Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රම්බරි කියපන් උඹේ නොම්මරේ
තන්දුරි කමුද නොදා බර බරේ
වාකරේ කව්ද ඉන්නේ ජරමරේ
අම්පාරේ මල්ලි නිදිද කාමරේ


පසුගිය දා නිමා වු Derana Music Awardsහි ජනපි‍්‍රයම ගීත වීඩියෝව ලෙස අභිෂේක ලබමින් වැඩිම පේ‍්‍රක්ෂක SMS ප‍්‍රමාණයකට හිමිකම් කී රම්බරී ගීතය ගැන යමක් ලියන්නට අපට සිදු වන කාරණාව කුමක් ද?

මල්ලිලා සහ නංගිලාගෙන් ඔබ්බට ගොස් ලහිරු සහ මනුරංග අයියා සහ අක්කීටද ඉන් නොනැවතී ආච්චි සහ සීයාටද කථාකරමින් සමාජ ඉහ මොල සොලවමින්-

මේ පවසන්නේ මේ වන විට ත‍්‍රස්තවාදී ලේබල් කාණ්ඩයේ ඉහළින්ම පවතින මිල අධික පාන් කැල්ලක් සමග ප්ලෙන්ටියක් රස කරමින් එළි වෙනතුරු නටන්නටය. නොකා නොබී නැටීමට කවදත් දක්ෂ සමාජයකට මේ අරාධනාවේ ඇති අවුලක් ද නැත. මිල මුදල් යහමින් ඇති තරුණ තරුණියන් පවා නොකා නොබී නැටුම් පෙත්තේ බලයෙන් රාතී‍්‍ර සමාජ ශාලාවල බටහිර තාලයට එලිවෙනතරු ස්ලිම් ඇඟ නටවනා අතර දෙයියන්ගේ පිහිටෙන් අපේ පංතියේ උන්ට ලහිරු මේ කථා කරන්නේ පාන් කෑල්ලක් කා ප්ලෙන්ටියක් රසකර බලමින් එළිවෙන තුරු නටන්නටය.

පාන් පිටි ත‍්‍රස්තවාදය සඳහා අනුබල දිමේ චෝදනා මත හෙට අනිද්දා ලහිරු සිරගත වුවද එහි පුදුමයක් නැත. එසේ බැලූ කල යම් ප‍්‍රගතිශීලි බවක් ද ලහිරුලාගෙන් විද්‍යාමාන වේ. එල....!

කෙසේ වෙතත් මෑත කාලයේ ඉදං Box office ඉහ මොල පුපුරා හලමින් කොත්තු මී රොටියේ විටෙන් විට වදමින් අවසන Derana Musicහි හිනිපෙත්තටම නගිමින් දැන් දැන් අවසන් සුසුම් හෙලිමට සුදානම් වන රම්බරි ගීතයෙන් අපට විෂය වු කරුණ කුමක් ද?

ජම්බෝලේ වගේ ඉන්න සුන්දරා
සම්බෝලේ කොටලා ගමුද ලූණු දමා
දංගොල්ලේ මාමා ඇවිත් මහා කුණා
ගස් පල්ලේ ඉදන් බොමුද රා පෙරා

එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කථා
පාන් බාගේ කපලා ගන්න
ප්ලෙන්ටි වක්කරලා ගන්න
එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
එන්න නංගි එන්න නංගි හැඩ දමා

එළි වෙනකන් සිංදු කියමු රොක් වෙලා
ලෝකේ තියන හොඳම සොමිය
එළි වෙනකන් අපේ ජොලිය
ගන්න නංගි ගන්න නංගි එක්වෙලා

කන්ණඩි දැම්මත් නෑ හැඩ වැඬේ
කවුද මේක භාරගන්නේ අන්තිමේ
ලොරි බාගේ මට දුන්නත් හුට පටේ
මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ

හුම්මානෙන් වතුර බොමුද සෝබනා
හඳපානේ විරිදු කියමු රංජනා
ලොරි භාගේ රවුමක් යමු රැ වෙලා
මරදානෙන් පරාටා කමු ලංවෙලා

සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකු සිරා
ඇතුලේ ඉදන් ඊයේ ඇවිත් ඒ හොරා
එහා ගෙදර මැගි අක්කට හරි හිනා
මට නම් නෑ දිරවන්නේ ඔය කතා

මුරලි දැම්මා හොදට දුස්රා අඹරලා
සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
ජොන් සීනා කලා හොදට පෙරෙදා
ඒත් වහලේ හිලෙන් වතුර ගැලූවා රෑ පුරා


එක් පසෙකින් කලාවේ හා ගීතයේ සුජාත භාවය වෙනුවෙන් මහා මෙහෙවරක නියැලෙන එහෙත් සමාජ දේශපාලන තර්කනයෙන් කලාව ගීතය ඈත් කිරිමට දඟලන බොහෝ කලාත්මක බුද්ධිමතුන් ද කඩු අමෝරාගෙන ලහිරුට කොටනු පෙනේ. මන්ද යත් ඔවුන් පවසන ගීතයට සංයුක්ත අර්ථයක් තිබේ. මානයක් තිබේ. එය නිවැරදි මානයක් ද යන්න වෙනම විෂයක් වුවත් ඔවුන් පවසන්නේ ගීතයට සංයුක්ත අර්ථයක් ඇති බවයි. වඩා හොද ගීත රචනාවක් [lyrics] යනු කුමක් ද යන පැනයට පිලිතුරු සෙවිමේ දී 'වඩා හොද යන්න' පසෙක තබා ගීත රචනාවක් යනු කුමක් ද යන්න විමසා බලමු.

"රචකයාගේ පෞද්ගලික හැගීම් හා සිතුවිලි පිලිබද ප‍්‍රකාශනයකි. නැතහොත් ගීතයට අයත් අකෘතිය හා ආකාරය සහිත කව්‍ය රචනයකි. එමෙන්ම එය ගායනයේ දී ශිථිල ගුණය (ලිහිල්) හා තානනය අරමුණු කළ රචනයකි."

"සිත සතුටු කරන්නට පොහොසත් වු ස්වරයන්ගේ රචනය ගීතය වේ."
-සංගීත රත්නාසරය


නමුත් ප‍්‍රබුද්ධ පොරවල් ලහිරුගේ ගීතයට සංයුක්ත අර්ථයක් නැතැයි ද? එහි ඇති පපර පපර (පොදුවේ බයිලා සංගීත භාවිතාව නිසා සමාජ ගත වුවක් යැයි ද, එය මිනිසුන්ගේ කලාත්මක මානයන් මොට කර දමා ඇතැයි ද, ඕනෑම කුණුුහරුපයකට නැටවෙන තනුවක් දැමු කල එය ගීතයක් නොවන්නේ යැයි ද, ආදී තර්ක දමමින් මෙම සංවාදය ඉදිරියට ඇදේ.

අනෙක් අතින් ලහිරුලා වෙනුවෙන් ගේම් එක ප්ලේ කරන්නන් ’ඔව්. තේරුමක් නෑ තමයි. ඉතින් මොකද?’ යැයි ද, උඹලා කලේ තෙරුමක් ඇති වැඩ පමණක්මද?’ යැයි ද, එහි හොද තේරුමක් තිබෙන්නේ යැයි ද, එය විමසිල්ලෙන් බැලිය යුත්තක් යැයි ද, ආදී සංවාද කැඳවමින් තවත් ඉදිරියට ඇදේ. කොයි කොයි අය කොයි කොයි අතට අවි අමෝරා ගත්තත් සිංදුව හොදට විකිණේ. සමාජ ඉහ මොල නටවමින් සංදුව වැජඹේ. එයට කොත්තු මී සෙට් වු කළ දැන් කොත්තු මී ද විකිණේ. පැවැත්ම උදෙසා සියල්ල විකිණෙන, විකිණිය යුතු නරුම සමාජයක කොත්තු මී වෙනුවෙන් ලහිරුලාගේ නැටීම අපට අවුලක් නැත්තේ කොමියුනිස්ට් ප‍්‍රකාශනයේ මාක්ස් ගේ කියමන් නැවත වරක් මතක් විමෙනි. ගැටළුව ඇත්තේ විකණිම තුළ නොව එහි ඇති සවිඥානික බව මතය යන්න අපේ අදහස බැවිනි.

ඉතිහාසය සියුම් ලෙස අධ්‍යනය කිරිමේ දී ලාංකීය ගීත කලාව මහා දුටුගැමුණු යුගයක නෂ්ටාවශේෂ ඉතිරි කරමින් ගැටලූවක් ලෙස අපට දක්නට නොලැබේ. මින් අප අදහස් කරන්නේ සරල ගීතය ලෙස වෙනමම හඳුනාගත හැකි මාධ්‍යයක් ඉතිහාසය සෙවිමේදී සොයා ගැනිමට අපට අපහසු නිසාය. එහෙත් බලි තොවිල් යාතුකර්ම ගීතිකා, වැදි ජනතාවගේ කොහොඹ කංකාරිය ආදියත් ලංකාවට ආවේණික වු යම් යම් සංගීත භාණ්ඩත් අපට හඳුනා ගතහැකි අතර විශේෂයෙන් අප මෙහි කථා කරන සරල ගීතය අපට මුලින්ම හමුවන්නේ පෘතුගීසින්ගේ පැමිණිමත් සමගය යන මතයද බැහැර කල නොහැකි ලෙස පවතී. පෘතුගීසින් විසින් මෙරටට ගෙන එන ලද "බයිලාව" ද ලංකාව තුළ මුල් බැස ගත්තේ ලාංකීය ඉතිහාසය විසින් ගොඩනගන ලද යම් යම් කලාත්මක අභාෂයන්ද එකට මුහුවිමෙන් බව දක්නට ලැබේ.

"බයිලා යනු පරංගි ජනයාගේ විනෝද ගීතයයි. Baile යන පරංගි වචනයේ තේරුම නැටුම යන්නයි. ලංකාවට පැමිණි පරංගි නටමින් ගැයු ගීත වලට බයිලා යන නම යෙදිනි. පැරණි බයිලා සියල්ල පෘතුගිසි භාෂාවෙන් ලියන ලද ඒවායි. පසු කාලිනව සිංහල බයිලා බිහිවුයේ පරංගි සොල්දාදුවන්ද ඔවුන් හා ලිංගික සම්බන්ධතා පැවැත් වු සිංහල දෙමල ස්ති‍්‍රන් ද පරංගින් විසින් යුධ මෙහෙයන් හා වහල් මෙහෙයන් සදහා අපි‍්‍රකාවෙන් මෙරටට ගෙන්වන ලද කාපිරි ජනයාද යන ජාතින් තුනේ සංකලනයෙනි. බයිලා යන්නට කපිරිංඤා යන පදය එකතු වුයේ මේ කාපිරින්ගෙනි."

-මහාචාර්ය සුනිල් ආරියරත්න


මෙසේ බැලූ කල බයිලා යනු ලාංකීය ගීත කලාවේ සුවිශේෂි සටහනක් තැබු හරි අපූරු ගීත කලාවකි. සිංහල ජනයාට ආවේණික ජන ගී නාද මාලා හා සංගීත සම්ප‍්‍රදායක් ප‍්‍රබල ලෙස දක්නට නැති බැවින් සංගීතය ගැන උනන්දුවක් දැක් වු කලා රසිකයන් පසු කාලීනව මෙරටට ආනයනය කරන ලද සංගීතය වුයේ උතුරු ඉන්දියාවේ උත්තර් භාරතීය රාගධාරි සංගීතයයි. එක් පසෙකින් බයිලා යන්න ද අනෙක් පසින් නුර්ති නාට්‍ය කලාවෙන් ද අභාසය ලද භාරතීය රාගධාරි සංගීතය ද මෙරට ජන ජීවිතය තුළ තදින් මුල් බැස ගත් බවක් දක්නට ලැබේ. එම නිසාම ලහිරු ගැයූ ගීතය ද පැරණි බයිලාවම නොවුනත් වර්තමානයේ ඇති සංගීත සම්ප‍්‍රදායයන් සමග මුසු වී ජෑම් වුවක් වුවත් පොදුවේ එය පෘතුගීසි අභාසය මත අප අපේම කරගත් නැටුමක් සමග ගයන ගීත මාලාවක දිගුවක් ලෙස හඳුනාගැනිමට නොහැකිද?

ඇත්තටම මේවා පැරණි බයිලාවම ද යන්න සංකිර්ණ ගැටළුවක් වුවත් පොදුවේ ලාංකීය ජන සමාජය නැටවෙන ගීත වලට (6/8) බයිලා යන නම යෙදිමට හුරු වී ඇත. ඉන් අප අදහස් කළේ බයිලාව යන්න දැන් වන විට සෑම සංගීත ශෛලයකම අභාසය මත ගොඩනැගෙමින් පවතින එයට සුවිශේෂි වු අනන්‍යතාවක් පවා හදුනාගත නොහැකි තරමට ජෑම් වුවක් වී ඇති නිසාවෙනි. රොක්, හිපොප්, රැප්, ජෑස්, රෙගේ ආදී ශෛලින් කොතෙක් පැමිණියත් ලාංකීය ජන හදවත් තුල තවමත් බයිලා රිද්මය නිදන්ව පවතී. එම නිසාම සන්ෆලවර් සිට සකුරා දක්වාත් වොලී ගේ සිට එම්.එස් ,ඇන්ටන් ,නිහාල් හා සුනිල් දක්වාම කියු බොහෝ ගීත අර්ථයෙන් මහා මෙරක් සේ අපට නොපෙන්නුවද එවා ඉතා ජනපි‍්‍රය වී ඇති අපුරුව හොඳින් වටහා ගත හැක. අනෙක් පසින් සරල පදමාලාවකින් තැනුනු බයිලා (වේග රිද්ම ගීත) යනු තේරුමක් නැති මල මඟුල් නොව යම් සමාජ කොට්ඨාශයක ඔවුන්ගේම පිළිරුව ඔවුන් ඉදිරියේ තැබු කැඩපතක් ලෙස අපට හදුනා ගත හැක.

"නෝනේ මගේ සුදු නෝනේ හරි වැඬේනේ මේ මට උනේ......"

"පැරදුණේ මං......නැති උනේ මං......උඹලට නම් මොකද ඉතින්......"

"ආසයි බයයි......ඒ බෝට්ටුවේ නමයි......"

"අඳින්න මිනි ගවුම අඳින්න......"

"උඩ කරණම් බිම කරණම් ගහන පරවියා......"


මෙම ගීත අධ්‍යයනය කළ විට අපට දැනෙන්නේ කුමක් ද? ඉතින් මේ අප ගැනම නොවේ ද? සැබැවින්ම ඒ අපේ යථාර්ථයයි. එම නිසාම බයිලා රිද්මයෙන් ඒවා ගායනා කළ විට අපට අපේ හදවතට සමීප දෙයක් ලෙස දැනෙන්නට පටන් ගනී. අපේ හදවත් තුළ මුල් බැස ගත් නැටවෙන රිද්මය නිසාම එය නැවත නැවත විදිමේ පෙළඹුමක් අප තුළ වෙයි. එම නිසාම එම ගීත බහුතරයක් තුළ ජනපි‍්‍රය වෙයි. සමාජ ක‍්‍රමයක පදනම අභිබවා යමක් බිහි නොවෙත්. එසේ වන්නේ නම් එය සවිඥානිකව කල යුත්තකි. බයිලා කලාව සමාජ සංදර්භය තවමත් අවිඥානික ලෙස තේරුම් ගෙන ඇති නිසාම එය එය මිනිසුන්ගේ හදවත් සුවපත් කරනා ගැඹුරු දේශපාලනමය කථිකාවක් දක්වා වර්ධනය වී නොමැති බව සැබෑ වුවත් එහි විභවය ඉතා සුවිශාලය. ලහිරුලාගේ ගීතය අප තේරුම් ගත යුත්තේ එම සංදර්භය තුළය. ඉතින් තේරුමක් නැති රම්බරී ගීතයට අපි මෙසේ සමීප වෙමු.

වාකරේ මිනිස්සු ජරමරේ සිටි කාලයක්. අම්පාරේ මල්ලී කොළඹ චාටර් වෙන කාලයක්. සම්බෝල කමින් සිටින කාලයක්. දංගොල්ලේ මාමා එක්ක මළ පැනපු කලයක්. ගමේ බිව්ව රා පොල් කට්ට මතක් වෙන කාලයක්. ඒ අස්සෙම රම්බරීගෙන් නම්බර් එක ඉල්ලපු කාලයක්. මේ වචන මොනවාද? අර්ථයක් නැති හිස් ප‍්‍රලාප ද? එය එසේ විය හැකි ද? සංයුක්ත ලෙස පද සියල්ල කැටිකර මාර අර්ථයක් සොයා යා නොහැකි පමණින් මේ අර්ථ විරහිත මල විකාරද? සවිඥානිකව වේවා අවිඥානිකව වේවා රචකයා ලියා ඇත්තේ තමන් හෝ අනුන් විඳි අත්දැකීම් වුවාට සැක නැත. මේ තමන්ගේ හෝ අනුන්ගේ හැඟීම් හා සිතුවිලි පිළිිබද අවිධිමත් ප‍්‍රකාශනයකි. ගීතයේ සංයුක්ත අදහස පිළිබඳ කතිකාව නොමැති බව සැබෑ වුවත් මෙහි හොද තේරුමක් තිබේ. නමුත් එහි සංයුක්ත බවක් දක්නට නොලැබෙන්නේ මේ මොහොත වන විට සමාජ සැකැස්මේ සියලූ සංයුතින් දෙස රචකයා මෙන්ම අප සියල්ලන්ම බලන්නේ වියුක්ත මනසකින් බැවිනි. අපි වෙන වෙනම ප‍්‍රශ්න සමග පැටලෙමු. ඒවා සමග වෙන වෙනම පොර බදමු. සංයුක්ත ලෙස ගෙන සමාජය දෙස නොබලමු. නමුත් ලහිරුලාගෙන් සංයුක්ත රචනාවක් ඉල්ලමු. අපි තව තවත් ලහිරුලාගේ ගීතය සමග දොඩමළු වෙමු.

කැතය. ඇය වස කැතය. කණ්නාඩි පැළඳුවත් මේ කැත නම් වසන්නට බැරිය. භාරගැනීමට කෙනෙකු නැති එය ලොරියක් සමග දෙන විට භාර නොගෙන සිටී ද? හොද අත්තක එල්ලී ජීවිතය ජය ගැනීම තරුණ හදවතක අද දක්නට නැති ද? ඒත් එය ලොරියක් සේ හඬ තලයි. ඒ මදිවාට එය කටකාර විකාරයකි. හුම්මානයෙන් ලස්සනට විහිදෙන වතුර මලෙන් ලූණු වතුර බොන්නා සේ හඳපානේ විරිදු කියන්නට..... ලොරි භාගේ රවුම් ගසන්නට අප අසා නැති ද? ඒ සමගම ලං වී බුරියානි නොව පාරාටා කන්නට සිත් වීම..... එය නම් පිස්සුම අහිංසක කමකි. ඉතින් මේ තරුණ සිතුම් පැතුම් වල අවිධිමත් සමාජ තර්කනයයි. මේවා අර්ථ විරහිත විකාර වන්නේ සුපුරුදු විරෝධය හැම දෙයටම ඔබන්න යාමෙනි. ඉතින් අප තවත් ඉදිරියටම යමු.

අද ලංකාවේ සිටින ලොකු සිරාලා බොහෝ දෙනෙක් ඇතුලේ සිට පැමින පාර්ලිමෙන්තුව නියෝජනය කරයි. සමහර සිරාලා ඇතුලේ නොසිටියත් පිටත සිට අපව පාලනය කරයි. විටෙක අප අපේ කම්මුලට ගසා ගනිමින් හත් දෙයියනේ මුන්ව ද අප පත්කලේ යැයි පවසමු. විටෙක ඔවුන් එලවමු. නැවත ඔවුන් ගෙන එමු. නමුත් ලාංකීය බහුතරයකට මෙන්ම ලහිරුලාට ද ඔවුන් දිරවන්නේ නැත. ඒත් මැගි අක්කලාට මුන් මාර වෙයි. රටේ බහුතරය මැගි අක්කලා වන නිසාම ඔවුන්ව ආසාවෙන් කැඳවයි. නමුත් තරුණ තරුණියන් එවිට කරනුයේ මුරලි හා සනා ළඟට සෙට් වී සැපක් ගනිමින් ජෝන් සීනා ගුටිකාපු එකට දුක් වී වැලපෙමින් වහලේ හිලෙන් වතුර ගලන බව අමතක කරයි. නැවත සනාලාව අපේ නියෝජිතයා බවට පත් කරමින් ගලන වතුරේ ගිලෙයි.

ගීතයේ සංයුක්ත අදහස ගැන තර්කය කෙසේ වෙතත් මේවා විමර්ශනය කිරිමේ දී ලියන්නාගේ දෘෂ්ටිය අපට හමු වෙයි. මෙහි පදමාලාව පුරාම ඇත්තේ තරුණ හදවත් තුල ඇතිවන යම් යම් විසිරුනු පැතිකඩයන්ය. එවා සංයුක්ත ලෙස ගෙන බැලිමට රචකයා උත්සහ නොදරයි. නැතිනම් එය එසේ විය යුතුද යන්නවත් ඔහුට විෂය නොවේ. සංයුක්ත වේවා වියුක්ත වේවා යම් අර්ථයක් කැටිකර ගැනිමට පද මාලාවක් සමත් වීද? එයට හරි අපුරු තනුවක් වැටුනු කල ..... දැන් අපට එය රස විඳිය හැකි නිර්මාණයක් බවට පත්වෙයි. මෙසේ බැලූ කල රම්බරී සිංදුවේ පද මාලාවේ හොඳ තේරුමක් දැන් අපට හමු වේ. එය අප තේරුම් ගත යුත්තේ එහි සංයුක්ත අදහසක් සෙවිම තුල නොව ලහිරුලා අපට කියන වචන ගොන්න තුලය. මිනිසුන් සවිඥානික හෝ අවිඥානික ලෙස ලියන සැම දෙයකම තේරුමක් සහිත වෙයි. එනම් එහි යම් සමාජ දේශපාලන තර්කනයක් ගැබ්ව පවති. දේශපාලනයේ ස්වභාවය එයයි. කලාවේ දේශපාලනය ද එයයි. අප කැමති වුව ද අකමැති වුව ද එවා යම් මතවාදයකට ආවඩයි. ලහිරු කරන්නේ ද එයයි. තේරුමක් නැති දෙයක් යැයි පවසා හොඳ තේරුමක් සහිත දෙයක් නොදැන කරයි. ලහිරුලාට අවි අමෝරාගෙන කොටන බොහෝ පොරවල් පවසන පරිදි ගීතයක වචන වල වෙන වෙනම තේරුම් සොයා යන්නේ නැති නිසා එය මල විකාරයකි. එහි සත්‍යක් ඇත්නම් මේවා ද මල විකාර වෙයි.

1. ආචාර්ය සිල්වා රාජ්‍ය සේවකයෙකු ගස් බැද මෙසේ පවසයි. නයාටත් දෂ්ට කළ එකාටත් ගානක් නැති මුත් බලන් ඉන්න උන්ට ඇති රුදාව කුමක් ද? අවසන මහා පුටුවට නාටකය එපා වී බට්ටා මාරු වී සිල්වාට විනය පරික්ෂණයක් කැදවයි. කැඳවු අයම නිරික්ෂනය හා නිගමනය දෙමින් ඔහු නිදොස් කොට නිදහස් කර වීරයකු කරයි.

2. ප‍්‍රගීත් අතුරුදහන් කර අවුරුද්දක් ඉක්ම ගොස් ඇතත් ජන මාධ්‍ය ඇමතිතුමා පවසන්නේ ඔහු මාධ්‍යවේදියකු නොවන බවයි.

3. පොලිස් නිලධාරින් 600 හා අරංතලාවේ භික්ෂු ඝාතනයේ මෙන්න මුදුන් මල් කඩට බෝම්බ ගැසු අය ආණ්ඩුවේ ඉහළ තනතුරු හොබවන අතර විරුද්ධ මතයක් දැරීම නිසාම ජෙනරාල් සරත් [දැන් නිකන් සරත්[ ටිකෙන් ටික වල පල්ලටම දක්කයි.

4. ඩෙංගු මර්ධන බැක්ටීරියාව මිල දී ගැනීමට කොටි 20ක් නැති ආන්ඩුව අයිෆා උළෙල සදහා කොටි 100ක් කුඩු කරයි.

5. රටට කුඩු ගෙන්වන බවට ප‍්‍රබල ලෙස චෝදනාවට ලක්වන දේශපාලූවන් පසු පස හඹා නොයන පොලීසිය සිරදඩුවම් විදිමින් හුදකලාවේ වෙසෙන සිරකරුවන්ගේ කුඩු සොයන්නට ගොස් ඔලූ කුඩුකරගනි. අන්තරේ කොල්ලන්ගේ ඔලූ පැලූ කල ගලා ගිය රුධිරයම පොලිස් උතුමානන්ලාගේ ඔලූවෙන් ද ගලා යයි. අවසන දෙගොල්ලන්ම එකම පන්තියේ බව හදවතට දැනී අමතක වී යයි.

6. පැය 06 ක වැස්සට ඔරොත්තු නොදෙන කොළඹ නගරය පිහිනුම් තටාකයක් සේ දිලෙන අතර ආශ්චර්යයේ නගරය මුහුද මැද ගොඩනගයි.

7. පෞද්ගලික විශ්ව විද්‍යාල, සූදු කලාප, ගණිකා වීදි ආදී ලෙස 17ත් අවුරුදු ශාපය තුළ ගොඩනැගී යැයි මොර දුන් සිංගප්පුරුව එයට එදා විරුද්ධ වුවන් විසින්ම නැවත ගොඩ නගයි.


ඉතින් මේවා මෙසේ වෙයි. තව තවත් ඔනෑ තරම් වෙයි. වෙන වෙනම වන මෙම සිදුවීම් වලට අප මර්වින්ට දෙස් දෙයි. Mega Star හි මර්වින් ’මරු බං’ යැයි ද පවසයි. ජෙනරාල්ට කල අපරාධයක් යැයි සුසුම් ලයි. නිදහස් අධ්‍යාපනය ගැන කම්පා වෙයි. අන්තරේට නම් හොඳ වැඬේ යැයි ද පවසයි. ප‍්‍රගීත් හෙට අනිද්දා එලියට එතැයි සිහින මවයි. තවත් දරුවෙක් ඩෙංගු බිලි ගනි. පංසල් මිනිස් පහසින් අපවිත‍්‍ර වෙයි. ආශ්චර්යයේ පැතුම් ගොඩ එසේම පවතී. එකින් එක මල් පරවෙයි. මෙන්න අලූත් මල් පුදියි. ඉතින් හොදින් විමර්ශනය කල විට මේවා සමාජ දේහයේ එක තැනකින් ක‍්‍රියාවට නැගෙනා වෙන වෙනම සිදු වන සිද්ධි ජාලයක් වෙයි. නමුත් අප මේවාට ප‍්‍රතිචාර වෙන වෙනම දක්වයි. වෙන වෙනම දුක් වෙයි. වෙන වෙනම වැලපෙයි. සංයුක්ත ලෙස ගෙන මේවා දෙස හැරී නොබලයි. ඉතින් ලහිරුලා ද එසේ වෙයි. එනම් ඔවුන් ද සමාජ දේශපාලන කාරණා වියුක්ත ලෙස ගෙන පද මුමුණයි. ලහිරුලාගේ ගීතයෙ සංයුක්ත බව සොයන බොහෝ පොරවල් ඉහත සදහන් කල දෑ පිලිබද සංයුක්ත අදහසකට අකමැති වෙයි. ලහිරුලාට කඩුවෙන් කොටන ඔවුන් ඉද හිට කඩුව මත ඉඳ ගනී.

ඉතින් අපට ලහිරුලාට කිමට ඇත්තේ මෙයයි. දැන හෝ නොදැන ඔබ කර ඇත්තේ ද අන් හැමෝම කරනා දෙයයි. එනම් වේග රිද්ම පද මාලාවක් මුමුනා ලාභ සිහින හුවමාරු කර තම පැවැත්ම උදෙසා යම් ආතල් එකක් ගැනිමයි. එම නිසාම ලහිරුලාගේ ගීතයට තේරුමක් වෙයි. ලහිරුලා බබා සේ සිටියාට එහි හොඳ දේශපාලනමය තේරුමක් වෙයි. එනම් යථාර්ථයේ ස්භාවය ඔවුන් ද අවිධිමත් ලෙස දැක ඇති බවයි. නමුත් එහි විධිමත් දැක්මකට ලහිරුලා මෙන්ම බොහෝ අයද අකමැති වෙයි. එම නිසා ලහිරුලාව ෆ්ලැට් කීරිමට එහා ගොස් මේ පද මාලාව ඔවුන්ට බිහි කිරිමට සිදු වු සමාජ දේශපාලන තර්කනයන් තුල තබා සංවාදය සිදුකිරිමෙන් වඩා යහපත් ප‍්‍රතිඵල අත්කර ගත හැකි බව අපේ මතයයි. විනෝදය උදෙසා නිර්මිත බයිලාව සමාජ දේශපාලන තර්කනයට යටත් කළ යුතු කාලය පැමිණ ඇතැයි අප සිතමු. දැන හෝ නොදැන යම් අවිධිමත් සමාජ දේශපාලන තර්කනයක් ඔබලා විසින් ගොඩ නගා ඇත. නැත්තේ ඒ පිළිබඳව වන විධිමත් සංවාදයයි. ඉතින් අප අපට හැකි පමණින් එය ආරම්භ කළෙමු.

විරාජ් ලියනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails