Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



රුසියානු මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ජිප්සීස් කාව්‍යය ඇසුරෙන් රචිත කාමන් ඔපෙරාව විශ්ව සංගීතයේ දිදුළන සන්ධිස්ථානයක වැජඹෙන කලා නිර්මාණයකි. එය ලොව වඩාත්ම ජනප‍්‍රිය සහ වඩාත්ම ප‍්‍රදර්ශිත ඔපෙරාවයි. එය නොඇසූ සංගීතඥයකු හෝ විදග්ධ රසිකයකු හෝ සිටිය නොහැකිය. එය පරිශීලනය නොකෙරෙන කලා පාසලක්,ඇකඩමියක්, සරසවියක් තිබිය නොහැකිය. කාමන් ඔපෙරාව සුප‍්‍රකට සංගීතඥ-

ජෝර්ජ් බිසේගේ නිර්මාණයකි. එය පේ‍්‍රම සාහිත්‍යයේ ඇනා කැරණිනා හෝ එමා බොවාරිටත්, පේ‍්‍රම නාටකයේ රෝමියෝ ජුලියට්ට හෝ ඔතෙලෝටත් පේ‍්‍රම කාව්‍යයේ මේඝ දූතයට හෝ ගීත ගෝවින්දයට සමාන කළ හැකිය. කාමන් ඔපෙරාව ප‍්‍රංශ සංගීතයේ සහ සංගීත වේදිකාවේ මුදුන් මලක් ලෙස සැලකේ.

2008 වසරේදී ලන්ඩනයේ ප‍්‍රධාන ඔපෙරා ශාලා දෙකෙහිම කාමන් රඟ දක්වන ලද අතර රෝයල් ඔපෙරා හවුස් නිෂ්පාදනය බීබීසිය මගින් ඞීවීඞී තැටියක් ලෙස නිකුත් කර ඇත. ඔපෙරා කලාව අන් සියලූ කලාවන් පරයා ඉහළ නැගෙන්නේ කාරණා දෙකක් නිසාය. ඔපෙරා යළි යළිත් මළවුන්ගෙන් නැගිට පුදුමාකාර ජවයකින් ජීවමාන වන්නාවූ මෘත කලාවකි. විශිෂ්ට ඔපෙරා බිහිවීමත්, සිග්මන්ඞ් ෆ්‍රොයිඞ් මනෝ විශ්ලේෂණය සොයා ගැනීමත් එකම කාලයක සිදුවූ සැටිත්, මනෝ විශ්ලේෂණයේ උපත ඔපෙරාවේ විපත තීන්දු කළ සැටිත් ස්ලැවොජ් සිසෙක් සහ ම්ලාඩෙන් ඩෝලර් දෙදෙනා ඔපෙරාවේ දෙවෙනි මරණය නමැති මා හැඟි කෘතියේ සඳහන් කරයි.


ඔපෙරාවේ සුවිශේෂත්වයට හේතුවන අනෙක් කාරණය නම් එය භාව මහෝඝයකට ඉඩදෙන අන්දමේ නිර්බාධිත කලාවක් වීමයි. ඔපෙරා වේදිකාවේ කඩු පහරින් මියයන්න පවා ගැඹුරු හඬින් ගායනා කරයි. ඔබේ සතුරා ඔබ පසුපසින් හඹාගෙන එන විට සුළු වේලාවකට නැවතී ගායනා කළ හැක්කේ ඔපෙරා වේදිකාවකදී පමණි. ඔපෙරාව අන් සියලූම කලාවන් වෙනුවෙන් මනෝභාව ස්පර්ශ කිරීමේ අයිතිය කොන්දේසි විරහිතව ආරක්ෂා කරයි. ඔපෙරාව විටින් විට තම මරණය ජය ගන්නේ එම භාව අයිතිය සුරක්ෂිත කරදී නැවත මියැදෙන්නටය. තමන්ගෙ ඔපෙරාවක් බිහි කරගත් රටවල් තිබෙන්නේ අතළොස්සකි. ශ‍්‍රී ලංකාවද ඉන් එක් රටකි. කිසියම් රටක සාර්ථක ඔපෙරාවක් බිහිවන්නේ නම් එහි තේරුම එක්කෝ ඒ රට කලාවේ කූටප‍්‍රාප්තිය කරා ළඟාවී ඇති බවය. එසේ නැති නම් එහි දිනෙන් දින මියැදෙන කලාව තම මරණ මංචකයේ සිට හඬ නඟන බවයි. ශ‍්‍රී ලංකාවේ සිදුවූයේ මේ දෙකෙන් කවර දෙයක්දැ’යි සිතා බැලිය යුතුය.

ශ‍්‍රී ලංකාවේ ඔපෙරා අත්දැකීමේ පැහැදිලිව පෙනෙන කාරණයක් ඇත. එනම් ඔපෙරා කලාව සමග මියැදීමට තරම් නිර්භීත ගායක ගායිකාවන් තුන්හතර දෙනකුට වඩා නැති බවය. බිහිවූ ඔපෙරාව රැුක ගැනීමේ හැකියාවවත් මේ රටට තිබේද යන්න සැකසහිතය. කාමන් ඔපෙරාවද එවැනි කටුක අත්දැකීම් රැසකට මුහුණ දී තෙම්පරාදු වුණු ඔපෙරාවකි. ජෝර්ජ් බිසේ මියගියේ තම නිර්මාණය සපුරා අසාර්ථක වුණු බව කල්පනා කරමිනි. ඔහුට බොහෝ කරදර ඇතිවිය. වාදකයන් පැවසුවේ ඔහුගේ සංගීතය වාදනය කරන්නට දුෂ්කර බවය. ඔහුට පෙර පුහුණුවීම් සංවිධානය කරගන්නට අපහසු විය. සමහර ගායක ගායිකාවෝ ඔපෙරාව අත්හැර ගියහ. කාමන් චරිතය නිරූපණය කළ මෙසො - සොප්රාණෝ ගායිකාව පවා ඔපෙරාව මගහැර ගියාය. ප‍්‍රංශ ඔපෙරා පේ‍්‍රක්ෂකයන් පැවසුවේ එය පවුලේ ඔපෙරාවක් නොවන බවය.


1824දී බයිරන් කවියාගේ රොමෑන්ටික හා විමුක්තිවාදී ශෛලියෙන් යුතුව පුෂ්කින් කවියා විසින් රචිත කාව්‍යය 1845දී කෙටි ප‍්‍රංශ නවකතාවකට පාදක කරගන්නා ලද අතර 1875දී කාමන් ඔපෙරාවේ ලිබ‍්‍රතෝව රචනා කරන ලද්දේ ඒ සාහිත්‍ය කෘතිය පාදක කරගනිමිනි. මෙලෙස පුෂ්කින්ගේ කාව්‍යය ඔපෙරා 18කට හා බැලේ කිහිපයකට පාදක වී තිබේ. ප‍්‍රංශයේ නිෂ්පාදනය වූ නමුත් කාමන් ඔපෙරාවේ පසුතලය නිදහස් භාවෝද්දීපනය ජීවිතය බවට පත්කර ගත් ස්පාඤ්ඤයයි. කාමන් සිගරැට් කොම්පැණියක වැඩ කරන නිදහස් ජිප්සි ගැහැනියකි. ඇයගේ ආලය පිරිමි හදවත නමැති බෝතලයට දැමිය නොහැකි මධුපානයකි. ඇය මෙසේ ගායනා කරන්නීය. "ආලය හීලෑ කළ නොහැකි කුරුල්ලෙකි. "ඇගේ පේ‍්‍රමයේ තීරකයා ඇයමය. එම නිසා ඇගේ ආලය අවදානම් සහගතය. ඇය මෙසේ ගයයි. "නුඹ මට පෙම් නොකළොත් මම නුඹට පෙම් කරමි. එනමුත් මා නුඹට පෙම් කළහොත් නුඹ ප‍්‍රවේසම් විය යුතුය. "

ඇගේ පේ‍්‍රම ග‍්‍රහණයට මුලින්ම හසුවන්නේ දොන් ජොසේ නමැති පොලිස් කෝප්රල්වරයෙකි. පසුව ඇය එස්කැමිලෝ නමැති ගවපොර වීරයකුට පෙම් කරයි. ඔහු ගව පොරයෙන් ජය ලබන අවස්ථාවේ කාමන් පැරණි පෙම්වතාගේ පිහි පහරින් මියයයි. ලොව සෑම ඔපෙරා ගායිකාවකගේම සිහිනය කාමන් චරිතය වෙනුවෙන් ගායනා කිරීමයි. මෑත ලන්ඩන් ඔපෙරා දෙකම නිෂ්පාදනය කර තිබුණේ ස්ත‍්‍රීන් දෙදෙනකු විසිනි. ඩොමිනික් මැක්හයිම් පැවසුවේ එය අහඹුවක් නොවන බවයි. කාමන් යනු ඔපෙරාත්මක අනෙකාය. කාමන් යනු තම ඉතිහාසය තුළදී ඔපෙරාව පිරිමි බැල්මෙන් හෙවත් පිරිමියාගේ ආඥාදායක දෘෂ්ටියෙන් නිදහස් වීමකි.

[රාවය| චැප්ලින් කොලම| 2010.11]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails