නිකම්ම නිකම් වතුර ටිකක් ආලේප කර වර්ණවත් සිතුවමක් මවා පෙන්වීමේ හැකියාව අප කුඩා කල තිළිණ ලද “මැජික් කලරින්” පොත් වල තිබුණි. ළමා කාලය සිහි කෙරෙන මේ විජ්ජාව සිය දහස් ගුණයකින් ගුණ වී කවි පොත් වල පිටු අතර සැඟවී තිබේ. ඒ එසේ නමුත් වැඩිහිටියෝ ළමා ක්‍රීඩා නොකරති. දුරස්ථ පාලකයේ බොත්තම් එබීම, පොතක පිටුවල වතුර ගෑමට වඩා පහසු මෙන්ම ක්ෂණික ප්‍රතිඵලද ලබා දෙයි. රස දන්නා ඇඹලයෝ නම් කෙසේ හෝ පැණි බඳුනම සොයා යති.
ශක්තික, “කතු දෝතින් ...” යැයි පුංචි සටහනක් තබා අතට දුන් “වෙඩි වැදුණ පන්හිඳ” බූන්දි පොත් ගොන්නෙන් මා කියවූ පළමු පොත, කවියක මා අගය කරන මේ විශ්ව කර්ම ගුණය නො අඩුව සිහිපත් කරලීය. කවියක මා දකින මේ රසය මීටත් වඩා අපූර්වත්වයක් වන්නේ අප එකිනෙකාගේ අනන්‍යතාවන්ට අනුකූල වන්නාවූ වර්ණයන්ගෙන් මේ චිත්‍රය වර්ණවත් කර ගැනීමට කවියා තබන්නාවූ ඉඩකඩෙනි. ඒ ඉඩකඩ කියවන්නාගේ සන්තානයට සොඳුරු වන්නාවූ වර්ණ සංයෝජනයක් තෝරා ගන්නට ඉඩදෙන නමුදු, කවියේත් කවියාගේත් අරමුණට බාදාවක් නොවිය යුතුය.
ශක්තික ගේ කවි පොතේ තිස් හත් වන කවිය ‘භක්තිය’ නම් වෙයි.
“අනන්තයෙ සිට
හමා ආ
චණ්ඩ සුළං රැලි
ගම අයිනේ
දෙවියන් වැඩ විසූ
සුවිසල් නුග ගස
බිමට පෙරළා
යන්නට ගියේ
කිසිත් සිදු නොකළ
අයුරකිනි
පව්කාර
සුළඟ සමග
සටන් වැද
පොළව සිඹ
නැවත නැගී සිටි
තුත්තිරි ගස
පාගාගත්
ගැහැණියක්
නුග ගස දෙස බලා
ශෝක වූවාය.”
වෙඩි වැදුන පන්හිඳකින් ඇඳෙන මේ වෙඩිල්ල, කාලීන සිදුවීම් හා සසැඳි කල, “සැබැවින්ම මේ පන්හිඳට වෙඩි වැදුණ කාලකණ්නි යුගයකි. සැබෑ සමාජ යථාර්ථය ඔබට - මට පෙනෙන්නේ ඒ නිසා විය හැකියි” යනුවෙන් කතු සටහනේ ශක්තික සටහන් කරන්නාවූ සත්‍යයය උපුටා පෙන්වන සාධකයකියි සිතමි.
නුග ගසුත් තුත්තිරි ගසුත් ලබන්නාවූ මේ නොගැලපෙන සැලකිල්ල එක්තරා අයුරකින් සදාතනික සමාජ සත්තාවක් සම්පිණ්ඩනය කරන මුත්, වඩා වැදගත් වන්නේ ඒ තිරශ්චීන වෙනස අනාගතය කරා ඇදගෙන යන්නාවූ යාන්ත්‍රිකයන් දෙස නෙත් හැර බලන්නට කෙරෙන පෙළඹවීමයි. ශක්තිකගේ කවිය මේ අතින් නුග හෝ අනෙක් රූක්ෂ අසල තුත්තිරි ගස් පැල කර බොහෝ කවියන් අතින් ලියැවී, මා සිත තැවැරී ඇති රචනාවන් ට වඩා ඉදිරියෙන් සිටින්නේයැයි සිතමි.
මේ අයුරින් විමසන කල, “කාව්‍ය නිර්මාණය යන්නේ සරල අදහස මතුවන්නේ භාෂාව කාව්‍ය තත්ත්වයට පත් කිරීම මිස වෙනත් ගූඪ හෝ ව්‍යාජ අපූරු බවක් පිළිබඳ අදහසක් නොවේ.” යනුවෙන් චින්තක රණසිංහ ගේ පෙරවදනේ දැක්වෙන අදහස පිළිබඳ සියුම්වූ මුත් සැකයක් සිතට මෝදු වෙයි. ගූඪත්වයත් ව්‍යාජත්වයත් නොගෑවුණුද හුදෙක් භාෂාව, ලියන හෝ කියවන භාෂාව, යම් ධ්වනිතාර්ථයක් ඉස්මතු වනසේ විරිත, ලය, හා රිද්මය හඟවා පෙල ගැස්වීමට වඩා සංකීර්ණවූද, යම්තාක් දුරකට දාර්ශනික වූද අපූර්වත්වයක්, කවියක් තුල ගොනු වෙන්නේය යන්නට ශක්තිකගේ නිර්මාණම උදාහරණ වෙයි.
ඒ එසේ නොවන්නේයි තර්ක කරන්නට පෙළඹෙන්නට පෙර මේ පොත් පිංචේ විසිවැනි කවිය, ‘එපාවූ මහණ දම’ කියවා බලන්න.
“අස්වනු නෙලූ වෙල් යායට
උඩු වියන් බැඳි අමාවක අහස් ගැබ
සිසාරා හමා ආ වියළි සුළඟ
වැදුණි මගේ කුටියට අනවසරෙන්
තිබහට දිව එළියෙ දාගෙන
දෙපැත්තට වැනුණු
මළානික වූ කුප්පි ලාම්පුව
ඇස් පියා ගත්තේය
ඒ නිමේෂයෙන්ම
කාට දොස් නගන්නද ...?”
සංගීත සංධවනියක සාවධාන සංගීත ඛණ්ඩයක් හෙමි හෙමින් වේගවත් වී, තීව්ර වී, මන්ද්‍ර භේරී නාදයක ගිගුරුමත් සමග එළැඹෙන නිහඬත්වයේ අපූරු චමත්කාරයට සමීප වන්නාවූ වින්දනයක් මට මේ කවිය තුල දැනෙන්නේ මගේ ඇති විශේෂත්වයක් නිසා නොවේයයි මම සිතමි. මේ පොත සරසන බොහෝ කවිවල මේ ගුණය රැඳී ඇත්තේය.
පිටුවකට අඩු මුත් පිටු දෙක තුනක විහිදෙන චිත්‍ර ඒ හැම කවියකම පාහේ හංගා තිබේ. පළමු කවිය වන ‘ලැගුම් ගෙට ආ නාගයා’ ගෙන් අරඹා අංක හතලිහ, ‘මගේ කවිය’ දක්වා යන්නට සීඝ්‍රගාමී කියවන්නෙකුට ගතවන්නේ ඉතාමත් සුළු වේලාවක් වන්නේ නමුදු, එකින් එක සැලකිල්ලෙන් රස විඳිමින් කියවන්නේ නම් දින හතර පහක් විඳින්නට, නැවත නැවතත් හැරී අවුත් කියවන්නට තරම් රස මේ පොතේ පිටු අතර වියමන් කර තිබේ.
හතලිහක් වූ මේ නිර්මාණ පොදිය නම් කරන්නට මට ලැබුණි නම් නිරනුමානයෙන්ම මගේ තේරීම වනු ඇත්තේ ‘බුදුන් දෙවියන් සහ මම’ ය. මෙය මේ පොතේ දහවැනි කවියයි. කියවන කියවන වාරයක් පාසා මසිතේ නැවුම් චමත්කාරයක් දනවන්නටත් නැවුම් අරුත් මුදන්නටත් මේ වදන් පෙල සමත්ය. සිත පාකර යවන ප්‍රමෝදමත් ආහ්ලාදජනක චින්තාවක් නොවන්නාවූ මේ කවි පොතේ සම්පිණ්ඩනය මේ එක කවිය තුල රැඳැවී ඇත.
“ම’ බුදුන්ගේ
වැහැරුණු
ළය මත
වෙද නලාව
තැබූ දෙවියන්
සේලයින්
බෝතලය
දෙස බලා
අලවා
ගත්තේය
දෑස්
පොළවට
ඉර මැරී
වැටුණා
දියඹට,
නැග ආ
පුරසඳ
මිලාන වුණා
ගුවනෙහි
තරු කඩා
වැටුණා
ඉකි බිඳින
පොළවට.
උලමා
ගැයුවා
ශෝකයේ
ගීතය.
බලු රෑන
නරි රෑන
එක්ව ගැසුවා
හද දවන
මළ බෙරය.”
ඉතින් මේ පොත මගේ අතට දෙන්නට දායක වූ බූන්දියේ අපේ උන්ටත්, ශක්තිකටත්, මගේ මේ සොච්චම් සටහන, පුංචිම මුත් ධෛර්යයක්, අහන උන්, කියවන උන් ඉන්නා නිසාම නොව, ලිවීමේ ආශ්චර්යයෙන් ආශිර්වාද ලැබූ හේතුව නිසා සහ ඇස් වලට පෙනෙන ඇත්ත වැසී ඇති ඇහි පිය යටට රිංගවන්නට ඇත්තාවූ ආශාව නිසා ලියන්නට, අකුරු එක තැන් කරන්නට ධෛර්යයක්, වේවායි පතමි.
-ලොකු-
2010 පෙබරවාරි මස 21 වැනිදා
මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook