරන්නේ ඔහුයි. ඒ නිසා යාඥා කරලා දිව්‍යලෝකයෙන් ලැබෙන උපකාරයක් බලාපොරොත්තු‍ වෙන්න ලැජ්ජා වෙන්න ඕන නෑ. සමහර විට අපි වැඩිහිටියන් විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. නමුත් අපිට නොතේරුණත් ජේසුස් වහන්සේ කියපු විදිහට මේ ලෝකේ අයිති ළමයින්ට. ඉතිං වැටෙන හිරු එළියෙන්, රාත්‍රියෙන්, දිලිසෙන හ‍‍ඳෙන් පුදුම වෙන්න අපි පුංචි ළමයි වෙන්න ඕන. එහෙම වීමෙන් අපිට මේ ජීවිතය විඳින්න පුළුවන්.

Capen- The Alchemist තුළ ඔබ කැමතිම කොටසක් තියෙනවාද?

Coelho- ඔව්, මම මේ පොත ලිව්වේ දින පහළොවකින්. ඇත්තටම දින පහළොවකින් කිව්වට ඒ අවුරුදු තිස් නවයකුත් දින පහළොවක්. පිකාසෝ ඊට වඩා දුර්වලයි (සිනාසේ). මගේ ලිවීම තුළම මාව හිරවුණු එකමොහොතක් තිබුණා මට මතකයි. මේ පොතේ එක තැනක් තියෙනවා එහි ඉන්න ගොපළු ළමයාට තමන්ම හුළඟක් බවට පත්කරගන්න පත්වන. ඒ කොටස ලියද්දි මට හිතාගන්න බැරිවුණා ඒ කොටස අවසන් කරන්නේ කොහොමද කියලා. නමුත් ඒ කතාව විසින්ම ඒ කොටස ලියැවුණා. ඒ කොටස මගේ ප්‍රියතම කොටස කියලා කියන්න බැරිවුණත්, මට ඒ මොහොත හොඳටම මතකයි. මොකද ඒ මට මතුවුණු ඉතාමත්ම අපහසු අවස්ථාවක් වගේම ඒ මොහොතෙදි මුළු මහත් විශ්වයම එක්වෙලා මට සහයෝගය දුන්න හින්දා.

Capen- ඔබ කැමතිද ඒ කොටස කියවන්න?

Coelho- කතාවේ ඒ කොටසෙදි ගොපලු ළමයට සිද්ධ වෙනවා තමන්වම සුළඟක් බවට පත්කරගන්න. මේ පොත යථාර්ථවාදීම නැහැ......

මේ ළමයා එයාව ස්වභාවධර්මයත් සමඟ මුහුකරන්න පටන් ගන්නවා.

.....එවිට කොලුවා ක්‍ෂිතිජය වෙත නෙත් හෙලුවේය. දුරින් කඳු පෙළ පිහිටා තිබුණේය. කිසිඳු ආකාරයක ගැලවීමක් නැතිවා සේ පෙනුනු එහි, ජීවිතය විසින් ඉල්ලා සිටි කඳ, වැලි කඳු හා ගහ කොළද තිබුණි. මාස ගණනක් පුරා ඇවිද ගිය මුත් ඉන් සුළු කොටසක් පමණක් දැක ගන්නට ලැබුණු විසල් කාන්තාරය ඔහු වටකොට ගෙන සිටියේය. කෙසේ වෙතත් කොලුවා දැන කියාගත් මේ සුළු කොටස තුළ ඔහුට ඉංග්‍රීසිකාරයෙක්, තවලම්, ගෝත්‍රික යුද්ධ මෙන්ම තල්ගස් පණස් දහසක් හා ළිං තුන් සියයකින් සැදි ක්‍ෂේම භූමියද හමු වී තිබුණේය.

"මොනවද අද නුඹට ඕන කරල තියෙන්නෙ?" කාන්තාරය කොලුවාගෙන් ඇසීය.
"ඇති පදම් වෙලා නුඹ ඊයේ මං දිහා බලා උන්නෙ නැද්ද?"

"ඔබ කොතන හරි මං ආදරය කරන කෙනාව රඳවන් ඉන්නවා." කොලුවා එවිට කීවේය.
"ඉතිං ඔබ දිහා බලා ඉන්නවා කියන්නෙ මං ඈ දිහා බලා ඉන්නවා කියන එකයි. මට ඇය ළඟට ආපහු යන්න ඕනෑ. ඉතිං ඒකට මට ඔබේ උපකාරය ඕනෑ. මට සුළඟක් බවට පත්වෙන්න පුළුවන් වෙන්නෙ එතකොටයි."

"ආදරේ කියන්නෙ කොහොම දෙයක්ද?" කාන්තාරය ප්‍රශ්න කළේය.

"ආදරය කියන්නෙ ඔබ මතින් සරනා උකුස්සාගේ පියාසැරියටයි. මොකද උකුස්සට හැම වෙලාවෙම දඩයම් සමඟින් ආපහු එන්න ඉඩ හදල දෙන ඔබ, ඌට හරිත වර්ණ කෙතක් වගේ. ඌ ඔබේ ගල් කඳු වැලිපර වගේම කඳු පංතීන් ගැන දන්නවා. ඒ වගේම ඔබත් ඌට ත්‍යාගශීලීත්වය දක්වනවා."

"ඒත් උකුස්සා උගෙ තුඬගින් මාව, මගෙන් ටික ටික අරගෙන යනවා." කාන්තාරය කිවේය.

"අවුරුදු ගාණක් තිස්සෙ ළඟ තියෙන වතුර ස්වල්පය දෙමින් මං උගෙ දඩයම පෝෂණය කර රැක බලා ගන්නවා. ඊළඟට මම ඌට දඩයම තියෙන තැන පෙන්නලා දෙනවා. ඉතිං උගෙ දඩයම මගේ සිරුර මතදී සම්පූර්ණ වෙනවා දැකල මං සතුටු වෙන කොටම උකුස්සා ආකාසෙන් පාත් වෙලා මා විසින් මවනු ලැබූ දේ ඩැහැගෙන යනවා."

"හැබැයි, ඔබ මේ සියල්ලටම පළමුවෙන් දඩයමක් නිර්මාණය කරන්නෙ ඒ නිසාම තමයි." කොලුවා පිළිතුරු දුනි.

"උකුස්සව පෝෂණය කරන්න. ඉතිං එතකොට උකුස්සා මිනිස්සුන්ව පෝෂණය කරනවා. ඊළඟට මිනිසා ඔබේ වැල්ල, ඒ කියන්නෙ යළිත් වතාවක් අර උකුසු දඩයම බිහිවෙන බිම පෝෂණය කරනවා. ඔන්න ඔය විදියට තමයි මේ ලෝකෙ පවතින්නෙ."

"එතකොට ආදරේ කියන්නෙ ඕකටද?"

"ඔව්. ඒ තමයි ආදරේ. ඒකෙන් තමයි දඩයමෙන් උකුස්සා උකුස්සාගෙන් මිනිසා, ඒ වගේම මිනිසාගෙන් ආයෙත් කාන්තාරය පෝෂණය කෙරෙන්නෙ. ආදරයෙන් තමයි ලෝහ රන් බවට පත්වෙලා ආයෙත් ඒ රත්තරං මහ පොළොවට පැමිණෙන්නෙ."

"ඔබ ඔය කියන්නෙ මොනවද කියල මට නම් තේරෙන්නෙ නෑ." කාන්තාරය ඒ අසා සිට කීවේය.

"කොහොම වුණත්, ඔබේ ඔය නිම් හිම් නැති වැලි තලාවේ කොතන හරි තැනක මාව බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවක් ඉන්වා කියන එකවත් ඔබට තේරුම් ගන්න පුලුවන්නෙ. අන්න ඒ නිසා තමයි මට මාව සුළඟක් බවට හරවා ගන්න අවශ්‍ය වෙලා තියෙන්නෙ."[*]


[*] "සන්තියාගෝ නම් සැරිසරන්නා" පිටු 180-182- පරිවර්තනය: චූලානන්ද සමරනායක, විදර්ශන ප්‍රකාශනයකි.
['සන්තියාගෝ නම් සැරිසරන්නා' කෘතියෙන් උපටුනය අකුරුකර දුන් කසුන් සොහොයුරාට ස්තූතියි.]
පරිවර්තනය - වින්ධ්‍යා විතාන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails