Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ එක් දේශපාලන ප‍්‍රමුඛතාවයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම බව දැන් ඉතා පැහැදිලි ය. මේ සඳහා මර්දන නීති, දේශපාලන සහ ප‍්‍රචාරක මර්දනය සහ වරදාන මගින් ජවිපෙ බේද කිරීම යනාදී සමස්ත සැලැස්මක් දැනටමත් ක‍්‍රියාවට දමා තිබේ. යුද්ධකාලීන ශ‍්‍රී ලංකික රාජ්‍ය විසින් අත්පත් කරගත් සියළු මර්දනකාරී මෙවලම් ද බුද්ධිසේවා නිපුනතාද මේ සඳහා අඩුවැඩි වශයෙන් යොදා ගැනෙනු බවට සැකයක් නැත.

මේ මර්දනයට විරුද්ධවීමත් ජවිපෙහි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමත් අද ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන් මුහුණ දෙන ප‍්‍රමුඛ අභියෝග අතුරින් එකකි. ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය කරා ගෙන එන ලද බලවේග අතුරින් ප‍්‍රමුඛයා විය. 2005 ජනාධිපතිවරණයේ දී, රනිල් වික‍්‍රමසිංහට ලැබීමට නියමිත වූ දෙලක්ෂයකට වැඩි දෙමළ ජන ජන්ද වළක්වමින් ප‍්‍රභාකරන් විසින් රඟ පෑ කාර්්‍ය භාරය තීරණාත්මක වූයේ වී නමුත් දකුනේ දී ජවිපෙ ලබාදුන් සහය නොවන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපති නොවන්නට ඉඩ තිබුණි. අනෙක් අතෙට යුද්ධය ජයග‍්‍රහණය කරා ගෙන යමින් රාජපක්ෂ පාලනය ශක්තිමත් කළ හිටපු හමුදාපති ජෙනරල් පොන්සේකා අද රාජපක්ෂ පාලනය විසින්ම ජම්පරය ඇදි සිරකරුවකු බවට පත් කිරීම සහ ජවිපෙ මත පතිත වන මර්දනය එකම කාසියේ දෙපැත්ත වැන්න.

පොන්සේකා යුද්ධකාලීන මර්දන යන්ත‍්‍රයේ ඍජු කොටස්කරුවකු වූ අතර ජවිපෙ එහි වක‍්‍ර කොටස්කරුවකු විය. මේ වනාහී ඉතිහාසය පුරාම යලි යළි දැකිය හැකි දෛවෝපගත සංසිද්ධියකි. විවිධ මිණුම්දඩු යටතේ උතුම්යැයි සැළකෙන අරමුණු වෙනුවෙන් අවනීතික රාජ්‍යක් හෝ සන්නද්ධ බලයක් ගොඩ නැගීමට හවුල්වන බොහෝ පුද්ගලයින් සහ බලවේග අවසානයේ දී එකී අවනීතික රාජ්‍යයේ මර්දන හස්තයටම බිලිවෙති. මන්දයත් අවනීතික පාලනයක් රඳාපවත්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් මෙන් දැනුවත් පුරවැසියා මත නොව බියපත් පුරවැසියා මත නිසා ය. ස්වකීය පාලනයට හෝ එල්ලයට තර්ජනයක් විය හැකියැයි සිතෙන තමන්ගේම බලවේග දමනය කිරීම එවැනි පාලනයක ප‍්‍රමුඛ සහ කේන්ද්‍රීය ලක්ෂනයකි. ජෙනරල් පොන්සේකා මෙන්ම ජවිපෙද මහින්ද රාජපක්ෂ පාලනයේ මූලික මතවාදය වන උග‍්‍ර සිංහල ජාතිකවාදය මතම ක‍්‍රියාකරන බලවේග දෙකකි. එවා දුර්වල කිරීම මගින් සිය මතවාදී අධිපත්‍යය නොසැලී පවත්වා ගැනීම රාජපක්ෂ පාලනයේ පැවැත්ම සඳහා අත්‍යවශය ය.

එසේ නමුත් ජවිපෙ මත මුදා හැරෙන සමස්ත මර්දනයේ හේතුව එය පමණක්ම නොවේ. මෑත කාලීන ශ‍්‍රී ලංකාවේ පීඩිත සමාජ ස්ථරයන්ගේ ප‍්‍රබල නියෝජිතයකු ලෙස සමහර විට ශක්තිමත්ම නියෝජිතයා ලෙස පෙනී සිට ඇත්තේ ද ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන ජීවිතය පුරාම සමාජ සාධාරණත්වය මූලික කරගත් පීඩිත ජනතා බලවේගයක් ද ලෙස පැවැතී තිබේ. රාජපක්ෂ පාලනයේ ද දැක්ම බවට පත්ව ඇති සිංගප්පූරු මාදිලියේ නිරුවත් ධනවාදය ස්ථාපිත කිරීම සඳහා මෙම සමාජ ස්ථර කෙරෙන් එල්ල වන විරුද්ධකම් පෑම කුඩුපට්ටම් කර දැමීමද අවශය ය. ජවිපෙ මත අද දියත්ව ඇති මර්දනයේ තීරණාත්මක සාධකයක් වන්නේ සමාජ සාධාරණත්ව ව්‍යාපාරයන්ට එල්ල කරනු ඇති ප‍්‍රහාරය යි. මන්ද යත් පීඩිත පංති බලවේගයන් කෙරන් ගැන නගින නිසඟ විරුද්ධකම්පෑමට ශක්තිමත් ප‍්‍රකාශණයක් ලබා දිය හැකි අද පවතින එකම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණක් නිසා ය.

ජනතා විමුක්ති පෙරමුණ දුර්වල කිරීම රාජපක්ෂ පාලනයේ පමනක් නොව නව ලිබරල්වාදියකු වන රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපයේ ද ඉලක්කයකි. සුලූතර ජනකොටස් සහ දේශපාලන පක්ෂයන්ට මහත් සේ අවාසිදායක වන පළාත් පාලන මැතිවරණ ක‍්‍රම සංසෝධනයන්ට එජාපය විරුද්ධ නොවූයේ රට පාලනය කළ යුත්තේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙක පමණක්ය යන එජාප - ශ‍්‍රිලනිප නොනිල එකඟතාවය උඩය.

යුද්ධ කාලයේ දී යුදවාදී බලවේග අතර ඉදිරියෙන්ම සිටීමට තැත් දරන ලද ජවිපෙ යුද්ධාවසානයෙන් පසු යුද්ධයෙන් පීඩිත දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීමට දරනු ලබන අඛන්ඩ උත්සාහය විසින් පෙන්වන්නේද පීඩිත සමාජ බලවේග නියෝජනය කිරීමට එහි ඇති සහජ ලැදියාවයි. ප‍්‍රතිවිරෝධයක් ලෙස පෙනී යා හැකි නමුත් මේ වනාහී ඇත්ත කරුණකි. අත්අඩංගුවෙහි සිටින දෙමළ තරුණ පිරිස්හි අයිතිවාසිකම් සම්බන්දයෙන් මෑතකාලීනව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත ද ක‍්‍රියාකාරී වන සිංහල ජන පදනමක් ඇති එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ය.

ජනතා විමුක්ති පෙරමුණ අද මර්දනයට මුහුණ දී සිටින ප‍්‍රධාන හේතු තුනක් අඩුම වශයෙන් දැක්ක හැකි ය. ඒවා නම් පොන්සේකා නිදහස්කර ගැනීමට කරගෙන යන ප‍්‍රචාරක උදඝෝෂනික ව්‍යාපාරය, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙමින් කරගෙන යන අධ්‍යාපන අයිතියේ උද්ඝෝෂනික ව්‍යාපාර සහ යුද්ධයෙන් පීඩිත දෙමළ ජනයාගේ එදිනෙදා ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිමින් කරගෙන යන ව්‍යාපාර යනාදිය වේ.

පෙනෙන්නට ඇති පරිදි ඊලඟ හේතුව වනු ඇත්තේ වැඩි වැටුප් ඇතුළු වැඩකරන ජනයාගේ අයිතීන් උදෙසා එය විසින් දියත් කැරෙන්නට නියමිත උද්ඝෝෂණයන් ය. මේ සෑම කාරණයක්ම වත්මන් ශ‍්‍රී ලංකාවේ මානව සහ ප‍්‍රජාන්ත‍්‍රවාදී හිමිකම් පිළිබඳ පුලූල් අරගලයේ වැදගත් සංඝටක වෙති.

එසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට මෙම අරගලයේ ප‍්‍රයෝගික සහ බුද්ධිමය නායකත්වය අල්ලා ගැනීමට තවම හැකි වී නැත. ඊට ප‍්‍රධාන හේතුව නම් ශ‍්‍රී ලංකාවේ මානව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් පිළිබඳ තීරනාත්මක කඩඉමක් වන මෙරට සුලූතර ජනයාගේ සාමූහික අයිතීන් පිළිබඳව එය දරන අතිශය පසුගාමී සහ ප‍්‍රතිගාමී මතවාදය යි. ජවිපෙ මෙරට දෙමළ ජනයාට බලය බෙදීම මත දේශපාලන විසදුමක් ලබා දීමට දක්වන්නේ මාරන්තික විරෝධයකි. ඊට අමතරව වාම සහ සිවිල් ව්‍යාපාර කෙරෙහි දක්වා ඇති මාරාන්තික බිය සහ විරෝධය මෙන්ම අතිශය කට්ටිවාදී වූ උපන්ගෙයි ලක්ෂනය ද වේ.

1988 දී එය එජාප ජනාධිපතිධුරාපේක්ෂක වු පේ‍්‍රමදාසට සහාය දුන්නේ දෙමළ ජනයාට දේශපාලන විසදුමක් ලබා දීම වළක්වනු පිණිස ය. අවසානයේ දී ජනාධිපති පේ‍්‍රමදාස පාලනයේ මර්ධනකාරී හස්තය විසින්ම ජවිපෙ තලා පොඩිපට්ටම් කරන ලද්දේ නෑසු විරූ ප‍්‍රතිභීෂනයක් ඇති කරමිනි. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරට ජවිපෙ විසින් ඔසවා තබන ලද්දේ ද එලෙසම සාමකාමී සාකච්ජාමය දේශපාලන විසඳුමක් වළකවනු පිණිස ය. දැන් 1988 - 89 යුගයේ දී ජනාධිපති පේ‍්‍රමදාසගේ ජවිපෙ සම්බන්ධ භූමිකාව මහින්ද රාජපක්ෂට ආරූඩ වී තිබේ. තිත්ත වුණත් ඇත්ත ය.

පශ්චාත් කලූ ජූලි ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම මුහුණ දෙන ගැලවීමක් නැති ප‍්‍රතිවිරොධී උගුල නම් පීඩිත දෙමළ ජනයාට එරෙහිව රාජ්‍යය ශක්තිමත් කරන අතරම සිංහල පීඩිත ජනයාගේ අරගලයන්හිදී එම රාජ්‍යයම සමඟ ගැටුමකට ගමන් කිරීමට සිදුව තිබීමයි. උතුරේ දී ජවිපෙ විසින්ද වීරත්වයට නැවෙන වන රාජ්‍ය ආරක්ෂ පිරිස් දකුනේ දී ජවිපෙ මර්දනයේ දඩයක්කරුවන් බවට පත් වෙති. තිත්ත වුණත් ඇත්ත ය.

