
පවිටු පුළුටු ය විසි කෙරුණු කිළුටූ
ගොඩ ගැසූ නෙත් මානයේ දැවටූ
බිඳී දැහැනම සිහිනයේ විසිරූ
ඇටසැකිලි වම් අතට දැමු අගුළුෑ
"යදී දෙවොලේ නො මැති දෙවිඳුන්
අලුත් අවුරුද්දට
එක් කොට ප්රාර්ථනාවක් සේ
සුබ!"
ඉරි ඉරී රැස් පෙරෙන
පෙරි පෙරී දිය හැලෙන
පුංචි කූඩාරම් මාලිග
පෝලිම් දිග ලැග හති අරින
අම්මාවරු වන්නට තතනන අම්මාවරු
වාරු නැති කුස තබා සුරත මත
වාව ගනු නොවු හදවතක් ගෙන
එල්ලෙනා කිරි පැටව් දුව විත්
පටලවා ගත් සාරි කඩමළු තුරුල්ලේ සැංගී
අලුත් අවුරුදු සුබ පැතුම ද
ඇහිද ගන්නට සොයයි හාරා අවුස්සා
මිනී පුරයක් වළ දැමූ තැන
අරලියා ගස වැරූ මල් මත්තෙන්.
සුසුම විසුලන අවරදිග අර
පාළු අහසට නැංඟ තුඟු හිස
සිඟිති පියපත් සල සලා හුන්
තිලක බොඳ කර වැස්ස වෑහුණි
උරිස් බිඳ දා කඳුළු බොර වුණි
දෙපා ඇද වී ලණු පොටක් වුණු
ළදැරියක් වෙයි හිනා අහිමිව
දෑසෙ පොපියන ගැටළු ඉහිරන
කරකවා ඔත් පෑලදිග හිඳ
වෙව්ළනා දෑතින් වරින් වර
හඬවනා දුක් කඳුළු නූපුර.
ඉහින් දා විත් දාදියත් පැන
දරා ගනු බැරි පඩිපතට වැද
නඟන කෙඳිරිය කඩපොලේ මැද
උහුල්ලා වළඳන්න හැකි වෙද
අලුත් අවුරුදු නැකත කොයිබද
බක්මහේ නොව දුරුත්තේ එන
දුරුතු පුන්සඳ මකා දා අර
නැඟෙන්නේ ගණ අමාවක සඳ
අලුත් සළුවෙන් දෙපය තෙක් පොරවා.
පරණ අවුරුද්දට පණ ගෙනෙනු බැරුවා.
ඔසවගන්නට බැරිය බිල්පත
රක්ත පෑ ඔරවාන වද දෙන
සරදමට අකුරුත් හිනා වෙන
තැනින් තැන ලොකු ඉලක්කම්
ඇවිත් ඇසගට ඔලොක්කම්
හාමතේ තළු මරා පරපුර
අලුත් අවුරුදු සුබ පැතුම් පොදි
තබා යයි දොර කවුළු අද්දර
නෑගමන් නැති හිනා පොඩි කර.
දෙවොල අහිමි ව දෙවිඳු හැර පිය
රජිඳු කෝ දෙව් අසුන සරසන
කුමට මොක වුව සිරස වැඳ පුද
යදිමු මළසුන තබා සත්මල්
සඳුන් සුවඳින් නහව නහවා
අඳුන් හෙමිහිට ගාව ගාවා
හඳුන් කූරක අළුය පුරවා
ගිනි පුපුරු යට දෙවිඳු කෝවා
අලුත් අවුරුදු ආවාඩාවා!!!
තුෂාරි ප්රියංගිකා
RATHU BOONDIYA | මළ අවුරුදු හෙවත් අලුත් අවුරුද්ද - [තුෂාරි ප්රියංගිකා]
Posted by
BoondiOnLine
12.30.2010



