Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ පරම්පරාවේ ලාංකේය දකුණේ ජීවිත වලින් වසර ගණනාවක් තිස්සේ වෙන් කර තිබු උතුර දැන් අර්ථ ගණනාවකින් නිදහස්ය. එය ස්වයං ඝාතක ත්‍රස්තවාදයක් බවට පරිවර්තනය වු සන්නද්ධ දෙමළ ජාතිකවාදයෙන් නිදහස්ය. ජනවාර්ගික ඛෙදුම් රේඛා ඔස්සේ ශ්‍රි ලංකා දිවයින පරිකල්පනය කරන්නට ඉගැන්වු භූගෝලීය චින්තනයෙන් එය නිදහස්ය. ජාතිකත්වයේ බිඳී ගිය අත්වැල් ගැන සුසුම්ලමින් උතුරේ ස්ත්‍රී ආත්මයට වියෝ ගී ලියු දකුණේ කලාකරුවන්ගේ පුරුෂෝත්තමවාදී-

වැලපුම් සහගත ප්‍රබන්ධයන්ගෙන් උතුර දැන් නිදහස්ය. රාජ්‍යයේ සහ ජාතියේ පොදු නිර්ණායකය ලෙස සිංහල - බුද්ධාගම හඳුනාගත් නිල ජාතිකවාදයට උතුර නිදහස්ය. ගෝලීය සහ ජාතික ප්‍රාග්ධනයට එය නිදහස්ය. මෙසේ නිදහස් වු උතුරට දකුණින් සිංහල - බෞද්ධ සංචාරකයෝද, NGO සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝද, ප්‍රාග්ධන හිමියෝද, නානාප්‍රකාර දේශපාලන සත්වයෝද, තවත් බොහොමයක් ජනී ජනයෝද දැන් අතොරක් නැතිව යති; එති. එකී උතුරේ නිදහස් භූමියට මෙසේ සංචාරයේ යෙදෙන දකුණුදිග වාසීන්ට මෙතෙක් කලක් ස්වකීය පරිකල්පනීය මනෝ චිත්‍රයන් තුළ දුටු උතුර වෙනුවට අතිශය වෙනස් උතුරක් දැන් අභිමුඛ වෙමින් තිබේ. මෙතෙක් කලක් වැසී තිබුණු A9 මාර්ගය දැන් ඕමන්තේ මුර පොළේ චාරිත්‍රානුකූල හමුදා පරීක්ෂණයට පමණක් ඉඩ තබා විවෘත කොට ඇත. ඕමන්තේ මුරපොළෙන් ඔබ්බට වු ලෝකය ගැන මේ තාක් කල් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් අප පරිකල්පනය කළ බොහෝ දේ දැන් සැබෑවේ විරූපී පෙනී සිටීම ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් තිබේ.

නමුත් එසේ වු පමණින් උතුර ගැන නව සංකල්පීය හඳුනා ගැනීමක් සිදු වනු ඇතැයි කිව නොහැකිය. පසුගිය කාලයේ උතුරට සංචාරය කොට පැමිණි බොහොමයක් දෙනා උතුර අලූතින් සංකල්පගත කර ගත නොහැකිව හුදෙක් තමන් දුටු කරුණු කාරණා වල ලැයිස්තුවක් පමණක් අප ඉදිරියේ දිග හරිමින් සිටිති. මෙය පුදුමයට කරුණක් නොවේ. මන්ද යත් පශ්චාත් - නන්දිකඩාල් ලංකාවේ උතුර, දකුණේ මිනිස් විෂයන් විසින් බොහෝ විට ඉලක්ක කරනු ලබන්නේ සංචාරක අවකාශයක්, ප්‍රාග්ධන සමුච්චනයේ ක්‍ෂේත්‍රයක්, ගොදුරු වුවන් පිළිබඳ සානුකම්පාව දනවන අවතැන් කඳවුරක්, කලාත්මක වස්තුවක්, අහිමි වු අතීතයක් පිළිබඳ මතක වේදනාව (Nostalgia) දනවන බිම් කඩක්, දේශපාලන බලයේ නව ඉලක්ක බිමක් හෝ සිංහල රණකාමීත්වය විසින් දිනාගත් නව දේශයක් ලෙසින්ය. මෙසේ විවිධාකාරයෙන් උතුර වස්තු-විෂය කිරීම (Objectify) සම්බන්ධයෙන් දිය හැකි අනුභූතික නිදසුන් රැසකි. අතීතයේදී යුද උපායික අර්ථ දැනවු උතුරේ බොහොමයක් වස්තුන් සහ අවකාශයන් දැන් සංචාරක අවකාශයන් බවට පරිවර්තනය වෙමින් පවතින අයුරු සිහි කරන්න. උතුර මිලිටරි - දේශපාලන ගැටළු වල ක්‍ෂේත්‍රයේ සිට ආර්ථීක සංවර්ධන සහ සුභසාධක ගැටළු වල ක්‍ෂේත්‍රයක් දක්වා පරිවර්තනය වෙමින් පවතින අයුරු නිරීක‍ෂණය කරන්න. උතුර සිංහල - බෞද්ධ සංචාරක ක්‍ෂේත්‍රයක් බවට පත් වීමට සමාන්තරව ගෝලීය ප්‍රාග්ධනයේ ඉලක්ක බිමක් බවට හැරවෙමින් පවතින අයුරු විචාරාත්මකව විමසන්න. එවිට ඔබට පශ්චාත් යුදකාලීන උතුර දකුණේ වස්තු-විෂයක් වීමේ විවිධාකාර ස්වරූපයන් මුණ ගැසෙනු ඇත. මා පවසන්නට යන්නේ උතුර කෙසේවත් වස්තු-විෂයීකරණය නොකළ යුතු බව නොවේ. එය ප්‍රමාණවත් තරමින් සමාජයීය විද්‍යා දැනුමේ වස්තු විෂයක් බවට පත් කොට නොමැති බවය. ජාතික සහ ගෝලීය ආර්ථීකල සමාජ - දේශපාලනික යනාදී විශ්ලේෂණයන් සමඟ ලාංකේය පශ්චාත් - යුදකාලීන උතුර සම්බන්ධ කරන්නේ කෙසේද යන්න විධිමත්ව විමසා බලා නොමැති බවය. උතුරේ සමාජ විද්‍යාත්මක සුවිශේෂකත්වය සහ එය ගෝලීය සහ දේශීය සමාජ දේශපාලනික ප්‍රවණතාවන්ගේ පොදු බව සමඟ සම්බන්ධ වන ආකාරය විග්‍රහයට ලක් වී නොමැති බවය. කොටින්ම උතුර දෙස සංචාරකල දේශපාලනික - උපයෝගීතාවාදී, ව්‍යාපාරික හෝ මතක - වේදනාත්මක දෘෂ්ටියකින් නොව දාර්ශනික සහ න්‍යායික දෘෂ්ටියකින් බැලිය යුතු බවයි මා පවසන්නේ. ඒ සඳහා අවශ්‍ය වනුයේ සමාජයීය විද්‍යාත්මක පර්යේෂණ විෂයක මැදිහත් වීමකි.

මේ සඳහා සුළු හෝ දායකත්වයක් සපයනු වස් මම පසුගිය සති කිහිපයේදී උතුරට පර්යේෂණාත්මක චාරිකා දෙකක නිරත වීමි. මෙම කෙටි ලිපියේ අරමුණ ඉහත චාරිකාවන් තුළදී මවිසින් කරන ලද මුලික නිරීක‍ෂණ කිහිපයක් සටහන් කිරීමය. ඒවා හුදෙක් ‘නිරුවත් කරුණු’ ලෙස (නිරුවත් කරුණු පවතී යැයි මම විශ්වාස නොකරමි) ඉදිරිපත් කිරීමට මා මෙහිදී ප්‍රයත්න නොදරන අතර, එහෙයින් මෙය සංකල්පීය / න්‍යායික මැදිහත් වීමක් සහිත නිරීක‍ෂණ සටහනක් ලෙස සැලකිය යුතුය.

මගේ පළමු නිරීක‍ෂණය උතුර වස්තු-විෂයීකරණය කිරීමේදී බොහෝ දෙනෙකු විසින් නොසලකා හැර තිඛෙන කාරණයකි. එනම් ‘උතුර’ යනුවෙන් තනි සංකල්පීය සමස්තයක් ගොඩ නගා ගැනීමේදී බොහෝ විට මග හැරෙන උතුරු ප්‍රදේශයේ විවිධාකාර කලාපීය සුවිශේෂීතාවන්ය. යාපනය නගරය ආශ්‍රිත උතුරේ පරිවාර - කේන්ද්‍රයත්, ඌණ - සංවර්ධිත බවේ සහ යුද්ධයේ සෘජු බලපෑමට ලක් වු පරිපාලන දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වන්නි ප්‍රදේශයත් අතර ඇත්තේ සුවිශාල පරතරයකි. වන්නිය සහ යාපනය අතර සමාජ දේශපාලනමය ලෙස කාලාන්තරයක් තිස්සේ පැවති ව්‍යුහාත්මක සම්බන්ධයෙහි ස්වරූපය විශිෂ්ට ලෙස පැහැදිලි කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ආචාර්ය සුසෙයී ආනන්දන් මා සමඟ සාකච්ඡාවක නිරත විය. ඔහු පැවසු පරිදි වන්නියට දෘෂ්ටිවාදී සහ දේශපාලනික නායකත්වය සැපයීමට යාපනයේ සිවිල් සමාජයට තිබු ශක්‍යතාව පශ්චාත් - යටත්විජිත ලාංකේය උතුරේ දේශපාලනයේ කේන්ද්‍රීය සාධකයකි. එසේම පසුගිය දශක කිහිපයේදී බටහිර රටවලට, ඉන්දියාවට, කොළඹට හෝ ලෝකයේ වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වු ද්‍රවිඩ ඩයස්පෝරාව සමඟ ඥාතී සම්බන්ධතා ඇති උතුරේ මධ්‍යම පංතිය සුවිශේෂී සමාජ ස්ථරයක් ලෙස සලකා බැලිය යුතු බවද මට පෙනී ගියේය. මෙම ''ඩයස්පෝරා මධ්‍යම පංතිය'' ඔවුනගේ පංතිමය, දේශපාලනික අභිලාෂයන්ගේ පැත්තෙන් ගත් කල කම්කරු, ධීවර, ගොවි, සුළු ව්‍යාපාරික, රැකියා විරහිත සහ අවතැන් වු ජන කොටස් වලින් බරපතල ලෙස වෙනස්ය. මගේ නිරීක‍ෂණය නම් මෙකී දෙවන පිරිස තම උවමනාකම් ආර්ථීක පැවැත්මේ කොන්දේසි ඇසුරින් උච්චාරණය කරන විට ඒවා දේශපාලනිකව සුසම්බන්ධ කරන්නේ පළමු කී පිරිස විසින් බවය. තවද යුද්ධය නිමා වීමත් සමඟ දෙමළ සමාජයේ ඓතිහාසිකව පැවති ජනවාර්ගික නොවන අවශේෂ ගැටළු යනාදිය ගැන නැවත අවධානය යොමු කිරීමේ උනන්දුවක් යාපනය සහ කොළඹ කේන්ද්‍රීය දෙමළ බුද්ධිමය සමාජයේ ගොඩ නැගෙමින් පවතී.

විශේෂයෙන්ම යාපනය අර්ධ ද්වීපය සම්බන්ධයෙන් ගත් කල පැහැදිලිවම නිරීක‍ෂණය කළ හැකි ප්‍රවණතාවක් නම් ගෝලීය සහ කොළඹ - කේන්ද්‍රීය ප්‍රාග්ධනයේ වේගවත් ව්‍යාප්තියයි. පාරජාතික සමාගම් වල සිට දකුණේ තොග වෙළඳුන් දක්වා විශාල පරාසයක ව්‍යාපාරික කණ්ඩායම් යාපනය අර්ධ-ද්වීපය නව ඉලක්ක බිමක් ලෙස තෝරාගෙන තිබේ. මේ ආශ්‍රිත සිත් ගන්නා සුළු දේශපාලන - ආර්ථීකමය පමණක් නොව සමාජ විද්‍යාත්මක නිරීක‍ෂණයන්ද රැසක් කළ හැකිය. තිස් වසරක සිවිල් යුද්ධයේ පසුබිම තුළ ලාංකේය උතුර සහ දකුණ අතර ඉතිහාස - කාලයේ (historic-time) නොගැලපීමක් නිර්මාණය වු බව මනාව ප්‍රත්‍යක‍ෂ වන්නේ ආර්ථීක විවෘතකරණයේ දෘෂ්ටිකෝණයෙන් උතුර දෙස බලන විටය. අලූතින් විවෘත වු A9 මාර්ගය එක් අතකින් උතුරට නව ලිබරල් ආර්ථීකයේ පරිවාර ධනවාදී මොඩලයද රැගෙන යයි. මා සමඟ සාකච්ඡා කළ යාපනය විශ්ව විද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන් A9 මාර්ගය විවෘත වීමේ නිශේධනීය යැයි ඔවුන් දකින ප්‍රතිඵල පිළිබඳ ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කළහ. යාපනය නගරයේ මධ්‍යම පාන්තික ඇතැම් පුද්ගලයන් ඉහත කාරණය ඔවුන්ගේ ජනවහර තුළ උච්චාරණය කළේ ''දැන් යාපනේ මිනිස්සු සල්ලි පස්සේ දුවනවා'' ''හැමදේම විකිණෙන්න පටන් අරන්'' යනාදී ලෙසින්ය. විවෘත ආර්ථීක ප්‍රතිපත්තීන් සමඟ ගොඩ නැගුනු පරම්පරාවක අප කොළඹ සිට උතුරට යන විට කාල - යන්ත්‍රයක (Time - Machine) නැගී අතීතයට ගමන් කිරීමේ හැගීමක් අප තුළ ජනනය වේ. යුද්ධයේ නිමාව විසින් උතුරට නව අභියෝගයක් ඉදිරිපත් කොට ඇත. එනම් මෙතෙක් කලක් සන්නද්ධ ද්‍රවිඩ ජාතිකවාදයේ පාලනය යටතේ ඕමන්තේ මුරපොලෙන් ඔබ්ඛෙහි ඔවුන් තනාගෙන තිබු ''නව - ලිබරල් ධනවාදයෙන් මුදාගත් ප්‍රදේශය'' ඔවුන්ට අහිමි වීමය. දැන් උතුර - දකුණ භේදයකින් තොරව පොදු සමාජ ඉරණම වන්නේ නිදහස් වෙළඳපොල ආර්ථීකය තුළ පුද්ගලික ලාභය වෙනුවෙන් තරඟ වැදීමයි. A9 මාර්ගය විවෘත වීම සමඟ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික මනස තුළ මුර්තිමත් වෙමින් ඇත්තේ 1980 දශකයේ දකුණේ සිංහල - බෞද්ධ මධ්‍යම පාංතික සවිඥානය තුළ පැන නැගුනු අන්දමේ මනෝභාවයන් බැව් පෙනේ. මා ආර්ථීක - විවෘතකරණයට සාපේක‍ෂව උතුරේ සහ දකුණේ ඉතිහාස - කාලයේ නොගැලපීමක් ඇතැයි පවසන්නේ මේ නිසාය.‍

ඉහත තත්ත්වය යටතේ යාපනය අර්ධද්වීපයේ නිෂ්පාදකයන් සහ වෙළඳුන් හට මුහුණ දීමට සිදුව ඇත්තේ කෙසේවත් ජයගත නොහැකි තරඟයක ධාවකයන් වන්නටය. ගෝලීය ප්‍රාග්ධනයත්, ඒ සමඟ කොන්ත්‍රාත්කාර පදනමකින් බැඳුනු දකුණේ සමාගමුත් උතුරට පැමිණෙන විට ඇති වන තත්ත්වය එබඳුය. මගේ පර්යේෂණ චාරිකාව තුළ උතුරේ ධීවර ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු ඇසුරින් ඉහත කාරණය මනාව පැහැදිලි විය. ආරක‍ෂක හේතූන් මත පනවා තිබු අවසරපත් ක්‍රමය සහ සාගර අධි ආරක‍ෂක කලාප බොහෝ දුරට සීමා කර ඇතත් දැන් උතුරේ ධීවරයන් නව අභියෝගයකට මුහුණ දී තිබේ. එනම් ඉන්දීය ට්‍රෝලර් බෝට්ටු වලින් පැමිණෙන අනවසර ධීවරයින් සහ මීගමුව, මාතර ආදී ප්‍රදේශ වල සිට බහු-දින යාත්‍රා (Multi-day boats) වලින් පැමිණෙන ධීවරයන් සමඟ අසාර්ථක තරඟයකට මුහුණ දීමට සිදු වීමයි. තවද, බෝට්ටු සහ දැල් ආම්පන්න නිපදවීම, බෝට්ටු පිළිසකර කිරීම, අයිස් නිෂ්පාදනය කිරීම, මාළු ප්‍රවාහනය සහ වෙළඳාම යනාදී සෑම ක්‍ෂේත්‍රයක් තුළදීම දකුණේ ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට ලක්වීමට ඔවුනට බල කෙරී ඇත.

ප්‍රාග්ධනයේ ආක්‍රමණික ප්‍රවේශයට සමාන්තරව උතුරේ බොහෝ දෙනෙකු අවධානයට ලක් කරන්නේ අවතැන් වුවන් යළි පදිංචි කිරීම, ආර්ථීක සංවර්ධනය, සුභසාධනය යනාදී කාරණා පිළිබඳව උවත් මා පෙන්වා දීමට කැමති වන්නේ තිස් වසරක යුද්ධය පසුබිම් කොටගෙන උතුරේ සමාජ-ප්‍රාග්ධනයේ (Social Capital) එනම් ප්‍රජා සම්බන්ධතා ජාලයන්ගේ බිඳ වැටීමයි. උතුරේ සංස්කෘතික - බුද්ධිමය නායකත්වයේ හදවත වු යාපනය විශ්ව විද්‍යාලය දැන් එහි නිර්මාණශීලී චින්තනයේ ජවය සිඳී යාමට ලක්ව ඇත. අනෙක් අතින් ජනයාගේ ක‍ෂුද්‍ර ජීවිතයම පොලිස්කරණයට ලක් කිරීම මගින් සිවිල් සමාජය නිහඩ කොට ඇත. සැබවින්ම උතුරේ සමාජ-ප්‍රාග්ධනය විනාශ කිරීම සඳහා වැඩි දායකත්වයක් දක්වා ඇත්තේ ස්වයං-ඝාතක එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයයි. ආර්ථීකමය ලෙස ගත් කල මෙහි ප්‍රතිඵල අතිශය නිශේධනාත්මකය. මන්ද යත් කලක් අතිශය ශක්තිමත්ව පැවති උතුරේ ධීවර සමිති, එළවළු වගා කරන්නන්ගේ සංගම්, ව්‍යාපාරික ජාලයන් යනාදිය දැන් බරපතල ලෙස බිඳී ගොස් තිඛෙන බැවිනි. උතුර සහ දකුණ අතර ප්‍රජා සංවිධාන වල මට්ටමෙන් නව සම්බන්ධතා ගොඩ නැගිය හැකිය සහ යුතුය යන මා මිත්‍ර අහිලන් කදිරගාමර් ඉදිරිපත් කරන අදහස වැදගත් වන්නේ මෙම තත්ත්වය තුළය.

අවසන් වශයෙන් ඉහත පසුබිම තුළ දේශපාලනමය බලාධිකාරය හැඩ ගැසෙමින් තිඛෙන්නේ එක් අතකින් ඉන්දියාවල UNDP සහ ගෝලීය සංවර්ධන ආයතන වල අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මිලිටරීකරණය වු සංවර්ධන කර්මාන්තය ඇසුරිනි. අනෙක් අතින් ආචාර්ය මුතුක්‍රිෂ්ණ සර්වනන්තන් මනාව පැහැදිලි කරන පරිදි රාජපක‍ෂ බලාධිකාරයේ සෘජු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය අර්ධ-මිලිටරි දෙමළ නායකත්වයන් ඇසුරිනි. වඩා පැහැදිලිව කිව හොත් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය විනයාගමූර්ති මුරලිදරන් විසිනුත්, ත්‍රිකුණාමලය හා මඩකලපුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් විසිනුත්, වන්නිය කුමරන් පත්මනාතන් විසිනුත්, යාපනය අර්ධද්වීපය ඩග්ලස් දේවානන්ද විසිනුත් ඔවුන්ගේ අනුග්‍රාහක - සේවාදායක සබඳතා ඔස්සේ පාලනය කිරීම අරඹා ඇතැයි සර්වනන්තන් පෙන්වා දෙයි.

පශ්චාත් නන්දිකඩාල් යුගයේ උතුරු දිග ඓතිහාසික හවුල (Historic Bloc) මෙබඳුය. ගෝලීය හා ජාතික ප්‍රාග්ධනයේ ගලා ඒම, සමාජ ප්‍රාග්ධනයේ බිඳ වැටීම, මිලිටරීකරණය වු සංවර්ධන කර්මාන්තය, ජන ජීවිතය පොලිස්කරණය වීම, අර්ධ-මිලිටරි නව අනුග්‍රාහක-සේවාදායක දේශපාලනය (Patron - Client Politics) යනාදිය එහි නව අංගෝපාංගයෝ වෙති. එහෙයින් දැන් ''සිංහල-බෞද්ධ හෙජමොනිය'' යනු යල් පැන ගිය අදහසක් වන අතර එය ''සිංහල-බෞද්ධ ධනවාදී හෙජමොනිය'' ලෙස ප්‍රතිනාමකරණය සහ පුනර්-අර්ථකථනය කළ යුතු බව මගේ විශ්වාසයයි.

සුමිත් චාමින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails