Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කසිප්පු පේ‍්‍රමෙ ගෙදෙට්ට එනකොට දරුවො දෙන්න මැටි කෝප්පෙ තිබුණ අන්තිම බත් ඇට ටිකත් කාලා මැටි කෝප්පෙ ලෙවකමින් හිටියෙ. කසිප්පු මතට තමන්ගෙම සරීරෙ වාරු නැතිව හුළඟට අහුවෙච්ච රෙදි පටියක් වගේ වැනෙන ඇඹරෙන සරීරෙ පොඩි උන් දැක්කම කෙළින් උනේ යකඩ ඉන්නක් වගේ. ඇටි කුකුල් ඇස් වගේ රතු පාටට ගිනියම් වුණු පේ‍්‍රමයගෙ ඇස් වලින් පළ වුණේ රාක්ෂ මුහුණක්.

‘‘දුහ්ඃ බැල්ලිගෙ පුතාල’’ කියල දුන්නු පා පහරින්-

මැටි කෝප්පෙ ඉගිලිලා ගිහිං මුඩුක්කු වහලෙ හැපිල කුඩු වෙලා ගියා. කොල්ලො දෙන්න සුටුස් ගාලා පස්ස පැලැල්ලෙන් මුඩුක්කු පිළිකන්නට පැන ගත්ත. ඒ රාත‍්‍රියේ නිරුවත් දෙපයින්ම කුණු කාණුවට බැහැල කාණුව දිගේ ඇවිත් මහ පාර අයිනෙ තියෙන කාණු ගැට්ටට දරුවො දෙන්න ගොඩ වුනා. අම්ම එන්න තව පැය තුනක්වත් යාවි. ලොකු එකා නිලං දතක පණු කෝම්බෙක හිර වෙලා තිබුණු බත් ඇටයක් නිය පොත්තෙන් හාරලා අරං ඒක ආයෙත් කෑව. එතකොට තමා ඌ දැක්කෙ හඳ පායල තියෙන බව. කුණු කාණු එකතු කරං ගලා බහින කුණු ඇලට හඳ පතිත වෙලා තියෙන බව.

‘‘ඕං බලපං මල්ලියො හඳට ගල් ගහන විදිහ’’ එහෙම කියල ඌ පොඞ්ඩත් එක්ක එකතු වෙලා අහුල ගත්තු ගල් කැට කුණු කාණුවෙ පතිත වෙලා තිබුණු හඳේ ඡායාව ඉලක්ක කරල ගහන්න ගත්ත. ඒත් පොඞ්ඩට බැරි වුණා එක ගලක්වත් ඉලක්කෙට ගහ ගන්න. හඳට ගල් ගහන සෙල්ලම ඉවර වෙන කොට දෙන්නටම ආවෙ නිදිමත.

තමරා ගාමන්ට් බස් එකෙන් බහිනකොට දරුවො දෙන්න හිටියෙ කාණු ගැට්ටෙ නිදි යහන හදාගෙන. ලොකු එකා නිලං හිටියෙ හීනෙක. හීනෙට බැහැල ඇරුණු කටින් කුණු කෙළ පෙර- පෙර.

තමරා දරුවො දකින කොටම දැනගත්ත තමන්ගෙ මිනිහගෙ වේසෙන් ඉන්න වසවර්තියා අදත් කසිප්පු බීගෙන ඇවිත් දරුවන්ට ගහල එලවගෙන විත්තිය. මතක තියෙන කාලෙ ඉඳං දරුවන්ටත් තමරටත් සිද්ධ වෙලා තියෙන්නෙ තඩි පේ‍්‍රමයගෙ කසිප්පු විසට යට වෙලා ඉන්න. මන්නෙකිං කොටල හරි පේ‍්‍රමය මරල දාන්න තමරට හිතුණ වාර අනන්තයි. පොඩි එකාගෙ පහු වුණු උපන් දිනේ දවසෙ මිනිහ ගෙදර එනකං බලාගෙන හිටපු තමරගෙ මුඩුක්කු දෙබුක්කාවට වෙනද වගේම රිංගුවෙ බඳින්න කලිං හිටපු අහිංසක පේ‍්‍රමය නෙවෙයි. කුණාටුවක් වගේ තමන්ගෙත් ළමයින්ගෙත් ජීවිත සමතලා කරපු කසිප්පු පේ‍්‍රමයාමයි. එදා ලොකු එකාට ගහල කුණු කාණුවට ඇදල දාලා පොඩි එකාගෙ කකුල් වලින් එල්ලගෙන පොළවෙ ගහන්න හදපු වෙලේ තමයි තමරගෙ මාරයා නැගිට්ටෙ. හැබැයි ඒ වෙනකොට තමරලගෙ ගෙදර මන්න පිහියක් තිබ්බෙ නෑ. තිබුණෙ හරි හමං මිටක්වක් නැති මේස පිහි කෑල්ලක් විතරයි. ඒ පිහි කෑල්ල අරං ‘‘බොල වේසිගෙ පුතෝ තෝ හිංදා අපි දුක් වින්ද ඇති. ඔය කොලූව බිම තිබ්බෙ නැත්තං අද මැරෙන්නෙ තෝ නෙවෙයි මම. තෝ වගේ තිරිසනෙක්ගෙ දරුවො හදන්න මැරි මැරී ජීවත් වෙනවට වඩා බෙල්ල කපාගෙන මැරෙන එක හොඳයි යකෝ’’ කියල තමර කරපු ගර්ජනාවට බය වෙලා තමයි එදා පොඩි එකාගෙ ජීවිතේ බේරුණෙ.

ඉන් පස්සෙ ඊළඟ මාසෙ පඩි දිනේදි ම තමරා හොඳ කැපෙන මන්න පිහියක් ගත්තේ ආයෙ තමුන්ගෙ මාරයා අවදි වුණු දවසක කසිප්පු පේ‍්‍රමයාගේ වදෙන් සදහටම සමුගන්න හිතාගෙන. ඒත් අද වනතුරුත් බැරි වුණා ඒ පිහි පාර දීගන්න. තමුන්ගෙ හිතේ පේ‍්‍රමෙ ගැන ආදරයක් තාමත් තියෙන බවත්, පිහියෙ මුවහතට වඩා ඒ ආදරය බලවත් බවත් පේ‍්‍රමය බාවන්න පිහිය අතට ගත්තු හැම වෙලාවකම තමරට හිතුණ. ඒ සේරටම වඩා තමරගෙ හිතට වද දුන්නෙ දරුවො දෙන්නයි. තාමත් තමන්ගේ වැහැරුණු තනේ එල්ලෙන පොඩි එකත්, මුඩුක්කුවේ කුණු පණුවෙක් වගේ කලුවට කේඩෑරි වෙලා ඉන්න ලොකු එකත් දකින කොට තමරගෙ පපුව හෝස් ගාල යනවා. දැන් අවුරුදු ගාණක් දවසකට වේලක් හරි උන්ට කන්න දෙන්න තමන් දරන දහිරිය අදින් පස්සෙ ඉවරයි කියල හිතෙන කොට තමරට දුකක් වගේම සැනසිල්ලකුත් හිතට ආවා. කෝටා නැති නිසා පැක්ටරිය වහන්න තීන්දු කරල. ඒ මදිවට යංතං හරි වැටිල ඉන්න මුඩුක්කු පැල්පත් ටිකත් කඩල දාන්න අන්තිම නිවේදනෙත් ඇවිල්ල දැන් දවස් ගානක් වෙනව. මුඩුක්කුව දාල කොහේ යන්නද? නෑයෙක්- හිතවතෙක්- අඩුම තරමෙ තමන් ගැන හොයල බලන ස්වාමි පුරුෂයෙක්වත් නැති තමුන් කොහෙ කියල යන්නද? දැන් දවස් ගානක් තමරගේ හිතේ වැඩ කළේ මේ උභතෝකෝටිකය. මේ විදියට ජීවත් වෙලා මොකටද කියල හිතුණු වාර අනන්තයි. දරුවො දෙන්න හදන්න තමර අනන්ත දුක් වින්ද. ඒත් ඒ දුක දකින්න- ඒ දුක බෙදා හදා ගන්න ඇයට හිටියෙ ඇගේ ඇස් දෙක වගේ රැකපු දරු දෙන්න විතරයි. හැමදාම තම්බල දෙන බත් හැළිය ලුණු ටිකක් ඉහගෙන හරි කන්න- ඒ කාල අම්ම එනකං තම-තමුන් ගැනම බලාගෙන ඉන්න මේ කිරි සප්පයො දෙන්න පුරුදු වෙලා හිටියා. තමරට ජීවිතේ තිබුණු එකම සහනයත් දරා ගන්න බැරි වේදනාවත් වුණේ ඒක. දැන් කාලයක් තිස්සෙ දෙගිඩියාවෙන් හිටපු ඒ තීරණය ඒකාන්ත වශයෙන්ම අද ගන්න ඕනෙ කියල තමරට හිතුණෙ ඒ නිසා.

‘‘තවත් මුන්ට දුක් දෙන්න බෑ.’’ එහෙම හිතපු ඇය මේ රාත‍්‍රියෙ දරුවො දෙන්නත් කැටුව පුරුදු ගමන වෙනස් කරල ගියේ කළුතර බෝධිය දිහාවට. ඇයගේ පරමාර්ථය වෙලා තිබුණෙ කාට හරි හදා ගන්න ගෙනියන්න දරුවො දෙන්න පංසල් බිමේ තනි කරල එන්න. දරුවො දෙන්නත් අරං පයින්ම පන්සලට යනකොට රාත‍්‍රිය පහු වෙල. ‘‘බැරිම උනොත් පොඩි එකා හරි දාල එනව’’ එහෙම හිතපු තමර පන්සල් ගේට්ටුව ලඟ තිබෙන සුවිසල් ගේට්ටු කණුව ලඟ පේව්මන්ට් එකේ පොඩි එකාව නිදි කෙරෙව්ව. ලොකු එකා නිදි කරන්න දරපු උත්සාහය හරි ගියෙ නෑ. නිලන්ත වෙනද නැති විදියට අම්මගෙ ඉරියවු වල වගේම හැඟීම් වලත් වෙනසක් තියෙන බව දැනුණ නිසා ඇගේ දකුණත අත් නොහැර එහිම එල්ලී සිටියා. ඈ පොඩි එකා පේව්මන්ට් පඩිය මත හාන්සි කරවලා දිගු හුස්මක් ඉහළට ඇද ගත්තා. එතකොට නිලං දැක්ක අම්මගෙ ඇස්වලින් ගලා හැලෙන කඳුළු. නිලංගෙ හදවත කවදාවත් නැති තරං බර උනා. එකට මැටි කෝප්පෙ ලෙව කාපු, හඳට ගල් ගහපු, තාත්තට බයේ කුණු කාණු දිගේ බඩ ගාපු, තුරුල් වෙලා කාණු ගැට්ටෙ නිදියපු මල්ලියව අහිමි වෙන්න යන බව නිලංට ඉවෙන් වගේ දැනුණ. වචනයක්වත් කතා කරගන්න බැරි තරම් නිලං අසරණ වෙලයි හිටියෙ. එයාට හිතුණ අම්මගෙ අත අතහැරල හඳ පානෙ ඉම නො පෙනෙන පාර දිගේ කලුවරේම දුවන්න. පපුව පැලිල මැරෙනකං දුවන්න. ඒත් ඒ අත අතහැරුන්නෑ. අම්මත් එක්කම පාරට එනකොට නිලංලට ඇහුණෙ වෙන ලෝකෙකින් ආපු හඬක්.

‘‘අම්මේ......හ්’’

නිලංව අත හැරල අම්ම දිව්ව ආයෙත් පොඩි එකා ගාවට.

‘‘මගෙ බුදු පුතේ..... මගෙ රත්තරනේ...’’ කියාගෙන ගිය වේගෙන්ම වඩා ගත්ත මල්ලියව.

ආයෙත් තුන් දෙනාම මහපාර දිගේ ඇවිදගෙන ආව. ඉන්පස්සෙ ඒගොල්ලො ගියෙ දුම්රිය පාලම පැත්තට. ඒ වෙනකොට එලි වෙන්න ලඟයි. ගෙවල්වල මිනිස්සු අවදි වෙන්න පටන් අරං. අවදි වුණු මිනිස්සු ඉන්න ගෙවල් වල ලයිට් පත්තු වෙනව. විටින් විට නිහඬ බව දෙදරවමින් පාරවල් වල වාහන යනව. දුම්රිය පාලම පැත්ත නිහඬයි. ඒ හරිය අඳුරුයි. පාලම යට කලු ගං වතුර මත හඳේ ඡායාව පැහැදිලිව නිසොල්මන්ව තිබුණ. ගඟ ගැලුවෙ නෑ. ගඟ තිබුණෙ එක තැන. තමර දරුවො දෙන්නම දෑතින් තුරුල් කරගත්ත. තුරුළු කරගෙන කිවුව,
‘‘මගෙ පැටවුනේ, හොඳට ඇස් ඇරල බලපල්ල... අර තියෙන්නෙ හඳ. අපි දැන් යන්නෙ වෙන කොහේවත් නෙවේ- ඒ හඳට....’’

ඇය දැනගෙන හිටිය මේ අන්තිම වේදනාව බව. ජීවිතේ සදාකාලයක් නොවන බවත් ඇය දැනගෙන බොහෝ කල්. අන්තිම සිප ගැනීමත් අවසන දරුවන් කැටුව ඈ දුම්රිය පාලමෙන් පැන කලු ගං පතුල බලා ගියා. එතකොටම කළුතර බෝධියෙන් උදෑසන සෙත් පිරිත් සජ්ජායනාව අවකාශගත වුණා. රේල් පීලි දෙදරවමින් කෝච්චියකුත් ආව. හැබැයි නිසල හඳ සසල වෙලයි තිබුණෙ.

පසු ලියමන-

මෙම කෙටි කතාවට පාදක වුණේ පසුගිය කාලයේ අසිරිමත් ශ‍්‍රී ලංකාවේ සිදුවුණු සත්‍ය සිද්ධියක්. හැබැයි ඒ සිද්ධියට අලුතින් සිද්ධි එකතු කර ප‍්‍රබන්ධයකට අවශ්‍ය විදියට නිර්මාණය වුණා. ඒ සත්‍ය සිද්ධියට මුහුණ දුන් ගැහැණිය සැබැවින්ම ගඟට දැම්මේ තම දරුවා පමණයි. ඇය පොලීසියට දුන් කට උත්තරය මාධ්‍යවේදියෙකු විසින් මෙසේ වාර්තා කර තිබුණා.

‘‘මම මේ දරුවව හදන්න අනන්ත දුක් වින්දා. මම එදා දරුවව අරං කලුතරට ආවෙ දරුව ව ගඟට දාන්න නෙමෙයි. ඒත් අම්මේ- අම්මේ කියාගෙන පුතා කීප සැරයක්ම මගේ පස්සෙන් දුවගෙන ආවා. පස්සෙ මම පුතාව වඩාගෙන දුම්රිය පාලම පැත්තෙ ඇවිද්ද. පුතා අරං ගඟට පනින්න තරම් වේදනාවක් එදා මගෙ හිතේ තිබුණ’’

එපා නො දරුවනි
උපදින්න
වැඩිහිටි ලොවක
වැඩිහිටි රටක
මුකුත් නැති හිස්ම හිස් පැල්පතක
හිසත් ගිනි ගෙන
හදත් ගිනි ගෙන
නො දරු උපත ද
ගිනි ගොඩක් උන
දිළිඳු අම්මා කෙනෙක්ගේ බඩ
එන්න පෙර මෙහි
දරා මුළු වැර

සිඳගනිවු ඔය
නො දරු කළලය
තවත් අම්මා කෙනෙක්ගේ ගිනි
එවිට හැකි වෙයි නිවාලන්නට
නො දුටු අප දරු සිඟිති කළලය.

සංජීව මූණමල්පෙ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails