Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ශ්‍රී ලාංකීය සාහිත්‍ය විචාර කතිකාව පිණිස ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් දායාද කළ අමුතු කතාව, තරුණ නවකථාකරුවකු වෙත සහ සහෘද සාක්ෂිය නම් විචාර න්‍යායාත්මක ග්‍රන්ථයන්හිම දිගුවක් ලෙස පළවීමට නියමිත 'පහන සහ කැඩපත' කෘතිය අරභයා කළ සංවාදයකි මේ. මෙහි සාකච්ඡාවට ගැනෙන්නේ ආචාර්ය ලියනගේ අමරකීර්ති විසින් මුල්වතාවට සිංහල සාහිත්‍ය කතිකාවට හඳුන්වා දුන් සංකල්පයන් කිහිපකි.

• කලාවේ සංස්කෘතික කාර්යභාරය කියන එක ඔබ විග්‍රහකරන විදිහක් තියෙනවා. ඒ ස්වරූපය තුළ තිබෙන සංස්කෘතික සංස්කරණය සහ සංස්කෘතික සංරක්ෂණය කියන කරුණු දෙක ඔස්සේ මේ සාකච්ඡාව ආරම්භ කළොත්?

කලාව කියන එක සංස්කෘතියේම කොටසක්වීම තුළ හොඳ කලාව සතු සංස්කෘතිකමය කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉන් එකක් තමයි සංස්කෘතික සංස්කරණය කියන කරුණ.

යම්කිසි සංස්කෘතියක මිනිස්සු දැනට, හරි කියලා විශ්වාසකරන විදිහ, හිතන පතන විදිහ, ජීවත්වන විදිහ, දෘෂ්ටිවාදයන් වගේ දේවල් නිරන්තරයෙන්ම සංස්කරණය වීම අත්‍යවශ්‍ය කරුණක්. තවත් පැත්තකින් සංස්කෘතිය කියන එක නිරන්තරයෙන්ම පරිණාමය වන දෙයක්. සංස්කරණය නොවී සංස්කෘතිය කියන කරුණට පවතින්න විදිහක් නෑ.

තවත් අතකට යම්කිසි ප්‍රජාවක්, යම් කිසි ජන කොටසක් එකට බැඳලා තබන ඇදහිලි විශ්වාස, භාෂාව, ආගම, ජීවත්වන විදිහ, කනබොන විදිහ, නිෂ්පාදන ක්‍රියාවලිය වගේ වැදගත් සංස්කෘතික කොටස් ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා ප්‍රජාවක් එකට බැඳලා තබන්න. ඒ අනුව සංස්කෘතිය කියන එක සංස්කරණයට සමගාමීව සංරක්ෂණයවීමේ අවශ්‍යතාවකුත් තියෙනවා. සංස්කෘතික උරුමය කියන කරුණත් මෙතනදි එක වගේ වැදගත් වෙනවා. ඉතිහාසය තුළ ඕනෑම ප්‍රජාවකට තියෙනවා තමාගේම කියලා සංස්කෘතික උරුමයක්. ඒ නිසා අපි සංස්කෘතික උරුමයේ යම් යම් දේවල් ද රැකගන්න අවශ්‍යයි.

• සංස්කෘතික සංස්කරණය සහ සංස්කෘතික සංරක්ෂණය එක්තරා අතකට එකිනෙකට ගැටෙන සංකල්ප දෙකක්. මෙවන් සංකල්ප දෙකක් එකවර හැසිරවීමේ දී කලාකරුවාට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා නේද?

උදාහරණයක් විදිහට පාළි ජාතක කතා මාලාව තුළ සමහර විට තියෙන්නේ එක ගාථාවයි. නමුත් එයට අට්ඨකථා ලියන අය ඒ සඳහා වෙනම ව්‍යාඛ්‍යාන සපයනවා. පන්සිය පණස් ජාතක පොත කියන්නෙ එහෙම ලියැවුණු එක් ව්‍යඛ්‍යානයක්. ව්‍යඛ්‍යානකරුවා ගාථාවකට කථාවක් ලිවීම තුළ එම ගාථාව තරමක් සංස්කරණය කරනවා. ඒ විතරක් නෙමෙයි මෙම කටයුත්ත නිසා එක් පසෙකින් එය සමාජය තුළ තවදුරටත් තහවුරු කරමින් සංරක්ෂණයක් ද කරනවා. ඒ අනුව ව්‍යඛ්‍යානකාරයා කරන මේ කලාත්මක කාර්යය තුළ සංස්කෘතිය සංස්කරණයවීම සහ සංස්කෘතිය සංරක්ෂණය වීම කියන කරුණු දෙකම එකවර සිදුවෙනවා.

එදිරිවීර සරච්චන්ද්‍ර මනමේ නාට්‍ය තුළ කරන්නෙත් මේ කාර්යයමයි. ඔහු චුල්ල ධනුද්ධර ජාතකය අරගෙන එයට වෙනත් අර්ථකථනයක් දෙමින් එය විසි එක්වන සියවසට අරගෙන එනවා. එතැනදි ස්ත්‍රීන් කියන්නේ බඩ ඇතුළේ තියාගෙනවත් රකින්න බැරි ජාතියක්ය කියන ස්ත්‍රී විරෝධී සාම්ප්‍රදායික යති දෘෂ්ටිය මනමේ නාටකය තුළ වෙනස් වෙනවා. මෙතනදී සරච්චන්ද්‍ර කරන්නේ ඊට ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් ලබාදීම. ජාතකකථාව නාට්‍යයට ගැනීම තුළ අදාළ ජාතකකතාව තවදුරටත් ජනප්‍රිය වීමත් මිනිසුන් අතරට යෑමත් සිදුවෙනවා. ඒ අනුව ඒ තුළින් සංස්කෘතික සංරක්ෂණය කියන එක සිදු වෙනවා. පරාක්‍රම කොඩිතුවක්කු රෂ්මි තුළ කරන්නෙත් ඒ ටිකමයි.

මේ සඳහා දෙන්න පුළුවන් තවත් වැදගත් උදාහරණයක් තමයි අජිත් තිලකසේන. ඔහු අපේ සංස්කෘතික උරුමයේ කොටසක් වන සිංහල භාෂාව අරගෙන මේ කාර්යයම කරනවා. ඔහු කරන්නේ සිංහල භාෂාවේ වාක්කෝෂය ඒ අයුරින්ම තියාගනිමින් එහි එන පිල්ලම් වැනි ඇතැම් කරුණු අතහරිමින් පිලි සමරූපීකරණය සිදුකිරීම. ඒ අනුව සිංහල භාෂාව සංස්කරණයවීමත් එය සංරක්ෂණය වීමත් කියන දෙකම අජිත් තිලකසේනගේ වෑයම තුළ සිදුවෙනවා.

• සංස්කෘතික උත්කර්ෂණය නැවැත්වීම කියන කරුණ කලාවේ සෙසු සංස්කෘතිමය කාර්යයන් අතර වැදගත් වෙන්නෙ කොහොමද?

කලාවේ තියෙන කාර්යයන් අතර සංස්කෘතික උත්කර්ෂණය නැවැත්විම කියන කරුණ ඉතාමත් වැදගත් එකක්. අපි තමයි හොඳම ජාතිය. අපිට තමයි හොඳම භාෂාව තියෙන්නෙ. අපිට තමයි හොඳම සංස්කෘතිය තියෙන්නෙ කියන සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වයක් ඕනම සංස්කෘතියක් තුළ තියෙන්න පුළුවන්. මේ සංස්කෘතික ආත්මකේන්ද්‍රීයත්වය ප්‍රශ්න කරන එක සහ එසේ සංස්කෘතිය උත්කර්ෂණයට නැංවීම වළක්වන එක කලාකරුවාගේ ප්‍රධාන කාර්යයක්. මැදපෙරදිග තලෙයිබාන් වාදය, බටහිර තමයි ශ්‍රේෂ්ඨතම සංස්කෘතිය තියෙන්නෙ කියන සුදු උත්කෘෂ්ටවාදය, යුරෝකේන්ද්‍රීයවාදය වගේ දේවල් සිදුවෙලා තියෙන්නේ මේ කියන සංස්කෘතික උත්කර්ෂණය නිසා. ලෝකයේ උතුම්ම රට පෙරදිග ධාන්‍යාගාරය වගේ සංකල්පත්, අපේ සංස්කෘතිය තමයි සාමකාමීම සංස්කෘතිය, බෞද්ධයින් කවදාවත් ආගම වෙනුවෙන් සටන් කරලා නෑ වගේ සංකල්පත් අප තුළ තියෙන්නෙත් මේ සංස්කෘතික උත්කර්ෂණය කියන කරුණ අප තුළත් තියෙන නිසා. නමුත් මේ සංකල්ප එකක්වත් හිතන තරම් සරල නෑ. සංස්කෘතික උත්කර්ෂණය නිසා මතුවන මේ බොහෝ දේවල් සියුම්ව පරික්ෂාවට ලක් කළොත් පේනවා ඒ ඔක්කොම වැරදියි කියන එක.

සංස්කෘතික උත්කර්ෂණය කියන එක දිහා බලද්දි පේන්න තියෙන දෙයක් තමයි ඒක සංස්කෘතික සංරක්ෂණයේම එක කොටසක් බව. නමුත් සංස්කෘතික උත්කර්ෂණය කියන කටයුත්ත තරමක් භයානක එකක්. මොකද ඒ තුළින් කලාවෙන් කෙරෙන්න ඕනෙ එක කාර්යයක් වන සංස්කෘතික සංරක්ෂණයට ඉඩ නැතිව යනවා. ඒ හේතුව නිසා තමයි සිනමාකාරයින්ට, සාහිත්‍යකාරයින්ට ජාතියට අවනම්බු කරනවා, භාෂාව විනාශ කරනවා කියන චෝදනා එන්නේ. මොකද ඔවුන්ට එහෙම කියන පිරිස් අමතක කරනවා, හොඳ කලාවේ එක කාර්යයක් වෙන්නෙ සංස්කෘතික සංස්කරණය කියන එක කියලා.

සංස්කෘතික උත්කර්ෂණය තුළ පවතින අනෙක් කරුණ තමයි එය තම සංස්කෘතියෙන් පිට මානව වර්ගයා සමග නිදහස් ගනුදෙනුවකට ඉඩ නොදීම. ඒ අනුව අපේ සංස්කෘතියට අයිති අයත් සමග විතරයි අපට මනුෂ්‍යයින් විදිහට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නෙ.

සංස්කෘතියක් සංස්කරණය කරන්න සාහිත්‍ය හැරුණුකොට තවත් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදිහට රැඩිකල් දේශපාලන වෙනස්කමකට පුළුවන් එහෙම කරන්න. විප්ලවය වගේ අවස්ථාවක් තුළ.

• සංස්කෘතික සංස්කරණ කාර්යභාරය තුළ ජනප්‍රිය සංස්කෘතිය කියන කාරණයටත් යම් කිසි අවකාශයක් හිමිවෙනවා නේද?

ජනප්‍රිය සංස්කෘතිය කියන එක ස්වභාවයෙන්ම අන්තර් සංස්කෘතිකයිනෙ. උදාහරණයක් විදිහට ජනප්‍රිය සංස්කෘතිය තුළ චේගුවේරා, මැඩෝනා, බොබ්මාලි, බොබ් ඩිලන්, කියන කවුරුත් ඉන්නවා. ඒ සමහරවිට ටී ෂර්ට්වල කොණ්ඩ මෝස්තරවල සහ සංගීතය තුළ වෙන්න පුළුවන්.

ඒ හේතුව නිසා සාහිත්‍යයේ හෝ දේශපාලනයේ මැදිහත්කමක් නැතිව සංස්කෘතියක් සංස්කරණය කරන්න පුළුවන් එක් වැදගත් ක්‍රමයක් තමයි ජනප්‍රිය සංස්කෘතිය. මෙතන තියෙන අනෙක් වැදගත් කරුණ තමයි ජනප්‍රිය සංස්කෘතිය අරන් යන්නෙ සාමාන්‍ය මිනිසුන් වීම. රැඩිකල් දේශපාලනඥයින් සහ සාහිත්‍යකරුවන් කියන අය මේ කටයුත්ත කරන්නෙ ඒ විදිහට නෙමෙයි. ඔවුන් යම්කිසි බුද්ධිමය මැදිහත්වීමක් කරන අය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ සිදුවන ප්‍රධාන කරුණක් තමයි සංස්කෘතික උත්කර්ෂණය අඩුකරන එක. තවත් පැත්තකින් සෙල්ෆෝන්, අන්තර් ජාලය, යූටියුබ් සමග ගනුදෙනු කරන නූතන ලෝකය තුළ සංස්කෘතික උත්කර්ෂණය කිරීම කියන කාර්යය කරන්න අපහසුවෙලා තියෙනවා. සංස්කෘතික ගෝලීයකරණය කියන කාරණය පිළිබඳ නොයෙක් ප්‍රශ්න තිබුණත් මේ අර්ථයෙන් සංස්කෘතික ගෝලීයකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

මහා පරිමාණයෙන් නැති වුණත් අද වන විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජීවිතය පවා අන්තර්ජාතික ජනප්‍රිය සංස්කෘතියේ ආභාසය ලබාගෙනනෙ තියෙන්නෙ. එවන් තත්ත්වයක් ඇතුළෙ සංස්කෘතික උත්කර්ෂණය සිදුකරන්න අවශ්‍යනම් මැදපෙරදිග ඇතැම් රටවල් සහ චීනය වගේ යම් යම් රූපවාහිනී සේවා සහ අන්තර්ජාලය තහනම් කරන්න සිදුවෙනවා. නමුත් එසේ කිරීම තුළ පවා මේ තත්ත්වය සම්පූර්ණයෙන් වළක්වන්න අමාරුයි. ඒ නිසා අද වන විට ලෝකය තුළ සංස්කෘතික පවිත්‍ර අඩවි වෙන්කර ගන්න අමාරු යි.

• ජනප්‍රිය සංස්කෘතිය කියන එක ජාත්‍යන්තර වෙළඳ මාධ්‍යයන් තුළ මෙහෙයවීම කියන කරුණ තුන්වෙනි ලෝකයේ රටවල දකින්නට තියෙන දෙයක්නෙ. මේ හේතුවෙන් සංස්කෘතික සංස්කරණයට ජනප්‍රිය සංස්කෘතිය දක්වන දායකත්වය අර්බුදයට යන්නෙ නැද්ද?

ජනප්‍රිය සංස්කෘතිය පාදක වෙන්නෙ බොහෝ විට ජාත්‍යන්තර වෙළඳ මාධ්‍යයන් ඇතුළෙ කියන එකෙත් ඒ තුළින් සංස්කෘතික සංස්කරණය කියන කරුණ එක්තරා සීමාවකට යටත්කිරීමේ ඉඩ තියෙනවා කියන එකෙත් යම් කිසි ඇත්තක් තියෙනවා. නමුත් ජනප්‍රිය සංස්කෘතිය කියන එක මේ තත්ත්වයට වැටීමෙන් වළක්වන්නෙ කොහොමද කියන එක ගැන 'ෆ්රෑන්ක් ෆර්ට්' සරසවියේ සිටි දාර්ශනිකයකු වූ තියඩෝර් අඩොර්නෝ අදහස් දක්වනවා.

අඩොර්නෝ මේ සම්බන්ධයෙන් යෝජනා කළ දෙය තමයි ජනප්‍රිය සංස්කෘතියයි වෙළඳ සංස්කෘතියයි කියන දේවල් කොටස් දෙකක් විදිහට වෙන් කර ගන්න ඕනෙ කියන එක. ඔහුට අනුව වෙළඳ සංස්කෘතිය කියන්නේ විශේෂයෙන් ඇමරිකාව කේන්ද්‍රකරගත් මීඩියා වෙළඳ සමාගම් මගින් පතුරුවන කලාවක්. ඇත්ත වශයෙන්ම ඒක තොග නිෂ්පාදිත කලාවක්. මේකයි ජනප්‍රිය සංස්කෘතියයි දෙක දෙකක් විදිහට ගන්න ඕනෙ කියන එක තමයි අඩොර්නෝගේ අදහස.

ලංකාව තුළ ජනප්‍රිය සංස්කෘතිය කියන එකට උදාහරණයක් විදිහට ජෝතිපාල ගන්න පුළුවන්. ඔහුට පුළුවන්කම ලැබිල තියෙනවා සමාජයේ ජනතාවගේ ජීවිතත් එක්ක ඓන්ද්‍රීයව බද්ධ වෙන්න. නමුත් වෙළඳ කලාවට එහෙම හැකියාවක් නෑ. ඒක විශාල ආයෝජනයක් කරල සමාජය මතුපිටින් ආරෝපණය කරන එකක්. මේ අනුව වෙළඳ කලාව දුරස්ථව තියාගනිමින් ජනප්‍රිය කලාව ආරක්ෂා කළ යුතු බව තමයි අඩොර්නෝ අදහස් කළේ.

තවත් අතකට ඇමරිකානු සංකල්ප රූප අධිරාජ්‍යය යටතේ ජනප්‍රිය කලාව පාලනය වුණත් එය එදිනෙදා ජීවිතය තුළ භාවිත කරන්නෙ මිනිස්සුනෙ. ''රොබට් සිස්ක්'' කියන සන්නිවේදන න්‍යායධරයා රතු ඉන්දියානු මිනිසුන් හොලිවුඩ් චිත්‍රපටි බලන ආකාරය පිළිබඳව හදාරනවා. සුළුජාතිකයින් සහ රතු ඉන්දියානුවන්ගේ ගැටුම තුළ සුදු ජාතිකයින් රතු ඉන්දියානුවන් පරාජය කරලා ජය ලබන්න යන අවස්ථාවේදි රතු ඉන්දියානුවන් චිත්‍රපටිය නවත්වනවා කියලා ඔහු හොයා ගන්නවා. මිනිස්සු කොහොමද සමහර දේවල් දිහා බලන්නෙ කියන එක ගැන රොබට් සිස්ක් හොයාගෙන තියෙන දේ තමයි ඒ. ඒ අනුව හොලිවුඩ්වලින් මොනව කළත් මිනිස්සු බලන විදිහ අනුව ඒකට වෙන අර්ථකථනයක් සැපයෙනවා. මෙය එක්තරාවිදිහකට ව්‍යුහවාදය නිසා කලාවට ලැබුණු වැදගත් දායාදයක්. මොකද ජනප්‍රිය හෝ විදග්ධ හෝ ඕනෑම කලාකෘතියක අර්ථය තියෙන්නේ කර්තෘගේ ඔළුවෙ නෙවෙයි රසිකයාගේ භාවිතය තුළ කියනඑක ව්‍යුහවාදය පෙන්වා දෙන කරුණක්.

ජනප්‍රිය සංස්කෘතිය තුළත් මේ ලක්ෂණය තියෙනවා. මොකද ඒ තුළ මිනිස්සු දේවල් වෙනස් කරන නිසා. බොබ්මාලි ලංකාවේ භාවිත වන විදිහට නෙමෙයි ජැමෙයිකාවේ භාවිත වෙන්නෙ. චේගුවේරා බොලීවියාවේ භාවිත වන විදිහට නෙමෙයි අපේ ටීෂර්ට් එකේ භාවිත වෙන්නෙ. වෙළඳ කලාව භාවිත වෙන්නෙ සංකල්පරූප අධිරාජ්‍ය කියන එක හරි. එක්තරා අතකට එය අභියෝගාත්මක කරුණක් තමයි. එතනදි අවශ්‍ය දෙය වෙන්නේ ජනප්‍රිය සංස්කෘතියට බුද්ධිමය අන්තර්ගතයක් සපයන එක. ඒ සඳහා අපි අපේ සංස්කෘතික දේශපාලනික ව්‍යාපාර අතරට ජනප්‍රිය කලාව අරගන්න ඕනෙ.

මොනවා වුනත් සාහිත්‍ය කරුවන් සහ සාහිත්‍ය න්‍යාය හදාරන්නන් විදිහට අපි, සංස්කෘතික සංස්කරණය රැඩිකල් දේශපාලන වෙනස්කම්වලින් සිදු වෙනකම් බලන් ඉන්න එකවත්, ජනප්‍රිය සංස්කෘතිය විසින් සිදුවෙනකම් බලන් ඉන්න එකවත් කළ යුතු නෑ. සාහිත්‍යකරුවාට ඊට වැඩිය ලොකු වගකීමක් තියෙනවා.

• සාහිත්‍ය තේරුම් ගැනීමේ කාර්යයේදී මෙන්ම සංස්කෘතික සංස්කරණ කාර්යයේදී ඉතා වැදගත් වූ සංකල්පයක් තමයි සානුකම්පික පරිකල්පනය [Sympathetic Imagination]. සානුකම්පික පරිකල්පනය සාහිත්‍ය කියවීමේදී වැදගත් වෙන්නේ කොහොමද?

සානුකම්පික පරිකල්පනය ප්‍රධාන වශයෙන් ගොඩනැගෙන්නේ ඇමරිකානු චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉන්න මාර්තා නස්බෝම් කියන මහාචාර්යවරිය අතින්. සාහිත්‍ය පිළිබඳ මීට වඩා අලුත් විදිහට බලන්න ඕනෙ කියලා ඇය 90 දශකයේ මැද භාගය වන විට කල්පනා කළා. ඒ කාලෙ වනවිට පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඇවිත් සාහිත්‍ය පිළිබඳ සමාජය තුළ නොතේරෙන සංකීර්ණ මතවාද කිහිපයක් තහවුරු කරලා තිබීම මෙහෙම හිතන්න ඇයට හේතු වුනා. එම මතවාදයන් දෙක තුළින්ම සාහිත්‍ය තුළ සිදුවුණු වැදගත්කම් බොහෝමයක් තියෙනවා. නමුත් එක් දහස් නවසිය අනූ ගණන් වන විට සාහිත්‍ය පිළිබඳ ඇමරිකානු ශාස්ත්‍රාලීය කතිකාව සාහිත්‍යයට වඩා න්‍යායාත්මක පැත්තක් ගැනීම එමගින් සිදුවෙලා තිබුණා. අනෙක් අතට ඒවා ඉතා තියුණු න්‍යායක් වුවත් ඒවාට පුළුවන්කමක් තිබුණෙ නෑ සාහිත්‍ය කියන එක මොකටද තියෙන්නෙ කියන කාරණය තේරුම් ගන්න.

මේ තත්ත්වය උඩ මර්තා නස්බෝම් තම පුහුණුව තිබුණු බටහිර දර්ශන ඉතිහාසය සහ ඊට අමතරව සාහිත්‍ය ඉතිහාසයත් ආපසු පරීක්ෂා කර බලන්න උත්සාහ කළා. පශ්චාත් නූතනවාදය හා ව්‍යුහවාදය තුළ දර්ශනයේ ඇති ප්‍රධාන කොටස් දෙකෙන් එකක් වන ආචාර්යධාර්මීය කොටස අමතක වී ඇති බව එවිට ඇයට තේරුණා. ඒ තුළ ඉස්මතුවෙලා තිබුණේ ඥානවිභාගාත්මක කොටස විතරයි.

සාහිත්‍ය දිහා අලුත් විදිහට බැලීම සහ සාහිත්‍ය ආචාරධර්මීය පැත්තෙන් වටහා ගැනීම හොඳ බව තේරුම්ගත් ඇය ඒ සඳහා Poetic Justice සහ Cultivating Humanity කියන පොත් දෙක ලිව්වා. ඇත්තටම ඒ තුළින් සාහිත්‍ය විචාරයට විකල්ප ධාරාවක් එකතු කිරීමට ඇය සමත් වුණා. සාහිත්‍යයේ ඉතාම වැදගත් කාර්යය වන්නේ ආනුකම්පිත පරිකල්පනය වර්ධනය කිරීම බව නස්බෝම් එතනදි අවධාරණය කළා.

යම් සංස්කෘතියක ජීවත් වෙන මිනිසුන්ගේ සංස්කෘතික ආත්මීයත්වය (Cultural Self) නිසා එකී ආත්මීයත්වයට අයත් නොවන සංස්කෘතික අන්‍යයින් (Cultural Others) කියන අයට අසාධාරණයක් වෙන්න පුළුවන්නෙ. උදාහරණයක් විදිහට සිංහල කථාකරන බෞද්ධයින්ට සිංහල කථා නොකරන නිර්බෞද්ධයින් සංස්කෘතික අන්‍යයන් වෙනවා. ඇමරිකානු සුදු මිනිස්සුන්ට කළු ජාතිකයින් සංස්කෘතික අන්‍යයන්. විසම ලිංගිකයින්ට සම ලිංගිකයින් සංස්කෘතික අන්‍යයින්. පිරිමින්ට ගැහැනු සංස්කෘතික අන්‍යයින්.

මාර්තා නස්බෝම් මේ අනුව පැහැදිලි කළේ ආචාරධාර්මික සමාජයක් ගොඩ නැගීමට නම් තමන්ට වඩා සංස්කෘතිමය වශයෙන් තීරණාත්මකව වෙනස් මිනිස්සුන්ගේ ජීවිත පරිකල්පනිකව මවාගෙන එය ජීවිත දිහා සානුකම්පිතව බැලීමේ හැකියාව හැමෝටම තිබිය යුතු බව. මේ ධාරිතාව වර්ධනය කරන්න පුළුවන් සාහිත්‍ය තුළ.

නමුත් ඇය Cultivating Humanity කියන පොතේ කියනවා සානුකම්පික පරිකල්පනය වර්ධනය කිරීමෙන් විතරක් සමාජයක් වෙන් කරන්න බැරි බව. උදාහරණයක් විදිහට කළු ජාතික වහල් මිනිසුන්ගේ ජීවිත ගැන දුක හිතෙන නවකථා කියවලා සුදුජාතික මිනිස්සු දුක් වුණාට වැඩක් නෑ. සමාජය වෙනස් කරන එක සාහිත්‍ය කියවලා විතරක් කරන්න බෑ. ඒක කරන්න ඕනෙ දේශපාලනිකව. සමාජය වෙනස් කරලා ඒ වෙනස්කම් නීතිගත කරලා ඒ නීති පිළිපදින්නට මිනිසුන් යොමු කිරීම තුළින් තමයි සමාජයක් වෙනස් වෙන්නෙ. පුරවැසි භාවය සහ පුරවැසි අයිතිවාසිකම් සිංහල මිනිස්සුන්ටත් තියෙනවා, දෙමළ මිනිස්සුන්ටත් තියෙනවා, මුස්ලිම් මිනිස්සුන්ටත් තියෙනවා කියලා තේරුම් අරන් ඒවා නීතිගත කරලා ඒ නීති පිළිපදින්න මේ ජාතීන් සියල්ල එකඟ කිරීම කරන්න ඕනෙ සමාජයක් සංස්කරණය වීමට. මෙතැනදි නස්බෝම් කියන්නෙ සාහිත්‍යයේ කාර්යභාරය මේ ප්‍රජාවන් තුළ සානුකම්පික පරිකල්පනය දියුණු කරන එක කියලා. මොකද එහෙම නොකළොත් සමාජයමය නීති වෙනස් කළාට පස්සෙ ඒවා පිළිපදින්න අවශ්‍ය කරන භාවමය පදනම මිනිසුන් තුළ නොවන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ නීතින් මොකටද කියන කරුණ ගැන කිසියම් විඥානීය වර්ධනයක් තියෙන්න ඕනෙ.

නස්බෝම්ගේ මේ විග්‍රහයන්ගෙන් පශ්චාත් නූතනවාදී හා ව්‍යුහවාදී න්‍යායන් පිළිබඳ විඩාවට පත් වී සිටි සාහිත්‍ය උගන්වන සහ ඉගෙනගන්නා පිරිසට සාහිත්‍යයේ කාර්යභාරය කුමක්ද? කියන එක තේරුම් ගැනීමට වැදගත් ප්‍රවේශයක් ලැබුණා.

ඡායා - හේමන්ත අරුණසිරි

[රාවය| 2010-12-05]

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails