Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"ලංකාවේ වඩාත්ම රැඩිකල් මුලින්ම ඩෙනිම ඇන්ද කෙල්ලයි..." - ලියනගේ අමරකීර්ති

පුරුෂ මූලික ලාංකික සමාජයේ පීඩිත ගැහැණිය විසින් පීඩක පුරුෂයාට එරෙහිව සංස්කෘතික වශයෙන් නිදහස් වීමේ තීරණාත්මක මොහොත ලියනගේ අමරකීර්ති ඒ ආකාරයෙන් දක්වන විට, සිය ග්‍රහණයෙන් මිදෙමින් සිටින්නා වූ කාන්තාව පිළිබඳව පිරිමියාගේ වන අකමැත්ත, තරහව, වෛරය විවිධ ස්වරූප වලින් කළ එළි බසී. ඊනියා සදාචාරවාදී බැටළු හම් පොරවා ගත් වෘක පුරුෂාධිපතිධාරීන් තමන්ගේ බැටළු හම් ඉවත් කරලීමට අවසර ලත් සැනින් සිය සැබෑ ස්වරූපය සමාජයට පෙන්වා දේ.

ඒ ආකාරයෙන් සමස්ත කාන්තාව පිළිබඳව වන විවේචනයන් සිය හැඟීම් සමඟ නොසඟවා ප්‍රකාශ කිරීමට අවස්ථාවක් පසුගිය දින වල ලංකාවේ ජනමාධ්‍ය වෙත උදාවිය. එනම් මෙගා ටෙලි නාට්‍යයක රඟපාන ජනප්‍රිය නිළියක විසින් සිදුකළායැයි කියන සොරකමක් පිළිබඳ තොරතුරු හා ඒ සම්බන්ධ ඡායාරූප ප්‍රසිද්ධ වීමයි. තමන් විසින් කුප්‍රසිද්ධියට පත්කරන්නේ ලේ මස් නහර ඇති මනුෂ්‍යයෙක්ය යන මානුෂීය සංවේදීතාවයෙන් ‍තොරව ලංකාවේ විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍ය විසින් එකී නිළියට දිගින් දිගටම සොරකම අලලා වන සිදුවීම හරහා ප්‍රසිද්ධියක් ලබා දුන්නේ සිදුවූ හොරකම නිසාම නොවන බව පැහැදිලිය.

අදාළ නිළිය විසින් සිදුකළා යැයි කියන සොරකම නිවැරැදි යයි අප කිසිවිටෙක වත් නොකියමු. සමාජයේ මූලික සදාචාර රීතියක් කඩාදමමින් සිදුකළා වූ මේ ක්‍රියාව කවරාකරයකින් සැළකුවද අනුමත කළ නොහැක්කකි. ආර්ථික පහසුකම් වලින්ද අඩුවක් නැතැයි කියන මේ තැනැත්තිය විසින් සිදුකළ මේ ක්‍රියාව මානසික ආබාධයක් වශයෙන් සැළකිය හැකිය. ඒ කෙසේ වුවද සදාචාර රීතී බිඳදැමූ පළියට ශිෂ්ට යයි සැළකෙන සමාජයෙන් ඇයට සදාචාර විරෝධී ආකාරයෙන් දඬුවම් ලබාදීමක් පෙරළා සිදුවන්නේ නම් එයද නිවැරැදි දෙයක් නොවේ.

බහුතර බෞද්ධාගමිකයින් සිටින රටක පන්සිල් පද පහේ සොරකමද පවක් ලෙස සැළකුවද ර‍ට තුළ සොරකම් සිදුවන්නේ හුදු රෙදි සොරකම් කිරීමකට එහා ගිය අතිශයින්ම නිර්ලජ්ජිත ඒවා ලෙසය. ඒවා ප්‍රමාණාත්මකව ගත් කළ කෝටි ප්‍රකෝටි ගණන් වලින් යුතු ඒවාය. සුනාමි විනාශයෙන් අවතැන් වූවන් සඳහා වු ආධාර කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑ කුප්‍රසිද්ධ සිදුවීම් ලංකාවේ මාධ්‍යයට මෙන්ම නීතියට ද අමතකව ගොස් ඇත. මාවිල්ආරු ගොවිතැන් විනාශයේදී වන්දි ‍හොරා කෑ ඇමතිවරයාගේ තාවකාලික වැඩ තහනමක් වත් කළේ නැත; ඔහුට ජනතා මනාපය ද ලැබුණි. ගංවතුරෙන් අසරණ වූ ජනතාවට බෙදාදීමට ගෙනා ටකරං හොරකමට මාට්ටු වූ පිරිස් මෙන්ම පසුගිය සතියේ රාවය අනාවරණය කළ පරිදි මහනුවර ප්‍රදේශයේ රාමසාන් උපවාසය වෙනුවෙන් වෙන් කළ මුදල් ගසා කෑම් වලට චෝදනා ලද පුද්ගලයාට සිය පක්ෂය මාරු කිරීමට පමණක් නොව යාන වාහන, ගෙවල් දොරවල් ලබා ගැනීමටද අවස්ථාවක් ලැබුණි. මේ රටේ සිදුවන අනෙකුත් මහාපරිමාණ හොරකම් ගැන අමුතුවෙන් කිව යුතු නොවන්නේ ඒවා සාමාන්‍යකරණය වී ඇති බැවිනි. එක් පිරිසකට පමණක් හොරකම් කිරීමේ පේටන්ට් අයිතිය හිමිවී වී ඇත.

රටේ සමස්තය ‍‍මේ ආකාරයෙන් ගත්කළ ‍මෙකී නිළියගේ සොරකම සමාජයීය වශයෙන් බලපෑමක් එල්ල කරන්නක් වූයේ නැත. මේ සොරකම නිසා මෙකී තැනැත්තියට කෝටිපතිනියක් වන්නට හෝ අදාළ සාප්පු හිමිකාරිය නැතිභංගස්ථාන වන්නේද නැත. ජනප්‍රිය මෙගා ටෙලි තලයේ වන හිස් බව පිළිබඳ ප්‍රසිද්ධ අදහසක් මෙහිදී ඉදිරිපත් වුවද, මේ පිළිබඳ සංවාදය ඇතිවූයේ හොරකම පසෙකලා කාන්තාව සම්බන්ධ වන වෛරයත්, යටපත් වූ ලිංගික හැඟීම් එළි දක්වා ගත හැකි අවස්ථාවක් ලෙසටය.

සමාජ භාවිතයේදී යටපත් කර සිටින සිය අවංක හැඟීම් දැනීම් සදාචාර සීමාවන් පසෙකලා එළිදැක්වීමට අවස්ථාව ලැබෙන ප්‍රධාන අවස්ථාවන් අතර අන්තර්ජාලයේ අනන්‍යතාව සඟවාගත් කමෙන්ටු පළ කිරීම (Anonymous Comments) ප්‍රධානය. මෙම ප්‍රවෘත්තිය පිළිබඳ ද සුවිශාල ප්‍රමාණයක් අදහස් දක්වා තිබුණි. එහෙත් ඔවුන් විසින් ඉලක්ක ගත කොට තිබුණේ සොරකම සම්බන්ධයෙන් අංශුමාත්‍රයක වත් සම්බන්ධතාවයක් ඇති අදහස් නොව ඇය පිළිබඳව වූ ලිංගික ඊර්ෂ්‍යාවත්, වෛරයත් පිළිඹිඹු වන ආකාරයේ අදහස්ය. සුරූපී කාන්තාවක් ලෙස මාධ්‍ය අවකාශයෙන් ලැබෙන මුල්‍යමය වටිනාකම විවිධාකාරයෙන් අර්ථ දැක්වීමත්, තමන්ට ඉටුකරගත නොහැකිව යටපත් කරගැනීමට සිදුව තිබෙන ලිංගික ආශයන් නිසා හටගත් කෝපයක් ද මේවායේ අන්තර්ගත විය. සුරූපී කාන්තාවක් වූ නිසාම දැවැන්ත මූල්‍ය වටිකාමක් ලැබෙන බොහෝ කාන්තාවන්ට එල්ලවන කෝපයේ ස්වරූපය පිළිබඳව උදාහරණ ද පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණි.

ක්‍රෙඩිට් කාඩ් හොරකම්, පිටරට සාප්පු වලින් සිදුකරන ලද සොරකම් සම්බන්ධයෙන් වරදකරුවන්වූ සුප්‍රසිද්ධ ක්‍රීඩකයින් රැසක්‍ වේ. ඒවාට මාධ්‍යවලින් ප්‍රචාරයක් හෝ ජනමතයක් නිර්මාණය නොවීමත් මෙකී නිළිය සම්බන්ධයෙන් එසේ පුළුල් ප්‍රචාරයක් ලැබීමටත් එකම හේතුව ලිංගිකත්වයේ වෙනසයි. පසුගිය කාලයේ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ද එල්ල වූ ක්‍රීඩකයෙකු පිළිබඳව කෙළ පිඩක් නොහළන්නට ලංකාවේ ජාතික යැයි සම්මත සියළු මාධ්‍ය ක්‍රියාකර තිබුණේ නිශ්චිත එකඟතාවයක් නිසාමද? ජනප්‍රිය තරු සම්බන්ධයෙන් වන වෙළඳ වටිනාකම ඒවාට අදාළ නොවේද?

ලංකාවේ ජනමාධ්‍ය විසින් "ප්‍රවෘත්ති" පිළිබඳ වන අර්ථකථනයන් කණපිට හරවාගෙන ඇති බව ඒ පිළිබඳව විමසිලිමත්වන්නෙකුට වටහා ගැනීම අපහසු නොවේ. විවිධාකාර ඕපාදූප, කුණු කතා, පුද්ගලික වෛරයන්, වෙළඳ දැන්වීම් පවා ලංකාවේ විද්‍යූත් හා මුද්‍රිත මාධ්‍යයන් විසින් ප්‍රවෘත්ති ලෙස අර්ථදක්වා ඇති අවස්ථා ඕනෑතරම්ය. මූල්‍යමය අගයක් හටගන්නා කුමන ‍හෝ දෙයක් විකිණෙන ධනවාදී සමාජයක කැතකුණු, අසූචි සඳහා වන ඉල්ලුම නිසාම ඒවා විකිණීම පුදුමයක් නොවුණද නිශ්චිත පුද්ගල කොට්ඨාශයක් හමුවේ වන පීඩනය වෙනුවෙන් හඬක් නැඟීම ඒ සදහා අවබෝධයක් ඇති සියල්ලන්ගේ වගකීමකි.

ලංකාවේ කාන්තාව විසින් පුරුෂයා අභිබවමින් ක්‍රමිකව ඉදිරියට ඇදීගෙන යාම සෑම ක්ෂේත්‍රයක් තුළම දිස්වන්නකි. සුදුසුස්සාට සුදුසු තැන ලැබේනම් ඒ සඳහා ලිංගිකත්වය කිසිලෙසකින්වත් බාධාකරගත යුතු නැත. පසුගිය දිනවල බූන්දියේ පළවූ ලිපියක ද කියවුණු පරිද්දෙන්ම කිසියම් අයෙක් කාන්තාවක් වූ නිසාම අසාධාරණයකට හෝ වෙන්කොට සැළකීමකට ලක්වේ නම් ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව විරෝධය පළකළ යුතුය.

පෙරකී ‍මාධ්‍ය ගොදුරට හසුවූ මෙගා ටෙලි නිළිය තමන්ගේ අයිතීන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹී ඇත. ඇගේ කලාත්මක භාවිතාව පිළිබඳව විවේචනයක් අප සතුවුවත්, කලාත්මක භාවිතාව හා මානූෂීය බව අප වෙන්කොට හඳුනාගෙන ඇත. ඇය විසින් නිරූපණය කරන ටෙලිනාට්‍ය විකාශනය වන නාළිකාව නිසාම නොවන්නට "අදත් පිටපත" ලියන ලංකාවේ සිංහල බෞද්ධ විකෘතියේ අමන ප්‍රකාශකයා ඇතුළු රාජ්‍ය මාධ්‍ය නඩය තවත් හපයක් කරන්නට උඩපැනගෙන ඉදිරිපත් වීම ගැන කිසිදු සැකයක් නොමැත.

අප සමාජයේ කාන්තාවගේ ගමන තවදුරටත් වේගවත් වේ නම් ඒ වෙනුවෙන් ඇතිවිය හැකි ප්‍රතිරෝධය තවත් දැඩිවීම ස්වභාවිකය. ලියනගේ අමරකීර්ති විසින් නිරතුරුව ප්‍රකාශ කරනවාක් මෙන් "මුලින්ම ඩෙනිම ඇන්ද කාන්තාව" වඩාත් රැඩිකල් ක්‍රියාකාරකමක් වූවා සේම ඉදිරියේදී පිරිමියා වික්ෂිප්ත වන තීරණ ගැනීමට කාන්තාවට කටයුතු කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නොව පැවැත්මේ ප්‍රතිඵලයකි.

සංඛ කිරිඳිවැල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails