
ගලා යන්න ගඟකට දහඩිය හෙළපු
සලා දුලා නා දල්ලට පිනි තියපු
මලානිකම තුරු සිරසට මල් ඉහපු
වලාකුළයි නුඹ වැටෙනට බිම හොයපු
දොළෙන් සංහිඳෙන් තෙත ගත් හද මඬල
සිහින් අකුණු සරටත් ඇස දිය විසුල
තෙලෙන් බැදන් කිරි කන නුවරක අපුල
සැලෙන්නැති අතින් තිර මත කවි කෙරුව
රොද බැඳි සකි කැළ හා විඳ සඳ වතුර
කඳුළක් වෙද ළය ගුලි කොට මුතු තැනුව
අග පිපි මල් මග හැර කල් හැරි මිතුර
මග බැලුවෙද එනු දැක හිමිදිරි තරුව
අහස විසල්, ඔව්! නුඹ මේ කුළ බැවිනි
රහස යනුම වැසි වැටෙනා එක පමණි
නොවැස මෙතෙක් සෙනෙහස රැස් කළ සඳුනි
අහස පොළොව හමුවෙන තුරු වැසි පතමි
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්
KAVI BOONDIYA | මිතුරු කවියාගේ ප්‍රේමයට... - [මාලතී කල්පනා ඇම්බ්‍රෝස්]
Posted by
BoondiOnLine
12.29.2010