අද පවා ජවිපෙ සිය මැයි දින පෙළපාලිය වර්ණවත් කර ගැනීම පිණිස මාක්ස් - ලෙනින් ජායාරූප ඔසවාගෙන යයි. එනමුත් පශ්චාත් 1983 කලූ ජූලි ජවිපෙ රාජ්‍යය, එනම් ආරක්ෂ හමුදා සහ බන්ධානගාර දක්වා වූ මර්දන මෙවළම් ධනපති ක‍්‍රමයේ ආරක්ෂකයා ය යන මාක්ස් ලෙනින්වාදී අර්ථ දැක්වීම සහමුලින්ම අතහැර දමා තිබේ. 1983න් පසු වැඩකරන ජනයාගේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස දෙමළ පීඩිතයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට එම අයිතීන් මර්දනය කරන රාජ්‍යය ශක්තිමත් කිරීම ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය බවට පත් විය. එහිලා එය කොතරම් දුරට ගමන් කළේද යත් සිය නායකයා අත් අඩංඟුවට ගෙන ඝාතනය කිරීම පිළිබඳව හෝ කිසිදු විධිමත් පරීක්ෂණයක් හෝ ඉල්ලා සිටියේ නැත. මන්ද යත් ආරක්ෂ හමුදා එම ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු නොවනු පිණිස ය. 1988 - 90 යුගයෙහි අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලූනු කොමිෂන් සභා වාර්තා මගින් ආරක්ෂ අංශ නිලධාරීන් 200ක් පමණ නම් කරන ලද නමුත් ඒ අනුව නීතිමය පියවර ගන්නා ලෙස 2000 පරිවාස ආණ්ඩු යෝජනාවන්හිදීවත් ජවිපෙ ඉල්ලා සිටියේ නැත. ඒ ද රාජ්‍යය දුර්වල නොකරනු පිණිසය. යුද්ධ කාලයකදී පවා ආරක්ෂ හමුදා විසින් පිළිපැදිය යුතු හිමිකම් ඇති බව ප‍්‍රතික්ෂේප කළ ජවිපෙ ඒ අයිතීන් වෙනුවෙන් සටන් කළ පිරිස් හංවඩු ගසන ලද්දේ ද්‍රෝහීන් ලෙස ය. නමුත් අද ජවිපෙ මුහුණ දී සිටිනනේ රාජ්‍ය ආරක්ෂාවේ නාමයෙන් එලෙස අහිමි කැරෙන ස්වකීය හිමිකම් රැුක ගැනීමේ කාල පරිච්ජේදයකටය.

ජනවාර්ගික ගැටුම විසින් ශ‍්‍රී ලංකාවේ දේශපාලනය අධිනිශ්චය කළ කාලය දැන් ඇත්තේ අපට පිටු පසිනි. වෙනම රාජ්‍යයක් සඳහා වූ දෙමළ සන්නද්ධ අරගලය ලද තීරණාත්මක පරාජය විසින් නව ප‍්‍රතිවිරෝධයන් ඉදිරියට ගෙනැවිත් තිබේ. පීඩිත පංතීන්හි සහ ප‍්‍රජාවන්හි මෙන්ම පුලූල් ජන ස්ථරයන්ගේ මානව සහ ප‍්‍රජාතන්ත‍්‍රීය හිමිකම් දැන් එළඹෙන යුගයේ මහා පොදු සාධකය වනු ඇත. ජවිපෙ මත එල්ල වන මර්දනය එම සමස්ත මර්දනයේම කොටසකි. එයට විරුද්ධවීම සමස්ත මර්දනයට විරුද්ධ වීමක්වන අතර එම විරුද්ධත්වය සාර්ථක වනු ඇත්තේ සමස්ත මර්දනයටම විරුද්ධ පුලූල් ව්‍යාපාරයක කොටසක් ලෙස පමණි.

ජවිපෙ මෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග මුහුණ දෙන අභියෝගය එය යි.

[රාවය- 05.12.2010]

සුනන්ද දේශප්‍රිය



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails