Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"රැයකරා ගමන" පද්‍ය නිර්මාණ එකතුව සඳහා මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් හා විෙද්‍යාදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද නන්දන වීරසිංහ සිය ප්‍රකාශන මාධ්‍ය ලෙස කවිය තෝරා ගනිමින් දශක තුනකට ආසන්න කාලයක්‌ නිර්මාණකරණයේ යෙදෙන්නෙකි. 1984 දී-

"ගිංගඟේ විලාපය" නමින් කවි එකතුවක්‌ පළ කරමින් ඇරැඹි ඔහුගේ ගමන "කිරි සුවදැති රාත්‍රිය" "සත්‍යකාම නම් වෙමි" "ගිරග" "මහත් සඳ පිණිබිඳෙක" "චන්ද්‍ර බිම්බ" ආදී කවි එකතුවලින් ශක්‌තිමත් වූ අතර ඒ නිර්මාණ අතරින් බහුතරයක්‌ ඇගයීමට ලක්‌වීම ද සුවිශේෂ කාරණයකි. සිළුමිණ කර්තෘ මණ්‌ඩලයේ වසර 15 ක පමණ කාලයක්‌ සේවය කළ නන්දන වීරසිංහ "පුන්කළස" සහ "සියපත" සාහිත්‍යය අතිරේකවල ආරම්භක සංස්‌කාරකවරයා ද විය. පහතින් පෙළගැසෙන්නේ ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවක සංක්‍ෂිප්ත සටහනකි.

• "රැයකරා ගමන" කවි එකතුව පිළිබඳ ඔබේම අදහස්‌ විමසන්නට කැමතියි.

"චන්ද්‍ර බිම්බ" ලියා වසර පහක කාලයක්‌ ගතවීමෙන් පසුවයි රැය කරා ගමන පළ කෙරෙන්නේ. බොහෝ දෙනෙක්‌ මත පළ කළා මම මේ කවි එකතුව ඔස්‌සේ අද්‍යතන දේශපාලන, ආර්ථික දශාව පිළිබඳ මගේ මතය දක්‌වන්නට උත්සාහ කරනවා කියා. නමුත් එබඳු යමක්‌ මෙහි නැති බවයි මගේ අදහස. මෙය හුදකලා වුණු පෞද්ගලික යමක්‌ කියා අයකුට කියන්න පුළුවන්. වියුක්‌ත දාර්ශනික සංකල්ප ඉදිරිපත් කිරීමට දරණ උත්සාහයකුත් නොවේ. එක්‌තරා ආකාරයකින් ජීවිතය පිළිබඳ අවලෝකනයක යෙදීමක්‌. මගේ සංවේදනා පළ කිරීම හැරෙන්නට මතවාදයක්‌ ගොඩනැගීමට මා උත්සාහ කළේ නැතැයි කියන කාරණය පැහැදිලිව කිව යුතුයි. මේ සමාජ සන්දර්භයන්ට මුහුණ දෙන පුද්ගලයාම කවියේ කථිකයා වූ විට ඇතැම් විට සමාජයට වැරදි දෙයක්‌ දෙන බව මා හිතනවා. එනිසා පරිණත ජීවිතාවලෝකනයක යෙදෙන පුද්ගලයකු මේ කවිවලට විෂයය වුණු බවයි මගේ හැඟීම.

මා එසේ කිව්වත් මේ නිර්මාණවල විනිශ්චයකරුවා වන්නේ කවි කියවන රසිකයා බව මා විශ්වාස කරනවා. මගේ සංවේදනා කොයි ආකාරයෙන් පළ කෙරුණත් ඒවා තමන්ගේ කියෑවීම තුළ විග්‍රහ කරගන්නට රසිකයාට තිබෙන අයිතියට මා ගරු කරනවා.

• මේ කවිවල දේශපාලනික දශාවක්‌ නොවන බව ඔබ කිව්වත් බොහෝ කවිවල යටි අරුතින් ඔබ ඔබේ දේශපාලනය කවිය හා ආබද්ධ කරන බව මා දකිනවා.

රැය කරා ගමනෙහි එන එක්‌ කවියක විජයබා රජු ගැන කියෑවෙනවා. ඔහු යුද්ධ කරලා විශාල ජයග්‍රහණයක්‌ අත්පත් කර ගත්තා. ඒත් ඒ ජයග්‍රහණය ඔහුගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේ නැහැ. විජයබා පිළිරුවට පේනවා තමා වටා සිටි මහා සෙනඟ අද නැති බව. අද සිටින්නේ ගහකොළ කුරුල්ලන් පමණයි. පිළිරුව තේරුම් ගන්නවා ජයග්‍රහණ කියන්නේ තාවකාලික දේ පමණක්‌ බව. අදත් එබඳු පුද්ගලයන් සිටිනවා. නමුත් මට වුවමනා වුණේ මේ ජීවිත යථාර්ථය විජයබා පිළිරුව පාදක කොටගෙන පෙන්වා දෙන්නයි. එය යම් පුද්ගලයකු හෝ යමකුගේ දේශපාලන හැසිරීම ඉලක්‌ක කොට ලියෑවුණක්‌ නොවේ. මා පවා ජීවිතය තුළ අත්දුටු දේ පිළිබඳ කළ ඉදිරිපත් කිරීමයි.

මේ තිබෙන ආර්ථික දේශපාලන සන්දර්භය අප ග්‍රහණය කරගත යුත්තේ කොහොමද කියා කල්පනා කිරීමට නිර්මාණකරුවකු පෙළඹිය යුතුයි. එහෙත් ඒ සඳහා යම් ශික්‍ෂණයක්‌ තිබෙනවා. ආවේගයන්ට වහල් වී මේ සමාජ විචල්‍යයන් අර්ථ ගැන්විය හැකි වන්නේ නැහැ. මේවා කියන්න ඕනේ කොහොමද කියා අපි සොයා පාදා ගත යුතුයි.

මා හිතනවා අද වන විට පොදුවේ මුළු ලෝකයේම සාහිත්‍යය ප්‍රකාශනය තුළ ආවේග සංසිඳුණු උසස්‌ ගතියක්‌ තිබෙනවා කියා. ඒ ශික්‍ෂණය මගේ කවිවල රඳවා ගන්නටත් මා උත්සාහ කරනවා. මට හිතෙන දේ මගේ අදහස ඒ අයුරින් ම සමාජගත කරන්නට කවියකු ලෙස මා උත්සාහ කරන්නේ නැහැ. එය කිසියම් ආකාරයකට අර්ථ පූර්ණ, භාවපූර්ණ වූ සියුම් සංවේදනාත්මක ආකාරයකට විතැන් කොට ඉදිරිපත් කිරිමයි කළ යුත්තේ. මා යොදා ගන්නා අනුභූතීන්, අත්දැකීම් අවසානයේ සියුම් කථනයකට යොමු විය යුතුයි. ඒ කථනයමයි කවියාගේ භාෂාවේ තිබෙන්නේත්. මේ සියලු අනුභූතීන් පිළිබඳ විමර්ශනයක යෙදිලා ඔහු මිශ්‍රණයක්‌ හදනවා කවිය ඇසුරින්. ඉන් යමක්‌ තේරුම් ගන්නට පුළුවන්.

කවිය කියන්නේ තමා ගැන කරන ප්‍රචාරණයක්‌ නොවන බව අවබෝධ කර ගත යුතුයි. තමා ම පෙනී සිටිමින් තමා ගැන වහසි බස්‌ දොඩන ආකාරයක්‌ නොවිය යුතුයි. මෙය සරලව විග්‍රහ කරනවා නම් කවිය මතවාදයන් ඉදිරිපත් නොකළ යුතුයි කියා කියන්න පුළුවන්. වෙනත් අයකුට මේ පිළිබඳ වෙනත් මතයක්‌ තිබෙන්නට පුළුවන්. නමුත් මුලිනුත් පැවසූ පරිදි මා විශ්වාස කරනවා කවියා සංවේදනා ඉදිරිපත් කරන්නකු වියයුතුයි කියලා.

• "කවි බස" වඩාත් කතා බහට ලක්‌වන අංගයක්‌. ඔබ ඒ පිළිබඳ යම් අදහසක්‌ දරනවාද?

නිර්මාණයේ යෙදෙන විට මගේ වස්‌තු විෂය ඉක්‌මවා යැමේදී බිහිවන බස මා යොදා ගන්නා කවි බස බව කිව යුතුයි. එය සම්භාව්‍ය සාහිත්‍යය වෙන්න පුළුවන්. ජීව බස වෙන්න පුළුවන්. සමකාලීන ලේඛන භාවිතය වෙන්න පුළුවන්. එහෙත් බොහෝ දුරට මා උත්සාහ කරන්නේ සාමාන්‍ය වචනවලින් සියුම් අරුත් දනවන්නයි. එය මහා විශාල හාස්‌කමකුත් නොවේ. කොහොම වුණත් අපි රැහේ බසට අරුත් සැපයීමකුත් කළ යුතුයි. එය සාමාන්‍ය බසම අපූර්ව ආකාරයකට යොදා ගැනීමක්‌ විය යුතුයි.

මා කවි ලිවීම නිසාම බොහෝ දෝෂ දර්ශනවලට ලක්‌වී තිබෙනවා. ඇතැම් විට ඒ බොහෝ චෝදනා නිර්මාණකරවා හා නිර්මාණකරණය පිළිබඳ අනවබෝධයෙන් ඉදිරිපත් වන්නක්‌. මෙය යම් යම් සොයා බැලීම් කරමින් යන ගමනක්‌. වැරදීම් සිදුවන්න පුළුවන්. නිර්මාණ මටසිලිටු වන්නේ එබඳු ප්‍රයත්නයකින් පමණයි.

සම්මාන, ඇගයීම් ලැබුණාය කියා ලොකු පාඨක පිරිසක්‌ මට ඇත්තේ නෑ. මගේ පොත් දාහකටත් වැඩිය අලෙවි වුණා කියා බොරුවට පුරසාරම් දොඩවන්න මට වුවමනාවක්‌ නෑ. "ගිං ගඟේ විලාපය" වැනි කෘතියක්‌ සම්මාන ඇගයීම්වලට ලක්‌ නොවූවත් එහි කවි කටපාඩමින් කියන්න පුළුවන් පාඨක පිරිසකුත් සිටිනවා.

• විරිත් භාවිතය හෝ සදැස්‌ නිසදැස්‌ ආර පිළිබඳ ඔබ කෙබඳු අදහසක ද සිටින්නේ?

අපේ සාම්ප්‍රදායික විරිත්වලට මා ගරු කරනවා. නමුත් වස්‌තු විෂය හා විරිත නොගැලපෙන විට මා විරිත් පිළිබඳ සැලකිල්ලක්‌ දක්‌වන්නේ නෑ. ඇතැම් කවිවල දී විරිත් භාවිත කරන අවස්‌ථාවන් තියෙනවා. ඒ කවියට අවශ්‍ය ප්‍රකාශනය ලබාදීම සඳහා "රැය කරා ගමන" පොතේ එන "බ්‍රෝහියර් දසුන" වැනි කවියක දී සමුද්‍රඝෝෂ විරිත භාවිත කළා. යම් කාව්‍ය සන්දර්භයක්‌ විරිතක්‌ ඉල්ලා සිටින්නේ නම් එය අපේ සාම්ප්‍රදායික විරිතකින් උවත් ඉදිරිපත් කිරීමට මා සූදානම්.

• පැරණි කවියා භාවිත කළ කාව්‍යානුභූතීන් හුදෙක්‌ අලංකාරයට මුල්තැන දීම නිසා විරිත් මත රැඳෙන්නට සිදු වී යෑයි අපට අදහස්‌ කළ නොහැකි ද?

විරිත්වලට ප්‍රමුඛත්වය දෙමින් පද්‍ය නිර්මාණය කළ එදා සමාජය මේ තරම් බරපතළ තත්ත්වයකට පත් වී තිබුණේ නැහැ. 19 වැනි සියවසෙන් පසු කවිය විශාල පරිවර්තනයකට ලක්‌වුණා. කිසියම් චලනයක්‌ කවියට පිවිස වීමේ දී ඔය තත්ත්වය බලපානවා. සමාජ වුවමනාවක්‌ අනුව කවිය වෙනස්‌ වීමේ ඓතිහාසික භෞතිකවාදයක්‌ අපේ කවිය තුළ දැකිය හැකියි. මා ලියන කවියේ විරිත් ලක්‍ෂණ, රිද්ම ලක්‍ෂණ මා කියන්න උත්සාහ කරන දේ අනුව භාවිත කළ යුතුයි. එබඳු අවස්‌ථාවකදී සම්මත නිද්‍රාගත විරිතේ රැඳෙන්නට මට හැකියාවක්‌ නැහැ. මගේ පමණක්‌ නොවේ අද ලියෑවෙන බොහෝ කවිවලින් ඒ බව පැහැදිලි වෙනවා.

• නූතන සාහිත්‍ය සමාජය තුළ කවිය කෙරෙහි වන උද්යෝගය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවා ද?

කවියාට මේ වනවිට විශාල හඬක්‌ තිබෙනවා. බූන්දි (boondi.lk) වැනි වෙබ් අඩවියක්‌ බලන විට කවිය තමන්ගේ ප්‍රබල ප්‍රකාශන මාධ්‍ය ලෙස භාවිත කරන තරුණ පෙළක්‌ සිටින බව පෙනෙනවා. වෙනදා ගීත රචනයට ඇදී ගිය අය වේගයෙන් කවියට ඇදී එන බවක්‌ පෙනෙනවා. මෙය සුභ ලකුණක්‌ ලෙසයි මා දකින්නේ. මෙයින් අපට පැහැදිලි වෙනවා කවියට හිමි තැන කවිය විසින්ම තීරණය කරන බව.

• අලුත් කවි පරපුර ගැන ඔබට යමක්‌ කිව හැකි ද?

ලක්ශාන්ත අතුකෝරල, ප්‍රදීප් සාරංග කුමාර, සංජීවනී කුස්‌තුරිආරච්චි, අනිල් නිශාන්ත, රෝහණ පොතුලියෑද්ද, උපුල් සේනාධීරගේ වැනි පිරිසක්‌ අද වඩාත් ප්‍රබල ලෙස කවිය සිය ප්‍රකාශන මාධ්‍ය කොටගෙන තිබෙනවා. නමුත් ඔවුන්ගේ මතවාදවලට වඩා ඔවුන්ගේ සංවේදනා ඉදිරිපත් වෙනවා නම් වඩාත් සාර්ථක බවයි මගේ හැඟීම. කවි ලිවීමෙන්ම ශික්‍ෂණභාවයක්‌ ගොඩනඟාගත යුතුයි. අප අතර ඒ පිළිබඳ සුසංවාදයක්‌ ඇතිවිය යුතුයි. එබඳු අදහස්‌ මතුකරගත හැකිවන්නේ විවෘත කතිකාවක්‌ තුළින් පමණයි.

• කවිවලට "මාර්කට්‌ එකක්‌" නෑ කියනවා.

ප්‍රකාශකයා විසිනු යි මේ මතය සමාජගත කර තිබෙන්නේ. තමන් ප්‍රකාශයට පත් කරන කෘතියටවත් පාඨක අවධානය යොමු කරන්නට ඔවුන් කටයුතු කරන්නේ නැහැ. අද ඇතැම් ප්‍රකාශන ආයතනවල අලෙවි ප්‍රවර්ධකයන් ලෙස කටයුතු කරන්නේ කිරිපිටි විකුණූ පුද්ගලයන්. ඔවුන්ට සාහිත්‍යය කෘතියක්‌ හා වෙළෙඳ භාණ්‌ඩයක්‌ අතර වෙනස තේරුම් ගැනීමේ හැකියාවක්‌ ඇත්තේ නැහැ.

ඇතැම් ප්‍රකාශන මහත්වරු මට යෝජනා කළා නවකතාවක්‌ ලිව්වොත් විකුණන්න පුළුවන් කියා. එසේ කළ යුතු නම් මේ ප්‍රකාශන මාධ්‍යයෙන්ම මේ තරම් දුරක්‌ මා ආ යුතු නැහැ. මගේ රැයකරා ගමන කෘතියත් මුද්‍රණය කරලා තිබෙන්නේ පිටපත් සීයයි. තව සියයක්‌ මුද්‍රණය කර තියෙනවා කියනවා. ඒත් මිළදී ගන්න පොත් නැහැ. මුද්‍රණය හෝ අලෙවිය අඩු වුණාය කියා මම මගේ නිර්මාණකරණය ගැන අධෛර්ය වන්නේ නැහැ. දැන් මගේ පොත් දාහක්‌ විකිණිලා කියා ප්‍රචාරයක්‌ අරින්න පුළුවන් නමුත් ඉන් පළක්‌ නැහැ. කොහොම වුණත් කවියට විශාල ඇල්මක්‌ පාඨක සමාජයේ නැති බව අපි පිළිගත යුතුයි.

• කාව්‍ය විචාරය පිළිබඳ ඔබේ ආස්‌ථානය කෙබඳු ද?

විචාර මතවාදවල තිබෙන යම් යම් අගතීන් හේතුවෙන් ඇගයුම් උළෙලවල පවා ගැටලු ඇති වුණා. පසුගිය දිනවල එබඳු දේ අප දුටුවා. විට්‌ගන්ස්‌ටයින් දාර්ශනිකයා පැවසූ පරිදි සත්‍ය යන වචනය ඕනෑම සන්දර්භයක බහා පාවිච්චි කරන්නට පුළුවන්. කවියේ සන්දර්භයත් ඒ ආකාරයෙන් විය යුතුයි. නමුත් අද බොහෝ විචාරකයන් අල්ල ගන්නේ වැරදි කොන් වලින්. තමන්ගේ මිතුරන්ගේ කෘති ඉදිරියටගෙන එන්න අවශ්‍ය විට පෙරහැරක්‌ වගේ ඒ ගැන කතා බහ කරනවා. මේ නිසා එක්‌ එක්‌ පුද්ගලයාගේ ප්‍රතිරූප ඔස්‌සේ යැම නොවේ නව මං ඔසසේ යැමයි කවියා කළ යුත්තේ. රීස්‌ ඩේවිට්‌ස්‌ පඬිතුමා කිව්වා අපි සෑම විටම කළ යුත්තේ අපව අභිබවා යැමට අනුන්ට අනුබල දීමයි කියා. මා ඒ කියමන වඩාත් හොඳින් අනුගමනය කරනවා. පුද්ගල චරිතයක්‌ ලෙස අදත් සටන්කාමී මංවල ගමන් කිරීමට මා කැමතියි. ඒත් නිර්මාණකරුවෙක්‌ ලෙස මම චක්‍රනාභියේ සිට සියල්ල නිරීක්‌ෂණය කරන්නෙක්‌ පමණයි.

උපුටනය| දිවයින 2010.10.21

නිරෝෂන් හැඳලගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails