
බොහෝ මිනිසුන් ආ ගිය
පළල් පාරට
ඈ නිවහනේ දොරටුව
නිරතුරුව විවර වී තිබිණි
ඇතැමෙක්
පැමිණියේ හිස් අතිනි ...
පිටව යන විට
මල් ද අතු ඉති ද
රැගෙන ගියහ
ඇතැමෙක්
පිය සටහන් පමණක්ම
තබා ගොස් තිබිණි
වසන්තය
පැමිණ ආපසු ගියේය
වස්සානය ද
පැමිණ ආපසු ගියේය
ඉඳහිට
ගිම්හානයද
නො ආවා නොවේ ...
කටුක ගිම්හානයක දී වුව
පුළුල් ඈ හද පත්ල
අත පත ගාන යමෙකුට
මලක් හෝ දෙකක්
නෙළා ගත හැකි විය
නිතිපතා
පැමිණි අය වෙත
සාද සංග්‍රහය පවත්වන විට
ඈට ඈ අමතක විය ...
අට අනූවක් රෝග
නව අනූවක් ව්‍යාධි
නිහඬවම දරාගත් ඕ
පාළු මූසල රාත්‍රියක
රහසින්ම
මරු හා නික්ම ගොස් තිබිණි
ඈත කඳු මුදුන් මත
පඬු පැහැති මළ හිරු වැතිරුන
අළුපාට හැන්දෑවක
බිමට බරවුනු හිස් ඇති
මෙරක් බරවූ හිත් ඇති
සුදු පාට මිනිස් පෙරහැර
ඈ කැන්දාන ගියදා පටන්
පාර පටුවිය
අගුළු නොවැටුනු මුත් දොරටුවට
එයින් පසු
"මෙත් මැදුර" වෙත
ආ ගිය කෙනෙක්
නැති තරම්මය...
පද්මිණි ශ්‍රියාලතා



